Monthly Archives: January 2015

ගූථොපම සූත්‍රය. ’’මහණෙනි, යම්සේ ස්වල්ප මාත්‍රවූ අසුචිය වුවද දුගඳ වේද, ’’මහණෙනි,…

ගූථොපම සූත්‍රය.
”මහණෙනි, යම්සේ ස්වල්ප මාත්‍රවූ අසුචිය වුවද දුගඳ වේද,
”මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්ප මාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්‍ණනා නොකරමි.”
මුත්තොපම සූත්‍රය.
”මහණෙනි, යම්සේ ස්වල්ප මාත්‍ර මූත්‍රය වුවද දුගඳ වේද,
”මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්ප මාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්‍ණනා නොකරමි.”
ඛෙලොපම සූත්‍රය.
”මහණෙනි, යම්සේ ස්වල්ප මාත කෙල වුවද දුගඳ වේද,
”මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්ප මාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්‍ණනා නොකරමි.”
පුබ්බොපම සූත්‍රය.
”මහණෙනි, යම්සේ ස්වල්ප මාත සරව වුවද දුගඳ වේද,
”මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්ප මාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්‍ණනා නොකරමි.”
ලොහිතොපම සූත්‍රය.
”මහණෙනි, යම්සේ ස්වල්ප මාත්‍ර ලේ වුවද දුගඳ වේද,
”මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්ප මාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්‍ණනා නොකරමි.”

ධනිය කියන්නේ බොහොම පොහොසත් ගොපල්ලෙක්. මේ ධනිය සිටියේ වේදේහ නුවරයි. ඔහුට දූවරුන්…

ධනිය කියන්නේ බොහොම පොහොසත් ගොපල්ලෙක්. මේ ධනිය සිටියේ වේදේහ නුවරයි. ඔහුට දූවරුන් සහ පුතුන් හත් දෙනෙක් සිටියා. වාසය කළේ මහී ගංගාව සමීපයේ. මහී ගඟ කඳු දෙකක් අතරින් ගලා යන ගඟක්. රස්නය ඇති ගී‍්‍රස්ම කාලයට වාසය කිරීමට ඔහු ඒ ගඟ අසබඩ ගෙයක් සාදාගෙන තිබුණා. ගඟේ සිසිලස සුළඟත් සමඟ එමින් ඒ නිවස සිසිල් කළා. උණුසුම් කාලයට ධනිය ඒ නිවසේ සිටියා. ඊළඟ වැසි කාලයට සිටීමටත් ඒ ගඟ අසළම වූ උස් බිමිකත් ඔහුට තවත් නිවසක් තිබුණා. ඔහුට ගවයන් තිස්දාහක් සහ වැස්සියන් විසිදාහක් ද සිටියා.

ඉතින් මේ වැසි සමයේ එක් දිනක සන්ධ්‍යා යාමයේ මේ ධනිය තමන්ගේ අර කන්ද උඩ තිබුණ නිවාසයේ මිදුලේ පුටුවක වාඩි වී බොහොම සැහැල්ලුවෙන් සිටියා. එදින වැහිබර කාලගුණයෙන් යුත් දවසක් වුණා. දැන් ඔහු එහෙම ඉන්න අතර තම සිතට ආ අදහසක් මෙසේ කවියකට නැගුවා.

බත් උයලා ඉවරයි. මම බත් කාලා ඉවරයි. මගේ බඩ හොඳටම පිරිලයි තියෙන්නේ. මම කිරිත් දොවාගෙන ඉවරයි. මහී ගඟ අයිනේ තිබෙන ගෙදරට මගේ පිරිවර ජනයා දූ දරුවෝ ගෙදර වැඩ කරන අය සේරම ඇවිල්ලයි ඉන්නේ. දරු මුණුපුරන්, මා සමඟයි ඉන්නේ. ඒ ගෙදර හොඳින් සෙවිලි කර තිබෙන්නේ. කොහින්වත් තෙමන්නේ නැහැ. ගේ තුළ ගිනිත් දල්වා තිබෙනවා. මේ සූදානම් නිසා ඔහු අහස දෙස බලා සතුටින් පවසනවා වැස්ස කැමැතිනම් වහින්න. ඕනෑ තරම් වහින්න කියා.

ධනිය ගෝපාල කියූ මේ ගාථාව සැවැත්නුවර වැඩ සිටි තථාගතයන් වහන්සේට ඇසුණා. උන්වහන්සේ ක්‍ෂණයකින් මේ මහී ගෙග් එහා පැත්තේ කන්දට වැඩියා. උන්වහවන්සේ මේ ආකාරයට එන ක්‍රමය ධර්ම සාහිත්‍යයේ මෙසේ උපමාවකින් සඳහන් කර තිබෙනවා. අකුලාගෙන සිටින අතක් දිග හරින වේගයෙන් දිග හරින අතක් අකුලන වේගයෙන් තථාගතයන් වහන්සේට කැමති තැනකට වඩින්න පුළුවන් බවයි. එහෙම වැඩම කරලා කන්දේ අනෙක් පැත්තේ සිටි ධනියගේ කවියට පිළිතුරුක් දෙන්නයි සූදානම.

මේ ගාථා දෙස බලන විට පෙනෙන්නේ ධනියගේ සතුට සාමිස බවයි. කෙලෙස් සහිතයි. නමුත් තථාගතයන් වහන්සේගේ කවි තුළින් එන්නේ නිරාමිස සතුටක්. දැන් තථාගතයන් වහන්සේ කිසියම් අනුකරණයක් කරනවා. නමුත් එහි අදහස සම්පූර්ණයෙන්ම වෙනස්. සාමිද අදහසකට උන්වහන්සේ නිරාමිස අර්ථයක් දුන්නා. නිරාමිස වෙනසක් ඇති කළා.

