New photo from Facebook October 02, 2016 at 12:00PM

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

චෝදිනා දේවදූතේහි යේ පමජ්ජන්ති මානවා
තේ දීඝරත්තං සෝචන්නි හීනකායුපගා නරා

දේවදූතයන් විසින් මෙහෙයවනු ලබන යම් කෙනෙක් කුසල් කිරීමෙහි ප්‍රමාද වෙත් ද ඔවුහු අපායා දී හීන ගතිවලට පැමිණ දීර්ඝ කාලයක් ශෝක කෙරෙති යනු ඉහත සඳහන් ගාථාවේ අදහසයි.

දේවදූත සූත්‍රය හැඳින්වීම

දේවදූත සූත්‍රයෙන් කුසාලකුශලකර්ම පිළිබඳවත්, ඒවායේ කර්ම විපාක පිළිබඳවත්, පවුකරන්නාට මතුවට සිදුවන නිරාදුක් පිළිබඳවත්, විග්‍රහ කෙරේ. මේ සූත්‍රය මගින් පවෙහි විපාක දක්වා, එහි බිය උපදවා, රටවැසියා පාපයෙන් වළක්වා ගැනීම අපේක්‍ෂිත අරමුණ වේ.

බුදුරදුන් ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයේ භික්ෂූන් අමතා කළ ධර්ම දේශනාවකි. දොර සහිත වූ ගෙවල් දෙකක් යම්සේ පිහිටා තිබේද? ඇස් ඇති මිනිසෙක් එහි මැද සිටිනා විට ගෙට පිවිසෙන්නා වූද, ගෙයින් නික්මෙන්නා වූද ගෙහි ඇවිදිනා, ඔබමොබ හැසිරෙන මිනිසුන් දකියිද? එපරිදි බුදුරදුන්ද මිනිසැස ඉක්මවා සිටි, දිවැසින් මියයන, උපදින, හීන ප්‍රණීත සුවර්ණ දුර්වණ ඇති සත්වයන් දකින ශක්තිය ඇති බව දේවදූත සූත්‍රය ආරම්භ කරමින් බුදුරදුන් වදාළ බව සඳහන් වේ.

බුදුරදුන්ට දිවැස් ඇති නිසා චුතවන, උපදින, කම් වූ පරිදි මිය යන, සත්ත්වයන් දක්නා බවත්, කාය, වාග්, මනෝ, දුශ්චරිතයෙන් යුතු පුද්ගලයන් මරණින්මතු නරක, තිරිසන්, පේ‍්‍රත ලෝකවල උපදින බවත්,දේශනා කර නිරයට පැමිණෙන පුද්ගලයන් යමරජතුමා

1. උඩුකුරුව සයනය කරන ළදරුවා
2. මහලු වී දුක්විඳින පුද්ගලයා
3. රෝගාබාධ වැළඳී මළ මුත්‍රවැකී අප්‍රමාණ දුක් විඳින්නා.
4. රාජ අපරාධ සිදුකර දෙතිස් වධ විඳින්නා.
5. මිය ගොස් දින දෙකක්, තුන්ක ඉකුත් වු ඉදිමී නිල්ව සැරව වහනය වන මළ සිරුර

යන දේවදූතයන් පස්දෙනා දැක, ඒවායින් වැළකීම සඳහා තිදොරින් කුසල් නොකිරීමේ වරදට,පුද්ගලයාම වගකිව යුතු බව පවසා ඔහුට අපාදුක් පමුණුවන ආකාරය විස්තර වේ.
මේ අනුව දේවදූත සූත්‍රයෙන් යම රජු හා අපාය පිළිබඳ විස්තරයෙන් ජනතාව පිනට දහමට පොළඹවයි. පවෙහි ආදීනව පවසා ඒ කෙරෙහි බිය ජනිත කර ලක්වැසියා පවින් වැළැක්වීම අරමුණු කරගෙන තිබේ.
