Monthly Archives: February 2015

දුකෙන් මිෙඳන මඟ තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. මේ අෂ්ඨාංගික මාර්ගයේ අනුපිළිවෙලින් ග…

දුකෙන් මිෙඳන මඟ තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. මේ අෂ්ඨාංගික මාර්ගයේ අනුපිළිවෙලින් ගමන් කිරීම තමයි ධම්ම අනුධම්ම ප්‍රතිපන්න කියලා කියන්නේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය කොටස් තුනකට බෙදලා තියෙනවා. සීල සමාධි ප්‍රඥා විදිහට. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංග සකස් කරල තිබෙන ආකාරයට මුලින්ම තිබෙන්නේ ප්‍රඥාව. අපි අනුපිළිවෙලට කියනවා සීල, සමාධි, ප්‍රඥා කියලා

සෝවාන් වීමට කැමැති පුද්ගලයෙක් සම්පූර්ණ කළ යුතු අංග හතරක් ගැන තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළා. එයින් හතරවන අංගය වන්නේ ධම්මානුධම්ම පටිපදාවයි. මේ පිළිබඳව අප සාකච්ඡා කළා.

● ස්වාමින්වහන්ස, ධම්මානුධම්ම පටිපදාව සරලව පහදා දෙන්න.

සෝතාපත්ති අංගයන්ගේ හතරවැනි අංගය මෙයයි. ධර්ම හා අනුධර්ම කියලා අපේ ධර්මයේ වචන දෙකක් තිබෙනවා. තව විදිහකට කියනවානම් ධර්මයට අනුව හැසිරීමයි. ඒ වගේම නිවන පෙන්වන මඟ කියාත් මෙය හැඳින්විය හැකියි. දුකෙන් මිෙඳන මඟ තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. මේ අෂ්ඨාංගික මාර්ගයේ අනුපිළිවෙලින් ගමන් කිරීම තමයි ධම්ම අනුධම්ම ප්‍රතිපන්න කියලා කියන්නේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය කොටස් තුනකට බෙදලා තියෙනවා. සීල සමාධි ප්‍රඥා විදිහට. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංග සකස් කරල තිබෙන ආකාරයට මුලින්ම තිබෙන්නේ ප්‍රඥාව. අපි අනුපිළිවෙලට කියනවා සීල, සමාධි, ප්‍රඥා කියලා. නමුත් මාර්ග අංග පෙළගස්වලා තිබෙන විදිහට මුලින්ම තිබෙන්නේ ප්‍රඥාව. සම්මා දිට්ඨි සම්මා සංකප්ප අංග දෙක අයිති ප්‍රඥාවටයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය කියන මාර්ග අංග තුන අයිති සීලයටයි. සම්මා වායාම සම්මා සති, සම්මා සමාධි අංග තුන අයිති සමාධියටයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පෙළ ගැස්මටනම් එන්නේ ප්‍රඥා සීල සමාධි කියලා.

මෙතැන ඉතා වැදගත් දාර්ශනික අදහසක් ඉස්මතු වෙනවා. ඒ තමයි අවබෝධයෙන් සංවරය කරා ගමන් කිරීම. සීලය කියන්නේ කය වචනය සංවරය නම් සමාධිය කියන්නේ සිතේ සංවරයයි. විසුරුණු සිත එක්තැන් කිරීම තමයි සමාධිය කියන්නේ. කයින් සහ වචනයෙන් වන අකුසල් වළක්වා ගැනීම තමයි සීලය. සීල සමාධි කියන දෙකෙන්ම නිරූපණය වන්නේ සංවරය යි. සීල සමාධිය ඇතිකර ගැනීම අවබෝධයෙන් සංවරවීම ඉතා හොඳයි. අපි සංවර විය යුත්තේ ඇයි කියන අවබෝධය අපි දැනගෙන සංවර වුණොත් ඒ සංවරයමයි වඩාත් වටින්නෙ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන්නේ ඒකයි. අද කාලයේ මිනිස්සු වැඩියෙන් සංවර වන්නේ අවබෝධයෙන් නොවේ. අද අප බොහෝ දේ වලින් වළකින්නේ බය නිසයි. බයට හරි නරකින් වැලකීම හොඳයි. නමුත් අවබෝධයෙන් සංවරවීම තමයි වටින්නේ. බයෙන් සංවරවීමෙන් වන්නේ බය නැති තැන අසංවර වෙනවා.

තථාගතයන් වහන්සේ ගේ කාලයේ සංවරවීම් නැතිනම් සිල් දෙකක් තිබුණා. පළමුව තමයි ආභිබ්‍රහ්මචරිය සීලය සහ ආභිසමාචාරක සීලයයි. ඒ පසුකාලීනව ඇති වූ සිල් පදය. තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් අවුරුදු 20 යනතුරු සිල්පද පනවා තිබුණේ නැහැ. එහෙම සිල්පද පැනවුයේ නැත්තේ එදා මේ ශාසනයට අවතීර්ණ වූ හැමෝම ශාසනයට ආවේ එකම බලාපොරොත්තුවකින්. ඒ දුකින් මිදීම විතරයි. ඔවුන්ට ලෞකික බලාපොරොත්තු තිබුණේ නැහැ. දුකෙන් මිදෙන්නට ආපු කෙනා ගුරුවරයා කියාදෙන මාර්ගයේ ගමන් කරලා දුකෙන් මිදෙනවා. වෙනත් අපේක්ෂාවන් ඒ අය තුළ නැහැ. ඒ නිසා තමයි ඉස්සර කාලේ අමුතුවෙන් නීති රීති යොදා පාලනය කිරිමක් අවශ්‍ය නොවුනේ. අවබෝධයෙන් ඒ පිරිස ඒ මාර්ගයේ ගමන් කළා. පසුකාලීනව මේ ශාසනයට අන්‍යගාමික පිරිස ආවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පරිභෝගයට යටවුණා. ඒ අය මහණවුනේ දුකෙන් මිදීමට නොවේ. සැප විදීමටයි. නොගැළපෙන කටයුතු සිදු වූ නිසා ඒ පිරිස සංවර කරන්න තථාගතයන් වහන්සේට යම් යම් සිල්පද අණකිරීම් කරන්නට සිදුවුණා. එහෙම කරලා යම් යම් සංවරවීම් කළා. එහෙමනම් සීලය වුවත් රකින්න ඕන අවබෝධයෙන්මයි. අවබෝධයෙන් සිල්වත් වූ පුදගලයා සීලය සමාධිය සඳහා උපකාර කර ගන්නවා. ඒ වගේම චිත්ත සමාධිය ඇතිකර ගන්නවා. ඒ සමාධිය තමයි ප්‍රඥාව සහ විද්‍යාව විමුක්තිය සඳහා උපකාර වන්නේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධියෙන් ඉවර වෙනවා. ඊළඟට විද්‍යා හා විමුක්ති තිබෙනවා. සමාධිය උපකාර වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධයට. විද්‍යා කියන්නේ ඒකයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නවාත් සමග කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. විමුක්තිය කියන්නේ ඒකයි. ඒ අනුපිළිවෙලට ගමන් කිරීම තමා ධම්මානුධම්ම පටිපදාව කියා කියන්නේ.

● සෝවාන් අංගයක් ලෙස ධම්මානුධම්ම පටිපදාව යොදා ගතයුත්තේ කෙසේද?

සෝවාන් ඵලයට පත්වෙනවා කියන්නේ නිවන් මගේ පළමු පියවර තැබීමයි. නිවන කියන්නේ තණ්හාව නැති කිරීමයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය තණ්හාව නැතිවෙන ආකාරයට අනුගමනය කිරීම සෝවාන් වීමට ප්‍රධාන හේතුවයි. තණ්හාව නැතිවන ආකාරයට කවුරුන් හරි කටයුතු කරනවා කියන්නේ ඔහු සෝතාපත්ති අංගයක් දියුණු කරනවා. අනෙක් කාරණය තමයි තණ්හාව, බැඳීම ආශාව එකට ගැලපිලා යන සංයෝජන තිබෙනවා. ඒ තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ රූප වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ගොඩවල් පහ තුන් ආකාරයට අල්ලා ගැනීමයි. ඒ තමයි මම, මගේ, මගේ ආත්මය එහෙම නැත්නම් මට ඕන ආකාරයට පාලනය කරන්න පුළුවන් කියලා අල්ලා ගන්නවා. තව විදිහකට කියනවා නම් තණ්හාව, මාන, දිට්ඨි විදිහට මේ පංචස්කන්ධය අල්ලා ගැනීම තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. තණ්හාවෙන් බැදුණු කෙනා තමයි සක්කාය දිට්ඨියෙන් යුක්ත වෙන්නේ. කවුරුහරි පුද්ගලයෙක් මේ තණ්හාව නැතිවෙන විදිහට සිතිවිලි ගොඩ නගනවා නම් මේ පංචස්කන්ධය ඇතිවන බැඳීම නැතිවෙන ආකාරයට කල්පනා කරනවා නම් ඒ තුළම ඔහුගේ සක්කාය දිට්ඨිය නැතිකර ගන්න පුළුවන්. සෝතාපත්ති ඵලයට එය බෙහෙවින්ම උපකාරි වෙනවා.

● ධම්මානුධම්ම පටිපදාවේ යෙදීමෙන් ලැබෙන අනුසස් මොනවාද?

මෙයින් ලැබෙන එකම අනුසස් තමා නිවන. ධම්මානුධම්ම පටිපදාව කියන්නේ බුුදුන් පුදන ක්‍රමය, ධර්මය පුදන ක්‍රමය හා සංඝයා පුදන ක්‍රමයයි. අපි කියනවා ‘ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි’. මේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙන් බුදුන් පුදමි. බුදුරජාණන් වහන්සේ පුදන්නට තිබෙන හොඳම ප්‍රතිපදාව තමයි ධම්මානුධම්ම ප්‍රතිපදව. තව ආකාරයකට කියනවා නම් උන්වහන්සේ පුදන්නට තිබෙන හොඳම ප්‍රතිපදාව ක්‍රමය තමයි උන්වහන්සේ පෙන්වා වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව ගමන් කිරීම. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව ගමන් කිරීම තුළ ලෞකික ලෝකෝත්තර ප්‍රතිඵල දෙකම ලබාගන්න පුළුවන්. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංග ලෞකික වශයෙනුත් දියුණු කරන්න පුළුවන්. භවගාමි කර්ම රැස්වන ආකාරයට ආර්ය අෂ්ඨාංගික මාර්ගය දියුණු කරන්නත් පුළුවන්. උදාහරණයක් ගත්තොත් සම්මා කම්මන්තය අපට ගන්න පුළුවන්. යහපත් ක්‍රියා කියන එක යටතේ දන්දීම අයිති වෙනවා. නමුත් දන් දෙන්න පුළුවන් බැඳීම නිසා නම් බැඳීම මුල්කරගෙන දන් දීමෙන් නිවන් අවබෝධ කරන්නට පුලුළුවන්කමක් නැහැ.

මෙලොව ජීවිත ලෞකික වශයෙන් දියුණු කරන්න ඒක උපකාර වෙනවා. නිවනට උපකාර වීමට ලෝකෝත්තර පැත්තට නැඹුරුවන විදිහට තණ්හාව නැතිවන විදිහට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න ඕන. ධම්මානුධම්ම ප්‍රතිපදාව ලෙස ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස හැසිරුණොත් නියත වශයෙන්ම නිවන ඉලක්ක කරගත් අයෙක් බවට පත්වෙනවා. ඊට අමතරව සීල, සමාධි, ප්‍රඥා ත්‍රිවිධශික්ෂාව දියුණු කිරීම මත වෙන වෙනම ආනිශංස රැස්වෙනවා.

ඒ නිසා මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරුදු කරලා නිවන් මගේ ස්ථාවර වන්නට නම් මේ ලැබුණ මිනිස් ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අවම වශයෙන් සෝවාන් වීමටත් අප උත්සුක කළ යුතුයි.

තෙරුවන් සරණයි!

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

චක්කවත්ති සිහනාද සුත්‍රය 1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ…

චක්කවත්ති සිහනාද සුත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට මාතුලා නම් ගමෙහි වැඩවාසය කළාහුය. එකල භාග්‍යවතුන් වහන්සේ මේ මතු දැක්වෙන ධර්ම කොට්ඨාශය දේශනා කළහ.

2. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් තමන්ම ආරක්‍ෂාස්ථාන කොට තමන් පිහිට කොට ධර්මය ආරක්‍ෂාස්ථානය කොට ධර්මය පිහිට කොට අනෙක් සරණක් නැතිව වාසය කෙරේද? යත්.

´´මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කයෙහි කය අනුව බලන්නෙක්ව, වේදනාවන්හි වේදනා අනුව බලන්නෙක්ව, සිතෙහි සිත අනුව බලන්නෙක්ව කෙලෙස් තවන වීර්යය ඇතිවයහපත් නුවණින් යුක්තව, සිහි ඇතුව ස්කන්ධ ලෝකයෙහි ඇල්මත් මානසික දුකත් දුරලා වාසය කෙරේ.

3. ´´මහණෙනි, පෙර ධාර්මිකවූ ධර්මරාජන්වූ, මහාද්වීප සතරට අධිපතිවූ, දිනන ගති ඇති ජනපදයෙහි ස්ථිරභාවයට පැමිණියාවූ රත්න හතකින් යුක්තවූ ´´දළ්හනෙමී´´ නම් චක්‍රවර්ති රජෙක් විය. ඔහුට මේ රත්න හත වූහ. කවරහුදයත් චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රිරත්නය, ගෘහපතිරත්නය, සත්වැනිවූ පරිණායක රත්නයද යන මොවුහුයි.ඒ රජුට ශරවූ, දිව්‍ය පත්‍රයන්ට සමාන ශරීර ඇත්තාවූ, සතුරු සේනාවන් මර්දනය කරන්නාවූ දහසකටත් වැඩි පුත්‍රයෝ වූහ. හෙතෙම සාගරය අවසාන කොට ඇති මේ පොළොව දඬුවම් කිරීමක් නැතිව ධර්මයෙන් සමගියෙන් දිනා වාසය කළේය. මහණෙනි, එවිට ´´දළ්හනෙමී´´ රජතෙමේ බොහෝ අවුරුදු දහසක්ඉක්මීමෙන් පසු එක්තරා පුරුෂයෙකුට කථාකළේය. කථාකොට ´´පින්වත් පුරුෂය, නුඹ දිව්‍ය චක්‍රරත්නය තුබුනු තැනින් මදක් හෝ මුළුමනින් හෝ යම් දිනෙක ඉවත් වුවොත් මට දන්වව´´යි කීයේය. මහණෙනි, ඒ පුරුෂ තෙමේ බොහෝ අවුරුදු දහස්ගණනක් ඉක්මවීමෙන් පසු දිව්‍ය චක්‍රරත්නය තුබුනු තැනින් ස්වල්පයක් ඉවත්වූ බව දුටුවේය. දැක දළ්හනේම් රජු කරා ගොස්ඒ බව කීවේය.

´´මහණෙනි, ඉක්බිති දළ්හනෙමී රජ තෙමේ වැඩිමහල් පුත්‍රයා මනාකොට රාජ්‍යයෙහි පිහිටුවා, කෙස් රැවුල් කප්පවා කසා වස්ත්‍ර හැඳ ගිහි ගෙයින් නික්ම තාපස භාවයෙන් මහණ විය. ´´මහණෙනි, රාජ ඎෂිවරයා මහණවී සත් දිනකින් දිව්‍ය චක්‍රරත්නය නොපෙනී ගියේය.

´´රජතෙමේ රාජඎෂි (තාපසයා) වෙත ගොස් දිව්‍ය චක්‍රරත්නය නොපෙනී ගිය බව දැන්නුවේය. ඒ රාජ ඎෂි තෙමේ පුත්‍රවූ ක්‍ෂත්‍රිය රජුට මේ කාරණය කීයේය.

4. ´´පුත්‍රය, නුඹ දිව්‍ය චක්‍රරත්නය නොපෙනී යාම ගැන ශෝක නොකරව. පුත්‍රය, මේ දිව්‍ය චක්‍රරත්නය පියාගෙන් ලත් දායාදයක් නොවේ. පුත්‍රය, නුඹ දොස් නැති සක්විති වත් සම්පූර්ණ කරව.´´

´´දේවයන් වහන්ස, ඒ නිවැරදි සක්විති වත් කවරේද?´´

(1). ´´පුත්‍රය, නුඹ ධර්මයෙහි පිහිටා, ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගරු කරමින්, ධරමය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මද්වජයක්ව, ධර්මකේතුවක්ව, ධර්මය ප්‍රධාන කොට ගෙන, සිය අඹු දරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා, ඔවුනට කළයුතු ධාර්මික ආරක්‍ෂා පිළියෙල කරව.´´

(2). ´´බලසෙනගද, ධාර්මික ක්‍ෂත්‍රියයන්ද, බ්‍රාහ්මණ ගෘහපතීන්ද, සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ආරක්‍ෂා පිළියෙල කරව.´´

(3). ´´නිගම ජනපද වාසීන්ද, මහණ බමුණන්ද, සිවුපාවුන් හා කුරුල්ලන්ද, ජීවිත දානයෙන් ආරක්‍ෂා කරව.´´

(4). සිය රටෙහි අධර්ම ක්‍රියා නොපවත්නා ලෙස කටයුතු කරව.´´

(5). සිය රටෙහි ජීවත්වන දුප්පතුන්ට ධනය දෙව.´´

(6). ´´පුත්‍රය, සිය රටෙහි රාගාදිය දමනය කළ, සමනය කළ, විනාශ කළ යම් මහණ බමුණෙක් වෙත්ද, ඔවුන් කරා කලින් කල පැමිණ උන්වහන්සේලාගෙන් අසා යමක් අකුසල්ද එය අත්හැරිය යුතුය. යමක් කුසල්ද එය පිළිගෙන පැවතිය යුතුය. පුත්‍රය, නිවැරදි සක්විති වත් මේවායි´´ කීය.

5. ´´මහණෙනි, ඔටුණු පැළඳි ඒ ක්‍ෂත්‍රිය රජ තෙමේ, ´´එසේය, දේවයන් වහන්සැ´´යි පිය රාජ ඎෂීන් කී පරිදි පිළිගෙන නිවැරදි සක්විති වත් පිරුයේය. එවිට දිව්‍ය චක්‍රරත්නය පහළවිය.´´

´´මහණෙනි, අනතුරුව සිවුරඟ සෙනඟ සහිත සක්විති රජ සමග ඒ චක්‍රරත්නය පූර්ව දිශාවට ගමන් කළේය. මහණෙනි, යම් ප්‍රදේශයක චක්‍රරත්නය පිහිටියේද, සක්විති රජතෙමේ සිවුරඟ සෙනඟ සමග එහි වාසය කළේය.´´

´´මහණෙනි, පූර්ව දිශාවෙහි යම් විරුද්ධ රජ දරුවෝ වෙත්ද, ඔවුහු සක්විති රජ කරා පැමිණ මෙසේ කීවාහුය.´´

´´මහරජ, එනු මැනවි. මහරජ, ඔබගේ පැමිණීම යහපත් පැමිණීමකි. මහරජ, මේ දිවයින ඔබ අයත්ය. මහරජ, අනුශාසනා කරනු මැනවැයි´´ කීය. සක්විති රජතෙමේ මෙසේ අවවාද කෙළේය.

´´ප්‍රාණවධ නොකට යුතුයි. හොරකම් නොකට යුතුයි. කාමමිත්‍යාචාරයෙහි නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් නොබිය යුතුයි. පෙර රාජ්‍ය අනුභව කළ පරිදිම අනුභව කරව්´´ යනුවෙනි.

´´අනික් දිශාවන්හිද යම් ඒ රජදරුවෝ වෙත්ද, ඒ සියල්ලෝම සක්විති රජ අනුව යන්නෝ වූහ.´´

6. ´´මහණෙනි, එවිට ඒ චක්‍රරත්නය සමුද්‍රය කෙළවර කොට ඇති මුළු පොළොව දිනා ඒ රාජධානියටම පෙරළා අවුත් සක්විති රජුගේ ඇතුල් වාසල අලංකාර කරමින් සිටියේය. මහණෙනි, දෙවෙනි තුන්වෙනි ආදී සක්විති රජචරු සත්වෙනි සක්විති රජතෙමේ දක්වා පළමුවෙනි සක්විති රජ මෙන් තෙමේද බොහෝ වර්ෂ දහසක්හුගේ ඇවෑමෙන් වැඩිමහල් කුමාරයා මනාකොට රාජ්‍යැයහි පිහිටුවා, ගිහිගෙයින් නික්ම තාපස භාවයෙන් මහණ විය. රාජ ඎෂිවරයා පැවිදිවී සත් දිනකින් දිව්‍ය චක්‍රරත්නය නොපෙනී ගියේය. එකල්හි රාජ ඎෂිවරයා වෙත පැමිණ දොස් නැති සක්විති වත් නොවිචාළේය. හෙතෙමේ තමන්ගේ මතය පරිදි රටට අනුශාසනා කරයි. ඔහුගේ කාලයෙහි රට වැස්සෝ දියුණුවට නොපැමිණෙත්. එවිට රට වැස්සෝ රැස්ව රජු කරා පැමිණ මෙසේ කීවාහුය.

