New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Ti9Uy0
==උග්ගතගෘහපති==

සත්වැන්නෙහි සංඝුපටටාකානං යන්නෙන් බික්සඟනට උවටැන් කරන්නවුන් අතුරින් හත්‍ථිගාමවාසී උග්ගතගෘහපති තෙමේ අග්‍රයයි දැක්වෙයි. මෙතෙමේ පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ පසු කලෙක ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව අසා එක් උවසුවකු සඟනට උවටැන් කරන්නවුන් අතුරින් අගතනතුරෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්‍ෂයක් දෙව් මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි හත්‍ථි ගමෙහි සිටුකුලයෙහි උපන්නේය. ඔහුට උග්ගතකුමාරයයි නම් කළාහුය. හෙතෙම පසුකලෙක ගිහිගෙහි පිහිටියේ පියාගේ ඇවෑමෙන් සිටු තනතුරට පත්විය. එසමයෙහි ශාස්තෘන්වහන්සේ බික්සඟන විසින් පිරිවරණලද්දාහු චාරිකාවෙහි හැසිරෙමින් හත්‍ථිගමට පැමිණ නාගවන උද්‍යානයෙහි වාසය කරනසේක. එකල්හි මේ උග්ගත සිටුතෙමේ සත්දිනක් මත්පැනින් මත්වූයේ නාටක (ස්ත්‍රීන්) විසින් පිරිවරන ලද්දේ නාගවන උයනට ගොස් හැසිරෙන්නේ භාග්‍යවතුන්වහන්සේ දැක බලවත්සේ ලජ්ජාබියට එළඹුණේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ වෙතට ළං වත් ළංවත්ම ඔහුගේ සියලු සුරාමදය සිඳී ගියේය. හෙතෙම ශාස්තෘන්වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. ඉක්බිති ඔහුට ශාස්තෘන්වහන්සේ දම්දෙසූ සේක. දෙසුම අවසන්හි තුන්මගපල අවබෝධ කළේය. එතැන් පටන් ‘නුඹලා කැමැති ලෙස යවු’යයි නාටක (ස්ත්‍රීන්)යවා දානයෙහි සිත් අලවා බික්සඟනට දන්ම දෙයි. දේවතාවෝ රැකාලය තුළ පැමිණ සිටාණන්ට අසුවල් භික්‍ෂුව ත්‍රිවිද්‍යාප්‍රාප්තය: අසූවල් භික්‍ෂුව ෂඩභිඥාප්‍රාප්තය: අසුවලා සිල්වත්ය: අසුවලා දුසිල්වත්ය’යි සැළ‍කරති. හෙතෙම ඔවුන්ගේ වචනය අසා ගුණවතුන් ඇතිසැටියෙන් දනියි. දියයුතුදේ සමසිතින්ම දෙයි. ශාස්තෘන් වහන්සේ සමීපයෙහි හිඳිගෙනද ඒ ගුණයම කියයි. ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි දෙව්රම්හි වැඩහිද ඒ ගැහැවියා සඟනට උවටැන් කරන්නවුන් අතුරින් අගතැන්හි තැබූසේක.