New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ux6Xhn
පාරමී පුරමින්ම යා යුතු
දහම් මග නිසි ලෙස කියා දුන්
ඇදුරැ අප සදවිමල සමිදුන්
පුදමි ගෞරව මෙලෙස බැතියෙන්

මග නොමග මංමුළා වී ඇති අද
දහම අදහම හදුන ගත හැකි
දනන් යහමග ගැන්ම නම් වූ
මෙහෙය මෙලෙසින් කරමි බැතියෙන්

උතුම් වූ තෙරැවන් ගුණ හැදින ගෙන
දහම් නැණසත් නිසිව මතු කර
ගැන්ම ඇවැසිම කල මතුව ඇත
මින් ඔබට එය පහදවනු ඇත

අතිගෞරවාර්හ මහා මහෝපාධ්‍යාය රේරැකානේ චන්දවිමලාභිධාන මාගේ ආචාර්ය පාදෝත්තම, ගුරැ දේවයන් වහන්ස, ඔබ වහන්සේ පිළිබද බලන්ගොඩ මහ නාහිමියන් වරක් පැවසූ දෙයක් නිතැතින්ම සිහියට ඒ. “මතුවටත් මෙම පුස්තක අගය කරනා, ඉන් දිවි කතර හැඩ ගස්වා ගන්නා අයගේ සංඛ්‍යාව නිමක් නැති වනු ඇත. මෙම පුස්තක මනාව පරිශීලනය කිරීමෙන් දහම පිළිබද මනා අවබෝධයක් ලැබීමට හැකි වනු ඇත”.

එය එසේම ය. දිවි කතරේ ඉලක්කයක් නැතිව කල් ගෙවූවෝ ඔබ වහන්සේගේ පුස්තක මගින් යහ මගට පිළිපන්හ. සසුන හැර දමා යන්නට සැරසුනෝ, සිත පැවිදි කර ගෙන විදසුන් මගට පිළිපන්හ. ගිහියෝ සසුනට ළබැදිව උතුම් වූ නිර්වාණ සම්පත්තියට නැඹුරැ වූහ.

පෙර සසරේ දහම හැදෑරැවත්, මෙම භවයේ අතරමං වූවෝ; ඔබ වහන්සේගේ දම් දෙසුමෙන් නැවතත් පාරමී පුරමින් ලොවුතුරැ මගට පිළිබටහ. ඇතැමුන් එම අමිළ වූ මග පෙන්වීමෙන් මග දෙපස ගමන් කරනා කල වුව කුසල් උල්පත් පාදා ගනිති. පාරමී පුරති. තිලකුණු දකිති. විදසුන් වඩා කෙලෙස් සතුරන් හදුනා ගනිති.

ඔබ වහන්සේ සියැසින් දැක නැති සිය – දහස් ගණන් බොදු ජනයා වුව දැනුදු නුඹ වහන්සේ හට පුද සත්කාර කරති. බුද්ධ වන්දනාවේදී ආචාර්ය භක්තිය විදහා පාති. ඒ, ඔබ වහන්සේ ගේ හස්තසාර දහම් පොත් මගින් දහම නිසියාකාරව හැදින, එයට ආචාර්ය ගෞරව පිදීමක් විලසිනි. අපරිමාණ වූ කෘතවේදීත්වය හුවා පෑමක් විලසිනි.

ඉගුරැවත්තේ පියනන්ද මහ නාහිමියන් වරක් පැවසූ පරිදි ඔබ වහන්සේ ගේ පුස්තක පෙල ” බුද්ධඝෝෂ ආචාර්ය පාදයන්ගේ පුස්තක පෙළට සමාන පුස්තක පෙළක්ම ය”.

යක්කඩුවේ නාහිමියන්, අකුරැටියේ අමරවංශ නාහිමියන්, වල්පොල රාහුල හිමියන්, මඩිහේ මහ නාහිමියන්, වෙඩරැවේ අනෝමදස්සී අනු නාහිමියන්, කොස්ගොඩ සිරි ධම්මවංශ මහ නාහිමියන්, කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්, නා උයනේ අරියධම්ම අනු නාහිමියන් වැනි උගත්, වියත්, ධර්මධර මෙන්ම විනයධර භික්ෂූන් වහන්සේලා වුව වදාලේ ඔබ වහන්සේගේ දහම් පොත් පරිශීලනය කරන ලෙසයි.