………………………………………

දේවදූත සූත්‍රය -> http://ift.tt/2cJLEDk
261
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, ජේතවන නම් අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි, භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැයි’ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්ද, එහි ඇස් ඇති පුරුෂයෙක් මැද සිටියේ ගෙට ඇතුල් වන්නාවූද, ගෙයින් පිට වන්නාවූද, හැසිරෙන්නාවූද, ඔබ මොබ යන්නාවූද, මිනිසුන් දක්නේද, මහණෙනි, එපරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, සුගතිවලට පැමිණියාවූද, දුගතිවලට පැමිණියාවූද, කර්මයවූ පරිදි පැමිණියාවූ සත්වයන් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිවැසින් දකිමි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාක් සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනො සුචරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්ට පරිභව නොකළාහුය. සම්‍යක් දෘෂ්ටි වූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපන්නාහුය. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහුය. වාක් සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්හට පරිභව නොකරන්නාහුය. සම්‍යක් දෘෂ්ටික වූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු මිනිසුන් අතර උපන්නාහුය.
“ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්හට පරිභව කරන්නාහුය. මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. මිථ්‍යා දෘෂ්ටි වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපන්නාහුය. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්හට පරිභව කරන්නාහුය. මිථ්‍යා දෘෂ්ටික වූවාහුය. මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නිරයෙහි උපන්නාහුය.
262
“මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු නොයෙක් ලෙස අත්වලින් අල්වාගෙණ ‘දේවයන් වහන්ස, මේ පුරුෂයා මවට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. පියාට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. උතුමන් නොහඳුනන්නෙක. කුලදෙටුවන් නොපුදන්නෙක,” “ළදරුවෙකු නුදුටුවෙහිද?” “හෙතෙම ස්වාමීනි, දුටුවෙමීයි’ කියයි.
‘මහණෙනි, යම රජතෙම ඔහුට මෙසේ කියන්නේය. එම්බා පුරුෂය, නුවණැත්තාවූ මහලුවූ ඒ නුඹට මේ අදහස ඇති නොවීද? මමත් ජාතිය ස්වභාවකොට ඇත්තේ වෙමි. ජාතිය නොඉක්ම වූවෙමි. එබැවින් කයින්ද වචනයෙන්ද සිතින් කුසල් කරමි. යන මේ අදහස ඇති නොවීද?’ හෙතෙම ‘ස්වාමීනි, කුසල් කරන්නට නොහැකිවීමි. වහන්ස, පමාවූයෙමියි’ කියයි. ඔහුට යම රජතෙම ‘එම්බා පුරුෂය, පමාවූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් නොකෙළෙහිද? එම්බා පුරුෂය, පමාවූවහුට යම්සේ කෙරේද? තට එසේ කරන්නෙමි. තාගේ ඒ මේ පාප කර්මය මව විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැඟනිය විසින් නොකරණ ලද්දේය. යහළු මිත්‍රයන් විසින් නොකරණ ලද්දේය. සහලේ නෑයන් විසින් නොකරණ ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණ ලද්දේය. දෙවියන් විසින් නොකරණ ලද්දේය. තා විසින්ම මේ පාප කර්මය කරණ ලද්දේය. මේ පාප කර්මයට විපාකය තෝම විඳින් නෙහියයි කියන්නේය.”
263
“මහණෙනි, යමරජතෙම මේ පළමුවෙනි දේවදූතයා දක්වා කරුණු සහිතව පිළිගන්වා තර්ජනය කොට දෙවැනි දේවදූතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය. ‘එම්බා පුරුෂය, මනුෂ්‍යයන් අතරෙහි පහළවූ දෙවෙනි දේව දූතයා තෝ නුදුටුවෙහිද?” හෙතෙම ‘ස්වාමීනි, නුදුටිමියි’ කියන්නේය. ඔහුට යමරජතෙම ‘එම්බා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි උත්පත්තියෙන් අසූ වයස් ගියාවූ, හෝ අනූ වයස් ගියාවූ හෝ අවුරුදු සියයක් ඉක්ම ගියාවූ හෝ ජරාජීර්ණවූ ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිඳුනු සැරයටිය පිහිට කොට ඇති, වෙවුලමින් හැසිරෙන්නාවූ, ජරාවෙන් ආතුරවූ ඉක්මගිය තරුණකම් ඇති, වැටුණු දත් ඇති, පැසුණු හිසකෙහෙ ඇති, ඉගිලීගිය හිසකෙහෙ ඇති, බොහෝසේ ඉගිලීගිය හිසකෙහෙ ඇති, රැළිනැඟුණ සම ඇති, තල කැලලින් යුත් සිරුරැති, ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිද?’ හෙතෙම, ‘ස්වාමීනි, දුටුවෙමියි, කියයි.’
“මහණෙනි, යම රජ තෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි ඒ තොපට මමත් ජරාව ස්වභාවකොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවූයේ වෙමි. එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් කුසල් කරන්නෙම් නම් යහපති යන අදහස ඇති නොවීද?’ හෙතෙම ස්වාමීනි, ‘කුසල් කරන්නට නොහැකිවීමි. ස්වාමීනි, පමාවීමියි’ කියන්නේය. මහණෙනි, යමරජ තෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බා පුරුෂය තෝ පමාවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් කුසල් නොකෙළෙහි නම් එම්බා පුරුෂය, යම්සේ පමාවූවහුට යම්සේද තට එසේ කරන්නාහුය. තාගේ ඒ මේ පාපකර්මය මව විසින් නොකරණලදී. පියා විසින් නොකරණලදී. සහෝදරයා විසින් නොකරණලදී. නැගණිය විසින් නොකරණ ලදී. යහළු මිත්‍රයන් විසින් නොකරණ ලදී. සහ ලේ නෑයන් විසින් නොකරණලදී. මහණ බමුණන් විසින් නොකරණලදී. දෙවියන් විසින් නොකරණලදී. මේ පාප කර්මය තා විසින්ම කරණ ලද්දේය. ඒ අකුසලයාගේ විපාකය තෝම විඳිනෙහිය.’
264
“මහණෙනි, යම රජ තෙම මේ දෙවෙනි දේවදූතයා දක්වා පිළිගන්වා කියා තුන්වන දේවදූතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය. ‘එම්බා පුරුෂය, නුඹ මිනිසුන් අතරෙහි පහළවූ තුන්වන දෙවදූතයා නුදුටුවෙහිද?’ හෙතෙම ‘ස්වාමීනි, නුදුටිමියි’ කියායි. මහණෙනි, මොහුට යම රජ තෙම එම්බා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි රෝග ඇත්තාවූ, දුකට පත්වූ, දැඩි ගිලන් ඇත්තාවූ, ස්වකීය මළ මුත්‍ර මතුයෙහි සයනය කරණ අනුන් විසින් නැගිටුවනු ලබන්නාවූ, අනුන් විසින් හොවනු ලබන්නාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිදැයි’ අසන්නේය. ‘ස්වාමීනි, දුටුවෙමියි’ කියයි. මහණෙනි, ඔහුට යම රජතෙම ‘එම්බා පුරුෂය, නුවණැත්තාවූ වැඩි වයසට පැමිණියාවූ ඒ නුඹට මමත් ලෙඩවීම ස්වභාව කොට ඇත්තේ වෙමි, ලෙඩවීම නොඉක්මවූයේ වෙමි. එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් කුසලයක් කරමි කියා අදහස් නොවූයෙහිදැයි’ අසන්නේය. හෙතෙම ‘ස්වාමීනි, කුසල් කරන්නට නොහැකිවීමි. ස්වාමීනි, පමාවීමියි’ කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට එම්බා පුරුෂය, පමාවූ බැවින් කයින්, වචනයෙන් සිතින් කුසලයක් නොකෙළෙහි නම් එම්බා පුරුෂය, පමා වූවහුට යම්සේ කෙරෙත්ද, එසේ තට කරන්නාහුය. තගේ ඒ මේ පාපකර්මය මව විසින් කරණ ලද්දක් නොවෙයි. පියා විසින් කරණ ලද්දක් නොවෙයි සහෝදරයා විසින් කරණ ලද්දක් නොවෙයි, නැගණිය විසින් කරණ ලද්දක් නොවෙයි. යහළු මිත්‍රයන් විසින් කරණ ලද්දක් නොවෙයි. සහලේ නෑයන් විසින් කරණ ලද්දක් නොවෙයි. මහණ බමුණන් විසින් කරණ ලද්දක් නොවෙයි. දෙවියන් විසින් කරණ ලද්දක් නොවෙයි. තා විසින් ඒ පාප කර්මය කරණ ලදී. ඒ පාප කර්මයාගේ විපාකය තෝම විඳිනෙහිය.’
265
“මහණෙනි, යම රජ ඔහුට මේ තුන්වන දේවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියා සිව්වන දේවදූතයා දක්වයි. පිළිගන්වයි. කරුණු කියයි. ‘එම්බා පුරුෂය, නුඹ මිනිසුන් අතරෙහි පහළවූ සිව්වන දේවදූතයා නුදුටුවෙහිද?’ හෙතෙම ස්වාමීනි, නොදුටිමි’ යි කියයි. ‘මහණෙනි, යම රජ තෙම ඔහුට ‘එම්බා පුරුෂය, මිනිසුන් අතරෙහි අල්වාගෙණ රජුන් විසින් නොයෙක් දඬුවම් කරවන්නාවූ අපරාධ කළ සොරුන් නුදුටුවෙහිද? එනම්: කසවලින් තැලුම් කන්නවුන්, වේවැල්වලින් තැලුම් කන්නවුන්, මුගුරුවලින් තැලුම් කන්නවුන්, අත් කප්පවන්නවුන්, පා කප්පවන්නවුන්, අත් පා කප්පවන්නවුන්, කණ කප්පවන්නවුන්, නාසය කප්පවන්නවුන්, කණ් නාසා කප්පවන්නවුන්, බිලංගථාලික නම් කර්මය කරනු ලබන්නවුන්, සඩ්ඛමුණ්ඩික නම් කර්මය කරනු ලබන්නවුන්, රාහුමුඛ නම් කර්මය කරනු ලබන්නවුන්, ජෝතිමාලික නම් කර්මය කරනු ලබන්නවුන්, හත්ථපජ්ජොතික නම් කර්මය කරනු ලබන්නවුන්, එරකවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, චීරකවාසික නම් කර්මය කරනු ලබන්නවුන්, ඒණ්‍යෙක නම් කර්මය කරනු ලබන්නවුන්, බලිසමංසික නම් කර්මය කරනු ලබන්නවුන්, කහාපණක නම් කර්මය කරනු ලබන්නවුන්, ඛාරාපතච්ඡික නම් කර්මය කරනු ලබන්නවුන්, පලිඝපරිවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, පලාලපිට්ඨික නම් කර්මය කරනු ලබන්නවුන්, උණු කරණලද තෙල් ඉසිනු ලබන්නවුන්, සුනඛයන් ලවා කනු ලබන්නවුන්, ජීවත්ව සිටියදීම උල තබනු ලබන්නවුන්, කඩුවෙන් හිස කපනු ලබන්නවුන් දුටුවෙහිදැ’ යි අසන්නේය. හෙතෙම ‘ස්වාමීනි, දුටුවෙමි’ යි කියයි.
“මහණෙනි, යම රජ තෙම ඔහුට ‘එම්බා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි නුඹට යම් කෙනෙක් පාපකර්ම කෙරෙත් නම් ඒ සත්වයෝ මේ ආත්මභාවයෙහිම මෙබඳු කම් කටුලු කරවනු ලබත්. පරලොවදී කියනුම කිම? එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් යහපතක් කරමියි අදහස් නොවූයෙහිද, හෙතෙම ‘ස්වාමීනි, යහපතක් කරන්නට නොහැකිවීමි. ස්වාමීනි, පමාවීමි’යි කියයි. මහණෙනි, යම රජතෙම ඔහුට ‘පින්වත් පුරුෂය, තෝ පමාවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් කුසලයක් නොකෙළෙහි නම්, එම්බා පුරුෂය, පමා වූවහුට යම්සේ කෙරෙත්ද, එසේ තට වධ කරන්නාහුය. තගේ ඒ මේ පාප කර්මය මව විසින් කරන ලද්දක් නොවෙයි. පියා විසින් කරණ ලද්දක් නොවෙයි. සහෝදරයා විසින් කරණ ලද්දක් නොවෙයි. නැගණිය විසින් කරණ ලද්දක් නොවෙයි. යහළු මිත්‍රයන් විසින් කරණ ලද්දක් නොවෙයි. සහලේ නෑයන් විසින් කරණ ලද්දක් නොවෙයි. මහණ බමුණන් විසින් කරණ ලද්දක් නොවෙයි. දෙවියන් විසින් කරණ ලද්දක් නොවෙයි. තා විසින්ම ඒ පාප කර්මය කරණ ලද්දේය. ඒ පාප කර්මයාගේ විපාකය තෝම විඳිනෙහිය.
