New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ZIWbpe
ගියේ 21 කුටියට. මම බලාපොරොත්තු උනේ Concept and Reality වගේ පොතක් ලියපු සුදු හාමුදුරු කෙනෙක්. යනකොට අපි 21 කුටියෙ දිහාවට, කෙට්ටු, නහර පෑදිච්ච සිංහල හාමුදුරු කෙනෙක් වතුර බාල්දියක් අරගෙන ඉස්සරහින් වැඩිය. අපිත් කථා නොකර අනුගමනය කළා. කුටියට ගිහිං සිවුරක් ඇඳගෙන එළියට ආවේ ඒ හාමුදුරුවොම තමයි. ප්‍රනාන්දු මහත්තය එක්ක කථාව පටන්ගත්තා මට මතක හැටියට සංස්කාර ගැන. ආධුනික මමත් අහගෙන හිටිය. කථාව හරි ගැඹුරුයි. එතකොට ප්‍රනාන්දු දොස්තර මහත්තය මාව හඳුන්වා දුන්න. මම කියවූ පොත්වල විස්තරයකුත් ඒත් එක්ක කියවුණා. එතකොට 21 කුටියේ මේ හාමුදුරුවො කිවුව “එහෙනං ගිහිං ලොකු හාමුදුරුවො වන්දනා කරමු නේද” කියල. මට අදහගන්න බැරි උනා මේ තරම් ඉක්මනට මේ තරම් පහසුවෙන් ලොකු හාමුදුරුවො වන්දනා කරන්න ලැබීම ගැන. යන ගමන් මට සතුට ඉහිලුම් නැතිව ගිහින් මේ 21 කුටිය හාමුදුරුවො ළඟින්ම පස්සෙන් යන ගමන් මම කීව “මම ස්වාමීන් වහන්සේ උතුම් කල්‍යාණ මිත්‍රයෙක් වශයෙන් සලකනව මේ කළ උපකාරයට” කියල. එයින් නතර නොවී මම තව දුරටත් කීව “ස්වාමීන් වහන්සේත් මම මිත්‍රයෙක් ලෙස සලකන සේක්වා” කියල. ස්වාමීන් වහන්සේ ආපසු මා දිහාවට හැරිල බැලුව තාලෙන් මට තේරුණා මම පැහි වචනයක් කීව බව. මේ තමයි කටුකුරුන්දේ ඤාණනන්ද හාමුදුරුවෝ.

ඊගාව ජවනිකාව – අපි ගිහින් වැඳල කෙටියෙන් ආගිය පුවත් සැල කරල ලොකු හාමුදුරුවො වන්දනා කළා. මගේ හිත පිරිල ඉතිරෙනව හීනයක් හැබෑ උනා කියල. මම දැක්ක කවුරුත් වගේ අපි හිටියෙ වර්තමාන මොහොතෙ ගිලිල කියල. ගමන සාර්ථකයි!

එතැන් පටන් මට 21 කුටිය හාමුදුරුවෝ ලොකු අයිය කෙනෙක් වගේ සැලකුව විතරක් නොවෙයි මට අදාළ ශාසනික කටයුතුවලදි කෙළින්ම වගකීම අතට අරගෙන වැඩ කළ හැටි පුදුමයි. මට තිබුනෙ මල්ලි කෙනෙක් වගේ එහෙයි කියන එක පමණයි. මගේ ගිහි ආරාමික ජීවිතය, සාමණේර බණ දහම් කියාදීම, ධම්මජීව කියල නම් තැබීම සහ උපසම්පදාවට අදාළ කටයුතු සියල්ලම සියතට ගෙන කටයුතු කළ ආකාරය ගැන හිතෙනකොට ණයගැති බවක් දැනෙනව ශාසනික ගෞරවයක් මුසු. නිස්සරණ වනයේ අපි කාටත් ස්වාමීන් වහන්සේ සැලකුවේ එහෙමයි. ලොකු හාමුදුරුවොත් මේ බව හොඳින් දැනගෙන හිටිය.

-උ. ධම්මජීව හිමි-
(උපුටා ගැනීම – ‘නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනය, මීතිරිගල’ ග්‍රන්ථය)

කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් ගේ ධර්ම දේශනා සහ ධර්ම ග්‍රන්ථ seeingthroughthenet.net වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි.