New at Little Bit


from Path to Nirvana https://ift.tt/2G6B8Th
එකම නිල්වන් වදුලු තලාවක්‌ වූ නොයෙක්‌ තුරුයෙන් හා ලතාවන්ගෙන්ද සශ්‍රීකව පැවැතියා වූ ඡේතවනාරාමයෙහි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ විසූ සේක. එම මනරම් ආරාමයෙහි දහසකටත් අධික වූ බුදු පුතුනුවන් වහන්සේලා වැඩ වාසය කළද පරිසරය බෙහෙවින් ශාන්ත දාන්තව පැවැතියේය.

නෙත් මෙන්ම සිත්ද එක ලෙස පැහැර ගනිමින් ඒ බැලු බැලූවන්ගේ නෙතුත්, සිතු සිතූවන්ගේ සිතුත් මහා පහන් බවකට පත් කළාවූ බුදුපියාණන් වහන්සේ ඒ ව නවිටත් වැඩ සිටියේ දහම් අසුනේය. තමන්ගේ ඇස ගැටුණු රූපත් ගැහැණියක්‌ නිසා බියකරු සංසාර සාගරයේ තවදුරටත් රැඳී බැඳෙන්නට කල්පනා කළ උදාසීන භික්‌ෂුවකට ඒ අමා මෑණිsයන් වහන්සේ දහම් දෙසමින් සිටියහ.

‘අවාසනාවන්ත, භික්‌ෂුව, නුඹ මෙසේ මාර පාසයෙන් බැඳී ගියේ මේ දැන් නොව, පෙරත් එසේම වූයේ යෑයි දක්‌වා වදාළ සර්වඥයන් වහන්සේ ඒ අලස භික්‌ෂුවගේ අතීතයද ගෙන දක්‌වන්නට පටන් ගත්තේය. මහා කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුතුවය.

එය දුර ඈත අතීතයේ එක්‌තරා කාල වකවානුවක්‌ විය. එකල වූ එම රාජධානියෙහි අග්‍රතම නගරය වූයේ පෝතලී නම් නුවරයි. ‘අස්‌සක’ එහි රාජ්‍යත්වයට පත්ව රාජ්‍ය පාලන කටයුතුවල නිරතව සිටියේය. අස්‌සක රජ රාජ පාලනය රාජ්‍යයේ පමණක්‌ නොව පෝතලී නුවර පුරාවෙහිමත් අහුමුලු නෑර පැතිරී ගියද එහි සියලු ජනතාවෝම ජීවන සහන දායාදය නොලද්දොaය. එනම් රටේ එක්‌ පිරිසක්‌ සියලු සැප සම්පත් අනුභව කරද්දී තවත් ජනකායක්‌ ජීවත්වූයේ දිළිඳුකම නමැති බහ බරින් නොයෙක්‌ දුක්‌ ගැහැට හා වේදනාවන්ද අනුභව කරමින්ය. වරෙක නොනැවතී එක දිගට වැසි වැස්‌සේය. මෙසේ අපමණ කාලයක්‌ තුළ වැසි වැටී අහසේ පැහැය සේදී ගියාක්‌ මෙන්වූ විට ඊළඟට පෑයූ හිරුගේ තද රැසින් මහපොළොවද පුපුරා ගියේය. සොබා දහමේ හිරිහැර හා අරියාදූන්ද සහිත මේ සෑම කාලගුණ විපරීතයකදීම සිදුවූයේ දුප්පතුන්ගේ කුඩා ධ්‍යානාගාර බෙහෙවින් හිස්‌වී යාමය. මේ සෑම විටෙකදීම සෑම මිනිසකුට හා ගැහැණියකටම උරුමවූයේ ඉහටත් උඩින්වූ දුප්පත්කම නමැති සාපයෙහි අඳුරු සලකුණු පමණකි. ඒ හැර අස්‌සක රජතුමා හෝ රජයේ වෙනත් කවරකුදු හෝ ඔවුන්ගේ දුකඳුරු තිමිර ඉරා දමා ඔවුන් නිවා සනහන්නට ආවේ නැත. එවැන්නක්‌ සිදුවීමට නම් ඒ ඇසුරින් රටම හෙල්ලුම්කවන්නා වූ කිසියම් ආනෝදොaලනාත්මක සිද්ධියක්‌ සිදුවිය යුතු විය. එහෙත් එවැන්නක්‌ සිදුවූයේ කලාතුරකිනි. එතෙක්‌ මේ දිළිඳු ජනතාවෝ නැති බැරිකම් නමැති තම තමන්ගේ අඳුරු අහුමුලුවලට තල්ලුවී අසරණකමින් පරිපීඩිතව බලා සිටියේය.

අස්‌සක රජ මැදුරේ කිසිවකුටත් රුදුරු ජීවන ඉරණමෙහි සේයාවකුදු දැනුණේ නැත. ඔවුහු රසවත් අහරින් මෙන්ම පානයෙන්ද සන්තර්පනය වී ඌරන් මෙන් තරව වැඩුණු කය මෙන්ම නිරෝගී බවින්ද යුතු වූවෝය.

මේ අතර ජීවත්වෙමින් සිටි ‘උබ්බරී’ ද රජ පවුලේම එක්‌ කාන්තාවක්‌ වූවාය. පංච කල්‍යානයෙන් යුක්‌ත ව රූපශ්‍රී ඇති උම්බරියට පළමු වූ තවත් කිසිදු වනිතාවක්‌ අස්‌සක රජ මාලිගයෙහි නොවූවාය. එහෙයින්ම උබ්බරීට මේ රජ මාලිගය තුළ හිමිවූයේද ලොකු තනතුරකි. එනම් ඒ අනෙකක්‌ නොව අස්‌සකගේ අග්‍රභාර්යාව තානාන්තරයයි.

ලෝකයේ කොතැනක වුවද මල් හට ගන්නා වසන්තයම හැමදා හැම විටෙකම පවතින්නේ නැත. ලොව ජීව අජීව කවරකටත් පොදු වූ වෙනස්‌වන සනාථතන දහමින් ඒ අනුව සෑම සියලු දෙයක්‌ම නැසී වැනසී උඩු යටිකුරුව යන්නේ කිසිවකුත් නොසිතූ නොපැතූ ආකාරයටය. අස්‌සක ඇතුළු පිරිස සියලු ලෞකික බල මහිමයන්ගෙන් බෙහෙවින් සන්නද්ධ වී උපරිම රාජකීය ජීවිතයක්‌ ගත කළද එම අනියත දහම එලෙසින්ම ඔවුන් කෙරෙහිද බලපවත්නා බව කියන යුගයක ලකුණු පහළ වෙමින් තිබුණේය.

ගස්‌ මුදුන්වල සිටිමින් තොරතෝංචියක්‌ නැතිව හඬා වැලපෙන උලමාගේ සොහොන් හඬ මුළු මහත් පෝතලී නුවර පුරාවෙහිම අහුමුලු නෑර පැතිර ගියේය. අනෝරා වැසි වැරෙන පරිසරයක සේයාවකුදු නොවුණත් හැම දවසකම පෝතලී නුවර පුරා පැවැතියේ මූසල අඳුරු මන්දාරමක්‌ සහිත වැහි බීරමකි. ගහකොළ සැලිණ. ඒ සැලෙන විට තුරු මුදුන් එකිනෙක ගැටී නැගෙන හඬ මහ මුහුදක මහ කැලඹුමක්‌ නිසා බිඳෙන – සිඳෙන රළ ගෙඩි රැළක වියරු ඝෝෂය කියා පෑවේය. නපුරු කාලයේ නෙක ලකුණු පළ කළ රජ මැදුරට උදාවන නස්‌පැත්තියේ අමිහිර නොබෝ දිනකින්ම අස්‌සක ඇතුළු නිලබලධරයින් හැමට වටහා ගත හැකිවී.

අකුසල කර්මයන් ඇසුරෙහි මෝරා වැඩුණු ප්‍රතිවිපාකයන් ලැබෙන්නට පටන්ගෙන තිබෙන බව අස්‌සක අග බිසව වූ උබ්බරීගේ කහ ගැහුණු ඇඟෙන්ද ගිලී ගිය සුදුමැලි දැසින් හා වෙව්ලන ඇඟපතින්ද වඩාත් පැහැදිලිව පෙනුණේය. වෙදකම්වලින් පමණක්‌ නොව හෙදකම්වලින්ද දැනුම් සයුරේ නැණ නැවින් එතෙරව ගිය වෙද ඇදුරෝ අස්‌සකගේ රාජ මාළිගයට පැමිණියෝය. ඔවුහු දන්නා කියන සෑම බේතක්‌ හේතක්‌ම උබ්බරීමට දුන්නෝය. එහෙත් ඒ කිසිවකිනුත් උබ්බරී ගොඩට ගැන්මට නොහැකි වී. උබ්බරී රෝගාතුර වූ මේ දින කිහිපයට ඇගේ රන්වන් රූපය ඇත්තටම දිරා වැහැරී ගොස්‌ තිබුණේ මුළුතැන් ගෙයක වූ කිළිටි කඩමාල්ලක්‌ පරිද්දෙනි.

ඈ ඉතා වේදනාවෙන් සිරි යහන් ගබඩාවෙහි කෙඳිරිගාමීන් සිටියාය. ක්‍රමයෙන් ජීවිතය තුරන්වී යනු ඇයට දැනේ. ඇයගේ පරිවාර කාන්තාවෝ ඇය අසලට රැස්‌ව වරින් වර වැළපෙන්නට පටන්ගත්හ. මේ සියල්ල දෙස බලාගෙන අස්‌සක රජතුමා සිටියේ ශෝකයෙනි. ඔහුගේ පපුවේ හා උගුරේ ගැස්‌ම නොඉවසිය හැකි තරම් බලවත්ව දැනී ඔහුටද හැඬුම් ආවත් ඔහු එය වෑයමින් නවතා ගත්තේය. එනමුදු අස්‌සකගේ කඳුළුවලින් බොඳවී ගිය දෙඇස කාටත් පැහැදිලිව දැකගත හැකිවිය.

මෙදින රාත්‍රිය ගෙවී ගියේ මේ සිහිසන් නොමැති ශෝකාතුර අන්ධකාර පරිසරය ඇතුළේ අසස්‌ක රජ මාලිගයම ගිලීගනිද්දීය. මාරයාගේ බල පුළුවන්කාරමකම ගැන සිතින් මෙන්ම කයින්ද දුබලව ගිය උබ්බරීට කිසිම සැකයක්‌ තිබුණේ නැත. ජීවත මාලිගයෙහි ඇයට තවත් විසිය නොහැකි විය. එක්‌ ජීවිතයකදී උරුමකරගත් අපමණක්‌ වූ දුක්‌ වේදනාවන් නිමාකොට උබ්බරී මරණය වැළඳ ගන්නා විට එදින අලුයම් කාලය ළඟාවෙමින් තිබිණි. රාජකීයයන්ට උලමාගේ සෝපහාස නාදය තවත් නොඇසිණ. එනමුදු අස්‌සක රාජමාලිගයේ පැවැති අඳුරු පාලු මූසල ස්‌වරය තවදුරටත් එසේම පැවැතිණ.

