New at Little Bit


from Path to Nirvana https://ift.tt/3bdRh9E
බෞද්ධයා රූපවාහිනීයෙන් සෑම බදාදාවකම උදේ 8ට කිණිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති අතිගරු පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන නව දේශනා මාලාව……..

දෙවැනි ධර්ම සංගායනාව සිදුකළ සබ්බකාමී සහ යස යන මහරහතන් වහන්සේ දෙනම ප්‍රධාන මහරහතන් වහන්සේලා අනාගතය ගැන විමසා බැලුවා. අනාගතයේ නානාලබ්ධීන් ගත් උදවිය පැවිදි වී මේ ශාසනයේ මහා ආරවුලක් හදනා බව ඒ ඉර්ධි වශීප්‍රාප්ත මහ තෙරුන් වහන්සේලාට දැක ගන්න ලැබුණා. ඒ උපද්‍රවය වෙනුවෙන් මැදිහත් වී ශාසනය බේරාගැනීමේ කටයුත්තට උරදෙන්නට හැක්කේ කවර කෙනෙකුට ද කියා ඒ රහතන් වහන්සේලා විමසා බැලුවා. සකල කාම ලෝකයේ ම එබඳු කටයුත්තකට බල පරාක්‍රම ඇති පුණ්‍ය තේජස් ඇති දෙවියෙක් සිටියේ නැහැ. නමුත් මහා පුණ්‍ය තේජස් ඇතිව බ්‍රහ්ම ලෝකයේ සිටින තිස්ස නම් බ්‍රහ්මරාජයා දැන් ගෙවී ගිය ආයුෂ ඇතිව සිටිනා බව උන්වහන්සේලා දුටුවා.

සසුන රකින පින්වතෙක් සිටින්නේ…
පශ්චිම ජනයා කෙරෙහි අනුකම්පා ඇති ඒ රහතන් වහන්සේලා ඒ බ්‍රහ්ම ලෝකයට වැඩම කොට තිස්ස බ්‍රහ්මරාජයාට මෙසේ වදාළා.“මහා පුණ්‍ය තේජස්වී තිස්ස බ්‍රහ්මරාජය, ධර්ම විනය වූ කලී ශ්‍රාවක අපගේ පරමෝත්තම ශාස්තෘවරයාණෝ බව තෙපි දන්නාහු ය. දැන් නම් ඊට කිසි උපද්‍රවයෙක් නැත්තේ ය. එනමුත් නානාලබ්ධීන්ට රුචි මුග්ධයෝ සිවුරු පොරවාගෙන අනාගත සසුන කෙළෙසන්නාහුය. ඒ උපද්‍රවයේ දී මැදිහත් වී අප ශාස්තෘන් වහන්සේගේ ධර්ම විනය සුරැකීමේ බලපරාක්‍රමයත්, පුණ්‍ය තේජසත් තොපට ඇති බැව් අප දනිමු. එනිසා ධර්ම විනය සුරකිනු පිණිස තොප ප්‍රතිඥා දිය යුතුය.”ගෞතම සසුන බබුළුවනවා කියන කාරණයට තිස්ස බ්‍රහ්මයාගේ සිත අතිශයින් ම සතුටු වුණා. තමන් ඒ සඳහා මැදිහත් වන බවට ඒ රහතන් වහන්සේලා ඉදිරියේ ප්‍රතිඥා දුන්නා. තිස්ස බ්‍රහ්මයාගේ ප්‍රතිඥාව ලබාගත් ඒ රහතන් වහන්සේලා මීළඟට වැඩම කළේ සිග්ගව සහ චණ්ඩවජ්ජී යන තරුණ භික්ෂූන් වහන්සේලා සමීපයටයි.මේ දෙනම වහන්සේලා අපගේ උපාලි මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් පැවත එන මහා පින්වතුන් වහන්සේලා දෙනමක්. උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ දාසක නම් ස්ථවිර නමක් වැඩ සිටියා. ඒ දාසක ස්ථවිරයන්ට සෝණ නමින් ශිෂ්‍යයෙක් සිටියා. ඔය සෝණ තෙරුන් සමීපයේ ශිෂ්‍යයන් ලෙස ඒ වෙද්දී වයස අවුරුදු දහඅටක් වූ මේ සිග්ගව සහ චණ්ඩවජ්ජි කියන දෙනම වහන්සේ පැවිදි වුණා. මනා නුවණැති මේ තරුණ භික්ෂූන් දෙනම පැවිදි උපසම්පදාවෙන් ටික කලක් ගත වෙද්දී ම අභිඥාවන් සහිතව අරහත්වයට පත් වී වදාළා.