266
“මහණෙනි, යම රජතෙම, මේ සතරවැනි දේවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී පස්වැනි දේවදූතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කරුණු කියා දෙන්නේය. ‘එම්බා පුරුෂය, නුඹ මනුෂ්‍යයන් කෙරෙහි පහළවූ පස්වැනි දෙවදූතයා නුදුටුවෙහිද?’ හෙතෙම ‘ස්වාමීනි, නුදුටිමියි’ කියයි. මහණෙනි, යම රජතෙම ඔහුට ‘එම්බා පුරුෂයා, නුඹ මනුෂ්‍යයන් අතරෙහි මැරී එක දවසක් ගියාවූ හෝ මැරී දෙදවසක් ගියාවූ හෝ මැරී තුන් දවසක් ගියාවූ හෝ ඉදිමී ගියාවූ හෝ නිල්වූ හෝ ඕජාව වැහෙන්නාවූ හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයකු නුදුටුවෙහිදැ’යි අසන්නේය. ‘ස්වාමීනි, දුටිමි යි කියයි. ‘එම්බල පුරුෂය, නුවණැති වැඩිවයසට පැමිණි තට මමද මරණය ස්වභාවකොට ඇත්තෙමි. මරණය නොඉක්ම වූයෙමි. මම කයින්, වචනයෙන්, සිතින් කුසලක් කරන්නෙම් නම් යහපතැයි අදහස් නොවූයෙහිදැ’ යි අසන්නේය. හෙතෙම ‘ස්වාමීනි, නොහැකි විය. ප්‍රමාදයට පැමිණියෙමි’ යි කියයි. ‘එම්බා පුරුෂය, ප්‍රමාදය ඇතිවූ බැවින් නුඹ කයින්, වචනයෙන් සිතින් ඒකාන්තයෙන් කුසලයක් නොකෙළෙහි නම් ‘එම්බා පුරුෂය, පමා වූවහුට යම්සේ කරත් නම් තට එසේ කරන්නාහුය ඒ මේ පාප කර්මය තගේ මව විසින්ද නොකරණ ලදී. පියා විසින්ද නොකරණලදී. සොහොයුරු විසින්ද නොකරණලදී. නැගණිය විසින්ද නොකරණලදී. යහළු මිත්‍රයන් විසින්ද නොකරණ ලදී. සහලේ නෑයන් විසින්ද නොකරණලදී. මහණ බමුණන් විසින්ද නොකරණ ලදී. දෙවියන් විසින්ද නොකරණලදී. මේ පාප කර්මය තා විසින්ම කරණලදී. ඒ මේ පාප කර්මයාගේ විපාකය තෝ විඳින්නෙහිය.
267
මහණෙනි, යම රජ තෙම මේ පස්වෙනි දෙවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී නිශ්ශබ්දවෙයි.
