Monthly Archives: October 2014

මහණෙනි, මේ ලෝකයෙහි ජීවත් වන සෑම මනුෂ්‍යයෙකුටම ධර්මතා තුනකට යටත් වීමට සිද්ධ වේ….

මහණෙනි, මේ ලෝකයෙහි ජීවත් වන සෑම මනුෂ්‍යයෙකුටම ධර්මතා තුනකට යටත් වීමට සිද්ධ වේ.

“තීණිමානි භික්‍ඛවෙ අමාතා පුත්තිකානි භයානි
කථමාණි තීණි? ජරාභයං ව්‍යාධිභයං මරණ භයන්ති”

මේ ධර්මතා තුන නම්,

1. වයසට යාම
2. ලෙඩ දුක් හැදීම
3. මරණයට පත් වීම

මේ ධර්මතා තුන ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විසින් විශේෂ නාමයකින් හඳුන්වා ඇත්තේ “අමාතාපුත්තික භය” යන නමිනි. ඇයි මේ අමාතා පුත්තික භය යැයි සඳහන් කළේ? මේ ධර්මතා තුනට දරුවෝ යටත් වෙනකොට, ගොදුරු වෙනකොට දෙමවුපියො මොනතරම් ශක්තිමත්ව සිටියත් ගොදුරුවන මේ ධර්මතා තුනෙන් දරුවන් බේරාගැනීමට, රැක ගැනීමට, ආරක්‍ෂා කර ගැනීමට දෙමාපියන්ට හැකියාවක් හා පුළුවන්කමක් නැත. මේ ධර්මතා තුනට දෙමව්පියො, ගොදුරුවන විට ද දරුවන් මොනතරම් බලවන්තව සිටියත් ගොදුරු වන මේ ධර්මතා තුනෙන් දෙමව්පියන් බේරාගැනීමට, ආරක්‍ෂා කර ගැනීමට දරුවන්ට පුළුවන්කමක් නැත.

පළමුවන කාරණය

ජරාභයං (වයසට යෑම)

යම් දරුවෙකු මේ ලෝකයට බිහිවුණු දිනයේ පටන් මරණමඤ්චකය තෙක්ම වයසට යනව. තත්පරයෙන් තත්පරය විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ අවුරුද්දෙන් අවුරුද්ද වයසට යනවා. මේ කාරණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් ඉතාමත් ලස්සන උපමාවක් මෙසේ ගෙනහැර දක්වනව. අවුරුදු 100 ක් ජීවත් වන මනුෂ්‍යයෙක් දසක වශයෙන් කොටස් දහයකට බෙදා මෙසේ විවරණයක් ඉදිරිපත් කරනව. මා ඒ දශක දහය කොටස් දහයකට බෙදා මෙසේ ඉදිරිපත් කරනවා. දශක දහයේ කියාගෙන යන විට මා නතර වී සිටින්නේ කොතනද? මගේ ඊළඟ පියවර මොකක්ද? හිතා බලන්න දසක දහය නම්,

මන්ද දශකය

මන්ද දශකය යනු මෙලොවට බිහි වූ දිනයේ පටන් වසර 10 ක කාලපරිච්ඡේදය අම්මගෙ තාත්තගේ ආදරය උණුසුම සෙනෙහස ලබමින් හැදුනු වැඩුණු සහ හැදෙන වැඩෙන කාල පරිච්ඡේදයයි.

ක්‍රීඩා දශකය

ක්‍රීඩා දශකය යනු අවුරුදු දහයේ සිට විස්ස දක්වා කාලයයි. සෙල්ලම් කරනව. දුවනවා, පනිනවා, නටනව, අතපය කඩා ගන්නව, තුවාල කරගන්නව කෙළි දෙලෙන් ගත කරන සහ තරමක් විසේ ඇති නහයට අහන්නේ නැති කාල පරිච්ඡේදයකි.

වර්ණ දශකය

වර්ණ දශකය යනු අවුරුදු විස්සේ සිට තිහ දක්වා කාල පරිච්ඡේදයයි. මේ කාල පරිච්ඡේදය තුළ දී ශරීරය ලස්සන වෙන්න හැඩ වෙන්න ලස්සන කරගන්න හැඩ කරගන්න වෙරදරන කාලය වගේම ගිහි බන්ධනයට හෙවත් විවාහ ජීවිතයට ඇතුළත් වන කාල පරිච්ඡේදයයි.

බල දශකය

බල දශකය යනු අවුරුදු තිහේ සිට හතළිහ දක්වා කාලයයි. මෙම කාල පරිච්ඡේදය තුළදී ගතට වගේම හිතටත් හිතට වගේම ගතටත් අමුතු ප්‍රබෝධයක් අමුතු ශක්තියක් අමුතු බලයක් ලැබෙන කාල පරිච්ඡේදයකි. සමහරු හිතනව මොනවද මට කරන්න බැරි. ගස් ගල් පෙරලන්න හිතෙන කාල පරිච්ඡේදයකි.

ප්‍රඥා දශකය

ප්‍රඥා දශකය යනු අවුරුදු හතළිහේ සිට පනහ දක්වා කාලයයි. මේ කාල පරිච්ඡේදය තුළදී වෙනදා තිබුණු කලබලකාරී ස්වභාවයන් හුඟාක් දුරට අඩු එහෙත් ඉවසිලිවන්තව බුද්ධිමත්ව කටයුතු කරන කාල පරිච්ඡේදයයි.

හානි දශකය හෙවත් නායන දශකය

හානි දශකය යනු අවුරුදු පනහ, හැට දක්වා වූ කාලයයි. හානි යන්නෙන් අදහස් කරන්නේ විනාශ වන බවයි. කන්දක් පාමුල උන් මිනිසා කන්ද මුදුනට නගිනව නැගගත් මේ මනුෂ්‍යයා නැවතත් පාමුලට බසිනව. පාමුලට බසිනව යනු පටන් ගත් තැනට එනවා කියන අදහසයි. බිලිඳු කාලයේ දී අපි හැමකෙනෙකුම උඩු අතටයි සයනය කළේ. උඩු අතට උන් බිලිඳු දරුවාගේ විපර්යාස නම් අනෙක් පැත්තට පෙරළීම, බඩගාගෙන යෑම, දණගසාගෙන යාම වැටි වැටි අල්ලාගෙන නැඟිටීමයි. එසේ අමාරුවෙන් කෙලින් කරගත් නගා සිටුවාගත් ශරීරය නැවත වැටෙන්නේ කොතනටදැයි බුද්ධිමත්ව සිතා බලමු.

