New at Little Bit


from Path to Nirvana https://ift.tt/34FWIHp
බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීම

බුදුරජාණන් වහන්සේට කරන ගෞරව කරන ක්‍රම තුනකි

1. වැඳීම
2. පිදීම සහ
3. ප්‍රතිපත්තියයි

මෙයින් වන්දනාව වශයෙන් කරන ගෞරවය, ප්‍රණාමය, අභිවාදනය, නමස්කාරය, අංජලීකරණය, සහ වැඳීම යන නොයෙක් නම්වලින් ව්‍යවහාර කරනු ලැබේ. මෙම වන්දනා ගෞරවයද කොටස් තුනකට බෙදෙයි.

1. කාය වන්දනාව
2. වචි වන්දනාව
3. මනෝ වන්දනාව යනුවෙනි.

බුදුරජාණන්වහන්සේ විසින් එම වන්දනා පහත සඳහන් ආකාරයට විස්තර කර වදාළහ.

‘තිස්සො ඉමා භික්ඛවේ වන්දනා , කතමා තිස්සො?

කායෙන, වාචාය, මනසා, ඉමා ඛො භික්ඛවෙ

තිස්සො වන්දනා’
මහණෙනි, මේ වැදීම් තුනකි. ඒ තුන කවරේද?

කයින් වැඳීමයි, වචනයෙන් වැඳීමයි. සිතින් වැඳීමයි යන මේ තුනයි.

කාය වන්දනා යනුවෙන් අදහස් කරන්නේ බුදුගුණ ආදිය අරමුණු කරගෙන කාය විඤප්තිය ඇතිකොට කාය ද්වාරයෙන් උපදින්නා වූ අට වැදෑරුම් කාමාවචර කුසල චේතනාවන්ගෙන් එක්තරා එකක් ඉපදවීමයි.

වචනයෙන් වැඳීම (වාග් වන්දනය) – වාග් විඥප්තිය ඇතිකරගෙන වාග් ද්වාරයෙන් උපදින අෂ්ට කාමාවචර කුසලයන්ගෙන් එකක් ඉපදීම වාග් වන්දනයයි.

මනෝ වන්දනය (සිතින් වැඳීම) – කාය, වාග් විඥප්තිය නොඋපදවා මනෝ ද්වාර වශයෙන් ම උපදින්නා වූ කුසල චේතනාව මනෝ වන්දනාවයි.

කාමාවචර කුසල් අට (මහා කුසල් අට)

1. බලවත් ශ්‍රද්ධාව
2. සම්‍යක් දෘෂ්ටිය
3. ධාර්මික ධන සම්පත්තිය
4. සිල්වත් ප්‍රතිග්‍රාහක සම්පත්තිය
5. සෝමනස්ස (සතුටු) කුසල සිතකින් උපත ලැබීම
6. ප්‍රතිරූප දේශ වාසය
7. කල්‍යාණ මිත්‍ර සේවනය
8. විපත් වලින් මිදුණු යහපත් කාල සම්පත්තිය යනු ඒවාය.
‘භය සම්මෝහ දුද්දිට්ඨි – පණ මොනෙස සබ්බථා
පඤ්ඤා පුබ්බ_ග මො එසො – පණමොති නිදස්සිකො’

තෙරුවන් කෙරෙහි පවත්වනු ලබන මෙම වන්දනාවේදී භය, මුලාව, මිථ්‍යා දෘෂ්ටිය යන කරුණු වලින් යුක්ත වීනම් එය නියම වන්දනාවක් නොවෙයි.

