New at Little Bit


from Path to Nirvana https://ift.tt/2MLfYdV
මෑතක දී මම තායිලන්තයේ සුප්‍රසිද්ධ විපස්සනා කර්මස්ථාන ආචාර්ය වරයෙක් හමුවීමට ගියෙමි. උන්වහන්සේ ඉතාමත් සුහද ඉවසිලිවන්ත කෙනෙකි. ඒ වෙලාවේ තම ශිෂ්‍යයන්ට ධර්ම කරුණු විස්තර කරමින් සිටියහ. මම ද ඒ හා එක්වීමි. අපි ධර්මයේ ප්‍රායෝගික පුහුණුව පිළිබඳ සාකච්ඡා කළෙමු. පසුව උන්වහන්සේගේ ද ආචාර්ය වූ ආචාර්ය මන් පිළිබඳ කථා කළෙමු. උන්වහන්සේ ආචාර්ය මන් සමග චියාං මායි හි කැලෑවේ බොහෝ කල් විසූහ. ළගම නගරයට යාමට දින 2 1/2 පමණ ගතවේ. උන්වහන්සේ එදින මා සමඟ පැවසූ විස්මිත කථා පුවත් අපමනය. ඉන් සමහරක් මෙම පොතට අඩංගු කිරීමට සුදුසු යැයි සිතමි. මා ඉහත සඳහන් කළ පරිදි සමහර පුවත් උන්වහන්සේට අවමන් කිරීමක් විය හැකි බැවින් නුසුදුසු වේ යයි සිතමි.

මේ ආචාර්ය වරයා පැවසූ පරිදි ආචාර්ය මන් ඉතාම පිරිසිදු මනසක් ඇති කෙනෙකි. තවද අධිමානුෂික බලයන් නිසා තම ශිෂ්‍යයන් නිතරම සති පඤ්ඤාවෙන් දවස ගත්කරන බව ද උන්වහන්සේ දනිති. මම උන්වහන්සේට එම තොරතුරු කියන ලෙස ඇවිටිලි කළෙමි. එය පශ්චිම ජනයාගේ ශ්‍රද්ධා බුද්ධිය පිණිස ඉවහල් වන බැවිනි. “මගේ සියලු සිතිවිලි ආචාර්ය මන් දනිනිති. මම වෙන කුමක් කියම්ද? රෑ දවල් තිස්සේ මා රැහැණින් බැඳ තිබුණාක් මෙනි. එවැනි අවධාරණයකින් මම මගේ සිත පාලනය කළෙමි. මා හැකිතරම් වීර්‍යයෙන් මගේ සිත හික්මවූ නමුත් මොහොතක පමාවෙන් යම් අනිසි සිතුවිල්ලක් හිතූ විට සියලු දෙනාගේ ඉදිරිපිට උන්වහන්සේ එය හෙලිදරව් කරති. මගේ භාවනා මනසිකාරය ඒ කාලයේ දී ඉතාමත් හොඳින් පැවතුනි. කලාතුරකින් වැරදි සිතුවිල්ලක් හටගති. මේ හිත නොනවත්වාම රෑ දවල් තිස්සේ සිතිවිලි පහළ කරණ බව අප සිතිය යුතුයි. මේ හැම සිතිවිල්ලක්ම සතියෙන් දැනීමට හැක්කේ කාටද? මගේ සිතිවිලි මට වඩා තීක්ෂණව උන්වහන්සේ දනිති. සමහර විට මට අමතක වූ සිතිවිලි උන්වහන්සේගේ මතකයේ ඇත. එවිට මම පුදුමයට පත්වෙමි.”

“ඔබට ආචාර්ය මන් කිසි විටෙක බැණ ඇද්ද” යි මම ඇසීමි. කලාතුරකින් බැන ඇත. එහෙත් නිතරම මගේ සිතුවිලි දකී. ඉන්පසු එම සිතුවිලි තුළින් මට ධර්මය පහදා දෙයි. බොහෝ විට අන් භික්ෂූන් වහන්සේලා අසා සිටී. එවිට මා ලැජ්ජාවට පත්වෙමි. වාසනාවකට අන් භික්ෂූන් වහන්සේලා ඉදිරියෙහි මගේ නම නොකියති. එම සිතුවිලි විවේචනය කරති.”

