New at Little Bit


from Path to Nirvana http://bit.ly/2WPiftW
දස සංඥාව (ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන්)
÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

1. අනිත්‍ය සංඥාව
~~~~~~~~~~~
ආරණ්‍යයකට, නිදහස් තැනකට, රුක් සෙවණකට හෝ ගිහින් නුවණින් මෙහෙම විමසනවා:
🎈 රූපය අනිත්‍යයි.
🎈 විඳීම් අනිත්‍යයි.
🎈 හඳුනාගැනීම් අනිත්‍යයි
🎈 සංස්කාරයන් අනිත්‍යයි.
🎈 විඤ්ඤාණය අනිත්‍යයි.

2. අනාත්ම සංඥාව
~~~~~~~~~~~
ආරණ්‍යයකට, නිදහස් තැනකට, රුක් සෙවණකට හෝ ගිහින් නුවණින් මෙහෙම විමසනවා:
🔽 ඇස අනාත්මයි. ඇසට පෙනෙන රූප අනාත්මයි.
🔽 කන අනාත්මයි. කනට ඇසෙන ශබ්ද අනාත්මයි.
🔽 නාසය අනාත්මයි. නාසයට දැනෙන ගඳ සුවඳ අනාත්මයි.
🔽 දිව අනිත්‍යයි. දිවට දැනෙන රස අනාත්මයි.
🔽 කය අනාත්මයි කයට දැනෙන පහස අනාත්මයි.
🔽 මනස අනාත්මයි. මනසට සිතෙන අරමුණු අනාත්මයි.

3. අසුභ සංඥාව
~~~~~~~~~
යටි පතුලෙන් උඩ සිට හිස් කෙස්වලින් පහළට සමකින් වැසී තිබෙන නා නා ප්‍රකාර අසුචියෙන් පිරුණු මේ කය පිළිබඳ නුවණින් විමසා බලනවා. මේ කය කියන්නේ:
◾ කෙස් ◾ ලොම් ◾ නිය
◾ දත් ◾සම ◾මස්
◾නහරවැල් ◾ඇට ◾ඇට මිදුළු
◾ වකුගඩු ◾හදවත ◾ අක්මාව
◾ දලබුව ◾බඩදිව ◾ පෙනහළු
◾ කුඩා බඩවැල ◾මහා බඩවැල ◾ආමාශය
◾ අසුචි ◾ හිස් මොළය◾ පිත
◾ සෙම ◾ සැරව ◾ලේ
◾දහඩිය ◾තෙල්මන්ද ◾කඳුළු
◾ වුරුණු තෙල් ◾ කෙළ ◾සොටු
◾ සඳමිදුළු ◾ මූත්‍ර
මේ ආකාරයෙන් කය පිළිබඳ ව අසුභ වශයෙන් දැකීම.

4. ආදීනව සංඥාව
~~~~~~~~~~~
ආරණ්‍යයකට, නිදහස් තැනකට, රුක් සෙවණකට හෝ ගිහින් නුවණින් මෙහෙම විමසනවා: මේ කය බොහෝ දුක් තිබෙන, ආදීනව තිබෙන දෙයක්. මේ කයේ විවිධාකාර රෝගාබාධ උපදිනවා.
° ඇස් රෝග ° කන් රෝග
° නාස රෝග ° දිවේ රෝග
° කයේ රෝග ° හිසේ රෝග
° පිටි කනේ රෝග ° මුඛ රෝග
° දත් රෝග ° ක්ෂය රෝග
° ඇදුම රෝග ° පීනස් රෝග
° දාහ රෝග ° උණ රෝග
° කුසේ රෝග ° සිහි මුර්ජා වීම
° ලේ අතීසාර රෝග ° අර්ශස් රෝග
° කොලරා රෝග ° කුෂ්ඨ රෝග
° ගඩු රෝග ° හමේ රෝග
° ශ්වාස රෝග ° අපස්මාර රෝග
° දද රෝග ° කඩුවේගන් රෝගය
° කැසීමෙන් ගෙඩි හට ගත් රෝග
° කැසීම් රෝග ° පණු හොරි රෝගය
° රත්පිත් රෝගය ° දියවැඩියා රෝගය
° අංශභාග රෝග ° පිළිකා රෝග
° භගන්දරා රෝගය
° පිතෙන් හටගන්නා රෝග
° සෙමෙන් හටගන්නා රෝග
° වාතයෙන් හටගන්නා රෝග
° තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝග
° ඍතු විපර්යාසවලින් හටගන්නා රෝග
° වැරදි ලෙස කය හැසිරවීමෙන් හටගන්නා රෝග
° උපක්‍රමයෙන් හටගන්නා රෝග
° කර්ම විපාකයෙන් හටගන්නා රෝග
° සීතල ° උණුසුම ° කුසගින්න ° පිපාසය
° මලපහ කිරීම ° මුත්‍රා කිරීම
මේ අයුරින් කය පිළිබඳ ආදීනව නුවණින් දකිමින් වාසය කරයි.