ප්‍රාග් භාර දශකය

ප්‍රාග් භාර යනු අවුරුදු හැට හැත්තෑවයි. ප්‍රාග් නම් ඉදිරියට සතර නම් බර වීමයි. ඉදිරිය යන්නෙන් අදහස් කරන්නේ මහපොළොව දෙසටයි. තව තවත් කායික දුර්වලතාවයන් වැඩිවීමයි.

ප්‍රවංක දශකය

ප්‍රවංක දශකය යනු හැත්තෑව, අසූව දක්වා අතර ඇති කාලයයි. ප්‍රා යන ඉදිරියයි. වංකයනු වක ගැසීමයි. ශරීරය ඉදිරියට නැමෙන ගතිය සහ බරවන ගතිය වැඩිවීමයි. තම ශරීරය තමාට අවනත නොවන ස්වභාවයයි. එවිට සැරමිට්ටක් සැරයටියක් ආධාරකයක් අවශ්‍ය කරන කාලයයි.

මෝමූහ දශකය

මෝමූහ දශකය යනු අසූව අනූව අතර කාලයයි. පොඩි දරුවෙකු සේ හැසිරෙන කාලයයි. මතක ශක්තිය දුර්වල වන කල්පනා ශක්තිය දුර්වල වන අමතකවන ගතිය වැඩි වීම යන්නෙ කොහෙද ඉන්නෙ කොහෙද කරන්නෙ මොනවද? කියන්නෙ මොනවද? කියා අමතක වන මතකය අඩුවන කාලයයි.

සයන දශකය

සයන දශකය යනු අනූව සියය අතර කාලයයි. දාපු අතදා තියෙන තමන්ගේ කටයුතු කාරණා කිසිවක් කරගත නොහැකි කාල පරිච්ඡේදයයි. කවන්ට ඕන, පොවන්ට ඕන, නාවන්ට ඕන, කැතකුණු අදින්ට ඕන, ඇඳුම් පැළඳුම් අන්දවන්ට ඕන, ඇවිද්දවන්ට ඕන කිසියම් හෝ කෙනෙකු තම කටයුතු කාරණා අනිවාර්යයෙන් කරදිය යුතු කාල පරිච්ඡේදයයි.

දැන් පැහැදිලියි දෙමව්පියො වයසට යන කොට දූ දරුවන්ට වළක්වන්න බැරි බව. දරුවො වයසට යනකොට දෙමව්පියන්ට වළක්වන්න බැරි බව කාරණය මනාව පැහැදිලියි.

දෙවැනි කරුණ (ලෙඩ දුක් හැදීම)

ලෙඩ දුක් හැදීම පුදුමයට හේතුවකුත් නොවේ. පුදුම වෙන්ට දේකුත් නොවේ. ලෙඩ දුක් හැදීම ස්වභාවික දෙයකි. මොකක්ද මේකට හේතුව? එහෙත්, ඔබෙත්,මගෙත් සියලුම ලෝක ප්‍රජාවගේත් ශරීරය නිර්මාණය වී තිබෙන්නේ රන් රිදී මුතු මැණික් වලින් හෝ වෙනයම් ලෝහයකින් ද නොවේ.

කුණු වෙන දිරා මහ පොළොවට පස්වෙලායන කෑලි තිස් දෙකක සම්පිණ්ඩනයක්, එකතුවක්, මොනවද මේ කෑලි 32.

කෙස්, ලෝම, නියපොතු, දත්, හම, මස්, නහර, ඇට, ඇටමිඳුළු, වකුගඩු, දෙකක්, හෘදය වස්තුවක්, අක්මාවක්, දළඹුවක්, බඩදිවක්, පෙණහළු දෙකක්, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාශයක්, පැසුණු ආහාර සමඟ නොපැසුණු ආහාර පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද නැමැති තෙල, කඳුළු, වපා, වරළු නැමැති තෙල කෙළ, සොටු, අසූචි, මුත්‍රා, මොළයක් මේ කියන දෙතිස් කුනූපයන්ගෙන් සෑදුණා වූ ඔබෙත් මගෙත් ශරීරය ලෙඩවීම පුදුමයක් නොවේ. එසේ නම් මේ ශරීරය ලෙඩ වෙන සහ ලෙඩ කරණ ක්‍රම හතරක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ දී මනාව දේශනා කළහ.

ඒ ක්‍රම හතර නම්,

වාතය කිපීම නිසා ඇතිවන රෝගාබාධ
පිත කිපීම නිසා ඇතිවන රෝගාබාධ
පිත කිපෙනකොට ශරීරය ක්‍රම 40 කට ලෙඩ කරයි.
සෙම කිපෙනකොට ක්‍රම 20 කට ශරීරය ලෙඩ කරයි.

වා, පිත්, සෙම් තුන්දොස් එකවර කිපීම නිසා ඇතිවන ආබාධයයි. සෘතු විපර්යාසය නිසා ඇතිවන ආබාධ.

වස විෂ ශරීර ගතවීම නිසා ඇතිවන රෝගාබාධ මව්කුසින් බිහිවුණු දරුවා මව්කිරි ටික බොනතාක්කල් නිරෝගීයි.

ඔපක්කමිකා ආබාධා

උපක්‍රම මඟින් ශරීරය ලෙඩවීම, එයද පැතිකඩ කිහිපයකට බෙදිය හැක. වෙඩි තැබීම්, ගිනි තැබීම්, බෝම්බ ගැසීම්, ඇසිඩ් ගැසීම්, වාහන අනතුරු, ගුප්ත විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, සමාජ රෝග ආදියයි.

කම්ම විපාකජා ආබාධා

පෙර අකුසල කර්ම විපාකදීම නිසා ඇතිවන රෝගාබාධ බුදු පසේ බුදු මහරහතන් උත්තමයන් වහන්සේලාටත් සංසාරගත පෙර අකුසල කර්ම විපාක දීම නිසා විවිධ රෝගාබාධයන්ට පෙළුණු බව ධර්ම කතාවල විවිධ කතාවස්තුවල දැකිය හැක. එසේනම් බුදු පසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලාට කර්ම විපාක දෙන්නේ නම් පෘථග්ජන වූ අපි ගැන කවර කතාද?

මේ ක්‍රම අටෙන් හැදෙන රෝගාබාධ පිළිබඳ ගිරිමානන්ද සූත්‍රය තුළ මනාව පැහැදිලි කරයි. දෙමව්පියො ලෙඩ දුක්වලට ගොදුරු වෙනකොට දරුවන්ව වළක්වාගත නොහැකි සේම දරුවන් ගොදුරුවෙන විට දෙමව්පියන්ට වැළැක්විය නොහැකි බව මනාව පැහැදිලි වේ.

තුන්වැනි කාරණය – (මරණයට පත්වීම)

මරණයට පත්වීම කිසිවෙකුටවත් වළක්වාගත නොහැකිය. ඉපදුණු දිනයේ පටන් මරණමංචකය තෙක්ම අපි කාට කාටත් නැකත් ඇත. එහෙත් මරණයට නැකතක් හැදිය හැක්කේ කාටද? කිසිම ජගතෙකුට උගතෙකුට බලවතෙකුට මේ සඳහා ක්‍රියාත්මක විය හැකිද? මරණය එක පුද්ගලයෙකුට එක පවුලකට එක පරපුරකට එක ගමකට එක පළාතකට එක රටකට සීමා වුණු දෙයක් නොවේ. මුළු මහත් ලෝක සත්වයාටම උරුම වූ පොදු ධර්මතාවයකි.

ඉපදුණු හැම කෙනෙකුටම මරණය පොදුයි. සියලු සත්වයෝ මරණයට පැමිණේ. ජීවිතයක අවසානය මරණයයි. ජීවත් වන සත්වයා කර්ම රැස් කරමින් ගමන් කරයි. ඒ ගමන් කරණු සත්වයෝ පින් ද පව් ද කරති. පව් කරන අය අපායගාමී හා දුගතිගාමී වෙති. පින් කරන අය සැපවත් හා සුගතිගාමී වෙති. කුමක්ද මේ මරණය යන්නෙන් අදහස් කරන්නේ. සත්වයෙකුගේ පැවැත්මක් සඳහා අවශ්‍ය කරුණු ධර්මතා තුන ඒවා නම්,

1. ආයුෂත්
2. ශරීර උෂ්ණත්වයත්
3. විඤ්ඤානයත් මේ ධර්මතා තුනයි.

මේ ධර්මතා තුන යම් ශරීරයකින් ගිලිහුණු කල මැරුණා යයි ව්‍යවහාර කරයි. එසේ නම් මාත් මැරෙනවා. ඔබත් මැරෙනවා. කොයි කවුරුත් මරණයට පත් වනව. මේ මරණය නමැති ධර්මතාව ලෝක ධාතුව තුළ සිදුවන්නේ ක්‍රම හතරකට බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළහ.

එසේ නම් අපි හැම කෙනෙකුම වටිනා මිනිස් ජීවිත ලබාගෙන සිටිනව. ගුණයට බර වෙන්න දහමට බර වෙන්න අඩුපාඩු හදාගෙන හොඳ මනුෂ්‍යයෙක් හැටියට ශීලාචාර පුද්ගලයෙක් හැටියට සමාජයේ ජීවත් වන්නට අදිටන් කරගනිමු. ජීවිතය සැපවත් කරගන්නට මේ උතුම් ධර්ම ශක්තිය ඔබටත් මටත් ලෝක ප්‍රජාවටත් ධර්ම ශක්තියක් වේවා.

තෙරුවන් සරණයි!

ත්‍රිපිටකාචාර්ය බොරැල්ලේ අතුල නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

මනාපකායික දෙවඟනන් අතරට පිවිසිමේ ප්‍රතිපදාව සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය – උග්ගහ…

මනාපකායික දෙවඟනන් අතරට පිවිසිමේ ප්‍රතිපදාව
සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය – උග්ගහ සූත්‍රය ඇසුරෙන්

1. බිරිඳ ස්වාමියාට පෙර අවදි විය යුතුය.
2. ස්වාමියාට පසුව නිදා ගත යුතුය.
3. ස්වාමියාගේ උපදෙස් ගෙන වැඩ කටයුතු කළ යුතුය.
4. මනාව හැසිරිය යුතුය.
5. ප්‍රියවචන කතා කළ යුතුය.
6. ස්වාමියාගේ මව-පියා-ඥාතින්ට සංග්‍රහා කළ යුතුය.
7. ළඟට පැමිණි එවැන්නන්ට තම අසුන දිය යුතුය
8. ඇඳුම් මැසීම ආදිය හොඳින් කළ යුතුය
9. අලස නොවිය යුතුය.
10. සැකසුරුවම් විය යුතුය.
11.සංවිධානාත්මකව නිවසේ කටයුතු පවත්වා ගෙන යා යුතුය
12. ගෙදර මෙහෙකරුවන්, උදව්කරුවන් ආදීන් සිටිත් නම් ඔවුන් ගැන නිතර සොයා බැලිය යුතුය.
13. ගිලනුන්ට උපස්ථාන කළ යුතුය.
14. දන් දිය යුතුය.
15. ස්වාමියාගේ ධනය ආරක්ෂා කළ යුතුය.
16. සල්ලාල නොවිය යුතුය.
17. හොරකම් නොකළ යුතුය.
18. සුරා පානය නොකළ යුතුය.
19. අරපිරිමැස්ම හුරු කළ යුතුය.
20. ස්වාමියාට උයාපිහා දී පෝෂණය කළ යුතුය.
21. ඔහු කැමති සියලු දේ දිය යුතුය.
22. හිතුවක්කාරකම් නොකළ යුතුය.
23. ස්වාමියා කුපිත නොකළ යුතුය.
24. ස්වාමියාගේ අදහස්වලට ගැලපෙන දේ කළ යුතුය.
මේ ආකාර වූ ස්ත්‍රිය මරණින් මතු කය බහා තබා මනාපකායික දෙවියන් අතරට පැමිණෙයි

ධජග්ග සූත්‍රය (පාලි ) හා සිංහල තේරුම 1.එවං මේ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහ…

ධජග්ග සූත්‍රය (පාලි ) හා සිංහල තේරුම

1.එවං මේ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. තත්‍ර ඛො භගවා භික්‌ඛූ ආමන්‌තෙසි ‘භික්‌ඛවො’ති . භදන්‌තෙ’ති තෙ භික්‌ඛූ භගවතො පච්‌චස්‌සොසුං. භගවා එතදවොච

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

3.භූතපුබ්‌බං, භික්‌ඛවෙ, දෙවාසුරසඞ්‌ගාමො සමුපබ්‍යූළ්‌හො අහොසි. අථ ඛො, භික්‌ඛවෙ, සක්‌කො දෙවානමින්‌දො දෙවෙ තාවතිංසෙ ආමන්‌තෙසි ,
‘සචෙ, මාරිසා, දෙවානං සඞ්‌ගාමගතානං උප්‌පජ්‌ජෙය්‍ය භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, මමෙව තස්‌මිං සමයෙ ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. මමඤ්‌හි වො ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති’.

3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ´´ මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ට ( මෙසේ ) කථාකර කීවේය: ´ ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේම කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

4.නො චෙ මෙ ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ, අථ පජාපතිස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. පජාපතිස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

4. ´´ ´ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

5.නො චෙ පජාපතිස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ, අථ වරුණස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. වරුණස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

5. ´´ ´ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

6.නො චෙ වරුණස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ, අථ ඊසානස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. ඊසානස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සතී ති.

6. ´´ ´ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

7.තං ඛො පන, භික්‌ඛවෙ, සක්‌කස්‌ස වා දෙවානමින්‌දස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං, පජාපතිස්‌ස වා දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං, වරුණස්‌ස වා දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං, ඊසානස්‌ස වා දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයෙථාපි නොපි පහීයෙථ [නො පහීයෙථ (ක.)].

තං කිස්‌ස හෙතු? සක්‌කො හි, භික්‌ඛවෙ, දෙවානමින්‌දො අවීතරාගො අවීතදොසො අවීතමොහො භීරු ඡම්‌භී උත්‍රාසී පලායීති.

7. ´´මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ප්‍රජාපති දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ වරුණ දෙව් රජහුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ඊසාන දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේද, ඒ බිය ආදිය දුරුවන්නේ හෝ වෙයි, දුරු නොවන්නේ හෝ වෙයි. එයට කරුණු කිම? මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහ නොවූ ෙවෂ ඇත්තේය, පහ නොවූ මෝහ ඇත්තේය. ( හෙතෙම ) බියවන ස්වභාව ඇත්තෙක. තැතිගන්නා ස්වභාව ඇත්තෙක, පලායන දුවන ස්වභාව ඇත්තෙක, ( එහෙයිනි. )

8.අහඤ්‌ච ඛො, භික්‌ඛවෙ, එවං වදාමි
සචෙ තුම්‌හාකං, භික්‌ඛවෙ, අරඤ්‌ඤගතානං වා රුක්‌ඛමූලගතානං වා සුඤ්‌ඤාගාරගතානං වා උප්‌පජ්‌ජෙය්‍ය භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, මමෙව තස්‌මිං සමයෙ අනුස්‌සරෙය්‍යාථ
ඉතිපි සො භගවා අරහං සම්‌මාසම්‌බුද්‌ධො විජ්‌ජාචරණසම්‌පන්‌නො සුගතො ලොකවිදූ අනුත්‌තරො පුරිසදම්‌මසාරථි සත්‌ථා දෙවමනුස්‌සානං බුද්‌ධො භගවා’ති. මමඤ්‌හි වො, භික්‌ඛවෙ, අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

8. ´´මහණෙනි, මමද තොපට මෙසේ කියමි: මහණෙනි, ඉදින් වනයට ගියාවූ හෝ මිනිසුන් නොගැවසෙන තැනට ගියාවූ හෝ තොපට බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ උපදින්නේ නම් ඒ වේලායෙහි මා ම ( මෙසේ ) සිහිකරව් ´ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අරහත් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණසම්පන්න වනසේක, සුගතවන සේක, ලෝකවිදූ වන අනුත්තර පුරිසධම්මසාරථී වනසේක, දෙවි මිනිසුන්ට ශාස්තෘ වනසේක, බුද්ධ වනසේක, භාග්‍යවත් වනසේක´ ( කියායි. ) මහණෙනි, ( මෙසේ ) මා සිහි කරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

9.නො චෙ මං අනුස්‌සරෙය්‍යාථ, අථ ධම්‌මං අනුස්‌සරෙය්‍යාථ
ස්‌වාක්‌ඛාතො භගවතා ධම්‌මො සන්‌දිට්‌ඨිකො අකාලිකො එහිපස්‌සිකො ඔපනෙය්‍යිකො පච්‌චත්‌තං වෙදිතබ්‌බො විඤ්‌ඤූහී’ති. ධම්‌මඤ්‌හි වො, භික්‌ඛවෙ, අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

9. ´´ඉදින් තොපි මා සිහි නොකරන්නහුනම්, අනතුරුව ධර්‍මය ( මෙසේ ) සිහිකරව්. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය යහපත්කොට දේශනා කරන ලද්දේය. ( ඒ ධර්‍මය ) තමා විසින්ම දැක්ක යුත්තේය, කල් නොයවා විපාක දෙන්නේය, ´එව බලව´ යි කීමට සුදුසුය, ( භාවනා වශයෙන් ) තම සිත්හි පැමිණවීමට ( දරා ගැනීමට ) සුදුසුය, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහිලා දැක්ක යුතුය´ ( කියායි, ) මහණෙනි ඉදින් ධර්‍මය සිහිකරන තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුඩැහැගැන්මෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

10.නො චෙ ධම්‌මං අනුස්‌සරෙය්‍යාථ, අථ සඞ්‌ඝං අනුස්‌සරෙය්‍යාථ
සුප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො උජුප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො ඤායප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො සාමීචිප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො, යදිදං චත්‌තාරි පුරිසයුගානි අට්‌ඨ පුරිසපුග්‌ගලා එස භගවතො සාවකසඞ්‌ඝො, ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්‌ඛිණෙය්‍යො අඤ්‌ජලිකරණීයො අනුත්‌තරං පුඤ්‌ඤක්‌ඛෙත්‌තං ලොකස්‌සා’ති. සඞ්‌ඝඤ්‌හි වො, භික්‌ඛවෙ, අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

10. ´´ඉදින් තෙපි ධර්‍මය සිහි නොකරව් නම්, සඞ්ඝයා ( මෙසේ ) සිහි කරව්. ´භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම මනා පිළිවෙත්හි පිළිපන්නේය. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම ඎජු පිළිවෙත්හි පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සත්‍ය මාර්‍ගයෙහි පි්ළිපන්නේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සුදුසු පිළිවෙතෙහි පිළිපන්නේය. යම් මේ සතර පුරිසයුගලකෙනෙක් ඇද්ද, පුරිස පුද්ගලයෝ අට දෙනෙක් ඇද්ද, භගවත්හුගේ මේ ශ්‍රාවක සඞ්ඝයා ආහුණෙය්‍යය ( කැඳවා සිවුපසය දීමට සුදුසුය, පාහුණෙය්‍යය ( අමුතු පඬුරු පිළිගැන්වීමට සුදුසුය ), දක්ඛිනෙය්‍යය ( පරලොව අදහා දන් දෙන්නට සුදුසුය ), අඤ්ජලි කරණීයය ( දොහොත් මුදුන්දී නමස්කාරයට සුදුසුය ), සියලු ලෝකයාගේ ඉතා උතුම් පින් කෙතය´ ( යි කියායි. ) මහණෙනි, ( මෙසේ ) සඞ්ඝයා සිහිනරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

11. තං කිස්‌ස හෙතු? තථාගතො හි, භික්‌ඛවෙ, අරහං සම්‌මාසම්‌බුද්‌ධො වීතරාගො වීතදොසො වීතමොහො අභීරු අච්‌ඡම්‌භී අනුත්‍රාසී අපලායී’ති.

11. ´´එයට හේතු කුමක්ද ? මහණෙනි, තථාගතවූ, අර්හත්වූ, සම්මා සම්බුද්ධයන් වහන්සේ පහවූ රාග ඇතිසේක, පහවූ මෝහ ඇතිසේක, බිය නොවන ස්වභාව ඇතිසේක. තැති නොගන්නා ස්වභාව ඇතිසේක, පලායන ස්වභාව නැතිසේක ( එහෙයිනි. ) ´´

12.ඉදමවොච භගවා. ඉදං වත්‌වාන සුගතො අථාපරං එතදවොච සත්‌ථා –

අරඤ්‌ඤෙ රුක්‌ඛමූලෙ වා, සුඤ්‌ඤාගාරෙව භික්‌ඛවො;
අනුස්‌සරෙය්‍යාථ සම්‌බුද්‌ධං, භයං තුම්‌හාක නො සියා.
නො චෙ බුද්‌ධං සරෙය්‍යාථ, ලොකජෙට්‌ඨං නරාසභං

අථ ධම්‌මං සරෙය්‍යාථ, නිය්‍යානිකං සුදෙසිතං.
නො චෙ ධම්‌මං සරෙය්‍යාථ, නිය්‍යානිකං සුදෙසිතං

අථ සඞ්‌ඝං සරෙය්‍යාථ, පුඤ්‌ඤක්‌ඛෙත්‌තං අනුත්‌තරං.
එවං බුද්‌ධං සරන්‌තානං, ධම්‌මං සඞ්‌ඝඤ්‌ච භික්‌ඛවො;
භයං වා ඡම්‌භිතත්‌තං වා, ලොමහංසො න හෙස්‌සතී”ති.

12. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මෙසේ වදාරා සුගතවූ ශාස්තෲන් වහන්සේ නැවත එයම ( මෙසේ ) වදාළසේක.
´´මහණෙනි, වන සෙනසුනක හෝ වෘක්‍ෂමූල සෙනසුනක හෝ මිනිසුන් නොගවසෙන තැනක හෝ සම්මා සම්බුදුන් සිහි කරව්. තොපට භයක් නොවන්නේය.
´´ඉදින්, ලෝකයට ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ බුදුන් සිහි නොකරන්නහු නම්, එවිට නිවණට පමුණුවන්නාවූ, යහපත්කොට දේශනා කරන ලද්දාවූ, සද්ධර්‍මය සිහි කරව්.
´´නිවණට පමුණුවන්නාවූ, හොඳින් දේශනා කරන ලද්දාවූ, ධර්‍මය ඉදින් සිහි නොකරන්නහු නම්, එවිට පින් කෙතවූ, ඉතා උතුම්වූ සඞ්ඝයා සිහි කරව්.
´´මහණෙනි, යම්සේ බුදුන්ද, ධර්‍මයද, සඞ්ඝයාද සිහි කරන්නාවූ තොපට භයෙක් හෝ තැතිගැනීමෙක් හෝ ලොමුඩැහැගැනුමක් හෝ නොවන්නේය.´´

ධජග්ග සූත්‍රය නිමි.
තෙරුවන් සරණයි…

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

Banner Protection (Dhajagga Paritta [1])

Thus have I heard:

On one occasion the Blessed One was living near Savatthi at Jetavana at the monastery of Anathapindika. Then he addressed the monks saying, “O monks.” — “Venerable Sir,” said the monks by way of reply to the Blessed One. Thereupon he spoke as follows:

“Monks, I shall relate a former incident. There arose a battle between the Devas (gods) and Asuras. Then Sakka, the Lord of the devas, addressed the devas of the Tavatimsa heaven thus:

“‘Happy ones, if the devas who have gone to the battle should experience fear or terror or suffer from hair standing on end, let them behold the crest of my own banner. If you do so, any fear, terror or hair standing on end arising in you will pass away.

“‘If you fail to look up to the crest of my banner, look at the crest of the banner of Pajapati, King of gods. If you do so, any fear, terror or hair standing on end arising in you will pass away.

“‘If you fail to look up to the crest of Pajapati, King of the gods, look at the crest of the banner of Varuna, King of the gods. If you do so, any fear, terror or hair standing on end arising in you will pass away.’

“Monks, any fear, terror or hair standing on end arising in them who look at the crest of the banner of Sakka… The Lord of the gods, of Pajapati… of Varuna… of Isana, the King of the gods, any fear terror or hair standing on end, may pass away, or may not pass away. What is the reason for this?

“Sakka, the Lord of gods, O monks, is not free from lust, not free from hate, not free from delusion, and is therefore liable to fear, terror, fright, and flight. I also say unto you O monks — if any fear, terror or hair standing on end should arise in you when you have gone to the forest or to the foot of a tree, or to an empty house (lonely place), then think only of me thus:

“‘Such Indeed is the Blessed One, arahant (Consummate One), supremely enlightened, endowed with knowledge and virtue, welcome being, knower of worlds, the peerless trainer of persons, teacher of gods and men, the Buddha, the Blessed One.’ Monks, if you think of me, any fear, terror, or standing of hair on end, that may arise in you, will pass away.

“If you fail to think of me, then think of the Dhamma (the Doctrine) thus: ‘Well expounded is the Dhamma by the Blessed One, a Dhamma to be realized by oneself and gives immediate results, a Dhamma which invites investigation and leads up to Nibbana, a Dhamma to be understood by the wise each for himself.’ Monks, if you think of the Dhamma, any fear, terror or hair standing on end, that may arise in you, will pass away.

“If you fail to think of the Dhamma, then think of the Sangha (the Order) thus: ‘Of good conduct is the Order of Disciples of the Blessed One, of upright conduct is the Order of Disciples of the Blessed One, of wise conduct is the Order of Disciples of the Blessed One, of dutiful conduct is the Order of Disciples of the Blessed One. This Order of Disciples of the Blessed One — namely those four pairs of persons,[2] the eight kinds of individuals[3] — is worthy of offerings, is worthy of hospitality, is worthy of gifts, is worthy of reverential salutations, is an incomparable field of merit for the world.’ Monks, if you think of the Sangha, any fear, terror or hair standing on end, that may arise in you, will pass away. What is the reason for this? The Tathagata, O monks, who is arahant, supremely enlightened, is free from lust, free from hate, is free from delusion, and is not liable to fear, terror, fright or flight.”

So said the Blessed One. Having thus spoken, the teacher, the “Welcome Being” (Sugata), further said:

i. Whether in forest or at foot of tree, Or in some secluded spot, O monks, Do call to mind that Buddha Supreme; Then will there be no fear to you at all.

ii. If you think not of the Buddha, O monks, That Lord of the world and Chief of men, Then do think, O monks, of that Dhamma; So well preached and leading to Nibbana.

iii. If you think not of the Dhamma, O monks Well preached and leading to Nibbana; Then do think, O monks, of that Sangha, That wonderful field of merit to all.

iv. To those recalling the Buddha supreme, To those recalling the Dhamma sublime, And to those recalling the Sangha, No fear, no terror will make them quiver.
Notes

1.
S. i. 218.
2.
The four pairs of persons constitute the four kinds of aryan disciples who have attained the four paths and four fruits of sanctity (magga and phala), namely: sotapatti, “stream-entry”; sakadagami, “once-return”; anagami, “non-return”; and arahattha, arahantship, the fourth and the last stage at which all fetters are severed and taints rooted out.
3.
The above four pairs become eight when the Paths and Fruits are regarded separately.

May the Triple Gem bless you

සත්පුරුෂ ආශ්‍රය ඇති කරගන්නට ඔවුන්ව හඳුනා ගත යුතුය. සත්පුරුෂයින් හඳුනා ගත හැකි ලක…

සත්පුරුෂ ආශ්‍රය ඇති කරගන්නට ඔවුන්ව හඳුනා ගත යුතුය. සත්පුරුෂයින් හඳුනා ගත හැකි ලක්ෂණ, ඔවුන්ගේ ගුණ මතක තබා ගන්න.

ලගින් ඇසුරු කිරීමට සත්පුරුෂ කලන මිතුරන්වම තෝරා ගන්න. සත්පුරුෂ ආශ්‍රය ඔබ‍ට බොහෝ කල් සැප පිණිස පවතී.

බුදුන් දවස විශාලා මහනුවර මහා දුර්භික්ෂයක් ඇති විය. ආහාර නොමැතිව කුසගින්නේ විශාල…

බුදුන් දවස විශාලා මහනුවර මහා දුර්භික්ෂයක් ඇති විය. ආහාර නොමැතිව කුසගින්නේ විශාල පිරිසක් මිය ගියහ. ඉවත් ‍නොකළ මළමිනී කුණු වී හැමූ දුගඳින් මුළු නුවරම දුර්ගන්ධවත් විය. එහෙයින් අමනුෂ්‍යයෝ නුවර ආක්‍රමණය කළහ. මේ නිසා තවතවත් මිනිසුන් මිය යන්නට විය.