ඇවැත්නී, ඔබලා දඬුවම් ලැබුමට සුදුසුයි…
මේ පටිසම්භිදාලාභී අරහත් දෙනම වහන්සේලා කරා පැමිණි දෙවැනි ධර්ම සංගායනාව සිදුකළ රහතන් වහන්සේලා මෙසේ පැවසුවා.“ඇවැත්නී, ඔබ දෙනම දෙවැනි ධර්ම සංගායනාවේ දී ඊට සහභාගී වෙමින් සහයෝගය දැක්වූයේ නෑ. එනිසා ඔබලා දඬුවමට සුදුසු යි. අපි ඔබලාට දඬුවමක් සිදු කරනවා. තව අවුරුදු එකසිය දහ අටකට පස්සේ ගෞතම ශාසනයට මහා උපද්‍රවයක් ඇති වෙනවා. ඒ වෙද්දී එය සංසිඳුවන්නට අප ජීවතුන් අතර සිටින්නේ නැහැ. ඒ ශාසනික අර්බුදය සංසිඳවිය හැකි මහා ප්‍රඥාවකින් යුතු තිස්ස නම් බ්‍රහ්මරාජයා නුදුරු දිනයක ම මොග්ගලී බ්‍රාහ්මණයාගේ නිවසේ පිළිසිඳ ගන්නවා. එතකොට ඔය දෙනමගෙන් එක නමක් සුදුසු කාලයේ දී ඒ පින්වන්තයාව පැවිදි කරන්ට ඕන. අනිත් නම ඉතා යහපත් ලෙස ශ්‍රී මුඛ බුද්ධ වචනය තිස්සයන් හට උගන්වන්ට ඕන.”

රහතන් වහන්සේලා දහස් නම එක් වී ධර්මාශෝක රාජානුග්‍රහය යටතේ තුන්වැනි ධර්ම සංගායනාව ආරම්භ කරනු ලැබුවා. මේ වන විට නොයෙක් නිකායන්ට බෙදී ගිය භික්ෂූන් තුළ බුද්ධ වචනයට පටහැනි මත රාශියක් පැන නැඟී තිබුණා. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ තීක්ෂණ ප්‍රඥා කෞෂල්‍යයෙන් ඒ අන්‍ය මත සිඳලමින් අධර්මවාදී මත මර්ධනය කෙරුණා. එයත් තෙවැනි ධර්ම සංගායනාවේදී කථාවත්ථුප්පකරණය නමින් සංග්‍රහ වුණා. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැක්වූ මාතෘකා පාඨය ගෙන එය විස්තර කෙරෙමින් සකවාද (ථෙරියවාද) පන්සියයක් හා පරවාද (මිත්‍යාවාද) පන්සියයක් වශයෙන් දහසක් එක්රැස් කොට කථාවස්තූපකරණය දේශනාකළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් තබා වදාරන ලද්දා වූ මාතෘකාව කරණකොටගෙන මොග්ගලීපුත්තතිස්ස තෙරුන් වහන්සේ කථාවත්ථූපකරණය දේශනා කළ හෙයින් මේ සියලු ප්‍රකරණය ම බුද්ධ භාෂිත බවට පත්විය. .

මේ අයුරින් අරඹන ලද ධර්ම සංගායනාව නව මාසයකින් නිමාවට පත් කෙරුණා. ඒ වෙද්දී ධර්මාශෝක රජු අභිෂේක ලබා වසර දාහතකුත්, අපගේ මොග්ගලීපුත්තතිස්ස මහා ස්ථවිරපාදයන් වහන්සේ උපසම්පදාවෙන් වස් හැත්තෑදෙකකුත් ඇතිවයි වැඩසිටියේ. ගෞතම බුදුසසුන චිරාත්කලක් පැවතීම පිණිස පැවතුනු එම සංගායනාව මැනැවින් නිමා වෙද්දී එයට සාධුකාර දෙන්නාක් මෙන් මේ මහපොළොව කම්පාවට පත් වුණා. (උපුටා ගැනීමකි)