New at Little Bit


from Path to Nirvana https://ift.tt/33PZN7r
දිය උපමා කොට පුද්ගලයා ගැන වදාළ දෙසුම

සැවැත් නුවරදීය …..

“මහණෙනි, මේ සත් වැදෑරුම් දිය උපමා කොට ගත් පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානව සිටිති. ඒ කවර සත් දෙනෙක් ද යත්;

මහණෙනි, මෙහිලා එක් පුද්ගලයෙක් වරක් දියෙහි ගිලුණේ, ගිලුණේම වෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතුවී නැවත යටට ගිලෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතුවී සිටින්නේ වෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතුවී හොඳින් බලයි, හාත්පස වටපිට බලයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතුවී එතෙර බලා පිහිනා යයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතුවී පිහිට ඇති තැනට පැමිණියේ වෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතුවී පිහිනා එතෙරට ගියේ, පරතෙරට ගියේ, ගොඩබිම සිටියේ, බ්‍රාහ්මණයා වෙයි.”

🌺🌿“මහණෙනි, පුද්ගලයෙක් එක් වරක් දියේ ගිලුනොත් ගිලුණේම වන්නේ කෙසේද?

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඒකාන්ත කළු අකුසල ධර්මයෙන් සමන්විත වූයේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා එක් වරක් දියේ ගිලුනොත් ගිලුණේම වෙයි.”

🌺🌿“මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතුවී යළි ගිලෙන්නේ කෙසේද?

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව යහපත්වේ. හිරිය යහපත්වේ. ඔත්තප්පය යහපත්වේ. වීරිය යහපත්වේ. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව යහපත්වේ. නමුත් ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොපවතියි. නොවැඩෙයි. පිරිහී යන්නේමය. ඔහුගේ ඒ පවට ඇති ලැජ්ජාව නොපවතියි. නොවැඩෙයි. පිරිහී යන්නේමය. පවට ඇති භය නොපවතියි. නොවැඩෙයි. පිරිහී යන්නේමය. වීරිය නොපවතියි. නොවැඩෙයි. පිරිහී යන්නේමය. ඔහුගේ ඒ ප්‍රඥාව නොපවතියි. නොවැඩෙයි. පිරිහී යන්නේමය. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට පැමිණියේ නමුත් යළි ගිලෙන්නේ වෙයි.”

🌺🌿”මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී සිටින්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව යහපත්වේ. හිරිය යහපත්වේ. ඔත්තප්පය යහපත්වේ. වීරිය යහපත්වේ. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව යහපත්වේ. ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොපිරිහෙයි. නොවැඩෙයි. සිටියාම වෙයි. ඔහුගේ ඒ පවට ඇති ලැජ්ජාව නොපිරිහෙයි. නොවැඩෙයි. සිටියාම වෙයි. පවට ඇති භය නොපිරිහෙයි. නොවැඩෙයි. සිටියාම වෙයි. වීරිය නොපිරිහෙයි. නොවැඩෙයි. සිටියාම වෙයි. ඔහුගේ ඒ ප්‍රඥාව නොපිරිහෙයි. නොවැඩෙයි. සිටියාම වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට පැමිණියේ සිටියේ වෙයි.”

🌺🌿”මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී හොඳින් බලන්නේ, හාත්පස වටපිට බලන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව යහපත්වේ. හිරිය යහපත්වේ. ඔත්තප්පය යහපත්වේ. වීරිය යහපත්වේ. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව යහපත්වේ. හේ ත්‍රිවිධ සංයෝජනයන් ගෙවා දැමීමෙන් සෝවාන් වූයේ වෙයි. අපායට නොවැටෙන ස්වභාව ඇත්තේ, ස්ථිරවම නිවන අවබෝධ කරන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට පැමිණියේ, හොඳින් බලන්නේ, හාත්පස වටපිට බලන්නේ වෙයි.”

🌺🌿“මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතුවී එතෙර බලා පිහිනා යන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව යහපත්වේ. හිරිය යහපත්වේ. ඔත්තප්පය යහපත්වේ. වීරිය යහපත්වේ. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව යහපත්වේ. හේ ත්‍රිවිධ සංයෝජනයන් ගෙවා දැමීමෙන්, රාග ද්වේෂ මෝහ තුනී බවට පත්වීමෙන් සකදාගාමී වූයේ වෙයි. මෙලොවට එක් වරක්ම අවුත් දුක් කෙළවර කරන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට මතුවී එතෙර බලා පිහිනා යන්නේ වෙයි.”

🌺🌿”මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතුවී පිහිට ඇති තැනට පැමිණෙන්නේ කෙසේද?

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව යහපත්වේ. හිරිය යහපත්වේ. ඔත්තප්පය යහපත්වේ. වීරිය යහපත්වේ. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව යහපත්වේ. හේ පංච ඕරම්භාගීය සංයෝජනයන් ගෙවා දමා සුද්ධාවාස බඹලොව ඕපපාතිකව උපදින්නේ වෙයි. ඒ ලොවින් නැවත මෙලොවට හැරී නොඑන ස්වභාවයෙන් යුතුව එහි පිරිනිවන් පාන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට මතුවී පිහිට ඇති තැනට පැමිණියේ වෙයි.”

🌺🌿“මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතුවී පිහිනා එතෙරට ගියේ, පරතෙරට ගියේ, ගොඩබිම සිටියේ, බ්‍රාහ්මණයා වන්නේ කෙසේද?

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව යහපත්වේ. හිරිය යහපත්වේ. ඔත්තප්පය යහපත්වේ. වීරිය යහපත්වේ. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව යහපත්වේ. හේ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙලොවදීම ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට මතුවී පිහිනා එතෙරට ගියේ, පරතෙරට ගියේ, ගොඩබිම සිටියේ, බ්‍රාහ්මණයා වෙයි.”

“මහණෙනි, මේ සත් වැදෑරුම් දිය උපමා කොට ගත් පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.”

උදකූපම පුග්ගල සූත්‍රය
🌺🌷🌷🌼🌷🌷🌺🌿🌿🌿🌿🌿