Monthly Archives: February 2015

කල්පයක් තුළ සත්වයෙකුගේ ඇට සැකිලි සියල්ල එකට ගොඩ ගැසුවොත් වේපුල්ල පර්වතයටත් වඩා උ…

කල්පයක් තුළ සත්වයෙකුගේ ඇට සැකිලි සියල්ල එකට ගොඩ ගැසුවොත් වේපුල්ල පර්වතයටත් වඩා උස් වන්නේය.
අද අපගේ ජීවිතය ගෙවෙන්නේ ව්‍යාජ සුරක්ෂිත භාවයකින්. එයින් අන්ධ නොවී අප්‍රමාදීව ධර්මයෙහි හැසිරෙමු. සවන්දෙන්න, හැසිරෙන්න ->

තථාගතයන් වහන්සේ ලොව පහළ නො වන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට හමුවවන්නේ නැත. සද්ධ…

තථාගතයන් වහන්සේ ලොව පහළ නො වන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට හමුවවන්නේ නැත. සද්ධර්මය ලොව පහළ වන්නේත්, පවතින්නේත් කල්‍යාණ මිත්‍රයා නිසායි. සෝතාපත්ති අංගයන්හි දෙවැනි අංගය සද්ධර්ම ශ්‍රවණයයි. බණ ඇසීමෙන් සිදු වන්නේ දහම් දැනුම දියුණුවීම. අද අප සාකච්ඡා කරන්නේ සද්ධර්මය ශ්‍රවණය පිළිබඳවයි.

● ගෞරවණීය ස්වාමින් වහන්ස, සද්ධර්ම ශ්‍රවණය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?

සද්ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ තථාගත ධර්මය හොඳින්ම විමසා බලා අසන එකයි. එයට බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටිය යුතුම නැහැ. උන්වහන්සේ දේශනා කළ ධර්මය අදටත් ලෝකයේ පවතිනවා. ශ්‍රී සද්ධර්මය නිරවුල්ව නිවැරැදිව පවත්වාගෙන ආ ගෞරවය හිමිවිය යුත්තේ සංඝ රත්නයටයි. මුල් යුගයේදී කටපාඩමින් ධර්මය දරාගෙන ඇවිත් කාලයකට පස්සේ පුස්කොළ පොත්වල ග්‍රන්ථාරූඪ කරලා ඒවා පවත්වාගෙන ආවේ උන්වහන්සේලා විසින්.

තථාගතයන් වහන්සේ ගේ ධර්මයේ සුවිශේෂ බුදු ගුණයක් තිබෙනවා “සත්ථා දේව මනුස්සානං” කියලා. දෙවියන්ටත් මිනිසුන්ටත් මෙ ලොව සුව හා පරලොව සුව සහ ලෝකෝත්තර සුවය ලෙස නිවන් සුවයට මඟ පෙන්වූ නිසා ඒ ගුණයෙන් නමස්කාර කරනවා. අපි දැනගත යුතු වචන දෙකක් ධර්මයේ තියෙනවා. ඒ පැවැත්ම හා නැවැත්මයි. මෙ ලොව සුව පරලොව සුව කියන්නේ පැවැත්මයි. නිවන්සුව කියන්නේ නැවැත්මයි. උන්වහන්සේ පැවැත්මට හා නැවැත්ම දෙකටම ධර්මය දේශනා කර තියෙනවා. නිවන් මාර්ගය අනුගමනය කරන්නේ සසර පවතින්නට නොවේ. සසරින් මිදීමටයි. පින්දහම් කරගෙන හොඳ දේ කරගෙන සංසාරයේ ඇවිදින්නට පුළුවන්කමකුත් තිබෙන බව තථාගත ධර්මයේ සඳහන් වෙනව. නමුත් සද්ධර්මය ශ්‍රවණය සෝතාපත්ති අංගයක් ලෙස පත්වන්නේ සසර පැවැත්මට උපකාර වන ධර්මක් ලෙස නොවේ. සංසාර නැවැත්මට උපකාර වන ධර්මයක් ලෙසිනුයි. උදාහරණ ලෙස ගත්තොත් දරුවන් හැදීම, ස්වාමි භාර්යාවන් තුළ තිබෙන ගුණධර්ම කීකරු බව, මව්පිය උපස්ථානය ආදියත් ධර්මයේ සඳහන් වෙනවා. නමුත් ඒ දේවල් ඇසුවාට සෝවාන් වෙන්නට බැහැ. සෝවාන් වීම සඳහා සංසාරය නැවැත්ම සඳහා, නිරෝධය පිණිස අවශ්‍ය කරන ධර්මයත් මෙහි සඳහන් වෙනවා. ඒ ධර්මය ශ්‍රවණය කිරීම තමයි අවශ්‍ය වන්නේ. සද්ධර්ම ශ්‍රවණය සෝතාපත්ති අංගයක් ලෙස පවතින්නේ නිවන පිණිස නිවනට සෘජු වූ ධර්මයන් ශ්‍රවණය කිරීමයි.

● සද්ධර්ම ශ්‍රවණයේදී මුලින්ම ඇති කර ගත යුත්තේ කුමන ගුණාංගය ද?

ධර්ම ශ්‍රවනයේදී මුලින්ම ඇතිකරගත යුත්තේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවක් නැති පුද්ගලයාට බණ අහන්න බැහැ. තුණුරුවන් කෙරෙහි විශ්වාසයක් ගෞරවයක් නැති පුද්ගලයාට බණ අහන්න බැහැ.

අනෙක් කරුණ ඉවසීම. ශ්‍රද්ධාව නැතත් අඩුම තරමේ ඉවසීම තියෙන්න ඕන. තථාගතයන් වහන්සේ ළඟට ගිය හැමෝම බණ ඇසුවේ ශ්‍රද්ධාවෙන් නොවේ. ශ්‍රද්ධාව ඇතිවුණේ බණ අහල ඉවරවුණාට පස්සේ. නමුත් දැන් අපට ඒ ප්‍රතිලාභය තියෙනවා. අපට නැත්තේ ඉවසීමයි. ඒ නිසාම කියන දහම් කරුණු අපට මතක හිටින්නේ නැහැ. ඒ නිසා බණ අහන කෙනෙකුට හොඳ සංයමයක් තිබෙන්න ඕන. සංයමයක් ඉවසීමක් ඕන. ඒකයි මුලින්ම පන්සිල් සමාදන් වෙලා බුදුන් වැඳළා බණ කියන්න පටන් ගන්නේ. එතකොට සිත නිවෙනවා. සංයමයකින් යුතුව ධර්මය ශ්‍රවණය කළවිට ඒ බණ පද උරා ගන්නට දරා ගන්නට තිබෙන ශක්තිය වැඩියි. එක සැරේටම බණ අහන්න වාඩි වුණොත් එය සමහර විට දරාගන්න බැරි වෙනවා. එනිසා ඉවසීම ශ්‍රද්ධාව හා විවේක මානසිකත්වයත් නැවත නැවත මෙනෙහි කිරීමේ විමසා බැලීමේ හැකියාවක් තිබෙන්න ඕන. ඒනිසා නියම ආකාරයට ධර්මය ශ්‍රවණය කළහොත් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා.

● සද්ධර්මය ශ්‍රවණය කළයුත්තේ කෙසේද?

ධර්මයෙහි සඳහන් වෙනවා සුනාථ – හොඳට අහනවා. දෙවැන්න ධාරේථ – අහපු ධර්මය හිතේ දරා ගන්නවා. තුන්වැන්න චරාථ – ඒ ධර්මය අනුව හැසිරෙනවා.

ධර්මය ශ්‍රවණය කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ශ්‍රද්ධාවන්ත පුද්ගලයා ධර්මය අසන්නට කැමැත්ත ඇතිකරගෙන පන්සලට එනවා. ඇවිත් ස්වාමින් වහන්සේ සමග නොදන්නා ධර්ම කරුණු සාකච්ඡා කරනවා. ඊට පස්සේ කන් ඒ පැත්තට යොමු කරගෙන මුළු හිතින්ම බණ අහනවා.

ඒ වගේම ධර්මය ඇසීමේදී සඳහන් වෙනවා සුතා – හොඳට අහනවා. ධතා – ඒක දරා ගන්නවා. පරිචිතා – ඒ ධර්මය පුරුදු කරනවා. වචසා පරිචිතා – වචනයෙන් කියමින් ධර්මය පුරුදු කරනවා. මනසානුඋපෙක්ඛිතා – මනසින් නුවණින් කල්පනා කරමින් පුරුදු කරනවා.

අද කාලයේ දී නම් හුඟක් අය බණ අහන්නට ගිහින් බණ අවසන් වුණාම හොඳ බණ ටික කියලා නැගිටලා එනවා. නමුත් අහපු බණ දරාගෙන මතක තියාගෙන නැහැ. නුවණින් හිතන්නෙත් නැහැ. විමසන්නෙත් නැහැ. එහෙම අයට මේ ධර්ම මාර්ගයේ දියුණුවක් ඇති වෙන්නෙත් නැහැ. ඒ නිසා දිට්ඨියා සුප්පටිවිදයා- තමන් දෘෂ්ඨියෙන් හොඳට සම්මා දිට්ඨියේ පිහිටලා ඒ ධර්මය නුවණින්ම විමසන්නට පුරුදු වෙන්න ඕන. එතකොට තමයි ප්‍රඥාව වැඩි වෙන්නේ.

ධර්මයේ ප්‍රඥා වර්ග තුනක් සඳහන් වෙනවා. සුතමය ප්‍රඥා , චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා. සුතමය ප්‍රඥා කියන්නේ අහලා ඇතිකර ගන්නා වූ දැනුම. චින්තාමය ප්‍රඥා කියන්නේ – ඇසූ ධර්මය නැවත ආවර්ජනය කර ඒ ගැන නැවත නැවත සිතීම. භාවනාමය ප්‍රඥා කියන්නේ ඇසු දේ ආවර්ජනය කර තමා ඇතිකර ගත් දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම.

● සද්ධර්ම ශ්‍රවණයේ අනුසස් මොනවාද?

සද්ධර්ම ශ්‍රවණයේ ආනිශංස 05 ගැන සඳහන් කරලා තියෙනවා.

ඒ තමයි අස්සුතං සුනාති – නො ඇසු දේ අහන්න ලැබෙනවා. සමහර වෙලාවට තමා දන්නවා කියන මාතෘකාවක් යටතේ වුවත් නො දන්නා කරුණු තිබෙන්න පුළුවන්. එයින් දන්න දහම් කරුණු නැවත නැවත විමසා බලන්නට අවස්ථාව උදා වෙනවා. දෙවැන්න සුතං පරියෝදපේති – ඇසු දේ වඩ වඩාත් පිරිසුදුව නිරවුල්ව, තේරුම් ගන්න පුළුවන් වෙනවා. තුන්වැන්න කඞ්ඛං විතරති – ධර්මයේ සැක සංකා තියෙනවානම් ඒවා දුරුවෙනවා. වැරැදි දුෂ්ඨි වැරැදි ලෙස මා තේරුම් ගෙන තිබෙන්නේ කියා සිතෙනවා. හතරවැන්න දිට්ඨිං උජුං කරෝති – ධර්මය නිවන් මඟ පිළිබඳව දෘෂ්ඨිය, සම්මා දිට්ඨිය සෘජු වෙනවා බණ අසන තරමටම. පස්වැන්න චිත්තමස්ස පසීදති – බණ අසන සිත පිරිසුදු වෙනවා. එනිසා ඇසු බණ පදයක් වුවත් නැවත නැවත අහන තරමට සිත පිරිසුදු වෙනවා. ඒ නිසා මේ ධර්මය මම අහල තියෙනවා කියලා සිතුවොත් සිත කිලුටු වෙනවා. ඒ තමයි සාමාන්‍ය මිනිසුන්ට බණ ඇසුවාම තිබෙන ප්‍රතිඵල.

ඊළඟට අපේ ධර්මයේ පුද්ගලයෝ වර්ග දෙකක් ඉන්නවා. “සේක” සහ “අසේක” කියලා. සේක කියන්නේ නිවන් මාර්ගයේ තවම හික්මෙන්න ඕන පිරිස. මේ පිරිසේ හත්දෙනෙක් ඉන්නවා. සෝතාපත්ති මාර්ගයේ යන පුද්ගලයා, සෝතාපත්ති පුද්ගලයා, සකෘදාගාමි මාර්ගයේ යන පුද්ගලයා, සකෘදාගාමි පුද්ගලයා, අනාගාමි මාර්ගයේ ගමන් කරන පුද්ගලයා, අනාගාමි පුද්ගලයා සහ අරහත් මාර්ගස්ථ පුද්ගලයා. මේ හත් දෙනා තමා හික්මුණු පුද්ගලයන්. අසේක කියන්නේ හික්මෙන්නට දෙයක් නැහැ නිවන් මගේ හික්මුණු රහතන් වහන්සේයි ඒ. ඒ දෙපිරිසටම තියෙනවා ධර්ම ශ්‍රවණයේ ප්‍රතිලාභ. සේක පුද්ගලයාට ධර්මය අහනවිට හිතෙනවා අපි තව මේ මාර්ගයේ ඉදිරියට යන්න ඕන. අපි තව ලබාගත යුතු මාර්ග තියෙනවා කියලා. ඒ මාර්ගවල ගමන් කරන්න උනන්දුව උත්සාහය ඇතිවෙනවා. අසේක පුද්ගලයා වූ රහතන් වහන්සේත් බණ අහනවා.

උන්වහන්සේලා එසේ ධර්මය ශ්‍රවණය කරන්නේ නිරාමිස ප්‍රීතියක් තෘප්තියක් ලැබෙන නිසයි. ඒ සද්ධර්ම ශ්‍රවණයේ තිබෙන ආනිශංසයි.

තෙරුවන් සරණයි!