උබ්බරීගේ මරණය සිදුවී නපුරු කාලය වැට පැන යාමෙන් ඉක්‌බිතිව පෝතලී නුවර යළිත් මුලින් පැවැති ස්‌වරූපයට පෙරළී තිබිණි. එසේ වුවත් තම ප්‍රියාදර භාර්යාව වූ උම්බරියගෙන් වෙන්වී අස්‌සකට කිසිසේත් සිතෙහි සාමයෙන් කාලය ගත කළ නොහැකි විය. උබ්බරිය අවශ්‍ය යෑයි ඔහුගේ සිත ඔහුට තදින්ම කීවේය. ඒ නිසාමදොa අස්‌සක කළ දෙයින් මහජනතාවෝද මහත් විමතියකට පත්වූහ. එනම් උබ්බරීගේ රූපයෙන් අගපත් මළකඳට ආශා කළ හේ එය කිසිදා කුණු නොවන බලගතු තෙලක ගිල්වාලූයේය. ඉන් ඉක්‌බිතිව ඒ පනසුන් මළ කඳ තම සිරියහන් ගබඩාවෙහි තමා නිදන ඇඳ යට තබා ගත් අතර ඔහු අනතුරුව හරිහමන් ලෙස කෑමක්‌ බීමක්‌ පවා නොගෙන බොහෝ විට ශෝකාතුරව ඇඳ උඩ වැතිර සිටියේය. අමාත්‍යයින් අස්‌සකගේ ශෝකාතුර සිත නිවා සනහාලන්නට නොයෙක්‌ දහම් කීමත් ඒවායින් කිසිම වැඩක්‌ වූයේ නැත.

සම්මා සම්බුදු බව ලබන්නට උතුම් පෙරුම් දම් පුරමින් අප මහා බෝසතාණන් වහන්සේ මෙකල හිමාල වනයෙහි වැඩ වාසය කළහ. සීතල හිමවතෙහි දුස්‌කරතම ජීවිතයක්‌ ගෙවමින් බියකරු සංසාර දුකින් අතමිදෙන්නට මෙසේ වීරිය වඩන අතරේ එක්‌ දිනෙක උන්වහන්සේ ස්‌වකීය වූ දිවැසින් ලෝකය දෙස මොහොතක්‌ බලා වදාළ\හ. එහිදී උන්වහන්සේට පෙනුණු නොයෙක්‌ දසුන් අතර ශෝකයෙන් මුසපත්ව ගිය අස්‌සක රජුගේ ජිවන අන්දරයද අපූරුවට පෙනිණි. නිරාහාව දුකින් යහනාවේ වැතිර සිටින ආසක දුටු බෝධි සත්වයන් වහන්සේ තුළ හටගත්තේ බලවත් අනුකම්පාවකි.

‘අස්‌සක රජ මැදුරට වෙත ගොස්‌ මේ විපතින් ඔහු අතමිදවිය යුතුය යන පරාර්ථනීය කල්පනය එහිදී එක්‌වරම උන්වහන්සේගේ සිතට නැගිණ. ඒත් එක්‌කම ගමනාරම්භයද කළ බෝධිසත්වයන් වහන්සේ අහස්‌ කුස සිසාර වැඩමවා විත් නතර වූයේ අස්‌සකගේ මඟුල් උයනේය. එහි ගල්තලාවක්‌ මත වැඩහුන් උන්වහන්සේ දුර ඈතට පෙනුණේ ඇත්තටම රන්වන් පිළිමයක්‌ සේය. එකෙණෙහිම එතැනට ආ බ්‍රාහ්මණයකුගේ ද අස්‌සකට සිදුවී ඇති විපත උන්වහන්සේට දැන ගන්නට ලැබිණ.

බෝධි සත්වයන්ගේ ඉල්ලීම පිට අස්‌සක උන්වහන්සේට අභිමුවට කැඳවූයේය. දිවැස්‌ ඇති මහත් බලසම්පන්න තාපසයකු සිය මඟුල් උයනට වැඩමකර සිටින බව ඒ වනවිට අස්‌සකටද දැන ගන්නට ලැබී තිබුණේය.

එහෙයින් ඒ තාපසයෝ මාගේ ආදර බිරියගේ උත්පත්තියද දන්නවා විය හැකියි. ඈ උපත ලබා සුවසේ ජීවත්වනු ඇත්තේ කොහේද? උන්වහන්සේගෙන් අසා දැනගන්නට දැන්ම යන්න ඕනෑ. එසේ සිතූ අස්‌සක සිරියහන් ගැබෙන් නික්‌මී මගුල් උයනට ගියේය.

‘පින්වත් තාපසයාණන් වහන්ස මාගේ ප්‍රිය භාර්යතමෝ මරණින් මතු කොහේ උපත ලබා සිටින්නේද? මට නොවහලා පවසනු මැනවි’. අස්‌සක බෝසතුන් හමුවේ දණින් වැඳ වැටුණේය.

‘එසේය මහරජතුමණි, දනිමි. ඇය දැන් ගොය ගොඩක පණුවියක්‌ව උපත ලබා සිටිනවා’ යි බෝසත් තවුස්‌තෙම පිළිවදන් දුන්නේය.

පින්වත් තවුසාණෙනි, මෙතරම් රූ සිරියකින් ජීවත්ව සිටත් එබඳු ආත්මයක්‌ ඈ ලැබුවේ කොහොමද? එය නම් මට කොහොමවත් අදහාගන්න බැහැ’ අස්‌සක කීය. බෝසත් තාපසයාණන් වහන්සේ මෙහිදී ගෙට උණ්‌ඩියක්‌ සහිතවම පණුවිය අස්‌සක අභියසට ගෙන්වූ සේක. ගොම උණ්‌ඩියක්‌ සහිතව සිය සැමි ගොම පණුවාද සමග එහි ආ පණුවිය සිය පූර්ව ආත්මය කියන්නටද පටන් ගත්තාය. තමා එදා අස්‌සකගේ රූබර බිරිඳවූ උබ්බරී බවත්, රූප මදයෙන් මත්ව කිසිදු පිනක්‌ දහමක්‌ නොපිරූ හෙයින් මෙසේ උපන් බවත් ඈ කීවාය.

පින්වත් තාපසයාණන් වහන්ස. මේ අස්‌සකයනුත් සමග මෙම මඟුල් උයන තුළ පෙරදී මා කෙළිදෙලෙන් පසුවූ වාර අනන්තයි. ඒත් දැන් මා ඒ ජාතියෙන් වෙන්වුණා. එහෙයින් අස්‌සක රජු කෙරෙහි කිසිදු ස්‌නේහයක්‌ හෝ බැඳීමක්‌ මා තුළ නෑ’ යි ගොම පණුවිය තවදුරටත් තෙපළාය.

එයින්ම අස්‌සකගේ මෝහයත්, ඒ හා බැඳුනු මුලාවත් සියල්ලත් සංසිඳුණේය. ඔහු සැනෙකින් නිදා සිට පිබිදුනකු මෙන් පියවි ලෝකයට පිවිසුණේය. න් ඉක්‌බිතිව රජ මැදුරට ගිය ඔහු වහාම උබ්බරීගේ මළකඳ නොහොන් බිමට පිටත්කර හැරියේය. මුළු රජමැදුරම සෝදවා තමනුත් නා හිස්‌ සෝදා සුවඳ පැනින් සුවඳවත්වී දැහැමින් රාජ්‍ය කොට මිය පරලොව ගියේය.

එකල ශාසනයෙහි උකටලී වූ භික්‌ෂුව මෙකල මේ අස්‌සකය. ඔහු මුdවේ පෙලූ ස්‌ත්‍රිය මේ ගොම පණුවියයි. ඔහු රාග ගින්නෙද් මුදවාලූ තාපසයාණන් නම් දැන් බුදුවූ මම්ම වේ යෑයි දක්‌වා වදාල බුදුරජාණන් වහන්සේ මේ අස්‌සක ජාතකය නිමවා වදාළ සේක.