New photo from Facebook May 11, 2016 at 03:00PM

හිත සැප ගෙනදෙන කටයුත්තක් පැමිණි කල්හි මට ප්‍රයෝජන පිණිස වන්නේයයි සිතා පුරුෂතෙම භූගත ජලය හමුවන මට්ටම තෙක් පොළොව ගැඹුරට හාරා නිධානයක් පිහිටුවයි.

සතුරන් විසින් සොරෙක් , අපරාධකාරයෙක් යැයි චෝදනා කරන කල්හි මට රජුන්ගෙන් මිදීම පිණිසද සොරුන් විසින් පෙලන ලද මට සොරුන්ගෙන් මිදීම පිණිසද ණයවූ මට ඒ ණයෙන් මිදීම පිණිසද දුර්භික්ෂ කාලයෙහි හෝ හිරිහැර විපත් ඇති කල්හි ප්‍රයෝයජනයට ගැනීම පිණිස ලෝකයේ රන්, රුවන්, ධනය නිධන් කරනු ලැබේ.

භූගත ජලය හමුවන මට්ටම තෙක් පොළොව ගැඹුරට හාරා මනාකොට පිහිටුවන ලද්දා වුවද , ඒ නිධානය හැම කල්හිම එසේ ඔහුට හිත සුව පිණිස නොවේ.

ඒ නිධානය තිබූ තැනින් පහවන්නේ හෝ වේ. නිධන් කල තැන පිලිබදව ඔහුගේ සංඥාව හෝ මුළාවන්නේය. නාගයෝ හෝ එය ඉවත් කරන්නේය. යකෙකු හෝ එය හැරගෙන යන්නෝය.

අප්‍රිය උරුමක්කාරයෝ ඔහුට හොරෙන් ඒ නිධානය ගොඩ ගැනීමට පුළුවන. යම්කලෙක පින් ගෙවේද එකල්හි මේ නිධන්ගත වස්තුව වැනසේ.

යම් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු විසින් දානයෙන්ද, සීලයෙන් හෝ සිත එකග කරවන සාමාධියෙන් හෝ කෙලෙස් නසන ප්‍රඥා භාවනා කරනවා නම් මනා සේ නිධානයක් තැන්පත් කළා වෙනවා.

චෛත්‍යයෙහි, සංඝයා විෂයයෙහි යම් පුද්ගලයෙකු කෙරෙහි අමුත්තන් කෙරෙහි මව කෙරෙහි පියා කෙරෙහි සහෝදර සහෝදරිය කෙරෙහි හෝ දානමානාදී වශයෙන් හෝ පුණ්‍ය නිධානයෙක් මැනවින් පිහිටුවන ලැබුවා නම් ඒ නිධානය කාටවත් ගැනීමට නොහැකිය. පරලොව යන කල්හි ද විපාක දීම් වශයෙන්ද තමාගේ පසුපසින්ම එනවා. මරණ අවස්ථා වේදී රැස්කර ගත්ත භෞතික වස්තුන් අත්හැරලා ගියද මේ පුණ්‍ය නිධානය රැගෙන පරලොව යයි.

එය කළාහට විනා අනුනට සාධාරණ නොවන්නේද, යම් පුණ්‍ය නිධානයෙක් සොරුන් විසින් පැහැරගත හැකි නොවන්නේද නුවණැත්තන් විසින් තමන් අනුව යන පින් නිධන් කරන්නේය.

මේ පින් දෙවි මිනිසුනට සියලු කැමති දේ දෙන නිධානයයි. යමක් ඔහු පතත්ද ඒ සියල්ල මේ පුණ්‍ය නිධාන හේතුවෙන් ලැබේ.

උපනුපන් තැන මනා පැහැති බව මනා කටහඬ ඇති බව මනා සටහන් හා මනා සිරුර ඇති බව අධිපති බව හා පිරිවර යන සියල්ල මේ පුණ්‍ය නිධාන හේතුවෙන් ලැබේ.

ප්‍රදේශ රජ බවද ද්විපාධිපති බවද ප්‍රියවූ සක්විති සැපද දෙවියන් අතරෙහි දෙව්රජ බවද යන සියල්ල මේ පින් හේතුවෙන් ලැබේ.

යම් මානුෂික සම්පතක්වේද, දෙව්ලොව යම් සැපයක් හෝ සැප සහගත වස්තුවක් වේද යම් නිවන් සැපතක් වේද, ඒ සියල්ල මේ පින් හේතුවෙන් ලැබේ.

කල්‍යාන මිත්‍ර සම්පත්තිය නිසා නිසි පරිදි භාවනාවේ යෙදෙන්නහුට පුබ්බේනිවාසානුස්සති ඥානය ,ත්‍රිවිද්‍යා ද, අෂ්ඨ සමාපත්ති, නිර්වාණ ධර්ම සංඛායත විමුක්තීන්හි වශී බවද යන සියල්ල මේ පුණ්‍ය නිධානය නිසා ලැබේ.

නිධිකණ්ඩ සුත්‍රය – ඛුද්දක පාඨ – ඛුද්දක නිකාය via Facebook Pages http://ift.tt/1GMS4Lf