New at Little Bit


from Path to Nirvana https://ift.tt/2OmHUWY
පින්වතුනි,
දවසක් දා බුදුරජාණන් වහන්සේ ලස්සන සූත්‍රයක් දේශනා කොට වදාළා. ඒ තමයි පුද්ගලයෙක් කෙරේ පැහැදීමේ ආදීනව හෙවත් අවාසි ගැන කියන දේශනාවක්.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ පැහැදීම කියන දේට විශේෂ තැනක් හිමිවෙනවා. හැබැයි නියම විදියට ප්‍රසාදයට පත් වුණේ නැත්නම් ඒක විනාශයට මුල් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව විස්තර වශයෙන් කියලා දෙනවා. කෙටියෙන් බුද්ධ දේශනා විමසා බැලීමේදී එය මෙන්න මේ ආකාරයි . කෙනෙක් කෙරේ පහදිනවා නම් පැහැදිය යුත්තේ බුදුරජාණන් වහන්සේ කෙරෙහිය. දෙයක් කෙරෙහි පහදිනවා නම් පැහැදිය යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහිය. පිරිසක් කෙරෙහි පහදිනවා නම් පැහැදිය යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහිය. නමුත් සමහර අය එක් එක් පුද්ගලයින් කෙරේ පැහැදී අමාරුවේ වැටෙන ආකාරය ලෝකයේ හැමදාමත් පෙනෙන්නට තිබුණා. වර්තමානයේ ගොඩක් එවැනි දේවල් දකින්න ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාව හැමෝටම වැදගත් වේවි.

ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මෙන්න මෙහෙම වදාළා.

මහණෙනි, පුද්ගලයෙකු කෙරෙහි ප්‍රසාදයට පත් වුණොත් එහි ආදීනව ( දෝෂ, අවාසි) පහක් තියෙනවා.

ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ පලවෙනි කරුණ මෙන්න මේකයි.

🔴 ඔන්න කෙනෙක් ඉන්නවා එයා එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ගැන ගොඩක් පැහැදීමෙන් ඉන්නවා. ඉතින් සංඝයා විසින් ඒ භික්ෂූන් වහන්සේට උක්ෂෙපනිය කර්මය (වැරදි පිළිගන්නේ නැති අයට පනවන දඬුවමක්) පනවනවා. ඒ කියන්නේ එවැනි වරදකට ඒ හාමුදුරුවෝ පත් වෙනවා. එතකොට ඒ භික්ෂූන් වහන්සේ ගැන අර ගොඩක් පැහැදිලා හිටපු කෙනා මෙන්න මෙහෙම හිතනවා. ” අනේ, මං කැමතිම ස්වාමීන් වහන්සේට මේ භික්ෂූන් වහන්සේලා විසින් උක්ෂෙපනිය කර්මය පනවා තියෙනවා කියලා අනිත් ස්වාමීන් වහන්සේලා ගැන අමනාපයක් ඇති කර ගන්නවා. ඒ නිසා භික්ෂූන්ගේ ඇසුර අත්හරිනවා. ඒ නිසා ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඒ සද්ධර්මයෙන් පිරිහෙනවා. ඉතින් මේ තමයි පුද්ගලයෙක් ගැන පැහැදීමේ පළවෙනි අවාසිය.

