New at Little Bit


from Path to Nirvana https://ift.tt/2OBdFgV
කුණ්ඩලී කතා වස්තුව.

ඉස්සර ලංකාවේ රුහුණෙ දහස් ගණනින් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න “තිස්ස” කියලා මහා විහාරයක් තිබුණා. ඒ විහාරයේම “තිස්ස” කියලා අලුත පැවිදි උන පොඩි සාමණේර නමකුත් හිටියා. ඒ සාමණේරයන් වහන්සේ දවසක් “පාණව” කියන ගමට පිඬු සිඟා වැඩලා කැළේට වෙන්න තිබ්බ දොළ පාරකින් පැන් පහසු වෙලා දානෙ වළඳන්න පටන් ගත්තා.
ඒ වෙලාවෙ කෑම සුවඳට එතෙන්ට ආව දවස් ගාණක් බඩගින්නෙ හිටපු, අලුත පැටව් බිහි කරපු බැල්ලියක්. අනේ හොඳටම වැහැරිලා වෙව්ල වෙව්ල නකුට වන වනා ඉන්න මේ බැල්ලිය දැකලා සාමණේර නමට ගොඩක් අනුකම්පා හිතුනා. පාත්තරේ තිබ්බ ඔක්කෝම දානෙ ටික ගුලි කර කර ඒ බැල්ලිට දීලා එදා ඒ සාමණේර නම බඩ ගින්නෙම හිටියා.
එදා ඒ බැල්ලිට ඒ සාමණේර නම ගැන ඇති උන පැහැදීමෙන්ම මැරිලා දඹදිව “දේවපුත්‍ර” කියන නගරයේ හිටපු රජ බිසවගෙ කුසේ ගැහැණු දරුවෙක් විදියට පිළිසිඳ ගත්තා. ඒ දූ කුමාරිගෙ නම තමයි “කුණ්ඩලී”. මේ කුමාරිට අවුරුදු 16ක් විතර වෙද්දි, අර “තිස්ස” සාමණේර නම ජය ශ්‍රී මහා බෝධිය වඳින්න දඹදිව වැඩියා. ඒ වඩින අතරමග මේ “දේවපුත” නගරයේ “කුණ්ඩලී” කුමාරි ඉන්න රජ මැදුර ළඟින් “තිස්ස” සාමණේර නම පිඬු සිඟා වැඩියා. කුමාරි සඳලුතලේට වෙලා පාර දිහා බලා ඉන්න කොට දැක්ක මේ සාමණේර නමව. දැක්ක විතරයි කුණ්ඩලී කුමාරිට ජාතිස්මරණ ඥානය පහල උනා. පෙර ජීවිතේ බැල්ලියක් වෙලා ඉද්දි කරපු උපකාරය මතක් වෙලා මේ කුමාරිට ලොකු සතුටක් ඇති උනා. ඊට පස්සෙ ඉක්මනින් ගිහින් සාමණේර නමට දානයට ආරාධනා කරලා රාජ භෝජන වලින් හොඳට සංග්‍රහ කළා.
ඉතිං මේ තිස්ස සාමණේර නම දානෙ වළඳලා ඉවර උනාට පස්සෙ මේ රාජ කුමාරිකාව ගිහින් ඇහුවා “ස්වාමීනි මාව අඳුනන්න පුලුවන්ද, ඔබවහන්සේ මට උපකාර කළා මතකද” කියලා.
ඒ ගමන සාමණේර නම කිව්වා “නැගණියනි මොනවද මේ කියන්නෙ? මට නම් ඔබව මතක නෑ. මම ඔබව අඳුනන් නෑ.” කියලා.
ඊට පස්සෙ ඒ කුමාරිකාව ටික ටික එදා තමන් බැල්ලියක් වෙලා ඉද්දි වෙච්චි සිදු වීම මතක් කරලා දුන්නා. ඔබවහන්සේ දීපු ආහාරය නිසා එදා කුසගිනි නිවා ගෙන, ඔබවහන්සේ ගැන හිත පහදවා ගෙන මැරුණු නිසා අද සැප විඳින හැටිත් පෙන්වා දුන්නා. සාමණේර නමත් ඒ විස්තර අහලා ගොඩක් සතුටට පුදුමයට පත් උනා.
ඊට පස්සෙ ඒ රාජ කුමාරිකාව ඒ සාමණේර නමට දේවපුත්‍ර නගරයේම වැඩ වසන්න කියල ආරධනා කරලා විශාල ව්හාරයක් ඉදි කෙරෙව්වා. පස්සෙ කාලෙක ඒ “තිස්ස” හාමුදුරුවෝ “කුණ්ඩලී” කුමාරිකාව ඉදි කරවපු විහාරයේ වැඩ ඉද්දිම අරිහත්වයට පත් උනා. තවත් බොහෝ ස්වාමීන් වහන්සේලා සමඟ උන්වහන්සේ දිවි ඇති තාක් ඒ විහාරයේ වැඩ හිටියා. කුණ්ඩලී කුමරියත් දිවි ඇති තාක් බොහෝ පිං දහම් කර ගත්තා.
…………………..
………….
…….🌸🌸🌸