Monthly Archives: December 2014

බෝසතාණන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීණ කොට ලොවුතුරා බුද්ධත්වයට පත්වීම, බොහෝ සෙයින්…

බෝසතාණන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීණ කොට ලොවුතුරා බුද්ධත්වයට පත්වීම, බොහෝ සෙයින් ත්‍රිපිටකයෙහි නිරූපණය කරන්නේ මාරයා ජය ගැනීමක් සේයි. එහිලා පාපිම – පජාපති – පමත්තබන්ධු – අන්තක – නමුචි – කණ්හ ආදී පර්යාය නාම රාශියකින් හැඳින්වෙන පුල්ලිංග වාචී මාර ශබ්දය තුන් පිටකයේ සෑම ග්‍රන්ථයක ම පාහේ දක්නට ලැබෙන බුදු දහමට ආවේණික වූ සුවිශේෂී ශබ්දයකි.

නේරංජනා නදී තීරයේ ප්‍රධන් වීර්ය වඩන බෝසතාණන් වහන්සේ වෙත පැමිණි මාරයා ඔබ දුර්වලයි, මරණය අත ළඟයි, ඔබ දහස් පංගුවකින් මරණයට ළඟා වී ඇත. ජීවත් වීමට ඇත්තේ දහසකින් පංගුවක් පමණයි. පින්වත ජීවත් වන්න. ජීවිතය ශ්‍රේෂ්ඨයි. ජීවත් වීමෙන් පින් කළ හැකි ය. ප්‍රධන් වීර්යයයෙන් කුමක් කළ හැකි ද ? යනුවෙන් කියයි. බෝසතාණෝ අංශු මාත්‍ර පිනකින් මට වැඩක් නැත. යමෙකුට පිනෙන් වැඩක් වේ නම් එය ඔවුන්ට කියන්න. මට ශ්‍රද්ධාව ඇත. වීර්යය ඇත. වජ්‍රයක් හා සමාන ප්‍රඥාව ඇත. මෙසේ නිවන් පිණිස කැප වූ මට ජීවත් වන්න කියන්නේ කුමක් නිසා ද ? මාගේ ශරීරවාතය ගඟදිය දහර වුවත් වියළවයි. ප්‍රහිතාත්මවූ මා නොවියළවයිද ලේ වියලුනාම පිතත් සෙමත් වියළයි. මස් වියලද්දී බොහෝ සෙයින් සිත ප්‍රසන්න වෙයි. මාගේ සිහිය, ප්‍රඥාව හා සමාධිය වැඩෙයි. මෙසේ වෙසෙන වේදනාවට පත් මාගේ සිත කාමයන් අපේක්‍ෂා නොකරයි. සත්වයාගේ පාරිශුද්ධිය බලව. බෝසතාණන් වහන්සේ සමීපයට මාරයා පැමිණි ළෙන්ගතු ස්වරූපයෙන් බුද්ධත්වය වැළැක්වීම පිණිස ගත් උත්සාහය මින් ප්‍රකට කෙරේ.

එසේ ම දුෂ්කර ක්‍රියා කළ සමයේ වසර සයකුත් බුද්ධත්වයෙන් වසරකුත් පමණ කාලයක් බුදුරජාණන් වහන්සේගේ සිදුරු සොයමින් මාරයා ලුහුබැන්ද ආකාරය සංයුක්ත නිකායේ සත්තවස්සික සූත්‍රයේ විස්තර කෙරේ. බුදුරජාණන් වහන්සේ මාරයාව සිය වසඟයට ගත නොහැකිව උකටලීව සිටින විට මාර දියණියන් වන තණ්හා රතී රඟා හා විවිධ හාව භාව ක්‍රියාවන්ගෙන් වසඟ කිරීමට ගත් ප්‍රයත්න මාරාධිතු සූත්‍රයේ වැලැක් වූ සැටි පාරාජිකා පාලියෙන් හෙළි වේ. මාරයා ඇතකු ලෙස මහා සර්පයකු ලෙස වෙස්ගත් අවස්ථා සූත්‍රයන්හි සඳහන් වේ. සංයුක්ත නිකායේ ගෝධික වැනි සූත්‍රවලින් මාරයා දුමක් සේ අතුරුදහන් වන සැටි ප්‍රකටයි.

මජ්ඣිම නිකායේ බ්‍රහ්මනිමන්තණික සූත්‍රයේ බක බ්‍රහ්මයා දමනය කිරීම සඳහා බුදුරදුන් බඹ ලොවට වැඩම කළ අවස්ථාවේ දී මාරයා එක්තරා බ්‍රහ්මයෙකුට ආවේශ වී ඔහු එම බ්‍රහ්මයා දමනය නොකරන ලෙස බුදුරජාණන් වහන්සේට තර්ජනය කොට ඇත. මැඳුම් සගියේ මාර තජ්ජනීය සූත්‍රයේ මුගලන් මහ රහතන් වහන්සේගේ ආමාශයට මාරයා පිවිසි අපූර්ව කථාවක් සඳහන් වේ. එම සූත්‍රයේ මාරයා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සමයේ දුසී නමැති මාරයාව උපන් බවත් තම සොහොයුරිය වූ කාලි නැමත්තියගේ පුතා වශයෙන් මුගලන් මහ රහතන් වහන්සේ එදා උපන් බවත් මාරයා කියයි. බුදුරජාණන් වහන්සේට පමණක්නොව ශාවක ශ්‍රාවිකා දෙපිරිසටම අවැඩ කළ බව ත්‍රිපිටකාගත සූත්‍රයන්හි එයි. මෙතෙක් අප ඉදිරිපත් කළේ පෙළෙහි ඇතුළත් මාරයා පිළිබිඹු කරන සූත්‍රයන්ගෙන් අතලොස්සකි. මින් මාරයාගේ ස්වරූප යම් ආකාරයකින් හඳුනාගත හැකිය. විශේෂයෙන් පුද්ගලත්වාරෝපිත මාර ස්වභාවයක් මේ ආදී බොහෝ සූත්‍රයන්හි ඇතුළත් වේ. මේ නිසා පුරාතනයේ සිට මාර සංකල්පය විවාදාපන්න මාතෘකාවක් බවට පත්ව ඇත. එම නිසා යහපත් ගුණධර්මවලට නොකැමැති මාරයෙක් හෝ අන් නමකින් කියැවෙන එවැනි පුද්ගලයෙක් හෝ ඕනෑ කරන්නේ මැවුම්කරුවන් විශ්වාස කරන ආගම්වලට බවත් කර්ම විපාක අදහන බෞද්ධ ආගමට එවැනි දෙවියකුගෙන් පළක් නැත යනුවෙන් ඇතැම් බහුශ්‍රැත පඬිවරු මාර සංකල්පය විවේචනය කරති. ධර්මයෙහිත් ධර්ම විවරණයෙහිත් සඳහන් මාරයා පිළිබඳ ප්‍රවෘත්ති කිසිසේත්ම බැහැර නොකළ යුතු බව තවත් බහ්‍රශ්‍රැත විශාරද පඬිවරුන්ගේ අදහසයි. මාරයාගේ පුද්ගලත්වාරෝපණය පිළිබඳ බුද්ධි ගෝචර විවරණයක් ක්ලේශ මාර ලිපියෙහි පූජ්‍ය හෑගොඩ ඛෙමානන්ද නාහිමියෝ ඉදිරිපත් කරති. එනම් ප්‍රාණය නිරුද්ධ වීමෙන් සිදුවන මරණය මච්චුමාර නම් වන අතර සත්වයන්ට සියලු කරදර සිදු කරන හේතු ද බුදු දහමේ මාර නාමයෙන් ගැනේ.

පාලි භාෂාවටම ආවේණික වූ මාර ශබ්දය බ්‍රාහ්මණ සාහිත්‍යයේ එන පාප්මා මෘත්‍යු වැනි හෝ වචනයන්ගේ ආභාෂයෙන් බිහි වූවක් නොවේ. ඉන්ද්‍ර නමුචි වැනි අමනුෂ්‍යයන් අතර ඇති වූ සටන් පිළිබඳ පුරාවෘත්ත බ්‍රාහ්මණ සාහිත්‍යයේ ඇතත් එහි ආභාෂයෙන් මාර පර්යාය නමුචි යන්න බිහිවූයේ හෝ නොවේ. මාරයාගේ විෂය ඉක්මවීමට රුචි දෙවි මිනිසුන් නොමිදෙන්නට කරදර පීඩා කරන නිසා නමුචි යැයි අටුවාවේ එම පදය විග්‍රහ කරයි. පවු බැහැර කළ යන අර්ථයෙන් රහතන් වහන්සේට බ්‍රාහ්මණ යන වචනය භාවිතා කළාක් මෙන් තත්කාලීන පූජනීයත්වයෙන් සැලකූ ආගමික ව්‍යවහාරයන් ධර්ම සංකල්ප සඳහා යොදාගත් න්‍යාය ඊට බලපා ඇත.

නරකය, පාපය, අකුසලය, මැරීම, මරණය, විනාශය, රෝගය, හිතුවක්කාරකම, චණ්ඩිකම, සදාචාර විරෝධී ක්‍රියාකාරකම් ලෝභාදී කෙලෙස් නානා ප්‍රකාර අර්ථ මාර යන වචනයෙන් ගම්‍ය වේ. එම නිසා ධර්ම විරෝධී බලවේගයන්ගේ ක්‍රියාකාරකම් විචිත්‍ර ලෙස සාහිත්‍යයේ නිරූපණය කොට ඇත.

අටුවාකරණයේ දී මාර සංකල්ප ක්‍රමයෙන් වර්ධනය වන ආකාරය පැහැදිලි කරුණකි. දීඝ නිකායේ අටුවා කථාවේදී මාරයන් තිදෙනකු ද, සුත්ත නිද්දේස අටුවාවේ දී එය සිවුදෙනෙක් ලෙස ද පෝෂණය වී ඇති බව පෙනේ.

සිවු වැදෑරුම් මාර සංකල්පය පස් වැදෑරුම් ලෙස ද වර්ධනය වූ බව ද පෙනේ.

1. බන්ධමාර (ස්ඛන්ධ මාර)
2. ක්ලේශමාර (ක්ළේෂ මාර)
3. අභිසංඛාරමාර (අභිසංස්කාර මාර)
4. මච්චුමාර (මෘත්‍යු මාර)
5. දේවපුත්තමාර (දේවපුත්‍ර මාර) යනු ඒ පඤ්ච මාරයෝ ය.

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ පස ඛන්ධ මාර නම්, අභිසංස්කාර මාර යනු කුසලාකුසලයන්ගේ විග්‍රහයයි. එය තෙවැදෑරුම් වේ. එනම් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාහි සංඛාර, අනෙඤ්ඡාහි සංඛාර යි. රාගාදී කෙලෙස් සමූහය ක්ලේෂ මාර යන්නෙන් හැඳින්වේ. මච්චු මාර යනු ස්ඛන්ධයන්ගේ බිඳීමෙන් වන මරණයයි. දේවපුත්ත මාර යනු පරනිම්මිත වසවර්තියෙහි යම් ප්‍රදේශයක වසමින් සිය පිරිසෙහි ඉසුරු බව පවත්වන මහානුභාව සම්පන්න මාරයෙකි. පුද්ගලයකුගේ ස්වරූපයෙන් පෙනී සිටින එකම මාරයා මොහුය. දේවපුත්ත මාරයා අවසානයටම එකතු වී ඇත. මෙවැනි මාර විග්‍රහයක් මුල් බුදු සමයේ නැත. එහෙත් පෙළෙහි අන්තර්ගත සූත්‍ර ධර්ම අනුව ස්වකීය ප්‍රතිභා ශක්තියෙන් විවරණය වූ ධර්මානුකූල සංස්කරණයක් වශයෙන් හැඳින්විය හැකි ය.

මාරයා යනු කවරෙක්දැයි ප්‍රශ්න කළ රාද තෙරුන්ට බුදුරජාණන් වහන්සේ වදාළේ රූපං ඛෝ රාධ මාරෝ, වේදනා මාරෝ, සඤ්ඤා මාරෝ, සංකාරා මාරෝ, විඤ්ඤාණං මාරෝ යනුවෙනි.සංයුක්ත නිකායේ ඛන්ධක වර්ගයේ මාර සූත්‍රයේ සඳහන් එම දේශනාව අනුව මාරයා යනු රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන පඤ්චස්ඛන්ධයයි. එහිම ප්‍රථම මාර වර්ගයේ මාර සූත්‍රයේ රාධය රූපය ඇති කල්හි මරු ( මරණය ) හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ ය. එනිසා මෙහි රූපය මරු යැයි දකින්න. මැරිය යුත්තා යැයි දකිමු. ගව යැයි දකිමු. හුල යැයි දකිමු. ව්‍යසනය යැයි දකිමු. ව්‍යසනයට පැමිණියැකැයි දකිමු. යම් කෙනෙක් එය ( රූපය ) මෙසේ දකිත්ද ඔහු මැනවින් දකිත්. මෙසේ සෙසු බන්ධකයන් ද දේශනා කරන සේක. තවත් වර්ග කිරීමක දී මාරයා ඇස, කණ, දිව, නාසය, ශරීරය හා මන යන ඉන්ද්‍රිය සය ලෙසත් සංයුත්ත නිකායේ අන්තර්ගතයි. මාරයාගේ බලසම්පන්න සේනාව නම්

1. කාමය
2. අරතිය
3. සාපිපාසාව
4. තෘෂ්ණාව
5. ථිනමිද්ධ
6. බිය
7. සැකය
8. ගුණමකු බව
9. ලාභ, පැසසුම්, සත්කාර, වැරදි මගින් ලබන යසස
10. තමන් උසස්කොට තැකීම

සංයුක්ත නිකායේ පධාන සූත්‍රයේ එම කරුණු ඇතුළත් වේ.

කායික වාචසික මානසික සියලු කෙලෙස් ධර්ම ( සබ්බා කුසලාභි සංඛාරා ) මාර සේනාව ලෙස මහා නිද්දේස පාලියෙහි පැහැදිලි කරයි. අභිධර්මයේ දී තෘෂ්ණාව හඳුන්වා ඇත්තේ මාරයාගේ කොටස මාරයාගේ බිලී කොක්ක මාරයාගේ විජිතය යනුවෙනි. දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයේ මාර බලය සේ ඉතා දුක සේ මැඬලිය යුතු අන් එකදු බලයක් මම නො දකිමියි වදාරති.

පඤ්චකාම නමැති අගොචරස්ථානයේ වසන්නා නිරන්තරයෙන් මාරයාට ගොදුරු වන බවත් සතර සතිපට්ඨාන නමැති ගෝචරස්ථානයේ වසන්නා මාරයාගේ අරමුණුවලට අසු නොවන බව එම සූත්‍රයෙන් පැහැදිලි වේ. බුදු දහමෙහි කරනු ලබන්නේ සකලවිධ ප්‍රපංච ධර්මයෝ. ක්ලේෂ ප්‍රහාණය මාර යුද්ධයක් වශයෙන් වෙලාවකට එහි ඇති අතිශය දුෂ්කරත්වය පෙන්වීමට විය හැක.

තෙරුවන් සරණයි!

හෑගොඩ විපස්සි හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :

සිත පාලනය කර ගැනීම සියලු සැපයට මුලයි. සිත අයාලේ යන්නට හැරීම සියලු දුකට මුලයි. ස…

සිත පාලනය කර ගැනීම සියලු සැපයට මුලයි.
සිත අයාලේ යන්නට හැරීම සියලු දුකට මුලයි.

සිත පාලනය කිරීම සියල්ල පාලනය කිරීම වැනිය

~~ අනාථයෙක් ලෙස නොමියෙන්නට උදව් වන කරුණු ~~ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධ…

~~ අනාථයෙක් ලෙස නොමියෙන්නට උදව් වන කරුණු ~~

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සනාථා භික්ඛවේ විහරථ මා අනාථා
දුක්ඛං භික්ඛවේ අනාථා විහරති
දස ඉමෙ භික්ඛවේ නාථකරණ ධම්මා
කතමේ දස……
(නාථකරණ සූත්‍රය, දසත නිපාතය අංගුත්තර නිකාය)

පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ විසින්, අනාථ නොවී සනාථවීමට හේතුවන කරුණු දහයක් දේශනා කර තිබේ. එම කරුණු දස නාථකරණ ධර්ම ලෙසයි හැඳින්වෙන්නේ. නාථ යනුවෙන් අදහස් වන්නේ පිහිට උපකාරනය, උදව්ව යන්නයි. යමෙකුගේ සැපයට යම් කරුණු දහයක් පිහිට වේ නම් ඒවා දසනාථකරණ ධර්මයයි. භික්ෂූන් වහන්සේලා අරභයා දේශනා කර ඇතත්, දුකට පත් නොවී සැප ලැබුමට අපේක්ෂා කරන ගිහි පැවිදි කවරෙකුට වුවද මෙම කරුණු අතිශයින්ම වැදගත් වෙයි. අනාථ වීම දුකට හේතුවන බැවින්, අනාථ නොවී සනාථ වන ලෙස අනුශාසනා කරන උන්වහන්සේ නාථකරණය ධර්ම දහය මෙසේ වදාරා තිබේ.