ප්‍රඥාව පෙරටු කරගෙන වැඳීම ප්‍රණාමය නම් වෙයි. එබැවින් තෙරුවන් වඳින අය විසින් තෙරුවන් යනු කුමක් දැයි තේරුම් ගෙන තෙරුවන්ගේ ගුණ දැනගෙනම එම වන්දනාදිය කිරීමට පුරුදු විය යුතුය. එසේ දැනගෙන ප්‍රඥා පූර්වාගම සිතින් යුක්තව තමන්ගේ දෙ අත් හිස මත තබාගෙන පිබිද එන නෙලුම් කැකුලක් මෙන් ඇඟිලි එක්කොට ගැනීමේදී කාය විඥප්තිය ඇතිවේ. ඒ සමගම කාය ද්වාරයාගේ වශයෙන් චිත්ත වීථියක් උපදී. ඒ කාමාවචර කුසල විත්ත වීථිය සොම්නස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික, සසංස්කාරිකාදි වශයෙන් ප්‍රකාශිත කුසල් සිත් අටින් එකකට ඇතුළත් වෙයි. ඒ ආකාරයට උපදින එම චිත්ත වීථින්ගේ චේතනාවට කාය වන්දනාව යැයි කියනු ලැබේ.

එසේම රත්නත්‍රයේ ගුණ තේරුම් ගෙන දොහොත් මුදුන් දී ‘නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස’ යනුවෙන් ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා යි කටින් ශබ්ද නගා ප්‍රකාශ කිරීමේදී වාග් විඥප්තිය උපදී. එම වාග් ද්වාර වශයෙන් අටවැදෑරුම් කාමාවචර කුසල චිත්තයන්ගෙන් එකක් උපදී.

ඒ කුසල චිත්ත විථියෙහි ජවන්වල යෙදුන චේතනාවට වචී වන්දනාව (වචනයෙන් වැඳීම) යැයි කියනු ලැබේ. එසේ කාය විඥප්ති නො උපදවා සිතින් පමණක් තෙරුවන් ගුණ සිහිකිරීමේදී මනෝ ද්වාර වශයෙන් අෂ්ටප්‍රාකාර කාමාවචර කුසල චිත්තයන් ගෙන් එකක් උපදී. එහි ඡවන්වල යෙදුන චේතනාව මනෝ වන්දනාව (මනසින් වැඳීම) යැයි කියනු ලැබේ.

මෙම වන්දනාව සත් ආකාරයකින් කළ හැකිය. ඒ මෙසේ ය.

1. පසඟ පිහිටුවා වැඳීම
2. බිම වැතිරී වැඳීම
3. දෙ දණ බිම තබා වැඳීම
4. දකුණු දණහිස පමණක් බිම තබා වැඳීම
5. වඳිනු ලබන අයගේ පතුල් මත සිරස තබා වැඳීම
6. උක්කුටුකයෙන් වැඳීම
7. සිටගෙන ඇඟිලි බැඳගෙන කරන වැඳීම යනුයි.

පසඟ පිහිටුවා වැඳීම යනුවෙන් අදහස් කෙරෙන්නේ දෙ දණ, දෙවැලමිට, නළල යන පස්තැන බිම ස්පර්ශ වන ආකාරයට වැඳීමය. අභිවාදෙත්වා (මොනවට වැඳ) යනුවෙන් සඳහන් වන්නේ මේ වැඳීමයි.

මෙය දණ්ඩ නමස්කාරය නමින් ද හැඳින්වෙයි. සුමේධ තාපසයාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන ලද්දේ මේ ආකාරයටය.

කෙසෙ මුඤචිත්වහංතාන්‍ඵ – වාකචීවරඤව චම්මකං

කලලෙ පන්ථාරිත්‍ථාන – අවකුජ්ජො නිපජ්ඡගං

මම එතැනදී හිසකෙස් මුදා වැහැරි සිවුරත් පත්කඩක් කලල් මතුයෙහි අතුරා අබොමුඛව වැඳ හොත්තෙමි යි වදාළ පරිදි ශරීරය අධෝ මුඛකොට ඒ දණ්ඩක් සේ බිම වැතිර දොහොත් මුදුන් හි තබා වැඳීම බිම වැතිරී වැඳිමයි දණ්ඩ නමස්කාරය යනු මේ වැඳීමය.

තිහච්චඡානුං වන්දිත්වා – සම්මුඛා අඤජලිං අකා

එහි භද්දෙති අවච – සාමෙ ආසුපසම්පදා

මගේ දණහිස් බිම තබා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි ඇඳිලි බැන්දෙමි. එකල්හි භද්‍රාවෙනි එවයි මට වදාළහ. ඒ වචනයම මගේ උපසම්පදාව වී යැයි ප්‍රකාශ කළ ආකාරයට ඒ සුමේධ ස්ථවිරින් ලෙස වැඳීම දෙදණ බිම තබා වැඳීමයි.

අථඛො බ්‍රහමා සහම්පති ඒකංසං උත්තරාසංඛගං කරිත්වා

දක්ඛිණං ජානු මණ්ඩලං පුථුවියං නිහනත්වා යෙන භගවා

තෙනඤජලිං පණමත්තා භගවන්තං එතද වොච

එකල්හි සහම්පති බ්‍රහ්මතෙම උතුරු සළුව එකස් කොට දකුණු දණ මඩල පොළවෙහි පිහිටුවා භාග්‍යවතුන් වහන්සේ දෙසට අඤ්ජලි ප්‍රණාමය කොට මේ කාරණය ප්‍රකාශ කළේය.

මෙයින් ප්‍රකාශ වන්නේ දකුණු දණහිස පමණක් බිම තබා වැඳීමයි.

එවං වුත්තෙ බුහ්මායු බ්‍රාහ්මණො උට්ඨායාසනා එකංසං

උත්තරා ස_ගං කරත්වා භගවතො පාදෙසු සිරසා

නිපතත්වා භගවතො පාදානි මුඛෙනච පරිචුම්බති

පාණිහිච පරිසම්බාහති

මෙසේ වදාළ කල්හි මහා බ්‍රහ්ම තෙමේ අසුනින් නැගිට උතුරු සළුව එකස් කොට බුදුරජාණන් වහන්සේ ගේ සිරිපතුල් මත හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේ ගේ් ශ්‍රී පතුල් මුවින්ද හාත්පසින් සිඹී. දෙ අතින් ද හාත්පසින් පිරිමදි යනුවෙන් දක්වෙන්නේ වඳිනු ලබන්නා ගේ පතුල් මත සිය සිරස තබා වැඳීමයි.

පඨමං කෙස මස්සුං ඩහාරා පත්වා කාසායානි චත්ථානි

අවිජාදා පෙත්වා එකංසං උත්තරාස_ගං කාරා පෙත්වා

භික්ඛුනං පාදෙ වන්ද්‍රපෙබා උක්කුටිකං නිසීදා පෙත්වා

අඤජලිං පග්ගණහා පෙත්වා එවං වදෙහිති වත්තුබෙබා

පළමුව කෙස් රැවුල් හරවා කහ පිළි හඳවා උතුරු සළුව එකස් කරවා භික්ෂූන් ගේ පාදයන් වන්දවා උක්කුටකයෙන් හිඳුවා ඇඳිලි ගන්වා මෙසේ කියවයි කිව යුතුයි.

මෙයින් ප්‍රකාශ වන්නේ උක්කුටුකයෙන් වැඳීමයි.

අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤජලිංපණ මෙත්වා එකමනතං නිසී දිංසු

සමහර අය බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දෙසට ඇඳිලි බැද වැඳ එකත් පස්හි හුන්හ.

මෙයින් ප්‍රකාශ වන්නේ සිටගෙන කරන ඇඳිලි බැඳ වැදීමයි. මෙම කාය වන්දනයේ දී දොහොත් මුදුන් තබා ගෙන වැඳිය යුතුය. එසේ වැඳීමේදී සෙසු ශරීරය පවතින හැටියට මෙසේ සත් ආකාරයෙක් වන බව සිතිය යුතුය.

වාග් වන්දනාව ගුණකීම් වශයෙනුත්, මනෝ වන්දනාව ගුණ සිතීම් වශයෙනුත් ඒකාකාරව වෙයි.
.
ශාස්ත්‍රවේදී, අධ්‍යාපන ඩිප්ලෝමා
එන්. කරුණාරත්න