මුළාවෙන් තොර දහම හදුනා ගැන්මට ඔබ වහන්සේගේ පොත් පරිශීලනය කරන ලෙසයි. ස්ව මත නොව, බුදු වදන සරලව පැහැදිලි බසින් අරැත් පසිදලමින් හදුනා ගැන්මට ඔබ වහන්සේගේ පුස්තක හදාරන ලෙසයි.

අග්ග මහා පණ්ඩිත, පොල්වත්තේ බුද්ධද්ත මහ නාහිමියන් වුව උන්වහන්සේගේ “ථෙරවාද බෞද්ධ දර්ශනය” පුස්තකයේ නිර්වාණ ධාතුව මෙන්ම පටිච්ච සමුප්පාදය පිළිබද විවරණයේදී වදාලේ රේරැකානේ මහ නාහිමියන් ගේ “පටිච්ච සමුප්පාද විවරණය” හදාරන ලෙසයි. එමෙන්ම උන්වහන්සේ නිර්වාණ ධාතුව පිළිබද රචනා කල ලිපි කිහිපයක් ද එහි හොවා දක්වන ලදී.

ඔබ වහන්සේ ගේ චතුරාර්ය සත්‍යය දහම් පොතේ මෙන්ම විදර්ශනා භාවනා පුස්තක වල බලන්ගොඩ මහ නාහිමියන් ගේ හැදින්වීම දැක්විය යුතු යැයි සිතේ.

“චතුස්සත්‍යය පිළිබද මෙතරම් වටිනා පුස්තකයක් හෙළ බසින් රචනා වී නොමැත”

“විදසුන් භාවනා මග මෙම පුස්තකය හැදෑරීමෙන් මැනවින් උගත හැක” යන්න එහි කෙටි උදෘත වේ.

ඔබ වහන්සේ අසල හිද දහම් අසන විලාසයක් ඔබ වහන්සේගේ පුස්තක හදාරන කල නිතැතින්ම සිහියට ඒ. ගැඹුරැ දහම් ඔබ වහන්සේ මෙන් විස්තර කිරීමට ඇති හැකියාව අන් කිසිවෙකුට නැතැයි වරක් රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් වදාළහ.

මාතර සිරි නැණරම් හිමි සහ කඩවැද්දුවේ සිරි ජිනවංශ හිමියන් උන්වහන්සේලාගේ අතිජාත දීප්තිමත් ශිෂ්‍ය රත්නය මෙන්ම බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන නා උ⁣යනේ මහා ස්වාමිපාදයානන් වහන්සේව අබිදම් උගැන්මට එවූයේ ඔබ වහන්සේ ඇසුරටය.

මුළු රටම බුද්ධ ජයන්තිය සැමරීමට සූදානම් වන කලෙක සාහිත්‍යධරයෙක් වන මානවසිංහයන් වුව වරක් පැවසූයේ “බුද්ධ ජයන්තිය” වෙනුවෙන් ඉටු වූ, වැදගත්ම නමුත් නිහඩතම සේවය රේරැකානේ මහ නාහිමියන් ගේ දහම් පුස්තක සේවය” බවයි.

මෙය හුදෙක් ගුණ වැයුමක් නොවේ. ආචාර්ය භක්තිය හුවා පෑමක් මෙන්ම, කෘතවේදීත්වය විදහා දැක්වීමක් සමගින් අද සමාජයට ඇවැසි දෑ ඉටු කිරීමක් ද අපේක්ෂා කරමි.

දහමත් අදහමත් හදුනා ගැනීම ඇවැසිම යුගයක් එළඹ ඇත. උතුම් වූ පාරමී සපුරා සම්පූර්ණ කර ගත යුතු මාර්ගය; අද පද විවරණයකින් පමණක් ලබා ගත හැකි යැයි මග පෙන්වන ස්වාමීන් වහන්සේලා මෙන්ම ගිහියන් බහුලව ඇත.

කමටහන් ලබා දීම පිළිබද අවබෝධයක් නැති ඇතැමුන් ධ්‍යාන ලබා ගැනීම පිළිබද දෙසුම් පවත්වා ජනයා මුළා කරති. පොදුවේ කමටහන් ලබා දෙති. ඇතැම් උගතුන් වුව මෙම කෙටි මාර්ගයන් දක්වා පාන කල එයට හසුව නොමග යති.