සීලවා හෝති
බහුස්සුතෝච හෝති
කල්‍යාණ මිත්තෝච හෝති
සුවචෝ හෝති
දක්ඛෝච හෝති
ධම්මකාමෝ හෝති
ආරද්ධවිරියෝ හෝති
සන්තුට්ඨෝ හෝති
සතිමා හෝති
පඤ්ඤවා හෝති

අනාථයෙකු නොවී සනාථයෙකුවීමට හේතුවන පළමුවන කාරණය නම් සීලවත්කමයි. සීලවත්කම නම් යහපත් චරිතයක් ඇති බවයි. තිදොර සංවර කර ගැනීම සිල්වත්කමට අවශ්‍යම දෙයකි. චරිතය පිරිසුදු වුණොත්, දෙවියොත් නමස්කාර කරන බව ඔබ අසා ඇති. සිල්වතා කිසිවිටෙක, අකටයුතුවල නොයෙදයි. එනිසාම ඔහු කිසිවිටෙක අනාථයෙකු නොවේ.
අනාථ නොවීමට හේතුවන දෙවන කරුණ බහුශ්‍රැත කමයි. එනම් බොහෝ ඇසූ පිරූකම් ඇති බවයි. අප ඉගෙනුම ලබන දේවලින් වැඩිහරියක් ග්‍රහණය කරගන්නේ ඇසීමෙනි.ලිවීමේ හා කියවීමේ හැකියාව නැති අයට පවා බොහෝ දේ පිළිබඳව දැනුම ලැබුමට ඇසීම ප්‍රයෝජන වෙයි. බොහෝ දේ දන්නාවිට ඕනෑම තැනක ජීවත්වීමට හැකියාව ලැබෙන අතර, හොඳ නරක අවබෝධ කරන නිවැරැදි දිවියක් ගෙවීමට හැකිය. ශ්‍රැතවත් බව නිසාම ඔහු කිසිවිටෙක අසරණ අනාථ පුද්ගලයෙකු බවට පත් නොවෙයි.
කල්‍යාණමිත්‍රතාව ද අනාථ නොවී ජීවිතය සාර්ථක කර ගැනීමට හේතුවන කාරණයෙකි. මෙහිදී තමා හොඳ කල්‍යාණ මිත්‍රයෙකු වීම හා කල්‍යාණ මිත්‍ර ආශ්‍රය යන අංශ දෙකම වැදගත් වෙයි. මිත්‍රයෙකු තුළ තිබියයුතු ලක්ෂණවලින් යුතුව තමා අන්‍යයන්ට යහපත් කල්‍යාණ මිත්‍රයෙකු වේනම් අන්‍යයන්ද තමාට කණ මිතුරන් සේ සලකනු ලබයි. කිසිවකුට හුදෙකලාව ජීවත්වීමට අපහසුය.සමාජයේ විවිධ පුද්ගලයන් සමඟ සම්බන්ධවීමට සිදුවෙයි. අපට හමුවන සැමදෙනම යහපත් නොවෙයි. වැඩිපිරිසක් මිත්‍ර ස්වභාවයෙන් පෙනී සිටින්නන්ය. සිඟාලෝවාද සූත්‍රයේ දී ඇසුරට සුදුසු හා නුසුදුසු පුද්ගලයින් වෙනවෙනම පෙන්වා ඇත. කපටිකම් හා අසද්පුරුෂ ගති ඇති ආත්මාර්ථකාමීව ක්‍රියාකරන අවස්ථාවාදීන් නියම මිත්‍රයන් නොවේ. නියම යහළුවකු, මිතුරකු, අසල්වැසියකු ඥාතියකු ඇසුරට ලැබේ නම් වාසනාවකි. විපතක් වූ විටද, ආහාරපාන හිඟ දුර්භික්ෂ අවස්ථාවලදී ද මරණයේදීද යමෙක් තමා ළඟ සිටීනම් ඔහු නියම නෑයෙකු, මිත්‍රයෙකු, අසල්වැසියකු වන බව පැරණි පඬිවරයෙකුගේ අදහසකි. කල්‍යාණ මිත්‍රයෙක් කිසිවිට තම යාළුවාගේ පිරිහීමට අකැමැති වෙයි. යාළුවා ආරක්ෂා කර ගනියි. නිසි මඟ පෙන්වයි. යහපත දැක සතුටු වෙයි.එබඳු යහපත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම නිසා කිසි විටෙක තමා අනාථයෙකු අසරණයෙකු නොවෙයි.
අනාථ නොවීමේ සිව්වන කාරණය සුවච බව හෙවත් කීකරුකමයි. එනම් යටහත් පහත් ගති පැවැතුම් ඇති බවයි.කුඩා කාලයේ අප කාටත් දෙමාපිය වැඩිහිටි ගුරුවරාදීන්ට යටහත්ව කීකරුව කටයුතු කිරීමට සිදුවෙයි. වයස් ගත වූ විට තම දරුවන්ට කීකරුව සිටීමටද සිදුවෙයි. කීකරු වූ විට අන්‍යයන්ගේ අවධානය, ආදරය සෙනෙහස, හා ආරක්ෂාව ලබා ගැනීමට පහසුය. ගෙදර ඇති කරන සුනඛයා වුවත් කීකරු නම් ඒ සතාට ලැබෙන සැලකිල්ල ආරක්ෂාව අප දැක ඇත. ඇතැම්විට අප අපටම කීකරුවිය යුතු ය. අකීකරු සිතක් ඇතිවිට, පංච ඉන්ද්‍රියන් පාලනය කරගත නොහැකිය. එනිසාම අපට අනාථවීමට සිදුවන අවස්ථා එමටය.

දක්ඛො, නම් දක්ෂ බවයි. එනම් අප කරන විවිධ ක්‍රියාකාරකම්වලදී දක්ෂවීමයි. දක්ෂ නොවේනම් ජීවිතයක් සාර්ථකත්වය කරා ළං නොවෙයි.

යමෙක් අනාථයෙකු අසරණ අයෙකු වී සිටීනම් එයට ප්‍රධාන හේතුව අදක්ෂයෙකුවීමයි. ඉගෙනුමට දක්ෂ වීම සියලු කාර්යයන් සාර්ථකවීමට හේතුවකි. තමා කරන රැකියාවේ දක්ෂයෙකු නොවේනම් ඔහු කෙතරම් අවාසනාවන්තයෙක්ද? අපගේ හාමුදුරුනමක් වුවත් දේශකත්වයට, ලේඛකත්වයට අන්‍යෝන්‍ය සබඳතා ගොඩනඟාගෙන කටයුතු කිරීමට නොහැකි නම් එම භික්ෂු ජීවිතය කෙතරම් අසාර්ථකවේද? කෙතරම් අනාථ අසරණ තත්ත්වයකට පත් වේද? ගිහි පැවිදි කාහටවුවද දක්ෂ බව තිබිය යුත්තේ අනාථ නොවීමට හේතුවන නිසාය.ධර්මයෙන් ජීවත් වන්නා ධර්මයෙන්ම ආරක්ෂා ලබයි. ධර්මකාමී ජීවිතය අනාථයෙකු නොවී සනාථයෙකු වීමට පිහිට වෙයි.