තථාගතයන් වහන්සේ වදාළා “මගේ සිතේ ක්‍රෝධය නැහැ. මම ක්‍රෝධය නැතිකළ කෙනෙක්. මම කෙලෙස් උල් උගුලා දැමු කෙනෙක්. ධනිය ගෝපාල දොවා ගත්තේ කිරියි. තමන් වහන්සේ තමන් කෙලෙස් නමැති උල් ගලවා දැමූවායැයි වදාළා. නමුත් කෙලෙස් සහිත පුද්ගලයා නිතරම ඉන්නේ් දුකෙන්. ඔහු දුකින් බරවයි දුකෙහි ඇමිනිලායි ජීවත් වෙන්නේ. උලක් සාමාන්‍යයෙන් උපයෝගි කරගන්නේ අමුණන්නයි. ඒවාගේ කෙලෙස් තිබෙන අය සසර ඵයට ඇමිනිලයි ඉන්නේ. ඒකයි කෙලෙස් උල් උගුලා දැමුවා කියා වදාළේ්. ධනිය ගෝපාල ගං තීරයේ ඉන්නේ ඔහුගේ් පිරිවර සේනාව සමගිනුයි.

තථාගතයන් වහන්සේ වදාළා මම මේ ගං තීරයේ වාසය කරන්නේ තනිවමයි. මට කවුරුත් නැහැ. මම මගේ පාඩුවේ තනියම වාසය කරනවා. මට පිරිවරක් නැහැ. මම වාසය කරන්නේ තනිවමයි. ඒ වගේම ධනියගේ කුටිය හොඳින් සෙවිලි කළ කුටියක්. තථාගතයන් වහන්සේ වදාළා මගේ සිත නමැති කුටිය විවෘතයි. මේ සිත නැමැති කුටිය විවෘතව ඇත්තේ කෙලෙස්වලිනුයි.

කෙලෙස් වලින් විවෘතයි කියන්නේ නිකෙලෙස්. එහෙම නැත්නම් කෙලෙස් නැහැ කියන එකයි. සාමාන්‍ය පෘතග්ජනයාගේ සිත පවතින්නේ කෙලෙස්වලින් වැසිලායි. නමුත් මගේ සිත නමැති කුටිය කෙලෙස්වලින් විවෘතයි. එය නිකෙලෙස්. නිරාවරණය වූ එකක් යැයි තථාගතයන් වහන්සේ වදාළා. ධනියගේ වාරයේදී ඔහු කියනවා ගිනි පත්තුවෙලා තිබෙන්නේ. ඒ නිසා මැසි මදුරුවන් මගේ නිවසට එන්නේ් නැහැ. හොඳින් වැඩුණ දළුලාපු තණකොළ මෙහි තියෙනවා. ඒ තණ බිමේ ගවයන් හැසිරෙමින් තණකොළ කනවා. තම ගවයන්ට කෑමට තණ බිමේ තණ කොළ තිබෙනවානම් ඒ ගවයන් බලාගන්න පුද්ගලයාට ප්‍රශ්නයක් නැහැ. හරකුන්ට කෑමට ප්‍රමාණවත්නම් වැස්සත් කමක් නැහැ. ඉතින් ඔහු කියනවා වැස්ස කැමති නම් වහින්න කියලා.

නැවත ධනිය කියනවා මගේ බිරිඳ ඉතා කීකරුයි. ඇය ලෝභ නැහැ. ඇය ආහාරයෙහි ලොල් නැහැ. අපි ඇසුරු කරන්නේ බොහෝම කාලයක සිටයි. ඇය ඉතාම පි‍්‍රයමනාප ගතියෙන් යුක්ත කෙනෙක්. ඇයගේ හැසිරීම මටම බොහෝම පි‍්‍රයමනාපයි කියලා. ඒ නිසා වැස්ස කැමති නම් වහින්න ඕනෑ තරම් වහින්න. මට ඒක බාධාවක් නැහැ කියා.

තථාගතයන් වහන්සේ එයට මෙහෙම පිළිතුරු දුන්නා. මගේ සිත මට වසඟයි. මට කීකරුයි. මගේ හිත මට එකඟ කරගන්න පුළුවන්. මට පාලනය කරන්න පුළුවන්. එක එක අරමුණු පස්සේ දුවන්නේ නැහැ. කෙලෙසුන්ගෙන් මිදිලායි තියෙන්නේ. බොහෝ කාලයක් තිස්සේ එසේ සිත වැඩූ නිසා දියුණු කළ නිසා නිවැරැදි කළ නිසා කෙලෙසුන්ගෙන් මිදිලයි තියෙන්නේ. ඒ නිසා වැස්ස ඕනෑ තරම් වහින්න කියලා.

ඉතින් ධනිය කියනවා, මට බොහෝ තරුණ වස්සන් ඉන්නවා. දෙනුන්ගෙන් කිරි උරා බොන පුංචි පැටවුණුත් ඒ අතර ඉන්නවා. ගැබ දරා සිටින දෙනුන්ද ඒ අතර සිටිනවා. පරම්පරාව පවත්වාගෙන යන්නට පුළුවන් දෑවැද්දට දිය හැකි වටිනා ගවයන්ද මට සිටිනවා. කියමින් ධනිය තමාගේ ඇතිකම ගැන පවසනවා.

තථාගතයන් වහන්සේ වදාළා මට තරුණ වැස්සොත් නැහැ. කිරි උරාබොන වස්සොත් නැහැ. ගැබිණි වැස්සියොත් නැහැ. දෑවැද්දට දෙන්නට හෝ පරම්පරාව පවත්වාගෙන යාමට සුදුසු වැස්සියොත් නැහැ. ඒ නිසා වැස්ස කැමැතිනම් වහින්න. ධනිය ඇතිකම නිසා ලබන්නේ සාමිස සුවයක්. උන්වහන්සේ වදාළා නැවත ඉපදීමකුත් නැහැ. හරකෙකු තමා බැඳ සිටින බැමි කඩාගෙන යන්නාසේ රසකිඳ වැලකින් ගැට ගසා සිටින ඇතෙක් ඒ වැල කඩාගෙන යනවා වගේ මට යන්න පුළුවන්. නමුත් සියලු කෙලසුන් නැති කළ නිසා මා නැවත ගැබද උපදින්නේ නැහැ. මේ නැතිවීම තුළින් නිරාමිස සුවයක් ලබනවා.