“මහණෙනි, නිරය පාලයෝ ඔහුට පඤ්චවිධ බන්ධන නම් වධයක් කරත්. රත්වූ යකඩ හුලක් අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවෙනි අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවෙනි පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පපුව මැද ගසත්. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු ගිනිගත් යකඩ පොළොවෙහි නිදිකරවා කෙටේරිවලින් සසිත් හෙතෙම එහි දුක්වූ තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාප කර්මය කෙළවර නොවේද, ඒතාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු උඩුකුරුකොට හිස යටිකුරුකොට තබා වෑවලින් සසිත්. හෙතෙම එහි දුක්වූ තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, ඔහු නිරයපාලයෝ රථයක බැඳ ගිනිගෙන ඇවිලෙන්නාවූ දිළිසෙන්නාවූ ගිනිදැල් සහිත යකඩ පොළොවෙහි ඉදිරියට ගමන් කරවත්. පස්සටද ගමන් කරවත්. හෙතෙම එහි දුක්වූ, තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරයපාලයෝ ඔහු ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත මහත්වූ අඟුරු පර්වතයට ඇන ඇන නැංවීමද කරත්. බැස්සීමද කරත්. හෙතෙම එහි දුක්වූ තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරයපාලයෝ ඔහු පා උඩුකුරු කොට හිස යටිකුරු කොටගෙන ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත රත්වූ ලෝදිය සැලියෙක දමත්. හෙතෙම එහි පෙණ නගිමින් පැසෙන්නේ වරක උඩට එයි. වරක යටට යයි. වරක සරසට යයි. හෙතෙම දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙන්නේය.
“මහණෙනි, ඔහු නිරය පාලයෝ මහා නරකයෙහි බහත්. මහණෙනි, ඒ මහා නරකය වනාහි
[1] කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. කොටස් වශයෙන් ප්‍රමාණ කරණ ලද්දේය. යකඩ පවුරකින් වට කරණ ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.”
[2] ඒ මහා නිරයෙහි බිම යකඩයෙන්ම කරණලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. හැමකල්හි හාත්පස යොදුන් සියයක් ගින්න පැතිර සිටී.
268
“මහණෙනි, ඒ මහා නිරයෙහි නැගෙනහිර බිත්තියෙන් ගිනිදැල් නගී. බස්නාහිර බිත්තියෙහි හැපෙයි. බස්නාහිර බිත්තියෙන් ගිනිදැල් නැගී නැගෙණහිර බිත්තියෙහි හැපෙයි. උතුරුදිග බිත්තියෙන් ගිනිදැල් නැගී දකුණු භිත්තියෙහි හැපෙයි. දකුණු භිත්තියෙන් ගිනිදැල් නැගී උතුරු භිත්තියෙහි හැපෙයි. යටින් ගිනිදැල් නැගී මත්තෙහි හැපෙයි. උඩින් ගිනිදැල් නැගී යට හැපෙයි. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳියි. යම් තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙන්නේය.”
“මහණෙනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් යම්කිසි කලෙක ඒ මහා නිරයෙහි නැගෙනහිර දොරටුව විවෘතවේද, එබඳු කාලයක් වන්නේය එකල්හි හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද විශෙෂයෙන් දුම් දමත්. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම් හෙයකින් හෙතෙම නොයෙක් අවුරුදු දහසකින් ඒ සමීපයට පැමිණේද එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාප කර්මය කෙළවර වේද, ඒතාක් කල් නොමැරෙන්නේය.
“මහණෙනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් කිසිකලෙක් ඒ මහා නිරයාගේ බස්නාහිර දොරටුව විවෘතවේද, ඒ කාලය ඇත්තේමය. හෙතෙම ඒ දොර දිසාවට ශීඝ්‍රවේගයෙන් දුවයි. ශීඝ්‍රවේගයෙන් දුවන්නාවූ, ඔහුගේ සිවියද දවයි සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද වෙසෙසින් දවයි. නැඟු පියවර එසේම වෙයි. මහණෙනි, යම්හෙයකින් හෙතෙම අනේක වර්ෂ සහශ්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳීද, යම්තාක්කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක්කල් කාලක්‍රියා නොකෙරෙයි.”
“උතුරු දොරටුව විවෘතවේද, ඒ කාලය ඇත්තේමය. හෙතෙම ඒ දොර දිසාවට ශීඝ්‍රවේගයෙන් දුවයි. ශීඝ්‍රවේගයෙන් දුවන්නාවූ, ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද වෙසෙසින් දවයි. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම්හෙයකින් හෙතෙම අනේක වර්ෂ සහශ්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳීද, යම්තාක්කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කල් කාලක්‍රියා නොකෙරෙයි.
“දකුණු දොරටුව විවෘතවේද, හෙතෙම එහි ශීඝ්‍රවේගයෙන් දුවයි ශීඝ්‍රවේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද විශෙෂයෙන් දුම්දමත්. නැගූපියවර එසේම වෙයි. මහණෙනි, යම්හෙයකින් නොයෙක් අවුරුදු දහසින් ගොස් ඒ සමීපයට පැමිණෙයිද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් ඒ පාපකර්මය නොගෙවේද, ඒතාක්කල් නොමැරෙන්නේය.
“මහණෙනි, දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් කිසියම් කලෙක ඒ මහා නිරයේ නැඟෙනහිර දොර විවෘත වෙයිද, හෙතෙම එහි ශීඝ්‍රවේගයෙන් දුවයි. ශීඝ්‍රවේගයෙන් දුවන ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද විශෙෂයෙන් දුම් දමත්. නැගූ පියවරද එසේම වෙයි. හෙතෙම එම දොරටුවෙන් නික්මෙයි.
269
“මහණෙනි, ඒ මහා නිරයට අනතුරුව මහත්වූ ගූථ නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. මහණෙනි, ඒ ගූථ නිරයෙහි වනාහි ඉදිකටු තුඩ සමාන මුව ඇති පණුවෝ සිවිය සිඳිත්. සිවිය සිඳ සම සිඳිත්. සම සිඳ මස් සිඳිත්. මස් සිඳ නහර සිඳිත්. නහර සිඳ ඇට සිඳිත්. ඇට සිඳ ඇට මිදුලු කත්. හෙතෙම එහි තියුණුවූ, කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාපකර්මය යම්තාක්ද ඒතාක්කල් නොමැරෙන්නේය.
“මහණෙනි, ඒ ගූථනරකයට අනතුරුව මහත්වූ උණු අළු නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. හෙතෙම එහිදී තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාපකර්මය යම්තාක් නොගෙවී පවතීද, ඒතාක් නොමැරෙන්නේය.”
“මහණෙනි, ඒ උණු අළු නිරයට අනතුරුව යොදුන් උස නැගුණු අඟල් දහසයක් දිග යකඩ කටු ඇති, ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, මහත්වූ කටුඉඹුල් වනය ලඟම පිහිටියේය. ඔහු එහි උඩටද නංවත්. පහතටද බස්වත් හෙතෙම එහි තියුණුවූ, කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක්කල් ඒ පාපකර්මය නොගෙවී පවතීද, ඒතාක් නොමැරෙන්නේය.
“මහණෙනි, කටුඉඹුල් වනයට අනතුරුව මහත්වූ අසිපත්‍ර නම් නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. ඒ නිරයෙහි වාතයෙන් වැටෙන කඩුපත් අතද කපත්. පාදයද කපත්. අත් පා දෙකමද කපත්. කණද කපත්. නාසයද කපත්. කන් නාසා දෙකමද කපත්. හෙතෙම එහි දියුණුවූ කටුකවූ, දුක් වේදනාවන් විඳී ඒ පාපකර්මය යම්තාක්කල් නොගෙවී පවතී නම් ඒතාක්කල් නොමැරෙන්නේය.
“මහණෙනි, ඒ අසිපත් නිරයට අනතුරුව මහත්වූ ක්ෂාර ජලයෙන් යුත් වෙතරණී නම් නරකය පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. හෙතෙම එහි යටිගං බලායන දියපහරටද ගසාගෙනයයි. උඩුගං බලායන දියපහරටද ගසාගෙනයයි. උඩුගං බලායන දියපහරට හා යටිගං බලායන දියපහරටද ගසාගෙන යයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාපකර්මය යම්තාක් නොගෙවේද, ඒතාක් කල් නොමැරෙන්නේය.
270
“මහණෙනි, නිරයපාලයෝ ඔහු බිලිකටුවෙන් අමුනා ගොඩට ගෙන පොළොවෙහි දමා ‘එම්බා පුරුෂය, කුමක් කැමැත්තෙහිදැ’යි අසන්නාහ. හෙතෙම ‘ස්වාමීනි, බඩගිනි ඇත්තෙමැ’යි කියන්නේය. මහණෙනි, නිරයපාලයෝ ඒ මේ නිරිසතාගේ ගිනිගෙන දිලියෙන්නාවූ අඬුවෙන් කට ඇර ගිනිගෙන දිලියෙන්නාවූ රත්වූ ලොහො ගුළියක් කටෙහි දමත් ඔහුගේ තොලද දවයි, කටද දවයි, උගුරද දවයි, ළයද දවයි, බඩවැලද අතුනු බහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාපකර්මය යම්තාක් නොගෙවේද, ඒතාක් කල් නොමැරෙන්නේය.
