New at Little Bit


from Path to Nirvana https://ift.tt/302JJ2s
සඟරුවනට දේශපාලනය සුදුසු නෑ……………..

නොයෙක් විට භික්ෂූන්ට නොයෙක් කරදර විඳින්නට නින්දා ලබන්නට ගුටි බැට කන්නට සිදු වන්නේ දේශපාලනයට යෑමෙනි. දේශපාලනය භික්ෂූන් වහන්සේලාට සුදුසු වැඩක් නොවේ. බුරුමයේ නම් භික්ෂූන්ට දේශපාලන වැඩවල යෙදීම නීතියෙන් ම තහනම් ය.

ගිහි ගෙය හැර පැවිදි වන්නේ එක් පවුලක් පාලනය කිරීමත් නිවන් දැකීමට බාධාවක් නිසා ය. පැවිද්ද ලබා ගන්නේ ද “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය” යනා දි වැකියකින් “සියලු දුකින් මිදුණු නිවන පසක් කර ගැනීම සඳහා මා පැවිදි කරන්නටය” කියා මහතෙර නමකගෙන් ඉල්ලීමෙනි. එසේ පැවිද්ද ලබා ගත් තැනැත්තා එය අමතක කොට රට ම පාලනය කරන්නට සූදානම් වීම බොහෝ දුරට නොමඟ යෑමෙකි. එය නුවණැතියන් ගේ සිනහවට කරුණෙකි.

බොහෝ දෙනා දේශපාලන වැඩට බසින්නේ ඒ වේලාවේ දී තමන් වැඩ කරන තැනැත්තාගෙන් යම් කිසිවක් ලබා ගැනීමේ හා ඔහුට ඒ පක්ෂය ට ජය අත් වුවහොත් අනාගතයේදී යම් කිසිවක් ලබා ගැනීමේ ආශාවෙනි. ලෝභ චේතනාවෙන් කරන එය අකුශල පක්ෂයට අයත් ය. භික්ෂූන්ට නොගැළපෙන ක්‍රියාවෙකි. රැස්වීම් වලට ගොස් විරුද්ධ පක්ෂයේ අයගේ ඇති ගුණ අවලංගු කිරීමත් මහත් ගුණ සුලු කොට දැක්වීමත් බණ පොත් වල “මක්ඛ” යන නාමයෙන් දැක්වෙන පව් කමය.

නොයෙක් අගුණ කියා නැති අගුණ ඇති කොට කියා පුද්ගලයකුට හෝ පක්ෂයකට පහර ගැසීමත් භික්ෂූන්ට නො ගැළපෙන පව් කමෙකි. පුද්ගලයකුට හෝ පක්ෂයකට වාසි ලබා දීම සඳහා ජනයා භේද කිරීමත් භික්ෂූන්ට කොහෙත් ම නො ගැළපෙන පාප ක්‍රියාවෙකි. බොරු සැබෑ මිශ්‍ර කර තමන්ගේ වාසියට කථා කිරීමත් භික්ෂුවට නො ගැළපෙන හීන ක්‍රියාවෙකි.

එක් පක්ෂයකට වැඩ කරන භික්ෂුව කෙබඳු කෙනකු වුවත් එය විරුද්ධ පක්ෂයේ අයට ඉතා අප්‍රිය ය. ඔවුහු ඒ භික්ෂුවගේ නම පවා හරියට කියන්නට, සුදුසු පරිදි හාමුදුරුවෝ, ස්වාමීන් වහන්සේ යන වචන යොදා කථා කිරීමට නො කැමැති වෙති. ගිහියන් ගැන කථා කරන්නාක් මෙන් භික්ෂුවගේ නම පමණක් කියා කථා කරති. සමහරු නමවත් හරියට නො කියා විකෘති කොට කථා කරති. සමහරු විසුළු නම් යොදා ගෙන කථා කරති. ඌ, අරූ, මූ, ඕකා, මේකා යනාදි ඉතා පහත් වචන වලින් ද භික්ෂුව ගැන කථා කරති. ඒවායින් දේශපාලක භික්ෂූන් නිසා බොහෝ දුරට සංඝ ගෞරවය ද පිරිහේ.

දේශපාලනයට යන භික්ෂූන්ට ඒ වේලාවට එයින් සුළුසුළු ලාභ ලැබෙන්නට බැරි නැත. එහෙත් එයින් බුදු සසුනටත් ගිහි සමාජයටත් ඉමහත් හානියක් බව කිය යුතු ය. භික්ෂු ගෞරවය නැති වී යාම භික්ෂූන්ගේ තත්ත්වය පහළයාම බුදුසසුනට වන හානිය ය. භික්ෂූන් වහන්සේලාට අගෞරව කොට අවමන් කොට ඒ පවින් අපාගත වීමට සිදු වීම බෞද්ධ ජනයාට වන මහා හානිය ය. එබැවින් දේශපාලනයෙන් වැළකී සිටින ලෙස සියලු ම භික්ෂූන් වහන්සේලා ගෙන් ඉල්ලමු.

(පරම පූජණීය රේරුකානේ චන්දවිමල මහානායක හිමිපාණන් වහන්සේ විසින් රිවිරැස පුවත්පතට ලියූ ලිපියක් ඇසුරෙනි.)