“ඔබට ආචාර්ය මන් බැන්නේ මක් නිසාද?”

“පෘතග්ජන” යන වචනයේ තේරුම ඔබ දන්නවාද? එහි තේරුම මහ ගල් කන්දක් මෙන් ඝන මුලාවකි. කිසිම පාලනයක් නැත. මේ සිතිවිලි හරිද? වැරදිද? ඇත්තද? බොරුද? කිසිවක් තමා නොදනී. එවිට උන්වහන්සේ බනියි.

“ඔබ බැනීමට බිය වූවාද?”

ඇයි නැත්තේ? මගේ ශරීරය ගැහෙන්නේ නැහැ. නමුත් මගේ සිත භයින් ගැහෙනවා. හුස්ම ගන්නටත් බැරිවෙනවා! උන්වහන්සේට ඇත්තෙන්ම පරචිත්ත විජානනය ඇත. එය මට ඔප්පු වී ඇත. උදාහරණ විටින් විට මම හුදකලාව යාමට සිතුවෙමි. පසුදා උන්වහන්සේ මා දුටු විගස හොඳ බැනුමක් බනියි. “ඉකිව් ඔබ යන්නේ කවදාද? ඔය කොහේ ගියත් මේ තරම් හොද නැහැ. ඔබට මා සමග විසීම වඩාත් යෝග්‍ය වේ. ” මෙසේ මගේ සිතුවිලි දනියි. “මෙහේ ඉදිමින් ධර්මය ඇසීම වඩාත් හොඳයි -ඔය තනිව යනවාට වඩා.” මෙසේ මා යනවාට කිසිසේත්ම කැමති නොවූහ. මා එසේ ගියොත් මගේ භාවනා මනසිකාරය පහත බසී යැයි සිතූහ. එබැවින් නිතරම මා රඳවා ගැනීමට උත්සාහ කළහ.

මම වඩාත් බිය වූයේ උන්වහන්සේ ගැන මම සිතුවොත් උන්වහන්සේ මා ගැන බලමින් සිටින බව මට හැඟේ. උන්වහන්සේට වෙන වැඩක් නැද්ද? සමහර දිනයන්හි මම නිදා නොගනිමි. හේතුව ඒ මොහොතේම උන්වහන්සේ එරමිණියා ගොතාගෙන මා ඉදිරිපිට සිටිති. මම වෙන අරමුණක් ගැන සිතූ විගස උන්වහන්සේ මා දෙස බලා සිටින බව මට හැඟේ. මේ නිසා මගේ සතිය ඉතාම දියුණු විය.

ශිෂ්‍යයන් වශයෙන් අපි නිරන්තරයෙන්ම සතිය පැවැත්වූයෙමු. උන්වහන්සේ පසුපස පිණ්ඩපාතෙ යන විට අපේ සිත් සුපරික්ෂාකාරී විය යුතුයි. තම කය වෙත යොමු කරනවා මිස බාහිර ලෝකය දෙස නොබලමු. නොසිතමු. මේ ගැන නොසැළකිලිමත් වුවහොත් එවේලේම විවේචනය කරණු ඇත. එබැවින් සිත ගැන අපි අවධානයෙන් සිටියෙමු. එසේ වුවද සුළු ප්‍රමාද දෝෂයකින් සිහිය අන් අරමුණක් ගත් විගස එය විවේචනයට භාජනය වේ. එය සාධාරණ බව අපට වැටහේ. අපි කිහිපදෙනා අතරින් එක් අයෙක් හෝ මෙසේ සතිවිහරනයෙන් ඇත. එදින සන්ධ්‍යාවේ දේශනාවේදී ආචාර්ය මන් යම් කිසි සිද්ධියක් මත දොස් පවරති. එය අපට නොතේරේ. මක් නිසා මෙසේ කියත්ද? දේශනයෙන් පසු අපි එක් රැස්ව මීට හේතු යුක්ති සෙව්වෙමු. එවිට එක් භික්ෂුවක් පාපොච්චාරණය කරයි. “ඇත්තෙන්ම මම මෙවැනි විකාර දේ සිතුවෙමි.” ආචාර්ය මන් සමග විසීම බිය ගෙන දෙන්නකි. එබැවින් නිරන්තරයෙන්ම සතිය පැවැත්වූයෙමු. මෙම කථා පුවත කියන උන්වහන්සේ මුලින්ම චියං මායි ප්‍රදේශයට පැමිණි විට එක්තරා පංසලක නැවතී සිටියහ. එහි පැමිණ පැයක් ගතවීමට පෙර වාහනයක් අවුත් කුටිය ඉදිරිපිට නැවැත්වීය.

මම විගස බැලුවෙමි. එහි ආචාර්ය මන් සිටිති. එහි දුවගොස් වැඳ ගෞරව පවත්වා එහි ආ කාරණය විචාළෙමි. උන්වහන්සේ පැමිණියේ මා එක්කර ගෙන යන්ට යැයි පැවසීය. ඊට පෙර දින එහි වඩින බව උන්වහන්සේ දනිති. “කවුරුහරි ඔබ වහන්සේට ඒ බව දැන්වුවාද?” “ඒ ගැන කමක් නෑ, මම දැනගත් නිසා මෙහි ආවෙමි.” මෙය අසා මම විස්මයට පත්වුනෙමි. පසුව උන්වහන්සේ සමඟ වාසය කරන විට මට මේ සත්‍ය වඩ වඩාත් තහවුරු විය.

අපේ සිත් නොයෙක් අරමුණු කරා යමින් නොයෙක් දෘෂ්ටි ගත වී නම් උන්වහන්සේගේ ධර්මය අවබෝධ නොවේ. එසේ නොවී සතියෙන් ඒ අරමුණ හොදින් ග්‍රහනය කළ විට ධර්මය ඉතා පැහැදිලිය. සරලය. ආකර්ෂණයකින් සිත එහිම ඇදී පවතී. ලෝකාස්වාද රතියෙන් පසුවුවහොත් එම ධර්මය සිත දවයි. ඒ භික්ෂුව මහා දුක් ගින්නකට පත්වේ. ධර්මය දේශනා කරන විට කාගේ කෙලෙස් ඇවිස්සෙත්දැයි උන්වහන්සේ නොසිතයි. ධර්මය කෙළින්ම කෙලෙස් වලට ඉලක්ක වී ඇත.

කලාතුරකින් භික්ෂුවක් නමින් අමතයි. “ඇයි ඔබ වහන්සේ ඊයේ රාත්‍රියේ ඒ විධියට භාවනා කලේ? එය වැරදියි මේ විධියටයි භාවනා කල යුත්තේ.” නැත්නම් “ඇයි ඔබ අද උදේ මෙසේ සිත සිතා සිටියේ? ඔය සිතිවිලි නිසා ඔබ විනාශ වන බව දන්නේ නැද්ද? විනාශ වෙන්ට අකමැති නම් එසේ සිතන්නට එපා. ඇයි ඔබ බුදුරජාණන් වහන්සේ උගන්වපු අන්දමට නොසිතන්නේ? ඔබට කුමක් වෙලාද? අප මෙහි ඉන්නේ වැරදි ලෙස සිතීමෙන්, ක්‍රියා කිරීමෙන් වැළකීමට පුහුණුවීමට අප මෙහේ ඉන්නේ තමන්ගේ සිතිවිලි වල නිමග්න වී කෙළෙස් ගින්නෙන් දැවී යාමට නොවේ.” මේ සත්‍ය තේරුම් ගත් පිරිස උන්වහන්සේ සමඟ ඉතා සතුටින් කාළය ගත කලහ. ඒ අය උන්වහන්සේගේ විරෝධයට ලක්වූයේ නැත. එහෙත් යම් රහසිගත වැරදි දේ දී නම් උන්වහන්සේට ගින්නෙන් දැවෙන්නාක් මෙන් දුක් දෙයි. එවිට එකවරම බැන වදී. එම භික්ෂුව තම වැරදි පිළිගෙන මිදේ නම් ඒ පිළිබඳ නැවත කථාවක් නැත.

(ආචාර්‍ය මන් භූරිදත්ත රහතන් වහන්සේගේ ආධ්‍යාත්මීය චරිතාපදානය පොතෙනි.)

සම්පූර්ණ pdf පොත අවශ්‍ය නම් කමෙන්ට් එකක් මගින් දැනුම් දෙන්න.

තෙරුවණ් සරණයි!!!