5. ප්‍රහාණ සංඥාව
~~~~~~~~~~
• උපන්නා වූ කාම විතර්ක නොඉවසීම. අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම.
• උපන්නා වූ ව්‍යාපාද විතර්ක නොඉවසීම. අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම.
• උපන්නා වූ විහිංසා විතර්ක නොඉවසීම. අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම.
• උපනූපන් පාපී අකුසල විතර්ක නොඉවසීම. අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම.

6. විරාග සංඥාව
~~~~~~~~~
ආරණ්‍යයකට, රුක් සෙවණකට හෝ නිදහස් තැනකට ගිහින් මෙහෙම නුවණින් විමසීම. ‘මෙය ශාන්ත වූ දෙයක්. ප්‍රණීත වූ දෙයක්. සියලු සංස්කාර ධර්මයන් සංසිඳී ගිය, සියලු කෙලෙස් සහිත කර්ම දුරු වී ගිය, තණ්හාව ක්ෂය වී ගිය, විරාගී වූ අමාමහ නිවනයි’

7. නිරෝධ සංඥාව
~~~~~~~~~~~
ආරණ්‍යයකට, රුක් සෙවණකට හෝ නිදහස් තැනකට ගිහින් මෙහෙම නුවණින් විමසීම. ‘මෙය ශාන්ත වූ දෙයක්. ප්‍රණීත වූ දෙයක්. සියලු සංස්කාර ධර්මයන් සංසිඳී ගිය, සියලු කෙලෙස් සහිත කර්ම දුරු වී ගිය, තණ්හාව ක්ෂය වී ගිය, දුක නිරුද්ධ ව ගිය අමාමහ නිවනයි’

8. සියලු ලෝකය පිළිබඳ නොඇලීමේ
~~~~~~~~~~~~~~~~~~~~~~~
සංඥාව
~~~~~
මේ ස්කන්ධ, ධාතු, ආයතන ලෝකය කෙරෙහි තිබෙන යම් බැසගැනීමක් තිබේද, බැඳීමක් ඇද්ද, චේතනාත්මක අදිටන් කිරීමක් ඇද්ද, අභ්‍යන්තරව කෙලෙස් පැවැත්වීමක් ඇද්ද, ඒවා දුරු කරමින් නොබැඳෙමින් නොඇලී සිටීම මෙයින් අදහස් වෙනවා.

9. සියලු සංස්කාර පිළිබඳ අනිත්‍ය සංඥාව
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සියලු සංස්කාරවලින් පීඩාවට පත් වෙනවාද, ලැජ්ජාවට පත් වෙනවාද, පිළිකුලට පත් වෙනවාද එය මෙනමින් හැඳින්වේ.

10. ආනාපානසතිය
~~~~~~~~~~
ආරණ්‍යයකට, රුක් සෙවණකට හෝ නිදහස් තැනකට ගිහින් පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන භාවනා කරන අරමුණ පිළිබඳ සිහිය පිහිටුවාගෙන වාඩි වෙනවා.

• සිහියෙන් යුතුව ම හුස්ම ගන්නවා. සිහියෙන් යුතුව ම හුස්ම හෙළනවා.

• දීර්ඝ ලෙස ආශ්වාස කරනවා නම් දීර්ඝ ලෙස ආශ්වාස කරමියි දැනගන්නවා.

• කෙටියෙන් ආශ්වාස කරනවා නම් කෙටියෙන් ආශ්වාස කරමියි දැනගන්නවා.

• සියලු කය පිළිබඳ ව මනා සංවේදී බවකින් යුතුව ආශ්වාස කරනවායි හික්මෙනවා. සියලු කය පිළිබඳ ව මනා සංවේදී බවකින් යුතුව ප්‍රාශ්වාස කරනවායි හික්මෙනවා.

• ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාරය සැහැල්ලු කරමින් ආශ්වාස කරනවායි හික්මෙනවා. ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාරය සැහැල්ලු කරමින් ප්‍රාශ්වාස කරනවායි හික්මෙනවා.

• ප්‍රීතිය පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. ප්‍රීතිය පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• සැපය පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. සැපය පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• සංඥා වේදනා නම් වූ චිත්ත සංස්කාරයන් පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. සංඥා වේදනා නම් වූ චිත්ත සංස්කාරයන් පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• චිත්ත සංස්කාර සැහැල්ලු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. චිත්ත සංස්කාර සැහැල්ලු කරමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• සිත පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. සිත පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• වඩ වඩාත් ප්‍රමුදිත කරවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. වඩ වඩාත් ප්‍රමුදිත කරවමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• වඩ වඩාත් සිත එකඟ කරවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. වඩ වඩාත් සිත එකඟ කරවමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• පංච නීවරණයන්ගෙන් හිත නිදහස් කරවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. පංච නීවරණයන්ගෙන් හිත නිදහස් කරවමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• අනිත්‍ය වශයෙන් නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. අනිත්‍ය වශයෙන් නුවණින් දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• ඇල්ම දුරුකිරීම නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. ඇල්ම දුරුකිරීම නුවණින් දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• ඇල්ම නිරුද්ධ කිරීම නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. ඇල්ම නිරුද්ධ කිරීම නුවණින් දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• සියලු කෙලෙස් අත්හැරීම නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. සියලු කෙලෙස් අත්හැරීම නුවණින් දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

බුදුහිමිගේ අනුශාසනාව පරිදි මේ දස සංඥා දැඩි ලෙස රෝගී වෙලා හිටපු ගිරිමානන්ද තෙරුන්ට ආනන්ද ස්වාමින් වහන්සේ ගිහින් වදාළා. මෙය ඇසූ ගිරිමානන්ද ස්වාමින් වහන්සේගේ රෝගය එතැනම සුවපත් වුණා. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. ධර්මාවබෝධය ම ලබත්වා!

(පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ පිරුවානා පොත් වහන්සේ ඇසුරිනි)