New photo from Facebook August 02, 2016 at 09:26AM

පන්සිල් සුරැකීමේ අනුසස්

තෙරුවන් සරණ ගිය බෞද්ධයාගේ නිත්‍යශීලය පඤ්චශීලයයි. අංග පහින් යුත් ශීලය පඤ්චශීලය හෙවත් පන්සිල් නම් වේ.

පන්සිල් රැකිය යුත්තේ කුමක් නිසාද?

බුදුරජාණන් වහන්සේ පිහිට කර ගත් ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි කර්ම කර්මඵල පිළිබඳ විශ්වාසය ඇති කරගනියි. චේතනාත්මක ව අප කයින් කරන වචනයෙන් කියන සිතින් සිතන දේ කර්මය යි. ඒ අනුව කර්මය, කායකර්ම , වචීකර්ම, මනෝකර්ම වශයෙන් ත්‍රිවිධ වේ. චේතනාත්මක ව සිදු කරන හොඳ (කුසල) නරක (අකුසල) කර්ම අනුව ඊට අනුරූප වන විපාකයක් (ප්‍රතිඵලයක්) ජනිත වීම කර්ම නියාමය යි. කෙනෙකු සිදු කරන කර්මවලින් ඇතැම් කොටසක් මේ ජීවිතයෙහි දීම විපාක දෙන අතර එයට ‘දිට්ඨධම්මවේදනීය කර්මය’ යයි කියනු ලැබේ.

කෙනෙකු සිදු කරන කර්මවලින් තවත් කොටසක් අනතුරු ජීවිතයෙහි දී විපාක දෙන අතර එයට ‘උපපජ්ජවේදනීය කර්ම’ ය යි කියනු ලැබේ.කෙනෙකු සිදු කරන කර්මවලින් තවත් කොටසක් මතු දෙවන ජීවිතයෙහි පටන් පරිනිර්වාණය දක්වා විපාක දෙන අතර එයට ‘අපරාපරියවේදනීය කර්ම’ ය යි කියනු ලැබේ. ඒ අනුව චේතනාත්මක ව සිදු කරන කුසල අකුසල කර්ම වඳ නො වන බවත් අවස්ථාවලත් කල්හි විපාක දෙන බවත් ධර්මයට අනුව පැහැදිලිය. එනිසා කයින් වචනයෙන් දුශ්චරිතයන්හි යෙදෙන්නවුන්ට අවස්ථානුකූ®ල ව එහි දුක් විපාක ලැබෙන බැවින් එම දුශ්චරිතයන්ගෙන් වැළකීම මෙලොව පරලොව දෙලොව සැප ලැබෙන මඟක් වේ.

සතුන් මැරීමාදි දුශ්චරිතවලින් වැළකිය යුත්තේ ඒ නිසාය.එසේම නිවන්මඟ වන ආර්යෂ්ටාංගික මාර්ගයෙහි පදනම ද ශීලයයි. එනිසා මෙලොව පරලොව දුක් අකමැති ලෞකික ලෝකෝත්තර සැප කැමති සත්පුරුෂයෝ දුශ්චරිත දුරු කොට සිල්වත් ජීවිතයක් ගත කළ යුත්තාහ. පන්සිල්හි අන්තර්ගතවන සංවරය , ධර්මානුකුªලව මෙන්ම ලෝක සම්මතය අනුවද ඇති කර ගන්නා මුලික හා අවම සංවරයයි. මෙම සංවරයෙන් තොර වුවෝ ධාර්මිකලෝකයා අතරද පිළිකුල් කටයුතු වෙති.

පන්සිල් වනාහි කයින් සහ වචනයෙන් සිදු වන මෙම දුශ්චරිත පසෙන් වැළකීමයි. එනම්

1. පරපණ නැසීමෙන් වැළකීම (පාණාතිපාතා වේරමණී)
2. නුදුන් දේ සොරා ගැනීමෙන් වැළකීම (අදින්නාදානා වේරමණී)
3. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම (කාමේසු මිච්ඡාචාරා වේරමණී)
4. බොරු කීමෙන් වැළකීම (මුසාවාදා වේරමණී)
5. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම (සුරාමේරයමජ්ජපමාදට්ඨානා වෙරමණී)

මෙම දුශ්චරිත පසෙන් වැළකීම පඤ්චශීලයයි. පන්සිල් හොඳින් රැකීමට නම්, මෙම දුශ්චරිත සිදුවන අයුරු ද වටහා ගත යුතුය.ඒ මෙසේයි.

1. ප්‍රාණඝාතය (පරපණ නැසීම) සිදු වන අයුරු

1. පණ ඇති සතෙකු වීම
2. පණ ඇති සතෙකු බව දැනීම
3. මරණ චේතනාව
4. මරණ උපක්‍රමය
5. එම උපක්‍රමයෙන් මරණය සිදුවීම

ප්‍රාණඝාතයක් සිදුවීමට මෙම කරුණු පහ සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් ප්‍රාණඝාතයක් සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

2. අදත්තාදානය (සොරකම ) සිදු වන අයුරු

1. අන්සතු වස්තුවක් වීම
2. අන්සතු වස්තුවක් බව දැනීම
3. සොරා ගැනීමේ චේතනාව
4. සොරකම් කිරීමේ උපක්‍රමය
5. තිබූ තැනින් වෙනස් කිරීම හෙවත් ගැනීම

සොරකමක් සිදුවීමට මෙම කරුණු පහ සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් සොරකමක් සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

3. කාම මිථ්‍යාචාරය (කාමයන්හි වරදවා හැසිරීම) සිදුවන අයුරු

1. සේවනය නො කළ යුතු පුද්ගලයෙකු වීම (ස්ත්‍රී /පුරුෂ)
2. වරදවා හැසිරීමේ චේතනාව
3. වරදවා හැසිරීමේ උත්සාහය
4. ආස්වාදය ඉවසීම හෙවත් සේවනය

කාමයන්හි වරදවා හැසිරීමට මෙම කරුණු සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් කාමයන්හි වරදවා හැසිරීමක් සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

4. මුසාවාදය (බොරු කීම) සිදු වන අයුරු

1. කියන කරුණු බොරු අසත්‍යයන් වීම
2. අන්‍යයන් රැවටීමේ චේතනාව
3. එය ඇඟවීම
4. එයින් අසන්නා මුළාවීම

බොරුකීම සඳහා මෙම කරුණු සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් බොරු කීමක් සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

5. සුරා පානය සිදු වන අයුරු

1. සුරා ආදි මත්ද්‍රව්‍යයක් වීම
2. මත්ද්‍රව්‍ය ගැනීමේ චේතනාව
3. ඒ සඳහා උත්සාහ කිරීම
4. මත්ද්‍රව්‍ය ශරීරගත වීම

මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මෙම කරුණු සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් සුරා ආදි මත්ද්‍රව්‍ය භාවිතයක් සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

මෙම දුශ්චරිතයන්ගෙන් වැළකුණු තෙරුවන් සරණ ගිය උපාසකයා සිල්වතෙක් වේ. බොහෝ දෙනෙකු යහපත්දෙයක් හෝ අයහපත් දෙයක් කිරීමට උත්සාහවත් වන්නේ ඉන් තමාට ලැබෙන ප්‍රයොජන සලකා ගෙනය. සිල්වත් ජීවිතයක් ගත කරන්නෙකුට එයින් බොහෝ ආනිසංස ලබා ගත හැකි වෙතත් වැඩිදෙනෙක් එම ආනිසංස නො දන්නා බැවින් සිල්වත් ජීවිතයක් ගත කිරීමට උනන්දු නො වෙති. සිල්වත් ජීවිතයක් ගත කරන්නෙකුට පහත සඳහන් ආනිසංස ලැබෙන බව දීඝනිකායේ මහාපරිනිබ්බාණ සූත්‍රයෙහි සඳහන් වේ.

1. සිල්වත් ශ්‍රාවකයා නො පමා බව නිසා බොහෝ භෝග ලබයි.
2. සිල්වත් ශ්‍රාවකයා පිළිබඳ වූ කීර්තිරාවයක් උස්ව නැඟේ
3. සිල්වත් ශ්‍රාවකයා යම් පිරිසක් වෙත එළඹෙද හෙතෙම විශාරදව ම එළඹෙයි.
4. සිල්වත් ශ්‍රාවකයා සිහි මුළා නොවී කලුරිය කරයි
5. සිල්වත් ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමී වෙයි.

තවද පන්සිල් රකින්නා වූ ශ්‍රාවකයාට වෙන වෙන ම ලැබෙන ආනිසංස මෙසේය.

* සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස

ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම
ජව සම්පත්තියෙන් යුක්ත වීම
මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම
රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම
මුදු මොළොක් සිරුරක් ලැබීම
පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම
සූර වීර ගති ඇත්තෙකු වීම
මහා බලවන්තයෙකු වීම
නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම
කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම
පහ කළ දොස් ඇත්තෙකු වීම
කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම
තැති නොගත් කෙනෙකු වීම
විනාශ නොකළ හැකි උතුමෙකු වීම
පර උපක්‍රමවලින් අකල් මරණයට පත් නොවීම
අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව
සුරූපී පුද්ගලයෙකු වීම
මනා සටහන් ඇත්තෙකු වීම
අල්ප ආබාධ ඇත්තෙකු වීම
‍ශෝක නොකරන්නෙකු වීම
ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම
දීර්ඝායුෂ ලැබීම
මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම

* අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස

මහා ධනවතෙකු වීම
බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම
අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම
නූපන් වස්තු උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තෙකු වීම
ඇත්තා වූ භෝග රැකගැනීමේ වාසනාව
කැමති වස්තූන් වහා ලබන්නෙකු වීම
රාජ,සොර,ගිනි,ජල ආදියෙන් විනාශ කල නොහැකි වස්තුව ඇති වීම
සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම
ලෝකයේ උත්තමයෙකු බවට පත්වීම
නැත යන වචනය දන්නෙකුවත් නොවීම
සැප විහරණ ඇත්තෙකු වීම

* කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස

සතුරන් නැත්තෙකු වීම
සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම
ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම
සැපසේ නින්ද යාම
සැපසේ පිබිදීම
අපාය භය නැත්තෙකු වීම
නපුංසක,උභතෝ,ඛ්‍යඤ්ජනක තත්ව වලට පත් නොවීම
ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම
ඒ ඒ දෙය පරික්ෂෘ කොට කරන්නෙකු වීම
කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම)
සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම
ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම
පිරිපුන් ඉදුරන් ඇති බව
පිරිපුන් ලක්ෂණ ඇති බව
සැක නැති පුද්ගලයෙකු වීම
මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම
සැප විහරණ ඇත්තෙකු වීම
කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම
ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම

* මුසා බස් නොපැවසීමේ ආනිශංස

අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම
මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම
සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම
අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම
අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම
අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම
සැප ස්පර්ශ ඇත්තෙකු වීම
දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම
සුවච කීකරු පරිවාර ජනයා ඇති බව
විශ්වාස කළයුතු වචන ඇත්තෙකු වීම
නෙඵම් පෙත්තක් බුදු වූ මෘදු වූ රත්පැහැ දිවක් ලබන්නෙකු වීම
උඩගු නොවන බව
චපල අදහස්,ක්‍රියා නැත්තෙකු වීම

* මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස

ත=න් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව
සෑම කල්හිම එලඹ සිටි සිහි ඇත්තෙකු වීම
උම්මත්තක නොවී ඉපදීම
ඥානවන්තයෙකු වීම
අලස නොවීම
නොහික්මුණු ක්‍රියා නොකිරීම
කෙළතොලු නොවීම
තරුණ මදයෙන් ආදී මත්වුණු ස්වභාවයක් නැති බව
අප්‍රමාදී විහරණ ඇත්තෙකු වීම
මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම
තැති ගැනීම් නැත්තෙකු වීම
එකට එක නොකිරීම
ඊර්ෂියා නොකරන බව
සත්‍ය වචන කතාකරන්නෙකු වීම
කේළාම්,පරුෂ,හිස්, වචන කථාකරන්නෙකු නොවීම
අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම
කළගුණ දන්නෙකු වීම
කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නෙකු වීම
මසුරු මල ධර්ම නැත්තෙකු වීම
ත්‍යාගවන්තයෙකු වීම
මහා සිල්වතෙකු වීම
ඍජු ගති පැවතුම් ඇත්තෙකු වීම
ක්‍රෝධ නොකරන සත්පුරුෂයෙකු වීම
පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවත් අයෙකු වීම
පව් කිරීමට බිය ඇත්තෙකු වීම
ඍජු අදහස් ඇත්තෙකු වීම
මහා ප්‍රඥාවන්තයෙකු වීම
මහා චිත්ත ශක්තියක් ඇති නුවණැත්තෙකු වීම
දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම
අර්ථය අනර්ථය වැටහෙන හසල බුද්ධියක් ඇතිබව via Facebook Pages http://ift.tt/1GMS4Lf