New at Little Bit


from Path to Nirvana https://ift.tt/2lM88ZQ
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 57 🧡💛

🌷 සුමේධ බුදුහාමුදුරුවෝ 02 🌷

🌼 කුම්භකර්ණ යක්ෂ දමණය 🌼

සුමේධ බුදුරජාණන් වහන්සේ අසූ අට රියනක් උස දේහධාරී දෙව්ලොව තැනූ රන් තොරණක් මෙන් බබළන විශේෂිත වූ මනුෂ්‍යරත්නයක් බව මින් ඉහත ලිපියේ දී පැවසුවා . එවන් ප්‍රභාෂ්වර පුද්ගලයෙක් හමුවේ ඕනෑම පුද්ගලයෙකු දමනයවිම රහසක් නොවේ. එහෙත් ඒ මනුෂ්‍යත්වයට උත්තරීතර බුද්ධත්වයත් එකතු වූ කල ඇති වන අසීමිත බලය ශක්තිය හමු වේ මුළු විශ්වයම හිස නමනවා . එහෙත් එවන් උත්තරීතර මනුෂ්‍යත්වය කටත් හිස නොනමනා බිහිසුණු යක්ෂ සේනාධිපතියන් ඒ කාලෙත් හිටියා . මේ කියන්න යන්නේ එවැනි බිහිසුණු යක්ෂයෙක් ගැන. හරියට ම ඔබ අසා ඇති සුරංගනා කතාවක් වගේ. බුදු කෙනෙකුගේ දේශනාවක් නොවේ නම් ඇත්තෙන් ම මෙය සුරංගනා කතාවක් ලෙසයි අපට හැඟෙන්නේ .

මේ අති භයංකාර යක්ෂයා ගේ නම කුම්බකරණ. ඔහු මහානුභාව සම්පන්නයි. ඔහු ජීවත්වුණේ මිනිසුන් ආහාරයට ගනිමින්. ඒ ඒ ජනපදවල රාජ්‍යය පාලනය කරනු ලැබූ රජවරුන් කළේ ඔහුට ආහාරය සඳහා අවශ්‍ය මිනිසුන් සහ අනිකුත් ද්‍රව්‍ය විටින් විට සැපයීමයි. එදින ද පෙර මෙන් ම මහා යාගයක් පවත්වන දවසක් . රාජ කුමාරයෙකු ඇතුළු ගැල් පිරූ බත්ද අනෙකුත් භෝජනද ඒ වන විට සැකසෙමින් තිබුණා. සුමේධ බුදුරජාණන් වහන්සේ එදින පාන්දර යාමයේ මහා කරුණා සමාපත්තියට සමවැදී ඉන් නැගී ලොව බලන විට අද දිනයේදී මේ සිදුවන්නට යන මහා යාගය දුටුවා . උන් වහන්සේ ඒ මොහොතේම මහත් වූ කරුණාවෙන් ඒ යක්ෂ භවනට වැඩම කොට යක්ෂයා ගේ සිරි යහනේ සමාධිමත් හිතෙන් වැඩසිටින්නට වුණා.

දණ්ඩෙන් ගැසූ ඝෝර විෂ සහිත සර්පයකු මෙන් කිපුණු ඒ යක්ෂයා ද දසබලයන් වහන්සේ ට හිංසා කරනු කැමැති ව තම ආත්මභාවය ඝෝරතර කොට හිස පර්වතයක් මෙන් කොට ඇස් හිරු මඬල මෙන් කොට නඟුලිස් බදු දික්මහත් තියුණු දළ මවා එල්බෙන කළු මහත් උසම උදරයක් ඇතිව තල්කඳක් මෙන් සා බාහු ඇති විරූප වූ වක් නාසා ඇති පර්වත කුහරයක් බඳු මහා රතු කටක් ඇති මහත් පිඟුවන් රළු පරුෂ කෙහෙ ඇති අතිබිහිසුණු දැකුම් ඇතිව සුමේධ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට දුවවිත් දිළියෙමින් පාෂාණ පර්වත අග්නි ජාලා මඩ අලු ආයුධ අඟුරු වැලි බඳු නව ආකාර මහා වැසි වස්වන්නට වුනා. එහෙත් ඒ සියල්ලගෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ රෝමාග්‍රයක් හෝ සෙලවිය නොහැකිව මහ හඬින් ගිගුම් දෙන්නට වුණා. අවසානයේ යක්ෂයාට තේරුම් ගියා එවැනි දෙයින් භාග්‍යවතුන් වහන්සේට කෙසේවත් හානියක් කල නොහැකි බව.

ඔහුගේ ඊළඟ පියවර වුණේ ආලවක යක්ෂයා වගේ ප්‍රශ්න ඇසීමෙන් පසු මරණයට පත් කිරීමයි. ඔහු ඇසූ සියලු ප්‍රශ්න වලට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන්නා . ඒ පිළිතුරු වලින්ම ඒ මහා භයානක යක්ෂයාව කෙමෙන් කෙමෙන් හික්මවන්නට වුණා. අවසානයේ තවදුරටත් කළ දෙයක් නොහැකිව ඒ මහා යක්ෂ සේනාධිපතියා භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කරමින් උන්වහන්සේ ඉදිරියේ දමනය වුණා. පසු දින උදෑසන මහජනතාව ගැල් පිරූ බත්ද, රාජ කුමාරයා ද සමග සමග ගෙනවිත් යක්ෂයා හට පුද කලා. එවිට ඒ යක්ෂයා රාජ කුමාරයා ව බුදුරජාණන් වහන්සේට පූජ කරනු ලැබුවා. මේ වන විටත් මේ යුද්ධය බලන්න භික්ෂූන් වහන්සේලා ඇතුළු අනූ කෙලක් ප්‍රානීන්ගෙන් ඒ මුළු වනයම පිරි පැවතුනා. ඒ භාග්‍යවතුන් වහන්සේ යක්ෂ සමාගමේ සිටිමින්ම යක්ෂයාගේ මනසට වැටහෙන පරිදි ධර්මය දේශනා කරනු ලැබුවා. ඒ බුද්ධානුභාවයෙන් යක්ෂයාට පමණක් නෙවෙයි අනූකෙළක් වූ මහජනතාවටද ඒ ධර්මය එකවර ශ්‍රවණය කරන්නට හැකි වුණා. එයින් ඒ රැස්ව සිටි සියලු ජනී ජනයා හට දහම් ඇස පහළ වුණා . එය උන්වහන්සේගේ දෙවැනි ධර්මාභිසමය ද වුණා.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
27-08-2019