🔴 ඊළඟට කෙනෙක් ඉන්නවා පෙර පරිදිම භික්ෂූන් වහන්සේ නමක් ගැන පැහැදිලා. ඉතින් සංඝයා විසින් ඒ භික්ෂූන් වහන්සේට වැඩ ඉන්න දෙන්නේ අන්තිම ආසනය. ඒකත් එක්තරා වරදක් නිසා දෙන දඬුවමක්. ඉතින් මේ හාමුදුරුවෝ ඒ වරදට හසුවෙලා. දැන් එතකොට අර මේ හාමුදුරුවෝ ගැන පැහැදිච්ච මනුස්සයා මෙහෙම හිතනවා. ” අනේ මං කැමතිම ස්වාමීන් වහන්සේට මේ භික්ෂූන් වහන්සේලා අන්තිම ආසනය තමයි දීලා තියෙන්නේ” කියලා අනිත් ස්වාමීන් වහන්සේලා ගැන අමනාපයක් ඇති කර ගෙන භික්ෂූන් වහන්සේලාගේ ඇසුර අත්හරිනවා. එතකොට එයාට සද්ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සද්ධර්මයෙන් පිරිහෙනවා. ඒ තමයි පුද්ගලයෙක් කෙරේ පැහැදීමේ දෙවෙනි අවාසිය.

🔴 ඊළඟට ඉහත සඳහන් පරිදි කෙනෙක් එක ස්වාමීන් වහන්සේ කෙනෙකු ගැන ගොඩක් පැහැදිලා ඉන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ වෙනත් පලාතකට වඩිනවා. එතකොට අර ඒ භික්ෂූන් වහන්සේ ගැන ගොඩක් පැහැදිලා හිටපු මනුස්සයා මෙහෙම හිතනවා.” අනේ මං කැමතිම ස්වාමීන් වහන්සේ වෙත පලාතකට වැඩලා දැන් මෙහේ නැනේ ඔය අනිත් භික්ෂූන් වහන්සේලා වැඩක් නෑ කියලා භික්ෂූන් වහන්සේලාගේ ආශ්‍රය අත්හරිනවා. එතකොට සද්ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සද්ධර්මයෙන් පිරිහෙනවා. ඉතින් ඒ තමයි එක පුද්ගලයෙක් ගැන ගොඩක් පැහැදී ඉඳපුවාම සිදු වෙන තුන් වෙනි අනතුර, අවාසිය.

🔴 ඊළඟ කරුණ මෙන්න මේකයි. ඔන්න පෙර පරිදිම කෙනෙක් එක භික්ෂූන් වහන්සේ නමක් ගැන ගොඩක් පැහැදිලා ඉන්නවා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේ සිවුරු හැර ගිහි බවට පත් වෙනවා. දැන් ඒ භික්ෂූන් වහන්සේ ගැන ගොඩක් පැහැදිලා හිටපු මනුස්සයා මෙහෙම හිතනවා.” අනේ ඒ ස්වාමීන් වහන්සේට මං කොච්චර කැමැත්තෙන්ද හිටියේ ඔන්න දැන් ඒ හාමුදුරුවෝ සිවුරු හැරලා” කියලා අනිත් භික්ෂූන් වහන්සේලා ගැනත් අමනාප වෙලා අප්‍රසාදයක් ඇති කර ගෙන සංඝරත්නය ඇසුරු කරන්නේ නැහැ. එතකොට සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා සද්ධර්මයෙන් පිරිහෙනවා. ඉතින් ඒ තමයි පුද්ගලයෙක් ගැන ප්‍රසාදයට පත් වෙලා හිටියාම ඇති වෙන හතර වන අවාසිය.

🔴 ඊළඟට පෙර පරිදිම කෙනෙක් එක භික්ෂූන් වහන්සේ නමක් ගැන ගොඩක් පැහැදිලා ඉන්නවා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේ ඔන්න කලුරිය කරනවා. එතකොට ඒ භික්ෂූන් වහන්සේ ගැන ගොඩක් පැහැදිලා හිටපු මේ මනුස්සයා මෙහෙම හිතනවා ” අනේ මං කැමතිම ස්වාමීන් වහන්සේ අනේ උන්වහන්සේ කලුරිය කරලා දැන් ඉතින් මට ආශ්‍රය කරන්න කෙනෙක් නෑ. ඔය අනිත් හාමුදුරුවරු වැඩක් නෑ” කියලා සංඝරත්නයේ ඇසුර අත්හරිනවා. එතකොට සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා සද්ධර්මයෙන් පිරිහෙනවා. ඉතින් ඒ තමයි පුද්ගලයෙක් කෙරේ පැහැදීමේ ඇති පස් වන අවාසිය, ආදීනවය.

ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඔය විදියට පුද්ගල ප්‍රසාදයේ ඇති අවාසි, ආදීනව, අනතුරු පහක් ගැන කියලා දුන්නා. දැන් බලන්න සමහර අය එක් එක් භික්ෂූන් වහන්සේලා අල්ලගෙන ඒ අය ගැන විතරක් පැහැදිලා ඒ අය ගැනම ගුණ කියමින් ඉන්න අවස්ථා තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ පොදුවේ සංඝරත්නය කෙරෙහි පැහැදෙන්න කියලයි. මෙහිදී පින්වත් ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තියෙනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කවුද කියලා හරියට හඳුනා ගන්න ඕන. ඊට පස්සේ ඒ අය ගැන තමයි පැහැදෙන්න ඕන. එතකොට දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හැටියට හඳුන්වා දෙමින් තමන්ට හිතෙන මනස්ගාත කියන අය පාලි, සිංහල, සංස්කෘත, ආදී භාෂාවන් ගැන හරි වැටහීමක් නැතිව, තමන් රහතන් වහන්සේලා යැයි ජනතාවට හඟවමින් අධර්මය කියන අය සංඝරත්නයට අයිති නැහැ. ඉතින් මොනම හේතුවක් නිසාවත් ඒ අය ගැන පැහැදෙන්න එපා. මොකද එහෙම වුනොත් ඒ පාප මිත්‍රයන් නිසා තමන්ට ධර්ම මාර්ගය වැහෙනවා. ඒ නිසා හොඳට බුද්ධ දේශනාව ත්‍රිපිටක ඇසුරින් කියලා දෙන උගත් ස්වාමීන් වහන්සේලා වෙතින් ධර්මය අසන්නට ඕන. එතකොට උන්වහන්සේලා තෙරුවන් ගුණ හරියට කියලා දේවි. එවිට ඒ ගුණ තුළින් ඔබට වැටහෙනු ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කවුද කියලා. අන්න ඒ පිරිස ගැන පොදුවේ ප්‍රසාදයක් ඇති කර ගන්න. තව දෙයක් මතක තබා ගන්න අපිට ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය වෙන්නේ ත්‍රිපිටක දේශනා ඒ තිබෙන හැටියට දැනගන්නට ලැබීම පමණයි. ඊට පස්සේ ඒ බුදු වදන් අනුව අපි නුවණින් විමසා බැලිය යුතුයි. බණ කියන කෙනා මාර්ග ඵල ලබා ඉන්න අවශ්‍ය නැහැ. ඉස්සර හිටියා රහතන් වහන්සේලා උන්වහන්සේලාගේ ගුරුවරුන් රහත් වෙලා හිටියේ නැහැ. ඉතින් එහෙනම් ගෝලයෝ රහත් වෙන්න හේතුව මොකක්ද ඒ හේතුව තමයි ඒ ගුරුවරුන් තම ශිෂ්‍යයින්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ත්‍රිපිටකයේ සඳහන් පරිදි කියලා දුන්නු නිසා. ඉතින් ඒ අයගේ දක්ෂතා මත ගුරුවරුන් ට කලින් අවබෝධ කළා. ඉතින් ඔබත් පුද්ගලයෙක් කෙරේ පැහැදෙන්නේ නැතිව සංඝරත්නය කෙරෙහි පැහැදෙන්න. එතකොට බණ අහනකොට ත්‍රිපිටක සහ අටුවා අනුව හරියට ඉගෙන ගෙන ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා වෙතින් බණ අහන්න. අධර්මවාදීන් ප්‍රතික්ෂේප කරන්න. මොකද ඔවුන් සඟරුවනට අයිති නැති නිසා.
(පුග්ගලප්පසාද සූත්‍රය ඇසුරින්. අ: නි:)