New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NcCtIM
සත්වන වස් කාලය සඳහා භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම වන ලදී. ඒ තමන් වහන්සේ ඉපදී දින හතකින් පරලොව සැපත්ව දෙව්ලොව ඉපදී සිටින මව් දෙවියන්ට ධර්ම දේශනා කිරීම සඳහායි. තව්තිසා භවනයෙහි වස් විසූ භාග්‍යවතුන් වහන්සේ එහි තුන් මසෙහි නිතර දම් දෙසූ සේක. ඒ දේශනා කළ පරිදි භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාත කාලය වන තෙක් ම දම් දෙසා ඉක්බිති තමන් වහන්සේ වැනිම බුදුරුවක් මවා මා එන තෙක් මෙතෙක් ධර්මය දෙසා වායි අධිෂ්ඨාන කොට හිමාලයට වඩිනා සේක.

එහි අනෝතත්ත විල ළග හිඳ දන් වළඳන සේක. ඒ වේලාවේදී සැරියුත් තෙරණුවෝ එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේට වත් පිළිවෙත් කරති. වළදා අවසානයෙහි සාරිපුත්තයෙනි, අද මම මෙතෙක් බණ කීමි. එය තමන් ඇසුරු කරන භික්ෂුනට උගන්වවුයි උපදෙස් දී තව්තිසා භවනට වැඩ නිර්මිත බුදුරුව අතුරුදහන් කොට ඒ බුදුරුව වදාළ තැන් සිට දහම් දෙසන සේක. මේ නියායෙන් බුදුරජාණන් වහන්සේ ඒ තුන් මස ගත කළ සේක.

ධර්ම දේශනාව තුන් මසෙකින් අවසන් විය. දේශනාවසානයේදී මව් දෙව් පුත් සෝවාන් ඵලයෙහි පිහිටියේය. අසූ කෝටියක් දෙවිවරුද මාර්ග ඵල ලැබූහ.

පවාරණයට සත් දවසක් කලින් මුගලන් තෙරණුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ කවර දා වඩින සේක්’දැයි ඇසූහ. ඉන් සත් වන දා සංකස්ස නගරද්වාරයට තව්තිසායෙන් වඩිනා බවත්, තමන් වහන්සේ දක්නා කැමැත්තෙන් එහි ඉඳිය යුතු බවත් වදාළ සේක. සැවැත් නුවර සිට සංකස්ස නගරයට දුර යොදුන් තිසක් වුවත්, ඒ සැවැත් පුර රැස්ව සිටි පිරිසට එහි යෑම සමීප විහාරයකට යන ගමනක් මෙන් ඉතා ඉක්මන්ද පහසුද විය. භාග්‍යවතුන් වහන්සේ වප් මස මැදි පෝදා පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි දීම වස් පවරා එදාම ශක්‍ර බ්‍රහ්මාදීන්ගේ පූජෝත්සවයෙන් ගෞරව ලබමින් මහ පෙරහරින් සංකස්ස නගර ද්වාරයට වැඩම කළ සේක.

ඒ දුටු සැරියුත් තෙරණුවෝ බුදුරදුන් වැඳ එවැනි බුද්ධ ශ්‍රීයක් ඉන් පෙරැ තමන් නොදුටු බව ආදිය කී කළ එය අරභයා භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවක් කළ සේක. එය ඇසූ දෙවියන් ඇතුළු මහා පිරිසකට ධර්මාභිසමය විය. සැරියුත් තෙරුන්ගේ සද්ධි විහාරික පන්සියයක් පමණ භික්ෂූහු රහත් වූහ.මෙහිදී බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැනැත්තාට විෂය වු ප්‍රශ්න පෘථග්ජන, සෝවාන් ආදීන්ගෙන් පිළිවෙළින් අසා අන්තිමේදි මේ සස්නෙහි මහා ප්‍රභූ වූ සැරියුත් තෙරුන්ගෙන් බුදුවරුන් විසින්ම විසඳිය හැකි ප්‍රශ්න විචාළ සේක. එය මුලදී උන්වහන්සේට නොහැකිවූ නමුත් ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ විසින් දෙන ලද උපදෙස් පරිදි විසඳිය හැකි විය. මෙයින් සැරියුත් තෙරුන් සෙසු සියල්ලටම වඩා නුවණින් අග තැන්පත් වූ බව පවසා භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර තනතුරු පිරිනමන ලදී.

මෙම දේවාරෝහණ උත්සවය දැක්මෙන් පැහැදුණු අප්‍රමාණ ජනයෝ බුදුබව පැතූහ. ලොව සෑම දෙනාම එකම හඩින් බුද්ධත්වය ප්‍රාර්ථනා කරන ලද පූජනීය බිම සංකස්ස පුද බිමයි.

මෛත්‍රී බෝසතුන් පැවිදි වීම

මෛත්‍රී බෝසතාණෝ භාග්‍යවතුන් වහන්සේගේත්, සැරියුත් තෙරණුවන්ගේත් අතරැ වූ ප්‍රශ්න විසර්ජන කථාව ඇසුවෝ එදාම පැහැදී පැවිදි වූහ. මේ මෛත්‍රී බෝසතාණෝ වනාහි මෙයින් සොළොස් අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකින් යටැ මතු බුදුවෙනු සඳහා නියත විවරණ සිරි ලැබුවෝ පෙරුම්දම් පුරමින් දෙව් මිනිස් දෙව් ලෝහි සරනුවෝ අප බුදුපියාණන් දවස දෙව් ලොවින් චුතව සැවැත්නුවරින් තිස්යොදුන් පමණ තන්හි සංකස්ස නුවර ගැහැවි මහසල් කුලෙක ‘සිරිවඩ්ඩ” නම් මහ කෙළෙඹියාට පුත්ව උපන්නෝය. සුව පෙරහරින් වැඩුණු එතුමෝ දිසාපාමොක් ඇදුරන් වෙත ඉගෙන ශිල්ප ශාස්ත්‍රයන්ගේ කෙලවරට පැමිණ මාපියන් ඇවෑමෙන් කුටුම්බ ස්වාමීව මහ පිරිවර ජනයා සමඟ එදාම ගිහි සැප හැර දමා දහසක් පමණ පිරිවර ජනයා සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වූහ. පැවිදි උපසපන් බව ලත් ආර්ය මෛත්‍රී බෝධිසත්ව භික්ෂූහු බුද්ධ වචනය මොහොතකට ඉගෙන නොයෙක් සිය ගණන් භික්ෂු සමූහයාට එය ඉගැන්වූහ.

මෛත්‍රි බෝසතුන් නියත විවරණ ගැනීම

භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ අදහස දැක භික්ෂු සමූහයා මධ්‍යයෙහිදී එම භික්ෂූන් වහන්සේ පෙන්වා

මහණෙනි, උතුම් වස්ත්‍ර යුගලයෙකින් බුදුන් පිදූ මේ භික්ෂූහු බලවු. මේ තෙම මතු මහා භද්‍රා කල්පයෙහිම මෛත්‍රි නම් සම්‍යක් සම්බුද්ධත්වට පත් වන්නේය. මතු බරණැස් පුර “කේතුමතී” නම් රාජධානියෙක් වන්නේය. එහි “සංඛ” නම් සක්විති රජෙක් වන්නේය. ඔහු පුරෝහිත “සුබ්‍රහ්ම” නම් බමුණා “මෛත්‍රීය” බුදුන්ගේ පියා වන්නේය. එ පෙරෙ විහුගේ භාර්යා වූ “බ්‍රහ්මවතී” බැමිණි මව වන්නීය. “නා රුකෙක් ඒ බුදුන්ගේ “බෝ රුක” වන්නේ යැයි විවරණ සිරිදී වදාළ සේක.

(බුදුසරණ පුවත්පත)