New at Little Bit


from Path to Nirvana https://ift.tt/3fnMwcQ
බණ ඇසිය යුත්තේ කෙසේ ද?

ධර්මය ශ්‍රවණය කිරීම නැතිනම් බණ ඇසීම බෞද්ධ සමාජය තුළ ඉතා ම සාමාන්‍ය දෙයක්. විවිධ අවස්ථාවන්හිදී විහාරස්ථානවලදී මෙන්ම නිවෙස් වලදී ද ධර්ම දේශනා සිදු කරනවා, සංවිධානය වෙනවා. ඒත් ධර්මය ශ්‍රවණය කිරීම ගැන බෞද්ධ ශ්‍රාවකයා තුළ ඇති අවබෝධය ඉතා අල්ප බවක් තමයි පෙනෙන්නට තිබෙන්නෙ. මේ නිසාම කෙතරම් ධර්ම දේශනා බෞද්ධ සමාජය තුළ සිදුවුනත් ඉන් මහඟු ඵල නෙලා ගැනීමේ අවස්ථාව බෞද්ධයාට නොලැබී ගිහින් තිබෙන්නෙ. මේ නිසා බණ ඇසිය යුතු ආකාරය ගැන දැනුවත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

නිවන් මඟ යන ශ්‍රාවකයාට නිවන සාක්ෂාත් කර ගන්න සත්පුරුෂයන්ගේ ආශ්‍රය, බණ ඇසීම, ධර්මයට අනුව පිළිපැදීම (ධම්මානුධම්ම ප්‍රත්පදාව) යන ධර්ම තුන බොහෝ උපකාර වෙන බව බොහෝ දෙනෙක් දන්නවනෙ. මෙතනදි බණ ඇසීම කරන්න ඕනෙ කොහොමද කියලයි විස්තර කරන්න හදන්නෙ කෙටි සූත්‍ර දේශනාවකින්.
බණ ඇසීම එහෙමත් නැත්නම් ධර්ම ශ්‍රවණය නිර්වාණයට ඉතාම ප්‍රයෝජනවත්. කල්‍යාණ මිතයන්ගෙන් ධර්මය ඉගෙන ගන්න කෙනාටයි ප්‍රතිපදාවට අවස්ථාව ලැබෙන්නෙ. ඒක ආලවක සූත්‍රයේ “සූස්සූ සා ලභතෙ පඤ්ඤං” යනුවෙන් බණ අසනු කැමැති බව නිවණට හේතුවෙන බව දේශනා කරල තියෙනව.

ඒ වගේම “සුනාථ ධාරෙත චරාථ ධමෙම” යනුවෙන් බුදුන් වහන්සේ විසින් දේශනා කරල තිබෙන පාඨය ඉතාම ප්‍රචලිත එකක් නෙ. මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්. මේ පාඨය තුළ ධර්මය ශ්‍රවණය කිරීම පිළිබඳ පුළුල් අදහසක් ගැබ් වෙලා තියෙනව. මෙහි “සුනාථ” යන්නෙහි අර්ථය හොඳින් ශ්‍රවණය කරන්න යන්නයි. මේ නිසා, ධර්මය හොඳින් ශ්‍රවණය කරන්නේ කෙසේද යන්න ඉතාම වැදගත් ධර්මාවබෝධයට පත්වෙන්න වගේම ධර්ම මාර්ගය වඩා ගන්නත්.

අන්ගුත්තර නිකායේ එන සුස්සූසන සූත්‍රයේ ධර්ම ශ්‍රවණය කරනශ්‍රාවකයා සතු විය යුතු ලක්ෂණ හයක් දක්වලා තියෙනව.

’’ මහණෙනි, ධර්‍ම සයකින් යුක්තවූ තැනැත්තා බණ ඇසීමෙන් කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට (නිවන් මඟට) බැසගන්නට හැක්කේ වෙයි.

1. තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්‍ම විනය දේශනා කරණ කල්හි අසයි
2. දෙසවන් යොමා අසයි
3. ධර්ම ශ්‍රවනයේ දී වෙනත් කරුණු හිතට නොගනී
4. අර්ත්‍ථයක්ම ගනිමින් අසයි
5. අර්ත්‍ථය සලකා බලයි
6. පිළිවෙලින් හා ඉවසීමෙන් යුක්ත වේ

මෙම ලක්‍ෂණ සයෙන් යුක්තවූ තැනැත්තා බණ ඇසීමෙන් කුශල ධර්මයන්හි තැන්පත්වූ නිවන් මගට බැසගනී.

සම්පූර්ණ සූත්‍රය කියැවීමට පිවිසෙන්න.
Pitaka.lk link -> https://ift.tt/2Cy6uTz

පෘථග්ජන සිත බෙහෙවින් කලබලකාරී එකක් බව අපිට විනාඩියක් කල්පනාකරන දේවල්ටික දිහා බලන් හිටියොත් දැනගන්න පුළුවන්. හැමවිටම අවුල්සහගත තැනක තමයි සිත තිබෙන්නෙ. කොහොම නමුත් හොඳින් ධර්මය ශ්‍රවණය කරන්න නම් මේ නොසංසුන් සිත පාලනය කරගෙන සංසුන් තැනකට ගේන්නම වෙනව. ඒ වගේම ධර්මය පදයක් පදයක් පාසා එහි අර්ථය විවරණය කරල මෙනෙහි කරලත් බලන්න වෙනව. මේ ධර්මය පිළිවෙලින් ගළපල බලන්න වෙනව මොකක්ද මට වැටහෙන්නෙ කියලා. මේ සියල්ල කරන්න නම්, ධර්මය දැන ගැනීමේ බලවත් ඕනෑකමක් ඇතිකර ගෙන ඒ අරමුණින්ම සංසුන් වූ සිතින්, නිදහස්ව ධර්ම ශ්‍රවනය කරන්න වෙනව.

ඉතින් මේ දේවල් බණ අහන වෙලාවට තමන් තුළත් ඇති කරගන්න උත්සහ කරන්න. නිර්වාණ මාර්ගයට යොමු වෙන්න ඉතාම ඉක්මනින්ම හැකියාව ලැබේවි ඒත් එක්කම. ඉතින් හැමදෙනාම කල්‍යාණ මිත්‍ර ඇසුර ධර්ම ශ්‍රවනය හා ප්‍රත්පදාවෙන් නිවන් මගට එන්න උත්සහ ගන්න. මේ පණිවිඩය මිතුරන් අතරේත් බෙදා දෙන්න.

තෙරුවන් සරණයි!!!