අධිකලෙස ගොඩගැසුණු කුණු වී ගිය මෘතදේහ හේතුවෙන් අභිවාතක නම් ඉතාමත් දරුණු රෝගයක් ඇතිවිය. මෙලෙස රෝග, දුර්භික්ෂ, හා අමනුෂ්‍ය යන තුන්බියෙන් වෙලීගිය නුවර වැසියෝ මේ බව රජතුමාට දැන්වූහ. බුදුන් වහන්සේ මේ නුවරට වැඩම කරවීමෙන් මෙම දුර්භික්ෂය දුරුකරගත හැකිවෙතැයි යන්න රජතුමන්ගේ සහ වැසියන්ගේ තීරණය විය.
පසුව බිම්බිසාර රජතුමන්ගේ අවසරය ඇතිව ලිච්ඡවී රජදරුවන් බුදුන් වහන්සේ හමුවී “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස විශාලාවේ තුන්බියෙන් වෙලීගිය ජනතාවගේ හිතසුව පිණිස විශාලාවට වඩින්නැයි” ඉල්ලීමක් කළේය.
සම්බුද්ධ අණසකින් ලක්ෂයක් සක්වල ආරක්ෂාව සිදුවෙතැයි සලකා පන්සීයක් සංඝයාවහන්සේලා සමග විශාලාවට වැඩමකළ බුදුන්වහන්සේ රතන සූත්‍රය දේශනාකළ සේක. ඒ සමග ඇදවැටුණු මහා වර්ෂාවෙන් මළ සිරුරු සියල්ල ගංඟා වලට ගසාගෙන ‍ගොස් නුවර පිරිසිදු විය.

ආන්නද හිමියන් අමතා තථාගතයන් වහන්සේ රතන සූත්‍රය ඉගෙන පූජා ද්‍රව්‍ය සහිතව ලිච්ඡවී රජදරුවන් සමග විශාලාවේ තුන් පවුරු වටා පිරිත් පැන් ඉසින්නැයි වදාළ සේක. ආන්නද හාමුදුරුවන් ද බුද්ධ පාත්‍රයට පිරිත්පැන් ගෙන රතන සූත්‍රය දේශනා කරමින් මුළු නුවරම පිරිත්පැන් ඉස්සාහ. මෙලෙස දින හතක් පුරා රතන සූත්‍රය දේශනා කිරීමෙන් තුන්බිය දුරුවිය. නුවර වැසියෝ සැනසුනාහ.

මෙම සූත්‍රය මනාව අවබෝධ කරගැනීමෙන් ආරක්ෂාව සළසා ගැනීමටත් නිවන් සාක්ෂාත් කර ගැනීමටත් ඔබට හැකිය. මෙහි ඇති විශේෂත්වය නම් මෙහි අන්තර්ගත ගාථාවල බුද්ධ, ධම්ම, සංඝ රත්නයන්හි ගුණ ස්වභාවයන් පැහැදිළිව පෙන්වා දී ඒ සත්‍ය බලයෙන් යහපත උදා වේවායි ප්‍රාර්ථනා කරමින් සියලුම ගාථා අවසන් කොට ඇති බැවිනි. එබැවින්ම මෙම වටිනා සූත්‍රය තුන් පිටකයෙන් උකහාගෙන පිරුවාණා පොත් වහන්සේට ඇතුළත් කොට ඇත. ඔබටත් නිවන් අවබෝධය පිණිස මෙම අර්ථ විවරණය මහෝපකාරී වේවා! ලෞකික මෙන්ම ලෝකෝත්තර ආරක්ෂාව අභිවෘද්ධිය සැලසේවා!

රතන සූත්‍රය

යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
සබ්බේ ව භූතා සුමනා භවන්තු
අථොපි සක්කච්ච සුනන්තු භාසිතං

තේරුම
1. භූමියෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් මනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූවාහු වෙත් ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තාහු වෙත් වා. තව ද මාගේ වචනය මනාකොට අසත්වා.

තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා

තේරුම
2. අමනුෂ්‍යයිනි, (යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද? එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුෂ්‍ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනෙත් ද? එහෙයින් ඔවුන් රකිවු.

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
3. මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත්වේවා.

ඛයං විරාගං අමතං පණීතං
යදජ්ක්‍ධගා සක්‍ය මුනී සමාහිතො
න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
4. ආය¸මාර්ග සමාධියෙන් සුපිහිටි සිත් ඇති ශාක්‍ය කුලයෙහි උපන් මුනි තෙම රාගාදීන් ක්‍ෂයවන්නා වූ රාගාදියෙන් වෙන් වූ ප්‍රණීත යම් නිවනක් නුවණින් අවබෝධ කළේ ද, ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයෙක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යං ඛුද්ධ සෙට්ඨො පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤ මාහු
සමාධිනාතෙන සමොන විජ්ජති
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු

තේරුම
5. බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ඉතා පිරිසිදු යමක් ප්‍රශංසා කොට ප්‍රකාශ කෙළේ ද? එය ආනන්තරික සමාධියයි කියති. ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යෙ පුද්ගලා අට්ඨ සතම්පසත්ථා
චත්තාරි එතානි යුගානි හොන්ති
තෙ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
එතෙසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
6. බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද යම් අෂ්ටාර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත්ද, පසස්නා ලද යම් එක් සිය අටක් ආර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද ඔවුහු යුග සතරක් වෙති. බුදුන් ගේ ශ්‍රාවක වූ ඒ ආය¸ පුද්ගලයෝ දක්ෂිණාවට සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත්ඵල ඇත්තාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්නභාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන
නික්කාමිනො ගොතම සාසනම්හි
තෙ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු

තේරුම
7. යම් රහත් කෙනෙක් ගෞතම ශාසනයෙහි මනා කොට යෙදුනාහු ස්ථිර සිතින් සියලු කෙලෙසුන් ගෙන් නික්මුණාහු ද, ඔවුහු නිවනට අරමුණු වශයෙන් බැස ඵල සමවත් සුවය නොමිලයේ ලැබ අනුභව කරන්නාහු පැමිණිය යුතු රහත් ඵලයට පැමිණියාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යථින්ද ඛීලො පඨවිංසිතො සියා
චතුබ්භිවාතෙහි අසම්පකම්පියො
තථූපමං සප්පුරිසං වදාමි
යො අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
8. ඉන්ද්‍රඛීල නම් වූ කණුව යම්සේ පොළොව ඇතුළට පිවිස සිටියේ සිවු දිගින් හමන සුලඟින් සොලවාලිය නොහැකි වන්නේ ද? යමෙක් ආය¸ සත්‍යයෙන් නුවණින් බැස දකී නම් ඒ සත් පුරුෂයා එබඳු ඉන්ද්‍රඛීලය හා සමාන කොට කියමි. මෙය සංඝයා කෙරෙහි ප්‍රණීත රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

යෙ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි
කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා
න තෙ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
9. යමෙක් ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශිත ආය¸ සත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත්ද? ඔවුහු කිසිසේත් බොහෝ සේ පමාවූවෝ වෙත්ද,ඔවුහු අටවන භවයක් නම් නො ගනිති. මෙය ද සඞඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

සහාවස්ස දස්සන සම්පදාය
තයස්සුධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතූහපායෙහිච විප්පමුත්තො
චඡාභිඨානානි අභබ්බොකාතුං
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
10. දර්ශන සමාපත්තිය සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාවද යම්කිසි සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද යන සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරන ලද්දාහු වෙති. හේ සතර අපායෙන් මිදුනේ ද වේ. පඤ්චානන්තරිය කර්ම හා අන්‍ය ශාස්තාවරයකු ඇදහීම ද කරන්නට සුදුසු නො වේ.මෙය සංඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං
කායෙන වාචා උද චෙතසා වා
අභබ්බො සො තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
11. ඒ සෝවාන් පුද්ගල තෙමේ තිදොරින් යම් පවක් කෙරේද? හෙතෙම එය සඟවාලීමට නො හැකි වෙයි. නිවන් දුටුවහු ගේ පව් සැඟවීමේ නො හැකි බව සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වනප්පගුම්බෙ යථා ඵුස්සි තග්ගෙ
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදෙසයි
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
ඒතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
12. ගී‍්‍රෂ්ම ඍතුවෙ පළමු වන බක් මසෙහි රුක් ලැහැබ් යම්සේ පිපුණු අග ඇත්තේ වේ ද? බුදුරජ තෙම එබඳු උපමා ඇති නිවනට පමුණුවන උතුම් ධර්මයක් පරම හිත පිණිස දෙසී ය.මෙය බුදුරදුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයකි. මෙම සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වරො වරඤ්ඤු වරදො වරාහරො
අනුත්තරො ධම්මවරං අදෙසයි
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
13. උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ ශ්‍රේෂ්ඨ වු බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං
තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
14. යම් කෙනෙකුගේ පුරාණ කර්ම ගෙවී ගියේ ද, පහළ වන අළුත් කර්මයකුත් නැත් ද, මතු භවයෙහි නො ඇලුණූ සිත් ඇති ක්‍ෂය කළ ප්‍රතිසන්ධී විඥාන බීජ ඇති වැඩෙන ඡන්දයක් නැති ඒ ධෘතිමත් රහත්හු මේ නිවුණු පහන් මෙන් පිරිනිවෙති. මෙය ද සංඝයා කෙරෙහි උතුම් රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හොතු

තේරුම
15. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත්ද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදනලද බුදුරදුන් වඳිමු. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හොතු

තේරුම
16. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත් ද? ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත දේශිත ධර්මය වඳිමු.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
ථාගතං දෙව මනුස්ස පූජිතං
සඞඝං නමස්සාම සුවත්ථි හොතු

තේරුම
17. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් ;ම තැන්හි රැස්ව සිටිත් ද, ඒ අපි දෙවි මිනිසුන් විසින් පුදන ලද ශ්‍රාවක සඞඝයා වහන්සේ වඳිමු.

15,16,17 ශක්‍රදේවේන්ද්‍රයා විසින් කියන ලද ගාථා තුනකි.

Rathana Suthraya – Ratana Sutta

In Theravada Buddhism, according to post-canonical Pali commentaries, the background story for the Ratana Sutta (Rathana Suthraya) is that the town of Vesali…

සෝවාන් මාර්ගස්ථ ඵලස්ථ (මාර්ගයට හා ඵලයට පැමිණි), සකෘදාගාමි මාර්ගස්ථ ඵලස්ථ … ආදී…

සෝවාන් මාර්ගස්ථ ඵලස්ථ (මාර්ගයට හා ඵලයට පැමිණි), සකෘදාගාමි මාර්ගස්ථ ඵලස්ථ … ආදී වූ පුද්ගලයින් අට දෙනා සංඝ රත්නයට අයත් වේ. ඔවුන්ගේ ගුණ 9 පහත දැක්වේ.

1. සුපටිපන්න – දහමකට එකඟව මනා පිළිවෙතක පිළිපන්
2. උජුපටිපන්න – අවංක පිළිවෙතක් අනුගමනය කරන
3. ඤායපටිපන්න – දුකින් මිදිම සඳහා න්‍යයානූකූල පිළිවෙතක් පුරණ
4. සාමිචිපටිපන්න – සත්‍යයට හා සත්‍ය කතාවට පිළිපන්
5. ආහුණ්‍යෙය – දුර සිට ගෙනෙන පුද පූජා පිළිගැනීමට සුදුසු වීම
6. පාහුණ්‍යෙය – දුර සිට එන ඤාති මිත්‍රාදීන් සඳහා පිළියෙල කළ ආහාරපාන වුවද පිළිගැන්වීමට සුදුසු වීම
7. අඤ්ජලිකරණීය – දොහොත් මුදුන් තබා වඳිනු ලැබීමට සුදුසු වීම
8. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං – ලෝකයාගේ උසස්ම් පින්තෙක වීම