Monthly Archives: November 2014

අචිරං වතයං කායො – පඨවිං අධිසෙස්සති ඡුද්ධො අපෙත විඤ්ඤාණො – නිරත්ථං’ ව කලිංගරං මා…

අචිරං වතයං කායො – පඨවිං අධිසෙස්සති
ඡුද්ධො අපෙත විඤ්ඤාණො – නිරත්ථං’ ව කලිංගරං

මාතෘකා කරගත් ඉහත ගාථා ධර්මය සඳහන්ව ඇත්තේ ධම්මපදයෙහි චිත්ත වග්ගයෙහි ය. එහි සාමාන්‍ය අර්ථය නම් “මේ සිරුර නොබෝ කලෙකින් ඒකාන්තයෙන් පහ වූ සිතැතිව ඉවතලන ලදුව, දිරා ගිය දඬු කඩක් මෙන් පොළොව මත හෝනේය” යනුයි.

බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කොට වදාළේ පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ අරභයාය. ධම්මපදට්ඨ කථාවෙහි එන එහි නිධාන කතාව සද්ධර්මරත්නාවලී කතුවර ධර්මසේන හිමියෝ ඉතා සිත්ගන්නාසුළු බස් වහරකින් ඉදිරිපත් කරති. ඒ අනුව සද්ධර්මරත්නාවලියෙහි එම කතා පුවත දැක්වීමෙහි පරමාර්ථය ලෙස සඳහන් කොටස සරල සිංහලෙන් මෙසේ ඉදිරිපත් කළ හැකිය.

“ජීවිතය විදුලි රේඛාවක් මෙන් බොහෝ කල් නො පවත්නා ආකාරය ද ගිණිය නොහැකි තරම් විශාල අවුරුදු සංඛ්‍යාවක් ජීවත්වුවත් ජල බිංදුවක් සේ ඉක්මනින්ම නැති වී යන ආකාරය ද තණ කොළයේ කෙළවර ඇති පිනි බින්දුවක් සේ ආයුෂ අවසානවීමේ දී නැති වී යන ආකාරය ද ජලයෙහි ඇඳි ඉරක් සේ මැකී යන ආකාරය ද දක්වන්නා වු අපි පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ චරිත කතාව ඉදිරිපත් කරමු”.

සැවැත් නුවර වාසය කළ එක් කුල දරුවෙක් බුදුරදුන් දෙසු බණ අසා පැහැදී පැවිදි උපසම්පදාව ද ලබා ගත්හ. උන්වහන්සේ ප්‍රකට වූයේ “තිස්ස” යන නමිනි. ටික කලක් ගත වීමෙන් පසු උන්වහන්සේගේ ශරීරයෙහි සුව කළ නොහැකි රෝගයක් ඇති විය. එය සිදු වූයේ මෙසේය. මුලින්ම අබ ඇට තරම් කුඩා බිබිළි මතු වී පසුව ඒවා මුං ඇට තරම් ද, මෑ ඇට තරම්ද, නෙල්ලි ගෙඩි තරම්ද, අවසානයේදී බෙලි ගෙඩි තරම්ද විශාලත්වයට පත් විය. ඒවා පැසවා පැළී හිල් වන්නට ද වූ අතර මුළු ශරීරයම වේයන් කෑ පරඬැල් කොලයක් සේ කුඩා සිදුරු හා ඊටත් කුඩා සිදුරුවලින් යුක්ත විය. එතැන් සිට උන්වහන්සේ “පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ” යැයි ප්‍රසිද්ධ වූහ. පසුව දවස් කිහිපයකින් ශරීරයේ ඇට බිඳුණි. එබැවින් බැලීමටත් අපහසු වූ අතර පෙරවු සිවුරු සැරවවලින් හා ලේ වලින් යුක්තව පුස් කෑ පැණි යොදා සාදන කැවුම් මෙන් පෙනෙන්නට විය. ශිෂ්‍යයෝත් උන්වහන්සේ දෙස බැලීමට ඇති අපහසුකම නිසා අත්හැර ගියහ. එබැවින් උන්වහන්සේ කිසිවෙකු ගේ පිහිටක් නොමැතිව ඇඳටම සීමා වී වැතිර සිටියහ.

එකල බුදුරදුන් ගේ නුවණ නමැති දැල තුළට ශරීරය කුණුවී ගියත් රහත්වීමට හේතුවන පිනින් අඩු නොවු පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ පෙනුණු සේක. භික්ෂූන් වහන්සේත් සමග එහි වැඩමවා පළමුව රෝගී තෙරුන් වහන්සේ ඇඳ පිටින්ම ඔසවාගෙන ස්නානය කරන තැනට ගෙන ආහ. සිවුරු සේදීමට දමන ඔරුවක් ගෙන්වාගෙන උණුවතුර එයට වත්කොට තෙරුන් වහන්සේ පොරවාගෙන සිටි සිවුරු ඉවත්කොට ඒවා උණු වතුරෙන් සේදූ හ. පසුව බුදුරදුන් රෝගී තෙරුන් ළගට ම වී තමන් වහන්සේගේ අතින්ම උණුවතුර වත් කරවා ඇඟ අත ගා නැවූ සේක. තෙරුන් වහන්සේද නිරෝගී භාවයට පින නැතත්, ශක්‍ර බ්‍රහ්ම ආදීන් ගෙන් පවා අත් පා සේදීම් ආදී උපස්ථාන ලබන බුදුරදුන්ගෙන් එම උපස්ථාන ලැබීමට තරම් පින ඇති බැවින් එම දිය නෑවීම ලබමින් වැඩ හුන්හ. දිය නාවා අවසන් වූ විට සේදූ සිවුරු වේලී තිබිණි. ඒවා ගෙන අවුත් උන්වහන්සේට පෙරවීමෙන් පසුව සැරව කුණු ඉවත් වී ශරීරය සැහැල්ලු බවට පත්වූ හෙයින් සිත එකඟ කොටගෙන ඇඳෙහි වැතිර සිටියහ.

බුදුරජාණන් වහන්සේ රෝගී තෙරුන්ගේ හිස සමීපයෙහි වැඩ සිටිමින් උණුවතුර නාවා ඉන්පසුව ආහාර අනුභව කිරීමක් කරවන්නාක් මෙන් මෙසේ දෙසූහ.

“මහණෙනි, ලී දඬුවලින් ප්‍රයෝජන ඇති මිනිස්සු කැලෑවට ගොස් ඇද නැති ලී ඇද නැතුවම ද, ඇද ලී ඇද ඇතුවම ද කපාගෙන සිදුරු තිබෙන ස්ථාන, දිරීමට පත්වූ ස්ථාන ගැටිති සහිත ස්ථාන කපා එතැනම දමා යත් ද, පසුව දඬු හා ලෑලි සොයාගෙන පැමිණි කෙනෙක් ගැලපෙන දඬු හා ලෑලි කපාගෙන යන නමුත් කපා දැමූ දඬු හා ලෑලි එපරිද්දෙන්ම රැගෙන නොයත්. තවත් එයින් යටට තැබීමට ගන්නා ලී කැබලි ආධාරකයකට ප්‍රයෝජනයක් ඇති නමුත් මෙම ආත්ම භාවයේදී ශරීරයේ ඇති කුණු කොටස් තිස් දෙකින් එක කොටසක් හෝ පාද ආධාරකයකට යනාදි වූ කිසිම දෙයකට ගැනීමට නොහැකි හෙයින් කපා දැමු දඬු කෑලි ආදිය තරම්වත් ප්‍රයෝජනයක් නැත. එම නිසා මේ සිරුරෙහි රූප අරූප ජීවිතය ද නැතිවන්නා සේ සැප පහසු අගනා ඇඳන්වල නිදා සිටිය ද වළ දැමීම යනාදිය මහ පොළොවේම වන බැවින් වැඩිකල් යාමට පෙර අත්හැර දැමු ලී කැබැල්ලක් මෙන් මහ පොළොවටම පැමිණෙයි.

සෑම දෙයකටම සිරුර උචිත නොවෙතත් සිත දුබල නොවී පවත්නා නිසා මේ ආකාර වූ කිලිටි ආත්මභාවය දිගටම පවතියි. ශරීරයේ කෙස්,ලොම් , නිය, දත් හා හම යන අංග පහ හැර ඊට වඩා වෙනත් කුණු කොටස් නැති දිව්‍ය ආත්මභාව හා බ්‍රහ්ම ආත්මභාවයන්ද නොමැතිවීම නිසා සසර අවසන් කිරීමටද උත්සාහ කළ යුතුය”

මෙම දේශනාව අවසානයේදී පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ අර්ථ,ධර්ම ,නිරුක්ති, ප්‍රතිභාන වශයෙන් වශයෙන් ඇති දැනීම උපදවා රහත් බව ලැබ කෙලෙස්වලින් හටගන්නා රෝගයෙන්ද සුවපත් වී ආයුෂ ප්‍රමාණය ද අවසන් වූ බැවින් පිරිනිවන් පෑහ. තවත් බොහෝ පිරිසක් නිවන් දුටුවහ. බුදුහු උන්වහන්සේගේ සිරුර ආදාහනය කරවා අවසානයේ ධාතු ලබාගෙන චෛත්‍යයක්ද කරවූහ.

සෙසු භික්ෂූන් වහන්සේලා “ ස්වාමීනි, තෙරුන් වහන්සේ මෙතරම් දැඩි දුකකින් පීඩා විඳි ශරීරයේ වේදනාව බලවත් වූ බැවින් මරණය සිදුවන විට පැවැති සිතේ පිරිසුදුකම කෙසේද? කවරනම් තැනෙක ඉපදුණ සේක් දැ”යි විමසූහ. බුදුහු උන්වහන්සේ රහත්ව පිරිනිවන් පා වදාළ බව දේශනා කළහ. රහත් වූ බැව් අසා “ ස්වාමීනි, රහත්වීමට තරම් සුදුසු මෙබඳු වූ පින් තිබිය දීත් සිරුර කුණූ වුයේ ඇයි? සිරුරේ ඇට සියල්ල බිඳී ගියේත් ඇයි? රහත් භාවයට පත්වීමත් කෙසේ සිදු වී දැ”යි විමසූ හ. “ මහණෙනි, මේ සියල්ලක්ම වෙනත් අයෙකු විසින් කරන ලද දෙයක් නොවෙයි” තම තමන් විසින්ම කළ දේවල් යැයි, බුදුහු පැහැදිලි කළහ. පසුව කර්මයේ ස්වභාවය අසා දැන ගනු කැමතිව සිටි භික්‍ෂූන් වහන්සේලාට මෙසේ වදාළහ. “ මහණෙනි, මේ තෙමේ කාශ්‍යප බුදුරදුන් කාලයෙහි පක්ෂීන් අල්වා බැඳ විකුණා ජීවත්වීම සිදුකරන වැදි පවුලක ඉපදී මොනර, කුකුළු ආදි වූ පක්ෂීන් අල්වාගෙන නො මරා ඇති දැඩි කිරීම සඳහා බොහෝ දෙනාට දෙයි. පක්ෂීන් ඉතිරිව ඇත්නම් මරා මස් කන්නවුන්ටත් විකුණයි. විකුණා ඉතිරි වූ පක්ෂීන් මරා තැබූ විට නරක් වන නිසා පියඹා යාමට නොහැකි වන ආකාරයට කකුල් ඇට ආදිය බිඳ දමා විකුණයි. ඉතා වැඩියෙන් පක්ෂීන් ලැබුණි නම් ඔහු ද පිසවාගෙන කයි.

මොහුට එක් දිනක් මස් ව්‍යංජනයක් පිසූ විට පිඬු සිඟා හැසිරෙන රහත් තෙරුන් වහන්සේ නමක් මොහුගේ නිවසට වැඩම කළහ. ඔහු උන්වහන්සේ දැක පැහැදීමට පත්ව“අපොයි, බොහොමයක් පර පණ නැසීම් සිදු කළෙමි. තෙරුන් වහන්සේද මාගේ නිවසට පිඬු සිඟා වැඩම කළහ. නිවසෙහි මස් ව්‍යංජනයක් ද ඇත. මස් ව්‍යංජනයෙන් යුක්තව ආහාරයක් දානය පිණිස දෙමි”යි අදහස් කළේය. පසුව තෙරුන් වහන්සේට ඇරයුම් කොට පාත්‍රය අතට ගෙන මස් ව්‍යංජනයෙන් යුක්ත ආහාර පාත්‍රය පිළිගන්වා උන්වහන්සේට දෙදණ, දෙ අත, නළල යන ශරීර අංග පස බිම තබා නමස්කාර කොට “ ස්වාමීනි, ඔබ වහන්සේ ලත් නිවන නමැති රසය මා දුන් මස් ව්‍යාංජන රසයේ ප්‍රධාන විපාකයෙන් මටද වේවා “ යි ප්‍රාර්ථනා කළේය. රහත් තෙරුන් වහන්සේත් එය එසේම වේවායි, වදාළහ. “මහණෙනි, ඒ කාලයෙහි පක්ෂීන් ගේ ඇට බිඳ දැමු ලෙසටම මොහුගේ සිරුර කුණු විය. ඇට බිඳී ගියේය. රහතන් වහන්සේට දුන් දානයේ ආනිසංසයෙන් නිවනෙහි රසය ලැබුයේය”යි වදාළ සේක.

මෙම පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ කතා පුවතෙන් සිරුරෙහි ඇති නිස්සාරත්වයත්, කර්ම විපාකයේ බිහිසුණු බවත්, මනාව වටහාගත හැකිය. එබැවින් මේ ගැන මනා නුවණින් වටහාගෙන අකුසලයෙන් දුරුව කුසල් දහම් රැස් කරගනිමින් ඉතා අපහසුවෙන් ලබාගත් මෙම මනුෂ්‍ය භාවයෙන් මෙලොව පරලොව වශයෙන් උභයාර්ථ සංසිද්ධිය සලස්වා ගැනීමට සැවොම නොපමාව උත්සාහවත් විය යුතුය.

තෙරුවන් සරණයි!

ඌරුගමුවේ අස්සජි හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ඔබ උපාසක රත්නයක් ද, නැතිනම් උපාසක චන්ඩාලයෙක් ද? මේ කරුණු පහ ඔබේ ජීවිතයෙන්ම පරික්…

ඔබ උපාසක රත්නයක් ද, නැතිනම් උපාසක චන්ඩාලයෙක් ද?
මේ කරුණු පහ ඔබේ ජීවිතයෙන්ම පරික්ෂා කර බලන්න.

~~ උපාසක රත්නයක්, උපාසක පද්මයක් බවට පත් කරන කරුණු ~~
1. සද්ධෝ හෝති – ශ්‍රද්ධා සම්පන්න බව

2. සිලවා හෝති – සිල්වත් වීම

3. අකෝතූහල මංගලිකෝ හෝති – සුබ අසුබ නිමිති පිළිනොගැනීම. සුභ නැකැත්,සුභ නිමිති නොබලන්නේ බාහිර මංගල කරුණු නොසොයන්නේ වෙයි.

4. කම්මං පච්චේති නෝ මංගලං – සුබ අසුබ නිමිති (මංගල ) නොව, කර්මය පිළිගැනීම

5. න ඉතෝ බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවේසති. ඉධ ච පුබ්බකාරං කරෝති
මේ සසුනෙන් පිටස්තර දක්ෂිණාර්හයන් නොසෙවීම, මෙහිම උමතුන්ට පළමුව සැළකීම. මේ ශාසනයෙන් බාහිරව දන් පැන් පුදන පුද්ගලයන් නොසොයයි

උපාසක චණ්ඩාල සූත්‍රය

බාහිර රූප වල කාමය නැහැ. කාමය අපි හිතෙන්ම ඇති කර ගන්නා දෙයක්. ඒ හිතෙන්ම ඇති කර ගන…

බාහිර රූප වල කාමය නැහැ. කාමය අපි හිතෙන්ම ඇති කර ගන්නා දෙයක්. ඒ හිතෙන්ම ඇති කර ගන්නා අදහසටයි අපි බැඳිලා තියෙන්නේ.

උදාහරණයක් ලෙස එකම ස්ත්‍රී රූපය දෙස බලා,
1) එක් අයෙක් අම්මා යන හැඟීම ඇති කර ගෙන ප්‍රේමයෙන් බැඳේ
2) තවත් කෙනෙක් බිරිඳ යන හැඟීම ඇති කර ගෙන රාගයෙන් බැඳේ
3) තවත් කෙනෙක් දුව යන හැඟීම ඇති කර ගනී
4) තවත් කෙනෙක් සතුරෙක් යන හැඟීම ඇති කර ගනී
5) ප්‍රඥාවන්ත කෙනෙක් මෙය සෙවනැල්ලක්/චිත්‍රයක් පමණක් යන හැඟීම ඇති කර ගනී

තවදුරටත් ගැඹුරු දහම් කරුණු ඉගෙන ගන්නට එක්වන්න

මරණින් මතු නිරයට නියත බැවින් නියත මිත්‍යා දුෂ්ටි නම් වූ මේවයින් මිදෙමු. ඒවායින්…

මරණින් මතු නිරයට නියත බැවින් නියත මිත්‍යා දුෂ්ටි නම් වූ මේවයින් මිදෙමු. ඒවායින් මිදීම සඳහා ධර්ම දේශනා වලට සවන්දී ප්‍රඥාව වැඩි කර ගන්න.

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන…

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දන් පූජා කළෝ කුඩා කණ්ඩායම් වශයෙන් ඒකරාශි වීමෙනි. දන් දෙන සැදැහැවතුනට එයින් වැඩි වෙහෙසක් නොවුවා සේමැ දන් පිළිගනු ලබන වහන්දෑට ද පහසුවක් මැ විය.

මෙලෙස දන් පිළිගැන් වූ එක් අවස්ථාවෙක වළඳා අවසන්හි අනුමෝදනා බණ වදාරණ බුදුරජාණන් වහන්සේ,

“උපාසකවරුනි, යම් පුද්ගලයෙක් තමන් සතු සම්පත් උපයෝගි කර ගනිමින් දන් දෙන කල්හි අන්‍යයන් ඒ සඳහා සහභාගි කර නොගෙන තනිව වැ දන් දෙන්නේ නම් ඔහුට භව භෝග සම්පත් මිස පරිවාර සම්පත් නොලැබෙන්නේය. තමන් විසින් යම් වියදමක් නොකර අනුන් සම්මාදන් කරවා ගෙනැ යමෙක් දන් දෙත් නම් ඔහුනට පරිවාර සම්පත් පමණෙක් මිස භෝග සම්පත් නොලැබේ.

යමෙක් ඒ දෙක මැ නොකරන්නේ නම් භෝග සම්පත් හෝ පරිවාර සම්පත් යන දෙක මැ නොලැබෙන්නේය. නොඑසේම අන්‍යයන් සම්මාදන් කරවා ගෙනැ තමන් ද ඊට හවුල්වැ දන් දෙත් ද, එලෙස දෙනු ලබන දානය භව භෝග සම්පත් හා පරිවාර සම්පත් යන දෙක මැ ලැබීමට හේතු වන්නේ යයි “ වදාළ සේක.

එලෙස බුදුරජාණන් වහන්සේ ගෙන් බණ ඇසූ එක්තරා කුල පුත්‍රයාණ කෙනෙක්. “බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඉතා යහපත්ය.

සම්පත් ඇති වැ පරිවාරත් ඇත්නම්, පරිවාර ඇති පමණින් යසසත්, කීර්තියත්, වැඩීමට හේතු වෙයි. එසේ නම් මම මේ දෙක මැ ලබමි.” යි සිතා ධර්ම දේශනාව නිමවූ කල්හි බුදුන් වහන්සේ වෙතැ එළඹ නමස්කාර කොට වැඳ, “ස්වාමීණි බුදුරජාණන් වහන්ස සෙට දින දහවලැ දන් පිණිස මාගේ නිවසට වඩින සේක්වා”යි කරුණා පෙරදැරිව ආරාධනා කර සිටියේය.

