New at Little Bit


from Path to Nirvana https://ift.tt/2jYfd4V
පින්වතුනේ,
බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපට හිතෙන වැරදි සිතුවිලි දුරු කිරීම සඳහා වැදගත් දහම් කරුණු කියලා දෙනවා. මේ සඳහන් වෙන්නේ ඒ වගේ අදහසක් ඇති ගාථාවක්.

මාප්පමඤ්ඤෙථ පුඤ්ඤස්ස න මං තං ආගමිස්සති
උදබින්දුනිපාතෙන උදකුම්භොපි පූරති
පූරති ධීරො පුඤ්ඤස්ස ථොකථොකම්පි ආචිනං.

පින්වතුනි අපි නොයෙක් ආකාරයේ පින්කම් කරනවා ඒ අතරින් සමහර පින්කම් තදින් අපේ සිතට දැනෙනවා. නමුත් සමහර පින්කම් ඒ වගේ හිතට ඇතුළු වෙන්නේ නෑ ඊට හේතුව අපි පින්කම් ලොකු පොඩි වශයෙන් බෙදන නිසා. වැඩිපුර වියදම් කළොත් අපි හිතනවා ලොකු පින්කමක් කියලා ඒ වගේම ගොඩක් මහන්සි වුණොත් අපි හිතනවා ලොකු පින්කමක් කියලා. සමහර විට බොහොම පහසුවෙන් පින්කමක් කළොත් පොඩි පින්කමක් කියලා හිතෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළා ඒ වගේ පින්කම් ගැන සුලු කොට හිතන්න එපා කියලා හේතුව ටික ටික නමුත් පින් එකතු වෙනකොට බුද්ධිමත් කෙනෙකුගේ ජීවිතය පිනෙන් පිරිලා යනවා ඒකට හොඳම උපමාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ තමයි හරියට දිය බිංදු එක එක වැටිලා කළය පිරෙනවා වගේ කියලා.

අපි දැන් ඒ ගාථාව පාලි වචන සහිතව ඉගෙන ගමු.

මා 🌷 එපා.
අප්ප 🌷 ස්වල්පය, ටික, චුට්ට,
මඤ්ඤෙථ 🌷 හැඟීමක් ඇති කර ගන්න.
මා+අප්ප මඤ්ඤෙථ 🌷ටිකයි, පුංචියි, කියලා හැඟීමක් ඇති කර ගන්න එපා.
තං 🌷එය. ඒ පින.
මං 🌷මා වෙත.
න ආගමිස්සති 🌷එන එකක් නෑ.
පුඤ්ඤස්ස 🌷පිනට.
ආචින🌷 රැස් කරන.
ධීරො 🌷 ප්‍රඥාවන්තයා.
පූරති 🌷 පිරෙයි.
උදබින්දු 🌷දිය බිංදු.
නිපාතන 🌷 වැටීම.
උදබින්දුනිපාතෙන 🌷 දිය බිංදු බිංදු වැටීමෙන්.
උදකුම්භො+අපි 🌷දිය කළයද.
ථොක ථොකං+අපි 🌷ටික ටික නමුත්.

එතකොට ඒ ගාථාවේ කෙටි තේරුම වන්නේ.

මා කළ පින පුංචියිනේ ඉතින් ඒ නිසා එහි විපාකය මා කරා එන එකක් නෑ කියලා පින සුලු කොට හිතන්න එපා. ටික ටික නමුත් පින් එකතු වෙනකොට බුද්ධිමත් කෙනා පිනෙන් පිරිලා යනවා. හරියට දිය බිංදු බිංදු වැටිලා කළය පිරෙනවා වගේ.

ඉතින් පින්වත්නි ඔබත් කවදාවත් පිනක් පුංචියි කියලා හිතන්න එපා පුංචි පිනක් හරි කර ගන්න අවස්ථාවක් ආවොත් අත්හරින්න එපා ඒ පින තමන් සතු කර ගන්න එතකොට ඒ පින් ඔක්කොම එකතු වෙලා අපේ ජීවිතය පිනෙන් පිරී ඉතිරී යාවි. ( ධම්මපදය ඇසුරින්)