New photo from Facebook February 18, 2016 at 12:00PM

මා අදහස් කරන්නේ ඔබට අපගේ නමස්කාර පාඨය ඇතිවූ අයුරුත් එහි ඇති වැදගත්කමක් පෙන්වා දීමටයි. මේ නමස්කාර පාඨය ඇතිවූයේ බුදුරදුන් බුදුවීමෙන් පසුව බෝධිය සමීපයේදී සත්සති ගත කරන සමයේදීය

අප සමාජයේ බොහෝ දෙනා ගතානුගතික සිරිත් අනුගමනය කිරීමට පෙළඹී සිටිති. ඇතැම් තැන්වල දක්නට ඇත්තේ විකාර ස්වරූපී වන්දනා කිරීමකි. අප වන්දනා කරන්නේ ඇයි? කුමක් සඳහා වඳින්නේ ද? යන්න දැනගෙන ඉන්නේ කී දෙනෙක් ද?

මුලින්ම ඇති වූ වචනය නමො යන්නයි. එය සඳහන් කළේ සාතාගිරි යක්‍ෂයා විසිනි. මොහු යක්‍ෂ සමාගමට යෑමට අහසින් ගමන් කරන අතර ජය ශ්‍රී මහා බෝධිය උඩින් යෑමට පිටත් විය. එහෙත් බුදුරජාණන් වහන්සේට ඉහළින් කිසිම අයෙකුට මේ ලෝකයේ ගමන් කළ නොහැකිය. එය ධර්මතාවයකි. මේ අනුව යක්‍ෂයා තුන් වතාවක් උත්සාහ කළද නොහැකි විය. අනතුරුව බෝධි මූලයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක ‘නරමා’ කියා වන්දනා කළහ. එහි අර්ථය නම් ‘න’ යන්නෙන් කියවෙනුයේ නපුර හෙවත් නරකයෙන්, පාපයෙන් වැළකීමයි. ‘මො’ මොක් පුරට, නිවන් පුරට පමුණුවන අර්ථයෙන් මොක්‍ෂය හෙවත් දුකෙන් මිදීම යන අර්ථයෙන් නමෝ කියා බැඳීමයි. ඒ අනුව දුකෙන් මිදීම සඳහා නමස්කාර කරමියි වැඳිය යුතු ය.

දෙවන වචනය ‘තස්ස’ යන්නයි. එය ප්‍රකාශ කළේ රාහු අසුරේන්ද්‍රයා විසිනි. සුමේධ තාපස කාලයේ පටන් බුද්ධත්වය ලබන තෙක් අති දීර්ඝ කාලයක් සියලු සතුන්වෙත පතළ මහා කරුණාවෙන් කටයුතු කිරීම සළකා එසේම අසුරේන්ද්‍රයාට දහම් දෙසීම තුළින් බුදුරදුන් කෙරෙහි පැහැදී ‘තස්ස’ යන වචනයෙන් වැන්දාහ. එහි තේරුම සර්ව සත්වයන්ට මොක්සුව ලබාදෙන උන්වහන්සේට නමස්කාර වේවා යනුවෙනි.

තෙවන වචනය ‘භගවතෝ’ යන්නයි. මෙයට අර්ථ රාශියක් භාවිතා කෙරෙත්. මේ සියල්ලම කෙටි කර ගැනීමෙන් ‘භාග්‍ය’ යන අර්ථය ගැනේ. ධනය, ඤාණය, යස, කීර්ති, වර්ණ, සීල, සමාධි, ප්‍රඥා, ගුණ යන සියල්ලෙන් සම්පූර්ණ වූ හෙයින්ද උන්වහන්සේ දැන ගත් සියලු ධර්මය බෙදා වෙන්කිරීමට සමත් වූ බැවින් ද සංසාර ගමන දුරු කළ බැවින්ද භගවතො යනුවෙන් සතර වරම් දෙවිවරු බෝධි මූලයේ දී දස මාරපරාජය අවස්ථාවේදී වන්දනා කළහ.

සිව්වන පදය වනුයේ “අරහතො” යන්නයි. මෙයින්ද අදහස් කීපයක් දැක්වේ. ‘අර’ යනු කෙලෙස් ‘හතො’ යනු සිඳීමය. කෙලෙස් නැසීම, සසර බැම් සිඳීම, ඉපදීම නැති කිරීම පිදීමට සුදුස්සෙකු වීම වැඳුම් පිඳුම් ලැබීමට සුදුසුවීම, දෙවියන් සහිත සියල්ලන්ගේ පුද පූජාවන්ට යෝග්‍ය වූ නිසාද ‘අරහතො’ යනුවෙන් සඳහන් කළහ. ආර්යන් විසින් පළඳින ධජය හෙවත් අරහත් චීවරය දැරීමට සුදුසු නිසා ශක්‍ර දේවේන්ද්‍රයා බෝධි මූලයට පැමිණ වන්දනා කළහ.

සම්මා සම්බුදු පදවියට පත් වී ලෝක සත්වයා වෙත පතළ මහා කරුණාවෙන් ධර්මය දේශනා අවස්ථාවේදී ලෝක සත්ත්වයා කෙලෙස් රජස් වලින් ආකූලව ව්‍යාකූලව සිටින අයුරු දැක ධර්මය දෙසම්ද එය අවබෝධ කිරීම දුෂ්කර යැයි සිතීය. මෙය නුවණින් දුටු සහම්පුති මහා බ්‍රහ්මයා දිගු කළ අතක් වකුටු කරන්නා සේ වකුටු කළ අතක් දිගු කරන්නාසේ බ්‍රහ්ම ලෝකයෙන් චුතව බෝමැඩ වෙත පැමිණ දොහොත් මුදුන් දී මෙසේ ප්‍රකාශ කළහ.

පරරාජ දේශ රහිතව තමාගේ නුවණින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සිටින ඔබතුමා එම ධර්මය ලෝකයාගේ යහපත සඳහා දේශනා කරනු මැනව “සම්මා සම්බුද්ධස්ස” යනුවෙන් නමස්කාර කළහ. මෙසේ බලන විට ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් පස්දෙනෙක් අර්ථ රාශියක් ගැබ්වන ලෙස ප්‍රකාශ කළ පාඨක නමස්කාර පාඨය ලෙස එදින පටන් පිළිගෙන තිබෙන උතුම් පාඨයක් මෙය අර්ථ දැනගෙන වන්දනා කරණුයේ නම් සියලු යක්‍ෂ රෝග, සියලු පීඩා, ග්‍රහබලවේග අපල යන කිසිවක් ඇති නොවේ. නමස්කාර පාඨය නිවන් මඟට පිවිසෙන ප්‍රධාන මාර්ගය වේ. මේ ගැන ඔබත් සිතා බලන්න. වඳින්න, කෙලෙස් දිනන්න. සසර ජය ගන්න.

තිසරණ සරණයි.
කේ. සීලාලංකාර හිමි via Facebook Pages http://ift.tt/1GMS4Lf