New at Little Bit


from Path to Nirvana http://bit.ly/2F7h0zF
අපට නොපෙනෙන ලෝකය

“ඔබ දකින දෙයම ඔබේ විනිවිද දැකීම වළක්‌වාලයි” යනු වටිනා කියමනකි. සෑම දෙයකම මතුපිටින් පමණක්‌ දැකීම පුහුදුන් අයගේ ස්‌වභාවයයි. උදාහරණයක්‌ වශයෙන් ඇසට ප්‍රිය උපදවන රූපයක්‌ දකින කෙනෙකු එහි අභ්‍යන්තරය නොදකී. අවට පරිසරයේ චමත්කාරය හෝ වෙනස්‌වීම් දකින අප එයට හේතු මොනවාදැයි අවබෝධ කරගැනීමට උත්සුක නොවේ.

මේ හේතුව නිසා ඇසට දැකිය නොහැකි බොහෝ දේ මිථ්‍යා විශ්වාස ලෙස බැහැර කිරීමට පෙළඹෙන අය බොහෝය. ඇසට නොපෙනෙන දේ හුදු මිථ්‍යාවන් බවට සමාජය තුළ මතවාද පතුරුවන බටහිර විද්‍යාව උගත් අති පණ්‌ඩිතයන් බිහිවෙමින් පවතී. පුවත්පත්, රූපවාහිනී ආදී ජනමාධ්‍යවල දියුණුවත් සමඟම මෙවැනි තර්ක ඉදිරිපත් කිරීම බහුලව දක්‌නට ලැබෙන අතර නූතන පරපුර මේවා විශ්වාස කිරීමට පෙළඹීමද පුදුමයට කරුණක්‌ නොවේ.

‘නැවත ඉපදීමක්‌ නැත’ යන්න මෙවැනි අදහසකි. එමෙන්ම දෙවියන් කියා අමුතු සත්ව කොට්‌ඨාශයක්‌ නැත. දෙව්ලොවද, අපායද ඇත්තේ මේ ලෝකයේමය. ධනවත්, උගත් අය දෙවිවරු වෙති. දුගී දුප්පතුන් අපායට අයත්ය. උපතින් ගෙනෙන දක්‌ෂතා කියා දෙයක්‌ නැත. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක්‌ කිරීමට පුහුණු විය හැකිය. ග්‍රහයන් මිනිසුන්ට හෝ පරිසරයට බලපාන්නේ නැත. මන්ත්‍ර හෝ පිරිත්වල බලයක්‌ නැත. දන් දීම හොඳ දෙයක්‌ නමුත් එහි අමුතු විපාකයක්‌ නැත. සත්ව ඝාතනය නිසා පවක්‌ සිදු නොවේ. මේ ආදී විවිධ විශ්වාසයන් සමාජගත වෙමින් පවතී.

මෙම විශ්වාසයන් සමාජගත කරන අය කියන්නේ මේවා මිථ්‍යා විශ්වාස බවය. ඇසට නොපෙනෙන මෙම බලවේග හුදු මිථ්‍යා විශ්වාසයන්ද? යන්න සාකච්ඡා කළ යුතු කාලීන මාතෘකාවක්‌ බව හැඟේ. මෙවැනි විශ්වාස සමාජ ගත කරන අයට අනුව නම් ජ්‍යෙdතිර්වේදීන්ද ආයුර්වේද වෛද්‍යවරුද, පූජකවරු ද සමාජය රවටන වංචනිකයෝ වෙති. මේ බව පසුගිය දිනක ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක්‌ මගින්ද පෙන්වන ලදී.

ඕපපාතික යනු මව් පිය එක්‌වීමකින් නොව ඉබේම පහලවන සත්ව කොට්‌ඨාශ වේ. දෙවියන් මිථ්‍යාවන් බවට ඊනියා උගතුන් තර්ක කළද බුදු දහම අනුව ඕපපාතිකව පහළ වන සතුන් නැතැයි කීම මිත්‍යාදෘෂ්ටියකි.

බුදුරජාණන් වහන්සේ විසින් සිදු කෙරුනු පළමු ධර්ම දේශනයේදීම දිව්‍ය ලෝක ගැන සඳහන්ය. එනම් ධම්ම චක්‌ක පවත්තන සූත්‍රයයි. මෙහි චාතුර් මහා රාජිකය, තාවතිංශය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරනිම්මිත වසවර්තිය යෑයි දිව්‍යලෝක හයක්‌ ගැන ද බ්‍රහ්ම ලෝක 16 ක්‌ ගැන ද කියනු ලැබේ. දිව්‍ය හා බ්‍රහ්ම ලෝකවල උපදින්නේ උසස්‌ පුණ්‍ය ශක්‌තියක්‌ ඇති අය බවත්, එම අයගේ ශරීර අපගේ මෙන් ඝන ශරීර නොවන බවත් සඳහන්ය. සියලු රූප සෑදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන්ගෙන් වන අතර දේව ශරීරවල පඨවි නම් තද ගතිය ඉතා අඩුය. එහෙත් බොහෝ අවස්‌ථාවල ඩිජිටල් කැමරා රූප රාමුවල අමනුෂ්‍ය රූප සටහන් ලැබී තිබේ.