ධනිය සහ තථාගතයන් වහන්සේ අතර ඇති වූ මේ කවි සංවාදය මෙසේ පවතිද්දී මහා ධාරාණිපාත වැස්සක් වහින්න පටන් ගත්තා. මහ හඬ නගමින් දැන් මේ වැස්ස වහිනවා. ගඟ උතුරා යන්න පටන් ගත්තා. ධනිය තේරුම් ගත්තා එහා කන්දේ සිට කවි කිව්වේ බුදුරජාණන් වහන්සේ බව.ඔහු කියනවා අපට හිමි වුණේ් විශාල ලාභයක්මයි. අපට භාග්‍යවතුන් වහන්සේ දකින්නට ලැබුණා. මම ඔබවහන්සේට මාගේ ජීවිතය පූජා කරනවා. මරණයෙන් එතෙර වී එගොඩ යන්න උත්සාහ කරනවා යැයි ධනිය කියනවා. මේ සූත්‍රයේ සඳහන් වන ආකාරයට ධනිය සහ ඔහුගේ බිරිය දෙදෙනාම මාර්ගඵල ලබා ගෙන තිබෙනවා.

තෙරුවන් සරණයි!

ශ්‍රාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :

යහළුවන් සමග වල්පල් හිස් වචන කථා නොකර ධර්මයම සාකච්චා කරන්න. එවැනි සත්පුරුෂ යහළුවන…

යහළුවන් සමග වල්පල් හිස් වචන කථා නොකර ධර්මයම සාකච්චා කරන්න. එවැනි සත්පුරුෂ යහළුවන්ම ආශ්‍රයට සොයා ගන්න.

පන්සිල් සුරකිමු 1. ප්‍රාණ ඝාතය – මෙලොව ඇතැම් කෙනෙක් සතුන් මරණවා. ඔහු නපුරු කෙන…

පන්සිල් සුරකිමු

1. ප්‍රාණ ඝාතය –
මෙලොව ඇතැම් කෙනෙක් සතුන් මරණවා. ඔහු නපුරු කෙනෙක්(ලුද්දෝ). ලේ තැවරුණු අත් ඇත්තෙක්(ලෝහිත පාණී).සතුන් කපා කොටා මැරීමෙහි යෙදී ඉන්නවා(හතපහතේ නිවිට්ඨෝ). සත්වයින් කෙරෙහි දයාව රහිතව ඉන්නවා(අදයාපන්නේසු පාණභූතේසු).
මේ විදිහට කෙනෙක් සතුන් මරණවා නම් ඔහු මරණින් මතු නිරයේ ඉපදෙන බව බුදු රජාණන් වහන්සේ වදාළා. නැතිනම් තිරිසන් අපායේ එහෙමත් නැතිනම් ප්‍රේත ලෝකයේ ඉපදෙන බව වදාළා. යම් විදිහකින් මිනිස් ලොව උපන් කළක ඔහු අල්ප ආයුෂ ඇතිවයි උපදින්නේ. එසේ නම් අඩු වයසින් මියයන්නේ සසරේ ප්‍රාණඝාතය කළ අයයි.

෴සතුන් මැරීමෙන් වැලකීම෴
බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයා සතුන් මැරීම අත් හරිනවා(පාණාතිපාතං පහාය). සතුන් මැරීමෙන් වළකිනවා(පාණාතිපාතා පටිවිරතෝ හෝති). සතුන් මරන්න දඬු මුගුරු අතට ගන්නෙ නෑ(නිහිත දණ්ඩෝ). අවි ආයුධ අතට ගන්නෙ නෑ(නිිහිත සත්ථෝ). සතුන් මරන්න ලැජ්ජයි(ලජ්ජී). සතුන් කෙරෙහි දයානුකම්පිත වෙනවා(දයාපන්නෝ). සියළු සතුන් ගැන හිතානුකම්පාවෙන් වාසය කරනවා (සබ්බපාණභූත හිතානුකම්පී විහරති).
මේ විදිහට සතුන් මැරීමෙන් වැලකී වාසය කරන තැනැත්තා මරණින් මතු දෙවියන් අතරට යනවා. යම් කළක මිනිස් ලොව ඉපදුන විට ඔහුට දීර්ඝ ආයුෂ තිබෙනවා. බොහෝ කල් ජීවත් වෙනවා.෴෴෴

2. සොරකම –
මෙලොව ඇතැම් කෙනෙක් සොරකම් කරනවා. අනුන් සතු, අනුන් ගේ සම්පත්, ගමක හෝ කැලේක හෝ තියෙනවා නම් එ් නුදුන් දේ සොර සිතින් අරගන්නවා. මෙහෙම කරන අයත් මරණින් මතු නිරයේ උපදිනවා. නැතිනම් තිරිසන් හෝ ප්‍රේත ලෝකවල ඉපදෙනවා. යම් කළක මිනිස් ලොව ඉපදෙනවිට ඔහු උපයන ධනය නැති නාස්ති වෙනවා. ඉතුරුවක් නෑ. ජලයෙන් ගින්නෙන් සොර සතුරන්ගෙන් තමන්ගේ වස්තුව විනාශ වෙනවා.

෴සොරකමින් වැලකීම෴
බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයා සොරකම අත් හරිනවා(අදින්නාදානං පහාය). නොදුන් දේ ගැනීමෙන් වළකිනවා(අදින්නාදානා පටිවිරතෝ හෝති). දුන්න දෙයක් විතරයක් ගන්නවා(දින්නාදායී). දුන් දේ පමණක් ගන්න කැමති වෙනවා(දින්නපාටිකංඛී). නො සොර සිතින් වාසය කරනවා(අථේනේන සුචිභූතේන අත්තනා විහරති).
මේ විදිහට සොරකම් කිරීමෙන් වැලකී වාසය කරන තැනැත්තා මරණින් මතු දෙවියන් අතරට යනවා. යම් කළක මිනිස් ලොව ඉපදුන විට ඔහුගේ භෝගයන් සුරක්ෂිත වෙනවා.෴෴෴

