New at Little Bit


from Path to Nirvana https://ift.tt/2tJyK1n
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 110 🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 05

🌺 වෙස්සන්තර බිළිඳා හට විශ්වයෙන් ලද තිළිණය වූ ස්වෙතවර්ණ හස්ති රාජයා.

පසුගිය කලාපයේ වෙස්සන්තර කුමරු මෙලොව පහල වීම සහ එදින සිදු වූ විශේෂ ආශ්චර්යමත් සිදුවීම් ගැන ලීවා. ඒ වෙස්සන්තර කුමරුගෙ පැත්තෙන් සහ මෑණියන්ගේ පැත්තෙන් සිදු වූ දේ. දැන් කියන්න යන්නේ විශ්වයෙන් වෙස්සන්තර බිළිඳාට ලැබූ ආශ්චර්යක්ම තෑග්ග ගැනයි.

එදා හරිම ලස්සන දීප්තිමත් දිනයක්. අහසින් ලොවට සුර්යය නැගී ආවේ ලොවට තවත් අලුත් ත්‍යාගයක් රැගෙන. එදා ජෙතුත්තර නගරය මහා මංගල්‍යයකට සරසලා වගේම සරසලා තිබුනා. විශේෂයෙන්ම වෙස්සන්තර කුමරා උපන් වෙළඳ වීථිය. හරියට කුමරාගේ අභිෂේකය පිණිස සරසලා වගේ. බිළිඳා වෙළද විථියේ උපත ලබන විටම තවත් ආශ්චර්යයක් කාටත් හොරා තව තැනක සිදු වුනා. ඒ කුමරා උපන් මොහොතේම අහසෙහි හැසිරෙන එක් ඇතින්නක් අතිශයින් මංගල සම්මත වූ සම්පුර්ණයෙන් ස්වෙතවර්ණ වූ හස්ති පෝතකයෙකු ගෙනවුත් මගුල් ඇතුගේ අසළින් තබා අහසට නැග යන්නට ගියා. ඒ තමයි ඒ මහා විරයනන්හට සක්වලින් ලද ත්‍යාගය කියා මට හිතෙනවා. ඒ හස්ති පෝතකයා බෝධිසත්වයන් වහන්සේ ප්‍රත්‍ය කොට උපන් බැවින් “පච්චය” යැයි නම් කරනු ලැබුවා. ඒ හස්ති රාජයා විශේෂයි. මහා භාග්‍යවන්තයි. ඔහු ඉන්නා රාජ්‍යය සියලු යස ඉසුරෙන් පිරෙනවා. කිසි දිනක දුර්භික්ෂයක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම මහා සද්දන්තයි. සුදු වර්ණයෙන් යුක්තයි. එම හස්ති රාජයා එතරම්ම භාග්‍ය සම්පන්න වූ නිසා ඔහුට ආභරණ පළදනා පැළඳුවේ සක්විති රජ කෙනෙකුට වගේ. ඔබ දන්නවා අපි අපේ දන්තධාතුන් වහන්සේ වැඩම කරන රාජා ඇත්රාජයාට කොතරම් ගරුබුහුමන් දැක්වූවාද කියලා. මේ හස්ති රාජ්‍යා වෙස්සන්තර කුමරුත් සමග එකට වැදෙන්න වුනා; ඔහිට පලන්දපු ආභරණ ගැන මෙහෙම විස්තරයක් අටුවාවල තියෙනවා.

🌺 පච්චය හස්තිරාජයාගේ ආභරණ වල වටිනාකම සහ පිරිවර.

🌸ඇතාගේ පා සතරෙහි ඇති සැරසිලි හාරලක්ෂයක් වටිනාකමින් යුක්තයි.
🌸දෙපැත්තේ ඇති ඒවා ලක්ෂ දෙකක් වටී.
🌸උදරය යට කම්බිලිය ලක්ෂයක්.
🌸පිටෙහි මුතු දැල රත්‍රන් දැල මැණික් දැල යන දැල් තුන තුන් ලක්ෂයක වටිනාකමින් යුක්තයි.
🌸දෙකන්හි ඇති ඝණ්ටා දෙක ලක්ෂයක්.
🌸පිටෙහි අතුරා ඇති කම්බිලිය ලක්ෂයකි.
🌸කුම්බස්ථල අලංකාර ලක්ෂයකි.
🌸හිස්පලදනා තුන තුන්ලක්ෂයක් වටී.
🌸කණෙහි සුළු පලදනාව ලක්ෂ දෙකකි.
🌸දළ දෙකේ සැරසිලි ලක්ෂ දෙකකි.
🌸සොඩෙහි ස්වස්තික අලංකාරය ලක්ෂයක් වටී.
🌸අනර්ඝ වූ භාණ්ඩ හැර පිටට නැගීමට ඇති ආධාරකය ලක්ෂ විසිදෙකකි.
🌸නගින හිණිමග ලක්ෂයකි.
🌸ඇතාට ආහාර දෙන කටාරය ලක්ෂයකි.

🌸ඊට අමතරව සේසතෙහි මත්තෙහි මාණික්‍යය, අංකුසයෙහි මණික, ඇතාගේ ගෙලෙහි වෙළන මුතුහරෙහි මාණික්‍ය, අත්කුඹෙහි මාණික්‍ය, යන මේ ඉතා අනර්ඝ මැණික් හා අනෙකුත් ආභරණ වල මිල සඳහන් නැත.
🌸 ඒ විතරක් නොව ඔහුව රැකීමට ඇත්ගොව්වන් පන්සියක්ද , එසේම ඇතාගේ ආවතේව සදහා පන්සියයක් කුල අත්වෙදුන් ගෙන්ද සමන්විත වුනා.

🌺 මිහිරි කිරි ඇති කිරි මවුවරු.

බෝසත් බිළිඳා අනේකවිද සම්පත් මැද වැඩෙන්නට වුනා. බිළිඳාට කිරිදීම සඳහා අති විශේෂ කිරිමවුවරු හැටහතර දෙනෙක් යොදවා තිබ්බා. ඒ අයට තිබිය යුතු විශේෂ දේහ ලක්ෂණ තිබුණා. ඒ විතරක් නෙවෙයි. ඒ මවුවරුන් ගේ කිරි උසස් මිහිරි රසයෙන් යුක්ත විය යුතු වුනා. ඒ එක්කම බෝසතාණන් වහන්සේ සමග දෙවුලොවින් පැමිණ මැති ඇමති වරුන්ගේ නිවෙස්වල ඉපදුන අනෙකුත් හැටදහසක් වූ පිරිසටත් එවැනිම අතිවිශේෂ කිරිමවුවරු යොදවනු ලැබුවා. මේ සියල්ලම අප මහා බෝසතාණන් වහන්සේ සසරේ වැඩු දාන පරමිතාවන්හි ප්‍රතිඵල හැටියට තමයි මට හිතෙන්නේ. මෙලෙස රජකුමරා හැටදහසක් රාජකුමාරවරු සමග මහත් සැපසම්පතින් වැඩෙන්නට වුනා.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙහි බොහෝ කොටස් මා හට ලිවීමට උපකාරකරන නම සඳහන් කරනවාට අකමැති කල්‍යාණ මිතුරියට. මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
23-12-2019