Monthly Archives: December 2014

මේ සියලු ශරීර සතර මහා ධාතු මයි. ඒවායේ සත්ව පුද්ගල ආත්ම ස්වභාවයක් නැහැ මයි. සතර ම…

මේ සියලු ශරීර සතර මහා ධාතු මයි. ඒවායේ සත්ව පුද්ගල ආත්ම ස්වභාවයක් නැහැ මයි. සතර මහා ධාතු ඇති තැනක සත්ව පුද්ගල ස්වභාවයක් දැනෙන්නේ හිතටයි. මේ ඇත්ත දකින්නට හොඳින් කායානුපස්සනාව වඩන්න. එක් කමටහනක් පහත දක්වා ඇත.

සංවරය උදෙසා අට්ඨික සඤ්ඤාව….

අට්ඨික සඤ්ඤා භාවනාව බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් කෙලෙස් නැසීම දක්වාම දියුණු කර ගත හැකිය. ඇසට දකින රූපයන්හි නිමිති ගැනීමෙන් ඇස අසංවර වීම හේතු කොට ගෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් ඇති වේ. අට්ඨික සඤ්ඤාව පුරුදු පුහුණු කිරීමෙන් රාගයට, ද්වේෂයට හේතුවන නිමිති ගැනීම වළක්වා ඇස සංවර කර ගත හැකිය.

ඇටසැකිල්ලක් සිනාසුණා….

පෙර ලක්දිව මිහින්තලේ විසූ තිස්ස නම් ස්වාමීන් වහන්සේ නමක් ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට අනුරාධපුරයට වඩිමින් සිටියහ. ස්වාමියා සමඟ අමනාප වූ කාන්තාවක් ඒ මාර්ගයේම උන්වහන්සේ ඉදිරියෙන් පැමිණ සිනා සිසී උන්වහන්සේ පසුකොට ගමන් කළේය. ටික මොහොතකට පසු ඇයගේ ස්වාමි පුරුෂයා ඒ මගින් පැමිණ ස්වාමීන් වහන්සේ දැක ”මේ පාරෙන් කාන්තාවක් ගියේ දැයි” විචාළේය. ”ස්ත‍්‍රියක් ද, පුරුෂයෙක් ද නොදනිමි. ඇටසැකිල්ලක් නම් ගියා දැක්කෙමි” යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දුන්නේය. අට්ඨික සඤ්ඤාව බහුල වශයෙන් වැඞීම නිසා ඇස සංවර වූ ආකාරය සිතා බලන්න.

බහුල වශයෙන් වඩන ලද අට්ඨික සඤ්ඤා සමාධිය තුළ පිහිටා විදර්ශනා වැඞීමෙන් ඕනෑම කෙනෙකුට කෙලෙස් නැසීම දක්වා සිත දියුණු කළ හැකිය. අට්ඨික සඤ්ඤාව පුරුදු කරන කෙනෙකු ප‍්‍රකෘති ඇට සැකිල්ලක් හෝ ක‍්‍රමවත්ව අඳින ලද ඇට සැකිල්ලක රූපයක් ඉදිරියේ වාඩි වී හොඳින් ඒ දෙස බලා සිටිය යුතුය. ටික වේලාවක් මෙසේ ඇට සැකිල්ලේ හිසේ සිට පාදය දක්වා ටිකෙන් ටික බලමින් ඒ සටහන් හොඳින් සිතට ගත යුතුය. සටහන හොඳින් සිත තුළ තැන්පත් වූ පසු ඒ ස්ථානයේ සිටම හෝ වෙනත් ස්ථානයකට ගොස් භාවනා වැඩිය හැකිය.

– අට්ඨික සඤ්ඤා භාවනාව –

සුදුසු ස්ථානයක, සුදුසු ආකාරයෙන් වාඩිවෙන්න. දෙනෙත් පියාගෙන සිතට ගත් ඇට සැකිල්ලේ සටහන හොඳින් මෙනෙහි කරන්න. ඇට සැකිල්ල ප‍්‍රකටව පෙනෙන තෙක් මුළු ඇටසැකිල්ලම නැවත නැවත මෙනෙහි කරන්න. දැන් ඇට සැකිල්ලේ හිස් කබල දෙස බලන්න.
ඇස් දෙක වෙනුවට තියෙන්නේ ලොකු වළවල් දෙකක්. ලස්සනට තිබුණ, පාට කරපු ඇහි බැම දැන් නෑ. නාසය වෙනුවට තියෙන්නේ සිදුරක් විතරයි. කටේ දත් ටික එළියට පේනවා. ලස්සනට පාට කරපු තොල් පෙති නෑ. කරාඹු වලින් සරසපු කන් පෙති නෑ. සුවඳ ජාති ගාලා ලස්සනට තියාගෙන හිටපු කම්මුල් නෑ. වේලිච්ච ලබු ගෙඩියක් වගේ තියෙන හිස් කබලක් විතරයි දැන් තියෙන්නෙ. මගේ මේ හිසත් මේ ආකාරයටම ඇට සැකිල්ලක් බවට පත්වෙනවා.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

උරහිස් ඇට වලට සවි වෙලා තියෙන්නෙ ඉල ඇට. කුරුළු කූඩුවක් වගේ වට වෙලා තියෙන ඉල ඇට. දිග උණ පතුරු වලින් හදපු කූඩුවක් වගේ තියෙන ඉල ඇට. ඒ වගේම කොන්ද දිගට තියෙන්නෙ කොඳු ඇට පේලිය. නූලකට අමුනපු පබලු ටිකක් වගේ එකට බැඳුණු කොඳු ඇට පේලිය. මගේ මේ ශරීරයත් මේ ආකාරයටම ඇට සැකිල්ලක් බවට පත්වෙනවා.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

කොදු ඇට පේලිය අවසන් වෙන්නෙ උකුල් ඇට වලට සවි වෙලා. සමනලයෙකුගෙ තටු වගේ තියෙන උකුල් ඇට. උකුල ප‍්‍රදේශය හැදිලා තියෙන්නේ උකුල් ඇට වලින්. ඒ උකුල් ඇටවලට පාද සවිවෙලා. වේලුන උණ කෝටු වගේ තියෙන පා ඇට. පා ඇට අවසන් වෙන්නෙ පා ඇඟිලි ඇට වලින්.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

මගේ මුළු ශරීරයම මේ වගේ ඇටසැකිල්ලක් බවට පත්වෙනවා. මේ ඇට සැකිල්ලට මස් අලවල නහර වලින් ගැට ගහලා, හමකින් වහලා රූපය කියලා බැඳිලා යනවා. හම ඉවත් කළාම, මස් ඉවත් කළාම, නහර වැල් ඉවත් කළාම ඉතුරු වෙන්නෙ ඇට සැකිල්ල විතරයි. මේ ශරීරය නමන්න, දිගහරින්න, බර දරාගන්න තියෙන ඇට සැකිල්ලෙන් හැම වෙලාවෙම ආරක්ෂා කරන, පිරිසිදු කරන, ලස්සන කරන මේ ශරීරය ඇට සැකිල්ලක් විතරයි.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි —

ගිහි ගෙයත්, රජ සැපත් අත්හළ සිදුහත් කුමාරයා පැවිදි ව ඒ වනවිට භාරතයේ ප්‍රචලිතව පැව…

ගිහි ගෙයත්, රජ සැපත් අත්හළ සිදුහත් කුමාරයා පැවිදි ව ඒ වනවිට භාරතයේ ප්‍රචලිතව පැවැති සියලු මතවාදයන් අධ්‍යයන කළේය. ප්‍රායෝගික අත්හදා බැලීම් කළේය. ඒ සියල්ලෙහි නිසරු බව අවබෝධ කරගෙන, ස්වාධීන ව විමුක්ති මාර්ගය සෙවීමේ වෑයමක නිරත වෙමින්, ස්වයංභූ ඤාණයෙන් සැබෑ විමුක්තිය සහ විමුක්ති මාර්ගය හෙළි කර ගත්තේය. බෞද්ධ දර්ශනය ඒ ව්‍යායාමයෙහි ප්‍රතිඵලය යි.

බුදු දහම ලොව පහළ වන විට ආගම් 62 ක් භාරතයෙහි පැවැති බව ත්‍රිපිටකයෙහි සඳහන් වෙයි. බෞද්ධ මතය අනුව මේ සියල්ල මිථ්‍යා දෘෂ්ටීන් ය. බෞද්ධ විග්‍රහය අනුව ඒ සියල්ල ශාස්වත, උච්ඡේද වශයෙන් අන්තවාදී ඉගැන්වීම් නිසා ඒ කිසිවකින් සත්‍යය හෙළිවන්නේ ද නැත. ඒවා සසර දිගු කරන ඉගැන්වීම් මිස, සසර කෙටි කරන මග පෙන්වීම් නොවේ.

බුදු දහම ඉදිරිපත් කරන විමුක්තිය, තෘෂ්ණාව නැති කිරීමෙන් නිර්වාණාවබෝධය ලැබීමයි. සත්වයා සසර සැරි සරන්නේ තෘෂ්ණාව නිසාය. තෘෂ්ණාව ඇතිවන්නේ අවිද්‍යාව නිසාය. අවිද්‍යාව මුල් වීමෙන් ඇතිවන තෘෂ්ණාව උපාදාන – සංස්කාර – විඤ්ඤාණ – නාම රූප – සළායතන – ස්පර්ශ – වේදනා – ආදී වශයෙන් එකිනෙක සම්බන්ධ වෙමින් සත්වයාගේ සසර ගමන දිගු කරයි. මෙය චක්‍රයක් මෙන් සිදුවන බව පෙන්නුම් කරන්නේ “ පටිච්ච සමුප්පදාය” මගිනි. එය විද්‍යානුකූල හේතු – ඵල වාදයකි.

විශ්වයත්, සත්වයාත් හටගන්නේත්, පවතින්නේත් නිරුද්ධ වන්නේත් හේතු – ප්‍රත්‍යයන්ගේ සමවායයෙන් බව බෞද්ධ ඉගැන්වීමයි. හේතුවක් නිසා හටගන්නා සියල්ල, ඒ හේතුව නැති කිරීමෙන් අවසන් වන බව බෞද්ධ න්‍යායයි. “ හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ඣති”

විමුක්තිය ලබා ගැනීම සඳහා මේ අවබෝධය අත්‍යවශ්‍ය වන අතර, ඒ සඳහා ශ්‍රද්ධාවත්, සිත – කය – වචනය සංවර කර ගැනීමත් අවශ්‍යය. ඒ සඳහා ශීල – සමාධි – ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවන් උපස්ථම්භක වන අතර, මෙත්තා – කරුණා – මුදිතා – උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහරණයත්, සති සම්පජඤ්ඤ හෙවත් මනා සිහි ඇතිව කටයුතු කිරීමත් මහෝපකාරී වෙයි. මේ සියල්ල විමුක්තිය ළඟා කර ගැනීමට අවශ්‍ය වන පූර්ව කෘත්‍යයන් ය.

බුද්ධ දේශනය අනුව, විමුක්තිය ළඟා කර ගත යුත්තේ තමා විසිනි. කිසිඳු දෙවියකුට, බ්‍රහ්මයකුට හෝ අදෘෂ්‍යමාන බලවේගයකට එය ලබා දිය නොහේ. යටත් පිරිසෙයින් සැබෑ විමුක්ති මාර්ගය හෙළි කර දුන් බුදුරජාණන් වහන්සේට පවා තවත් අයකුට විමුක්තිය ලබා දිය නොහැකිය. බුද්ධ භාෂිතයෙහි සඳහන් වන අන්දමට, තම තමන්ගේ විමුක්තිය තම තමන් විසින් ළඟා කර ගතයුතු අතර, බුදුවරයන් පහළ වන්නේ ඒ සඳහා මග කියා දීමට පමණි. “අජ්ජේව කිච්චං ආතප්පං, අක්ඛාතාරෝ තථා ගතා” යන්නෙන් ඒ බව තහවුරු කෙරේ. මේ වූ කලී ඉතාම තර්කානුකූල වූත්, යථාර්ථවාදීවූත් ප්‍රකාශයකි. කෙලෙස් රැස් කරන්නේ පුද්ගලයායි. ඒ කෙලෙස් දුරු කළ යුත්තේත්, දුරු කළ හැක්කේත් කෙලෙස් රැස් කළ පුද්ගලයාටම ය. අවිද්‍යාව නිසා පුද්ගලයාට යථාර්ථය නොවැටහෙන බැවින් තමන්ට එල්ල වී ඇති භයානක ව්‍යසනය ඔහුට නොපෙනේ. ඒ ව්‍යසනයේ ස්වභාවයත්, ඊට හේතු සහ ඉන් මිදෙන මගත් ඔහුට පෙන්වා දීම බුදුවරයන්ගේ කාර්යය වන්නේ ය. බුදුවරුන් ලොව පහළ වන්නේ ඒ අවශ්‍යතාව සඳහා ය.

බුදුවරුන් කලින් කල ලොව පහළ වන්නේ මෝහාන්ධකාරයෙන් වෙළී සත්‍යය වටහාගත නුහුණුව සසර දුකෙහි ගිලී දුක් විඳින අනන්ත වූ සත්වයාට නුවණැස පහළ කරවීමට ය. එසේ පහළ වන උන්වහන්සේලා ලෝක සත්වයාට කියා දෙන්නේ අලුත් දෙයක් නොව, කාලයෙන් වැසී මෝහයෙන් යටපත් වී ගිය පරම සත්‍යයයි. සත්‍යය ලොව සැමදාම පවතී. කලින් කලට සිදුවන්නේ සත්‍යය යටපත් වීමයි. බුදුවරුන් කරන්නේ එසේ යටපත් වූ සත්‍යය යළි ඉස්මතු කර දැක්වීම යි. නෛර්යාණික ශ්‍රී සද්ධර්මය යනුවෙන් අප හඳුන්වන්නේ ඒ අන්දමින් ලෝක සත්වයා වෙත බුදුවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන ධර්මයයි. නෛර්යාණික යන්නෙහි තේරුම නිවනට පමුණුවන’ යන්නයි. බුදු දහම එක එල්ලේ ම යොමුවන්නේ නිර්වාණගාමී ප්‍රතිපදාවට ය. මුළු බුද්ධ ධර්මයම ගොඩ නැගී ඇත්තේ ඊට අනුරූපීව යි. බුදු දහමෙහි ඉගැන්වෙන “බෞද්ධ විමුක්ති මාර්ගය” කුමක්දැයි මීළඟට විමසා බලමු.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් සසර පුරා සැරි සරමින් පාරමිතා පුරමින් ද, සිද්ධාර්ථ තාපස නමින් භාරතීය ආගමික පසුබිම හදාරමින් ද අවසානයේ දී ස්වයංභූ ඥානයෙන් සර්වඥතා ඥානය ලත් බුදු රජාණන් වහන්සේ තමන් සොයා අවබෝධ කරගත් විමුක්ති මාර්ගය ප්‍රථම වතාවට ලෝකයා හමුවෙහි තැබුයේ, උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සූත්‍රයෙනි. එම සූත්‍රය, සමස්ත බෞද්ධ දර්ශනයේ ම පටුනක් වැන්න. සාරාංශයක් වැන්න. දම්සක් පැවතුම් සූත්‍රය අධ්‍යයනය කිරීමෙන් බෞද්ධ විමුක්ති මාර්ගය කුමක්දැයි වටහා ගත හැකිය.

මෙම සූත්‍රය දේශනා කළේ පස්වග මහණුන් අරබයායි. ඒ නිසා ආමන්ත්‍රණයේ දීත්, කරුණු පැහැදිලි කිරීමේදී ත් “ භික්ඛවේ”, යන පදය යොදාගෙන ඇතත්, එය භික්‍ෂූන් සඳහා පමණක් දේශිත ධර්මයක් නොවන බව සිහි තබා ගත යුතුය.

බුදු දහමේ ඉගැන්වෙන විමුක්තිය ලබා ගැනීමට ගිහි – පැවිදි භේදයක් බල පාන්නේ නැත. එහෙත්, “ සම්බාධෝ යං ඝරාවාසෝ” යන බුදු වදන අනුව ගිහි ජීවිතය කරදර කම් කටොලින් පිරුණු කාර්ය බහුල එකක් වන නිසා, ගිහි ජීවිතය ගත කරමින් විමුක්ති මාර්ගය අනුගමනය කිරීම දුෂ්කරය. පැවිදි දිවිය ඉතා සරලවූත් සැහැල්ලුවූත් එකක් නිසා එය විමුක්තිය ළඟා කර ගැනීමට පහසු මගක් වෙයි. බුද්ධ භාෂිතය අනුව, පැවිදි දිවිය අභ්‍යවකාශය මෙන් සැහැල්ලු ය. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා විමුක්තිකාමී පුද්ගලයා අනුගමනය කළ යුතු මාර්ගය එකක් ම වෙයි. දම්සක් පැවතුම් සූත්‍රයෙන් විස්තර වන්නේ ඒ ඒකායන වූ විමුක්ති මාර්ගය යි.

බෞද්ධ විමුක්ති මාර්ගයේ මූලික පියවර වන්නේ තම දිවි පෙවෙත සරල බවට පත් කර ගැනීමයි. ඒ සඳහා අත්හළ යුතු අන්ත දෙකක් තිබේ. එනම් ශරීරයට අසීමාන්තිකව දුක් දීම නම් වූ “ අත්තකිලමථානු යෝගය සහ ශරීරයට අසීමාන්තිකව සැප දීම නම් වූ කාම සුඛල්ලිකානු යෝගයයි. මේ දෙකම පුද්ගලයාට යථාවබෝධය ලැබීමේ අවස්ථාව අහිමි කරයි.

මේ අන්ත දෙක අත්හරින පුද්ගලයා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නකු විය යුතුය. මධ්‍යම ප්‍රතිපදාව යනු, අංග අටකින් සමන්විත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මේ කරුණු අට සම්මා දිට්ඨියෙන් ( යහපත් දැකීම, වැටහීම ) ආරම්භ වී අනුක්‍රමයෙන් චිත්ත ඒකාග්‍රතාව දක්වා ගොඩ නැගී ඇති බව පෙනේ. ඒ එක එකක් එකිනෙකට සාපේක්‍ෂ වන බැවින් විමුක්ති සංඛ්‍යාත වූ නිර්වාණාවබෝධය ඉලක්ක කර පවතී.

ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන විමුක්ති කාමියා ක්‍රමයෙන් සිත දියුණු කර ගැනීමෙන් හා සිත සමාධිගත කර ගැනීමෙන් දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනී. දුක්ඛ සත්‍යය යනු සසර දුකය. සමුදය සත්‍යය යනු ඒ දුක ඇති වීමට හේතුව වූ තෘෂ්ණාවයි. දුක්ඛ නිරෝධ සත්‍යය යනු තෘෂ්ණාව නැති කිරීමට අරමුණු වූ නිර්වාණයයි. දුක්ඛ නිරෝධයට මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍යය නම් වෙයි. මේ චතුරාර්ය සත්‍යය සත්‍ය, කෘත්‍ය, කෘත වශයෙන් තත්වඥානයෙන් අවබෝධ කර ගැනීම නිර්වාණාධිගමය යි. නිර්වාණාධිගමය යනු බෞද්ධ දර්ශනයේ කූට ප්‍රාප්තිය වූ සංසාර විමුක්තිය යි.

නිර්වාණාධිගමය ලබන්නා ආසවක්ඛය ඤාණය ලැබීමෙන් චතුරාර්ය සත්‍යය තත් වූ පරිද්දෙන් පිරිසිඳ දකියි. එහි දී ඔහුගේ සිත කාමාසව, භවාසව හා අවිජ්ජාසවයන්ගෙන් මිදේ. ඒ මිදීමත් සමග භවෝත්පත්තියෙන් හෙවත් පුනර්භවයෙන් ද මිදී සසර ගමන අවසන් කරයි. බුදුරජාණන් වහන්සේ “ නත්ථි ජාති පුනබ්භවෝ” යනුවෙන් උදාන වාක්‍ය පළ කළේ ද එබැවිනි.

දම්සක් පැවතුම් සූත්‍රයේ දී සිද්ධාන්තමය වශයෙන් ඉදිරිපත් කළ විමුක්ති මාර්ගය, බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා වූ පුරා වසර 45 ක් තිස්සේ විග්‍රහ – විවරණ – විස්තර වශයෙන් පැහැදිලි කර දුන් ආකාරය ත්‍රිපිටකය පරිශීලනය කිරීමෙන් සවිස්තරාත්මක ව දත හැකිය.

බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම් අනුව, විමුක්තිය යනු මේ ආත්ම භාවයේදී ම ලබාගත හැක්කකි. ඒ සඳහා අනාගතයේ දී මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වන තුරු බලා සිටිය යුතු නොවේ. ඒ සඳහා ආමිස පූජා පවත්වමින් හෝ තෙරුවන් ඇදහීමෙන් කල් යැවිය යුතු ද නොවේ. බුදු දහම “ ඒහි පස්සික” බව වදාළේ එබැවිනි. එය ප්‍රායෝගික ව අත්හදා බැලිය හැකි, ස්වාධීන චින්තනයට හා මිනිසාගේ ස්වාමිත්වයට ප්‍රමුඛත්වයක් දෙන යථාර්ථවාදී දර්ශනය කි. විමුක්තිය ලබා ගැනීම සඳහා මිනිසාට ඉහළින් කිසිදු දෙවියකු, බ්‍රහ්මයකු තබා බුදුවරයකු ද නැත. බුදුවරුන් පවා කරන්නේ මාර්ගය පෙන්වා දීම පමණි. බෞද්ධ විමුක්තියේත් විමුක්ති මාර්ගයේත් විශේෂත්වය ද එයයි. බුදුරජාණන් වහන්සේ විමුක්ති දායකයකු වන්නේ එසේ නිවැරදි මාර්ගය පෙන්වා දීමෙනි.

ලොව පහළ වූ ආගමික ශාස්තෘන් වහන්සේලා අතර බුදු රජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨතමයා වන්නේ මේ මග පෙන්වීම නිසා ම ය. ලොව පවත්නා අන් සියලු ආගම්වල විමුක්තිය නම් වූ තත්ත්වය ලබා ගත යුත්තේ ශාස්තෘවරයා කෙරෙහි භක්තියෙන් හා ඇදහීමෙන් පුද පූජා පැවැත්වීමෙනි. එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ධර්මය කෙරෙහි විශ්වාසය තබන ලෙස මිස තමන් අදහන ලෙස නොවේ.

ලෝක සත්වයා කෙරෙහි මේ තරම් මහා කරුණාවකින් කැප කිරීමක් කළ ;වනත් ශාස්තෘවරයකු මානව ඉතිහාසයේ මෙතෙක් පහළ වී නොමැතිය.

තෙරුවන් සරණයි!

ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :

අප්පමාදේන මඝවා – දේවානං සෙට්ඨතං ගතෝ අප්පමාදං පසංසන්ති – පමාදෝ ගරහිතෝ සදා අප්‍රම…

අප්පමාදේන මඝවා – දේවානං සෙට්ඨතං ගතෝ
අප්පමාදං පසංසන්ති – පමාදෝ ගරහිතෝ සදා

අප්‍රමාදීව දාන, සිල. භාවනා යන පුණ්‍ය ක්‍රියාවන්හි නියැලෙමු.

විජ්ජා උප්පත්තං සෙට්ඨා (උපන්නාවූ සියලු දෙය අතරින් විද්‍යාව ශ්‍රේෂ්ඨ වේ.) විද්‍යා…

විජ්ජා උප්පත්තං සෙට්ඨා (උපන්නාවූ සියලු දෙය අතරින් විද්‍යාව ශ්‍රේෂ්ඨ වේ.)
විද්‍යාව යනු චතුරාර්‍ය සත්‍ය ධර්මයයි. අවිද්‍යාව යනු එය නොදැනීමයි.
අවිද්‍යා පොත්වල විද්‍යාවෙන් බිඳක්වත් නැහැ. කෙලෙස් සහිත සිත් වලට නොනවත්වා උනන අදහස් (මනෝ සහ වචී සංඛාර) තමයි ලියා තියෙන්නෙත්!. සිවුපසය (කෑමබීම ඉදුම්හිටුම්) ටිකක් උපයාගන්න නම් හොඳයි.

1. දහමට අකමැති බව 2. අසත්පුරුෂයන්ට ප්‍රිය බව 3. සත්පුරුෂයන්ට ප්‍රිය නොකිරීම 4. අ…

1. දහමට අකමැති බව
2. අසත්පුරුෂයන්ට ප්‍රිය බව
3. සත්පුරුෂයන්ට ප්‍රිය නොකිරීම
4. අසත්ධර්මයට කැමති බව
5. නිදනසුලු බව
6. දොඩනසුලු බව
7. මැලි බව
8. වීර්ය නැති බව
9. කිපෙනසුලු බව
10. මවුපියන් පො‍්ෂණය නොකිරීම
11. වංචාව
12. රස බොජුන් තනිවම වැලදීම
13. උඩගු නෑයන් පහත් කොට සැලකීම
14. ස්ත්‍රී ලොල් බව
15. සුරා ලොල් බව
16. දූ කෙළියෙහි ලොල් බව
17. ලද දෑ විනාශ කිරීම
18. වෛශ්‍යා සේවනය
19. පරදාර සේවනය
20. මහලු වියෙහි සිට තරුණියක සරණපාවා ගැනීම
21. අරපරෙස්සම නැති ස්ත්‍රියක ප්‍රධානත්වයෙහි තැබීම
22. අරපරෙස්සම නැති පුරුෂයෙකු ප්‍රධානත්වයෙහි තැබීම

තමන් තුළ මේවා තිබෙනවාදැයි පරික්ෂා කර බලන්න

භගවා යනු “ඉතිපිසෝ” පාඨයේ තිබෙන නවවන බුදු ගුණයයි. මෙම ගුණය පිළිබඳව විස්තර සපයා ගත…

භගවා යනු “ඉතිපිසෝ” පාඨයේ තිබෙන නවවන බුදු ගුණයයි. මෙම ගුණය පිළිබඳව විස්තර සපයා ගත හැකි මූළාශ්‍ර අතර මහා නිද්දේශ පාලිය, විසුද්ධි මග්ගය ප්‍රමුඛ වේ. බුදුන් වහන්සේ බෝධිසත්ව ආත්මභාව වලදී පාරමී ධර්ම සපුරමින් පුරුදු පුහුණු කළ ගුණ සමුදාය මෙම බුදු ගුණ වලින් හෙළි දරව් වේ.

භගවාති වචනං සෙටඨං – භගවාති පද මුත්තමං
ගරු ගාරව යුත්තෝ සෝ -භගවා තේන වුච්චති

යනුවෙන් භගවා යන වචනය ශ්‍රේෂ්ඨ බවත් ‘භගවා’ යන පදය උතුම් බවත්, ගෞරව කළ යුතු අයෙකු පිළිබඳ කියවෙන බවක් ප්‍රකාශ වේ.

මේ අනුව බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි, දිව්‍ය බ්‍රහ්ම, නාග සුපර්ණාදී නා නා විධ ශක්ති විශේෂ ඇති, සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය. ලොව සියල්ලන්ටම වඩා භාග්‍යසම්පන්න ය. එමෙන්ම ලෝකයේ විවිධ අයගෙන් ගරු බුහුමන් ලබති. වැඳුම් පිදුම් ලබන ශ්‍රේෂ්ඨයන් පවා බුදුන් වහන්සේට ගරු බුහුමන් කරති. එය බුදුරජාණන් වහන්සේ කිසිවකුගෙන් බලයෙන් ලබා ගන්නක් නොවේ. හුදෙක් පාරමී බලයේ අනුහස නිසාම, උතුම් වූ සම්බුද්ධත්වයේ අනුහස නිසාම ලැබූවකි.

සැරියුත් මහරහතන් වහන්සේ භගවා යන පදය විවරණය කරමින් නිද්දේශපාලියේ මෙසේ දක්වා ඇත.භගවා යනු ගරු කළ යුතු උත්තම පුද්ගලයන්ගේ, ගරු කළ යුතු භාවය පැවසෙන වචනයකි. එසේම තථාගතයන් වහන්සේ රාගය, ද්වේෂය, මෝහය නැසූ බැවින් භගවා නම් වෙති. දෘෂ්ටීන් නැසූ බැවින්, කෙළෙස් නැමති කටු නැසූ බැවින් ද, ධර්මය උද්දේශ වශයෙන් විභාග කළ බැවින් ද, නිර්දේශ වශයෙන් අනේකාකාරයෙන් විභාග කළ බැවින් ද භගවා නම් වෙති. එසේම කාම භව ආදිය නිමකළ බැවින් ද, කාය භාවනා චිත්ත භාවනා ප්‍රඥා භාවනා ඇති බැවින් ද විමුක්ති සුවය සළසා ගැනීමට විඳීමට මෙකී විවේකී සෙනසුන් භජනය කළ බැවින් ද, චීවරාදී ප්‍රකාශයන් ලබන බැවින් ද, අර්ථ රස, ධර්ම රස, විමුක්ති රස ආදියක් අධි ශීලාදී ප්‍රඥවන් ලබා ඇති බැවින් ද භගවා නම් වෙති. සතර සතිපට්ඨාන, සතර බ්‍රහ්ම විහරණ සතර අරූප සමාපත්ති භජනය කළ බැවින් භගවා නම් වෙති.

මෙසේ දීර්ඝ වශයෙන් භගවා යන ගුණය පිළිබඳව විස්තර කරන සැරියුත් මහ රහතන් වහන්සේ ‘භගවා යන ගුණය සර්වඥතා ඥානය හා සබැඳි අග්‍රඵලයක් හෙවත් ප්‍රතිලාභයක් බවද පවසති. මෙලෙසින් භගවා ගුණය සමස්ත බුද්ධ ධර්මයම සංකල්පයෙන් විවරණය කරන හා අර්ථවත් කරන අවස්ථාවක් ලෙස හඳුනාගත හැකි ය.

භගවා හෙවත් භාග්‍ය ගුණය ධර්ම හයකින් යුක්ත වන බව විසුද්ධි මග්ගයෙහි සඳහන් කොට ඇත.

. ඒවා මෙසේ ය.

1. ඉස්සරිය – ඓශ්චර්ය භාග්‍යය
2. ධම්ම – ධර්ම භාග්‍යය
3. යස – යස භාග්‍යය
4. සිරි – ශ්‍රී භාග්‍යය
5. කාම – කාම භාග්‍යය
6. පයතන – ප්‍රයත්න භාග්‍යය ය.

1. ඉස්සරිය හෙවත් ඓශ්චර්ය භාග්‍යය

මෙයින් ඉසුරු බව කියවෙයි. තම සිත තමා කැමති පරිදි හැසිරවිය හැකි ය. අන්‍යයන්ගේ ද සිත උන්වහන්සේ කැමති පරිදි හැසිරවිය හැකි ය. මේ ඉසුරුමත් බව කෙළෙස් වලින් සපිරුණු අන්‍ය කිසිවෙකුටත් කළ නොහැකි ය. එබැවින් මෙම ගුණය චිත්තේශවර ගුණය ලෙස දක්වයි. මෙලෙසින් සමාධි සම්පත්තීශ්වර බවද සෘද්ධීශ්වර බවද, ධර්මේශ්වර බවද, සංඝේශ්වර බවද ගණේශ්වර බවද, ලෝකයාට ම අධිපති බැවින් ලෝකේශ්වර බව ද බුදුරදුන් තුළ පවතින මහඟු සම්පත්තීන් ය.

ඉහත දැක්වුණු සියලු ඓශ්චර්ය ලක්‍ෂණ හුදෙක් චිත්තේශ්වර ලක්‍ෂණය නිසාම පවතින බව ප්‍රකට වේ. ලාභ අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප දුක් යන අටලෝ දහමින් කම්පා නොවන බවද මේ චිත්තේශ්වර බව නිසාම පවතින්නකි.

මීට අමතරව මේ හා බැඳී පවතින සෘද්ධිමය ස්වභාවය ගැන කියවෙන ලක්‍ෂණ අටක් පවතී. ඒවා නම්,

1. අනිමා – එනම් තම ශරීරය ඉතා කුඩා කිරීමට හැකි බවය. අබ ඇටයක් පමණ ප්‍රමාණයක් තුළ තුන් සිව්රු දරමින් සතර ඉරියව් පැවැත්විය හැකි බව.
2. මහිමා – කැමති ප්‍රමාණයකට ශරීරය විශාල කළ හැකි බව.
3. පත්ති – කොපමණ දුරකට වුවද, පිට සක්වලකට වුවද එක්කළ අතක් දික්කරන කාලය තුළ ගොස් ආපසු පැමිණිය හැකි බව.
4. පාකම්ම – ගිනි, දිය, සුළං ආදිය ක්‍ෂණයකින් නිර්මාණය කොට ප්‍රාතිහාර්ය පැහැකි බව.
5. ලඝිමා – සිතට අනුකූල අයුරින් කය කැමති පරිදි ඕනෑම අවස්ථාවක ක්‍රියා කරවිය හැකි බව මෙන්ම සැහැල්ලු කළ හැකි බව.
6. ඊසිතා – ලෝකයේ සියලු දෙනා (දෙව් බඹුන් ආදී) තම වසඟයට ගත හැකි බව.
7. වසිතා – ඕනෑම අරමුණකට අගසිට මුල දක්වාත් මුල සිට අග දක්වාත් ධ්‍යාන වලට සමවැදි නැගී සිටිය හැකි බව.
8. යත්ථ කාම වසායිතා – නියමිත කාලයෙහි නියමිත ප්‍රදේශයේ කැමති පරිදි ප්‍රාතිහාර්ය පෑ හැකි බව යන මේවාද බුදුන් වහන්සේගේ ඓශ්චර්යය භාග්‍යයෙහි විශේෂ ලක්‍ෂණයෝ වෙති.

2. ධර්ම භාග්‍යය

ධර්මයෙහි පවතින සුවිශේෂ ගුණාංගවලින් සමන්විත ව ධ්‍යාන අභිඥානවලින් පෝෂිතව, ෂඩ් අසාධාරණ ඤාණ දරන බැවින් බුදුන් වහන්සේ ධර්ම ඓශ්චර්යයෙන් යුතු උතුමකු බව ප්‍රකට කරති.

3. යස භාග්‍යය

බුදුන් වහන්සේට විවිධ ස්වරූපයෙන් පැවති පැතිරී ගිය කීර්තිය, පරිවාර සම්පත්තිය යස භාග්‍ය යන ගුණයෙන් හෙළිදරව් කෙරේ. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක, උපාසිකා පමණ නොව දිව්‍ය බ්‍රහ්ම නාග ආදී විවිධ අයගේ ගරු බුහුමනට ලක් වෙමින් ඒ පිරිස් ඒ අවස්ථාවල පිරිවරමින් වැඩ සිටීමට පසුබිම සැළසී තිබීම යස ඓශ්චර්යේ තවත් ලක්‍ෂණයකි.

4. ශ්‍රී භාග්‍යය

එනම් රූප සොභාවයි. බුදුන් වහන්සේට දකින්නන්ගේ මන නුවන් සනහා ලන රූප ශ්‍රීයක් තිබුණ බව කියවේ. එසේ ම පිරිසුදු බව, පැහැපත් බව, ඉරියව් පැවැත්වීම, කතා කිරීම, බැලීම, සිනාසීම ආදී සියලු ක්‍රියාවලින් ද මෙම භාග්‍ය ලක්‍ෂණය හෙළිදරව් වෙති. උන්වහන්සේ දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණ අසීති අනුවෘඤය ලක්‍ෂණ, බණමප්‍රභා, කේතුමාලාලංකාර ආදී සුවිශේෂී ගුණ වලින් යුක්ත වූ බැවින් ද මෙම ගුණය ප්‍රකට කෙරේ. දීඝ නිකායේ ලක්‍ඛණ සූත්‍රය, මජ්ඣිම නිකායේ බ්‍රාහ්මායුෂ සූත්‍රය ආදිය මෙම ලක්‍ෂණ පිළිබඳව විස්තර කෙරෙන සූත්‍ර ධර්මයන් ය. බුදු හිමියන්ගේ සිරුරෙහි සෝභාව කෙබඳුද යත් වක්කලී හිමියන් බුදු සිරුරට වසඟව නිතර නිතර බලමින් ක්‍රියා කළ පුවත දැක්වෙන විස්තරයෙන් හෙළිදරව් වේ.

5. කාම භාග්‍යය

තමන්ගේ ප්‍රාර්ථනාවන් සිතුම් පැතුම් කැමති පරිදි ඉටුකර ගැනීමට හැකි බව කාම භාග්‍යයයි. උදාහරණයක් ලෙස සුමේධ තාපස අවධියෙහි බුදු වෙම්වායි කළ ප්‍රාර්ථනාව කැමති පරිදිම ඉටුවිය පෘථග්ජනයන් මෙන්ම වෙනත් බොහෝ අය විවිධ ප්‍රාර්ථනාවන් කළ ද ඒවා සිතැඟි පරිදි ඉටු නොවේ. නමුත් බුදුන් වහන්සේ ආත්මාර්ථ ප්‍රාර්ථනාවන් එලෙසින් ම ඉටුකර ගත්තාක් මෙන් ම පරාර්ථ ප්‍රාර්ථනා අතර අසංඛ්‍ය විසිහතරක් සත්වයන් සසර කතරින් එතෙර කරවූහ. මෙසේ කැමති පරිදි ආත්මාර්ථ පරාර්ථ සාධනය සිදු කළ හැකිවීමේ භාග්‍යය නිසා බුදුන් වහන්සේ භගවා නම් වෙති.

6. ප්‍රයත්න භාග්‍යය

ප්‍රයත්න නම් උත්සාහයයි. ආත්මාර්ථ හා පරාර්ථ සාධනය පරමාර්ථ කරගෙන කරන ලද උත්සාහය නිසා බුද්ධත්වයට පත්විය හැකි විය. දැඩි උත්සාහයත් වීර්යයත් නිසා බුද්ධ කෘත්‍යය සිදු කිරීමට හැකි වූහ. මෙය වෙනත් කෙනෙකුට කළ හැක්කැක් නොවේ. මෙබඳු මහා ප්‍රයත්නයකින් සමන්විත වන බැවින් බුදුරජාණන් වහන්සේ ‘භගවා’ නමින් හඳුන්වනු ලබති.

සමස්තයක් ගෙන බලන විට සියලු ශාස්තෘන් අතර සියලු වාසනාවන්ත පින් සලකුණු මෙන්ම භාග්‍යසම්පන්න, ආධ්‍යාත්මික බාහිර ගති ලක්‍ෂණ බුදුරජාණන් වහන්සේ තුළ පිහිටි බැවින් ‘භගවා’ නම් වන බව තහවුරු කළ හැකි ය.

තෙරුවන් සරණයි!

කණුමුල්දෙනියේ චන්දවිමල නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :
නව අරහාදී බුදුගුණ