New at Little Bit


from Path to Nirvana https://ift.tt/3jLvvwd
මේ ඉතාමත්ම පැරණි ඡායා රූප පෙළින් දිස් වන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ විශාලතම ධාතූන් වහන්සේ වන ලාලාට ( නළල් ) ධාතූන් වහන්සේ වැඩ ඉන්න සේරුවිල චෛත්‍ය රාජයායි.

අතිපූජ්‍ය දඹගස් ආරේ ශ්‍රී සුමේධංකර ස්වාමීන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේගේ ධාතුවංශය ගැන දැනගෙන මෙම ස්ථානයට 1922 දී වඩිනවිට එය වන මෘගයන්ගේ රජදහනක්ව පැවැතිණි. කාවන්තිස්ස මහ රජතුමන් විසින් තවත් ප්‍රාදේශීය රජවර්හුන් කිහිප දෙනෙකුගේද උදව්ව ඇතිව ඉතාම ශ්‍රද්ධාවෙන් ඉදිකළ මෙම තූපය ගස් වලින් වැසී ගිය පස් කන්දක් ලෙස එකළ දිස් වන්නට විය. ඉතාම සංවේගයට පත් සුමේධංකර ස්වාමීන් වහන්සේ විසින් මෙම භූමිය ඉතාමත්ම වෙහෙස මහන්සි වී යළි ප්‍රතිසංස්කරනය කරවා යළිත් බොදු ජන පහන් සංවේගය උදෙසා වන්දනාවට 1931 දී අවස්තාව උදා කර දෙන්නට යෙදුණා.
ඉතාම පුණ්‍ය බලයකින් හෙබි දඹගස් ආරේ ශ්‍රී සුමේධංකර ස්වාමීන් වහන්සේගේ එවැනිම පින්වත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා දෙනමක් තමයි පින්වත් සේරුවිල සරණකිත්ති ස්වාමීන් වහන්සේ සහ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේලා දෙනම. වර්තමානයේ විහාරාධිපතිව වැඩ ඉන්නේ සරණකිත්ති ස්වාමීන් වහන්සේයි.

සරනකිත්ති ස්වාමීන් වහන්සේ කියන්නේ වීරෝධාර දුර්ලභ ඝනයේ නිර්භීතභාවයකින් යුක්ත ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නමක්. කොටි ත්‍රස්තවාදීන්ගේ රජදහනක්ව පැවැති මෙම භූමිය රැකගෙන එම ස්ථානයේම තිස් වසරක යුද්ධය පුරාවටම රැඳී සිටි සිංහ රාජයා උන්වහන්සේමය. දරුණු ලෙස බෞද්ධ පුණ්‍ය භූමි සමතලා කරමින් තම ජනාවාස ඉදිකරන නැගෙනහිර මුස්ලිම් ජාතිකයින්ගෙන්ද මෙම පුණ්‍ය භූමිය රැකගත්තේ උන්වහන්සේමය. 10 වතාවක් කොටි ත්‍රස්තවාදීන් විසින් අටවන ලද බෝම්බ පත්තු නොවුනේ උන්වහන්සේගේ ඇති පුණ්‍ය බලය නිසාමයි. උන්වහන්සේ ඉදිරියට පතිතවන මෝටාර් එකක්වත් පත්තු නොවුනේත් උන්වහන්සේගේ ඇති මහත් වූ පුණ්‍ය බලය නිසාමය.

====
රහතන් වහන්සේලා ලළාට ධාතූන්වහන්සේ ආරක්ෂා කළ හැටි
********************************
බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර දී පිරිනිවන් පෑමෙන් පසුව ධාතූන්වහන්සේලා බෙදාදුන් අවස්ථාවේ දී ලළාට ධාතූන්වහන්සේ අයත් වුණේ මල්ල රජදරුවන්ට යි. මල්ල රජ දරුවන් වෙත වැඩි මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ මෙසේ වදාළා.

“රජ දරුවනි, මේ ලළාට ධාතූන් වහන්සේ පිළිබඳව භාග්‍යවතුන්වහන්සේගේ අධිෂ්ඨානයක් තිබුණා. එබැවින් ලළාට ධාතූන්වහන්සේ අපට දුන මැනව.”

මහා කාශ්‍යප මහා රහතන්වහන්සේගේ ඉල්ලීමට කන්දුන් මල්ල රජදරුවන් “ස්වාමීන්වහන්ස, එය එසේම වේවා”යි පවසමින් ලළාට ධාතූන්වහන්සේ මහා කාශ්‍යප රහතන්වහන්සේට භාර දුන්නා.

ලළාට ධාතූන්වහන්සේ භාරගත් මහා කාශ්‍යප මහ රහතුන් සිය ශිෂ්‍ය හිමිනමක් වුණු නන්දට මෙසේ වදාළා.

“පින්වත් නන්දයෙනි, අනාගත කාලයෙහි ලක්දිව මහා වාලුකා නදියේ දකුණු තෙර, සේරු නම් වුණු විල් කෙළවර, වරාහ සොණ්ඩ නම් ගල් කෙමිය සමීපයෙහි, කාවන්තිස්ස නම් මහ රජෙකු විසින් දාගැබක් කරවීමට නියමිත යි. මේ ධාතූන්වහන්සේ එහි පිහිටුවීමට භාග්‍යවතුන්වහන්සේගේ අධිෂ්ඨානයක් තිබෙනවා. එම නිසා ලළාට ධාතූන්වහන්සේ විශාලා මහනුවර කූඨාගාර ශාලාවේ භාග්‍යවතුන්වහන්සේ වැඩ සිටි ගන්ධකුටියෙහි තැන්පත් කර මහත් පුද සත්කාර පවත්වන්න.”

මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ දුන් උපදේශය හිතට ගත් නන්ද ස්වාමීන්වහන්සේ ලළාට ධාතූන් වහන්සේට හොඳින් පුද සත්කාර කළා. කලක් ගතවෙද්දී නන්ද තෙරුන් රහත්ඵල ලබාගෙන, ක්‍රමයෙන් මහළු වියට පත්ව පිරිනිවන් පෑමට ආසන්න වුණා. උන්වහන්සේ සිය ශිෂ්‍යයෙකු වුණු චන්ද්‍රගුප්ත රහතන්වහන්සේ කැඳවා ලළාට ධාතූන්වහන්සේ භාර දුන්නා. පසුව පිළිවෙලින් භද්‍රසේන, ජයසේන, සංඝරක්ඛිත, සහ මහාසේන යන රහතන්වහන්සේ ලළාට ධාතුව රැකබලා ගත්තා.

ලළාට ධාතූන්වහන්සේ ලංකාවට වැඩම කරවීම
*************************************
ලළාට ධාතූන්වහන්සේ ලංකාවට වැඩම කිරීමට සුදුසු කාලය එළඹ ඇති බව නුවණින් දුටු මහාදේව රහතන්වහන්සේ එය ලක්දිව හත්ථොට්ට ජනපදයට වැඩම කළා. එකල එම ජනපදයේ විසූ මහාකාල උපාසකතුමා ධාතූන්වහන්සේ තැන්පත් කිරීම සඳහා ධාතුගෙයක් සාදා දුන්නා. මහාදේව රහතුනෙහි වැඩසිට, ලළාට ධාතුවට පුද සත්කාර කළා.

එකල මාගම රාජධානිය පාලනය කළ මහානාග රජතුමාට මෙම ධාතූන්වහන්සේ පිළිබඳව තොරතුරු ආරංචි වුණා. රජතුමා එම ධාතුගෙයට පැමිණ මහ රහතන්වහන්සේව මුණ ගැසුණා. එම අවස්ථාවේ දී මහ රහතන් වහන්සේ ලළාට ධාතූන්වහන්සේගේ අනාගත විස්තරය රජතුමා හමුවේ වදාළා. එසේම එම ධාතූන්වහන්සේගේ භාරකාරත්වය රජතුමාට ලබාදුන්නා.

කාවන්තිස්ස රජතුමාට ධාතූන්වහන්සේගේ අයිතිය ලැබීම
*************************************
මහානාග රජතුමාට භාරවුණු ධාතූන්වහන්සේ ඉන් පසුව ඔහුගේ පුත් යඨාලතිස්ස කුමරුට ලැබුණා. අනතුරුව යඨාලතිස්ස රජුගේ පුත් ගෝඨාභයට ලළාට ධාතුවේ අයිතිය හිමි වුණා. සිය පියාගෙන් පසුව රුහුණේ රජකම් කළ ගෝඨාභය කුමරු ධාතූන්වහන්සේට නියමිත පරිදි උපස්ථාන කළා. ගෝඨාභය රජතුමා සිය ජීවිතයේ අවසන් කාලයේ දී සිය පුත් කාවන්තිස්ස කැඳවා ලළාට ධාතූන්වහන්සේගේ අතීතය පිළිබඳව පවසා සිටියා. රජතුමා සිය පුත්‍රයාගෙන් ඉල්ලා සිටියේ ධාතූන්වහන්සේ තැන්පත් කොට සේරුවාවිල ප්‍රදේශයේ ස්ථුපයක් ඉදිකරන ලෙස යි.

මංගල සෑයේ වැඩ අරඹයි
*************************************
ගෝඨාභය රජතුමාගේ මරණයෙන් පසුව කාවන්තිස්ස රජතුමා රුහුණේ රජකමට පත්වුණා. සිය පියාගේ අවසන් ඉල්ලීම සිතේ තබාගෙන සිටි රජතුමා හැකි ඉක්මනින් ස්ථුපය ඉදිකිරීමට තීරණය කළා. ස්ථුපය සෑදීම සිදුකළේ විහාර මහා දේවියගේ සොහොයුරෙකු වුණු චුල්ලපිණ්ඩපාතික තිස්ස මහ රහතන්වහන්සේගේ උපදෙස්වලට අනුව යි. එම රහතන්වහන්සේ සෑය ඉදිකිරීමට නියමිතව තිබුණු භූමියට වැඩම කර එය ඉදිකර යුතු ස්ථානය සලකුණු කළා. ඉන්පසුව සේවක පිරිස් යොදවා එම භූමිය මනාව ශුද්ධ පවිත්‍ර කරා. එලෙස භූමිය සකස් කිරීමෙන් පසුව ස්ථුපය ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවේ වෙසක් පොහොය දිනයක දී යි.

ලළාට ධාතූන් වහන්සේ ස්ථුප ගර්භයේ තැන්පත් කිරීම
*************************************
ලළාට ධාතූන් වහන්සේ ස්ථුප ගර්භයේ තැන්පත් කිරීමට තිබුණු දිනයේ දී සුදු වතින් සැරසුණු විශාල පිරිසක් විහාර භූමියට පැමිණ සිටියා. එසේම රෝහණ දේශය තුළ පිහිටා තිබුණු කුඩා නගර පාලනය කළ රජවරුන් සිය පිරිස් සමග එහි පැමිණ සිටියා. එසේම චුල්ලපිණ්ඩපාතික තිස්ස මහ රහතන්වහන්සේ ඇතුළු 500ක් රහතන්වහන්සේ උත්සවය සඳහා වැඩම කළා. එම විහාර භූමියට පැමිණ සිටි කාවන්තිස්ස රජතුමා මැණික් කරඬුව විවෘත කොට ලළාට ධාතූන්වහන්සේ හිස මතට ගෙන, ගර්භය වෙත ගොස් එය එහි තැන්පත් කළා. ඒ සමගම එහි රැස්ව සිටි රහතන් වහන්සේලා අධිෂ්ඨාන කළේ මෙහි තැන්පත් කළ පූජා භාණ්ඩ කිසිම දිනක සොර සතුරන් අතට පත් නොවේවා යන්න යි.

මංගල මහා සෑය අභාවයට යාම
*************************************
අනුරාධපුර සහ පොළොන්නරු යුගවල දී රජකම් කළ බොහෝ රජවරු මංගල මහා සෑයට පුද සත්කාර කළා. නමුත් 1215 වසරේ දී කාලිංග මාඝ නම් දරුණු ආක්‍රමණිකවා පොළොන්නරුව රාජධානිය තමා යටතට ලබාගත්තා. වෙහෙර විහාර විනාශ කරමින්, වැව් අමුණු කඩා දැමූ මාඝ ගෙනගියේ විනාශකාරී පාලනයක්. ඉන් බියට පත්වුණු රජරට වැසියන් නිරිතදිග ප්‍රදේශවලට පළායන්නට වුණා. රජරට වල් බිහිවන්නට වුණා. පසුකලෙක දෙවන පරාක්‍රමබාහු රජතුමා මාඝව පොළොන්නරුවෙන් පළවා හැරියා. නමුත් රජරට තිබුණු වෙහෙර විහාරවලට පෙර පැවති පුද සත්කාර ලැබුණේ නැහැ. එම නිසා 20 වන සියවස ආරම්භය වන විට සේරුවාවිල මංගල මහා සෑය ගරා වැටී තිබුණා.

(උපුටා ගැනීමකි)