3. වැරදි කාමසේවනය –
මෙලොව ඇතැම් කෙනෙක් කාමේසු මිච්ඡාචාරී වෙනවා. එ්කෙ තේරුම මේකයි. මව් විසින් රකින(මාතුරක්ඛිතා), පියා විසින් රකින(පිතුරක්ඛිතා), මව් පියන් විසින් රකින(මාතාපිතුරක්ඛිතා), සහෝදරයා විසින් රකින(භාතුරක්ඛිතා), සහෝදරිය විසින් රකින(භගිනිරක්ඛිතා), නෑයන් විසින් රකින(ඤාතිරක්ඛිතා), තම ගෝත‍්‍රය විසින් රකින(ගොත්තරක්ඛිතා), ධර්මයෙන් රකින(ධම්මරක්ඛිතා), එමෙන් ම ස්වාමියෙක් සිටින(සස්සාමිකා), එමෙන් ම විවාහ ගිවිසගත්(සපරිදණ්ඩා), එමෙන් ම අඩු තරමින් මල් මාලාවක් දමා හෝ(අන්තමසෝ මාලාගුලපරික්ඛිත්තාපි) විවාහයක් පිණිස යම් ස්ති‍්‍රයක්ව වෙන් කොට තිබේ නම්, එබඳු ස්තී‍්‍රන් කෙරෙහි ඔවුන් ගේ චරිතය කෙලෙසන අයුරින් වැඩ කරනවා.
මෙහෙම අයත් මරණින් මතු නිරයේ ඉපදෙනවා. නැතිනම් තිරිසන් අපායේ ඉපදෙනවා. එහෙමත් නැතිනම් ප්‍රේත ලෝකයේ ඉපදෙනවා.යම් කළක මිනිස් ලොව උපදින විට ඔහුට වෛර කරන බොහෝ සතුරන් සිටිනවා. පව්ල් ජීවිත අසාර්ථකයි.

෴වැරදි කාමසේවනයෙන් වැලකීම෴
බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයා කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වෙනවා. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකිලා ඉන්නවා. මව් විසින් රකින, පියා විසින් රකින, මව්පියන් විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, නෑයන් විසින් රකින, තම ගෝත‍්‍රය විසින් රකින, ධර්මය විසින් රකින ස්තී‍්‍රන් ඉන්නවා. ඒ වගේම ස්වාමියෙක් සිටින ස්තී‍්‍රන් ඉන්නවා. විවාහ ගිවිසගත් ස්තී‍්‍රන් ඉන්නවා. අඩු ගානෙ මල් මාලයක් දමා හෝ, විවාහයට සම්මත කරපු ස්තී‍්‍රන් ඉන්නවා. එබඳු ස්තී‍්‍රන්ගේ චරිතය කෙලෙසන්නෙ නෑ.
ඔහු මරණින් මතු දෙවියන් අතරට යනවා. යම් කළක මිනිස් ලොව ඉපදුන විට ඔහුට සතුරන් ඉතා අල්පයි෴෴෴

4. බොරු කීම –
මේ ලෝකෙ ඇතැම් කෙනෙක් බොරු කියනවා. සභාවක් මැද හෝ, පිරිසක් මැද හෝ, ඤතීන් මැද හෝ, සේනා මැද හෝ, රජය ඉදිරියට ගෙන හෝ, සාක්‍ෂි විමසන කොට ‘එ්යි පුරුෂය, දැන් නුඹ දන්නවා නම් කිව යුතුයි’ කී විට ඔහු නො දැන ම තමන් දන්නවා යැයි කියනවා. දැන දැනත් තමන් නො දන්නවා යැයි කියනවා. නො දැකත් තමන් දකිනවා යැයි කියනවා. දැක දැකත් තමන් නො දකිනවා යැයි කියනවා. ඔය විදිහට තමන් නිසා හෝ, අනුන් නිසා හෝ, යම් කිසි අල්ලසක් නිසා හෝ දැන දැන බොරු කියනවා.
එබඳු අය මරණින් මතු නිරයේ ඉපදෙනවා. නැතිනම් තිරිසන් අපායේ ඉපදෙනවා. එහෙමත් නැතිනම් ප්‍රේත ලෝකයේ ඉපදෙනවා. යම් කළක මිනිස් ලොව ඉපදී සිටින විට ඔහු නොකළ වැරදි වලට හසු වෙනවා. ඔහු ගේ වචනය කව්රුත් පිළි ගන්නෙ නෑ.

෴බොරු කීමෙන් වැලකීම෴
බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයා බොරු කීම අත්හරිනවා. බොරු කීමෙන් වළකිනවා.ඇත්ත ම කියනවා(සච්චවාදී). නිතරම ඇත්ත ගලපලා කතා කරනවා(සච්චසන්ධෝ) ඇදහිය හැකි වචන(ථේතෝ), පිළිගත හැකි වචන(පච්චයිකෝ) කථා කරනවා. ඔහු කිසි කරුණකින් ලෝකයා රවටා මුළා කරන්නෙ නෑ.(අවිසංවාදකෝ ලෝකස්ස).
ඔහු මරණින් මතු දෙවියන් අතරට යනවා. යම් කළක මිනිස් ලොව ඉපදුන විට ඔහු නොකළ වැරදි වලට හසු වන්නෙ නෑ. ඔහුගේ වචනය සියළු දෙනා පිළිගන්නවා෴෴෴

5.මත්පැන් මත් ද්‍රව්‍ය භාවිතය –
මේ ලෝකෙ ඇතැම් කෙනෙක් මත්වීමටත් ප්‍රමාදයටත් හේතුවන (මත්වතුර- මත් කුඩු- සිගරට් ආදී) දේවල් භාවිතා කරනවා. එබඳු අයත් මරණින් මතු නිරයේ ඉපදෙනවා. නැතිනම් තිරිසන් අපායේ ඉපදෙනවා. එහෙමත් නැතිනම් ප්‍රේත ලෝකයේ ඉපදෙනවා. යම් කළක මිනිස් ලොව උපදින විට ඔහු උමතු (මන්දබුද්ධික) කෙනෙක්.

෴මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම෴
බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයා මත් ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. ඔහු ඔහු මරණින් මතු දෙවියන් අතරට යනවා. යම් කළක මිනිස් ලොව ඉපදුන විට ඔහු බුද්ධිමත්. වහා වැටහෙන නුවණ ඇති කෙනෙක් ෴෴෴

මේ නිසා තමන් ගේ යහපත කැමති සියළු දෙනා විසින් පන්සිල් රකිත්වා!!!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
—————————————————-
චූලකම්මවිභංග සූත්‍රය

අසත්පුරුෂයින් ඇසුරු කිරීමෙන් ඔබ ළඟ තිබෙන ගුණ ධර්ම අඩුවේ. පව් කම් වලට සිත යොමුවේ….

අසත්පුරුෂයින් ඇසුරු කිරීමෙන් ඔබ ළඟ තිබෙන ගුණ ධර්ම අඩුවේ. පව් කම් වලට සිත යොමුවේ.
ධම්මපදය පණ්ඩිත වර්ගය කියවන්න ->

පුජාවන්ගේ ආනිශංස අද පිනෙහි ආනිශංස ගැන අවබෝධයක් ලබා දිමට සිතුවෙමු.බුදුරදුන් පැහැ…

පුජාවන්ගේ ආනිශංස

අද පිනෙහි ආනිශංස ගැන අවබෝධයක් ලබා දිමට සිතුවෙමු.බුදුරදුන් පැහැදිලි කර දී ඇත්තේ -චිත්තං පුනාතීතී පුණ්ණං-යනුවෙනි.එහි තෙරුම සිත පිනා යාම හෙවත් සතුටු වීම පින වන බවය.එසේ සතුටු විය යුත්තේ යහපත් ක්‍රියාවකින් මිස අන් දෙයකින් නොවේ.අප මියපරලොව ගිය කල අලේ පිලිසරණ සදහා
සිටින්නේ පින්කම් පමණක් බවද බුදුහිමියන් පෙන්වා දී ඇත.ඉතින් එවැනි පුණ්‍ය ශත්තියක් ලබා ගැනීම සදහා අප විසින් නිතර කරන විවිධ පූජාවන්ගේ ආනිශංස දැන සිටීම ඉතා වැදගත්ය.
(මෙම ත්‍රිවිධ පූජාවේ අනුසස් ඉතා බොහෝ බැවින්, සංක්ෂිප්ත ලෙස ලෙස දක්වා ඇත)

මල් පූජාවේ අනුසස් –
සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වීම
බොහෝ දෙනාට ප්‍රිය අයෙකු වීම
දුටුවන් වශීවන රූප සොභාවෙන් යුක්ත වීම
සිත එකග කරගැනීමට හැකිවිම
ප්‍රාර්ථනා පරිදි නිවනට හේතු විම
ලෙඩ රෝගවලින් වැලකිම
අන්‍යන්ට වඩා බලගතු විදසුන් ප්‍රඥාවක් ලැබීම
වචනය බොහෝ දෙනා ප්‍රිය භාවයෙන් පිලිගැනීම

පහන් පූජාවේ අනුසස් –
ප්‍රඥාව ලැබීමට හේතු වීම
හො‍ද ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම
ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම

සුවද පූජාවේ අනුසස් –
උපනූපන් ජාතියේ සැමට ප්‍රිය අයෙකු වීම
වහා අවබෝධ වන නුවණ ඇත්තෙක් වීම
සුගති භවයන්හි උත්පත්තියට හේතු වීම
වහා චිත්ත සමාධිය ඇතිවේ
සුවදවත් සිරුරක් ලැබේ
නවන සදහා හේතු වීම

පැන් පිදීමේ අනුසස් –
ආයුෂයෙන්,වර්ණයෙන්,සැපයෙන්,පිරිවරින්,ආධිපත්‍යයෙන්,රූපයෙන්,ශබ්දයෙන්,ගන්ධයෙන්,රසයෙන්,ස්පෂ්ටව්‍යය යන කරුණු වලින් දෙව්ලොවදී අන් දෙවගනන් ඉක්මවා සිටීම යනඅනුසස් ලැබේය.

ආහාරපාන පිදීමේ අනුසස් –
බොහෝ ආයුෂ ඇත්තේ වීම
බලවත් වීම
ධෛර්ය ඇත්තේ වීම
වර්ණ ඇත්තේ වීම
යසස් ඇත්තේ වීම
සුව ඇත්තේ වීම
ආහාර පාන ලැබීම
ශූර වීම
නුවණැති වීම

ගිලන්පස පිදිමේ අනුසස් දසය –
ආයුෂය,ශරීර ශක්තිය,නුවණ,ශරීරයේ යහපත් පැහැය,පිරිවර,
සැපය,උපද්‍රව නැතිබව,ගොවිතැන් පාලු වීම ආදී ව්‍යසන නොමැති
බව,ගරු බුහුමන් ලැබිම,ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක් නොවීම
යන අනුසස් ලැබීම.
අටපිරිකරට අනුව මෙතැන් සිට සදහන් වන පූජා සයෙහි අනුසස්
පෙළ ගස්වා ඇත.

වස්ත්‍ර පිදීමේ අනුසස් –
රන්වන් සිරුරු ඇත්තෙක් විම
ශරීරයේ කුණු දූවිලි නැත්තෙක් වීම
රැස් විහිදෙන ශරීර ඇත්තේ වීම
ප්‍රතාප ඇත්තේ විම
සිනිදු සිරුරක් ඇත්තේ වීම
හිස මස්තකයෙහි සුදු,කහ,රතු පැහැ ඇත්තා වූ ලක්ෂ ගණනින් වස්ත්‍ර දරා සිටීම

පාත්‍ර පිදීමේ අනුසස් –
රන්,මැණික්,රිදී සෑම කල්හි පරිහරණය‍ට ලැබීම
උපද්‍රව අනතුරු නැත්තේ වීම
සෑම කල්හි සියල්ලන් විසින් ගරු තරන අයෙකු වීම
ආහාරපාන,වස්ත්‍ර,සයනාසන ලබන්නේ විම
බෝග විනාශයට පත් නොවීම
ස්ථිර සිත් ඇත්තෙකු වීම
හැම කල්හි ධර්මය කැමැත්තෙක් වීම
මද කෙලෙස් ඇත්තෙක් වීම
ආශ්‍රව රහිත විම
මෙම සියල්ල දෙව් මිනිස් භවයන්හි අත් නොහැර යන
සෙවණැල්ලක් සේ ලැබීම

