New at Little Bit


from Path to Nirvana https://ift.tt/3dxyK7z
“යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද හෙතම මට උපස්ථාන කළා හා සමාන වන්නේය” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති බව සඳහන් facebook post වල නිතර දකින්නට ලැබේ.
මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යකි. එලෙසම වරදවා ගැනීමකි. තමා මිථ්‍යාදෘෂ්ටියක් ගෙන අන් අයවද මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවීමකි.
“යෝ භික්ඛවේ, මං උපට්ඨහෙය්‍ය; සෝ ගිලානං උපට්ඨහෙය්‍ය;” යන බුද්ධ වචනය වරදවා තේරුම් ගැනීම නිසා මේ දුර්මතය ඇති වී තිබේ.

බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරන්නේ “යමෙක් මට උපස්ථාන කරයි නම් හෙතම ගිලනුන්ට උපස්ථාන කරයි” යනුවෙනි. ගිලනුන්ට උපස්ථාන කිරීම උතුම් මනුෂ්‍ය ගුණධර්මයක් බැවින් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ තමන් වහන්සේට උපස්ථාන කිරීමට යමෙක් කැමති නම් හෙතම ගිලනුන්ටද උපස්ථාන කළ යුතු බවයි. එසේත් නැත්නම් බුදුරජාණන් වහන්සේට ආදර ගෞරව දක්වන කෙනෙක්, බුදුරජාණන්වහන්සේගේ ධර්මය පිළිපදින කෙනෙක් ගිලනුන්ට ද උපස්ථාන කල යුතු බවයි.

“මහණෙනි, යමෙක් මාගේ අවවාදය කරන්නේ නම්, හෙ තෙමේ ගිලනහුට උවැටන් කරන්නේ ය” https://ift.tt/3jf5XG9 (බුද්ධ ජයන්ති පරිවර්තනය)

නමුත් මේ බුද්ධ වචනය තුළ “යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද හෙතම මට උපස්ථාන කළා හා සමාන වන්නේය ” යන අර්ථයක් කොහේවත් නැත. මෙය පාලි බුද්ධ වචනයත් බුදුරජාණන් වහන්සේලාගේ ගුණස්කන්ධයත් වරදවා තේරුම් ගත් අය සිදුකරන ප්‍රකාශයකි. මෙම වැරදි අදහස කියවන පුද්ගලයෙකුට තේරුම් යන්නේ “බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානය සහ ගිලන් අයෙකුට කරන උපස්ථානය සම ආනිසංස ගෙන දෙයි” යනුවෙනි .

බක්කුල මහරහතන් වහන්සේ අතීත සංසාරයේ එක් භවයකදී රෝගී තත්වයෙන් පසු වූ “අනෝමදස්සි” සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඖෂධ පුදා උපස්ථාන කල පිනෙන් එදා පටන් නිවන් දක්නා ජාතිය දක්වා (කල්ප අසංඛ්‍යයකටත් අධික කාලයක් පුරා) සුගතියෙහිම උපන් බව උන්වහන්සේ ම සඳහන් කරයි. බුද්ධෝපස්ථානයේ ආනිසංස එවැනි ය. https://ift.tt/34613Xp (බක්කුල තෙරණුවෝ ගැන කතාව)

අනන්ත අප්‍රමාණ වූ අචින්ත්‍යය ගුණස්කන්ධයකින් සමන්විත වූ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට කරන උපස්ථානයෙහි ආනිසංසත් ගිලන් පෘථග්ජන පුද්ගලයෙකුට කරන උපස්ථානයෙහි ආනිසංසත් සමාන බව කීමට යමෙක් උත්සාහ කරන්නේ එය හරියටම ඉඳිකටු සිදුරක් සහ අනන්ත වූ විශ්වය සමාන කිරීමට ගත් උත්සාහයක් වැනිය.

බුදුරජාණන්වහන්සේලාගේ ගුණ සහ බුද්ධෝපස්ථානයේ ආනිසංස දැන බුද්ධොපස්ථානයේ යෙදීමත් ගිලනුන් කෙරෙහි කරුණාවෙන් යුතුව ගිලනුන්ට උපස්ථාන කිරීමත් වෙනම කාරණා දෙකකි.මෙය පටලවා නොගත යුතුය.