´´නිදොස් සක්විති වත්හි පිහිටි පෙර රජුන්ගේ කාලයෙහි යම්සේද එසේ තමන්ගේ මතය පරිදි රට පාලනය කරන්නාවූ ඔබගේ කාලයෙහි රටවැස්සෝ දියුණුවට නොපැමිණෙත්. අපි ඔබට නිදොස් සක්විති වත් ප්‍රකාශ කරන්නෙමු´´යි කීහ.

7. ´´මහණෙනි, ඉක්බිති ක්‍ෂත්‍රිය රජ තෙමේ නිදොස් සක්විති වත් ඇසුවේය. එසේ අසන ලද්දාවූ ඔවුහු රජුට නිදොස් සක්විති වත් ප්‍රකාශ කළාහුය. ඒ සක්විති වත් අසා දැහැමි ආරක්‍ෂා, ආවරණ, රැකවල් තැබීය. එසේ වුවත් දුප්පතුනට ධනය නුදුන්නේය. දුප්පතුන්ට ධනය නොදීමෙන් දිළිඳුකම මහත් විය. දිළිඳුකම මහත්වූ කල්හි එක්තරා පුරුෂයෙක් අනුන් අයත් වස්තු හිමියන් විසින් නොදුන් වස්තුව හොර හිතින් ගත්තේය.´´

´´හොරකම් කළේ ජීවත්වීමට ක්‍රමයක් නැති නිසායි´´ හොරා කීවේය.

´´මහණෙනි, එවිට ක්‍ෂත්‍රිය රජතෙමේ ඒ පුරුෂයාට ධනය දුන්නේය.´´

´´මහණෙනි, අනෙක් පුරුෂයෙක්ද හොරකම් කර එසේම ධනය ලබා ගත්තේය. යම් කෙනෙක් අනුන් අයත්, වස්තු හිමියන් විසින් නුදුන් වස්තුව සොර සිතින් ගනිත්ද, ඔවුන්ට රජ තෙමේ ධනය දුන්නේයයි´´ මිනිසුන් විසින් අසන ලදි. ඒ අසා ඔවුන්ට මෙබඳු අදහසක් වීය. ´´අපිද අනුන් අයත් නුදුන් වස්තුව සොරසිතින් ගන්නෙමු නම් ඉතා යහපති´´යි කියාය.

8. ´´මහණෙනි, එවිට එක්තරා පුරුෂයෙක් අනුන් අයත්, නුදුන් වස්තුව සොර සිතින් ගත්තේය.´´

එවිට රජුට මෙබඳු අදහසක් විය. ´´ඉදින් යම් කෙනෙක් අනුන් අයත්, නුදුන් වස්තුව සොරසිතින් ගන්නේද, ඒ ඒ අයට මම ධනය දෙන්නෙමි. මේ කාරණයෙන් සොරකම වැඩෙන්නේය.´´ එවිට රජ තෙමේ රාජපුරුෂයන්ට අණ කළේය. ´´රාජපුරුෂයෙනි, මේ පුරුෂයා අත් පස්සට තබා රැහැනින් දැඩිකොට බැඳ, හිස මුඩුකොට, වදබෙර හඬින් වීථියක් පාසා මංසන්ධියක් පාසා පමුණුවා නුවර දකුණු දොරින් පිටතට ගෙන ගොස් නුවරට දකුණු පැත්තේදී නැවත සොරකම් නොකරන සේ වළකව්, මුල්සිඳිව්, මොහුගේ හිස සිඳිව්´´යයි නියම කෙළේය. රාජපුරුෂයෝ රජුගේ අණ ලෙස කටයුතු කළෝය.

9. ´´මහණෙනි, මෙසේ දුප්පතුන්ට ධනය නොදෙනු ලබන කල්හි දිළිඳු බව අතිශයින් පැතිරී ගියේය. සොරකම මහත් විය. අවි ආයුධ වැඩී ගියේය. ප්‍රාණාතය වැඩී ගියේය. ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. අසූ දහසක් අවුරුදු ආයු ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, සතලිස් දහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ. ප්‍රාණාතය වැඩුණු කල්හි බොරුකීම වැඩී ගියේය. බොරුකීම වැඩී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් හසලිස් දහසක් අවුරුදු ආයු ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, විසිදහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ.බොරුකීම වැඩි ගිය කල්හි කේලාම් කීම වැඩී ගියේය. කේලාම් කීම වැඩී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. ඔවුන්ගේ පුත්‍රයෝ, දසදහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ. පරදාර සේවනයෙහි යෙදීමෙන් ඒ මනුෂ්‍යයන්ගේ පුත්‍රයෝ පන්දහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. ආයුෂයෙන් පිරිහෙනු ලැබූ ඇතැම් කෙනෙක් දෙදහස් පන්සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. ඇතැම් කෙනෙක් දෙදහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. මහණෙනි, දෙදහස් පන්සියයක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන් තද ආශාව, ක්‍රෝධය යන දෙක අතිශයින් පැතිරුනේය. තද ආශාව ක්‍රෝධය යන දෙක අතිශයින් පැතිරී ගිය කල්හි දහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.´´

10. ´´මහණෙනි, දහසක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන් අතර මිථ්‍යාදෘෂ්ඨිය අතිශයින් පැතිරී ගියේය. එකල්හි ඒ සත්වයන්ගේ පුත්‍රයෝ පන්සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. මහණෙනි, මිනිසුන් අතර පන්සියයක් අවුරුදු ආයු ඇතිවූ කල්හි අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යාධර්මය, රාගය අතිශයින් පැතිරී ගියේය. ඒ සත්වයන්ගේ පුත්‍රයෝ දෙසියයක් (??දෙසියපණහක්) අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. මව කෙරෙහි වරදවා පිළිපැදීම, පියා කෙරෙහි වරදවා පිළිපැදීම, ශ්‍රමණයන් කෙරෙහි වැරදි ලෙස හැසිරීම, සිය පවුලෙහි වැඩිහිටියන්ට යටහත් නොවන බව, යන මේ වරද පස පැතිර ගියේය.´´

´´මේ පස වැඩී ගිය කල්හි දෙසියපණහක් අවුරුදු ආයුෂ ඇති සත්වයන්ගේ පුත්‍රයෝ අවුරුදු සියයක් ආයු ඇත්තාහු වූහ. යම් හේතුවකින් මේ මිනිසුන්ගේ පුත්‍රයෝ අවුරුදු දහයක් ආයුෂ ඇත්තෝ වන්නාහුද, එබඳු කාලයක් වන්නේය. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි පස් අවුරුදු කුමරිය ස්වාමියෙකුට දීමට සුදුසු කොට සලකන්නාහු. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි ගිතෙල්, වෙඞරු, තල තෙල්, මී, සකුරු, ලුණු යන මේ රස නැතිවී යන්නේය. දශ අකුසල කර්මපථයෝ අතිශයින් පැතිරෙන්නාහ. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි කුශලය යන නමවත් ඇති නොවන්නේය.´´

´´ඒ සත්වයන් තුළ ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වේෂය, දැඩි වධක චිත්තය (මැරීමේ ආශාව) ඇති වන්නේය.´´

´´මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි සත් දවසක් මුළුල්ලෙහි ආයුධ වලින් ඇන කොටාගෙන විනාශ වන කාලය වන්නේය.´´

11. ´´මහණෙනි, ඒ මිනිසුන්ට මෙබඳු අදහසක් වන්නේය. ´´අපි කිසිවකු නොමරමු, කිසිවෙක් අප නොමරත්වා! අපි තණ ලැහැප්වලට හෝ පඳුරු වලින් ගැවසීගත් ස්ථාන වලට හෝ ගස්වලින් ගැවසීගත් ස්ථාන වලට හෝ ගංගා මැද දූපත වලට හෝ කඳුමුදුන් වලට හෝ පැමිණ වනයෙහිවූ අල, මුල් පලවැල කා ජීවත් වන්නෙමු නම් යහපතැයි´´ සිතා ඔවුහු ඒ තණවලින් ගැවසීගත් ස්ථාන ආදියට පැමිණ සතියක් ජීවත් වෙත්. ඔවුහු කුශල ධර්මයන් සමාදන්වීම හේතුකොට ගෙන ආයුෂයෙන්ද වැඩෙන්නාහ. වර්ණයෙන්ද වැඩෙන්නාහ. ආයුෂයෙන්ද වර්ණයෙන්ද වැඩෙනු ලබන්නාවූ ඒ මිනිසුන්ට විසිවස් ඇති පුත්‍රයෝ වන්නාහ. ක්‍රමයෙන් ආයුෂ අවුරුදු සතලිස් දහසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු අසූ දහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ.´´

12. ´´මිනිසුන් අතර අවුරුදු අසූදහසක් පරමායුෂ ඇති කල්හි ආහාර ආශාවය, මත් මතය, මහළු වීමය යන ආබාධ තුන පමණක් ඇත්තේ වෙයි.´´

13. ´´එකල මේ දඹදිව අතිශයින් සමෘර්ධ වූයේද, සම්පත්තියෙන් පිරුණේද වන්නේය. ගම්, නියම්ගම්, ජනපධ, රාජධානි එකිනෙක සම්බන්ධව පවතින්නේය.´´

´´මේ දඹදිව උනවනයක්, බටවනයක් මෙන් මිනිසුන්ගෙන් අතුරු සිදුරු නැති වන්නේය. කේතුමතී රාජධානිය ප්‍රමුඛ කොට ඇති අසූසාරදහසක් නගරයෝ වහළෙන් වහළට කුකුළෙකුට යා හැකි සේ වන්නාහ.´´

´´මහණෙනි, මිනිසුන් අතර අසුදහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි ඒ කේතුමතී නම් නුවර ධාර්මිකවූ සංඛ නම් චක්‍රවර්තී රජෙක් වන්නේය. ඒ රජතෙමේ දඬුවම නොකොට, ආයුධ නොගෙන මේ මුළු පොළොව ධර්මයෙන් දිනා වාසය කරන්නේය.´´

´´එකල මෛත්‍රිය නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපදින්නේය. ඒ බුදුරජානන් වහන්සේ දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත, මේ ලෝකයද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ජනයාද තමන් වහන්සේගේ උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කරන්නේය. ඒ බුදුරජානන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සර්ව සම්පූර්ණවූ බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරන්නේය. ඒ බුදුරජානන් වහන්සේ නොයෙක් සිය දහස් ගණන් භික්‍ෂු සංයා පරිහරණය කරන්නේය.´´

14. ´´මහණෙනි, එකල්හි සංඛ නම් රජතෙම මහා පනාද නම් රජහු විසින් නකරවන ලද ගංගා නදියෙහි ගිලී පවත්නා ප්‍රාසාදය මතුකොට ගොඩට නංවා එහි කලක් වැස එය අන්‍යයන්ට හැර දමා මහණ බමුණු, දුගී, මගී යාචක ආදීනට දන්දී මෛත්‍රිය නම් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සමීපයෙහි කෙස් රැවුල් කපා සිවුරු හැඳ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වන්නේය. මෙසේ පැවිදිවූ හෙතෙම් ඒ අර්හත් ඵලය තමාම ඉතා උසස් ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ වාසය කරන්නේය.´´

15. ´´මහණෙනි, තමාම ආරක්‍ෂාස්ථාන කොට තමාම පිහිට කොට අනෙක් සරණක් නැත්තෝව වසව්. ධර්මයම ආරක්‍ෂාස්ථාන කොට ධර්මයම පිහිට කොට අනෙක් සරණක් නැත්තෝව වසව්.´´

´´මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් තවන වීර්යය ඇතිව, යහපත් නුවණින් යුක්තව සිහි ඇතිව ස්කන්ධ ලෝකයෙහි ඇල්මත්, මානසික දුකත් දුරලා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන මෙහි යෙදී වාසය කරයි.´´

´´මහණෙනි, (බුදුරජානන් වහන්සේ) නැමැති පියාගෙන් උරුමව තමන්ට පැමිණි ගෝචරයෙහි හැසිරේව්. සිය පියාගෙන් පැමිණි හැසිරිය යුතු ප්‍රදේශයෙහි හැසිරෙන්නාවූ ආයුෂයෙන්ද, වර්ණයෙන්ද, සුවයෙන්ද, සම්පත්තියෙන්ද, බලයෙන්ද වැඩෙන්නාහුය.´´

16. ´´මහණෙනි, භික්‍ෂුවගේ ආයුෂයට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්ද සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තව ඎද්ධිපාදය වඩයි. වීර්යය සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තව ඎද්ධිපාදය වඩයි. චිත්ත සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තව ඎද්ධිපාදය වඩයි. විමංසා සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තව ඎද්ධිපාදය වඩයි. හෙතෙමේ මේ සතර ඎද්ධි පාදයන් වැඩූ බැවින් ඉදින් කැමැත්තේ නම් නියම ආයුෂ කාලය හෝ එයට වැඩියක් හෝ සිටින්නේය. මහණෙනි, මේ භික්‍ෂුවගේ ආයුෂයට කාරණයයි.´´

17. ´´මහණෙනි, භික්‍ෂුවගේ වර්ණයට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ සිල්වත්වූයේ වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවර සිලයෙන් යුක්ත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ ස්වල්ප මාත්‍රා වරදෙහිද භය දක්නාසුළු වූයේ වාසය කරයි.ශික්‍ෂාපද සමාදන්ව හික්මෙයි. මහණෙනි, මේ භික්‍ෂුවගේ වර්ණයට කාරණයයි.´´

18. ´´මහණෙනි, භික්‍ෂුවගේ සැපයට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන් සංසිඳවීමෙන් ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන යන ධ්‍යාන වලට පැමිණ වාසය කරයි. මහණෙනි. මේ භික්‍ෂුවගේ සැපයට කාරණයයි.´´

19. ´´මහණෙනි, භික්‍ෂුවගේ සම්පතට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ මෛත්‍රි සහගත සිතින් සියලු තැන, සියලු ලෝකය මහත්වූ, අප්‍රමාණවූ අවෛරීවූ ක්‍රෝධ රහිතවූ මෛත්‍රි සහගත සිතින් පතුරුවා වාසය කරයි. එසේම කරුණා සහගත සිතින්ද, මුදිතා සහගත සිතින්ද, උපේක්ඛා සහගත සිතින්ද සියලු තැන සියලු ලෝකය පතුරුවා වාසය කරයි. මහණෙනි. මේ භික්‍ෂුවගේ සම්පතට කාරණයයි.´´

20. ´´මහණෙනි, භික්‍ෂුවගේ බලයට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිත කිරීමෙන් අර්හත් ඵලය මේ ආත්මයෙහි ඉතා උසස් ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ භික්‍ෂුවගේ බලයට කරණයයි.´´

´´මහණෙනි, මාර බලය තරම් මැඩපැවැත්වීමට අමාරු අන් බලයක් මම නොදනිමි. එයද මේ අර්හත් බලයෙන් මැඩපැවැතේ. මහණෙනි, කුශල ධර්ම සමාදන්ව පැවතීම් හේතුවෙන් මෙසේ පින් වැඩේ.´´

බුදුරජානන් වහන්සේ මෙසේ දේශනා කල සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු වූහ.

(විසිහය වැනිවූ චක්‍රවර්ති සීහනාද සූත්‍රය නිමියේය)

මොහොතක් සංඝ ගුණ මෙනෙහි කරමු. ඒ ගුණ ස්වල්පයක්වත් අප තුලද ඇතිකර ගැනීමට උත්සාහ කරමු…

මොහොතක් සංඝ ගුණ මෙනෙහි කරමු. ඒ ගුණ ස්වල්පයක්වත් අප තුලද ඇතිකර ගැනීමට උත්සාහ කරමු.
සතර මහා භූත ධාතුවේ අත, පිහිය, ගඳ/සුවඳ ආදී වශයෙන් නිමිති ගැනීම ඇලීම හා ගැටීමට හේතුවයි. සතර මහා භූත ධාතුවේ සත්‍ය ස්වභාවය දැක එහි කලකිරී, නොඇලී, මිදෙමු. ඒ සඳහා උපකාරයක් ->

දුටුගැමුණු රජුගේ මරණය. (බොහෝ සිංහල බෞද්ධයින් විසින් උසස් ලෙස සලකන දුටුගැමුණු රජ…

දුටුගැමුණු රජුගේ මරණය.

(බොහෝ සිංහල බෞද්ධයින් විසින් උසස් ලෙස සලකන දුටුගැමුණු රජතුමාගේ ශ්‍රද්ධාවේ මහත් බව පෙන්වන කතාවකි)

(1) දුට්ඨ ගාමිණී අභය මහ රජ තෙමේ අනුරාධපුරයෙහි සූවිසි වසක් රාජ්‍යය කරවීය. (2) මෙසේ රාජ්‍යය කරවන ඔහුට දරුණු රෝගයක් හටගත්තේය. එවිට සමීපයෙහි සිටියවුන් අමතා මෙසේ කීය; (3) “මා මහා විහාරයට ගෙන ගොස් එය මැද වම්පසින් ලෝහප්‍රාසාදය ද දකුණු පසින් මහාසෑය ද පෙනෙන සේ හොවව්” (4) මිරිසවැටිය ඉදිරියෙහි හොත් රජතුමා දකුණැලයට හරී උතුම් මහාසෑය දකී. (5) වම්පසට හැරී මනහර ප්‍රාසාදය දකී. ඇදෙහි හිදගෙන ඉදිරියෙහි තිබෙන, රහතන්ට වාසස්ථානය වූ මිරිසවැටිය දකී. (6) ඒ කලයෙහි ථේරපුත්තාභය තෙරනම රුහුණේ අනුරාධවිහාරයෙහි වසයි. (7) දිවැසින් මේ කාරණය දුටු එහිමියෝ පොළොවෙහි ගිලී අවුත් රජුගේ හිස පැත්තෙන් මතුවී අස්නක හිදගත්තේය. (8) එසේ හුන් තෙරනම රජු අස්වසමින් මෙසේ කීහ: “මහරජ බිය නොවුව මැනවි; ඔබ විසින් බොහෝ පින් කරන ලදී. (9) මේ මහසෑය චන්ද්‍රයා සේ පිරිසිදුව, සක්ගෙඩියක් මෙන් සුදුව, චන්ද්‍ර සූර්යයන් මෙන් බබළමින් මෙහි තිබේ. (10) මේ ප්‍රාසාදය හිමවතෙහි කෛලාශ පර්වතය මෙන් ද නන්දන වනයෙහි වෛජයන්ත ප්‍රාසාදය මෙන් ද මහමෙර මුදුන මෙන් ද බබළමින් පිහිටියේය. (11) ත්‍රිවිද්‍යා ෂඩභිඥාවන් ද පඤ්චාභිඥාවන් ද ලැබූ රහතන්ට වාසස්ථාන වූ මේ මිරිසවැටි විහාරය ඔබ ඉදිරියෙහි පෙනේ. (12) භික්ෂූන් ලක්ෂයකටද භික්ෂුණීන් අනූනවදහසකටද ඉතා වටිනා මෘදු ස්පර්ශ ඇති තුන් සිවුරු ඔබ විසින් දෙන ලදහ. (13) ඔබ විසින් රැස්කරන ලද මෙකී කුසල් ද නොකී බොහෝ වූ කුසල් ද සතුටු සිතින් සිහි කළ මැනවි.

