Monthly Archives: October 2014

ඔබ රටේ තොටේ සංචාරය කළොත් ඔබට හැමතැනකම දකින්න ලැබෙන දෙයක්‌ තමයි රූපලාවන්‍ය ආයතන….

ඔබ රටේ තොටේ සංචාරය කළොත් ඔබට හැමතැනකම දකින්න ලැබෙන දෙයක්‌ තමයි රූපලාවන්‍ය ආයතන. අතීතයේ අපි ගමක නගරයක ඇති බාබර් සාප්පුවක්‌ මිස මෙවැනි ආයතන දැක නැහැ. රූපය වර්ණවත් කරන රූපලාවන්‍ය ආයතන, ගුවන් විදුලි ආයතනවල, රූපවාහිනී සේවාවල රූපලාවන්‍ය වැඩසටහන් ඔබගේ රූපය වර්ණවත් කිරීම සඳහා, ප්‍රභාශ්වර කිරීම සඳහා මොනතරම් වැඩසටහන් කරනවාද. මේවා මෙහෙයවන හැඩකාර පිංවත් නෝනාමහත්වරුන් මොනතරම් ආත්ම අභිමානයකින්ද මේ රූපයට උරුම ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය මුදවපු කිරිවලින්, යෝගට්‌ වලින්, පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදු මදවලින්, ක්‍රීම්, ජෙල්, ඩයි වර්ගවලින් පරාජයට පත්කරන්න උත්සහගන්නේ. ශරීරයේ දෙතිස්‌ කුණපයම ලස්‌සන කරන්න, රැළිවැටීම නවත්වන්න, කාන්තිමත් කරන්න, ඇති රෝම නැති කරන්න, නැති රෝම ඇති කරන්න, සුදු කෙස්‌ කළු කරන්න, කළු කෙස්‌ නා නා වර්ණ ගන්වන්න……

බලන්නකෝ, ආශ්චර්යමත් ක්‍රියාන්විතයක්‌ මේක.

මේ ක්‍රියාන්විතයේ රූපයේ හැඩගන්වලා, ඔපවත් කරලා, මෝස්‌තර විලාසිතා, විසිතුරු මාල, වළලු, මුදු පළන්දලා මේ කය අංග සම්පූර්ණ කරලා ගත්තහම මොන තරම් හැඩද. මෙවැනි හැඩකාර පිංවත් නෝනා මහත්වරුන් වයස්‌ භේදයකින් තොරව වර්තමානයේ වැහි වැහැලා. මේ අය “රීකන්ඩිශන්” කරපු තම කය දරාගෙන මහත් අභිමානයෙන් යුතුව කාලය ගත කළත් ඔබ දන්නවාද ඒ අය මොනතරම් බියකින්ද ජීවත්වෙන්නේ කියලා. තමා කෘත්‍රිමව සකස්‌කරගත් ශරීර ස්‌වභාවය, හැඩය, වර්ණය අහිමිවේය කියලා. මේ අහිමිවීම වැළැක්‌වීම සඳහා මොනතරම් මේ අය දුක්‌විඳිනවද, මහන්සි ගන්නවද.. ඒ වෙහෙස නේද දිනෙන් දින ඉහළ යන රූපවාහිනී රූපලාවන්‍ය වැඩසටහන්, රූපලාවන්‍යාගාර, විලාසිතා, ඇඳුම් මාලිගා, විසිතුරු පළඳනා යන ක්‍ෂෙත්‍ර වල දැවැන්ත වර්ධනය. මේ පිබිදීමට හේතුව ලෝකයා තුළ රූපයටත්, එහි හැඩය, වර්ණය, කාන්තිය, රිද්මය, ලාලිත්‍යය අහිමි වේය, අඩුවේය කියන බිය නිසාම ඇති වූවකි.

වයස්‌ භේදයකින් තොරව ලෝකයා එහි ගිලනුන් බවට පත්වී ඇත. ඔවුන් මේ සොයන්නේ නැති දෙයකි. අනිත්‍ය බවට පත්වන දෙයකි, එහෙයින් ඔවුනට හිමි දුකම පමණකි. රූපලාවන්‍යාගාර, රූපලාවන්‍ය වැඩසටහන්, මුදවපු කිරි පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදුමද මේ දුකේ, අවිද්‍යාවේ සංෙ€තයන්ය. සිහිවටනයන්ය.

යමෙක්‌ මේවායේ සේවාව සොයාගෙන යන්නේ නම් හේ අසරණයෙකි. දුකෙන් මිදීම පිණිස දුක ඇති කළ මාරයාම සොයායැමකි. ජාති, ජරා, ව්‍යාධි මරණ දුක නැතිකරගැනීම පිණිස ජාති, ජරා, ව්‍යාධි මරණ දුකම සොයායැමකි. රූපයේ ආශ්වාදය පමණක්‌ම කථාකරන අවිද්‍යාවේ හඬවල් ඔබව මේ ගාල් කරන්නේ දුකෙන් දුකටමය. දුකෙන් නිවීමට, සැනසීමට නොවේ. ඔබට මේ ජීවිතයේ නිවීම, සැනසීම අවශ්‍ය නම් ඔබ මේ අවිද්‍යාවේ හඬට සවන් නොදිය යුතුයි. එහි වහලෙක්‌ ගොදුරක්‌ නොවිය යුතුව. ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවත් මහත්ම මහත්මීන්, අනන්ත අප්‍රමානව ඔබට මුණගැසී ඇත. ඒ අය ශරීරය අස්‌වාභාවික ලෙස හැඩනොගැන්වූ, ස්‌වභාවය විකෘති කරනොගත් උදවියයි. සුදුවත් දරාගෙන, බොහොම සංවර ප්‍රසන්න, ශාන්ත ස්‌වභාවයෙන් සමාජයේ ජීවත් වෙනවා. මේ අය දැකපුවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් දිව්‍ය ලෝකයේ දිව්‍ය දිව්‍යාංගනාවනුත් මේ වගේම ඇතිය කියලා. ඔවුන් ඒ තරමටම ප්‍රසන්න සුන්දර නිසා. ඒ අයගේ රූපලාවන්‍ය තමයි බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, දාන ශීල ප්‍රතිපදාව. රූපය කියන්නේ මරණයක්‌. රූපය කියන්නේ ව්‍යාධියක්‌, රූපය කියන්නේ ඉපදීමක්‌. එහෙම දෙයකට මෝස්‌තර හැඩතල, රිද්ම දමනවා කියන්නේ මරණයකට, ඉපදීමකට, ව්‍යාධියකට මෝස්‌තර, හැඩතල, රිද්ම දැමීමක්‌. බලන්න අපි මොනතරම් අදක්‍ෂද? හැබැයි ඉතින් මේ ගැන පුදුම වෙන්න දෙයක්‌ නැහැ. අවුරුදු 80ක්‌ ජීවත් වෙලා ගෙදර ආත්තම්මා මිය ගියහම ගෙදර සාලය මැද්දෙ තිබෙන ඇගේ මිනී පෙට්‌ටිය වටේට පාට පාට විදුලි බුබුලු වැල් දමනවා. අත්තම්මාගේ ඉදුණු අවපැහැගැනුණු කොණ්‌ඩය, රැලි වැටුණු අතපය, ඉදුමුණු මුහුණ ලයිට්‌ එළියට ලස්‌සනට පේනවා. ගෙදර අය කියනවා, ආච්චි මැරුණත් මුහුණ හරි ලස්‌සනයි. මුහුණේ සිනා රැල්ලක්‌ තිබෙනවා කියලා. බලන්න අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ ආශ්වාදය කරන හැටි.

සුදු වෙන හිසකෙස්‌වලට වර්ණ දානවා කියන්නේ,

රැළි වැටෙන සමට, ඇහි බැමට, නියපොත්තට රූප ලාවන්‍ය කරනවා කියන්නේ මරණයකට, ව්‍යාධියකට සාත්තු කරනවා කිරීමක්‌. ඔබ හිතලා බලන්න, පතිකුළයට යන පිංවත් මනාලියක්‌ පෙරවරු 10 ට පෝරුවට නගින්න තිබෙනවා නම්, රූපලාවන්‍ය ශිල්පියා ඇයව හැඩකරන්න ගන්නේ, ඒ කියන්නේ ඇයගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වහන්න, සඟවන්න, යටගහන්න පටන්ගන්නේ පාන්දර තුනේ හතරේ පටන්. ඒ විතරක්‌ නොවෙයි. පතිනියගේ ශරීරය නිවෙන්නට, ප්‍රසන්න වෙන්න, කාන්තිමත් වෙන්න අවශ්‍ය උපදෙස්‌ පිළිපැදීම ඊට මාසයට පමණ පෙර සිටයි ඇය ආරම්භ කරන්නේ. මොකක්‌ද මේ උත්සහය. ජාති, ජරා, ව්‍යාධි, මරණ නොපෙන්වීමේ උත්සහයයි. හැබැයි මෙතනදී මනාලියට මෛත්‍රිය වැඩීම ගැනත් කියලා දෙනවා. සිත සන්සුන්ව තබාගන්න…

බලන්නකො රූපයේ ආදීනවය සමඟින් ආශ්වාදය තළු මරමින් වමාරන මාරයා මෙතැනදී මෛත්‍රිය ගැනත් කියලා දෙනවා.

මඟුල් ගෙදර අමුත්තෝ මැද්දේ දහවල් කාලය ලංවෙද්දී වෙහෙස, තෙහෙට්‌ටුව, අවිවේකය, දහඩිය කඳුළු හේතුවෙන් මනාලියගේ සඟවපු ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් දියවෙලා නැවත පෙනෙන්නට පටන් ගන්නවා. නැවත දහවල් කෑමෙන් පස්‌සේ රූපලාවන්‍ය ශිල්පියා මනමාලියගේ ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් ක්‍රීම්වලින් වසාදමනවා. හැබැයි ඉතින් පිංවත් මනාලිය මනාල මහත්මයාගේ නිවසට ගියහම, යට ගැසූ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔක්‌කොම පේන්න ගන්නවා. මේවා දැකලා මනමාලයා, මනමාලිය කම්පා වෙනවද? නැහැ. ගෙදර ගෙනාපු ජාති, ජරා, ව්‍යාධි, මරණ කොටම ගන්නවා. මා තුළ ඇය ඉන්නවා, ඇය තුළ මා ඉන්නවා කියා සිතා zඅපි ලුණුයි බතුයි කාල හරි ජීවත්වෙමුZ යි ගිවිස ගන්නවා. ඒ කියන්නේ මේ දුක අපි සැපයක්‌ම කරගමුයි කියන එකයි. “මගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔබ ගන්න. ඔබේ ජාති, ජරා, ව්‍යාධි, මරණ මට දෙන්න.” තියෙන දුක මදිවට අනුන්ගේ දුකත් තමාගේ කරගන්නවා. විවාහය නාමයෙන් සිද්දවුනේ එක සැපයක්‌ උදෙසා දුක්‌ ගොඩක්‌ අයිතිකර ගැනීමකි. ඒ කියන්නේ ඇත්තටම ඒ ගෙනාවේ මනාලියක්‌ නොවෙයි. දුකක්‌. දුකට අයිති දෙයක්‌.