“මහණෙනි, නිරයපාලයෝ ඔහුගෙන් ‘එම්බා පුරුෂය, කුමක් කැමැත්තෙහිදැ”යි විමසන්නාහුය. ස්වාමීනි, පිපාස ඇත්තෙමි’යි කියන්නේය. මහණෙනි, නිරයපාලයෝ ඔහුගේ කට ගිනිගෙන දිලියෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනි දැල් සහිතවූ, රත්වූ යකඩ අඬුවෙන් අරවා ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, ගිනි ගෙන දිළිසෙන්නාවූ තඹපාට ලෝදිය කටේ වත්කරත්. එය ඔහුගේ තොල්ද දවයි. කටද දවයි. උගුරද දවයි. ළයද දවයි. බඩවැල්ද අතුනුබහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාපකර්මය යම්තාක් නොගෙවේද, ඒතාක් නො මැරෙන්නේය.
“මහණෙනි, නිරයපාලයෝ නැවතත් ඔහු මහා නිරයෙහි දමත්.
“මහණෙනි, පෙරවූ දෙයක් කියමි. යමරජුට මෙබඳු සිතක් විය. පින්වත්නි, ලෝකයෙහි යම් කෙනෙක් පව්කම් කෙරෙත්ද, ඔව්හු මෙබඳු නානාප්‍රකාර කම්කටුලු කරනු ලබත්. ‘මම මනුෂ්‍යාත්මයක් ලබන්නෙම් නම් අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ සර්වඥතෙම ලෝකයෙහි උපදින්නේ නම් මම ඒ භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කරන්නෙම් නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මට ධර්ම දෙශනා කරන්නේ නම් මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගන්නෙම් නම් යහපති’ කියායි.
“මහණෙනි, මම ඒ කාරණය අන් ශ්‍රමණයකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නොකියමි. වැලිදු කෙසේද යම් පමණ අටමහ නරකයෝ වෙත්ද, ඒ සියල්ල තමන් විසින්ම දැනගන්නා ලද්දේය, තමන් විසින්ම දක්නා ලද්දේය, තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරන ලද්දේය එයම මම කියමි.”
271
භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළ සේක. සුගතයන් වහන්සේ මේ දේශනාව වදාරා නැවත ශාස්තෲන් වහන්සේ මේ ගාථා දේශනාව වදාළ සේක.
[1] “දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දාවූ, යම් මනුෂ්‍යයෝ පමා වෙත්ද, හීනකාය සංඛ්‍යාත අපායට පැමිණියාවූ ඒ මිනිස්සු බොහෝ කාලයක් මුළුල්ලේ සෝක කරන්නාහුය.”
[2] “මේ ලෝකයෙහි ශාන්තවූ යම් සත්පුරුෂ කෙනෙක් දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දාහුද, ඔව්හු ආර්‍ය්‍ය ධර්මයෙහි කිසි කලෙකත් ප්‍රමාද නොවන්නාහුය.”
[3] “ඔවුහු ජාති මරණ දෙක හටගන්නාවූ මේ උපාදාන ස්කන්ධයෙහි බය දැක, ජාති මරණ දෙක කෙළවර කරන්නාවූ නිවණ නිමිතිකොට උපාදාන රහිතව මිදෙත්.”
[4] “නිර්භය ස්ථානයට පැමිණියාවූ, සුවපත්වූ, මේ ආත්මභාවයෙහිම ඒ සත්වයෝ සියලු භය දුරුකොට සියලු දුක් ඉක්මවන්නාහුය.”

දහවන දේවදූත සූත්‍රය නිමි

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! via Facebook Pages http://ift.tt/1GMS4Lf