New at Little Bit


from Path to Nirvana https://ift.tt/2UbZmkw
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 25 🧡💛
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 08

සක්විති කිරුළ සඳහා පිරිය යුතු සක්විතිවත්.

සක්විති රජකු තුළ තිබිය යුතු දස සක්විති වත් දැක්වෙන්නේ දීඝනිකායේ පාථිකවග්ගපාළියට අයත් “චක්කවත්ති – සීහනාද” සූත්‍රයෙහි යි. එහි සඳහන් කර ඇති අන්දමට ඉහත කියූ සත් රුවන් පහළ වීමෙන් සක්විති රජකමට පත් වන්නේ මේ දස සක්විති වත් වලින් සමන්විත රජකෙනෙක් පමණයි. ඒ විතරක් නෙවෙයි ඒ සක්විති රජකම සුරැකෙන්නෙත් ඒ සක්විති වත් රකිනතාක් කල් පමණයි. ඒ නිසා මුලදී රැක පසුව නොරැක ඉන්නත් බැහැ. එහෙම වුනොත් චක්‍ර රත්නය අතුරුදහන් වෙනවා. ඒ සමගම දින හතකින් සක්විති රජකමත් අහිමිවෙනවා. ඒ සක්විතිවත් දැනගැනීම සක්විති නොවුනත් අපේ පාලකයන්ටත් වැදගත්වේවි. ඒ නිසා එයත් කෙටියෙන් සඳහන් කරන්න හිතුනා.

[1] ධර්මයෙහි පිහිටා ධර්මයට සත්කාර කරමින් ධර්මය ගරු කරමින්, ධර්මය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මධ්වජයක්ව ධර්මකෙතුවක්ව ධර්මය ප්‍රධාන කොට ගෙන, සිය අඹුදරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා, ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කිරීම.
[2] බල සෙනඟද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කිරීම.
[3] ක්ෂත්‍රියයන්ද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කිරීම.
[4] බ්‍රාහ්මණ ගෘහපතීන්ද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ආරක්ෂාව පිළියෙළ කිරීම.
[5] නිගම ජනපද වාසීන්ද රැක ගැනීම.
[6] මහණ බමුණන්ද රැක ගැනීම.
[7] සිවුපාවුන් හා කුරුල්ලන්ද, ජීවිත දානයෙන් ආරක්ෂා කිරීම.
[8] සිය රටෙහි අධර්මක්‍රියා නොපවත්නා ලෙස කටයුතු කිරීම.
[9] සිය රටෙහි ජීවත්වන දුප්පතුන්ට කෑම බීම ධනය මෙන්ම අවශ්‍ය සියලුම රුචි අරුචි වලින් සංග්‍රහ කිරීම.
[10] සිය රටෙහි ලෞකික ආශා ආදි මදයෙන් හා පඤ්චකාම ගුණයෙන් වෙන්වූ ඉවසීමෙහි හා කරුණාවන්ත භාවයෙහි පිහිටියාවූ රාගාදිය දමනය කළ, සමනයකළ විනාශ කළ යම් මහණ බමුණු කෙනෙක් වෙත්ද, ඔවුන් කරා කලින්කල පැමිණ ‘ස්වාමීනි, කුශලය නම් කුමක්ද? අකුශලය නම් කුමක්ද? වරද නම් කුමක්ද? නිවරද නම් කුමක්ද? කුමක් සේවනය කළ යුතුද? කුමක් සේවනය නොකළ යුතුද? කුමක් කරනු ලබන්නාවූ මට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද? කුමක් හෝ කරනු ලබන්නාවූ මට හිත පිණිස, සැප පිණිස වන්නේදැ”යි ප්‍රශ්න කළ යුතුයි. මෙසේ උන්වහන්සේලාගෙන් අසා යමක් අකුසල්ද එය අත්හැරිය යුතුයි. යමක් කුසල්ද එය පිළිගෙන පැවතිය යුතුයි. මේ සියල්ල නිවැරදි සක්විතිවත් ලෙස හඳුන්වනවා.

අපේ බෝසතාණෝ මේ සියලු වත් පිළිවෙත් ඒ ආකාරයෙන්ම පිළිපැද තුබුණා.

මතු සම්බන්ධයි

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
19-06-2019