රේරැකානේ මහ නාහිමියනි; ඔබ වහන්සේගේ දහම් පුස්තක හදාරා සිය දහස් ගණන් බොදු ජනයා දිවි මග සරි කර ගත්තාක් මෙන්ම වත්මනේ ද එම පුස්තක වල අගය වඩ වඩාත් මතුව ඒ. මෙය කියවන ඔබත් හස්තසාර වස්තුවක් වන “⁣බෞද්ධයාගේ අත්පොත” සමගින් උන්වහන්සේගේ අනෙක් දහම් පොත්ද හදාරන්න.

“සූවිසි මහා ගුණය” පුස්තකය කියවා තෙරැවන් ගුණ හැදින තෙරැවන් පිළිබද අචල වූ සැදැහැති බවක් උපදවා ගෙන නුවණින් යුතුව කුසල් කර්ම වල යෙදී “පාරමිතා පර්‍රණය” කියවා චිත්ත සන්තානය පාරමී මගට හරවා ගන්න.

චිත්ත, චෛතසික, රෑප සහ නිර්වාණ යන සතර පරමාර්ථ දහම් උ⁣ගැනුමට උන්වහන්සේගේ ” අභිධර්මයේ මූලික කරැණු මෙන්ම අභිධර්ම මාර්ගය” සමගින් අනෙකුත් අබිදම් පොත් හදාරන්න.

මදින් මද ගැඹුරැ වන දහම් දැනුමේ සැකමුසු තැන් මෙන්ම අපැහැදිළි තැන් වල අරැත් පසිදලීමට “වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම”, “ධර්ම විනිශ්චය” වැනි දහම් පොත් ඔබට මග පෙන්වනු ඇත. මුළාවට පත් අය නුමුළා බවට පත් කරනු ඇත.

“කෙලෙස් එක් දහස් පන්සියය” පුස්තකය තුළින් විවිධාකාර වූ කෙලෙසුන් පිළිබද විවරණය කරනු ඇත. මදින් මද තියුණු වන නුඹගේ නුවණ “චතුරාර්ය සත්‍යය”, “පටිච්ච සමුප්පාදය” පුස්තක ද්විත්වය තුළින් එම ගැඹුරැ දම් පිළිබද මනා පරිචයක් ලබා දෙනු ඇත.

දහම පිළිබද නුවණ ලබා ගෙන උතුම් වූ භාවනාවට බට නුඹගේ දහම් නැණසට “විදර්ශනා භාවනා”, “චත්තාලීසාකාර මහා විපස්සනා” යන පුස්තක තුළින් උතුම් වූ නිර්වාණ ධාතුවට නිසි මග පෙන්වීමක් ලබා දෙනු ඇත.

උතුම් වූ පැවිදි මගට බැසගත් ස්වාමීන් වහන්සේලා සහ සසුනට එකතු වීමට සූදානම් කුල පුතුන් වෙනුවෙන් “ශාසනාවතරණය”, “උපසම්පදා ශීලය” සහ ” විනය කර්ම පොත” මග පෙන්වනු ඇත.

ඇතැම් ගැඹුරැ දෑ එක් වරක් කියැවූ පමණින් නොවැටහෙනු ඇත. එනමුදු තෙරැවන් ගුණ හදුනා ගනිමින්, මදින් මද ලබනා නිසි අවබෝධය ඉවසීමෙන් ලැබිය යුතුය. වරදවා දැනීම කොහෙත්ම නොදැනීමට වඩා දරැණු හෙයිනි. මා මෙහි දැක්වූයේ පුස්තක කිහිපක් පමණි. සම්පූර්ණ පුස්තක පෙළ කියැවීම වටනේය.

මෙය කියවන නුඹත්, හිතවතුන් දැනුවත් කරන්න. පාරමී සපුරා අවබෝධාත්මකව නිසි මගට එළඹෙන්න.

තර්ක මෙන්ම විතර්කද එනු ඇත නොඅඩුව; මෙම රචනයට
එනමුදු මෙය තර්කයෙන් විසදිය යුතු නොවේ
පාරමී දම් පුරමින් යා යුතු මගකි නිතැතින්
තුන් ශික්ෂා මෙන්ම තිලකුණුත් වැටහෙනු ඇත සැමට කෙමෙන්

වැ. සෝ.