New at Little Bit


from Path to Nirvana https://ift.tt/2M7NcFP
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 52 🧡💛

🌷 තබන තබන පියවරක් පාසා පියුම් නැගවිත් ශ්‍රී පාදය පිළිගත් පියුමතරා බුදුරජාණන් වහන්සේ 03 🌷

පදුමුත්තර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පැමිණි දින විශේෂ සිදුවීමක් වුනා කියලා මිට ඉහත සඳහන් කළා. ඒ දස දහසක් සක්වළ මත පියුම් වරුෂා පතිතවිමයි. ඒ දෙවැනි වරටයි. මිට පෙරත් උන්වහන්සේට නම් තබන දිනයේත් එවැනිම පියුම් වරුසාවකින් දඹදිව තලයම වැසි ගියා. ඊට පසුව තවත් විශේෂ සිදුවීමක් උනා. මේ කියන්නට යන්නේ ඒ ගැනයි.

🌷 තබන තබන පියවරක් පාසා පියුම් නැගවිත් ශ්‍රී පාදය පිළිගැනීම.

පුරුෂෝත්තම පියුමතුරා භාග්‍යවතුන් වහන්සේ සතියක් බෝ පළඟෙහි හින්දා ‘පොළොවෙහි පා තබමි’යි දකුණු පය දිගු කරනු ලැබුවා. එවිට පොළොව පලාගෙන නිකැළැල් නිර්‍මල කොමළ කේශර කර්ණිකා ඇති ජලජ නිර්‍මල අවිකල විපුල පත් ඇති අජලජ වූ ජලජ පියුම් නැගී සිටගත්තා. ඒවායෙහි ප්‍රධාන පෙති අනූ රියන් දිග වුනා. කෙසරු තිස්රියන් පමණ වුනා. කර්ණිකා ව දස රියන් පමණ විශාලයි. එකිනෙකෙහි නව කළයක් පමණ රේණු වලින් ගහන වුනා.

ශාස්තෲන් වහන්සේ උසින් පනස් අට රියන් පමණ වුනා. උන්වහන්සේගේ දෙනේත්‍ර අතර පරතරය අටළොස්රියන් පමණ වුනා. නළල පස්රියනක් උස වුවා. අත්පා එකළොස් රියනක් දිගින් යුක්තයි. උන්වහන්සේගේ එකොළොස් රියන් පාදයෙන් දස රියන් කෙමිය ස්පර්ශ වන විට නව කෙළක් පමණ රේණු ඉහළට නැගී අටපනස් රියන් ශරීර ප්‍රදේශය උඩට නැගී මනෝසිල සුණු මෙන් විසිරී ගියා. ඒ හේතුවෙන් ශාස්තෲන් වහන්සේ ‘පදුමුත්තර නමින් ප්‍රකට වූහ.’යයි ද සංයුක්ත භාණකයෝ කියනු ලබනවා.

🌷 ප්‍රථම ධර්මාවබෝධය

ඉන් අනතුරුව පියුමතරා බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාගේ ආරාධනය පිළිගෙන මංගල ධර්ම දේශණය සඳහා සුදුසු පුන්යමහිමය ඇති සංසාරය පුරා පතාගෙන පැමිණි පිරිස් ගැන පිරික්සන්න වුනා. ඒ වෙලාවේ මිථිලා නුවර දේවල , සුජාත නම් හේතුසම්පන්න රජකුමරුවන් දෙදෙන දැක ඔවුන් වෙතට යාමට විලෙන් නික්මුණු හංස රාජයෙක් මෙන් අහස් තලයට නගිනු ලැබුවා. ඒ මොහොතේ රජ කුමරුවරු සිටියේ මිථිලා රජ උයනේ. උන්වහන්සේ රජ උයනේ කුමාර වරු අසළින් අහසින් බැස්සේ නැහැ. අහසින් පැමිණියත් රජ උයනේ ප්‍රධාන දොරටුව අසළින් බිමට බස උයන්පල්ලන් කැඳවා දෙකුමරුන් කැඳවා එන ලෙස පණිවිඩ යවනු ලැබුවා. ඔවුන්ද අපගේ නැන්දණියගේ පුත් පදුමුත්තර කුමරා පැවිදිව සම්බෝධියට පැමිණ අපගේ නුවරට පැමිණ ඇත. එතුමන් වෙත යමු යනුවෙන් පවසා ලහි ලහියේ බුදුහිමියන් වෙත පිරිවර සමග පැමිණ උන්වහන්සේව පිරිවරා සිටියා.

ඔවුන් පිරිවැරූ දසබලයන් වහන්සේ තරුගණ පිරිවැරූ සඳ මෙන් බබළමින් එහිම දම්සක් පැවැත්වුවා. එදා කෙළ ලක්‍ෂයක් ප්‍රාණීන්ට ධර්මාවබෝධ වුනා. එය ප්‍රථම ධර්මාවබෝධයයි.

🌷 දෙවැනි ධර්මාවබෝධය
දෙවැන්න සරදතාපස සමාගමයේ මහජනයා නිරය සන්තාපයෙන් තවා ධර්මදේශනා කොට සතිස් ලක්ෂයක් ජනයාහට ධර්මාවබෝධය කරවනු ලැබුවා. ඒ දෙවැනි ධර්මාවබෝධයයි.

🌷 තෙවැනි ධර්මාවබෝධය

තවත් දිනක ආනන්ද මහරජ විසිදහසක් පුරුෂයන් සහ විස්සක් ඇමතියන්ද සමග විත් මිථිලා නුවරදී පියුමතුරා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පෙනී සිටියා. පියුමතුරා බුදුන් ඔවුන්ව එක භික්ඛු පැවිද්දෙන් පැවිදිකරවා උන්වහන්සේලා පිරිවරා පියාණන් හට සංග්‍රහ කරනු සඳහා හංසවතී නුවර වාසය කරන්නට වුනා. එහිදී උන්වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයේ ප්‍රාතිහාර්ය පෑ පරිදී අහසෙහි සක්මන් කරමින් බුද්ධවංශය දේශණා කරන්නට වුනා. එකල පන්ලක්ෂයක් දෙනාට ධර්මාවබෝධ වුනා.එය තෙවැනි ධර්මාවබෝධයයි.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
19-08-2019