(14) තෙරුන්ගේ කීම අසා රජතෙමේ මෙසේ කීහ; “මා විසින් යම් දනක් දෙනලද නම් ඒ සියල්ල සිහිකරමි. (15) නමුත් රාජ්‍යය ලබූ පසු මෙවනි දේ කිරීම අපහසු නැත. සිය නිවෙසින් පිටවී සැග වී සිටියදී යමක් දෙන ලද නම් එය අපහසු දීමකි. (16) පෙර කුමාර කාලයේදී පියා මට පරිභව කළ බැවින් මම සේවකයකු සමග කදුරට ගියෙමි. (17) එහි කාංගුම කාංගු පර්වතය සමීපයෙහි ගසක් මුල හුන් මා කිසිවෙක් හැදින නොගත්තේය. (18) මාලෙය්‍ය දේව තෙරනමද ධම්මගුත්ත තෙරනම ද ධම්මදින්න තෙරනම ද පූජ්‍ය වූ ව්‍යග්ඝ තෙරනම ද (19) යන සතරනම අනාගතය බලමින් මට අනුකම්පා කොට ඇවිත් මා ඉදිරියෙහි වැඩ සිටියාය. ඒ අවස්ථාවෙහි දිරාගිය වස්ත්‍රයක් ඇදගත් එක් දුගී ස්ත්‍රියක් කොංගු ධාන්‍ය පිරෙව් ලබුකැටයක් ගෙන වැපිරීම සදහා කෙතට ගියාය. (21) මම මාගේ සිංහ ලකුණ ඇති කඩුක්කමක් ගෙන එය නො පෙනෙන ලෙස ගලකින් තළා ඒ ස්ත්‍රියට දුනිමි. (22) ස්ත්‍රිය මට එක් නැළියක් පමණ කොංගු ධාන්‍ය දුණි. මම ඒ කොංගු කොටා බතක් සම්පාදනය කළෙමි. (23) එවිට මා හදුනාගත් මිනිසුන් සතර දෙනෙක් දීකිරි කලයක් ද මස් ද මට පඩුරු සදහා ගෙනාහ. (24) මම ඒ සියල්ල එක්කොට වර්ණගන්ධ රසයෙන් යුත් ආහාරයක් සම්පාදනය කොට (25) ඒ තෙරසතරනමගේ පාත්‍ර ගෙන පුරවා සතුටු සිතැතිව නමස්කාර කොට පිළිගන්නුවෙමි. (26) මාගේ දානය රැගත් දේව තෙරනමත් ධම්මගුත්ත තෙරනමත් අහසට නැගී ගියහ. (27) ධම්මදින්න ව්‍යග්ඝ තෙර දෙනම දියෙහි ගිලෙන්නා සේ පොළවෙහි ගිලී ගියහ. (28) මේ දානය මට අද දුන් එකක් සේ පෙනේ; අන් සියලු දානයන්ට ඉදිරියෙන් පෙනේ.

(29) තවත් දානයක් මට විශේෂ දානයක් සේ පෙනේ. තිස්ස කුමරු හා යුද්ධ කොට කීපවරක් පැරදී භටයන් විසින් ලුහුබදනා ලදුව (සංඝයා) මැවූ පර්වතය වෙත පැමිණ මම වනයට පිවිසියෙමි. තිස්ස කුමාරා එතැනින් නැවතුනි. (31) වන මැදට පැමිණි මම සාපිපාසා දෙකින් පීඩිත වූයෙම් යම්කිසි ආහාරයක් සෙවුවෙමි. (33) මාගේ කීම ඇසූ ඇමති තෙමේ ” ස්වාමීනි මාගේ අතේ බත්මුලක් ඇත, ආහාර අනුභව කළ මැනැවැ ” යි කීය. (34) “යෙහෙකි මිත්‍රය, ඒ ආහාරය සතර කොටසකට බෙදා එයින් එක් කොටසක් මා වෙත ගෙනෙව” යි මම කීවෙමි. (35) එසේ ගෙනාවිට එය අතට ගත් මම කදුළු පිරුණු ඇස් ඇතිව හඩමින් ශෝකයෙන් රත්වූ හර්දය ඇතිව මෙසේ සුතුවෙමි: ” මම යම්කලක වැඩිවියට පැමිණියේමි නම්, එතැන් සිට මහසගනට නොදී කෑ බවක් නොදනිමි’. (37) මාගේ අදහස දැනගත් පුවගු දිවයින වැසි තෙරෙනමක් අහසින් අවුත් මා ඉදිරියෙහි සිටියේය. (38) සතුටු වූ මම එතුමාට වැද දෙකොටසක් එක්කොට සියතින් දෙනු කැමති වීම්. (39) තිස්ස ඇමතියා ද එය දැක ඔහුගේ කොටසත් එහි දැමී. අශ්වයාත් හිස සෙලවූ බැවින් උගේ කොටසත් එහි බහාලීමි. (40) විචක්ෂණ වූ ඒ බුද්ධ පුත්‍ර තෙමේ ඒ භික්ෂාව රැගෙන අහසට නැගී ආරාමයට පැමිණියේය. (41) එතුමා ඒ ආහාරය තෙළෙස් දහසක් භික්ෂූන්ට වැළද වීය. නැවත පාත්‍රය පුරවා මා වෙත එවීය. (42) අපි තිදෙන ඒ ආහාරය අනුභව කොට පාත්‍රය මනා කොට සෝදා හරවා යැවීමු. (43) මෙසේ මට කරදර ඇති කාලයක සිටිමින් සාපිසාවෙන් පෙළී ජීවිතයෙහි බලාපොරොත්තු නැතිව පෙර දන් දුනිමි.

(44) සමූහයන්ට අග්‍ර වූ ශිලාදි නොයෙක් ගුණයන්ගෙන් හෙබි බෞද්ධ සංගයා කෙරෙහි පැහැදුණු සිතැතිව මම දානාදි නොයෙක් පින් කම් කළෙමි. මා රැස්කළ ඒ ශ්‍රේෂ්ඨ පින් සියල්ල ඉක්මවා මාගේ ආහාර කොටස දුන් දානය ඉදිරියෙහි සිටිනු මට පෙනේ. ඒ දානය සිහිකරමින් මම රම්‍ය වූ තුසිත පුරයට යන්නෙමි. ඒ දෙව්ලොව වසන අජිත දේවපුත්‍රයා අනාගතයෙහි බුදු වන්නේය”. මෙසේ කියා ඒ රජ කෘමී සමූහයාට වාසස්ථානය වූ මේ ශරීරය හැරදමා උතුම් රථයකට නැග දෙව්ලොවට ගියේය.

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.

තථාගතයන් වහන්සේ ලෝකයට පහළ වෙලා අපට දේශනා කළේ දුකින් නිදහස් වන වැඩ පිළිවෙලක්. මේ…

තථාගතයන් වහන්සේ ලෝකයට පහළ වෙලා අපට දේශනා කළේ දුකින් නිදහස් වන වැඩ පිළිවෙලක්. මේ වැඩ පිළිවෙල අනුගමනය කිරීම තුළින් සසරින් එතෙර වීමට පුළුවන් බව උන්වහන්සේ වදාළා. ඔබ සසරට බිය නම්, සසරින් නිදහස් වීමට කැමැති නම් ඒ සඳහා උනන්දුවක් ඇතිකරවා දීමට සෝතාපත්ති අංග අප මෙසේ සාකච්ඡා කළා. එහි තුන්වැනි අංගය වන්නේ යෝනිසෝ මනසිකාරය යි.

● ස්වාමින්වහන්ස, යෝනිසෝ මනසිකාරය යන වචනය පහදා දෙන්න?

සෝවාන්වීමට කැමැති අයෙක් තුළ තිබිය යුතු තුන්වැනි ගුණාංගය වන්නේ යෝනිසෝමනසිකාරය යි. මෙහි සරල තේරුම වන්නේ නුවණින් කල්පනා කිරීමයි. නුවණින් විමසීමයි. අපි දෙයක් නුවණින් විමසා බලන්න ඕන ඇයි?

සතිපට්ඨාන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ මිනිසුන්ගේ චිත්ත ස්වභාව දෙකක් තියෙනවා. ඒ තමයි ලෝකය ලෙස මිනිසුන් දකින දේ හා ඒ සම්බන්ධව මිනිසුන් ඇතිකර ගන්නා මානසික තත්ත්වය. ඒ තමයි ඇලීම හා ගැටීම. ලෝකය හා මිනිසුන් දකින්නේ හඳුනාගෙන තිබෙන්නේ මොකක්ද?

සාමාන්‍යයෙන් අප ලෝකය කියන්නේ පෘතුවියටයි. නමුත් ධර්මානුකූ®ල ලෝකය කියන්නේ ඇසට පෙනෙන දේ, කනට ඇහෙන දේ, නාසයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කයට දැනෙන දේ වගේම මනසට සිතෙන දේ. තවත් විදිහකට කියනවානම් පංචකාම සම්පත් කියන ලෝකය හමුවේ පෘතග්ජන මනුස්සයා කරන වැඩ දෙකක් තියෙනවා. එකක් ඇලෙනවා. අනෙක ගැටෙනවා. එහෙම ඇලීම ගැටීම ඇතිවන්නේ මෝහය නිසා. මුලාව නිසා. මේ දෙකෙන් ලෝකය මිදෙන්න නම් ලෝකයේ පැවැත්ම නැතිකර ගන්න නම් සසර දුකෙන් මිදෙන්න නම් කුමක්ද කළ යුත්තේ? මේ ඇලෙන ගැටෙන ස්වභාවය නැතිකර ගන්න ඕන.

සතිපට්ඨාන සූත්‍රයේ සදහන් කරල තිබෙන පරිදි ලෝකයේ තිබෙන ඇලීම ගැටීම නැතිකර ගත යුතුයි. ඒ සඳහා කළ යුත්තේ ලෝකය යනුවෙන් හඳුන්වන කාරණා සම්බන්ධව නුවණින් සිතීමයි. නුවණින් හිතනකොට යෝනිසෝමනසිකාරය තුළ ක්‍රියාත්මක වන කරණා තුනක් තිබෙනවා. ඒ ලක්ෂණ තුනට කියන්නේ ආතාපි, සම්පජානු, සතිමා කියලා. සාමාන්‍යයෙන් භාෂාවේ රිත්මය රැක ගැනීම සඳහා ඒ වචන මේ ආකාරයේ අනු පිළිවෙලට පෙළ ගැස්සුවාට ක්‍රියාත්මක කරනකොට කරන්නේ සතිමා, සම්පජානු, ආතාපි කියලා. සතිමා කියන්නේ සිහියෙන් බලනවා. උදාහරණයක් වශයෙන් රූපයක් දෙස අප බලනවා. එය සිහියෙන් කළයුතුයි. අවසිහියෙන් බලනකොට තමයි එක එක දේවල පැටලෙන්නේ. සිහියෙන් බලනවා කියන්නේ මම දැන් රූපයක් දෙස බලනවා කියලා නුවණින් සිතීමයි. තේරුම් ගැනීමයි. ගඳ සුවඳ දැන ගැනීමේදීත් ශබ්දයක් ඇසීමේ දී මේ සියලු කරුණුවලදී සිහිය පුරුදු කළ යුතුයි. සිහියෙන් බලනවා කියන්නේ පුද්ගලයා වර්තමානයේ ජීවත්වීමට හුරු කිරීමයි. වර්තමානයේ ජීවත්වීම තුළින් ඔහු නිතරම කරන ක්‍රියාව දැනුවත් වෙලා කරන්නේ. ගොඩක් අය වර්තමානයේ ජීවත්වෙලා වැඩ කරනවා. නමුත් අතීත සංස්කාරයේ සිත තියෙන්නේ. එක එක ඒවා සිත සිත තමයි වැඩ කරන්නේ. අප දැන් ටී.වී. එක දිහා බලාගෙන කනවා. එතකොට කණ එක තැනක. සිත තව තැනක. ඒ නිසා සිහියෙන් යම් වැඩක් කරනවා නම් ඒ මොහොතේ කරන ක්‍රියාව ගැන දැනුවත් වෙනවා. නමුත් එහෙම දැනුවත්ව කරන හැම දෙයක්ම කුසල් නොවේ. අනුභව කරනවා කියලා දැනගෙනම අනුභව කරන එකම කුසලයක් නොවේ. හැම ක්‍රියාවක් තුළම කුසල් හා අකුසල් දෙකම ඇතිවෙන්න පුළුවන්. ඒ හඳුනා ගැනීම තමයි සම්පජාන කියන්නේ. ආහාර කනවානම් ඒ කෑම තුළ රස සංඥාව, ද්වේෂය, මාන්නය ඇතිවෙන්න පුළුවන්. ඒ ඇතිවන ක්ලේශයන් ගැන දැනුවත් වෙන්න ඕන. එතකොට තමයි අපිට ඒවා පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ දැනුවත්වීම තමයි සම්පජානු කියන්නේ. ඒ දැනුවත් වීම තුළින් අප දන්නවා අපි කරන මේක කුසලයක්. මේක අකුසලයක් කියලා. අකුසලයක් ඉස්මතුවෙලා ආවොත් එයා කෙලෙස් තවන වීර්යෙන් එය මැඩ පවත්වන්නට උත්සාහ කරනවා. ඒක ආතාපි. කුසලයක් ආවානම් එය වැඩිදියුණු කර ගන්නවා. ඒක කරන්නේ මේ මොහොතේ. අතීතයේ දී හෝ වර්තමානයේ දී නොවේ. ඒ විදිහට එදිනෙදා කරන සෑම ක්‍රියාවක් තුළින්ම නුවණින් බලමින් විමසමින් කෙලෙස් ඇතිවෙන්න නොදී කටයුතු කිරීමට තමා යෝනිසෝ මනසිකාරය කියන්නේ.

එහෙම විමසල බලනකොට ක්‍රියාත්මක වෙනකොට ඕනෑම කෙනෙකුට තේරෙන පොදු ලක්ෂණයක් තමයි මෙතැන තිබෙන්නේ. ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයක් පමණයි. අපට රූපයක් පෙනුනාම දැනගන්නවා මෙතෙන රූපයක් තියෙනවා. චක්ඛු විඤ්ඤාණය තුළින් ඒක දැනගත්තා කියලා ඒ ක්‍රියාවලිය තේරුම් ගන්නවා. එතකොට ධර්මය ගැන දැනුවත් වෙලා ඉන්න පුද්ගලයා මේ ක්‍රියාවලිය හඳුනාගෙන තේරුම් ගන්නවා. මෙතැන මේ ක්‍රියාව කරන සත්ත්වයෙක් පුද්ගලයෙක් නැහැ කියලා. එහෙනම් මම කියලා මගේ කියලා මට ඕන ආකාරයට මෙතැන පාලනය කරන්න දෙයක් නැහැ කියලා තේරුම් ගන්නවා. සක්කාය දිට්ඨිය නැතිවීමට මේ යෝනිසෝ මනසිකාරය මහත් සේ උපකාරි වෙනවා. සක්කාය දිට්ඨිය නැතිවීම තමා නිවන් මගට පිවිසෙන්නට තිබෙන ප්‍රධාන දොරටුව. ඒක කඩන්නේ නැතිව ඉදිරියට යන්න බැහැ. ඔහු තේරුම් ගන්නවා මෙතැන තිබෙන්නේ ඉන්ද්‍රිය ධර්මවල ක්‍රියාකාරීත්වය පමණයි කියා. එහෙම වැටහෙන්නට යෝනිසෝ මනසිකාරය බෙහෙවින් උපකාර වෙනවා. අප මේ සියලුම දේ ගැන යෝනිසෝ මනසිකාරයෙන් බලන්නට නම් සද්ධර්ම ශ්‍රවණයත් දහම් දැනුමත් තියෙන්න ඕන. නැත්නම් ඒක තේරෙන්නේ නැහැ.

ඉහත කී ආතාපි, සතිමා, සම්මජානු කියන ලක්ෂණ තුන යෝනිසෝ මනසිකාරය තුළ ක්‍රියාත්මක වෙන්න ඕන. නිවන් මගට අරමුණු කරල නුවණින් විමසීම ඒ ආකාරයටයි සිදුවිය යුත්තේ. මමත්වයෙන් තොරව ඉන්ද්‍රියයන් ක්‍රියාකාරීත්වය දෙස බැලීම තමයි මෙතැනදී යෝනිසෝ මනසිකාරය වන්නේ.

● ලෞකික ජීවිතයේදීත් අපට මේ යෝනිසෝ මනසිකාරය උපකාරි වෙනවා නේද?

ඔව්. ලෞකික ජීවිතයේදීත් අපට යෝනිසෝ මනසිකාරය උපකාරි කර ගන්නට පුළුවන්. එදිනෙදා ජීවිතයේදී අප කරන කියන වැඩකටයුතු හොඳට විමසලා බලලා කරනවානම් නරක දෙයින් වළකින්නට අපට ඕන තරම් ඉඩ තියෙනවා. අප කතා කරනකොට යෝනිසෝ මනසිකාරය නැහැ. මේ කතා කරන දේ හොඳයිද? මේක ගැලපෙනවාද? අනෙක් අයගේ සිත මගේ වචනය නිසා රිදෙයිද? එහෙම හිතන්නේ් නැහැ. ඒ යෝනිසෝ මනසිකාරය නැති නිසයි. ඒ නිසා සමාජයෙන් නින්දා අපහාස විඳිනවා. විවිධ ක්‍රියාකාරකම් කරන්න ගිහින් පිරිහෙනවා. ඒ තත්ත්වයෙන් මිදෙන්නට අපට යෝනිසෝ මනසිකාරය ලෞකික ජීවිතයේදීත් බොහෝ උපකාරි වෙනවා.

● යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළ හැක්කේ බෞද්ධයන්ට පමණද?

යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන් බෞද්ධයකුට පමණක් නොවේ. අප දන්නවා සෝතාපත්ති ඵලයට පත්වන්නේ ධර්මය ශ්‍රවණය කරලානේ. එතකොට ධර්මය ශ්‍රවණය කරලා වටහා ගත්තට පස්සේ තමයි සමහර පිරිස් බුදුන් සරණ යන්නේ. ධර්මය වටහා ගැනීමයි, බුදුහාමුදුරුවෝ සරණ යාමයි එකට බැඳිලයි තියෙන්නේ. ඔහු ධර්මය වටහා ගත් පමණින් සිතනවා අනේ මේ වගේ ධර්මයක්නේ තථාගතයන් වහන්සේ දේශනා කර තියෙන්නේ කියලා. ඒ අනුව බැලුවොත් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි මඟ පෙන්නීමක් අවශ්‍යයි. නමුත් ආත්ම දෘෂ්ඨියෙන් තොරව ලොව දෙස බලන්න පුළුවන්කම තිබෙන්නේ මේ බෞද්ධ ධර්මයේ පමණයි. ඒකයි තථාගතයන් වහන්සේ වදාළේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි ආදි මාර්ගඵලලාභීන් බිහිවන්නේ මේ ශාසනයේ පමණයි කියලා.

නමුත් ලෞකික අර්ථයෙන් ගත්තොත් නුවණින් විමසා කල්පනා කර බලනවා කියන්නේ ඕනෑම ආගමික කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් එයා කවදා හෝ ආත්ම දෘෂ්ඨියෙන් තොරව සත්‍යය අවබෝධ කර ගන්නවාත් සමගම ඔහු බුදුදහම වැළඳගත් ධර්මය විශ්වාස කරනා පුද්ගලයෙක් බවට නිරායාසයෙන්ම පත්වෙනවා.

මේ ධර්මයෙන් බැහැරව ඉන්න අයට මෙහි ඇති සත්‍ය වටහා ගන්නට අමාරුයි. ඒ නිසා අහන ධර්මය උපයෝගි කරගෙන ලෝකය හමුවේ කටයුතු කරන ආකාරය තමයි යෝනිසෝ මනසිකාරයෙන් විස්තර කරන්නේ. ඒක සෝවාන් වීමට අනිවාර්යයෙන්ම උපකාරි වෙනවා.

තෙරුවන් සරණයි!

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

''පින්වත් මහණෙනි, ධනධාන්‍ය වලින් පිරිහීමට පත් ව කෙනෙකු දුප්පත් වේ නම් එය සුළු දෙ…

”පින්වත් මහණෙනි, ධනධාන්‍ය වලින් පිරිහීමට පත් ව කෙනෙකු දුප්පත් වේ නම් එය සුළු දෙයකි. නමුත් යමෙක් ප්‍රඥාවෙන් පිරිහී අවබෝධඥානයෙන් දිළිඳු වේ නම් එය වනාහි ඉතා ම අවාසනාවන්ත ම දිළිඳුකමකි.”
(අංගුත්තර නිකාය)

ධර්මයට එක්වන්නට සවන්දෙන්න ->

ලස්සනම හිස් කබල කුමක්ද? ලස්සනම ඇට සැකිල්ල කුමක්ද? සත්ව පුද්ගල නොවූ ආහාරයේ ඇති ක…

ලස්සනම හිස් කබල කුමක්ද?
ලස්සනම ඇට සැකිල්ල කුමක්ද?

සත්ව පුද්ගල නොවූ ආහාරයේ ඇති කැල්සියම් වලින් සැදුණු ඇට සැකිල්ල පමණක් ඇත. මේ ආහාර ගොඩවල් ‘මම ය, මගේ ය’ කියා මානයෙන් පරිහරණය කරන මුලා වූ මෝඩ සත්වයින් දෙස බලන්න.

මෙසේ අසන්ට ලැබේ. උතුම් ද්වීපයන්ට මුදුන්මල් කඩක් වැනි වූ සිංහල ද්වීපයෙහි භාවනානුය…

මෙසේ අසන්ට ලැබේ. උතුම් ද්වීපයන්ට මුදුන්මල් කඩක් වැනි වූ සිංහල ද්වීපයෙහි භාවනානුයෝගීන් වසන කාළකන්දර නම් විහාරයක් ඇත. ඒ වෙහෙරෙහි මෛත්‍රි විහරණ ඇති, වත්පිළිවෙත්හි යෙදුණු, සස්නෙහි පිහිටි ඵුස්සදේව නමැති යෝගී තෙර නමක් පන්සියයක් භික්ෂූන්ට අවවාද දෙමින් වාසය කරයි. හෙතෙම මිනිසුන්ට ප්‍රියමනාප වූ අතිශයෙන් දැකුම්කලු පුද්ගලයෙක් විය. යම් අවස්ථාවක තෙර නම පිඬුපිණිස යේ නම් ඒ මග කුඹුරුවල වැඩකරන මිනිස්සු ගොනුන් ලිහා තෙරුන් වැඳීමට මගට එති.