යම් කාර්යයක් උත්සාහයෙන් ආරම්භ කළයුතු අතර වීර්යය ඇතිව කටයුතු කළ හැකි නම් එය සාර්ථක ජීවිතයකට බලපාන කරුණකි. එනිසා මෙයද සනාථවීමට කරුණකි.

ලද දෙයින් සතුටුවීමේ ගුණය කා තුළ වුවද තිබිය යුතු ගුණාංගයකි. පී‍්‍රතිමත් ජීවිතයට එය හේතුවකි. නොලද දේ ගැන දුක් නොවී ලද දේ ආරක්ෂා කර ගැනීම හා ඒ තුළින් සතුටුවීම ‘සන්තුට්ඨො’ යනුවෙන් හැඳින්වේ.

“සතිමා, නම් සිහියෙන් කටයුතු කිරීමයි. එක්වර බොහෝ දේ සිතෙහි ධාරණය කර ගැනීමට අපහසුය. අවශ්‍ය දේ පමණක් සිතට ගැනීම, අනවශ්‍ය දෑ ඉවත් කිරීමට අප දක්ෂ වියයුතුය. ඇතැම් විට සිතෙහි තිබිය යුතු දේ නොව නොතිබියයුතු දේ සිතෙහි පුරවාගෙන කටයුතු කරන පුද්ගලයින් අසිහියෙන් ක්‍රියා කරන්නන් බවට පත්වන අතර එනිසා ඔවුන්ගේ ජීවිත අවුල් සහගත වෙයි. අසිහියෙන් කටයුතු කරන්නේ නම් අනාථ අසරණ තත්ත්වයට පත්වෙයි.

නැණවත්කම, සනාථවීමට හේතුවන වැදගත් කරුණු අතර ප්‍රධාන වෙයි. එය “පඤ්ඤවා” යනුවෙන් හැඳින්වෙයි. උගත්කමයි නැණවත්කමයි දෙකකි. උගත් වූ පමණින් නැණවත් නොවෙයි. නැණවතා හිතන්නෙකි. හොඳ නරක, කුසල් අකුසල්, යුතුකම් හා අයුතුකම්, කළයුතු හා නොකළයුත්ත ඔහුට වැටහෙයි. ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීමට ඔහු දක්ෂ වෙයි. එනිසා නැණවතා සාර්ථකත්වයට පත්වන්නෙකි. ඔහුට ලැබෙන විශේෂ හැකියා තුනකි. ආය කෞශල්‍යය, අපාය කෞශල්‍යය, උපාය කෞශල්‍යය නම් ඒ තුනයි. මෙම නාථකරණ කරුණු උපයෝගී කරගෙන සනාථ වී මෙලොව පරලොව ජය ලබන්නත්, සසර ජය ලබන්නත් උත්සාහ කිරීම සුදුසු ය.

ඔබ සැමට තෙරුවන් සරණයි.
බුදුසරණ අන්තර්ජාල කලාපය ඇසුරෙනි -බටුගොඩ සංකිච්චායන නා හිමි

සසරේ බියකරු බව යලි යලිත් පසක් කරදෙන මෙවැනි ව්‍යසන. අප්‍රමාදීව ධර්මයෙහි හැසිරීමට…

සසරේ බියකරු බව යලි යලිත් පසක් කරදෙන මෙවැනි ව්‍යසන. අප්‍රමාදීව ධර්මයෙහි හැසිරීමට මේවා කමටහනක් කරගමු.

මේ වැසි දිනවල අනතුරට පත්වූ සතුන්ට අභය දානය ලබා දෙමු. එය ඉතා විශාල පින්කමකි. එහි…

මේ වැසි දිනවල අනතුරට පත්වූ සතුන්ට අභය දානය ලබා දෙමු.
එය ඉතා විශාල පින්කමකි. එහි ආනිසංස

මරණයට කැප වූ බයින් තැතිගත් අසරණ සතුන් කරුණාවෙන් යුතුව මරණයෙන් මුදාගන්නා පුද්ගලයාට සසර වසනා තුරු ලැබෙන කුසල විපාක දහයක් වෙයි . එනම්,

01 උපනූපන් ආත්ම භවයන්හිදී කිසිදු මාරක බන්ධනයකට අසුනොවීම
02. නිරෝගී සම්පත්තිය ලැබීම
03. දීර්ඝායු සම්පත්තිය ලැබීම
04. රාජ රාජ මහාමාත්‍ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතිව උපත ලැබීම
05. දිව්‍යලෝක , බ්‍රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම
06. කීකරු, පුණ්‍යවන්ත , පි‍්‍රයශීලි අඹුදරුවන් ලැබීම
07. තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවකයින් ලැබීම
08. සෑම තැනකදීම උසස් පුද්ගලයෙකු සේ කැපීපෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම
09. උගත් නූගත් දුප්පත් පොහොසත් බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම
10. පංච අභිඥා අෂ්ඨ සමාපත්තිලාභීව මහරහතන් බවට පත්වීමේ භාග්‍ය ලැබීම

සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොවැ පහළවීම නිසා සිදුවූ මහඟු සේවාව කියා හෝ ලියා…

සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොවැ පහළවීම නිසා සිදුවූ මහඟු සේවාව කියා හෝ ලියා නිම නොකළ හැකිමය. කාලාන්තරයක් පුරා පාරම්පරිකව පැවත ආ, ජාති – කුල – වංශ – ගෝත්‍ර ප්‍රශ්නයන් නිසාත්, ස්ත්‍රීන්ට අඩු සැළකිල්ලක් පැවති හිංසාකාරී ජනසමාජ රටාවක් පැවති වකවානුවක, සුද්ධෝදන මහා රාජයාගේ එකම පුතණුවන් වශයෙන් සිදුහත් කුමරා උපත ලද්දේ ය. සුද්ධෝදන රජතුමා දැහැමි පරිපාලකයෙකි. එදා අපේ රට මෙන් දෙතුන් ගුණයකටත් වඩා විශාල හිමාල දේශයම පරිපාලනය කළෝ, ශාක්‍ය වංශිකයෝ ය. නූතන ඉන්දියාවෙහි ගෝරක්පූර්, කුසිනාරා, ලක්නවු ආදී මහා ප්‍රදේශයක් පුරා පැතිරි පිහිටි මේ ශාක්‍ය රාජධානිය සෞභාග්‍යය සම්පන්න භාවයෙන් අනූනව පැවතිණ. සහල්, ඉරිඟු, මුං, කඩල, කව්පි, ආදී විවිධ ගණයේ ධාන්‍ය වර්ගවලින් සහ එළවළු, පළතුරු, ඕජෝ ගුණයෙන් අනූන පලා කොළ ආදියෙන් ද, අල බතල වලින් ද, විවිධ ගණයේ හතු වර්ගවලින් ද, හිමාල අඩවිය රට වැසියාගේ ස්වයංපෝෂිත භාවය ඉහළින්ම වඩා වර්ධනය කළේ ය.

ගව මහීෂාදී සතුන්ට පවා දේශගුණික සම්පත්තිය නිසා, තෘණ, දළු, කොළ ආදියෙන් අහේනියක් නොවී ය. ආර්ථික ප්‍රශ්න පිළිබඳ ගැටළුවක් නැති, සෞභාග්‍ය සම්පන්න දේශයක ජනතා හදවත දිනාගත් සුද්ධෝදන මහා රාජයාට අඩුවක් වශයෙන් දැනුණේ සරණ බන්දනයෙන් කලක් ගතවෙන තුරු දරු සම්පත්තියක් නොලැබීම ය. මෙය මහ රජතුමාගේත් එතුමාගේ බිසව වූ මහාමායා දේවියගේත් බලවත් කනස්සල්ලට හේතුවක් වූවා පමණක් නොව, රටේ ප්‍රභූ ජනයාගේ ද චිත්ත පීඩාවට කරුණක් විය. මෙයින් දෙදහස් හයසිය පන්තිස් වසරකට පෙර අද වගේ වෙසඟ පුර පසළොස්වක පොහෝ දිනක ඒ මහා පුණ්‍යවන්ත සම්මා සම්බුදුවරයෙකු බවට පත්වීමට පතාගෙන ආ, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු විය. උපන් දිනය වූ ඒ වෙසඟ පුර පසළොස්වක් පොහෝ දින ද දඹදිව පුරා අමුතු අසිරියක් පැතිරිණ. සුවදායක ඇඟට දැනෙන මඳ සුළඟකින් යුත් සුවඳවත් සුළං හැමීමක් රට පුරා ව්‍යාප්ත විය. එයට හේතුව විවිධ පුෂ්ප වර්ගයන්ගෙන් යුත් ගස් වැල්වල අමුතු ප්‍රබෝධයකින් යුතුව වෙනදාටත් වඩා අසිරියක් ඇති කරවමින් මල් පිපීම යි. දැඩි අව් රස්නය ද, කඩින් කඩ පැතිරී යන තුනී වළාකුළුවලින් දැඩි බවින් තොර විය. මිනිසුන් තුළ ද අමුතු කරුණාවන්ත ගතියක් සුහදතාවයක් ඇති විය. ගව මහිෂාදි සතුන් අතර පවා කරුණා මෛත්‍රී ගුණයන් ඇතිවීම නිසා ඔවුන් අතර කා කොටා ගැනීමක් සිදු නොවීය. මෙවන් දිනක උපත ලද ඒ පින්වත් බෝසතාණන් වහන්සේ ද, උපත ලබා කුඩා සිරිපතුල් පොළොවෙහි තබත්ම අදහාගත නොහී අසිරිමත් සිදුවීමක් දක්නට ලැබුණි. එය නම් පිළිවෙලින් පොළොවෙන් පියුම් හතක් මතු වීමයි. පියුම් හත මත ගමන් කළ පින්වත් කුමරුවා දකුණත ඔසවා දබරැඟිල්ල නිර්භීතව විහිදුවා ගෙන මෙබදු වාක්‍යයක් ප්‍රකාශ කළේය.

“ අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්ති මාජාති නත්ථිදානී පුනබ්භවෝ”

මම ලෝකයට අග්‍ර වෙමි. මම ලෝකයට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම උපතයි. නැවත මාගේ උපතක් නැත.”