මේ සියලු දුක්‌ කන්දරාව කුමක්‌ නිසාද හටගත්තේ. රූපය මගේ කරගැනීම නිසා. මොකක්‌ද රූපය කියන්නේ. ඔබ පිංවත් ස්‌වාමීන්වහන්සේ නමක්‌වේවා, පිංවත් පුරුෂයෙක්‌, ස්‌ත්‍රියක්‌ වේවා ඔබේ කය. උදාහරණයට ගන්න. කුමක්‌ නිසාද මේ කය පවතින්නේ. ආහාරය නිසාමයි. ජලය, බෙහෙත් නිසාමයි. කුමකින්ද මේ කය සැදී පවතින්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතූන්ගේ තද ස්‌වභාවය, වැගිරෙන ස්‌වභාවය, උණුසුම් ස්‌වභාවය, වායු ස්‌වභාවය. ඉහත ස්‌වභාවයේ ධාතූන් හතරකින් තමයි මේ කය නිර්මාණය වී තිබෙන්නේ. මේ ධාතූන් වෙන් වෙන් වශයෙන් ශරීරයේ කොතැනකවත් නැහැ. මේක පඨවිය, ආපෝ, තේජෝ,වායෝ කියලා වෙන් වෙන් වශයෙන් ගන්න බැහැ. ඔබට උදාහරණයක්‌ කියන්නම්. ඔබගේ ශරීරයේ තැනකින් මස්‌ කැබැල්ලක්‌ කඩලා ගත්තොත් එම මස්‌ කැබැල්ල තුළ පඨවි, ආපෝ තේජෝ වායෝ ධාතූන් සියල්ලම තිබෙනවා. එහි තද ගතිය පඨවි ධාතුව. එහි තිබෙන රුධිරය ආපෝ ධාතුව. එහි තිබෙන උණුසුම තේජෝ ධාතුව, පීඩනය තිබෙනවා, එමනිසා රුධිරය ගලනවා, ඒ වායෝ ධාතුව.

ඒ කියන්නේ මස්‌ කැබැල්ල තුළ ධාතු කොටස්‌ හතරම තිබෙනවා. නමුත් අප සාමාන්‍ය ව්‍යවහාරයේදී මස්‌ කැබැල්ලට කියන්නේ පඨවි ධාතුව කියලයි. නමුත් දැන් ඔබට වැටහෙනවා ඇති මස්‌ කැබැල්ල තුළ පඨවි ධාතුව පමණක්‌ නොව, එකිනෙකට මුහුවුණු අනෙකුත් ධාතු කොටස්‌ තුනත් තිබුණු බව.

ඔබ මුත්‍රා කෝප්පයක්‌ ගන්න. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී මුත්‍රා කියන්නේ ආපෝ ධාතුවට, නමුත් මුත්‍රා වල සියුම් කුඩු ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි පඨවිය. උණුසුම් ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි තේජෝ ධාතුව. වැගිරෙන ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි ආපෝ ධාතුව, පෙන බුබුලු නගින ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ වායෝ ධාතුව. මේ කියන්නේ මුත්‍රා වල ධාතු කොටස්‌ හතරම අන්තර්ගතව තිබුණ බවයි. අධ්‍යාත්මික හෝ භාහිර යම් රූපයක්‌ වෙතොත් සෑම රූපයක්‌ම ස්‌වභාවය ඉහත පරිදිමය. නමුත් මෙහිදී කථාකරන්නේ අධ්‍යාත්මික රූපය ගැනය. ඔබගේ කය ගැනය. දැන් ඔබට පැහැදිලිය. කය යනු රූපයකි. රූපය සෑදී තිබුණේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙනි. මේ ධාතු කොටස්‌ හතර නිතරම වෙනස්‌වෙමින් පවතින්නකි. රූපය අනිත්‍යභාවය වශයෙන් අපි දකින්නේ මේ වෙනස්‌වීමයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ වශයෙන් දකින්නේ මේ වෙනස්‌වීමයි. ලෝකයේ වේගවත්ම ක්‍රියාවලිය රූපය අනිත්‍යභාවයට පත්වන වේගයයි. ලෝකය තාක්‍ෂණික වශයෙන් මොන තරම් දියුණු වුවද, රූපය අනිත්‍යභාවයට පත්වන වේගය දැකීම පිණිස ජායාරූපයකට ගැනීමට සිතීම පවා මෝඩකමකි. මන්ද ලෝකයේ ප්‍රවේගකාරීම දෙය රූපය අනිත්‍යභාවයට පත්වන වේගය නිසාය. එය මේ මස්‌ ඇහැට දැකිය නොහැකිය. ප්‍රඥාවේ ඇසින් පමණක්‌ දැකිය හැක්‌කකි. ඒ වේගය යමෙක්‌ ප්‍රඥාවෙන් දකීද, හේ තම කයද වේගයෙන් අනිත්‍යභාවයට පත්වන රූපයක්‌ සේ දකියි. අවබෝධයෙන්ම කලකිරේ. රූපයෙන් නිදහස්‌ වේ.

රූපයේ අනිත්‍යභාවය අවබෝධකරගත් භික්‍ෂුවට තම ප්‍රඥාවේ ඇසින් මහා ගල්කුළක්‌ එක මොහොතකින් අනිත්‍යයෙන් සියුම්භාවයට පත්කොට සුළගේ පාවී යන වායෝ ධාතුවක්‌ බවට දැකිය හැකිය. මහා සද්ධන්නත ගල්කුළක්‌ සුළඟ පාවී යන දුමක්‌ සේ දකිමින් ඒ අවබෝධය ලැබුවේ රූපයේ අනිත්‍යභාවයට පත්වන වේගයේ ප්‍රවේගයයි. මේ අනිත්‍යයේ ප්‍රවේගය දකින්නා රූපයට ඇති කැමැත්තෙන් මිදී නිස්‌සරණය ලැබීම ඒකාන්තය.

ඉහත අකාරයෙන් සතර මහා ධාතූන් අනිත්‍යභාවයට පත්වන විට, එකිනෙක සම්බන්ධව පවතින සතර මහා ධාතූන් අතර සියුම් අවකාශධාතුවක්‌ සකස්‌වේ. මේ අවකාශ ධාතුව දැකිය හැක්‌කේ ප්‍ර+ඥාවෙන් පමණක්‌මය. මස්‌ ඇසට මේ අවකාශ ධාතුව නොපෙනේ. සාමාන්‍යයෙන් අවකාශ ධාතුව වශයෙන් හදුන්වනුයේ කන් සිදුර, නාස්‌ සිදුර, නාභිය වැනි අවකාශයන්ය. එහෙත් එය ප්‍රාථමික දැනීමකි. සැබෑ ඇතිවී නැති වී යන අවකාශ ධාතුව නිර්මානය වන්නේ එකමවිට පවතින්නාවූ සතර මහා ධාතූන්ගේ ප්‍රවේගයෙන් ඇතිවීම නැතිවීම වන විට ඇතිවන හිඩැසය. එම අවකාශය කවදාහරි අපි ප්‍රඥාවේ ඇසින්ම දැකිය යුත්තකි.

ඔබට සරළ උදාහරණයක්‌ පෙන්වන්නම්. ඔබ මේසයක්‌ ළඟට යන්න. මේස ලෑල්ලට අඩියක්‌ පමණ උඩින් ඔබේ අත්ල තබාගන්න. එක ඇඟිල්ලක්‌ දික්‌ කරන්න. දැන් එම ඇඟිල්ල වේගයෙන් මේස ලෑල්ලට ගැටීමට සලස්‌වමින් ඉහළට ගන්න. ඉතා වේගයෙන් මෙය කරන්න. ඔබට පෙනේවී හැම මොහොතකට ඔබේ ඇඟිල්ල මේස ලෑල්ලේ වදිනබව. නමුත් ඇඟිල්ල ඉහළට යනවිට මේස ලෑල්ලේ වදින්නේ නැහැ. වේගවත් බව නිසා ඔබට මෙය දකිනන්ට බැහැ. අවකාශ ධාතුවත් ඔය වගේමයි. සතරමහා ධාතූන්ගේ වේගවත් ඇතිවීම, නැතිවීම නිසා ඇතිවන අවකාශය මස්‌ ඇහැට පෙනෙන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලියි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතූන් හතරත්, එම ධාතූන්ගේ වේගවත් වෙනස්‌වීමත් නිසා හටගන්නා අවකාශ ධාතුවත්.

එහෙම නම් ඔබ මමය, මගේය කියලා හැඩකරන, ලස්‌සන කරන ඔබ කය අයිති කාටද? ඔබටද? නැහැ. එහි සැබෑ අයිතිකරු තමයි ස්‌වභාවධර්මය. කොහොමද මේ කය අයිති ස්‌වභාවධර්මයට යෑයි කියන්නේ. මේ කයත්, ස්‌වභාවධර්මයේම කොටසක්‌ නිසා මේ කය හැදිලා තිබෙන, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙන්මයි ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ.

ඒ කියන්නේ ඉර, හඳ, තරු, වලාකුලු, මහපොළොව, ගස්‌ වැල්, දෙවියා, බ්‍රහ්මයා, නිරිසතා…. මේ සියල්ල හැදිලා තිබෙන්නේ හතරමහා ධාතූන්ගෙන්මයි. දැන් ඔබට වැටහෙනවා ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ සතරමහා ධාතූන්ගෙන් කියලා. මේ ස්‌වභාවධර්මයේ සැබෑම අයිතිකාරයා තමයි අනිත්‍යය. දැන් මෙන්න මේ විදිහට ඔබ ඔබේ කය අයිති ස්‌වභාවධර්මයට කියලා ඔබට ඔප්පුකරගන්න.

ඔබ මෙහෙම සිතන්න. මේ හාමුදුරුවෝ අපවත්වෙනවා. හාමුදුරුවෝ අපවත්වුණහම දායකයෝ මොකද කරන්නේ. හාමුදුරුවන්ගේ සිරුර ආදාහනය කරනවා. ගිණිතියනවා. හාමුදුරුවන්ගේ සිරුර ගිනිගන්නකොට එම ගිනි දළුවලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නෑ. ඔබ කියන්නේ තේජෝ ධාතුව කියලා. මේ හාමුදුරුවන්ගේ සිරුර බුර බුරා ගිනිගනිද්දී, මේ ගින්න ඇවිලෙන්නේ ශරීරයේ තිබෙන තෙල් වලට. සම මතුපිටට තෙල් උනමින් ගිනිගන්නා විට එම තෙල් වලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලා. මේ හාමුදුරුවන්ගේ සිරුර දැවී අහසට නගින දුමට “හාමුදුරුවෝ” කියන්නේ නැහැ. ඔබ එම දුමට කියන්නේ වායෝ ධාතුව කියලා. හාමුදුරුවන්ගේ සිරුර දැවිලා ඉතිරිවන අළු වලට, ඇට කැබැලිවලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ කියන්නේ පඨවි ධාතුව කියලා. ඔන්න එහෙමනම් දකින්න හාමුදුරුවෝ දරාගෙන සිටි කය අයිති කාටද, එම ශරීරය අවසානයේදී එකතුවුනේ කොහාටද? ස්‌වභාවධර්මයටමයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ස්‌වභාවයටමයි. එහෙනම් හාමුදුරුවන් හැටියටත් ගින්න, තෙල්, දුම, ඇටකටු, අළු වශයෙන් අපි දකින්නෙත් අනිත්‍යභාවයමයි. සතරමහා ධාතුවේ විවිධත්වයයි. ඔබේ ජීවිතයට මෙය ගලපාගෙන අවබෝධය ලබන්න බලන්න. ස්‌වභාව ධර්මයට අයිති දෙය, අනිත්‍යයට අයිති දෙය, ගින්නට, දුමට, අළුවලට, තෙලට අයිති දෙය මගේ කරගෙන, අපේ කරගෙන ස්‌වාමියා, බිරිඳ කරගෙන, අම්මා, තාත්තා කරගෙන දුක්‌විඳිනා අවාසනාවන්තයෝ අපි. මෙහි වඩා පුදුම විය යුත්තේ මෙය නොවේ. මේ කය මගේ කරගෙන, මේ කය නිසා මොනතරම් අකුසල් අපි රැස්‌කරගන්නවාද. මේ කයට ආත්මගරුත්වය ලබාදෙන්න, මුල්තැන දෙන්න, කැපී පෙනෙන්න, සැප දෙන්න, සිත කය වචනය කියන තුන්දොරින් මොන තරම් අකුසල් රැස්‌කරගෙන සතර අපායට වැටුනාද? ඒ වැටුනේ තමාට අයිති නැති ස්‌වභාවධර්මයට, අනිත්‍යයට අයිති දෙයක්‌ මගේ කරගැනීම නිසා නේද.

මේ කථාවේ මුලින් සඳහන් කළ පිංවත් මනාලියත්, මනාලයත් රූපලාවන්‍ය සොයා යන පිංවත් පිරිසත් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදීමට යෝගට්‌, බිත්තර සුදුමද, මුදවපු කිරි, පිපිඤ්ඤා, කැරට්‌ සරණ යන පිංවතුන් හිතන්න උත්සහගන්න තමන් මේ සරසන්නේ, සැප දෙන්නේ, සැප දෙන්නේ තමාට අයිති නැති ගින්දරට,දුමට, අලුවලට, තෙල්වලට අයිති දෙයක්‌මය කියලා. ඒ නිසා ඔබ දක්‍ෂ වෙන්න ඔය කය රැකගැනීම, පෝෂණය කිරීම උදෙසා අකුසල් සිදු නොකරගන්න. ඇයි ඔබ ගින්දරට, තෙලට, දුම්වලට, අලු වලට අයත් දෙයක්‌ මගේ කරගැනීමට නිසා අපාගතවෙන්නේ. ඉහත ස්‌වභාවය නිතර මෙනෙහිකර අවබෝධය ලබාගැනීමට උත්සහගන්න. දැන් ඔබ දන්නවා ඔබ ඔය මගේ කරගෙන පෝෂණය කරන්නේ, මුහුණ සෝදවන්නේ, නාවන්නේ, ඇඟ සෝදවන්නේ, බෙහෙත් දෙන්නේ, නායකයා, ඇමැති, සභාපති, ලේකම්, උතුම් මහනායක, උතුම් අනුනායක පදවි ලබාදෙන්නේ ගින්දරට, දුමට, තෙලට, අලුවලට අයිති දෙයකටය. එහෙමනම් ඔබ ඔය ඔබේ ඇස, කන, නාසය, දිව, හිසකෙස්‌, නිය, දත්, සම, මස්‌ කියලා දැක්‌කෙත් ගින්දර, දුම, තෙල්, අලු හැටියට දැක්‌කෙත් එකිනෙකට වෙනස්‌ ධාතුවල වෙනස්‌වීමයි. අනිත්‍යභාවයයි. ඔතනින් ඔය අනිත්‍ය ක්‍රියාවලිය නවතින්නේ නැහැ. සතර මහා ධාතූන්ගෙන්, ඒ කියන්නේ නිය, දත්, මස්‌, සම් වශයෙන් තිබූ ස්‌වභාවය අනිත්‍ය භාවයට පත්වී ගින්දර, දුම, අළු, තෙල් බවට පත්වූවාසේම මේ ගින්දර, දුමද, තෙල්ද,අලුද ජාති ජරා ව්‍යාධි මරණවලට පත්වීම නිසා අනිත්‍යභාවයට පත්වනවා. මන්ද ඒවාත් සතර මහාධාතූන්ගෙන් සැදි රූපයක්‌ නිසා.

ඔබගේ ඔය කය ගින්දර, දුම, අළු, තෙල් බවට පත්වූවා සේම ගින්දර ගින්දර ස්‌වභාවයෙන්ම, දුම දුම ස්‌වභාවයෙන්ම, තෙල් තෙල් ස්‌වභාවයෙන්ම, අළු අළු ස්‌වභාවයෙන්ම පවතින්නේ නැහැ. රූපයේ අනිත්‍යභාවය නිසා ඒවාත් වෙනස්‌වෙනවා. මේවා ජලවාශ්ප බවට, සුළඟ බවට, වලාකුලු බවට, වැස්‌ස, පින්න, වලාකුලු, අළු දුවීලි, ජලය බවට, ගස්‌ කොළන් මේවායින් යෑපෙන පෝෂණය වන මත්ස්‍යයින් සත්වයින් බවට පත්වෙනවා. එහෙමනම් ඉහත ස්‌වභාවයට පත්වූයේ ඔබේ කයම නේද? ඔබ රූපලාවන්‍ය කළ යෝගට්‌, බිත්තර සුදුමද, පිපිඤ්ඤා, පවුඩර්, ක්‍රීම්වලින් වෛවර්ණ කරපු ඔබගේම ශරීරය නේද? ඔබ මහ පාරේ ගමන්කරන විට ඔබට ඉතා දුගඳහමන කසලගොඩක්‌ හමුවුනාය හිතන්න. ඔබ කසල ගොඩ කියන්නේ මොකද්ද? කවදාහරි අතීතයේ දවසක මනුශ්‍යයෙක්‌, නැතිනම් තවත් සත්වයෙක්‌, මගේ කියලා දරාගෙන සිටපු කයක්‌මයි. ඒ ධාතූන්ගේ වෙනස්‌වීමමයි. ඒ ශරීරයට අතීතයේ එම පුද්ගලයා රූපලාවන්‍ය කරන්න ඇති. රන්, රිදී, පළඳවන්න ඇති.

ඔබ ඔය මහා සාගරය දෙස බලන්න. ඔය මහා සාගරයේ තිබෙන සෑම ජල බින්දුවක්‌ම සත්වයාගේ නෙතින් ගලාගිය කඳුළු, රුධිරය, දහදිය. මේ ශරීරය ගිනිගනිද්දී ඇතිවූ දුම ජල වාෂ්ප බවට පත්වී ඒවායින් වලාකුළු සැදී ඇතිවූ වැස්‌ස. මහා සාගරයේ හැම දියබිඳක්‌ම මීට පෙර මනුශ්‍ය ශරීරයක්‌මයි. අපි මුහුදු වතුර වශයෙන් දකින්නේ සතර මහා ධාතුවේ විවිධත්වය, රූපයේ අනිත්‍යය. ලෝකයේ සුරූපීම ශිල්පියා හෝ ශිල්පිනිය, ඒ සුරුපීභාවය තිබියදීම මියගියහොත්, ඒ සිරුර පුච්චාදැමුවහොත්, එම කයත් ඔය වැස්‌සටම, ඔය ජලයටම, ඔය පසටම, ඔය වාතයටම, ඒවායින් වැඩෙන ගහකොළ, සතා සිව්පාවටම එකතුවෙනවා. එහෙමනම් මේ කයේ වෙනස්‌වීමේ ස්‌වභාවයෙන්ම නේද වැස්‌ස, හිරුඑලිය, ජලය, වාතය…. කොටින්ම මේ ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ.

ඔබේ ලේ නෑකම නිසා ඔබ අම්මා, තාත්තා, නංගී, මල්ලී, මාමා, නැන්දා, ආච්චි සීයා වශයෙන් හදුන්වනවා වගේම වැස්‌ස, ජලය මහපොළොව, ගහකොළ ඔබේ ලේ ඥාතීන්මයි. ඇයි ඒවාත් අතීතයේ ඔබේ කයින්, මසින්,ලෙයින්, ගින්නෙන්, දුමෙන්, අලුවලින් ඇතිවූ නිසා. බලන්නකො මනුශ්‍ය කය. ඒ කියන්නේ ඇස, කන, නාසය, ශරීරය කියන ධාතු ස්‌වභාවය වෙනස්‌වී වලාකුලු, ජලය, පස්‌, මහා සාගර, ගහකොළ, කැලිකසල බවට පත්වුණා. එම ස්‌වභාවයන් නැවත නැවතත් වෙනස්‌වෙමින් ආරම්භයක්‌, අවසානයක්‌ නොපෙනනෙන චක්‍රයක්‌ සේ ඇදීගෙන යනවා. එසේනම් වැස්‌ස, වලාකුලු, ගින්දර, මහපොළොව ඔබට අයිති නැහැ වගේම, ඔබේ අම්මා, තාත්තා, සහෝදරයා, ඥාතියා, දරුවා, ඔබට අයිතිද? මේ සියල්ල සතර මහා ධාතූන්ගේ විවිධත්වයි. මෙ විවිධත්වය ඇතිවූයේ අනිත්‍යභාවය නිසාමයි. එහෙමනම් මේ කය අයිති සතර මහා ධාතූන්ටයි. සතර මහාධාතූන් අයිත් ස්‌වභාවධර්මයටයි. ස්‌වභාවධර්මය අයිති අනිත්‍යයටයි.

අනිත්‍යවූ දෙයක්‌ කුමක්‌ නිසා ඔබ ඔබේ කරගන්නද. ඉහත ස්‌වභාවය අවබෝධයෙන් වඩන්න, දකින්න, එවිට ඔබට අවබෝධයෙන් කලකිරේවී. මේ රූපය ගැන කලකිරීම නිසා රූපය ඔබට අතහැරේවී. අතහැරීම තුළ ඔබ ලබන්නේ නිදහස්‌වීමයි. ලෝකයේ උතුම්ම ආර්ය නිදහසයි.

~ නුවණැත්තෙකු ඇසුරට නැතිනම් තනිව විසිම සුදුසුය ~ යහළුවන් අතර share කරන්න.ඔබත් ධ…

~ නුවණැත්තෙකු ඇසුරට නැතිනම් තනිව විසිම සුදුසුය ~

යහළුවන් අතර share කරන්න.ඔබත් ධර්ම දානයේ කොටස් කරුවෙකු වෙන්න

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චරං චේ නා’ධිගච්ඡෙය්‍ය
සෙය්‍යං සදිසම’ත්තනෝ
ඒකචරියං දළ්හං කයිරා
නත්ථි බාලේ සහායතා

කාරුණික පින්වත්නි,

අද ධර්ම දේශනාවෙන්ම මා බලාපොරොත්තු වන්නේ ආශ්‍රය පිළිබඳව බුදු දහමෙන් කර ඇති මග පෙන්වීම්වලට අදාළ කරුණු ස්වල්පයක් මේ පින්වතුන්ගේ දෙලොව අභිවෘද්ධිය සඳහා ඉදිරිපත් කිරීමටයි. මේ හා සම්බන්ධ කරුණු රාශියක් සූත්‍ර ධර්ම, ධම්මපද ගාථා, ජාතක කතා සහ ශ්‍රාවක ශ්‍රාවිකා චරිත ආශ්‍රිතව සඳහන්ව ඇත. එයින් බොහෝ කරුණු මේ පින්වතුන් අසා කියවා අවබෝධයෙන් තම ජීවිතයට සම්බන්ධ කරගෙන තිබීම ඉතා වැඩදායකය.

ආශ්‍රය හා සම්බන්ධ ගාථා රාශියක් ධම්මපදය’ නම් අගනා ධර්ම ග්‍රන්ථයේ ඇතුළත්ය. එයින් මා ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් ඉහතින් දක්වා ඇත්තේ එහි බාල වග්ගයට අයත් දෙවෙනි ගාථාවයි. මෙහි සරල අදහස වන්නේ අප අපේ ආශ්‍රයට ගැළපෙන පුද්ගලයකු සොයන විට තෝරා ගන්නා විට ගුණනුවණින් තමන්ට වඩා උසස් කෙනෙකු වැඩිහිටි කෙනකු සොයා ගැනීම ඉතා මැනවි. එවැන්නකු සොයාගත නොහැකි නම් ගුණ නුවණින් .තමන් හා සමාන අයකුවත් සොයා ගැනීම යෙහෙකි. එවැන්නකුද සොයා ගැනීම අසාර්ථක වූයේ නම් කළ යුත්තේ කුමක්ද? තනිවම ජීවත්වීමට අධිෂ්ඨාන කර ගැනීමයි. එසේ නැතිව තමන්ට වඩා ගුණ නුවණින් අඩු අය ඇසුරු කිරීම නොකළ යුතුය.

බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සමඟ එකම ආරාමයක වාසය කළ අන්තේවාසික අකීකරු භික්ෂුවක් මුල්කරගෙනය. මහා කාශ්‍යප තෙරණුවෝ රජගහ නුවර පුළිලලෙන වැඩ වසති. එහි උන්වහන්සේගේ අන්තේවාසික තවත් භික්ෂු දෙනමක් වාසය කරති. ඉන් එක් නමක් කීකරුය. ගුරු භක්තියෙන් යුක්තය. දෛනික වත පිළිවෙත්හි මැනවින් යෙදෙයි. අනෙක් භික්ෂුව වංකය, වංචනිකය, ගුරු බැතියෙන් හීනය. වළඳා බොහෝ වේලා නිදයි. වත පිළිවෙතෙහි නොයෙදෙයි. වත පිළිවෙතේ යෙදෙන භික්ෂුව මළු පෙත් මං ඇමදූ පසු ඒවා තමා කළ ඒවා බව ගුරු හිමියන්ට හඟවයි. මහා කාශ්‍යප තෙරණුවෝ ද එම වංචනික ක්‍රියා දැන, ඒ නොහික්මුණු කමෙන් ඔහු මුදා නියමිත මහණ දම්හි යෙදවීම සඳහා නිතර ඔවදන් දෙති. දිනක් එසේ අවවාද කරන විට ඒ භික්ෂුව එයින් කෝපයට පත්ව, මහ කසුප් හිමියන්ට එකට එක කියමින් ද්වේෂයෙන් හැසිරෙන්නට විය. උන්වහන්සේ කෙතරම් මෙත් සිතින් ක්‍රියා කළත්, ඒ භික්ෂුව කළේ නොමනා කි‍්‍රයාමය.

දිනක් මේ භික්ෂුව , මහා කාශ්‍යප තෙරණුවන්ට මහත් ශ්‍රද්ධා ගුණ ගෞරවයෙන් සිව්පසය පිරිනමන නිවසකට ගොස්, මහ කසුප් තෙරණුවන් බොහෝ ගිලන්ව ඇති බව පවසා, දානය ඉල්ලාගෙන ගොස් එය රහසිගතව තනිවම වළඳා, කිසිවක් සිදු නොවූ ලෙසින් නිහඬව සිටින්නට විය. මහා කාශ්‍යප තෙරණුවන් පසුව ඒ බව දැන, ඒ භික්ෂුව කැඳවා, ඇවැත්නි, පැවිද්දන්ට ඉල්ලාගෙන වැළඳීම කැප නැත. ඔබ වහන්සේ කර ඇත්තේ භික්ෂුවකට කොහෙත්ම නොගැළපෙන දෙයක් බව පෙන්වා දෙමින් අවවාද කළහ. ඒ අකීකරු භික්ෂුව එයින් මහා කාශ්‍යප තෙරණුවන් කෙරෙහි වෛර බැඳගෙන පලි ගැනීමට අවස්ථාවක් උදාවන තුරු බලා සිටියේය. මේ අතර මහා කාශ්‍යප තෙරණුවෝ අනෙක් භික්ෂුවද සමඟ පිණ්ඩපාතයේ වැඩි අවස්ථාවක එම නොහික්මුණු භික්ෂුව පන්සලේ තිබූ දේ පොලවේ ගසා විනාශ කර, පන්සලට ගිනි තබා පලා ගියේය. මේ සිද්ධිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඉහත ගාථාව දේශනා කළහ. මේ සිද්ධියට අදාළ නොහික්මුණු භික්ෂුව බාලයෙකි. ධම්මපදයේ බාල වග්ගයේම ගාථාවක සඳහන් වන්නේ බාලයා අනුවණයා මුළු ජීවිතකාලයම ගුණ නුවණින් යුතු උතුමන් ඇසුරේ විසුවත් (දබ්බී සූපරසං යථා) හැන්ද කෙතරම් හොඳි ව්‍යඤ්ජන හැඳි ගෑවත් ඒවායේ රසය නොහඳුනන්නාක් මෙන් අවශ්‍ය ගුණ නැණ දැනුමෙන් නොවැඩෙන බවයි. බුදු දහම පුද්ගල ආශ්‍රයට විශේෂ අවධානයක් යොමු කර ඇත. දිනක් අනඳ හිමියන් බුදුරදුන්ට පවසා සිටියේ පුද්ගල ජීවිතයේ අඩක්ම ගොඩනැගෙන්නේ යහපත් ආශ්‍රය මත බවයි. එවිට බුදු රඳුන් වදාළේ “ආනන්ද එසේ නොකියන්න, ආනන්ද එසේ නොකියන්න පුද්ගල ජීවිතයේ අඩක් නොව සම්පූර්ණ ජීවිතයම පමණක් නොව මුළු මහත් ශාසන බ්‍රහ්ම චර්යාව ම ගොඩනැගෙන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මත බවයි. මේ අනුව පුද්ගල පෞරුෂය ගොඩනගන්න සාධක කිහිපයක් බුදුදහමෙන් අවධාරණය වේ. එනම් ආශ්‍රය ජීවත්වන වටපිටාව (පරිසරය) හා පෙර කළ පින් ඇති බව යන කරුණුය. පුද්ගලයාගේ දෙලොව අභිවෘද්ධියට හේතුවන කරුණු පෙන්වාදෙන මහා මංගල සූත්‍රයේ පළමු ගාථාවේ පළමුවෙන්ම පෙන්වා දෙන්නේ බාලයන් ඇසුරු නොකර පණ්ඩිතයන් එනම් ගුණ නුවණින් යුතු උතුමන් ඇසුරු කළ යුතු බවයි.එසේම සිඟාලෝවාද සූත්‍රයේ දක්වන සදිසා නමස්කාරයේදී උත්තර දිසා නමස්කාරය වන්නේ තම කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටුකිරීමයි. එම සූත්‍රයේම අප ඇසුරු කළ යුතු කලණ මිතුරන් හතර දෙනෙකුත් ඇසුරු නොකළ යුතු පාප මිත්‍රයන් හතර දෙනෙකුත් පෙන්වා ඔවුන් හඳුනා ගැනීමට ඔවුන්ගේ ගති ලක්ෂණද පෙන්නුම් කර ඇත. එපමණක් නොව පුද්ගල පරිහානියට හේතුවන අපාය මුඛ හෙවත් භෝග විනාශ කරණූ අතර පාප මිත්‍ර සේවනයද එකක් ලෙස එම සූත්‍රයේම පෙන්වා දී ඇත. ව්‍යග්ඝ පජ්ජ සුත්‍රයේ පුද්ගලයාගේ මෙලොව දියුණුව සඳහා පෙන්වා දී ඇති කරුණු හතරකි. එයින් තුන්වන කරුණ ලෙසද දක්වා ඇත්තේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයයි. පුද්ගල පරිහානියට හේතුවන කරුණු පෙන්වා දෙන පරාභව සුත්‍රයේ ඒ සඳහා බලපාන ප්‍රබලම කරුණක් ලෙස දක්වා ඇත්තේ පාප මිත්‍ර ආශ්‍රයයි.

මේ අකාරයෙන් විවිධ සූත්‍රවලින් පෙන්වා දෙන පරිදි පුද්ගල අභිවෘද්ධිය සඳහා හේතුවන ප්‍රබලම සාධකයක් ලෙස කල්‍යාණ මිත්‍ර ආශ්‍රයද පුද්ගල පරිහානිය සඳහා හේතුවන ප්‍රබලම සාධකයක් ලෙස පාප මිත්‍ර ආශ්‍රයද දක්වා තිබීමෙන් ආශ්‍රය අපේ ජීවිත කෙරෙහි කෙතරම් බලපෑමක් සිදුකරන්නේද යන්න පැහැදිලි වේ. ඉහත මාතෘකා කළ ගාථාවේ සඳහන් පරිදි ආශ්‍රය තුළින් මනුෂ්‍ය ජීවිතයේ සිදුවිය හැකි විශේෂ පරිවර්තන කිහිපයක් කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතුය. එනම්

1. තමන් ඉන්න තත්ත්වයට වඩාගුණ නුවණින් ඉහළ ස්ථරයකට පත්වීම

2. ගුණ නුවණින් තමන් සිටින මට්ටම ඒ තත්ත්වයෙන්ම පැවතීම

3.ගුණ නුවණින් තමන් දැනට සිටින තත්ත්වයට වඩා පහත වැටීමේ අවදානම් ස්වභාවය

මේ අවස්ථා තුනෙන් පළමු සහ දෙවන අවස්ථා මෙම ධම්මපද ගාථාව තුළින් බුදුරජාණන් වහන්සේ අනුමත කර ඇත. එයිනුත් බුදු දහම වැඩි උත්තේජනයක් ලබා දෙන්නේ තමන් සිටින ත්ත්ත්වයට වඩා ගුණ නුවණින් ඉහළ තලයකට ඔසවා තබන ආශ්‍රයක් ඇතිකර ගැනීමටයි. තුන්වන අවස්ථාවෙන් දක්වන පහතට ඇද වැටීම බුදු දහම කොහෙත්ම අනුමත කර නැත. අනුමත කර නැතුවා පමණක් නොව එය සහමුලින්ම ප්‍රතික්ෂේප කර ඇත. ඒ නිසයි අවධාරණය කර ඇත්තේ තනිවම ජීවත්වීම ඊට වඩා හොඳ බව. බුදු දහම එසේ තමන්ගේ ඇසුරට ගැළපෙන ගුණනුවණින් යුතු උතුමෙකු සොයා ගත නොහැකිනම් තනිවම ජීවත්වීමේ අධිෂ්ඨානය දැඩි කර ගන්නා ලෙස කරන මෙම ප්‍රකාශය තුළින් පැහැදිලි වන කරුණක් වන්නේ බාලයන් ඇසුරු කිරීම නිසා පුද්ගල ජීවිතය මොනතරම් ආගාධයකට ඇදවැටෙන්නේද යන්නයි.