ගොන්නු ඒ කාලයේ දී තමන්ට නිදහස ලැබෙන බැවින් තෙරුන්ගේ ඒම බලාපොරොත්තුවෙමින් සතුටු සිතැත්තෝ වූහ. ඒ චිත්ත ප්‍රසාදයෙන් ඔවුහු තව්තිසාභවනයෙහි උපන්හ. ඉක්බිති එසේ උපන් පෙර ගොන්නුව සිටි දේව පුත්‍රයෝ පන්සිය දෙනෙක් සුධර්මාසභාවෙහි රැස්ව දෙව්රජු ඉදිරියෙහි මෙසේ කීහ: (1) සිල්වත් ගුණවත් උගත් ඵුස්සදේව යයි ප්‍රකට වූ තෙරමක් කාළකන්දර ලෙණෙහි වසයි.

(2) හෙතෙම අඩු ආශා ඇත්තේ ය. ධුතාඞ්ග දරන්නේ ය, සියලු සත්ත්වයන්ට අනුකම්පා කරන්නේ ය. විවේකයෙහි ඇලුණේ ය, ධ්‍යාන වඩන්නේ ය. මනා සිහි ඇත්තේ ය, ශාන්ත සිත් ඇත්තේ ය, (3) ඒ තෙරනම සියලු සතුන්ගේ යහපත කැමති වේ, සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවමින් කාළකන්දරයෙහි වසයි. (4) ඒ තෙරනම මිනිසුන්ට ද අමනුෂ්‍යයන්ට ද මෘගපක්ෂීන්ට ද ප්‍රිය වේ.

හෙතෙම නිතර වනයෙහි වසයි. (5) දිනූ ඉඳුරන් ඇති ඒ ඵුස්සදේව තෙරනම මෙසේ අනන්තගුණ ඇත්තේ ය. (6) පන්සියයක් පමණ ගොනුන්ව ඉපද සිටි අපි තෙරුන් කෙරෙහි සිත පහදවා මේ දෙව්ලොවට පැමිණියෙමු. (7) නොයෙක් මෘගපක්ෂීහු ද එතුමන් කෙරෙහි සිත පහදවා දෙව්ලොව උපන්හ. මිනිසුන් ගැන කියනුම කිම? (8) මෙසේ ඒ සිල්වත් මනාසංවර ඇති තෙරනම දෙව්මිනිස් බොහෝ දෙනෙකුන්ට ද මෘග පක්ෂීන්ට ද සැප එළවන්නකි.

තව්තිසා වැසි දෙවියෝ මෙසේ කාළකන්දර වෙහෙර වැසි ඵුස්සදේව තෙරුන්ගේ ගුණ අසා තෙරුන් දකිනු කැමතිව දෙව්රජු අමතා ‘පින්වත, අපි ඵුස්සදේව තෙරුන් දකිනු කැමතිව දෙව්රජු අමතා ‘පින්වත, අපි ඵුස්සදේව තෙරුන් දකිනු කැමැත්තෙමු’ යි කීය.

ශක්‍ර තෙමේ ඒ කීම පිළිගෙන යම් පමණ ඉක්මනින් මිනිසෙක් වක් කළ අතක් දික්කරන්නේ ද, දික්කළ අතක් හකුළන්නේ ද, එපමණ ඉක්මනින් දෙව්ලොවින් බැස කාළකන්දර විහාරයෙහි ඵුස්සදේව තෙරුන් ඉදිරියෙහි පෙනී සිට තෙරුන් වැඳ එක් පසෙක සිටගෙන (9) ‘ස්වාමිනි, තව්තිසාවැසි දෙවියෝ ඔබ දැකීමට කැමතිවෙති, එබැවින් දෙව්ලොවට යමු’යි යාඥා කළේ ය.

තෙරනම : (10) දේවේන්ද්‍රය, මම පෘථග්ජනයෙක් වෙමි. යම් ඍඩියකින් දෙව්ලොවට යා හැකි නම් ඒ ඍඬිය මට නැතැ යි කීය. ‘ස්වාමීනි, ඔබ පෘථග්ජන බව මම දනිමි. ඔබට ඍඬියක් නැති බවත් දනිමි. මම ඔබවහන්සේ ඔසවාගෙන යන්නෙමි; ඉවසුව මැනවැ’යි සක්දෙව් රජ කීය. තෙරුන් නිශ්ශබ්ද වූ විට ශක්‍ර තෙමේ එතුමන් වැඩහුන් ගලත් සමග ඔසවා ගෙන ගියේ ය.

ඔසවන කෙණෙහි ම තෙරනම ඇස් පියා ගත්තේ ය. (එසේ කෙළේ දෙවඟනන් නොදැකීම සඳහා ය යි සහස්සවත්ථුවෙහි කියැවේ) දෙව්රජ තෙරුන් ගෙනගොස් වැඩහුන් ගල්තලාව සමගම සුධර්මා සභාවෙහි තැබීය. සියලු දෙවිවරු තෙරුන් වැඳ හාත්පසින් පිරිවරා ඉඳ ගත්හ.

තෙරනම සංයුක්ත නිකායේ මහා වර්ගය කටපාඩමෙන් කීය. ඒ දේශනාවසානයේ දී තෙරනම ‘දේවරාජයෙනි, මා මිනිස් ලොවට ගෙන යනු මැනවි; පිණ්ඩපාත කාලය වන්නේ ය’යි කීය. ශක්‍රතෙමේ යහපතැයි කියා ගල්තලාව සමග තෙරුන් ගෙනවුත් කාළකන්ද විහාරයෙහි තැබී. මින් පෙර ඒ තෙරුන් සංයුක්ත මහා වග්ගය කියවන විට යාම තුනකින් නිමාවට යයි.

එබැවින් මෙහිදීත් ඒ වර්ගය කියා අවසන් වෙන විට මිනිස් ලොව උදෑසන බත් කාලයයි එතුමෝ දැනගත්හ. ඒ නිසා තමා මිනිස් ලොවට ගෙනයන සේ සක්දෙව් රජුට කීය. සක්දෙව්රජ මේ ආකාරයෙන් ම සවරක් මේ තෙරුන් දෙව්ලොවට ගෙන ගොස් ධර්ම ශ්‍රවණය කෙළේය.

තෙරනම එක් දිනක් බෝමලුව මනාසේ ඇම ද බුදුගුණ සිහි කරමින් ඇඳිලි බැඳගෙන බෝධිය දෙස බලමින් සිටියේ ය. මාරයා එය දැක වික්ෂේප කිරීම පිණිස මහාවාතයක් මවා බෝමලුවෙහි කසළ ගෙනවුත් දමා ගියේ ය. නැවත තෙරනම එය ඇම ද බුදුගුණ සිහිකරමින් සිටියේ ය. නැවත මාරයා වඳුරෙක් වී ඒ ඒ අත්තට පනිමින් මලුව කැත කළේය. තෙරනම නැවතත් එය ඇමද බුදුගුණ සිහිකරමින් සිටියේ ය.

නැවත මාරයා මහලු ගවයකුගේ වෙසින් අවුත් බෝමලුවෙහි ඇවිදිමින් පාගා අවුල් කෙළේය. එවිට තෙරනම මේ මාරයා යයි දැනගෙන (12) ‘පාපිෂ්ටය, මම මනාසේ හැමදි බෝමලුව දැක සිත පහදා ගත්තෙමි, තෝ කුමක් හෙයින් මට අන්තරාය කෙරෙහිදැ’යි ඇසී. මාරයා තෙරුන් විසින් මා හැඳිනගත්තා ලදැයි දැන සියවෙසින් පෙනී සිටියේ ය.

(13) ඵුස්සදේව තෙරනම තමා ඉදිරියෙහි සිටි මාරයා දැක මෙසේ කීය; (14) ‘ඔබ බුද්ධරූපය මවා පෙන්වීමට සමර්ථවෙහි. මම එය දකිනු කැමැත්තෙමි. එසේ කරන ලෙස ඉල්ලමි’යි. (15) යහපතැයි පිළිගත් මාරයා දෙතිස් මහා පුරිස් ලකුණින් යුත් බුද්ධ රූපයක් මවාගෙන තෙරුන් ඉදිරියෙහි සිටියේ ය.

ඉක්බිති තෙරනම බුද්ධරූපය දැක ඇඳිලි බැඳගෙන දැහැගත් ලොම් ඇත්තේ කඳුළු පිරුණු ඇස් ඇතිව පැහැදීමෙන් යුතුව දීපංකර පාදමූලයේ පටන් බෝසත් සිරිත මෙනෙහි කොට බුදුගුණ සිහිකරමින් මෙසේ කීය: (16) මහාමුනීන්ද්‍රයෙනි, හුදකලා වූ මා සඳහා ඔබ විසින් කරුණාසහගත සිතින් නොයෙක් කලාපවල දී කුසල් රැස් කරන ලදී. (17) සිය සිරුරත් පරිත්‍යාග කරන ලදී.

සිල් රැක්කේ ය, තපසට ගියේ ය, ප්‍රඥාව පිරුවේය. (18) වීර්යය දැඩිසේ ගෙන ඉවසීම පුරුදු කෙළේය. සත්‍යයෙහි පිහිටියේ ය. අධිෂ්ඨානය පිරුවේය. (19) මෙත් සිතැති ඔබ සැප දුක් දෙකෙහි නොසැලුණාහ. නිවන් මඟ සොයමින් බොහෝ දුක් අනුභව කළහ. (20) මෙසේ ඔබ වහන්සේ ඒ ඒ ජාතිවල දී ලෝකයාට හිත පිණිස පිළිපදිමින් දීර්ඝ වූ සංසාර මාර්ගයෙහි ඇවිද්ද සේක.

(21)පිනින් හටගත්තා වූ ඔබගේ මේ මනෝරම්‍ය වූ බුද්ධ රූපය දෙව්මිනිස් අසුරයන්ගේ නෙත් අලවන්නකි. (22) චක්‍රලක්ෂණ ඇති ඔබගේ පාදයෝ උඩ පැත්තෙන් උස්ව සිටියාහ. විලුම්දෙක දිගය. කෙණ්ඩා දෙක ඒණි මුවන්ගේ කෙණ්ඩා වැනිය. කලවා මනාසේ පිහිටියහ.

