New at Little Bit


from Path to Nirvana https://ift.tt/2KNmSCi
යථා දණ්ඩෙන ගොපාලො ගාවො පාචෙති ගොචරං,
එවං ජරා ච මච්චූ ච ආයුං පාචෙන්ති පාණිනං.

පින්වතුනේ,
එක්තරා පෝය දවසක උපාසිකාවන් පන්සීයක් විතර විහාරයට ගිහින් පෙහෙවස් සමාදන් වුණා. ඉතින් විශාකා මහා උපාසිකාව ඒ අය ළඟට ගිහින් ඇහුවා ” ඔයගොල්ලෝ පෙහෙවස් සමාදන් වෙලා මොනවද පැතුවේ” කියලා. එතකොට මහලු ස්ත්‍රීන් කිව්වා දිව්‍යලෝකේ යන්න කියලා.
මැදි වයසේ අය කිව්වා තම ස්වාමියාගේ අන් සම බිරින්දෑවරුන් කෙරෙහි ඇති වෙන ඊර්ෂ්‍යා සහගත කේන්තියෙන් නිදහස් වෙන්න කියලා.
තරුණ විවාහක අය කිව්වා මුලින්ම පිරිමි දරුවන් ලබන්න කියලා.
අවිවාහක කුමාරිකාවන් කිව්වා ඉක්මනින් ම යොවුන් කාලයේදීම සරණ යෑම (සරණ මංගල්‍යය)සඳහා කියලා. ඉතින් විශාකාව ඒ අය එක්ක ගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේට විස්තරේ කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා ” විශාකාවෙනි, මෝහයෙන් මුලා වෙච්ච මේ සත්වයෝ නිවන් දකින්න හිතන්නේ නැහැ” කියලා ඉහත සඳහන් ගාථාව වදාළා.

අපි දැන් පාලි වචන සහිතව ඉගෙන ගමු.

යථා 🔴 යම්කිසි විදියකින්.

ගොපාලො 🔴 ගොපල්ලා.

දණ්ඩෙන 🔴 කෙවිටෙන්.

ගාවො 🔴 ගවයින්.

ගොචරං 🔴 ගොදුරු බිමට.

පාචෙති 🔴 ගෙන යයි, දක්කයි.

එවං 🔴ඒ වාගේ.

ජරා ච 🔴 වයසට යෑම ද. (වයසට යෑම කියන්නේ. දත් වැටෙනවා, කෙස් පැසීම, හම රැළි වැටීම, කොන්ද කුදු වෙනවා, ආදී දේවල්. එතකොට ජරාව කියන දේ ඇහැට පේන්නේ නෑ. නමුත් ජරාවට පත් වුණ බවේ ලකුණු තමයි ඒ කෙස් පැසීම ආදියෙන් පේන්නේ. ඒක හරියට මේ වගේ දෙයක් දැන් හිතන්නකෝ මහා සුළඟක් හමා ගිය තැනක් දැන ගන්න පුළුවන් ඒ තමයි එතැන ගස් කඩා වැටිලා, ගෙවල් වල වහල ගැලවිලා ගිහින් ආදී ලක්ෂණ වලින් අන්න ඒ වගේ වයසට යනවා පේන්නේ නෑ නමුත් වයසට ගිය ලකුණු බලා ගන්න පුළුවන්.)

මච්චූ ච 🔴 මරණයට පත් වීම ද.(මරණය කියන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, කියන ස්කන්ධයන්ගේ බිඳී යාමයි. ආයුෂ, උණුසුම, විඤ්ඤාණය, යන දේවල් සිරුරෙන් ඉවත් වීම.)

පාණීනං 🔴 සත්වයන්ගේ.

ආයුං 🔴ආයුෂ.

පාචෙන්ති 🔴 කෙළවර දක්වා ගෙනයනවා.

එතකොට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළේ සීලය කියන දේ නිවන් මගෙහි අංගයක් හැටියට වඩන්නට කියලා. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් යුතුව නමුත් බොහෝ දෙනෙක් සසර දුකින් එතෙර වීම පිණිස නොව ලෞකික අරමුණු ඔස්සේ සීලය පුරුදු කරනවා. කොහොම වැඩුවත් සීලය හොඳයි නමුත් අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ සංසාරයෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් නිවන් මග අංගයක් ලෙස නිවන අරමුණු කරගෙන සීලය පුරුදු කරන්න ඕන. මොකද නැත්නම් ගාථාවෙන් කියන විදිහට ගොපල්ලා කෙවිටෙන් ගවයන් ගොදුරු බිමට දක්කනවා වගේ ජරා මරණ විසින් අපේ ජීවිතය අවසන් කරනවා, ආයු කෙළවර ට ගෙනියනවා.
( ධම්මපදය ඇසුරින්)