එසේ පවසන්නේ බුදු දහමෙන් හැම විටම අපව පොළඹවන්නේ තනිවම ජීවත්වීමට නොව, සමාජ යුතුකම් ඉටුකරන සමාජශීලි සත්වයකු ලෙස සමාජයේම ජීවත්වීමටයි. ඒ අනුව බෞද්ධ සමාජ දර්ශනයේ පෙන්වා දෙන්නේ පුද්ගලයා නමැති පියුම සමාජය නමැති පොකුණෙහි විකසිත විය යුතු බවයි. එම සමාජ ජීවිතයේදි පුද්ගලයාට බුද්ධියෙන්, වයසින්, ගුණයෙන් සමාජ තත්ත්වයෙන් ආදී වවිධ තරාතිරමේ අය ඇසුරු කරන්නට සිදුවේ. එහිදී අප දියෙන් කිරි වෙන්කර ගන්නා හංසයකු පරිද්දෙන් උචිතානුචිත විවේක බුද්ධියෙන් ඇසුරු කළ නොකළ යුතු අය තෝරා බේරා ගැනීම කළ යුතුය.අපට ළංකර ගත යුතු අය සහ අප ළං විය යුතු අය මෙන්ම අපෙන් සෙමින් ඉවත් කළ යුතු අය සහ අප සෙමින් ඉවත් විය යුතු පුද්ගලයින්ද පිළිබඳ මනා වැටහීමකින් කටයුතු කිරීමට බුදු දහම අපට මග පෙන්වා ඇත. ආශ්‍රය නිසා සිදුවන දියුණුවට හෝ පිරිහීමට වයස් භේදයක් නැත. ඕනෑම වයස් සීමාවක කෙනකු ඕනෑම තරාතිරමක කෙනකු අයහපත් ඇසුර නිසා පිරිහීමට පත්විය හැකිය. සංසාරිකව ගෙන එන පුරුද්දක් යැයි සිතෙන තරමට ඇතැම් මිනිසුන්ගේ මනස යහපතට වඩා අයහපතට ආකර්ෂණය වීමේ ප්‍රවණතාව වැඩිය. යහපත් සහ අයහපත් ආශ්‍රය නිසා පුද්ගල ජීවිතයේ සිදුවූ විශාල පරිවර්තනයන්ට එදා සමාජයේ මෙන්ම අද සමාජයේද නිදසුන් බහුලය. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ චරිත යහපත් ඇසුර නිසා සිදුවන ප්‍රගතියටත් දේවදත්ත හිමි අජාසත් රජ වැනි චරිත අයහපත් ඇසුර නිසා සිදුවන අගතිගාමී බවට කදිම නිදසුන්ය.

රටත් ජාතියත් සදාචාර සම්පන්න කළ අපේ ජාතික බණ පොත ජාතක පොත් වහන්සේය.මෙහි ගුත්තිල – මූසිල වැනි චරිතවලින් සද්පුරුෂයන් හා අසද්පුරුෂයන් අපට හඳුනා ගැනීමට අවස්ථාව සලසා ඇති ආකාරය කදිමය. සත්තිගුම්බ ජාතකය වැනි කතාවලින් කෙනෙකුගේ ගති ලක්ෂණ වර්ධනයට ඔහුගේ ජන්මයටත් වඩා ඔහු කුඩා අවධියේ සිට හැදෙන පරිසරය හා ආශ්‍රය කෙතරම් ප්‍රබල බලපෑමක් සිදුකරන්නේද යන්න මැනවින් පෙන්වා දී ඇත.

”අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ” අපි‍්‍රය අසද්පුරුෂයන් සමග එක්ව ජීවත්වන්නට සිදු වන්නේ නම් එය මහා මානසික වධයකි. මේ නිසා අප උදේ සවස තෙරුවන් වන්දනා කර අවසානයේ පතන උතුම් පැතුමක් ඇත. එනම් “ඉමිනා පුඤ්ඤ කම්මේන” – මට මේ පින් මහිමයෙන් සසර වසනාතුරු නිවන් දකිනා තුරු බාලයන්ගේ ඇසුරක් නොලැබ සද්පුරුෂ ආශ්‍රයක්ම වේවා” යන්නයි.

ඔබ සැමට තෙරුවන් සරණයි.
බුදුසරණ අන්තර්ජාල කලාපය – මහගල්වැවේ විමල හිමි

ජයාසන ගතා වීරා, ජෙත්වා මාරං සවාහිණිං, චතුසච්චාමත රසං, යේ පිවිංසු නරාසහා තණ්හංකරා…

ජයාසන ගතා වීරා,
ජෙත්වා මාරං සවාහිණිං,
චතුසච්චාමත රසං, යේ පිවිංසු නරාසහා
තණ්හංකරාදයො බුද්ධා,
අට්ඨවීසති නායකා,
සබ්බේපතිටිඨිතා මය්හං මත්‍ථකේ මේ මුනිස්සරා

තේරුම- ජය අසුන් අරා වැඩහිඳ සේනා සහිත මරසෙන් පරදවා සිවුසස් අමා රසය පානය කොට වදාළ ලෝක නායක මුනීශ්වර වූ තණ්හංකරාදි යම් අටවිසි බුදුවරු වෙත්ද, උන්වහන්සේලා මාගේ මස්තකයෙහි (හිස) වැඩ වසන සේක.

සිරේ පතිට්ඨිතා බුද්ධා,
ධම්මෝ ච
මම ලොචනේ,
සංඝෝ පතිට්ඨිතෝ මය්හං (තුය්හං)
උරේ සබ්බ ගුණාකරෝ

මාගේ සිරසෙහි බුදුවරු වැඩ වෙසෙති. දෑසෙහි ධර්මය පිහිටියේ ය. ලයෙහි සියලු ගුණයට ආකරයක් වූ මහ සඟරුවන වෙසෙයි.

හදයේ අනුරුද්ධෝ ච,
සාරිපුත්තෝ ච දක්ඛිණේ
කොණ්ඩඤ්ඤෝ පිට්ඨිභාගස්මිං
මොග්ගල්ලානොසි වාමකේ

මාගේ හදවතේ අනුරුද්ධ තෙරුණුවෝ ද දකුණුපස සැරියුත් තෙරුණුවෝ ද පසුභාගයෙහි කොණ්ඩඤ්ඤ තෙරුණුවෝ ද වම්පස මුගලන් තෙරුණුවෝ ද වෙති.

දක්ඛිණේ සවණෙ මය්හං
ආහුං ආනන්ද රාහුලා
කස්සපෝ ච මහානාමො,
උභෙසුං වාමසෝතකේ

මාගේ දකුණු කණෙහි ආනන්ද රාහුල තෙරවරු ද වාම ශ්‍රෝතසයෙහි කාශ්‍යප මහානාම තෙරුන් වහන්සේලා වසන සේක.

කෙසන්තේ පිට්ඨිභාගස්මිං,
සුරියෝවිය පභංකරෝ
නිසින්නෝ සිරිසම්පන්නෝ
සෝහිතො මුනි පුංගවො

මාගේ කේශාන්තයේ හා පසුභාගයෙහි සමෘද්ධි සම්පන්නව හිරුමෙන් බබළන සෝභිත නම් මුනි උතුමාණෝ පිහිටිය හ.

කුමාර කස්සපෝ නාම මහේසි චිත්‍රවාදකෝ
සො මය්හං වදනේ නිච්චං,
පතිට්ඨාසි ගුණාකරෝ

විචිත්‍ර කථිකයන් අතුරෙන් අගතැන්පත් ගුණයන්ට ආකර වූ කුමාර කාශ්‍යප නම් මහා සෘෂින් වහන්සේ මාගේ මුහුනෙහි නිතර පිහිටි සේක.

පුණේණෝ අංගුලිමාලෝච,
උපාලී නන්ද සීවලී
ථේරා පඤ්ච ඉමේ ජාතා
ලලා‍ෙටි තිලකා මම

පුණ්ණ අංගුලිමාල උපාලි නන්ද, සීවලි යන පස්තෙරුන් වහන්සේලා මාගේ නලලෙහි තිලකයක් මෙන් වසන සේක.

සෙසාසීති මහාථේරා විජිතා ජිනසාවකා
ජලන්තා සීලතේජේන අංග මංගේසු සණ්ඨිතා

කෙලෙස් සතුරන් පරදවා ජයලද, සිල් තෙදින් බබලන බුදු සව් සෙසු අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා මාගේ අඟපසගෙහි පිහිටියාහු ය.

රතනං පුරතෝ ආසී
දක්ඛිණේ
මෙත්තසුත්තකං
ධජග්ගං පච්ඡතෝ ආසි,
වාමේ අංගුලිමාලකං

මාගේ පෙරටුවේ රතන සූත්‍රය පිහිටියේ ය. දකුණේ මෙත්ත සූත්‍රය ද පසුභාගයෙහි ධජග්ග සූත්‍රය ද වම් පස අංගුලිමාල සූත්‍රය ද පිහිටියේ ය.

ඛන්ධ මෝර පරිත්තංච
ආටානාටිය සුත්තකං
ආකාසච්ඡදනං ආසී
සේසා පාකාර සඤ්ඤිතා

කඳ පිරිත, මෝර පිරිත ආටානාටිය සූත්‍රය මට අහසෙහි සෙවනක් මෙන්ද සෙසු සියලු පිරිත් මා අවට ප්‍රාකාර මෙන්ද පිහිටියාහු ය’

ජිනානා බල සංයුත්තේ
ධම්ම පාකාර ලඞකතේ
වසතෝ මේ චතුකිච්චේන
සදා සම්බුද්ධ පඤ්ජරේ
වාත පිත්තාදි සඤ්ජාතා
බාහිරජ්ක්‍ධත්තු පද්දවා
අසේසා විලයං යන්තු අනන්ත ගුණ තේජසා

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අණ බෙලෙන් යුතු ධර්මය නමැති ප්‍රාකාරයෙන් අලංකාර වූ සර්වඥ නමැති ජිනපඤජරයෙහි (බුදුමැදුරෙ) හැම කල්හි සිවු ඉරියව්වෙන් වෙසෙන මට වා පිත් ආදියෙන් හට ගන්නා වූද ආධ්‍යාත්මක බාහිරවූ ද සියලු උවදුරු අනන්ත ගුණ තෙදින් සර්ව ප්‍රකාරයෙන් දූරිභූත වේවා.

