New at Little Bit


from Path to Nirvana https://ift.tt/2I9RBor
පින්වතුනි,
අපිට ජීවිතයේ දී මුහුණ දීමට සිදු වන සමහර කරදර අපේම නොසැලකිල්ල නිසා තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සමහර දේවල් අපි ගණන් ගන්නේ නෑ. නමුත් ඒ ගණන් ගන්නේ නැති ඒ පුංචි දේවල් පස්සේ කාලෙක ලොකු කරදර විපත් බවට පත් වෙනවා. දැන් අපේ රටෙත් සමහර දැවෙන ප්‍රශ්න අතීතයේ වැඩිය ගණන් ගත්තේ නැති දේවල් නමුත් අද වන විට ඒවා ලොකු ප්‍රශ්න බවට පත් වෙලා. ඉතින් මේ කාලයේ වුණත් අපි නුවණින් විමසා සැක කළ යුතු තැන සැක කළ යුතුයි අද එසේ කළොත් හෙට යම් කිසි විපතක් මග හරින්න පුළුවන්.

ඈත අතීතයේ අපගේ බෝසතාණන් වහන්සේ සොහොන් බිමක කොහොඹ ගහක වෘක්ෂ දේවතාවෙක් වෙලා ඉපදිලා හිටියා. ඒ අසලම ටිකක් එහායින් තව බෝ ගසක් තිබුණා එකෙත් දෙවි කෙනෙක් හිටියා.

ඔන්න දවසක් දා හොරෙක් අසල පිහිටි ගමක සොරකමක් කරල බඩු පොදියකුත් අරගෙන පලායන අතර ආරක්ෂාව පතා සොහොන් බිමට පැන ගත්තා. ඊට පස්සේ වට පිට බලලා මහන්සි හරින්න තැනක් බලනකොට අර කොහොඹ ගහ දැක්කා. දැන් අර හොර බඩු ටික පැත්තකින් තියලා කොහොඹ ගහ යට හොඳට හාන්සි වුණා. දැන් දේවතාවා බැලුවා මේක නම් හරියන වැඩක් නෙමෙයි දැන් රාජපුරුෂයෝ හොරා හොයාගෙන එනකොට මෙතැනදී අහුවුනොත් එහෙම මගේ කොහොඹ ගහම කපලා උලක් හදලා හොරාව මෙතැනම උල තියාවි ( ඒ කාලේ හොරුන්ට දෙන දඬුවම තමයි උල තියන එක කොහොඹ ලීයෙන් තමයි උල හදන්නේ) ඉතින් එහෙම වුණොත් මගේ විමානයත් ඉවරයි මෙතැනත් අපිරිසිදු වෙනවා ඒ නිසා මේ සොරා මෙතැනින් එලවා දමන්න ඕන කියලා හිතලා මෙහෙම කිව්වා.

” අන්සතු දෑ පැහැර ගන්න තැනැත්තා ඒයි නැගිටපන් නිදාගෙන ඉඳලා උඹට සෙතක් වෙන්නෙ නෑ. දැන් රාජ පුරුෂයෝ උඹව හොයාගෙන ඒවි ඉතින් උඹව අහුවෙන්න කලින් මෙතැනින් පැන ගනින්” කියලා කිව්වා.

ඊට පස්සේ හොරා ඉවත් වෙලා යන්න ගියා. දැන් මේ සිද්ධිය අර බෝ ගහේ ඉන්න දෙවියා බලාගෙන හිටියා. ඊට පස්සේ ඒ දෙවියා කොහොඹ ගහේ ඉන්න දෙවියන්ට මෙහෙම කිව්වා.

ඔය හොරාව රාජ පුරුෂයෝ ඇවිත් අල්ලාගෙන මොන දඬුවමක් දුන්නත් ඔබට ඇති වැඩේ මොකක්ද. කියලා.

ඊට පස්සේ කොහොඹ ගහේ ඉන්න දෙවියා මෙහෙම උත්තර දුන්නා.

දැන් ඔය හොරා මෙතැනදී අහු වුණා නම් එහෙම මේ කොහොඹ ගහ කපලා උලක් හදලා මෙතැනදී ම උල තියයි එතකොට මගේ විමානයනේ විනාස වෙන්නේ මගේ ස්ථානය තමයි අපිරිසිදු වෙන්නේ මටයි උන්හිටි තැන් අහිමි වෙන්නේ කියලා.

ඉතින් ඒ විදිහට දෙවිවරු දෙන්නා කථා කර කර ඉන්නකොට මිනිසුන් හොරා හොයාගෙන සොහොනට ආවා ඇවිදින් පා සළකුණු පරික්ෂා කරනකොට දැක්කා කොහොඹ ගහ යට ඉඳලා තියෙනවා කියලා. ඉතින් අහල පහල හොඳට හෙව්වා හැබැයි හොරා අහු වුණේ නෑ ඊට පස්සේ ඒ මිනිස්සු මෙහෙම කිව්වා.

අයියෝ… ඒ හොරා දැන් ටිකකට කලින් මෙතැන ඉඳලා තියෙනවා අපරාදේ අපි තව ටිකක් කලින් ආවා නම් ඒකව අල්ලගෙන මේ කොහොඹ ගහෙන්ම උලක් හදලා මෙතැනදී ම උල තියන්න තිබුණා කියලා.

ඉතින් බලන්න පින්වතුනි අර කොහොඹ ගහේ රුක් දෙවියන් හිතපු දේ හරිනේ.

ඒ රුක් දෙවියන් මෙවැනි විපතක් වේවි කියලා කලින්ම සැක කරලා හොරා එතනින් පන්නා දාපු නිසා තමන්ගේ විමානය බේරුණා.

ඉතින් එදා ඒ කොහොඹ ගහේ වෘක්ෂ දේවතාවා වෙලා ඉපදිලා හිටියේ අපගේ බුදුරජාණන් වහන්සේ. බෝ ගහේ දේවතාවා වෙලා ඉපදිලා හිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ.

පින්වතුනි මේ ජාතක කථාව තුළින් අපිට දෙන ඒ වටිනා උපදෙස ඒ කියන්නේ සැක කළ යුතු තැන සැක කළ යුතුයි කාරණය අපේ ජිවිතයට ඇති වන නොයෙකුත් විපත් දුරු කර ගන්න කොච්චර උපකාර වෙනවද. ඉතින් ඒ අදහස ඔබ දැඩිව හිතට ගන්න. ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා.