New at Little Bit


from Path to Nirvana https://ift.tt/2zPdFCL
ලෝකයා විසින් ආදරය කරනු ලබන්නා වූ ගරු බුහුමන් කරනු ලබන්නා වූ වැඳුම් පිදුම් කරනු ලබන්නා වූ උත්තම වස්තූහු චෛත්‍ය නම් වෙති. ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේසික චෛත්‍යය යි බුදුන් වහන්සේ පිළිබඳ චෛත්‍ය තුන් වර්ගයෙකි. බුදුන් වහන්සේගේ ශරීරයෙන් ඉතිරි ව ඇති ධාතු සමූහය ශාරීරික චෛත්‍ය නම් වේ. උන් වහන්සේ පරිභෝග කළ පා-සිවුරු ආදි වස්තු හා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද, ඒ බෝධීන් වහන්සේ ගෙන් පැවතෙන බෝධීන් වහන්සේලා ද පාරිභෝගික චෛත්‍යයෝ ය. උන් වහන්සේ උදෙසා වැඳුම් පිදුම් කිරීමට කරන ලද ප්‍ර‍තිමා රූපයෝ උද්දේසික චෛත්‍යයෝ ය.

සර්වඥ ධාතූන් වහන්සේලා

පිරිනිවියා වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහන කිරීමේ දී සම් මස් නහර සියල්ල කිසිවක් ශේෂ නො වී කපුරු මෙන් දා ගියේ ය. අස්ථීහු නොදා හුණු වී කුඩා කැබලි බවට පරිවර්තනය වූහ. වෙන් නොවී ඉතිරි වූ ධාතූන් වහන්සේලා සත් නමෙකි. ඔවුහු නම් : දළදා සතර නම ය, අකුදා දෙ නමය, ලලාට ධාතූන් වහන්සේය යන මේ ධාතූන් වහන්සේලා ය. විසුරුණා වූ ධාතූන් වහන්සේලාගෙන් මහත් ධාතූහු මුං පියලි පමණ වෙති. මධ්‍යම ධාතූහු කඩ සාල් පමණ වෙති. කුඩා ධාතූහු අබ ඇට පමණ වෙති. පැහැයෙන් මහත් ධාතූන් වහන්සේලා රත්තරන් පැහැ ඇත්තාහ. මධ්‍යම ධාතූන් වහන්සේලා මඳක් රත් පැහැ ඇත්තාහ. කුඩා ධාතූන් වහන්සේලා මුතු පැහැ ඇත්තාහ.

තථාගත ශරීරයෙන් ශේෂ වූ මහා ධාතූහු දස නැළියක් පමණ වූහ. මධ්‍යම ධාතූන් වහන්සේලා ද එ පමණ ම වූහ. කුඩා ධාතූන් වහන්සේ දොළොස් නැළියක් වූහ.

තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ජාත වූ ඒ ධාතූන් වහන්සේලා ශාසනයාගේ ආයුෂය වූ අවුරුදු පන්දහසක් මුළුල්ලෙහි නො නැසී පැවතී පන්දහස පිරෙන තැන දී සියල්ල ම මහබෝ මැඩට එක් ව බුදුරුවක් වී ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා අතුරුදහන් වන්නාහ.

ලක්දිව ධාතූන් වහන්සේලා හා පාරිභෝගික වස්තු

අපගේ වාස භූමිය වූ මේ ලක්දිව බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නා වූ ද, බොහෝ පාරිභෝගික වස්තු ඇත්තා වූ ද, සර්වඥයන් වහන්සේ පරිභෝග කළ බොහෝ ස්ථාන ඇත්තා වූ ද උත්තම භූමියෙකි. මහියංගණ චෛත්‍යයෙහි සර්වඥයන් වහන්සේ විසින් සියතින් ම දුන් කේශ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩ සිටිති. දකුණු අකු ධාතූන් වහන්සේ අනුරාධපුරයේ ථූපාරාම දාගැබ්හි වැඩ සිටින සේක. උර්ණරෝම ධාතූන් වහන්සේ මිහින්තලයේ සේල චෛත්‍යයෙහි වැඩ සිටිති. ලලාට ධාතූන් වහන්සේ හා කේශ ධාතූන් වහන්සේලා ද සේරුවාවි මංගල චෛත්‍යයෙහි වැඩ සිටිති. අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයෙහි ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටිති. දන්ත ධාතූන් වහන්සේ මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටිති. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැනි වර්ෂයේ සුමන සාමණේරයන් වහන්සේ විසින් බුදුන් වහන්සේ පරිභෝග කළ පාත්‍ර‍ය හා එය පුරා ධාතුන් වහන්සේලා ද මේ දිවයිනට ගෙනෙන ලදහ. ඒ ධාතූන් වහන්සේලා මේ දිවයිනේ නොයෙක් දිශාවල දාගැබ් ආදියෙහි වැඩ සිටිති. පාත්‍ර‍ ධාතුව ගෙන ආ බව මුත් දැනට වැඩ සිටින තැනක් අසන්නට නැත. සර්වඥයන් වහන්සේ පරිභෝග කළ පටියෙන් කොටසක් අනුරාධපුරයේ ජේතවන චෛත්‍යයෙහි පිහිටා තිබේ. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මැණික් පුටුවක් නිදන් කොට නාගදීප චෛත්‍යය කරවන ලදි. නාගදීපයේ පුරාණ චෛත්‍යයක් දැනට දක්නට නැත. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මිණිපලඟක් කල්‍යාණි චෛත්‍යයේ පිහිටා තිබේ. එහි ම තථාගතයන් වහන්සේ පරිභෝග කළ ජල සාටිකාවක් ද ඇති බව කියති. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ පිහිටා තිබේ. ලක්දිව තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම වැදී සිටීමෙන් පරිභෝග කළ ස්ථාන ද සොළොසෙකි.

ඔවුහු නම් :

(1) මහියඞ්ගණ චෛත්‍යය පිහිටි තැන ය.
(2) නාගදීප චෛත්‍යය පිහිටි තැන ය.
(3) කල්‍යාණි චෛත්‍යය පිහිටි තැන ය.
(4) සමන්තකූට පර්වත මුදුන ය.
(5) දිවාගුහාව ය.
(6) දීඝවාපි චෛත්‍යය පිහිටි තැන ය.
(7) මුතියංගන චෛත්‍යය පිහිටි තැන ය.
(8) තිස්සමහාරාම චෛත්‍යය පිහිටි තැන ය.
(9) ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි තැන ය.
(10) මිරිසවැටි සෑය පිහිටි තැන ය.
(11) රුවන්වැලි මහසෑය පිහිටි තැන ය.
(12) ථූපාරාමය පිහිටි තැන ය.
(13) අභයගිරිය පිහිටි තැන ය.
(14) ජේතවනය පිහිටි තැන ය.
(15) සේල චෛත්‍යය පිහිටි තැන ය.
(16) කතරගම කිරි වෙහෙර පිහිටි තැන ය.
(17)
යන මේ ස්ථානයෝ ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/n2is5I