ජිනපඤ්ජර මජ්ක්‍ධට්ඨං,
විහරන්තං මහීතලෝ
සදා පාලෙන්තු මං සබ්බේ
තේ මහාපුරිසා’සභා

ජිනපඤ්ජ මධ්‍යගතව පොළෝ තලයෙහි වාසය කරණ මා ඒ සියලු පුරුෂෝත්තමයන් වහන්සේලා හැම කල්හිම ආරක්ෂා කෙරෙත්වා

ඉච්චේවමච්චන්ත කතෝ සුරක්ඛෝ
– ජිනානුභාවේන ජිතුපපද්දවො
බුද්ධානුභාවේන හතාරි සංඝෝ –
ධම්මානුභාවේන හතාරි සංඝෝ
සංඝසානුභාවේන හතාරි සංඝෝ –
චරාමි සද්ධම්මනුභාව පාලිතෝ

මෙසේ ඒකාන්තයෙන් කරණ ලද ආරක්ෂා ඇතිව ජිනේන්ද්‍රයන් වහන්සේගේ ආනුභාවයෙන් දිනන ලද උවදුරු ඇතුව බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් නසන ලද සතුරු සමූහයා ඇතුව සදහම් බෙලෙන් ආරක්ෂා කරන ලදුව හැසිරෙමි.

සද්ධම්ම පාකාර පරික්ඛිතෝස්ම්
අට්ඨාරියා අට්ඨදිසාසු හොන්ති
එත්‍ථන්තරේ අට්ඨ නාථා භවන්ති
උද්ධං විතානං ව ජිනා ඨිතා මේ

මම සද්ධර්මය නමැති ප්‍රාකාරයෙන් වට කරන ලද්දේ වෙමි. ආර්යයන් වහන්සේලා අට නම අට දිශාවන්හි වෙති. මේ අතරෙහි අටබුදුවරු වෙති. මට උඩුවියනක් සේ සියලු බුදුවරු වෙසෙති.

හින්‍දන්තෝ මාරසෙනං
මම සිරසි ඨීතෝ-
බොධිමාරුය්හ සත්ථා,
මොග්ගල්ලානො සි වාමේ වසති භූජතටේ – දක්ඛිණේ සාරිපුත්තෝ
ධම්මෝ මජේඣී උරස්මිං විහරති භවතෝ – මොක්ඛතෝ මෝර යොනිං
සම්පත්තෝ බොධිසත්තෝ චරණ යුගගතෝ – භාණු ලොකේක නාථො

හිරුමෙන් ලෝවැසියාට අසහාය සරණ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජයසිරි මහ බෝ රුක්මුල විදුරසුන් අරා වැඩහිඳ, දස මරසෙන් පරදවමින් (බිඳිමින්) මාගේ සිරසෙහි සිටි සේක. මහ මුගලන් තෙරුන් වහන්සේ වම් පසෙහි ද, සැරියුත් මහ තෙරුන් වහන්සේ දකුණු පසෙහිද, වසති. භවයෙන් මිදීම හේතුකොට ගෙන ධර්මය ලය මැද පවතී. මෝරයෝනියට පැමිණියා වූ බෝසතාණන් වහන්සේ පා යුවලට ගිය සේක.

සබ්බාව මංගල මුපද්දව දුන්නිමිත්තං
සබ්බීතිරෝග ගහදොසමසේසනින්දා
සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං
බුද්ධානුභාව පවරේණ පයාතුනාසං
ධම්මානුභාව පවරේණ පයාතුනාසං
සංඝානුභාව පවරේණ පයාතුනාසං

සියලු අවමඟුල්, උවදුරු, නපුරු නිමිති, රෝග පීඩා ග්‍රහදෝෂ නින්දා, ගර්හා, භය, නපුරු සිහින යන මේ සියල්ල බුද්ධ, ධම්ම, සංඝ යන රත්ත්‍රයේ ආනුභාවයෙන් දුරුවෙත්වා.

තෙරුවන් සරණයි!

අඹේවෙල පඤ්ඤසාර මහා නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

~ බුදු ඇසින් දුටු ලෝක විනාශය ~ මෙම ලිපිය කියවා යහළුවන් අතර බෙදා හැර.ධර්ම දානමය…

~ බුදු ඇසින් දුටු ලෝක විනාශය ~

මෙම ලිපිය කියවා යහළුවන් අතර බෙදා හැර.ධර්ම දානමය පින්කමට දායක වන්න.

වර්තමානයෙහි ලෝක විනාශය පිළිබඳ විවිධ අදහස් සහ උපකල්පන පැතිරෙමින් පවතී. මේ පිළිබඳව බුදුදහමෙහි සූත්‍ර දේශනාවල ඇතුළත් අදහස් කුමක්ද? මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ පුද්ගලික අදහස් නොමැතිව බුදුරජාණන්වහන්සේ විසින්ම දේශනා කළ බවට පිළිගැනෙන ත්‍රිපිටකයෙහි අඩංගු සූත්‍ර දේශනා ඇසුරින්ම විස්තරයක් ඉදිරිපත් කිරීමය. අංගුත්තර නිකායේ සත්තක නිපාතයෙහි දෙවන පණ්ණාසකයේ, මහාවග්ගයේ ඇතුළත් සත්ත සුරියුග්ගමන සූත්‍ර දේශනාව, මේ පිළිබඳව මනාවූ විස්තරයක් ඉදිරිපත් කරයි. එම සූත්‍ර දේශනාවේ අඩංගු සම්පූර්ණ කරුණු මෙහි ඇතුළත් කරන්නේ නිවැරැදි අදහසක් ලබා ගැනීම පිණිසය.

භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙහි, අම්බපාලි වනයෙහි වැඩවසන්නේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කොට මෙසේ දේශනා කළහ. “මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයයි. අස්ථිරයි. සැනසීමක් නැහැ. සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම හෙවත් සංවේගය ඇතිකරගැනීමට මේ කාරණයම ප්‍රමාණවත්ය. නොඇලී සිටීමට ප්‍රමාණවත්ය. මේ සියලු සංස්කාරයන්ගෙන් මිදීමට ප්‍රමාණවත්ය. “මෙහි සංස්කාර ලෙස අදහස් කළේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක සෑම වස්තූන්මය. තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති.

“මහණෙනි, සිනෙරු පර්වතය දිගින් යොදුන් සුවාසු දහසකි. පළලින් යොදුන් සුවාසු දහසකි. සුවාසු දහසක් යොදුන් මහ සයුරෙහි ගිලී සිටියේ ය. සුවාසූදහසක් යොදුන් මහමුහුදින් උඩට නැඟී සිටියේ ය.”

මහණෙනි, යම් ආකාරයකින් බොහෝ වර්ෂයක්, බොහෝ වර්ෂ සීයක්, බොහෝ වර්ෂ දහසක් බොහෝ වර්ෂ සිය දහසක් වර්ෂාව නොවන්නේ ය. මහණෙනි, මෙසේ වැසි නොවැසීම නිසා බීජයන්ද, වෘක්ෂලතා, ඖෂධ, තෘණ, කැලෑවෝ පවතී නම් මේ සියල්ලම වියළෙති. විශේෂයෙන්ම, එනම් මුළුමනින්ම වියළෙති. නැවත නොවැඩෙති.

මහණෙනි, මෙසේ මෙම සියලු සංස්කාරයෝ අනිත්‍යයයි. අස්ථිරයි. සැනසීමක් නැත්තේමය. මේ නිසා සියලු සංස්කාරයන්හි කලකිරීම හෙවත් සංවේගයට මෙයම ප්‍රමාණවත් ය. නොඇලීමට ප්‍රමාණවත් ය. මිදෙන්නට ප්‍රමාණවත්ය.

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනු ලබන මීළඟ විස්තරය ලෝක විනාශය පිළිබඳව ඉතා වැදගත් කොටසකි. එනම්, “මහණෙනි, දිගුකල් ඇවෑමෙන් කිසියම් කලෙක දෙවෙනි සූර්යයෙක් පහළ වන්නේ ය. මහණෙනි, දෙවෙනි සූර්යයාගේ, පහළවීම නිසා කුඩා ගංගාවෝ ද, කුඩා දියවිල්ද, වියළෙති. මුළුමනින්ම වියළෙති. නොවැඩෙති.”

“මහණෙනි, දීර්ඝ කාලයක ඇවෑමෙන්, කිසියම් කලෙක තෙවන සූර්යයෙක් පහළ වන්නේ ය. මහණෙනි, තෙවැනි හිරුගේ පහළ වීම නිසා ගංඟා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මහා ගංඟාවෝ වියළෙති. මුළුමනින්ම වියළෙති. නොවැඩෙති. මෙම සෑම කෙටි විස්තරයකින් පසුවම භාග්‍යවතුන් වහන්සේ සංස්කාර වස්තූන්හි ඇති අනිත්‍යතාව පිළිබඳ සිහිපත් කොට සංවේගය, නොඇලීම සහ එම සංස්කාර වස්තූන්වලින් මිදීමට සුදුසු බව අවධාරණය කරති.

“මහණෙනි, දීර්ඝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක, යම්හෙයකින් සතරවන සූර්යයෙක් පහළ වන්නේ ය. එම සතරවන සූර්යයාගේ පහළවීම නිසා යම් තැනකින් මහා නදීහු උපදින්නේ නම් එම මහවිල්ද එනම් අනෝතත්ත, සිංහ ප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, කුණාල, ෂඩ්දන්ත, මන්දාකිනි නම් වූ මහවිල්හු වියළෙති. මුළුමනින් වියැළෙති නොවැඩෙති.”

මහණෙනි, දීර්ඝ කාලයක ඇවෑමෙන් පසුව, කිසියම් කලෙක, යම්හෙයකින් පස්වන සූර්යයෙක් පහළවන්නේ ය. පස්වන හිරුගේ පහළවීම නිසා මහ මුහුදෙහි සියක් යොදුන් දිය පහළ බසින්නේ ය. මහා සමුද්‍රයෙහි දෙසීයක් යොදුන් දිය පහළ බසින්නේ ය. මහ සයුරෙහි තුන්සියයක් යොදුන් දිය පහළ බසින්නේ ය. මේ ලෙස හාරසිය, පන්සිය, හයසිය සහ සත්වන යොදුන් දිය පහළ බසින්නේ ය. මහසයුරෙහි තල්ගස් හතක් පමණ ප්‍රමාණයට දිය අඩු වී සිටුනේ ය. මේ අයුරින් හය තලක්, පස්තලක්, සිවුතලක්, තුන්තලක්, දෙතලක්, එක්තලක් පමණට දිය මහා සමුද්‍රයෙහි අඩුවී පවතින්නේ ය. මීළඟට මහා සමුද්‍රයෙහි පුරුෂයන් සත්දෙනෙකුගේ උස ප්‍රමාණයට දිය ඉතිරිව පවතින්නේ ය. සිය පුරුෂයන් ප්‍රමාණයට ද, පස් පුරුෂයන් ප්‍රමාණයට ද සතර පුරුෂයන් ප්‍රමාණයට ද තුන් පුරුෂයන් ප්‍රමාණයට ද පුරුෂයන් දෙදෙනෙකුගේ ප්‍රමාණයට ද එක් පුරුෂයෙකුගේ ප්‍රමාණයට ද පුරුෂයෙකුගේ බාගයක ප්‍රමාණයට ද, තුනටිය ප්‍රමාණයට ද දණිස් ප්‍රමාණයට ද ගොප්ඇට ප්‍රමාණයට ද මහා මුහුදෙහි දිය ඉතිරිව පවත්නේ ය.

මහණෙනි, යම් පරිදි සරත් කාලයෙහි, මහ දිය පොද ඇති වැසි වසිනා කල්හි ඒ ඒ තැන්වල, දිය රැඳෙන තැන්වල දිය පැවතුනේ නම් ඒ ආකාරයෙන්ම ස්වල්ප වූ දිය මහ සයුරෙහි ඉතිරිව පැවතුනේ වෙයි. මහණෙනි, පස්වන හිරුගේ පහළවීමෙන් පසු ඇඟිලි පුරුක් තෙමන තරමට මතුවන දිය මහසයුරෙහි නොවන්නේ ය.

ලෝක විනාශය සිදුවීමේ දී ගොඩබිමද, විල්ද, ගංඟාවලද, මහ සමුද්‍රයෙහි ද ජලය සිඳීමෙන් සිදුවන විනාශය ඉහත පැහැදිලි විණි. වැසි නොවැටීමෙන් සිදුවූ මෙම විපත ජලයෙන් සිදු වූ විනාශයයි. ඊළඟට ආරම්භ වන්නේ ගින්නෙන් සිදුවන විනාශයයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කොට දේශනා කරති.

මහණෙනි, දිගු කලක් ඇවෑමෙන් කිසියම් කාලයෙක්හි යම්හෙයකින්, හයවන සූර්යයෙක් පහළවන්නේ ය. මහණෙනි, හයවන සූර්යයාගේ පහළවීමෙන් මේ මහපොළොවත්, සුනෙර පර්වතයත් දුම් දමන්නේ ය. මහත්සේ දුම් දමන්නේ ය. අතිමහත් සේ දුම් දමන්නේ ය. මහණෙනි, කුඹල්කරු උදුනෙහි හෙවත් ලිපෙහි ගිනි දල්වන්නේ පළමු පළමු යම්සේ දුම්දමාද මහත්සේ, අතිමහත් සේ දුම්දමාද, මහණෙනි, ඒ ආකාරයෙන්ම මේ මහා පොළොවත් සුනෙර පර්වත රාජයාත් ඒ හයවන හිරුගේ පහළවීමෙන් දුම්දමන්නේ ය. මහත්සේ දුම්දමන්නේ ය. ඉතාමහත්සේ දුම් දමන්නේ ය.

නැවතත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති.

මහණෙනි, යම් ආකාරයකින්, දීර්ඝ කාලයක් ඇවෑමෙන් පසුව සත්වන සූර්යයෙක් පහළවන්නේ ය. මහණෙනි, සත්වන හිරුගේ පහළවීමෙන් මේ මහපොළොවද සිනෙරු පර්වත රාජයා ද ගිනිගෙන ඇවිළෙයි. දිලිහෙයි. එකම ගිනි ජාලාවක් බවට පත්වෙයි. මහණෙනි, මේ මහපොළොවත් සිනෙරු පර්වතයත් දැවි දැවී යත්ම වාතයෙන් විසිවී, එනම් පාවීයමින් ගින්දර බඹලොව දක්වාම යති.

මහණෙනි, ඇවිළගිය, දැවෙන මහාගිනිකඳින් මැඩුනු සිනෙරු පර්වත රාජයාගේ සියක් යොදුන් උසැති කූටයෝ ද බිඳ වැටෙති. දෙසීයක් උසැති, තුන්සීයක් උසැති, හාරසීයක් යොදුන් උසැති, පන්සීයක් යොදුන් උසැති ගල් කුළුහුද බිඳ වැටෙති.

“මහණෙනි, ඇවිළගත් දැවෙන මේ මහපොළොවෙහිද සිනෙරු පර්වත රාජයාගේ ද අළු හා දැලි නොපෙනේ. මහණෙනි, ඇවිළ ගෙන දැවෙන ගිතෙල් හි හෝ යම්තෙල්හි අළු හෝ දැලි නොපෙනෙන්නේද, එසේම ඇවිළගෙන දැවෙන මේ මහපොළොවෙහි හා සිනෙරු පර්වත රාජයාගේ ද අළු හා දැලි නොපෙනෙයි.” “මහණෙනි, මේ මහාපොළොවෙහි හා සිනෙරු පර්වතරාජයා ගින්නෙන් දැවෙන්නාහ. වැනසෙන්නාහ. නොපවත්නාහයි සෝතාපන්නයන් හැර වෙන කවරෙක් කතා කිරීමට සමත්වේද? අදහන්නේ ද?

මෙයට පිළිතුරු දීමට භාග්‍යවතුන් වහන්සේ මෙවැනි කතා පුවතක් ගෙනහැර දක්වති. එය උතුම් වූ අවවාදයකි.

“මහණෙනි, පෙරසිදුවීමකි. දෘෂ්ටියක් ඇතිකරගත්, කාමයන්හි රාගය පහකළ සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් විය. සුනෙත්ත ශාස්තෘවරයාට නොයෙක්, සියගණන් ශ්‍රාවකයෝ වූහ. මහණෙනි, සුනෙත්ත ශාස්තෘවරයා බ්‍රහ්මලෝකයට යාම පිණිස ශ්‍රාවකයනට දහම් දෙසති.” “මහණෙනි, බ්‍රහ්මලෝකයට යාම පිණිස දහම් දෙසන සුනෙත්ත ශාස්තෘහුගේ අනුශාසනය යම්කෙනෙක් සියලු ආකාරයෙන් දැන ගත්තේ ද, ඔහු මරණින් මතු සුගති සංඛ්‍යාත බ්‍රහ්මලෝකයෙහි ඉපදුනාහ. යමෙක් අනුශාසනය සියලු ආකාරයෙන් නොපිළිපැද්දේද, ඔහු මරණින් මතු පරනිම්මිත වසවත්තියෙහි ඉපදුනාහ. ඇතැම්හු නිම්මාණරති දෙවියන් සමීපයේද, ඇතැමෙක් තුසිත දෙවියන් සමීපයේද, ඇතැම්හු යාම දෙවියන් සමීපයේද, ඇතැම්හු තාවතිංස දෙවියන් සමීපයේද, ඇතැම්හු චාතුම්මහාරාජික දෙවියන් සමීපයේද ඉපදුනාහ. ඇතැම්හු ක්ෂත්‍රිය මහා සාරයන් වෙතද, ඇතැම්හු බ්‍රාහ්මණ මහා සාරයන්වෙතද, ඇතැම්හු ගෘහපති මහාසාරයන් වෙතද ඉපදුණාහ. මෙම සුනෙත්ත ශාස්තෘවරයාට මෙබදු සිතක් පහළ විය. පරලොව දී ශ්‍රාවකයන් හා සමානව ඉපදුනොත් එය මට නොගැළපෙයි. එමනිසා මෛත්‍රී ධපනය වඩන්නෙමියි යනුවෙනි. සුනෙත්ත ශාස්තෘවරයා සත්වසක් මෛත්‍රී ධ්‍යානය වඩා සත්තසංවට්ටවිවට්ඨ කල්පයක් මිනිස් ලොව උපදින්නට නොපැමිණේ ය.

බුදුදහමට අනුව ලෝක විනාශය සිදුවන්නේ ලෝකවාසී සත්වයන්ගේ රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් බහුලවීම නිසයි. මෙම කෙලෙස් මුල්කරගෙන සත්වයන් විසින් අප්‍රමාණ අකුසල් රැස් කරති. මේ නිසාම වතුරෙන්, ගින්නෙන් හා සුළඟින් ලෝක විනාශය සිදුවෙයි.

බෞද්ධ දර්ශනයට අනුව පවසන්නේ නම් ලෝකය නම් වූ ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්ගෙන් ඇතිවන භයානක විනාශයෙන් සදහටම මිදීමට තෘෂ්ණාව මුළුමනින්ම ප්‍රහාණය කිරීමය. එවිට කිසිදු ලෝක විනාශයක් ගැන බියක් නැත.

ඔබ සැමට තෙරුවන් සරණයි.
බුදුසරණ අන්තර්ජාල කලාපය – මිරිස්සේ ධම්මික හිමි

සීලව මහරහතන් වහන්සේ සඳුන්,තුවරලා, මානෙල්, දෑ සමන් ආදී මල් තිබෙනවා. ඒ මල්වලින් ම…

සීලව මහරහතන් වහන්සේ

සඳුන්,තුවරලා, මානෙල්, දෑ සමන් ආදී මල් තිබෙනවා. ඒ මල්වලින් මිහිරි සුවඳ වෑහෙනවා. නමුත් සියලු සුවඳ අතරේ අනුත්තර වෙන්නේ ගුණවතුන්ගේ සිල් සුවඳයි. සඳුන්, තුවරලා ආදී මල්වල තිබෙන්නේ පොඩි සුවඳක්. සිල්වතුන්ගේ ගුණ සුවඳ කියන්නේ උතුම් එකක්. ඒ සුවඳ දෙවියන්ටත් දැනෙනවා’ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ඒ උතුම් සිල්වත් ජීවිතය මේ අයුරින් වර්ණනා කොට වදාළා.

මේ ලෝකයේ සීලයෙන් අග්‍ර වූයේ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව කටයුතු කොට ශ්‍රේෂ්ඨ වූ සීලවන්ත ජීවිත උතුම් රහතන් වහන්සේලා විසින් උපදවා ගත් සේක. ඒ උත්තම රහතුන් අතර වැඩ සිටි ‘සීලව‘ නම් උතුම් රහතන් වහන්සේගේ අපූරු ජීවිත කථාව ගැනයි අද අප සිත පහදවා ගන්නේ.

මේ මහා භද්‍ර කල්පයේ සතරවන මහාසෘෂි වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ සතුන් කෙරෙහි පතල කරුණා ඇතිව ලොව පහළ වී වදාළ සේක. එකල මගධේෂ්වර සේනිය බිම්බිසාර රජු මගධ මහා රාජධානියේ පාලකයා වුණා. සසරේ කළ පින් ඇති පුණ්‍යවන්ත කුමාරයෙක් බිම්බිසාර රජුගේ එක් මෙහෙසියකගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ කුමාරයාගේ නම වුණේ ‘සීලව‘. ඒ වගේම බිම්බිසාර රජතුමාට තවත් පුත් කුමාරයෙක් සිටියා. ඔහු ‘අජාසත්ත’ කුමාරයා යි. මේ සහෝදර කුමාරවරු දෙදෙනා රජ සැප විඳිමින් සුවසේ හැදී වැඩුණා.

නමුත් තරුණ වියට එළඹුණු අජාසත්ත කුමාරයා පාපී මිතුරන්ගේ ඇසුරට වැටුණා. ඒ පවිටුන්ගේ ඇසුරින් අජාසත්තගේ සිත දුෂ්ඨ වුණා. අනාගත රජකම සීලව කුමරුට ලැබේවි යන බියෙන් ඔහුව ඝාතනය කිරීමට අජාසත්ත කුමාරයා නොයෙකුත් උපායන් යෙදුවා. නමුත් සසරේ කළ පින් බලයෙන් ඒ උපක්‍රම සියල්ල අසාර්ථක වුණා. අවසානයේ අජාසත්ත ඉතාමත් දරුණු දමනය නොවූ ඇතෙකු ගෙන්වා ඒ මහා හස්තියාගේ පිට මතට නගින්න යැයි සීලව කුමාරයාට පැවසුවා. මේ කිසිත් නොදත් සීලව කුමාරයා හස්තියා පිටට ගොඩ වුණා. දරුණු සිත් ඇති අජාසත්ත කුමරු ඒ මහා හස්තියාව කුලප්පු කෙරෙව්වා. දැන් ඒ හස්තියා ඉතාම වේගයෙන් දුවනවා. මහා ගස් පෙරලනවා. තාප්ප කඩනවා. නමුත් පින් බලය නිසාම සීලව කුමාරයා හස්තියාගේ පිට මතම සිටියා. බිම වැටුණේ නැහැ.

කරුණාවෙන් සිසිල් වී ගිය සිත් ඇති භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල දිවැසින් දුටුවා. සීලව කුමාරයා මේ ජීවිතයේම නිවන් අවබෝධයට තරම් මහා පින්වන්තයෙකු බව දුටු භාග්‍යවතුන් වහන්සේ මහා මොග්ගල්ලාන මහ රහතන්වහන්සේව අමතා වදාළා ‘පින්වත් මොග්ගල්ලාන, අර සීලව කුමරුට අනතුරක් වීමට මත්තෙන් රැගෙන එන්න’ කියා. මහ සෘර්ධිමත් වූ මුගලන් මහරහතන් වහන්සේ හස්තිරාජායාත් සමඟින්ම සීලව කුමරු භාග්‍යවතුන් වහන්සේ සමීපයට රැගෙන ආවා. මහා කාරුණික බුදු සමිඳාණන් දුටු පමණින් ම කිපුණු සිත් ඇති හස්තියා දමනය වුණා. සීලව කුමාරයා ඇතු පිටින් බැස භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. ඒ මොහොත් සීලව කුමරු අරමුණු කරමින් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසා වදාළා. ඒ ධර්මයෙන් හටගත්තා වූ ශ්‍රද්ධාවෙන් සීලව කුමරු ගිහි ජීවිතය අතහැර බුදු සසුනේ උතුම් වූ පැවිදි උපසම්පදාව ලබා ගත්තා.

ඉතාමත් හොඳින් ධර්ම විනය හැදැරූ සීලව ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාද ලබාගෙන පිරිසෙන් වෙන්ව හුදෙකලාවේ ම වනයේ වැඩ වාසය කළා. එකට කෙළිසෙල්ලම් කරමින් සිටි සහෝදරයා පවා කාමය නම් වූ මහා සැඬ සුළියෙන් කැලැඹී ගිය සිතින් තමන්ව ඝාතනය කිරීමට පැමිණුනා. මේ කාමයන් කියන්නේ දුක් සහිත දෙයක්. සහෝදරයා පවා විශ්වාස කළ නොහැකි වූ මේ සසර අතිශයින්ම භයානක වූ දෙයක්. කාමයට වසග වී දුක් විඳින සසර ගමනක පිවිතුරු නිර්මල ජීවිතයක් උපදවා ගැනීමට මඟ කියාදෙන මේ ශ්‍රී සද්ධර්මය නම් ආශ්චර්යවත් එකක්. ඉතින් ඒ සීලව ස්වාමින්වහන්සේ උතුම් නිවන් මඟ වීර්යෙන් දියුණු කළා. සීල, සමාධි, ප්‍රඥා ප්‍රගුණ කළා. නොබෝ දිනකින්ම උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

අරහත්වයට පත් වූ සීලව මහරහතන් වහන්සේ කොසොල් ජනපදයේ වාසය කරන බව දැන අජාසත්ත උන්වහන්සේව ඝාතනය කිරීමට රාජපුරුෂයන්ව යොමු කළා. ඒ පැමිණි රාජපුරුෂයෝ සීලව රහතන් වහන්සේගේ නිවී ගිය ජීවිතයට පැහැදී දහම් අසා පැවිදිි වුණා. ඒ පැවිදි වූ භික්ෂූන් පිරිස අමතා උන්වහන්සේ සිල්වත් ජීවිතයේ වටිනාකම පහදාදෙමින් මේ ගාථාවන් ප්‍රකාශ කොට වදාළා.

සීල මේ‍ෙඨිව සික්ඛේථ – අස්ම්ං ලෝකේ සුසික්ඛිතං
සීලං හි සබ්බ සම්පත්තිං – උපනාමේති සේවිතං

මේ බුදු සසුනේ පුහුණු කරන්නට ඕනෑ සීලයම යි. මේ ජීවිතයේදී හොඳින් රැකගත්තොත් සියලු සම්පත් ලැබෙනවා.

සීලං රක්ඛේථ මේධාවී – පත්ථයානෝ තයෝ සුඛේ
පසංසං විත්තිලාභඤ්ච – පෙච්ච සග්ගේ ච මෝදනං

නුවණ තියෙන කෙනා සිල් රකින්නට ඕනෑ. සැප තුනක් බලාගෙන. ඒ තමයි ප්‍රසංශාව, ධන ලාභය වගේම සුගතියේ ඉපදිලා සතුටුවීම.

සීලවා හි බහුමිත්තේ – සඤ්ඤා මේනාධිගච්ඡති
දුස්සීලෝ පන මිත්තේහි – ධංසතේ පාපමාචරං

සිල් රකින කෙනාගේ සංවර ජීවිතය නිසා ඔහුට ගොඩාක් හොඳ මිතුරන් ලැබෙනවා. ඒ වුණාට දුස්සීල පුද්ගලයා පාපී ක්‍රියා නිසා හොඳ මිතුරන්ගෙන් ඈත් වෙනවා.

අවණ්ණඤ් ච අකිත්තිඤ් ච – දුස්සීලෝ ලභතේ නරෝ
වණ්ණ කිත්තිං පසංසඤ්ච – සදා ලභති සීලවා

දුස්සීල පුද්ගලයා ලබන්නේ ගැරහීමත්, අපකීර්තියත් විතරයි. සිල්වත් පුද්ගලයා නිතරම ගුණ කථාවත්, ප්‍රශංසාවත් ලබනවා.

ආදී සීලං පතිට්ඨා ච – කල්‍යාණානඤ් ච මාතුකං
පමුචං සබ්බධම්මානං – තස්මා සීලං විසෝධයේ

මුලින්ම පිහිට වෙන්නේ සීලය යි. සීලය කියන්නේ යහපත් ගතිගුණවලට අම්මා කෙනෙක් වගේ් දෙයක්. සියලු ගුණධර්මවල ප්‍රමුඛයා සීලය යි. එනිසා සීලය පිරිසුදුව තබාගන්නට ඕන.

වේලා ච සංවරෝ සීලං – චිත්තස්ස අභිභාසනං
තිත්ථං ච සබ්බබුද්ධානං – තස්මා සීලං විසෝධයේ

සිත මහමුහුද නම් සීලය වෙරළයි. සතුටත් සංවරයත් ලබාදෙන සීලය හැම බුදුවරුන්ගේම පුන්‍ය තීර්ථය යි. ඒ නිසා සීලය පිරිසුදුව තිබෙන්නට ඕන.

සීලං බලං අප්පට්මං – සීලං අවුධමුත්තමං
සීලං ආභරණං සෙට්ඨං – සීලං කවච ම බ්තූ®තං

සීලය කියන්නේ අසහාය බලයක්. උත්තම ආයුධයක්. ලස්සන ආභරණයක්. අද්භූත ඇඳුමක්.

සීලං සේතු මහේසක්ඛෝ – සීලං ගන්ධෝ අනුත්තරෝ
සීලං විලේපනං සෙට්ඨං – යේන වාති දිසෝදිසං

සීලය කියන්නේ මහේශාක්‍ය පාලමක් ඇති උතුම් සුවඳක්. දස දිසාවටම හමාගෙන යන ශ්‍රේෂ්ඨ සුවඳ විලවුන් කියන්නේ සීලයට යි.

සීලං සම්බලවේවග්ගං – සීලං පාපෙථය්‍යමුත්තමං
සීලං සෙට්ඨෝ අතිවාහෝ – යේන යාති දිසෝදිසං

සීලය කියන්නේ ගමනක් යන කෙනෙකුගේ රසවත් බත් මුලක්. උතුම් ගමනක හොඳ වියදමක්. දස දිසාවේ ගමන් කළ හැකි හොඳ වර්ගයේ වාහනයක්.

ඉධේව නින්දං ලභති – පෙච්චාපායේ ච දුම්මනෝ
සබ්බත්ථ දුම්මනෝ බාලෝ – සීලේසු අසමාහිතෝ

ජීවිතය නපුරු කර ගත්තොත් මේ ජීවිතයේදීම නින්දා ලැබෙනවා. පරලොවදීත් අපායේ ඉපදිලා දුක් විඳින්නට සිදුවෙනවා. සීලයක් නැති, එකඟ වූ සිතක් නැති අඤාණ තැනැත්තා හැම තනකදීම දුකට ගොදුරු වෙනවා.

ඉධේව ඛිත්තිං ලභති – පෙච්ච සග්ගේ ච සුම්මනෝ
සබ්බත්ථ සුමනෝ ධීරෝ – සීලේසු සුසමාහිතෝ

ජීවිතය යහපත් කරගත්තොත් මේ ජීවිතයේදී ම කීර්තිය ලැබෙනවා. පරලොව දී සුගතියේ ඉපදිලා සතුටු වෙනවා. සිල් රැකලා සිත එකග කරගෙන නුවණ ලබාගත් පුද්ගලයා හැම තැනකදීම සතුටු වෙනවා.

සීලමේ ව ඉධ අග්ගං – පඤ්ඤවා පන උත්තමෝ
මනුස්සේසු ච දේවේසු – සීල පඤ්ඤානතෝ ජයං

මේ ශාසනයේ සීලය අග්‍ර දෙයක්. නමුත් උතුම්ම දෙය ප්‍රඥාව යි. මිනිසුන් අතරත් දෙවියන් අතරත් සීලයත් ප්‍රඥාවත් යන දෙකෙන් ජය ලබන්නට පුළුවන්.

සිල්වත්භාවයේ ප්‍රතිමූර්තියක් බඳු උදාර රහතුන්ගේ මේ සොඳුරු දහම් අර්ථ කෙතරම් විශ්මිත ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ (සීලං යාව ජරා සාධු) වයසට යනතාක්ම සිල් රැකීම යහපත් බවයි. ඒ අවවාදයේ පිහිටි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසම දිවි දෙවැනි කොට සිල් පද ආරක්ෂා කළා. පහාරාද අසුරේන්ද්‍රයා සමඟ ඇති වූ සාකච්ඡාවකදී ශ්‍රාවකයාගේ සීලය ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. ‘පින්වත් පහාරාද, සයුර වෙරළ ඉක්මවා නො යන්නේ යම්සේ ද, මාගේ ශ්‍රාවකයෝ ද ජීවිතය නිසාවත් සිල්පද ඉක්මවා නො යයි. ඔය කරුණ දකින්නා වූ ශ්‍රාවකයා බුදු සසුනට ආදරය කරයි’.

අපත් ඒ සීලයෙන් අග්‍ර වූ බුදුරජුන් ගැනත්, සිල්වත් බව ගැන පෙන්වා දෙන ශ්‍රී සද්ධර්මය ගැනත්, සිල්වත් ජීවිතය ගත කරන ශ්‍රාවක සඟරුවන ගැනත්, සිත පහදවා ගනිමු. අප ලද දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ සිල්වත් වී සොඳුරු ජීවිතයක් උපදවා ගැනීමට මහන්සි වෙමු.

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

නයනා නිල්මිණි