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

හැකිතාක් share කරන්න – ධර්ම දානයේ වැදගත්කම ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ජීවිතය කල…

හැකිතාක් share කරන්න – ධර්ම දානයේ වැදගත්කම

ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ජීවිතය කලකිරුණු බණ්ඩාරවෙල ප්‍රදේශයේ තරුණියක් ප්‍රශ්නවලින් බේරෙන්න තෝර ගත්තේ සිය දිවි නසා ගන්න එක…වස බෝතලය අරන් ඇවිත් රෑට හැමොම නිදා ගන්න අතරෙ වහ බොන්නම් කියල වෙලාව යනකන් ලියුමකුත් ලියලා රේඩියෝව දානවා….ඒ වෙලාවෙ මෙයාගේ පෙර පිනකට Tune වුනේ ඌව ප්‍රජා ගුවන් විදුලිය…මෙ තරුණියට ඇහෙනවා ස්වාමින්වහන්සේ නමක් ලස්සනට බණ කියනවා….
“මෙ ජීවිතේ මෙතනින් ඉවරයි කියල හිතන්න එපා…..ආයේ ආයෙමත් ඉපදි ඉපදි මැරෙමින් යන සසර ගමනක් අපට උරුමයි……”
පැය 2ක් පුරාවට මෙ තරුණිය ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා…..අවසානයේ ඇය තීරණය කරනවා ජීවත් වෙන්න….වස කුප්පිය විසි කරල දානවා….පසුවදාම ඇය ඌව ප්‍රජා ගුවන් විදුලිය සොයා යනවා….එදා ඒ ගුවන් විදුලියේ විකාශය වුනේ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක්….එදා ගුවන් විදුලි නිවේදකයා වුනේ විමල් ධර්මශ්‍රි මහතා…..මෙ මීට වසර 4-5ට පෙර සිදු වූ සිදුවීමක් අදත් ඒ තරුණිය බණ්ඩාරවෙල ජීවත් වෙනවා…..

“මෙ ධර්මය ඇහුන් නැත්නම් මෙ මිනිසුන් විනාශ වෙනවා” කියල සහම්පති බ්‍රහ්මයාගේ ප්‍රකාශය කෙතරම් සත්‍යයද?

බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස, පළමුව දක්වනු ලැබේ. සතර අපායට පත් නොවීම නිතර…

බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස, පළමුව දක්වනු ලැබේ.

සතර අපායට පත් නොවීම
නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම
සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම
නිහතමානී ගති පැවතුම් ඇතිවීම
ලෝකයාට ප්‍රියමනාප වීම
බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම
දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම
අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම
තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම
භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම
පාපයට ලැජ්ජ භය වීම
අධි කුසලයට සිත නැඹුරු වීම
අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම
ගුණ, නුවණින් පිරිපුන් වීම
පිටසක්වල නූපදීම
අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම
උන්මන්තක නොවීම
මිසිදිටු නොගැන්වීම
මරණයට නොබියව මුහුණදීම
මුහුණෙ වර්ණය පැහැපත්වීම
වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම
බුදුබව පවා පැතීමට සිත නැමීම
තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම
යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම
එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම
තම සිතුම් පැතුම් එලෙසම ඉටු වීම
ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම
සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම
සම්මා දිට්ඨියෙහි පිහිටීම
යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම
ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම
ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම
මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම
සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම
නපුරු සිහින නොපෙනීම
භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම

== බුදුගුණ භාවනාව වඩන හැටි ==

බුද්ධානුස්සති භාවනාව අප කාටත් පහසු භාවනාවකි. මෙහිදී සිදු වන්නේ බුදු ගුණ මෙනෙහි කිරීම ය. ඒවා නව අරහාදි බුදු ගුණ වශයෙන් හැඳින්වෙයි. මෙම බුදු ගුණ නවය එක විට ගෙන භාවනා කරනු නොලැබේ. අරහං ගුණයට අයත් වාක්‍යය හොඳින් ප්‍රගුණ කරගත් පසු එයට ම සම්බන්ධ කරගෙන සම්මා සම්බුද්ධ ගුණයට අයත් වාක්‍යය ද ප්‍රගුණ කළ යුතු ය. එසේ එකිනෙක යා කරගනිමින් බුදු ගුණ නවය ම ප්‍රගුණ කරගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි ය. මනසිකාර භාවනාවට යොමු විය යුත්තේ බුදු ගුණ පද නවය ම නිවැරදි ව නිරවුල් ව පැහැදිලි ව මෙනෙහි කිරීමට හුරු වූ කල්හි ම විය යුතු ය.

පළමු කොට බුද්ධාලම්බන ප්‍රීතිය හිතට කාවද්දාගැනීමේ පහසුව සඳහා කුඩා ප්‍රමාණයේ හෝ බුදු රුවක් ඉදිරියෙන් තබාගැනීම යෝග්‍ය වේ. බුදු පිළිම වහන්සේට මල් පහන් සුවඳ දුම් පුදා තම භාවනා අසුනෙහි පහසු ඉරියව්වකින් වාඩි වී ‘බුද්ධාදි උතුමන් අනුගමනය කරන මම කුමන මාර බලයකින් වුව ද නොසැලෙමි’ යන දැඩි අදිටනින් යුතු ව භාවනාවට සූදානම් විය යුතු ය.

අනතුරු ව ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. ආචාර්ය-උපාධ්‍යායන්ට මාගේ ජීවිතය පූජා කරමි. මේ උතුම් පිළිවෙතින් ඒකාන්තයෙන් ම ජරා මරණාදි දුක්වලින් මිදෙමි’ යනුවෙන් ප්‍රාර්ථනා කළ යුතු ය. එසේ ම ස්වල්ප වේලාවක් තමන් ඇතුළු සියලු සත්ත්වයන්ට ම මෙත් වැඩිය යුතු ය. භාවනා කිරීම ආරම්භ කිරීමට ප්‍රථම මෙම පූර්ව කෘත්‍යයන් කිරීමට අමතක නොකළ යුතු ය.

පළමුකොට ඔබ ඉදිරියේ තැන්පත් කරගත් බුදුරුව දෙස හොඳින් බලන්න. දෙනෙත් වසාගෙන සිටින විටත් ඔබ ඉදිරියෙහි බුදුරුව වැඩ සිටින බව පෙනෙනතෙක් ඇස ඇර බලමින් ඇස වසා බලමින් බුදු ගුණ මෙනෙහි කරන්න.

ඔබ දෑස වසාගත් පසු ඔබ ඉදිරියෙහි ප්‍රදර්ශනය වන බුදු රජාණන් වහන්සේගේ රූපය දෙස බලමින් ‘ඉතිපිසෝ භගවා අරහං’ ආදි බුදු ගුණ ගාථාව බුදු බැතිය හා ප්‍රසාදය ඇති කරගනිමින් සිහින් හඬින් සජ්ඣායනා කරන්න. වාඩි වී සිටින ඉරියව්ව අපහසු වේ නම් සක්මන් ඉරියව්වෙන් භාවනා කරන්න. එසේ ම මෙම අභ්‍යාසය කරන කාලය ද අනුක්‍රමයෙන් වැඩි කරගන්න. මෙසේ උත්සාහයෙන් භාවනා කරන විට ඔබ තුළ යම් වෙනසක් දකින්නට ලැබෙනු ඇත. එනම් බුදු ගුණ නවය ඔබට හොඳින් ප්‍රගුණ වනු ඇත. බුදු ගුණ කෙරෙහි ඔබේ ගත සිත වඩාත් භක්තිමත් වනු ඇත. ඔබ තුළ දරදඬු ඕලාරික ගති ගුණ ඇත් නම් ඒවා යටපත් වී, සිත කය මැනවින් තැන්පත් වනු ඇත. බුදු ගුණ කෙරෙහි ම ඔබේ සිහිය පිහිටනු ඇත.

එතැන් සිට පදවිභජන වශයෙන් බුදුගුණ භාවනාව ආරම්භ කළ යුතු ය. එය සිදු කරන්නේ මේ ආකාරයට ය:

ඒ බුදු රජාණන් වහන්සේ අරහත් වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුදු වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සුගත වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ ලෝකවිදූ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ අනුත්තර පුරිසදම්ම වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සත්තා දේවමනුස්සානං වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ බුද්ධ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ භගවා වන සේක.

මෙසේ මනා සිහියෙන් යුතු ව ඉරියව් පවත්වමින් භාවනා කරන්න. උත්සාහයෙන් භාවනා කරන විට ඔබේ සිත තුළ තවදුරටත් පරිවර්තනයක්-වෙනසක් දක්නට ලැබෙනු ඇත. ඔබේ සිත ලෝභ ද්වේෂ වැනි පාප සිතිවිලිවලින් බැහැර වනු ඇත.

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තිය බුද්ධ ගෞරවය ප්‍රීතිය කුශලච්ඡන්දය වීර්යය කයෙහි සිතෙහි සැහැල්ලු බව යන කරුණු ඔබ තුළින් දැකිය හැකි වනු ඇත.

මෙම ආනිසංස ලැබූ පසු තවදුරටත් බුද්ධානුස්සති භාවනාව කරගෙන යෑමට අදහස් කරන ඔබ පදාර්ථවිභජන අභ්‍යාසය ආරම්භ කළ යුතු වෙයි. එනම් ඒ ඒ ගුණයට අයත් බුදු ගුණ විස්තරාත්මක වශයෙන් මෙනෙහි කිරීම යි. මෙම භාවනා අභ්‍යාසය වැඩි කාලයක් කළ යුතු වෙයි:

“ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ කෙලෙසුන් දුරු කළ හෙයින් අරහත් වන සේක. ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විශිෂ්ට ඤාණයෙන් යුතු ධර්මයක් දක්නා ලද හෙයින් සම්මා සම්බුද්ධ වන සේක. ත්‍රිවිද්‍යාවෙන් සමන්විත බැවින් විජ්ජාචරණ සම්පන්න වන සේක.

සුන්දර වචන ඇති හෙයින් සුගත වන සේක. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් බැවින් ලෝකවිදූ වන සේක. දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින් පුරිසදම්මසාරථි වන සේක. දෙව් මිනිසුන්ට අනුශාසනා කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක. සියල්ල අවබෝධ කරගත් බැවින් බුද්ධ වන සේක. පුණ්‍යවන්ත බැවින් භගවා වන සේක.

බුද්ධානුස්සති භාවනාව වැඩීම නිසා ඔබට මේ ආත්මයේදී ම පහත දැක්වෙන ආනිශංස ලබා ගත හැකි වෙයි. එනම්, ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත් වීම, භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත් වීම, භාවනා ප්‍රීතිය බහුල වීම, මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම බුදු රජාණන් වහන්සේ සමඟ වාසය කරමි’යි කියන හැඟීම ඇති වීම, බුදු රජාණන් වහන්සේ අරමුණු කරගෙන ම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම, ධ්‍යානයට පූර්වභාග ප්‍රීතිය ඇති වීම, ධ්‍යානයට පූර්වභාග සැපය ඇති වීම, අංගසම්පූර්ණ උපචාරධ්‍යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි.

මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකි ය. සිහි නුවණින් දිරිමත් ව භාවනා කරන විට ක්‍රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියට ම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදු රජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේ ම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන් ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත් වෙයි.

එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්‍රමාද ව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.

අද සති අන්තයේ කච්චානගොත්ත සුත්‍රය ඇසුරෙන් කෙරුණු වැදගත් ධර්ම දේශනාවකට සවන් දෙන්න…

අද සති අන්තයේ කච්චානගොත්ත සුත්‍රය ඇසුරෙන් කෙරුණු වැදගත් ධර්ම දේශනාවකට සවන් දෙන්න

තථාගතයන් වහන්සේගේ ධර්මයට පිවිසෙන අපට මේ සසර දුකින් එතෙර වීමට තිබෙන පළමු පියවර තම…

තථාගතයන් වහන්සේගේ ධර්මයට පිවිසෙන අපට මේ සසර දුකින් එතෙර වීමට තිබෙන පළමු පියවර තමයි සෝතාපත්තියට පත්වීමට. සෝවාන් වීමට අප කරුණු හතරක් සම්පූර්ණ කළ යුතුයි. ඒ කල්‍යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය හා ධම්මානුධම්ම පටිපදාවයි. මෙයින් අද අපි සාකච්ඡා කරන්නේ කල්‍යාණ මිත්‍රයා සම්බන්ධවයි.

● ගෞරවණීය ස්වාමින් වහන්ස, සෝතාපත්ති අංගයන්ගේ පළමු අංගය වන ‘කල්‍යාණ මිත්‍ර සේවනය’ යනු කුමක්දැයි පහදා දෙන්න.

නිවන්මග තුළ ගමන් කරන්නට බලාපොරොත්තු වන කෙනෙක් විසින් පළමුව ඇතිකරගත යුතු සුදුසුකම් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම නිර්වාණගාමි ප්‍රතිපදාවේ පළමු පියවර වන සෝතාපත්ති අංගයන්ගේ පළමු පියවර වන සෝතාපත්ති ඵලයට පත්වන්නට නම් ඒ පුද්ගලයා තුළ තිබෙන්න ඕන ලක්ෂණ හතරක් තිබෙනවා. ඒවා කියන්නේ සෝතාපත්ති අංග කියලා.

මේ සෝවාන් වන පුද්ගලයෙක් තුළ තිබෙන ලක්ෂණ වලින් පළමු එක තමයි කල්‍යාණ මිත්‍ර සේවනය. ‘කල්‍යාණ මිත්‍රයා’ කියන්නේ ඕනෑම දුකකදී සැපකදී ළඟ ඉන්න, ඕන දෙයකට උදව් කරන, නරක වැඩකට හෝ අතහිත දෙන පුද්ගලයා නොවේ.

ඒ වගේම සමහර අය කියනවා මගේ යාලුවා අන්‍යාගමිකයෙක් වුණත් හොඳ කල්‍යාණ මිත්‍රයෙක් කියලා. ඒකත් වැරැදියි. අන්‍යාගමිකයන්ට බුදුදහමේ පෙන්වාදෙන කල්‍යාණ මිත්‍රයා වෙන්න බැහැ. බෞද්ධ කියන නමට සුදුසු ලෙස හැසිරෙන අයට පමණයි කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්.

● කල්‍යාණ මිත්‍රයාගේ ලක්ෂණ මොනවාද?

මෙතැනදී තථාගතයන් වහන්සේ කරුණු හතරක් අවධාරණය කොට වදාළා. පළමුඑක තමයි ඔහු ‘ශ්‍රද්ධාවන්තයි’. තමන් ශ්‍රද්ධාවන්ත වෙමින් අන් අයද ශ්‍රද්ධාවට නැඹුරු කරනවා. ශ්‍රද්ධාව කියන්නේ් තුණුරුවන් කෙරෙහි අවබෝධයෙන් ඇතිකර ගන්නා පැහැදීමයි. විශ්වාසයයි. සමහර අය ඉන්නවා තමා ශ්‍රද්ධාවෙහි ඉන්නවා. නමුත් අනෙක් අය එයට යොමු කිරීමක් කරන්නේ නැහැ. දෙවැන්න තමා කල්‍යාණ මිත්‍රයා ‘සීල ගුණයෙන්’ යුක්තයි. කය වචනය හික්මවා වැඩ කරනවා වගේම අනෙක් අයත් සීලයෙහි හික්ම වෙනවා.

සමහර අය ඉන්නවා තමා විතරයි දන් දෙන්නේ. අනෙක් අයව සහභාගි කර ගන්නේ නැහැ පින තනිවම කර ගන්නවා. නමුත් වැඩි පිරිසක් එකතු කරගෙන පින කරන තරමට තමයි පරිවාර සම්පත්තිය උදා වෙන්නේ. පින් කියන දේ බෙදා හරිනවිට වැඩි වෙනවා. කල්‍යාණ මිත්‍රයා තමන් දෙනවා වගේම අනිත් අයටත් දීම පුරුදු කරනවා.

ඊළඟට කල්‍යාණ මිත්‍රයා ‘සම්මා දිට්ඨියෙන්’ යුක්තයි. අනෙක් අයවත් සම්මා දිට්ඨියට නැඹුරු කරනවා. සම්මා දිට්ඨියේ අංශ දෙකයි. එකත් දසවස්තුක සම්මා දිට්ඨිය. එයට කියනවා කම්මස්සකථා සම්මාදිට්ඨිය කර්මය ස්වකීය කරගත් දෘෂ්ඨියෙන් ජීවත්වෙනවා කියන එකයි. අනෙක් සම්මාදිට්ඨිය චතුසච්ච සම්මාදිට්ඨිය. ඒ කියන්නේ චතුරාර් සත්‍ය ධර්ය පිළිබඳව ඇති දැක්ම. මේ ලෝකය දුක් සහිතයි. මේ දුකට හේතුව තණ්හාවයි. තණ්හාව නැතිකළොත් දුක නැති වෙනවා. ඒ තණ්හාව නැති කරන්නනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්න ඕන කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුවත් වෙන එක තමයි. චතුසච්ච සම්මා දිට්ඨිය කියන්නේ.

● කල්‍යාණ මිත්‍රයා සිටින්නේ බෞද්ධයන් අතර පමණක්ද?

මේ ලෝකයේ එදා මෙදා තුළ පහල වූ අසහාය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ලෝකයේ පහළ වුණේ නැත්නම් ලෝකයට ශ්‍රද්ධාවක් පහළ වන්නේ නැහැ. කල්‍යාණ මිත්‍ර සේවනය කියන්නේ් මේ බුද්ධ, ධම්ම, සංඝ කියන තුණුරුවන් ඇසුරු කිරීමයි.

තුණුරුවන් කෙරෙහි අවබෝධයෙන් ඇතිකර ගන්නා පැහැදීම, විශ්වාසය අවබෝධය තමයි ශ්‍රද්ධාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණා. එහෙම සම්මා සම්බුද්ධත්වයට පත්වූ බුදුරජාණන් වහන්සේ ධර්මය අනුගමනය කර ධර්ම මාර්ගයේ ගමන් කළ උතුමන් වහන්සේලා ඉන්නවා කියා විශ්වාසය කරලා ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට පෙළෙඹෙන කෙනා තමා ශ්‍රද්ධාවන්තයා. එතකොට ශ්‍රද්ධාවන්තයා බෞද්ධයෙක්. බුදුරජාණන් වහන්සේ ශාස්තෘත්වයේ පිළිගන්නවා නම් ඒ තැනැත්තා බෞද්ධයෙක්. එතකොට කල්‍යාණ මිත්‍රයා ළඟ තිබෙන ප්‍රථම ලක්ෂණය ශ්‍රද්ධාව නම් හැබෑ ශ්‍රද්ධාව තිබෙන්නේ බෞද්ධායාට පමණයි. ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න පු‍්‍රළුවන් බෞද්ධයෙකුම පමණයි.

හැබෑ කල්‍යාණ මිත්‍රයා තමා ශ්‍රද්ධාවෙහි පිහිටනවා වගේ තමා ඇසුරු කරන අයටත් තුණුරුවන් කෙරෙහි ප්‍රසාදය ඇති කිරීමට මහන්සි ගන්නවා. ඒක තමයි කල්‍යාණ මිත්‍රත්වයේ වටිනානකම. අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අයටයි බෞද්ධයා කියන්නේ. එහෙම අයට තමයි කල්‍යාණ මිත්‍රයන් කියන්නේ. හැබැයි අන් ආගම්වල හොඳ යාලුවෝ ඉන්න පු‍්‍රළුවන්. සත්පුරුෂයෝ ඉන්න පුළුවන්. ගුරුවරුන්ට වැඩිිහිටියන්ට සලකන කර්මකර්ඵල විශ්වාස කරන හොඳ යාලුවෝ ඉන්නවා. හැබැයි කල්‍යාණ මිත්‍රයා ඉන්නේ මේ ධර්මය තුළ පමණයි.

ඒ වගේම කල්‍යාණ මිත්‍රයා පි‍්‍රයශීලි පුද්ගලයෙක් වෙන්න ඕන. අඳීන පළඳින ක්‍රමය, කථාබහ කරන ක්‍රමය, ඇවතුම් පැවතුම් අනුව කල්‍යාණ මිත්‍රයා පි‍්‍රයශීලි පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම ඔහු අනෙක් අයගේ ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙනවා. ඔහුගේ පැවැත්ම නිරහංකාර වෙනවා. ඒ වගේම ව්‍යක්ත වෙන්න ඕන. ව්‍යක්ත වෙනවා කියන්නේ අනෙක් අයට තේරුම් යන ආකාරයට කරුණු පැහැදිලි කරන්න පුළුවන්කම. ඉවසන සුළු කෙනෙක් වෙන්න ඕන. අනෙක් පිරිස වචනයෙන් නො ගැලපෙන දේවල් කරන්න පුළුවන්. හිස් වචන කතාකරන්න පුළුවන්. දොස් නගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී කල්‍යාණ මිත්‍රයා කුපිත වෙන්න හොඳ නැහැ. වචනය ඉවසීම පුරුදු කරන්න ඕන.

ඊළඟට සරල තැනින් පටන් ගෙන ක්‍රමයෙන් ගැඹුරුට යන ලෙස ධර්මය කියා දෙන්න ඕන. එයට කියනවා ගම්භීරංච කතංකත්වා කියලා. ඒ වගේම අනෙක් පිරිස වැරැදි පාරවල් වල යොදවන්න හොඳ නැහැ. වැරැදි මානසිකත්ව තියෙන පුද්ගලයන් හමු වෙන්න පුළුවන්. ඒ වගේ අය දිහා සානුකම්පිතව බලන්න පුළුවන් වෙන්නේ කල්‍යාන මිත්‍රයාට පමණයි.

● කල්‍යාණ මිත්‍රයා නිවන් වගේ උපකාර වන්නේ කොහොමද?

ඇත්තටම කල්‍යාණ මිත්‍රය සම්පත්තිය සෝතාපන්න අංග අතර පළමු කාරණය ලෙස දැක්වූයේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නැත්නම් අපට මේ නිවන් මාර්ගයේ දිගටම ගමන් කරන්න බැහැ. ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමැති කල්‍යාණ මිත්‍රයා පහල වූයේ නැත්නම් ධර්මයක් ලොවට පහළ වන්නේ නැහැ. එනිසා අනිවාර්යෙන්ම ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් කල්‍යාණ මිත්‍ර සම්පත්තියත් තියෙන්න ඕන. නිවන් මගේ ගමන් කිරීම තනියම කරන්නට බැහැ. ඔහුට කල්‍යාණ මිත්‍රයෙකුගේ ඇසුර මඟ පෙන්වීම තියෙන්නට ඕන. අපට ඒ සම්පත්තිය ලැබිලා තියෙනවා. ඒ තමයි අපි බුද්ධෝත්පාද කාලයක ඉපදිලා සද්ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් කාලයක අපි ඉන්නේ. උන්වහන්සේ දේශනා කළේ ධර්මය ශාස්තෘන් කර ගන්න කියලයි. ඒ ධර්මය නමැති කල්‍යාණ මිත්‍රයා අද අපිට ඉන්නවා. එනිසා නිවනේ ස්ථාවර වීමට කල්‍යාණ මිත්‍ර සේවනය අපට අත්‍යවශ්‍යයි.

තෙරුවන් සරණයි!

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!