එමෙන්ම මංගල සූත්‍රය, වසල සූත්‍රය, මහාසමය සූත්‍රය, ආටානාටිය සූත්‍රය ආදියේ දෙවියන් ගැන සඳහන් වේ. යාමය හා තාවතිංසය යන දෙව්ලොව දෙකට අධිපති වන්නේ දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් බව ද ශක්‍ර දෙවියන්ගේ පරම සතුරා වන්නේ පරනිම්මිත වසවර්ති දෙව්ලොව අධිපති වසවර්ති මාර éව්‍ය පුත්‍රයා බවත් කියවේ.

දේවත්වයට පත් වන්නේ මිනිස්‌ ලොවේ කරන ලද පින් හේතුවෙනි. පින් වල විපාක ලෙස මිනිස්‌ ලොවට වඩා සැප ඇති දිව්‍ය ලෝකවල උපත ලබා දීම සිදුවන්නේය. මේ අනූව බෞද්ධයෙකු නොවුනද පින් කරන්නේ නම් දිව්‍ය ආත්මවල ඉපදීම සිදුවිය හැකිය.

දෙවියන් දැකීමට හෝ අදහස්‌ හුවමාරු කර ගැනීමට නම් ඊට සුදුසු ලෙස මනස පිහිටුවාගත යුතු වේ. මේ සඳහා බොහෝ උපකාරී වන්නේ භාවනාවයි. දන් සිල් භාවනාවල යෙදෙන කෙනෙකුට දේව කරුණාව ලැබේ. මේ අතර ශ්‍රී විෂ්ණු, කතරගම, සමන්, භද්‍රකාලී, පත්තිනි වැනි දෙවිවරුන් ඇදහීමට ජනතාව හුරු වී ඇත. විෂ්ණු දෙවියන් හින්දු දෙවි කෙනෙක් යයි නොදන්නා අය කීවද උන් වහන්සේ පාරමී සපිරුණු බෝසතාණන් වහන්සේ නමක් බව අපේ පැරන්නෝ දනිති. මෙත් බෝසතාණන් වහන්සේගෙන් පසු කල්ප 63 කට පසුව බුද්ධත්වයට පත් වනුයේ විෂ්ණු බෝසතාණන් වහන්සේය. උන් වහන්සේ වර්තමානයේ දිව්‍ය ලෝකයන්ගෙන් ඉහලම දෙව්ලොව වූ පරිනිමිත්ත වසවර්ති දෙව්ලොව වැඩවාසය කරති.

එමෙන්ම දේවාලවල ශාස්‌ත්‍ර කීමේ නියෑලෙන දේව භක්‌තිකයන්ටද ආධාර උපකාර කරන සාමාන්‍ය දෙවිවරුන් සිටිය හැකිය. සමහරවිට ඒ දේව නොව භූත ආත්මවල අය වීමට ද ඉඩ තිබේ. කෙසේ නමුත් දෙවියන්ට මිනිසුන් ආහාරයට ගන්නා පලතුරුද මුදල් හෝ වෙනත් සම්පත් ද අවශ්‍ය නොවේ. දේව ආත්ම වලට අවශ්‍ය ආහාර හා වෙනත් දේ පිනටම පහලවන බැවිනි.

මේ නිසා දේවාලවලට පලතුරු වට්‌ටි පූජා කිරීමට වඩා උසස්‌ පින්කම්වල යෙදී එම පින් අනුමෝදන් කිරීම හොඳ බව කිව යුතුය. දෙවියන් පින් අනුමෝදන් වනවා මිස පිනෙන් ලැබෙන ශක්තියක් ගන්නේ නැත. පිං අනුමෝදන් වීම යනු තවෙකෙකු කරන යහපත් ක්‍රියාවක් දැක සතුටු වී කුසල චිත්ත පරම්පරාවක් තම සන්ථානය පහළ කරගැනීමකි. පිං ගන්නවා යනුවෙන් අදහස් කරනුයේ ප්‍රේත කොට්ඨාෂයන් පිළිබඳව ය.

ඥාති පේ‍්‍රත හෙවත් මළගිය ඥාතීන් අනුන්ගෙන් යැපෙන්නේ ඇයි?

“ඒ පේ‍්‍රත ලෝකයෙහි සී සෑමෙක් නැත්තේ ය. ගව පාලනයක් එහි නැත්තේ ය. (සම්පත් ලැබීමට හේතු වූ) එබඳු වෙළඳාමකුත් නැත්තේය. රන් රිදියෙන් කරන ගනුදෙනුවක් ද නැත්තේය. (හුදෙක්) මැරී ඒ පේ‍්‍රත විෂයට පැමිණියෝ මේ මිනිස් ලොව වසන නෑමිතුරන් විසින් දෙන ලද දෙයකින් යැපෙත්” (තිරෝකුඞ්ඩ සූත‍්‍රය – ඛුද්දක නිකාය (1), ඛුද්දකපාඨ පාළි – 15 පිටුව)

කෙසේ නමුත් මෙම පලතුරු පූජා ආදිය කරන බැතිමතුන් දෙස සානුකම්පිතව දේව බැල්ම ඇති වීමට ඉඩ තිබේ. එහෙත් මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන්නේ සිල්වත් බ්‍රහ්මචාරීන් වළඳවා (සාංඝික දානය) දෙවියන්ට පින් අනුමෝදන් කළ යුතු බවයි. එසේ කරන අය දෙවියන් විසින් රකින්නේ එක දරුවෙකු සිටින මවක්‌ ඒ දරුවා රකින්නාක්‌ මෙන් බව ද එම සූත්‍රයේ සඳහන්ය.

බොහෝ ත්‍රිපිටක සූත්‍රවල සඳහන් වන දෙවියන් යනු හුදු මිථ්‍යාවක්‌ පමණක්‌ බවට සාහසික ලෙස තර්ක කිරීම මෝඩ පණ්ඩිතකමේ ලක්‌ෂණයකි. නූගත් බව කියා පෑමකි. නොදන්නා දේ සොයා බලනවා වෙනුවට තර්ක ගෙනහැර පෑමෙන් සිදුවන්නේ මිථ්‍යාව සමාජගත කිරීමයි.

එහෙත් එක කරුණක්‌ කිව යුතුව තිබේ. විභාග සමත්කර දීමට නැතහොත් ධනය ලබාදීමට යෑයි දෙවියන් යෑදීම සුදුසු නොවන බවයි. පාඩම් නොකර විභාග පාස්‌ කරන දෙවි කෙනෙකු ගැන කිසිම තැනක සඳහන් නොවේ. එහෙත් අධ්‍යාපනයට එන විවිධ බාධා ජයගැනීමට නම් දේව පිහිට ලැබීම සුදුසුය. කෙසේ නමුත් සියලු මිනිසුන්ටත්, සියලු දෙවියන්ටත් සියලු බඹුන්ටත් ඉහළින් සිටින වාසනාවෙන්ද ප්‍රඥාවෙන් ද රූප සම්පත්තියෙන්ද අගතැන්පත් බුදුරජාණන් වහන්සේට වඩා දෙවියන් ගැන විශ්වාසය පළකිරීම මිථ්‍යාවකි. මේ අනුව දේවාලයට පෙර විහාරයට යැම අත්‍යාවශ්‍යය. නිවසේ බුදුන්ට වඩා දෙවියන්ට මුල් තැන දීම භයානකය. නොදන්නා ස්‌තෝත්‍ර කියා වරදවා ගැනීම ද භයානකය.

දිනපතා බුදු පහන දල්වා මල් ආදිය පූජා කර මෛත්‍රී භාවනාව අප්‍රමාණ වශයෙන් ටික වේලාවක්‌ හෝ කර දෙවියන්ට පින් දී කටයුතු කිරීම සුදුසුය. දෙවියන්ට පූජා තබන්නේ නම් ඒ සඳහා ඉතා සුදුසු වන්නේ ඒ වෙනුවෙන් ම ඉදිකර ඇති දේවස්‌ථාන වේ.

ඇසට නොපෙනෙන බලවේග හඳුනා ගැනීමට තරම් අප නැණවත් විය යුතු වේ. එමෙන්ම එම බලවේග නුදුටු පමණින් මිථ්‍යා විශ්වාස ලෙස ඉවත දැමීමද නොකළ යුතු වේ. දෙවියන් ඇතුළු මෙම බලවේග දඩමීමා කරගනිමින් අහිංසක ජනතාව රවටා ගසාකන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වීමද නුවණින් කළ යුතු වේ. හේතු සහිතවම ‘ඇත’ කියන්න. හේතු සහිතවම ‘නැත’ කියන්න. හේතු නොදන්නේ නම් ඒ ගැන නොදනිමියි කියන්න. එහෙත් සොයා බලන්න. දකින දේ විනිවිද දැකීමට ප්‍රඥාව පහළකර ගනිමු.

http://www.divaina.com ඇසුරෙනි