දැළිපිහියා පිදීමේ අනුසස් –
හැම කල්හි ශූර වීම
නොවිසිරි සිත් ඇත්තෙක් වීම
වෛශාරද්‍යයෙහි පරතෙරට පැමිණීම
ධෛර්ය ඇත්තේ වීම
වීර්ය ඇත්තේ විම
කෙලෙස් වසගයට යා නොදී රැකගත් සිත් ඇත්තෙක් විම
කෙලෙස් සිදින්නා වූ සියුම් ශුද්ධ වූ ඥානය සැම කල්හි ලැබීම

ඉදිකටු පිදිමේ අනුසස් –
සැක නැත්තේ වීම
සැක සිදින්නේ වීම
රූ ඇත්තේ වීම
භෝග ඇත්තේ වීම
තියුණු වූ නුවණ ඇත්තේ වීම
ගම්භීර වූද සියුම් වූද ස්ථාන වූද අර්ථයෙන් ඥානයෙන් දැකීමට සමත් වීම
මොහදුර නසන්නා වූ වජ්‍රායුධාග්‍රයට සමවූ ඥානයක් ඇත්තේ වීම

පටි පිදීමේ අනුසස් –
සමාධීන්හි කම්පා නොවීම
සමාධියෙහි වශී භාවය ඇත්තේ වීම
නොබිදෙන පිරිස් ඇත්තේ විම
හැම කල්හි අනුන් පිලිගන්නා වචන ඇත්තෙකු වීම
එළඹ සිටි සිහි ඇත්තෙකු විම
බියක් හට නොගැනීම

පෙරහන්කඩ පිදීමේ අනුසස් –
සෑම දෙන ඉක්මවා දිව්‍යායුෂ ලැබීම
සොර සතුරන්ට කිසිදා හිංසා නොකල හැකි වීම
ආයුධ වලින්ද,වස විසෙන්ද හිංසාවක් නොවීම
නියමිත ආයුෂ ගෙවන තුරු අකල් මරණයට පත් නොවිම.
—————————————————————–
ඡත්‍ර දානයේ අනුසස් –
ශීත හා උෂ්ණ යන දෙකෙන් පීඩා නොවීම
ශරීරයේ කුණු නොඇලීම
උපද්‍රව නොමැති වීම
අන්තරාය නොමැති වීම
හැම කල්හි අන්‍යයන් ගරු කිරීම
සියුම් සම ඇත්තේ වීම
සිත පිරිසිදු බවින් යුක්ත වීම
සසර සැරිසරණ කල්හි විචිත්‍ර ඡත්‍ර ලක්ෂණයක් හිස මස්තකයේ පිහිටිම

පවන්අතු දානයේ අනුසස් –
ශීත හා උෂ්ණ යන දෙකෙන් පීඩා නොවීම
ශරීරයේ දාහය නොමැතිවීම
සිත තවන දාහයක් නොමැති වීම
රාග ගිනි,ද්වේෂ ගිනි,මෝහ ගිනි,මාන ගිනි,දෘෂ්ටි ගිනි යන සියලු
ගිනි නිවීම

පාවහන් දානයේ අනුසස් –
හස්ති,අශ්ව සිවි,රථ ද සැට ලක්ෂයක් සැම කල්හි තමා පිරිවරා සිටීම
මැණිකෙන්ද,කම්බිලියෙන්ද,රනින්ද,රිදියෙන්ද පාදුකාවෝ පා
ඔසවන කල පහළ විම
ඍධිමය මිරිවැඩිට නැගී සිටීමට හැකි විම.

තෙල් බිදීමට තැබීමට බදුන් පිදීමේ අනුසස් –
නිරෝගී සැප ලැබීම
රූප සම්පත්තිය ලැබීම
ප්‍රිය වචන ඇත්තෙකු වීම
කැපඹුනු සිතින් තොර කෙනෙකු විම
ආරක්ෂා ඇත්තෙකු වීම

අංසකඩ පිදීමේ අනුසස් –
අන් අයගේ සිත් දිනාගන්නා නුවණ ඇතිවිම
පෙර ආත්ම සිහිකිරිමේ නුවණ ඇතිවීම
පැහැපත් ශරීර වර්ණයක් ඇති වීම
සැරයටි,කිහිලිකරු හා රෝදපුටු පූජාවේ ආනිශංසය
තම දරුවන්,පබිරිද,සහෝදර සහෝදරියන් මවිපියන් අකාලයේ
මරණයට පත්නොවීම හා එවැනි ප්‍රිය විප්පයෝග දුකකට පත් නොවිම.

ඉන බදින පටි පූජා කිරිමේ ආනිශංස –
සිත සමාධි කර ගැනීමට හැකිවීම
කරදර වලදී කම්පා නොවන සිතක් ඇතිවීම
තමා වෙත බැදුණු පිරිසක් ඇති විම
අන් අය පිලිගන්නා සත්‍ය වචන ඇති බව
පැහැදිලි මතක ශක්තියක් ඇති බව
නිර්භය බව

අනුසස් එකක් ගෙන දුන් පූජා –
ප්‍රාතාදිය තබන ආධාර පිදීම
කුඩා පිහිද,ලොම් උදුරන අඩු පිදීම.

