New at Little Bit


from Path to Nirvana https://ift.tt/33vtg74
ආචාර්ය චොබ් වර්ෂ 5ක් බුරුමයේ ගත කර බුරුම භාෂාව තම මව් බස තරම් පහසුවෙන් හැසිරවීමට ඉගෙන ගත්තේය. එහෙත් තායිලන්තයට ආපසු පැමිණීමට සිදු වුණේ දෙවැනි ලෝක මහා යුද්ධයේදී ඉංග්‍රීසින් හා ජපනුන් අතර ඇතිවූ යුද කෝලාහල නිසා ය. ඉංග්‍රීසි සොල්දාදුවෝ බුරුමයේ වාසය කරන තායි ජාතිකයින් අත්අඩංගුවට ගත්හ. තායි ජාතිකයෝ ජපානයට ඔත්තු සපයන්නන් යැයි සැක කළහ. එබැවින් ස්ත්‍රී පුරුෂ භික්ෂූන් බොහෝ දෙනා මරණයට පත් කළහ.

ආචාර්ය චොබ් ගේ ගමේ දායක පිරිස උන්වහන්සේට මහත්සේ ආදර ගෞරව දැක්වූහ. ඉංග්‍රීසි සෙබළුන්ගෙන් ආරක්ෂා කිරීමට උන්වහන්සේ ඝන වනාන්තරයට ගොස් සැගවූහ. එහෙත් උන් වහන්සේ දිනක් ගැමියන්ට ධර්මය දේශනා කරන විට සෙබළුන් වටකරගත්හ. ගැමියෝ දිවුරුම් දෙමින් උන් වහන්සේගේ ගුණ වර්ණනා කළහ. උන්වහන්සේ බොහෝ කාලයක් බුරුමයේ වාසය කළ බවත් රාජ්‍ය පරිපාලන වැඩෙහි නොයෙදෙන බවත් කියා අභියාචනා කළහ. අන්තිමේ දී ගැමියෝ උන්වහන්සේ විශාල කැලෑ ප්‍රදේශයකට නැවතත් ගෙන ගියහ. ඉංග්‍රීසි භටයෝ උන්වහන්සේ සොයමින් කැළෑව දෙවනත් කරති. දිනෙන් දිනම තත්ත්වය උග්‍රවිය. ගම්මු උන්වහන්සේ තායිලන්තයට පිටත් කිරීමට එකඟ වූහ. එහෙත් කැලෑබද පාර ඉතාමත් භයානකය. කඳු පල්ලම් හා වනසතුන්ගේ බිය ඇත. එහෙත් ඉංග්‍රීසි සෙබළුන්ගෙන් බේරී පලා යාමට වෙනත් මගක් නැත. ගැමියෝ උන්වහන්සේට මග සලකුණු කියා දී පාර වැසී තිබුනත් අන්කිසි මගක නොයන ලෙස අවවාද දුනි. මෙය එකම අඩි පාර විය අතීත පරම්පරා ගණනක් ආදී මුතුන් මිත්තන් ගිය පාරකි.

උන්වහන්සේ දින හතරක් රෑ දවල් නොනවත්වා ගමන් කළහ. නිදා ගත්තේ හෝ ආහාර වැලඳුවේ නැත. මහ වනාන්තරයේ හුදකලාව ගමන් කරති හැමතැනම කොටින්ගේ හා අලි ඇතුන් ගේ මග සලකුණු ඇත උන්වහන්සේ අතිශයින් ක්ලාන්ත විය. බුරුමයෙන් පලා යාමට නොහැකි වේ යැයි සිතූහ. යම්කිසි වැරදි පාරකට වැටුනොත් මංමුලා වනු නියතය.

හතර වෙනි දින උදයේත් තායි මායිමට යාමට තව දුර ඇත. සිතන්නට බැරි තරම් මහා පුදුමාකාර දෙයක් සිදුවුණි ඔබ මේ කතාව සම්පූර්ණයෙන් කියවන තුරු කරුණාකර විවේචනය නොකරන ලෙස ඉල්ලමි. උන්වහන්සේගේ ගත සිත අතිශයින් දුබල විය. විටින් විට කෙටි කාලයක් විඩා හරිමින් දින තුනක් නිරාහාරව ඇවිද ඇත. ඉතා ආයාසයෙන් තම දුබල ශරීරය ඉදිරියට මෙහෙය වන විට මෙබඳු සිතක් ඇති විය. “මෙතරම් දුර ප්‍රමාණයක් මාගේ ජීවිතය පරදුවට තබා යමි දැන් දැන් හති වැටී ඇත. මෙපමණ කලක් එකම මිනිස් වාසයක් හෝ මිනිසෙක් නොදැක්කෙමි දැන් මම නිරාහාරව මැරී යන තැනට පත්වී ඇත. මෙතරම් දුක් මුළු ජීවිතයේදී කිසිවිටෙක වින්දේ නැත. මම යුද්ධයෙන් බේරී දැන් නිරාහාරව මිය යම් ද? බුදුරජාණන් වහන්සේ වදාරා ඇති පරිදි ඈත දෙව් බඹ තලවල දිවැස් ඇති දෙව්බඹුන් ඇත්නම්, දිව කන ඇත්නම් මේ මරණයට ළඟා වන භික්ෂුව නොපෙනේද? මගේ දුක්ගැනවිලි නොඇසේ ද? දෙවිවරු බුද්ධ කාලයේ සිට භික්ෂූන් වහන්සේලා දෙන පින් අනුමෝදන් වී ඇත්නම් මාගේ මේ දුකට පිහිට නො වන්නේ කෙතරම් අනුකම්පා විරහිතව ද? උන් වහන්සේලාගේ දිවැස්, දිව කන, දිව්‍ය ඥානය ඇති බව ඔප්පු කිරීමට මට උපකාර කරනු මැන”

මෙම සිතුවිලි ඇති වූ විගස මහත් පුදුම සහගත දෙයක් සිදුවුණි. එය අදහා ගත නොහැකි ය. උන් වහන්සේ තවමත් මහත් ආයාසයෙන් අඩියෙන් අඩිය තියති. එවිට ඉතා විනීතව ඇඳ පැළඳ ගත් පිරිමියෙක් දුටුවේය. එම කඳුකරයේ ම්ලේච්ඡයන් මෙන් නොව පාර අයිනේ වාඩි වී සිටියි. හිසමත බන්දේසියේ ආහාර, පලතුරු පුරවා ඇත. මෙය විශ්වාස කරන්නේ කෙසේද? දැක්ක විගස ආචාර්ය චොබ් ගේ මවිල් කෙළින් විය. ඇඟ හිරි වැටුණි. බඩගින්න හා විඩාව අමතක විය. අඩි 25ක පමණ ඈතින් කරුණාවන්ත පුරුෂයෙකු වාඩිවී දානය පිළිගැන්වීමට සූදානමින් සිටී. ළඟා වූ විට ඔහු කතා කළේය.

“අවසර ස්වාමිනී මෙහි මදක් නැවතී සිට ආහාර ගෙන විඩාව සංසිඳවා ගන්න. ශරීර ශක්තිය ලැබුණු විට ගමන් කරන්න පුළුවන් වේවි. අදම මේ මහ කැලෑව තරණය කළ හැකියි”

ආචාර්ය චොබ් නැවතුණි. අත තිබූ බඩු බිම තැබූහ. පාත්‍රය එළියට ගෙන එම ආහාර පිළිගත්හ. මහත් පුදුමයකි එම ආහාරවලින් නිකුත්වන සුවඳින් මුළු පලාතම සුවඳවත් විය. ආහාර ප්‍රමාණය වැඩිත් නැත. මදි ත් නැත. එය දිව ගෑ සැණින් රස නහර පිනා ගියේය. එහි රස කෙබඳු දැයි කිව නොහැකි ය. මෙය අසාමාන්‍ය අතිශයෝක්තියක් යැයි සිතුණත් උන්වහන්සේගේ ඉන්ද්‍රියයන්ට දැනුනු පිනවීම කිසිසේත් කියන්නට නොහැකි බැවින් අතිශයෝක්තියක් නොවේ.

ආහාර ටික තම පාත්‍රයේ බහා එම පින්වත් පුරුෂයා සිටින විට ආචාර්ය චොබ් ඔහුගේ ගෙවල් කොහේදැයි විමසීය. “මම දින තුනක් මේ කැලෑ පාරේ ගමන් ගතිමි. කිසිම මිනිස් වාසයක් හෝ මනුෂ්‍යයෙක් මුණගැසුණේ නැත. එම පුද්ගලයා යම් කිසි සංඥාවකින් ඉහලට අත දිගු කර එහි වෙසෙන්නේමියි කීහ. ඔබ මේ ආහාර පිළියෙල කළේ කෙසේද? මෙම ආහාර පිළිගැනීමට භික්ෂුවක් එන බව දැන සිටියේ කෙසේද? ඔහු මඳක් සිනාසී කිසි උත්තරයක් නොදුනි. උන්වහන්සේ පින් අනුමෝදන් කොට අවසානයේ දී එම පුද්ගලයා තමන්ගේ වාසස්ථානය ඉතා දුර බැවින් යා යුතු බව කීහ. ඔහුගේ ඉරියව් ඉතා ප්‍රසන්න ය. පුදුම ශාන්ත භාවයක් ඇත. කතා කළේ ඉතා ස්වල්ප වශයෙනි. මුහුණේ කාන්තියක් විහිදේ මැද වයසේ කෙනෙක් මෙනි. උසක් නැති කොටත් නැති ශරීරයකි. පුදුම හැදියාවක් ඇත. ඔහු යන්නට අවසර ගෙන නික්මුනි. ආචාර්ය චොබ් තවමත් විශ්මිතව මේ අරුම පුදුම පුද්ගලයා දෙස බලා සිටියේය. ඔහු අඩි විසිපහක් පමණ ඈතට ගොස් ගසකට මුවා විය. ආචාර්ය චොබ් ගස පසුකර ඔහු යන තෙක් බලා සිටියේය. නමුත් ඔහු පෙනෙන්නට නැත. ආගිය අතක් නැත. එවිට ඒ ගස ළඟට ගොස් සතරදිග බැලුවේය කිසිවෙක් නැත. මෙය ඊටත් වඩා විස්මයකි. තවමත් පුදුමයෙන් මේ ප්‍රහේලිකාව ගැන සිතමින් ආපසු අවුත් ආහාර වළඳන්නට විය. එම රස මිනිස් ලොව නැත. ආහාරවල පුදුම සුවඳක් සහ රසයක් ඇත. තම ශරීරයට අවශ්‍ය සියලු ගුණයන් ඇත. මෙවැනි ආහාරයක් කවදාවත් වළඳා නැත. එම ආහාරවල රසය මුළු ශරීරය පුරා විහිදී ගියේය. සෑම රෝම කූපයකට ම දැනේ. එතරම් කල් නිරාහාර ව තිබූ ක්ලාන්ත ගතිය පහ විය. අන්තිමේදී මෙම ආහාරය මෙතරම් රසවත් වූයේ තමාගේ කුසගින්න නිසා දැයි සැකයක් ඇති විය. එසේ නැත්නම් මේ ඇත්තෙන්ම දිව බොජුනක් විය යුතුය. ආහාරය මුළුමනින්ම වැළඳූහ. එය නියම ලෙස ප්‍රමාණවත් විය. තව බිඳක් හෝ වැඩිපුර ආහාර ඇත්නම් වැළඳිය නොහැකිය.

ආහාර වැළඳීමෙන් පසු අසාමාන්‍ය ශරීර ශක්තියකින් ගමන ආරම්භ කළහ. ඒ මද වේලාවකට ප්‍රථම සිටි මරණාසන්න ක්ලාන්තය දුර්වල පුද්ගලයා නොවේ. ගමන යනවා මිස සිත ඇත්තේ ඒකාග්‍රතාවයෙන් අරුම පුදුම පුරුෂයා ගැනය. මෙසේ විඩාව නොතේරේ. තමන් හරි පාරේ දැයි විමසිලි නැත. සවස් වන විට එම පුරුෂයා කී පරිදි උන්වහන්සේ මේ මහ කැලෑව තරණය කළේය. උන්වහන්සේ තායිලන්ත සීමාවට පැමිණියේ මුලු දවස පුරා තිබූ අසීමිත සතුටිනි. කයේ සහ සිතේ තිබුණ දැඩි දුක පහවී ඇත. තම ගම රට පෙදෙස වූ තායිලන්තයට පා තැබූ විගස තමන් වහන්සේ තව කාලයක් ජීවත් වන බව දැනුණි.

එම පුද්ගලයා දෙවි කෙනෙක් මිස මනුෂ්‍යයෙක් නොවන බව ආචාර්ය චොබ් පැවසීය. සිතා බලන්න එම පුද්ගලයා හමුවීමෙන් පසු තායිලන්ත මායිමට එන තුරු කිසි මනුෂ්‍යයෙක් මුණ ගැසුණේ නැත. මුළු සිද්ධියම මහත් ප්‍රහේලිකාවකි. සාමාන්‍යයෙන් කුඩා ගම්මානයක් හෝ දක්නට ලැබේ. එහෙත් මුළු ගමන තුළ කිසිම ගම්මානයක් නැත. බුරුමයේ සිට තායිලන්ත සීමාවට තිබූ මෙම පැරැණි මාර්ගය තනිකර ඝන ගණ වනාන්තරයකි. ඉංග්‍රීසි සෙබළුන් පමණක් නොව කිසි මිනිසෙකු, ආහාරයක් නැත. එය මෙතරම් දුර්ග මාර්ගයක් දැයි සිතිය නොහැකිය. මාරාන්තික ගමනක් වුවද මෙසේ ජයග්‍රහණ ලීලාවෙන් ගම රට බලා පැමිණියේ ය.

තමන් එවැනි භයානක වනය තරණය කළේ දෙවියන්ගේ උපකාරයෙන් යැයි ආචාර්ය චොබ් පැවසීය. වල් අලි, කොටි, වලස්, නයි, පොළොං ආදී භයානක සතුන්ගෙන් ගහණ වූ නමුත් එකම සතෙක්වත් උන්වහන්සේ දැක්කේ නැත. ඇසට පෙනුනේ අහිංසක සතුන් පමණි. මේ ගමන කිසිවෙකුට යා නොහැකිය. නිසැකවම කොටියාට හෝ වල් අලියාට අසුවේ. ධර්මයේ හාස්කම හා දෙවියන්ගේ හාස්කමකි. බුරුමයේ ගම්වැසියෝ උන්වහන්සේ ජීවත්වෙති යි නොසිතූහ. එහෙත් යුද භටයන් ගෙන් බේරීමට වෙන ක්‍රමයක් නැත. යුද භටයන් ගෙන් බේරීමට වඩා මෙය පහසු වේ යැයි ඔවුන් මන්ත්‍රණය කළහ.

මේ කතා පුවත මම සවන් දුන් ආකාරයෙන්ම වාර්තා කළෙමි. කරුණාකර ඔබ මේ පිළිබඳව විමසන්න. මේ සිතන්නට බැරි සුරංගනා කතාව සත්‍යය ප්‍රවෘත්තියකි. ආචාර්ය ජොබ් ගේ ධුතාංග පූරණය ඉතාම දැඩි ප්‍රතිපත්ති මත ගෙන ගිය බැවින් මෙවැනි අරුම පුදුම කතන්දර බොහෝ වෙති. උන්වහන්සේ මහ කැලෑවේ වාසය කරන බැවින් කිසිවෙකුට උන් වහන්සේ හමු වීමට නොහැකිය. සමාජයේ ආශ්‍රයෙන් ඈත් වී ඇත.

(ආචාර්ය මන් භූරිදත්ත මහා රහතන් වහන්සේගේ ආධ්‍යාත්මීය චරිතාපදානය නමැති පොතෙන් උපුටා ගැනුනි)

Path to Nirvana පේජය වෙනුවෙන් සකස් කළ මෙම දහම් ලිපිය මිතුරන් අතරේ share කර ධර්ම දානමය කුසලයට ඔබත් සහභාගී වන්න.