මේ ශ්‍රේෂ්ඨ වාක්‍යය හතරෙන් ප්‍රකාශ කළේ නිසැකවම තමා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන බවය. එදා පාරමිතා කුසල බලය උඩ ඉහත සඳහන් වාක්‍යයන්ගෙන් තමන් වහන්සේ කෙබඳු කෙනෙක්දැයි යන්න පැහැදිළි කළ සිද්ධාර්ථ කුමරුවෝ තරුණ වියේදී පිය රජතුමාගේ බලපෑම නිසාම යසෝදරා දේවිය සමඟ සරණබන්දනයට පත් වූහ. විසි නමවන වියට පා තබන විට අසීමිත රජ සැප විඳිමින් පසු වුණ සිදුහත් කුමරාට කොතෙකුත් සැප පහසුකම් ලැබුණ නමුත් ලොකු කුඩා සෑම කෙනෙකුන් විසින්ම මුහුණ දිය යුතු – වයසට යාම, හෙවත් – ජරාවට පත්වීම – විවිධ රෝගාබාධයන්ට ගොදුරුවීම සහ අවසානයෙහි මරණයෙන් ජීවිතය අවසන් වීම පිළිබඳව මනා අවබෝධයක් මහල්ලෙක් – ලෙඩෙක් – මරණයක් දැකීමෙන් ම වඩාත් කරුණු සහිතව, හිතට කා වැදුණේ ය. පිය රජතුªමාට වුවමනා කළේ තම පුතණුවන් ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් සහ ශාරීරික ලක්ෂණ අනුව අධිරාජයෙක් වනු දැකීමයි. එනිසා පුතණුවන් ගිහි ගෙයිම රඳවා ගැනීම පිණිස කළ හැකි සෑම ප්‍රයත්නයක්ම විධිමත් පරිදි යෙදුවේ ය. එනමුදු පින්වත් බෝසතාණන් වහන්සේ යොමු වූයේ පුරා ගෙන ආ පාරමිතා ධර්මයන්ට අනුව යොමු වූයේ ඉපදීමත් – ජරාවට යාමත් – ලෙඩවීමත් – මරණයත් යන මේ සතර පිළිබඳව මනා අවබෝධයක් ලබා ගෙන ඒ මග ලෝකයාටත් අවබෝධ කරවා තමනුත් නැවත නූපදින තත්වයට පත් වීමේ ඇති අනගිතම වටිනාකම පිළිබඳව ය. කිසි සේත්ම මෙවන් අයුරින් රාජකීය සැප සම්පත් විඳිමින් ඒ මග සොයා ගත නොහැකිය යන්න තරුණ සිදුහත් කුමරුගේ මනසට වැටුනු එකම අදහස විය.

ඒ අනුව විසි නම වන වියේදී සියලු රාජකීය සම්පත් අතහැර දමා හුදකලාව වනගත වුණු මේ ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්ත පුද්ගලයා, කලින් අසා කියා දැන සිටි එහෙත්, හමුවීමක් නොවුණ ආළාරකාලාම තවුසාණන් වෙත ගියේ ය. එතුමා ධ්‍යාන සමාපත්ති උපදවා ගත් සෘද්ධිබල සහිත සෘෂිවරයාණ කෙනෙකි. එම ඇසුරෙහි මාසයක් හමාරක් සිටි නමුත් රූපාවචර ධ්‍යාන සමාපත්ති සතරත්, ආකාසා නඤ්චායතන –විඤ්ඤා ණඤ්චායතන – ආකිඤ් චඤ්ඤායතන යන අරූපීය ධ්‍යාන සමාපත්ති තුනත් සහිතව සමාපත්ති උපදවා එයින් එහාට යමක් නැති බව දැන, අනතුරුව උද්දකාරාම සෘෂිවරයාණන් වෙතට ගිය හ.

උද්දකාරාම තාපසතුමා රාම නමැති සෘෂි වරයෙකුගේ ශිෂ්‍ය පුත්‍රයෙකි. එනිසා උද්දකරාම යන නම ඔහුට ලැබී තිබුණේ ය. උද්දකාරාම තවුසාණන් වෙතද ටික කලක් රැඳී නේවසඤ්ඤා – නාසඤ්ඥායතන, සමාපත්තිය උපදවා එයත් සසර කෙළවරක් නොවන බව දැන හුදකලාව උරුවෙල් දනව්වට වැඩම කළ සේක, එතැන් පටන් සය වසරක් පුරාම කෙමෙන් දුෂ්කර ක්‍රියාවට බැස ශරීරය තැවීමෙන් නැත්නම් ශරීරයට දුක්දීමෙන් නිවන ලබා ගත හැකි යැයි සිතූ නමුදු එයින් ප්‍රතිඵලයක් නොලද විට මධ්‍යම ප්‍රතිපදාවට යොමු වූයේ ය. ශරීරයට අධික ලෙස සැප දීමෙනුත්, ශරීරයට අධික ලෙස දුක් පීඩා දීමෙනුත් තමා බලාපොරොත්තු වන අරමුණ වූ නිවන සාක්ෂාත් කළ නොහැකි බව දැන මැදුම් පිළිවෙත අනුව පිළිපැද එහි ප්‍රතිඵලයක් වශයෙන් සිද්ධාර්ථ ගෞතම තාපසයාණන් වහන්සේට සම්මා සම්බුද්ධබවට පත් වීමට හැකි වූයේ ය.

මෙසේ ශරීරයට තරමක් සැප පහසුව දෙමින් මෛත්‍රී භාවනාව වඩාත් දියුණු කරගෙන සමාපත්ති සුවයෙන් යුතුව වෙසක් දිනට කලින් දා රාත්‍රී නින්දට ගිය බෝසතාණන් වහන්සේට පුදුමාකාර සිහින පහක් පෙනුණේ ය. මහ පොළොව උන්වහන්සේ සැතපෙන යහනක් බවට පත්විය. හිමාලය කඳු වැටිය හිසට තැබූ කොට්ටයක් විය, මේ යහනේ උඩුකුරුව සැතපෙන උන්වහන්සේගේ දකුණු අත බටහිර සාගරයෙහිද, වමත නැගෙනහිර සාගරයෙහිද, දකුණු පය දක්ෂිණ සාගරයෙහිද, එසේම වම් පය උතුරු සාගරයෙහිද විහිදී පැවතියේ ය. මේ පළමු සිහිනයෙන් කියැවෙන්නේ මෙතුමෝ සියල්ලන්ටම වඩා ලෝකයෙහි උත්තරීතර බවට පත් වන බවය. බුදු බවට පත්වන බවය. දෙවැනි සිහිනය උන්වහන්සේට පෙනුණේ මෙසේ ය. තමන්ගේ නාභියෙන් ඊතණ ගසක් ඉතා උසට නැගී නො පෙනෙන තරම් අහස උසට නැගී ගියේය. ඉන් අදහස් කළේ උන්වහන්සේ සොයා ගනු ලබන ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයාට අවබෝධ කරවා ලෝක ප්‍රජාව නිවන් මගට පත් කරවන බවයි. තුන්වන සිහිනය දුටුවේ කලුහිස් ඇති සුදු පණුවෝ පාමුලින් මතු වී දණ දක්වා වසා ගත් බවකි. මෙම හීනයෙහි අදහස නම් ලක්ෂ කෝටි සංඛ්‍යාත ගිහියන් උන්වහන්සේගේ දායකකාරකාදීන් බවට – අනුගාමිකයන් බවට පත්වෙන බවය. සතර වන සිහිනය මෙසේය. විවිධ වර්ණ වලින් පාට වලින් යුත් ලිහිණි පක්ෂීන් සතර දෙනෙක් හතර පැත්තෙන් පැමිණ උන්වහන්සේගේ පාමුල බැස – වහා සුදු පැහැති වර්ණයෙන් යුක්ත වූ බවයි. මෙයින් අදහස් කෙරෙන්නේ ක්ෂත්‍රීය – බ්‍රාහ්මණ – වෛශ්‍යය – ශුද්‍ර යන සතර කුලයට අයත් ජනයා එකමුතුව සසුනෙහි පැවිදි වී පිරිසුදු ලෙස පිළිවෙත් පුරා ඒ සියල්ලන්ම නිවන් අවබෝධ කරන බව ය. පස්වැනි සිහිනය වූයේ දුගඳ හමන අපද්‍රව්‍යවලින් පිරි පර්වතයකි. ඒ අපද්‍රව්‍යවල නො ගෑවී සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ එනම් තමන් වහන්සේ ඒ පර්වතයෙහි සක්මන් කළ ආකාරයයි. එයින් කියැවෙන්නේ විවිධ ලාභ – ලෝභ – ගෞරව – පිළිගැනීම – ප්‍රශංසා වලට නො ඇලී තමන් වහන්සේ අතිශයින්ම පිරිසුදු පුද්ගලයෙකු බවට පත් වන වග යි.

මෙම සිහිනවලින් තමන් වහන්සේ ඒකාන්තයෙන් ම බුදු වන බවට පෙරනිමිති පහළ වූ බව දැනගත්හ. බෙහෙවින්ම සතුටට පත්ව, අද අදම බුදුබවට පත්විය හැකි බව දැන දැඩි අධිෂ්ඨානයක් සිතෙහි ඇති කර ගැනීමට මේ නිසා පිළිවන්කම ලැබිණ. බුදුබව සාර්ථක වෙන බවට පෙර නිමිත්තක් වශයෙන් මේ සිහිනය දුටුු බව ද, දැනගත් සේක. එයින් සතුටට පත්ව පසු දා එනම්, වෙසඟ පුර පසළොස්වක් පොහෝ දින සුජාතා සිටු දේවිය විසින් පූජා කරන ලද කිරිපිඬු දානය වළඳා බෝ මැඩට පැමිණ සසර ගමනේ දී පුරන ලද දස පාරමී ධර්මයන්ගේ ශක්තිය, බලය ඔප් නංවා ගෙන සව් කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූහ.

සම්බුද්ධත්වයට පත් වූ එදා පටන් අත්ථාය, හිතාය, සුඛාය දේව මනුස්සානං යන වචනයට ම අනුව ලෝවැසි ජනතාවගේ අර්ථ සම්පත්තිය, ආර්ථික සම්පත්තිය වඩා වර්ධනය කර ගැනීමටත් ඔවුන්නොවුන් අතර සුහදශීලීව – ප්‍රියශීලීව පිළිපැදීමෙන් මෛත්‍රි සහගත සමාජයක් ඇති කර ගැනීමටත් දම් දෙසීමට ආරම්භ කළහ. සසර පතාගෙන ආ පරිදි ඊට අදාළ අනුගාමික භික්ෂු පිරිසක් ද උන්වහන්සේ වටා ගොනු වූහ. එමගින් බුදුපියාණන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා සිදුකරන ලද අපරිමිත සේවාව පිළිබඳව නම්, මෙතෙක් ලොවැ පහළ වූ කිසිදු කෙනෙකුටවත් අගය කිරීමෙන් ප්‍රමාණයක් කළ නොහැකි වී ඇත. ඒ ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේගේ උපත සිදු වීමෙන් තිස් පස් වසරට එළඹෙත්ම, එම වර්ෂයෙහි යෙදුණ වෙසඟ පුර පසළොස්වක් පොහෝදා මෙහි සඳහන් පරිදි සම්මා සම්බුදු බවට පත්වූහ. එතැන් සිට පන්සාලිස් වසක් එළඹි වර්ෂයෙහි වෙසඟ පුර පොහෝදා දෙවියන් සහිත සකල ලෝකවාසීනට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පහදා දෙමින් සම්මා සම්බුදුපියාණෝ පිරිණිවන් පා වදාළ සේක.

තෙරුවන් සරණයි!

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :

කරන සෑම දෙයක්ම අර්ථය දැන ගෙනම කිරීමෙන් ලැබෙන ආනිසංසය වැඩි වේ. බුදු සමිදුන්ට පුජා…

කරන සෑම දෙයක්ම අර්ථය දැන ගෙනම කිරීමෙන් ලැබෙන ආනිසංසය වැඩි වේ.
බුදු සමිදුන්ට පුජා කරන සෑම විටම බුදුගුණ දැනගෙන සිත පහදවාගෙනම ඒවා කළ යුතුය. පසුව එය සිහි කරන සෑම විටම ඉතා විශාල ප්‍රීතියක් සතුටක් සිතට දැනෙන ආකාරය ට කළ යුතුය.

සැපයි කියලා ඉහලින් සලකන දේවල් වලින් අන්තිමට ඇවිල්ලා තියෙන්නේ දුකයි. දුක් වූ දේ…

සැපයි කියලා ඉහලින් සලකන දේවල් වලින් අන්තිමට ඇවිල්ලා තියෙන්නේ දුකයි. දුක් වූ දේ සැප යයි සිතෙන්නේ අපේ හිත් කෙලෙස් වලින් අපිරිසිදු වී ඇති නිසයි.

කය අනුව සිහිය පවත්වා ගෙන (කායානුපස්සනා) සිත පිරිසිදු කිරීමට උත්සහ ගනිමු.