අනුසස් දෙකක් ගෙන දුන්පූජා –
පිදුරු බිසි පිදීම
යතුරු පිදීම හා පා පුටු පිදීම

අනුසස් තුනක් ගෙන දුන්පූජා –
ඉදිකටු,අසංකඩ,භාජන හා තලි පිදිම

අනුසස් පසක් ගෙන දුන්පූජා –
පිහි,නිය කපන,තෙල් කල් තබා ගන්නා භාජන,අදුන් නල,ඇග ගල්වන තෙල්,තෙල් ගිතෙල් පිදීම හා මුව පිරිසිදු කරන පිදීම

අනුසස් සයක් ගෙන දුන්පූජා –
කොට්ට,දිය පිස්නා,පුටු හා මෙට්ට පිදීම

අනුසස් අටක් ගෙන දුන්පූජා –
නස්‍ය කිරීමේ උපකරන පිදීම හා බෙහෙත් අදුන් පිදිම

අනුසස් දසයක් ගෙන දුන්පූජා –
මහා සැළි හා කරඩු පිදීම.
ආහාරපාන පිදීම
බෙහෙත් පිදීම
සුවද දුම් පිදීම
(මෙම පූජාවෙන්ගේ අනුසස් දැන ගැනීම සදහා ත්‍රිපිටකයේ ආපදාන
පාලිය,පාරමිතා ප්‍රකරණය නැමැති ග්‍රන්ථ බලන්න)

ඇමදීමේ ආනිශංස –
තමාගේ සිත ප්‍රසාදයට පත්වේ
අනුන්ගේ සිත ප්‍රසාදයට පත්වේ
දෙවියන් සතුටු වෙති
රූප ශෝභාව දෙන පිනක් රැස් කරයි
මරණින් මතු ස්වර්ගයේ උපදී

වැදීමේ පිදිමේ ආනිශංස –
ආයු,වණ්න,සැප,බල වැඩිවිම
උසස් කුලවල උප්පත්තිය ලැබීම
මාහානුභාව සම්පන්න වීම
සියල්ලන්ගේම ගරු බුහුමන් ලැබීම

කොඩි පූජාවෙන් ලැබෙන ආනිශංස –
උපනුපන් තැන්වල ජනප්‍රිය පුද්ගලයෙකු වීම
උසස් පුද්ගලයෙකු වීම
සැමගේ ගරු බුහුමනට ලක්වීම
සියලු සැප සම්පත් ලැබීම

සේනාසන පූජාවේ ආනිශංස –
විෂෙන් ආරක්ෂා වීම
අවි ආයුධවලින් ආරක්ෂා වීම
දියෙන් ආරක්ෂා වීම
කලට වැසි ලැබීම
දෙවියන්ගේ ප්‍රියභාවයට පත්වීම
නො අඩුව සියලු සැප සම්පත් ලැබීම

සැලකිය යුතුයි – පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ පදුමුත්තර බුදුන්
වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජාකළ මහා දානයන්ගෙන්
ලැබූ අනුසස් ධර්මය අවබෝධ කළ අප බුදුරජාණන් වහන්සේගේ
ශාසනයේදී ප්‍රකාශ කල අයුරු මෙහි බොහොමයක දක්වා ඇත.
අනුසස් දැක්වීම කාණ්ඩ කොට දක්වා ඇත්තේ පින්කම් සිදුකරන
විට අනුසස් මතකයේ තබා ගැනිම පිණිස මිස අන් විශේෂ කරුණක් මත නොවේ.

විශේෂ කරුණු – පින්කම් තුළින් ලැබෙන අනුසස් අඩු වැඩි විම දායක-ප්‍රතිග්‍රාහක දෙපක්ෂයේ සිල්වත් බවත්,පූජා වස්තුව උපයා
ගැනීමේ ධාර්මික බවත්,පූජාව සිදුකරන දායකයා එහි අනුසස් දැක සිත පහදවා ගන්නා ආකාරය අනුව සිදුවන බව විශේෂ කරුණකි.
හේතු-ඵල ධර්මය දැන ඒ ගැන විශ්වාසය ඇති කරගෙන සිදුකරන
සියලු පින්කම් මහත්ඵල මහානිශංස වීමට (ත්‍රි හේතුක කුසල් වීමට)
ප්‍රධාන හේතුව වන බැවින් ඒ අනුව පින්කම් සිදුකිරීමට පුරුදු
පුහුණු කල යුතුය.

මෙතෙක් වේලා ඔබට පූජාවේ ආනිශංස බොහෝ ගෙනහැර පෑවෙමු.
නමුත් ඔබට ඉදිරිපත් නොකල බොහෝ කර්මයන්හි ආනිශංස විස්තර වශයෙන්ද අප සතුව ඇත.ඉදිරියේදී ඒවා ලබාදීමේ බලාපොරොත්තුවෙන් ලිපිය නවතමු.
මේ පින ඔබටත් අපටත් සසර කෙලවර කිරීමටම හේතු වාසනා වේවා..සම්මා සම්බුදු සරණයි…

තථාගතයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන කාලයේ ආයුෂ්මත් සැරියුත් මහ රහතන් වහන්සේගේ…

තථාගතයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන කාලයේ ආයුෂ්මත් සැරියුත් මහ රහතන් වහන්සේගේ පෙර ආත්ම භාව පහකට පෙර මව වූ පේ‍්‍රතිය අරබයා මේ දේශනාව වදාළ සේක.

දිනක් සැරියුත්, මහමුගලන්, අනුරුද්ධ හා කප්පින යන හිමිවරු රජගහ නුවරට නුදුරු වනයක වැඩ වාසය කළා.

ඒ කාලයේ බරණැස් නුවර එක්තරා බමුණෙක් වාසය කළා. හෙතෙම මහත් වූ ධනය ඇති උපභෝග පරිභෝග වස්තු ඇති අයෙක්. ඒ බමුණා මහණ බමුණන්ට දුගී මගී යාචකයන්ට පැන් පොකුණු තනාදීම දන් පූජා කිරීම ආදී පිළිවෙත් සිදු කළා.

දිනක් බමුණා වෙනත් ප්‍රදේශයකට යන්නට සැරසී තම බිරිඳට කථාකොට කීවා

“මා කරගෙන ආ මේ වැඩපිළිවෙල ඔබත් දිගටම කරගෙන යන්න. මහණ බමුණන්ට සැලකීම දුගීමගී යාචකයන්ට දන්දීම නොනවත්වාම සිදු කරන්නැ” යි කීවා.

ඇය “හොඳයි” කියා එය පිළිගත්තා.

නමුත් ඇය පළමුවෙන්ම භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීම නැවැත්වූවා. දුගී මගී පිරිස් ආ විට දිරා ගිය ශාලාවක් පෙන්වා එහි නිදාගනුව යි කීවා. කෑමට යමක් ඉල්ලු විට අසුචි කාපියව් කියා මුත්‍රා බීපියවු ලේ බීපියවු කියා කෲර ලෙස වචන කීවා.