“පින්වත, කොතෙක් භික්ෂූන් අවශ්‍ය දැයි” බුදුන් වහන්සේ විචාළ සේක්,

“ස්වාමීනී විහාරයේ වැඩ වෙසෙන සියලු මැ භික්ෂූන් වහන්සේ ය ”යි කීහ. කුලපුත්‍රයන්ගේ ශක්තිය පමණ දැන සිටි බුදුරජාණන් වහන්සේ ආරාධනය ඉවසා වදාළ සේක. කුලපුත්‍රයා තමන් ගමට ගොස් නුවර සිසාරා යමින් තැනින් තැන හඬ නඟා කියන්නේ, සෙට දින බුදුපාමොක් මහ සඟනට දහවල දන් පුදනු පිණිස ම විසින් කරණ ආරාධනාව, යි, මේ පිනට ලැදි යම් කෙනෙක් වෙත් නම් ඊට සහභාගි වීමට කැමැත්තේ නම් කැඳට බතට, අවුළුපතට, ඇවැසි සහලින් පරිත්‍යාග කළ මැනව. තවද මුං උඳු ආදි දානෝපකරණත් සමග එලෙස සපයා ගත් දෙය එක් තැනෙක දී පිස දන් දෙමි හ යි කීය.

කුල පුත්‍රයාණන්ගේ ආරාධනය ඇසූ නගර වාසී සැදැහැවත් ඇත්තෝ දනට ඇවැසි කළමනා එක් එක් අය ගෙනුත් තමන් විසිනුත් සපයා ගෙනැ එක් ස්ථානයකට එක්කාසු කළහ. එළෙස දන් දෙන්නට කැමති එක් තැනැත්තෙක් කුල පුත්‍රයන්ගේ විධානය පරිදි දනට නිසි කළමනා සම්මාදන් කර ගන්නා අදහසින් නුවර එක් සිටාණ කෙනෙකුන් ගේ වෙළඳසල ඉදිරියට ගියේය. එසේ ගොස් තමන් ආ කාරණාව සිටාණන්ට දන්වා සිටියේය.

නගරයේ ප්‍රසිද්ධ ධනවත් වෙළඳ ව්‍යාපාරිකයෙක් වුවද මෙම සිටාණෝ බෙහෙවින් මසුරුය. කවරකුට වුවද දීමට නොකැමැත්තේ ය. නුවර පුරා ප්‍රසිද්ධියට පත් දනක් හෙයින් ඊට සහභාගි නොවී නිහඬව සිටීම සිටාණන්ට මදි පුංචි කමක් හෙයින්, යම් පමණෙකින් හෝ ඊට සැලකිල්ලක් දැක්විය යුතුයි සිතු සිටාණන් සම්මාදම් පිණිස පැමිණි .තැනැත්තා දකිමින්,

මේ තෙමේ තමන්ට හැකි තරමින් දනක් නොදී නගරය මුළුල්ලේ දනක් දෙමැයි හඬ නගා ඇවිදින්නේය. පුලන්නන් මෙන් අතනින් මෙතනින් ඉල්ලා ගෙනැ දෙන දනත් දානයක් , ද ඔහු කෙරේ නොසතුටු වුවද,

“යහලුව, තොප දනට, සහල් සොයා රැගෙන ආ පසුම්බිය මෙහිට ගෙනවයි අමතමින් ඔහු සමීපයට පැමිණ කල්හි,

සිටාණෝ අඟිලි තුනක් අගට අසුවන තරමට සහල් ඩිංගක් ගෙනැ සම්මාදම පිණිස ආ තැනැත්තාගේ පසුම්බියට හෙළී ය. මුං උඳු ආදි දනට අවශ්‍ය අනෙකුත් කළමනා ද ඒ ඒ තරමින් ස්වල්ප කොට මැ දුන්හ.

ඇඟිලි තුනක් එක් වූ කල්හි එය බළල් අතක පතුළක් තරම් වන හෙයින් දනට නමුත් දුන් දෙය මසුරු වැ දුන් සිටාණන් ගැන නුවර පුරා පැතිර ගිය අතර එවක් පටන් එම මසුරු සිටාණෝ “බිළාල පාදක සිටාණෝ” යි අන්වර්ත නාමයෙන් හඳුන්වන ලද හ.

මෙම අවස්ථාව වන විට කුලපුත්‍රයා ද සිටාණන්ගේ වෙළඳ සල ඉදිරිපිට පැමිණ සිටියේය. දානය සඳහා එක් එක් අය විසින් පරිත්‍යාග කරණ ලද කළමනා එකතුකොට වෙනමත් සිටාණන් දුන් කළමනා වෙන් වශයෙනුත් පොදිබැඳ ගෙන දන් පිළියෙල කරණ තැන් බලා ගියහ. තමන් විසින් දනට දුන් කළමනා වෙන මැ පොඳි බඳිනු ද සිටාණෝ.

සෙස්සෝ දුන් කළමනා එක් කොට වෙන් වශයෙනුත් මා දුන් දෙය වෙනමත් පොදි බැඳ ගන්ට කාරණා කිමෙක් දැයි කල්පනා කොටැ සේවකයකු කැඳවා, “කොලුව, යව ඔවුන් යන මග ගොස් මා දුන් දේට කුමක් කරන්නේද යි නිශ්චිත වැ බලා ගෙන එව” යි සේවකයා ඔවුන් පසු පස යැවීය.

සේවකයා සිටාණන්ගේ අණ පිළිපදිමින් උන් ගිය මග පසු පසින් ගොස් දන් පිළියෙල කරන තැනට වන්හ. දන් පිළියෙල කරන්නෝත් දුන් දෙය සුළු වුවද ලබන පින බොහෝයි. සිතා කලමනා ලද තරමින් කැඳ බත්, අවුළුපත් පිසින හැලි වලංවලට සහල් වුවමනා පමණින් දැමූහ. මුං උඳු දේත් ඇති තරමින් එලෙසට බඳුන්වලට දැමූහ. එහි ගිය සිටාණන්ගේ සේවකයාත් සිදුවූ සියල්ල එලෙසින් මැ දැක බලා ගෙනැ පෙරලා සල්පිලට ගොස් සිටාණන් හමුව සියලු පවත් කීවේය. එපවන් ඇසූ සිටාණෝ.

“යමෙකු මට දනට මසුරුකම කෙළේයයි බොහෝ දෙනා ඉදිරියේ කියා මට අවමානයක් නින්දාවක් කළේ නම් ඔහු කපා කොටා මරම් “යි ඊට සුදුසු ආයුධයක් ද හිණැ සඟවා ගෙනැ පසුව දා දන් වළදන තැනට ගොස් එහි රැඳී සිටියේය.

කුලපුත්‍රයා බුදුපාමොක් මහා සංඝයා වහන්සේ දන් වළඳවා ඉක්බිති බුදුන් වහන්සේ වෙතැ එළඹ නමස්කාර කොටැ වැඳ,

“ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මම සැදැහැවත් බොහෝ දෙනා සම්මාදන් කරවා ගෙනැ මහත් වූ සතුටු සිතින් දන් පිදුවෙමි. මාගේ කාරුණික ඉල්ලීම අනුව බොහෝ පිරිස් දනට සහභාගි වූහ. සහල් මුං උඳු ආදි දනට ඇවැසි කලමනා තම තමන්ට හැකි පමණින් ඔවුහු සැපයූහ. සුළුවෙන් දුන්නවුන්ටත් බොහෝ කොටැ දුන්නවුන්ටත් වෙනසක් නොකොට දන් දීමේ අනුසස් වෙනසක් නැති වැ සියල්ලනට සම සම වම ලැබේවා යි ප්‍රාර්ථනා කරමි” යි කීය.

බිළාල පාදක සිටාණන් ද එම අවස්ථාවේ එතැනය. කුලපුත්‍රයාගේ ප්‍රාර්ථනය සිටුවරයාද හොඳින් අසා ගෙනැ සිටියේය. එයින් මවිතයටත් කලබලයටත් පත් සිටාණන්ගේ ඉහෙන් කණෙන් සිහින් දාඩිය දැම්මේය. සිටි තැන සිට ගත නොහැකිව පසු වූ ඔහුගේ සිරුර ගැහෙන්නට විය. මුවහත් ආයුධයක් ඉණ ඉහ සඟවා ගෙන එහි ගිය සිටාණෝ සිද්ධ කරන්නට ගියේ මහා අපරාධයකැයි සිහි වැ සිතින් වැළපෙන්නට විය.

මම මසුරු සිතින් සුළුවෙන් දනට දුන්නා යයි මිනිසුන් අතර කියා නින්දා කළෝ නම් මොහු මරම්යි සිතා මෙතැනට ආවෙමි. එහෙත් මෙතෙමේ නම් මනුෂ්‍යයන් අතර උත්තම පුරුෂයෙක. සුළුකොට දුන්නවුන්ටත් බොහෝ සෙයින් දුන්නවුන්ටත් දන් දීමේ විපාක සමව සිතන්නේය. මෙතුමෝ මා විසින් ක්ෂමා කර නො ගන්නේ නම් මගේ හිස සෙණ පහරකින් සුණු විසුනු වන්නට බාධා නැතොත් ඉන් වන්නේ මහත් නපුරෙකැයි සිතා වහා කුල පුත්‍රයාණන් ඉදිරියට ගොස් දෙපා ළඟ වැඳ වැටී ස්වාමීනී උත්තමයන් වහන්ස, මට ක්ෂමා කළ මැනවයි බැගෑපත් වැ ආයාචනා කර සිටියේය.

ඒ කුමක් සඳහාද යි කුලපුත්‍රයා සිටාණේ විචාළ කල්හි සිටාණෝ සියලු පවත් කියා සිටියහ.

බුදුරජාණන් වහන්සේත් කුලපුත්‍රයාණන් හා සිටාණන් අතර සිදුවූ කතා බහට සවන් දී සිටි හෙයින්,

“කිමෙක්ද පින්වත”යි දන් පිළියෙල කළ කුල පුත්‍රයා අතින් විචාර කල්හි එතෙක් සිදුවූ සියල්ල බුදුන් වහන්සේ වෙතැ සැකෙවින් සැලකර සිටියහ.

එසේ දැයි සිටාණන් විචාරා එසේය ස්වාමිනියි කී කල්හි බුදුරජාණන් වහන්සේ, “සිටාණෙනි, පින්කම නම් සුළු කොටැ නො සිතිය යුතුය. යමෙක් බොහෝ කොට පින් නොකළ ද කුහුඹුවෙකුට උගේ ආයු කාලය තුළ නගින්නට උත්සාහ කළ ද මහමෙර උඩට නගින්නට නොහැකිවාසේ සුළුවෙන් කළ පින්කම විපාක දිය හැකි දැයි සැක පහළ නොකළ යුතුය. කෙසේද යත් කවර කලෙක සුළුවෙන් කළද කළ පින් නැති නොවන බැවින් ඒ හැම පිනක් මැ එකතුවැ කුසලය මහත් වන බැවින් විපාක ඉඳුරාම ලැබෙන්නේ යි” වඳාල සේක.

දේශනා කෙළවර බිළාල පාදක සිටාණෝ සෝවාන් ඵලයට පැමිණියහ. තම තමන් හැකි පමණින් දන් පිදු සැදැහැවත් පුණ්‍යවන්තයෝද දානාදි ආනිසංස හේතුකොටැ ගෙනැ අමා මහ නිවන් සුව සාක්සාත් කර ගත්හ.

තෙරුවන් සරණයි!

බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

සම් මස් ලේ නහර ආදී වූ අසූචි ගොඩක් අවකාශය යම් හැඩයකට අහුරාගෙන සිටින විට අප එයට මි…

සම් මස් ලේ නහර ආදී වූ අසූචි ගොඩක් අවකාශය යම් හැඩයකට අහුරාගෙන සිටින විට අප එයට මිනිස් රුපයක් යයි ව්‍යවහාර කරමු. මේ අසුචි ගොඩ දෙස ‘මිනිසෙක්’ යන සඥාවෙන් බැලීම නිසා රාගය ඇතිවේ (සතුරෙකු නම් ද්වේශය ඇතිවේ).

මෙසේ විපරීත සඥාවකින් රුපය දෙස බැලීම නිසා රාග/ද්වේශ හටගෙන ඇත. ඇත්ත ඇති සැටියෙන් රුපය දෙස බලන්නට පුරුදු කරමු. කායානුපස්සනාව වඩමු.