(23) දකුණට කැරකුණු නාබියක් ඇත. කෝෂයක ගිලුණු පුරුෂ ලිංගය ඇත. උරහිස් දෙක ද බාහු දෙක ද දික්වෙති. බෙල්ල වටකුරුය. අඩුවක් නැත. (24) දික්වූ ඇගිලි ඇත්තාහ, තඹවන් නියපොතු ඇත්තාහ, උස්වූ නහයක් ඇත, මනා බැම දෙකක් ඇත. සිංහයාගේ ඉදිරිපස ශරීරය වැනි ශරීරයක් ඇත. සිංහයාගේ හක්ක වැනි හක්කක් ඇත.

(25) සුමුදු වූ සුදු වූ අඩු නොවූ සතළිසක් දත් ඇත්තාහ. පළල් දිවක් ඇත්තාහ. රතු තොල් ඇත්තාහ. වසුපැටවුන්ගේ ඇස් වැනි ඇස් අත්තාහ.(26) දේදුනු වැනි ඇස්බැම ඇත්තාහ. ගව කිරෙන් නගින පෙණ වැනි සුදු වූ ඌණී රෝමයක් ඇත. අදුන් පැහැති දකුණු අතට වකුටු ගැසුණු හිසකෙස් ඇත්තාහ.(27) උඩට හැරුණු ලොම් ඇත්තාහ. හිසෙහි උණ්හීසය* බබළයි. රන්වන් ශරීරය ඇත්තේය. නුගගසක අතුපතර හා ගැලපෙන උස මෙන නිග්‍රෝධපරිමණ්ඩල ඇත්තේය. (28) සියලු සත්වයන්ට උත්තම වූ හැම මරුන් දිනූ මෙවැනි සම්මා සම්බුදු රජ අනිත්‍යතාවෙන් වැඩුණේ අද නොදක්නා ලැබේ.

(29) කුණ්ඩලී වශයෙන් කැරකුනු නිල් පැහැති රැස් විහිදුවන උණ්භීස සහිත බුදුන්ගේ ඒ කෙශයෝ අද නොදක්නා ලැබෙත්.(30) පුන් සදේ පැහැය ඇති කිරි පෙණ මෙන් සුදු වූ ඒ ඌර්ණ රෝම ධාතුව දසදහස් සක්වළ ආලෝකය පතුරුවා අද නොදක්නා ලැබේ.(31) දික් වූ පුළුල් වූ නිල්වූ නිර්මල වූ ආලෝකය සහිත වූ ඒ ඇස් අද නොදක්නා ලැබේ.

(32) දකුණට කැරකුණු නාභියද, කෝෂයෙන් වැසුණු ලිංගය ද ඇතෙකුගේ බඩ වැනි කුක්ෂිය ද, එණිමුවකුගේ වැනි කෙන්ඩා ද විනාශයට ගොස් නොපෙනෙති.(36) බුදු රජුන්ගේ උඩි පතුල් පැලූ සක්ගෙඩියක් මෙනි, විලුම් දික්වෙති, යටිපතුල් චක්‍රලක්ෂණයෙන් යුක්ත වෙති. ඒ සියල්ල අද නොදක්නා ලැබේ.(36) බුදු රජ මසින් පිරුණු තැන් සතක් ඇත්තෙකි, අප්‍රති පුද්ගල අසමසමයෙකි. බබළන ලකුණු ඇත්තෙකි. සියල්ල අද අදෘශ්‍යමානය.

(37) මාරයා විසින් නිර්මිත රූපය දුටු තෙරනම මෙසේ විදසුන් වඩා රහත්බවට පැමිණියේය. (38) මාර තෙමේ එය දැනගෙන තෙරුන් විසින් මම වංචා කරන ලදිමි සිතා දොම්නස් ඇතිව එතැනම අන්තර්ධාන විය. තෙරනම රහත්වී යයි දැනගත් ශක්‍ර තෙමේ එහි අවුත් “ස්වාමීනි, දෙව්ලොවට යමු” යි කීය. තෙරනම යහපතැයි කියා එහි ගොස් දහම් දෙසා සෘඪියෙන් ස්වකීය විහාරයට පැමිණියේය.

ඉක්බිති එක්තරා නා රජෙක් ස්වකීය භවනයෙන් නික්ම තෙරුන් වෙත ගොස් පන්සීයක් භික්ෂූන් සමග දානය පිළිගන්නා සේ තෙරුන්ගෙන් ඉල්විය. තෙරනම නිශ්ශබ්දවීමෙන් එය පිළිගත්තේය. එදවස්හිම තම්බායේ සුමනතෙර (=තම්බසුමනතෙර) නම ඵුස්සදේව තෙරුන් වැදීම සදහා පන්සීයක් භික්ෂූන් සමග එහි පමිණියේය. හෙතෙම තෙරුන් වැද ” ස්වාමිනී, පින්ඩපාතය සදහා යාමට සුදුසු කාලය” යි කීය. “නොගිය මැනව, තෙරවරුන් හා එක්ව මම අද පිණ්ඩපාතය ගනිමි” යි ඵුස්සදේව තෙර කීය. තම්බසුමන තෙරනම එකග විය. ඉක්බිති නා රජ ගොස් “ස්වාමිනී, පිඩු සදහා වැඩීමට යෝග්‍ය කාලය” යි දැන්වීය. නා රජුගේ කීම අසා ඵුස්සදේව තෙරුන් ප්‍රමුඛ දහස්නමක් භික්ෂූහු නා රජුගේ විමානයට සමීපයෙහි වූ ගං ඉවුරෙහි වැඩි මහලු පිළිවෙලින් සිටගත්හ. නාරජ සිය පිරිස සමග අවුත් මහතෙරුන්ගේ පත්‍රය ගෙන දිව්‍යාහාරයෙන් පුරවා තෙරුන්ට දුණි; දිවසළු දෙකක් ද පාමුල තබීය. තෙරනම ඒ පිණ්ඩපාතයත් සළු දෙකත් අන්‍ය භික්ෂුනමකට දුණි. නාරජ නැවතත් පාත්‍රයක් හා සළු දෙකක් දුණි. තෙරනම එය තෙවෙනි භික්ෂුවට දුණි.

මෙසේ දහසක් පමණ භික්ෂූන්ට දෙන අතර තම්බසුමන තෙරැන්ගේ ශිෂ්‍ය වූ දෙනමක් ඒවා ගන්නට නොකැමති වූහ. නාරජ එය දැක එතනට අවුත් නොගැනීමට කාරණය කිමෙක්දැයි විචාළේය. “මහරජ අපි වත්බිදීම නොකරන්නෙමු” යි ඔවුහු කීහ. වත්බිදීම කුමක්දැයි ඇසූ විට තමන්ට ලැබෙන දෙය පමණක් ගැනීම යැයි කීහ.

නාරජ යහපතැයි කියා වස්ත්‍ර ජෝඩු දෙකක් ඒ දෙනමගේ පාමුල තැබීය. එහි තැබූ කෙනෙහි ඒ ජෝඩුදෙක ජෝඩු සතරක් විය. එය දැක භික්ෂූහු විස්මයට පත්වූහ. නාරජ වනාහි නොසතුටු වී ඒ භික්ෂූන්ට සංවේගය උපදවනු සදහා ඵුස්සදේව තෙරුන්ගේ ගුණ ප්‍රකාශ කරමින් මෙසේ කීය.

(39) කාළකන්ද විහාරයෙහි වසන ඵුස්සදේව මහතෙරුන්ට මම බතින් ආරාධනා කළෙමි. මම ඒ තෙරුන්ට දානය දෙම්.(40) තෙරනම පිළිගෙන ඉදින් ඔබට නොදේ නම් තෙරනම ඔබගේ සැපය කැමති වන්නෙක් නොවේ. (41) ඒ තෙරුන්ගේ පින නිසා මම ආහාරත් වස්ත්‍රත් දෙමි. තෙරනම පිළිගෙන දහස්නමටම දෙයි.(42) තෙරුන් විසින් පෙර ජාතිවලදී මෙවැනි පින් කරන ලදී. ඒ පින ඔබට නැත. එබැවින් නුවණැත්තෙනි, මෙය පිළිගත මැනවි.

(43) ඒ තෙරනම මෛත්‍රී විහරණ ඇත්තේය. රහත්ය, ආශ්‍රව නැත්තෙකි, ඒ ගුණ ඔබට නැත. එබැවින් පඩිවරුනි, මෙය පිළිගත මැනවි.(44) මේ වනරොදෙහි දරුණු වූ, නිතර ලේ මස් අනුභව කරන, එකිනෙකාට හිරිහැර කරන සත්වයෝ ඇත්තාහ. (45) ඔවුහුද තෙරුන්ගේ මෛත්‍රී බලයෙන් හිංසා කරන සිත් දුරුකොට සැප ලැබූහ.(46) ඵුස්සදේව මහතෙරනම මෙවැනි ගුණ ඇත්තෙකි. ඔබට ඒ ගුණ නැත. එබැවින් ප්‍රාන්නයෙනි, මෙය පිළිගත මැනවි.

(47) යක්ෂයෝද, නාගයෝද, භූතයෝද, දෙව්ලොව දෙවිවරුද ඉන් මත්තෙහි දෙවිවරුද (48) ඵුස්සදෙවයන් වහන්සේට ප්‍රිය කරත්. ඔබට ප්‍රිය කරන්නෙක් නැත. එබැවින් මෙය පිළිගත මැනවි.

(49) නාරජු විසින් ඉදිරියෙහි සිට මෙසේ අවවාද කරනු ලබූ ඒ භික්ෂූහු ඒ දනත් වස්ත්‍රත් පිළිගත්හ. (50) මෙසේ ඵුස්සදේව තෙරනම නාගයන්ටද යක්ෂයන්ට ද භූතයන්ට ද දෙවියන්ට ද මිනිසුන්ට ද ප්‍රිය වූවෙකි.(51) මෛත්‍රී විහරණ ඇති භික්ෂූහු මෙසේ බොහෝ ගුණ ඇත්තෝ යයි දැන බුදු රදුන් විසින් පසස්නා ලදහ. යම්සේ ඵුස්සදේව තෙරනම නාග-යක්ෂ-භූත-මිනිස් යන මොවුන්ට ප්‍රිය වී ද එමෙන් අන්‍ය මෛත්‍රී විහරණ ඇති භික්ෂූහු ද ඔවුන්ට ප්‍රියවෙති.

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.