පසු කාලයේදී ඇය මියගොස් කරන ලද අකුසල කර්මයෙහි විපාක වශයෙන් පේ‍්‍රත යෝනියෙහි උපත ලබා තමාගේ කර්මය අනුව දුක් වින්දා.

දිනක් සැරියුත් තෙරුන් වහන්සේ වෙසෙන විහාරයට ගොස් තමා මීට ආත්ම පහකට කලින් උන්වහන්සේගේ මව වූ බව පැවැසීමට සැරියුත් හිමියන් ඉදිරියේ පෙනී සිටියා.

ඔබේ ඇ‍ෙග් නූල් පොටක් නැහැ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙන්නේ. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?

“අනේ මම මීට කලින් ආත්මභාවවල ඔබ වහන්සේගේ වැදූ අම්මා වෙලා ඉඳල තියෙනවා. එහෙව් මං පෙරේත ලෝකයේ උපන්නා නෙව. මහ බඩගින්දරින් මම දැන් පෙළෙනවා. බැහැර කරපු කාරලා වීසි කරන කෙළ, සොටු, සෙම, පිළිස්සෙන මළ සිරුරුවලින් උතුරන වුරුණු තෙල්, දරුවන් බිහිකරද්දී ගලන ලේ තුවාල වලින් වැගිරෙන ලේ සැරව කකා නාසා ආදිය කැපුනාම ගලන ලේ ස්ත්‍රී පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසුචි මං අනුභව කරන්නේ බඩගින්දර ඉවස ගන්න බැරි නිසාමයි.

ඒ වගේම සතුන්ගේ මිනිසුන්ගේ ලේ සැරව තමයි මං අනුභව කරන්නේ. අනේ මට පිහිටක් නැහැ. ඉන්න තැනක් නැහැ. මං අමු සොහොන ඇඳම පිහිට කරගෙන ඉන්නේ.”

“අනේ පුතුණුවන් වහන්ස, දානයක් දෙන සේක්වා. ඒ පින මට අනුමෝදන් කරන සේක්වා. මේ ලේ සැරව අනුභව කරන ජීවිතෙන් මට නිදහස් වෙන්ට ඇත්නම් මොනතරම් දෙයක්ද?”

කාරුණික් උත්තමයන් වහන්සේ ඒ පෙර භවයේ මෑණියන් වී සිටි තැනැත්තියගේ වචනයට සවන් දුන්නා.

ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ පසු දින මහමුගලන් වහන්සේ ඇතුළු හිමිවරුන් තුන් නමකට ආරාධනා කොට උන්වහන්සේ සමග රජගහ නුවර පිඬුසිඟා හැසිරෙමින් බිම්බිසාර රජුගේ මාලිගයට වැඩියා. රජ සැරියුත් මහ රහතන් වහන්සේ දැක වැඳ

”ස්වාමිනි, කුමක් නිසා වැඩි සේක්දැයි” ඇසුවා.

එවිට මුගලන් මහ රහතන් වහන්සේ රජතුමාට අවශ්‍ය කාරණය සැල කළා. එය තේරුම්ගත් රජතුමා රාජ පුරුෂයන් කැඳවා නුවරට නුදුරු සිහිල් සෙවණ හා ජලය ඇති වනයෙහි හතරැස් කුටියක් හැදුවා. ඒ කුටිය සිව් දිශාවෙන් වඩින සංඝ රත්නයට පූජා කළා. ඒ කුටියත් ආහාරපාන ආදියත් පූජා කිරීමෙන් ලත් පින මවට අනුමෝදන් කළා. ඒ පින දීපු සැනින්ම පුණ්‍ය විපාකය පහළ වුණා. භෝජන වස්ත්‍ර පැන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානයෙහි ඵලය. ඒ පේ‍්‍රතිය ඒ පින අනුමෝදන්ව දෙව්ලොව ඉපැද සියලු දෙයින් සමෘද්ධිව දෙවැනි දිනයෙහි මුගලන් තෙරුණුවන් කරා පැමිණ වැඳ පසෙකින් සිටියා. රහතන් වහන්සේ ඇයගෙන් මෙසේ ඇසුවා.

එතකොට ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුනු ඒ තැනැත්තිය කෝලිතයන් වහන්සේ වෙත එළඹුණා.

පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බබලමින් ඉන්නේ හැම දිශාවම බබුළුවමින් ඉන්නේ ඕසධී තරුවක් වගේ. ඇත්තටම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට පි‍්‍රය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද?

මහනුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකයේ ඉන්න කාලයේ දී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔබ බැබැලි ඉන්න පින මොකක් ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

මා මීට කලින් ආත්මභාවවල සාරිපුත්තයන් වහන්සේගේ වැදූ මව වෙලා ඉඳල තියෙනවා. එහෙව් මං පෙරේත ලෝකයේ උපන්නා නෙව. මහ බඩගින්නකින් මං පෙලුණා.

බැහැර කළ කාරල විසිකළ කෙළ සොටු සෙම පිළිස්සෙන මල සිරුරුවලින් උතුරන වැරුණු තෙල් දරුවන් බිහිකරද්දී ගලන ලේ තුවාල වැගිරෙන ලේ සැරව කකා ස්ත්‍රි පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසුචි මං අනුභව කරන්නේ බඩගින්දර ඉවස ගන්න බැරි නිසයි.

සතුන්ගේත් මිනිසුන්ගේත් ලේ සැරව තමයි මම අනුභව කළේ. අනේ මට පිහිටක් තිබුණේ නෑ. ඉන්න තැනක් තිබුණෙත් නැහැ. මං අමු සොහොනේ ඇඳම පිහිට කරගෙන හිටියේ.

සාරිපුත්තයන් වහන්සේගේ දානය නිසා මට දැන් මොන බයක්වත් නැහැ. මම සතුටෙන් ඉන්නේ. ස්වාමිනි, ලෝකයෙහි කාරුණික මුනින්ද්‍රයන් වන ඔබවහන්සේ වන්දනා කර ගන්නටයි මම මේ ආවේ.

තෙරුවන් සරණයි!

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :