Monthly Archives: February 2016

New photo from Facebook February 09, 2016 at 12:00PM

කුඩා කළ සිට ම ඔබේ දරුවන් ව දන් පැන් දීමට, සිල් රැකීමට, අන් අයට උදව් කිරීමට, බණ භාවනා කිරීමට සේම තෙරුවන් වන්දනාවට ද යොමු කළ හැකි නම් එය කෙතරම් අගනේ ද..? සිය දරුවන් හට භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දායාදය ලබා දීම, උතුම්ම දායාදය ලබා දීම යි..!

බුද්ධිමත් පින්වත් ඔබ සඳහාම මාන්කඩවල සුදස්සන හිමියන්ගේ වෙබ් අඩවිය -> http://sudassana.org/
ධර්ම දේශනා හා ප්‍රවෘත්ති සඳහා ඉහත වෙබ් අඩවියට පිවිස ඔබගේ email address එක ඇතුළු කර subscribe වෙන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook February 08, 2016 at 12:00PM

ප්‍රථමයෙන්ම, අද ලංකාවේ ඇති අපමහ ගෞතම බුදුරජානන් වහන්සේ ගේ ශාරීරික ධාතු සහ පාරිභෝගික වස්තු, ලේඛන හා වාර්තා ඔස්සේ උපුටා ගනිමින් පෙලගස්වමු.

සිදුහත් අසිපත

ලෝකයේ දැනට සදහන්වී ඇති බුද්ධ ඉතිහාසයේ, පුරාණතම වස්තුවය වන එදා සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමනයේදී සිය කෙස් වැටිය සිඳලූ අසිපත මෙය ය. කතරගම කිරිවෙහෙරේ තැම්පත් කර ඇත (1)

කේශ ධාතු

එදා අහසට විසිකර දැමු කේශ ධාතු දේවගොත්රික නායකයා වූ සක්දෙව් විසින් තවුතිසා ලොව, සිළුමිණ නම් සැයක් සදා තැම්පත් කර බව සදහන්වන මුත් අද දක්වා එය කොහිදැයි හදුනාගෙන නොමැත. තපස්සු භල්ලුක වෙළද දෙබැයන් ලබාගත් කේශධාතු ස්ථාන රැසක තැම්පත් කර ඇත. ඒවා නම්,

සිරිහඩු (සිරි=බුදුන්, හඩු=කෙස්) සෑය තිරියාය (2) පසුව මෙය ගිරිහඩු සෑය නම්විය. මෙම ස්ථානය ආකාශ චේතිය නමින්ද හැදින්වූ බවට සාදක ඇත.

ගිරිහඩු සෑය අම්බලන්තොට (3)

කුරුණෑගල මාවතගම, අරම්පල මකුලාන රජමහ විහාරය (4)

හම්බන්තොට කළමැටිය ආසන්නයේ ඇති (එහි දාගැබ් නවයක් ඇත) විහාර නමය (5)

හම්බන්තොට ගොඩවාය වරාය අසල ගෝටපබ්බත රජමහ විහාරය (6)

දකුණේ තංගල්ල වනවාස විහාරය නොහොත් කුඩා තංගලු විහාරය අසල ගිරිහඩු සයක් ඉදිකර ඇතත් අද මෙය හදුනාගත නොහැක. ඉහත සදහන් සියලු ස්ථාන වල ඇත්තේ තපස්සු භල්ලුක වෙළද දෙබැයන් ට ලබාදුන් කේශධාතු කොටස් ය. එනමුදු අද බැතිමතුන් සිතනුයේ තිරියායේ පමණක් තැම්පත් කල බවය. ඒ හා සමාන අනිත් ස්ථාන බොහෝදෙනෙකු නොදැන සිටීම මෙයට හේතුවය .

මීට අමතරව තපස්සු භල්ලුක වෙළද දෙබැයන් විසින් ජයසේන නම් නා රජුට ලබාදුන් තවත් කේශධාතු කොටසක්, කාවන්තිස්ස රජුකල සිව නම් භික්ෂුන් වහන්සේ නමක් රැගෙනවිත් සේරුවිල මංගල මහා සැයේ තැම්පත් කල බව සදහන් වේ (7)

බුද්ධත්වයෙන් නමවන මස මියුගුණ දම් දෙසුමේදී, සුමන රජුට ලබාදුන් කේශධාතු මහියංගන ච්යිත්‍යයේ නිදන් කෙරුණි (8)

මහසෙන් රජ කල කරවූ (කි.ව.274-301) අනුරාධපුර ජේතවන මහා ස්තුපය තුල තවත් කේශධාතු කොටසක් ඇති බව, වන්දනා කිරීමට යොදාගන්නා ගාථාවේ සදහන්ය (9)

බුදුරදුන් මුතියංගන වැඩමවූ අවස්ථාවේ ඉන්දික නම් දේව පුත්‍රයාට දුන් කේශධාතු මුතියංගන දාගැබෙහි තැන්පත් කර ඇත (10) මාට අමතරව මුතු බවට පත්වූ බුදුන්ගේ දහදිය එහි ඇතයි විශ්වාසයක් පවතී .

බුදුරදුන් කතරගමට වැඩි අවස්ථාවේ එකල එහි පාලක වූ මහසෙන් නොහොත් මහාඝෝෂ රජුට ලබාදුන් කේශධාතු කිරිවෙහෙරේ තැම්පත් කර ඇත (11)

මහනුවර යටිහෙලගල විහාරයෙහි, පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ කේශධාතු කොටසක් තැම්පත් කර ඇත. එම කේශධාතු ලැබුණු ආකාරය සදහන්ව නැත (12)

පළමුවන මුගලන් රජු සමයේ, ශිලාකාල නම් කෙනෙකු දඹදිව සිට කේශධාතු රැගෙනවිත් තිබුනද, අද එය තැම්පත් කල ස්ථානය සොයාගැනීමට අපහසුය.

තවද බුදුරජුන් ජීවමාන සමයේ රහතුන් වහන්සේ සයනමකට ලබාදුන් කේශධාතු මුහුද ආශ්‍රිත පෙදෙසක ස්තුප සයක තැම්පත් කෙරුණි. එම දේශය “කේශාවති” නමින් හදුන්වනු ලෑබු නමුත් අද හදුනාගත නොහැක.

මීට අමතරව බංගලිදේශය, බුරුමය වැනි රටවලද කේශධාතු නිදන්වූ වෙහෙර විහාර ඇති නමුත් “ඉන්දියාවේ” කේශධාතු හෝ නකාධාතු තැම්පත් කල ස්ථාන හමුවී නැත. බංගලිදේශයේ ඇති කේශධාතු වලින් කොටසක් නැවතත් හුණුපිටිය ගංගාරාමය හා මාදම්පේ සේනානායකාරාමයේ මෑතකදී තැම්පත් කර ඇත.

ග්‍රීවා ධාතුව (බෙල්ල ආශ්‍රිත අස්ථි සතක්) (13)

සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය වූ සරබූ තෙරුන්, එදා උපවත්තන සල් උයනේ පිරිනිර්වානයෙන් පසු දැල්වූ ච්තකයෙන් ලබාගත් ලොව ප්‍රථම සර්වඥ ධාතුව, තැම්පත් කෙරුනේ පෙරකළ සුමන රජු කේශධාතු තැම්පත් කල මහියංගන ස්තුපයේම ය. හෙළ භික්ෂුවක් වූ සරබූ තෙරුන් එදා එහි පැමිණියේ තවත් භික්ෂුන් වහන්සේ පන්සීය නමක් සමගිනි . සීවලී සහ සුමන නම් සමනේරයන් වහන්සේ නා ලොවෙන් ගෙන ආ මෙදවර්ණ පාෂණයෙන් සැය වසා දෙළොස් රියනක් උසට ස්තුපය නැංවූ බවට සදහන් වේ. සරබූ යනු සුමන රජුගේ වැඩිමහල් දියණියගේ දරුවකු බව ජනප්‍රවාද වල සදහන් වේ.

ලලාට ධාතුව (14)

මෙය බුදු සිරුරේ නළල් තලය ආශ්‍රිත ධාතුවය. පැරණි වංස කතා වලට අනුව, මෙම ධාතුව මලල රජදරුවන් ලබාගත් ධාතු කොටසට අයත් විය. ඉන්පසු කාලයෙන් කාලයට රහතුන්වන්සේලා විසින් ආරක්ෂාකරමින් බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි ස්ථාන වල තබමින් වන්දනා කර ඇත.

මහාවංසය අනුව දෙවනපෑතිස් රජුගේ සොහොයුරා වන මහානාග කුමරු රුහුණට පලායන්නේ මහින්දාගමනයට පෙරය. ඉන්පසු රුහුණේ ඇති නාග විහාරය(තිස්සමහාරාමය හෝ ඒ අසල වෙනත් විහාරයක) නම් වූ ස්ථානයක ලලාට ධාතුව තැම්පත් කර වන්දනා කලබව සදහන් ය. මහානාග රජු මෙම ධාතුව ලබාගන්නේ ලක් පොලවේ “හත්ථොට්ඨ” ජනපදයේ කුක්කුට පර්වතය අසල සල් ගසක් යට වූ ආරාමයකින් ය. ඒ වනවිටත් එහි ජනයා පන්සිල් හා අටසිල් රකිමින් ද දානාදී පින්කම් කරමින්ද සිටිබව සදහන් වේ. (බොහෝවිට මහින්දාගමනයට පෙර) එම ආරාමයට ලලාට ධාතුව වැඩමවූයේ කොසබෑ නුවර ඝෝසිතාරාමයේ සිට මහාදේව නම් රහතන් වහන්සේ විසින් බව ධාතු විස්තරයේ සදහන් වේ. ඉන්පසු මහානාග පරපුරෙන් රුහුණේ පැවත එන කාවන්තිස්ස රජු හා විහාරමහා දේවිය, පෙරකී කේශධාතු මෙන්ම ලලාට ධාතුවද සේරුවිල මංගල මහා සැයේ තැම්පත් කල බව සදහන් වේ. එදා සිට (කි.පු. දෙවන සියවස දුටුගැමුණු රජුට පෙර) අද දක්වා එම ස්ථානයේ “ලලාට ධාතුව” ඇති බවට විශ්වාස කෙරේ.

දකුණු යටි දළදාව (15)

කාවන්තිස්ස රජුගේ සොහොයුරිය වූ සෝමා දේවිය කරවූ සෝමාවතී දාගැබෙහි දකුණු දළදාව තැම්පත් කර ඇත. ද්‍රෝන බමුණා විසින් පාදයෙන් යටකර සගවාගත් එමධාතුව, ජයසේන නම් නා රජු නාලොවට රැගෙන ගොස් වන්දනාමාන කළේය . අරිෂ්ඨ නම් රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවතඑන මහාදේව රහතුන්ගේ ශිෂ්යවූ මහින්ද නම් රහතන් වහන්සේ නමක් නාලොවට වැඩ, දළදාව රැගෙන ආ බව සදහන් වේ.

වම යටි දළදාව (16)
ද්‍රෝන බමුණා ධාතු බෙදීමට පෙර, සැරියුත් රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ ඛේම රහතන් වහන්සේ වම යටි දළදාව ලබාගෙන බ්‍රහ්ම දත්ත නම් කලිගු දේශයේ රජකුට භාරදෙන ලදී. ඉන් පසු සුභාසීව කලිගු රජු සමයේ, පඩි රජුගේ බෑනා කෙනෙකු යුද්ධ කර දළදාව ලබාගැනීමට සැරසුන අතර ඉන් බියට පත් වූ සුභාසීව රජු තම දියනියවූ හේමමාලා සහ බැනනුවන් වූ දන්ත කුමරු අත සිංහලයට වැඩමවූ බව සදහන් වේ. සුභාසිව රජු එම යුද්දයේදී මරණයට පත්විය . සිංහලයට එන ගමනේදී දකුණු දිසාවේ වැලි වලින් සැදු දාගැබක දළදා වහන්සේ රැදවූ බවත්, ඉන් නාගයෙකු සොරාගෙන නැවතත් රහතන්වහන්සේ කෙනෙකුගේ උදව්වෙන් ලබාගත් බවත් සදහන් කරයි . එලෙසම රුවල් සහිත යාත්‍රාවකින් ජලමාර්ගයක ගමන් කර, කිත්සිරි මෙවන් රජු දවස අනුරාධපුරයට පැමිනුනි. එදා සිට අද දක්වා විවිධ රාජධානි වල තැම්පත් කරමින් වර්තමානයේ මහනුවර දළදා මාලිගයේ වැඩසිටින්නේ එම දන්ත ධාතුන් වහන්සේය .

දකුණු අකු ධාතුව (17) උරහිස් අස්ථිය

දෙවැනි පෑතිස් රජදවස මිහිදු හිම්යන්ගේ උපදෙස් පරිදි සුමන සාමනේරයන් (සගමිත් තෙරණියගේ ගිහිකල පුතු ) සක්දෙව් හමුවී, ඔබ ලග ඇති වම සහ දකුණු අකු ධාතුන් එකක් ඉල්ලා සිටි සේක. එවිට සක්දෙව් සිළුමිණ සැයේ හි තැම්පත් කර තිබු දකුණු අකු ධාතුව ලබාදුන් බව සදහන් වේ.

අකු ධාතුව ඇතු පිට නංවා දාගැබකට සුදුසු ස්ථානයක් සොයමින් යන අතර එක ස්ථානයක ඇතු නැවතුනේය. එයට හේතුව වුයේ, එම ස්ථානයේ කකුසඳ බුදුන්ගේ ඩබරා ධාතුවද, කෝනාගම බුදුන්ගේ පටි ධාතුවද, කාශ්‍යප බුදුන් ගේ ජල සාටිකාවද මෙහි තැම්පත් කර තිබීමය. දෙවනපෑතිස් රජතුමා එම ස්ථානයේ දාගැබක් කර අකුධාතුව තැම්පත් කළේය. සිවු බුදු වරුන්ගේ ධාතු තැම්පත් කල ස්ථානයේ සැදු එම දාගැබ අනුරපුරයේ ථුපාරාමය නමින් අදත් විරාජමාන වන්නාහ.

එදා මල්ලවරජදරුවන් ගේ උයනේ ආදාහනය කල බුදු සිරුරේ ආදාහනය නොවී එම ආකාරයට ඉතිරිවූයේ හිසට ආසන්නව තිබු දන්ත දාතු සතරක්, ලලාට ධාතුව, ග්රීවා ධාතුව සහ වම දකුණ අකු ධාතු පමණි. සෙසු අස්ථ කොටස් කුඩා කැබලි බවට පත්විය. එහි කොටසක් මුන් පියලි වල ප්‍රමාණයෙන් ද, කොටසක් සහල් ඇට ප්‍රමාණයෙන් ද, කොටසක් අබ ඇට ප්‍රමාණයෙන් ද විසිරුන බව සදහන්ය. ද්‍රෝන බමුණා එදා එම කුඩා ධාතු බෙදු භාජනය (cup) ද්‍රෝනය නමින් හැදින්වූ වූ අතර කුඩා කොටස් එකතුකළ විට ද්‍රෝන අටක් (8 cups) තිබු බව සදහන්ය.

ඉන්පසු එම ද්‍රෝන අට රාජ්ජයන් අටකට බෙදාදුන් අතර ඒවා ස්තුප අටක තැම්පත් කෙරුණි. ඒවා අතර රාම ග්‍රාමයෙ කෝලිය වංසිකයන් ද, කිඹුල්වත් පුර ශාක්‍ය වංසිකයන් ද, විශාලා නුවර ලිච්චවී රජදරුවන් ද රජගහනුවර, අල්ලකප්ප නුවර, රාම ග්‍රාමය, වේඨදීපක නුවර, පාවා නුවර සහ කුසිනාරා නුවර තැනු ස්තුප අයත් ය. පීප්පලි නුවර මොවුර්ය රජදරුවන් පැමිණියේ ධාතු බෙදාදීමෙන් පසුවය. එබැවින් ඔවුන් චිතකයේ අගුරු රැගෙන ගොස් “අන්ගාර” නම් චයිත්යක් කරවීය. එලෙසම ද්‍රෝන බමුණා දාතු බෙදාදුන් “බදුන” රදවා දාගැබක් කරවීය. ද්‍රෝන බමුණා ධාතු බෙදීමට මුලික වුයේ ඇතිවීමට ගිය යුධ තත්වයක් වැලක්වීමටය .
එකල සියලු එහි පමණි සියලු රටවල රජදරුවන් අතර ද්‍රෝන බමුණාගෙන් ශිල්ප උගත් සිසුවන් සිටිබවින්, ඔහු හට ධාතු බෙදා තත්වය සමනය කිරීමට හැකි වූ බව සදහන්ය .

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු වන්දනාමාන කිරීමට ච්යිත්ය දහයක් සැදු බව මෙයින් පැහැදිලිවේ. එනම් ද්‍රෝන 8 + අන්ගාර + නැලිය = 10

බුදුරජානන් වහන්සේගේ පරිනිර්වාණ සිදුවී කලක් ගියකළ, මෙසේ තැන් තැන් වල තැනු ච්යිත්ය අටක තිබෙනා ධාතු අනාරක්ෂිත බවත් ඒවා අන්‍ය ආගමිකයන් නිසා කිලිටි හැකි බවත් මහා කාශ්‍යප හිමියන්ගේ අදහස විය. එබැවින් අජාසත් රජුගේ අනුග්‍රහයෙන් ධාතු නිදන්කිරීමට විශේෂ ස්ථුපයක් රහසේම කෙරවිණි. ඉන් පෙර ධාතු තැම්පත් කල ද නිදන් කිරීමක් සිදු නොවිය. තැම්පත් කිරීම යනු ඕනෑම කෙනෙකුට දැක බලාගත හැකි ආකාරයෙන් (ප්‍රදර්ශනය) විහාරයක් තුල තැබීමය. නිදන් කිරීම යනු කිසිම කෙනෙකුට ලගාවිය හෝ දැකගත හෝ නොහැකි ලෙස ශක්තිමත් ගර්භයක රැදවීමය.

අජාසත් රජු, එම විශේෂ ස්තුපය රහසිගත ස්ථානයක, කාටවත් ලංවිය නොහැකි ලෙස වායුවෙන් ක්‍රියාත්මක වූ යන්ත්‍ර යොදා ආරක්ෂාකර (බ්‍රමණය වෙමින් තිබු කඩු සහිත යන්ත්‍රයක්) ධාතු නිදන් කර වීය. කලින් බෙදා දුන් ද්‍රෝන අටෙන් සතක්ම එහි තැම්පත් කරන ලදී , රාම ග්‍රාමයේ කෝලිය වන්සිකයින් තැනු ච්යිත්‍යයේ ධාතු වෙත නාග ආරක්ෂාවද වූ නිසා ලබා නොගැනිණ. කපිලවස්තු මෙන්ම ලිච්චවී ඇතුළු ද්‍රෝන සතම එහි තැම්පත් කෙරුණි. එබැවින් අජාසත් රජු සමයෙන් පසු කපිලවස්තු පුර ධාතු නොවීය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවුරුදු දෙසිය ගණනක් ගෙවුන කල රජවූ අශෝක රජ විහාර අසු හාරදහසක් කිරීමට ධාතු ලබාගන්නා අටියෙන් ධාතු ඇතැයි පෙර සම්මතයේ තිබු විහාර අට බිඳ (කපිලවස්තු පුර විහාරයද ඇතුළුව) පරීකෂා කරද ධාතු හමු නොවීය. වයස්ගත භික්ෂුන් ගෙන් විමසුවද ධාතු කොහ්දයි කිසිවෙකු දන සිටියේ නැත. ඉන් එක භික්ෂුන් වහන්සේ නමක් තමාගේ ගුරු හාමුදුරුවන් විසින් ආරක්ෂාකරගත යුතු යි පෙන්වූ ගර්භයක තිබී පෙර කල නිදන් කල ද්‍රෝන සත හමු විය. එම ගර්භය බිදීම එතරම් පසු කරුණක් නොවීය , ඊට සක්දෙව් ගේ උපකාරය ලබාගැනීමට සිදුවිය. එය තුල තිබුයේ ද්‍රෝන සතක් බව දන ඉතිරි එක කොහිදැයි ? රජු විමසු බවත්, එය රාම විහාරයේ තිබී ගංවතුරට ගසාගෙන මුහුදට ගොස්, මුහුදු වැල්ලේ තිබෙනු දැක මාන්ජරික නාරජු ලබාගත් බවත්, රහතන් වහන්සේ පැවසු සේක.

ද්‍රෝණයක් ධාතු (18)

දුටුගැමුණු රජතුමා ඉදිකළ රුවන්වැලි සැයේ රදවා ඇත්තේ, කෝලිය වන්සිකයන්ට බෙදාදුන් ධාතුය. සෝනුත්තර නම් සාමනේරයන් වහන්සේ නමක් නා ලොව වැඩ මහකෙල නම් නාරජු හමුව ධාතු විමසුවද නැතැයි පැවසීය. එය වාසුල දන්ත නම් නාගයෙකු සගවාගෙන විසිය. සෝනුත්තර හිමි සම්‍යක්ප්රෝගයකින් ධාතු ලබාගෙන පැමිණියේය.

අද අප පැහැදිලිව හදුනාගත් වැඩිම ප්‍රමාණයක් ධාතු ඇති දාගැබ රුවන්වැලි මහා සෑය වන්නේ එම නිසාය.

උර්ණ රෝම ධාතුව (19)

බුදුරජුන් ගේ නළලේ පිහිටි මෘදු රෝමය, උර්ණ රෝම ධාතුව නම් වේ. මහා පුරුෂ ලක්ෂණයක් වන මෙය දකුණට කරකැවී දගරයක ආකාරයට පිහිටා ඇත. බුද්ධ වග්ග පාලියට අනුව, කොසොල් රටේ ඇති බව සදහන් ය. පසුකලක ධර්මාශෝක රජු හරහා මිහිදු හිමියන් විසින් උර්ණ රෝම ධාතුව සහිත අෂ්ටවංක මානික්‍ය සමගම මිහින්තලයේ සෑගිරි පර්වතයේ නිදන් කළහ. කලකට පසු මහදැලියාන රජු ස්ථුපයක් කරවා ඇත. අද එය මිහින්තලා මහා සැය නම් වන අතර පෙරකළ අම්බුළු දාගැබ යනුවෙන් ද හදුන්වා ඇත.

වම අකු ධාතුව (20) උරහිස් අස්ථිය

තිස්සමහාරාමයේ ඇති බව සදහන් සෙල් ලිපියක්, ලැබුන බව බුදුසරණ පුවත් පතේ පලවී තිබුණි. වංස කතාවට අනුව මෙය තිබිය යුත්තේ සිළුමිණ සැයේහි ය .

නඛා (නිය පොතු ) ධාතුව. (21)

අම්පාර දිස්ත්‍රික්කයේ දීගවාපි මහාසෑයේ බුදුරජාණන් වහන්සේගේ වම හස්තයේ නියපොතු තැම්පත් කර ඇතයි සදහන් වේ. මෙහි සද්ධා තිස්ස රජු ස්තුපය කරවා ඇත .

නඛා වෙහෙර යනු නඛා ධාතු තැම්පත් කල විහාරය. මේවා ලංකාවේ බොහො ගනක් දක්නට ලැබේ.

කැකිරාව පල්ලේකා ගම නඛා වෙහෙරක් ඇත (22) අනුරාධපුර නගරයේ තවත් නඛා වෙහෙරක් ඇත (23)

එගොඩ කැලණිය වශයෙන් හදුන්වන කිත්සිරිමෙවන් විහාරයයෙද නඛා ධාතු, කේෂ ධාතු ද නිධන් කර ඇති බවට විශ්වාසයක් පවතී.

පාත්‍රා ධාතුව (24)

සතරවරම් දෙවිවරු පුජාකළ පාත්‍ර සතර, බුද්ධ අදිෂ්ඨානයෙන් එක්වීය. ශෛලමය ඉඳුනිල්වන් වූ එම පාත්‍රය මිහින්තල අම්බස්තල ච්යිත්‍යයේ තැම්පත් කර ඇත .

දළදා මැදුර ඉදිරිපිට නාථ දේවාල භූමියේ ඇති ස්තූපය තුළ හෝ ඒ සමීපයේ ඇති අනෙක් ස්තූපය තුළ හෝ දළදා මැදුර තුළ ඇති කුඩා ස්තූපය තුළ හෝ මල්වතු මහා විහාරයේ ස්තූපය තුළ හෝ පාත්‍ර ධාතූන් වහන්සේ නමක් තැන්පත් ව ඇතැ’යි සැලකේ (25)

ජනප්‍රවාදවලට හා ඇතැම් ලේඛනවලට අනුව බුදුරදුන් දන් වැළඳූ තවත් පාත්‍රා ධාතූවක් තැන්පත් ව ඇත්තේ කෑගල්ල ඓතිහාසික බෙලිගල රජ මහා විහාරයේ ස්තූපය තුළ යි (26)

සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කළ දිනයේ උදෑසන නේරංජරා නදියේ පා කළ පාත‍්‍රය උඩුගං බලා ගොස් පසු ව නාග ලෝකයේ පිහිටි බව අසා පැවසේ. එය දුටු මහා ආයුෂ ඇති මහාකාල නා රජු, අද කෙනෙකු බුදු වන්නට යන බවට අනාවැකියක් පලකල බව ද සදහන්ය . එම පාත්‍රය අද සොයාගන්නට නැත.

ජල සාටිකා ධාතුව (27) නොහොත් දියනෑමට භාවිත කළ සිවුර

අද එගොඩ කැලණිය වශයෙන් හදුන්වන කිත්සිරිමෙවන් විහාරයේ නිදන්කර ඇත.

පටි ධාතුව (28)

අනුරාධපුරයේ ජේතවනාරාමය තුල කේශ ධාතු වලට අමතරව, බුදුන්ගේ පටි ධාතුව (ඉන බැදී පටිය) සහ තවත් අස්ථි ධාතු අඩංගුවන බව ජේතවනාරාමය වන්දනා කිරීමට යොදාගන්නා ගාථාවේ සදහන්ය.

රන් අසුන (29)

කතරගම කිරි වෙහෙරේ, අසිපත හා කේශධාතු වලට අමතරව බුදුන් වැඩසිටි රනින් කර අසුනක් (පුටුවක්) ඇති බව සදහන් වේ.

මැණික් අසුන (30)

එදා චුලෝදර හා මහෝදර දෙබැයන් පුජාකළ මැණික් පුටුව මනිඅක්ඛික නා රජු සිටි පෙදෙසේ විහාරයක තැම්පත් කල බව සදහන්ය.

නිකවැරටිය නගරයට ආසන්නව ඉදිකර ඇති බුදුමුත්තාව රජමහා විහාරයේ, කිසාගෝතමීය බුදුනට පිදු මුතුහර තැන්පත් කර ඇතැයි විශ්වාසයක් පවතී. බුදුමුත්තාව රජමහා විහාරය මහසෙන් රජුගේ කාලයේ ඉදිකරන ලදැයි සැලකෙයි (31)

මහින්දා ගමනයෙන් පසු, ථුපාරාමයට දාතු ලබාගැනීමේ අදිටනින් මගදයට පැමිණි සුමන සාමනේර හට, අශෝක රජු පාත්‍රයක් පුරවා ධාතු ලබාදුන් බව සදහන්ය. එම ධාතු කලක් මිහින්තලයේ රදවාගෙන පසුව ඇතකු පිට වැඩමවාගෙන ගොස් සතර ගව්වෙන් සතර ගව්ව, මුළු ලක්දිව පුරාම දාගැබ් කරවා නිදන්කළ බව සදහන්ය. ගව්ව යනු එතරම් දුරක් නොවේ. ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදිවෙවායි පවසන්නේ එම නිසායය. පාත්‍රයක් පිරවීමට කුඩා ප්‍රමාණයෙන් විසිරුණු දාතු දහස්ගනනක් දැමිය හැකි බව නම් නොඅනුමානය. අද ලංකාවේ ඇති වෙහෙර විහාර ප්‍රමාණය දකිනවිට මෙයනම් සබැ සත්යක් ම වියයුතු බව පසක් වේ.

ධාතු පරිනිර්වාණය.

ධාතු විස්තරය ඇති වංස කතාවල බුද්ධ සාසනයෙන් වසර පන්දහසක් (පණ දහසක් යි සමහරු කියති ) ගෙවුන කල සියලුම ශාරීරික ධාතුන් වහන්සේලා පරිනිර්වාණය වන බව සදහන්ය. එදිනට ස්තුපවල ඇති ධාතුන් වහන්සේලා අහසට පැන නැග අනුරාධ පුරයේ රුවන්වැලි සැයේ ඇති ද්‍රෝණයක් ධාතු හා එක්වෙයි. ධාතු නිදන්කළ දා සිට රුවන්වැලි සෑය තුල දැල්වූ සිංහා තෙල් පහන එදින නිවී යයි. ඉන්පසු නාගදීපයට වැඩ සියලු ධාතු මැණික් පුටුව මත පිහිටමින් නාගයන් ගේ වැදුම් පිදුම් වලට ලක්වන්නේය. අවසානයේ නැවතත් අහසට නැග එදා බුදුන් බුදුවූ බෝගස යට වජ්රසන්ය මත පිහිටා, බුදුරුවක් නිර්මාණය වී පෙලහර පාන්නේය. සවනක් ඝන බුදුරැස් විදන්නේය. අවසානයේ මහත් ගිනිජාලාවක් පැනනැගි සියලුම ධාතු ආදාහනය වන්නේය. අළු හෝ දැලි කිසිවක් ඉතිරි නොවන්නේය .

සාදු සාදු සාදු !!! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook February 08, 2016 at 09:39AM

දැනුම, මිල මුදල්, ඉඩකඩම්, දු දරුවන් එක් රැස් කිරීමට මුළු ජීවිතයම ගත කරන අපට ඒ සියල්ල හැර දමා කොයි මොහොතේ යාමට සිදුවේදැයි කිව නොහැක.
ලාමක කෙලෙස් වලින් යටපත් වූ සිත් වලින් කරන මේ එක් රැස් කිරීම් වල නිස්සාරත්වය වැටහේවා !!! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook February 07, 2016 at 06:00PM

හය හතර දන්න කෙනෙක්ද?
හයක් හතරක් නොතේරෙන පොඩීකා කියල කියන්නේ සාමාන්‍යෙන් කිසිදෙයක් නොතේරෙන ළමයින්ටනේ…
ඇත්තටම මොකද්ද මේ හය හතර කියන්නේ?
දන්නෙ නැත්තන් ඔන්න බලාගන්න..

‘හය’ – දිව්‍යලෝක හය
චතුම්මහාරාජිකය
තාවතිංසය
යාමය
තුසිතය
නිම්මාණරතිය
පරිනිම්මිත වසවත්තිය

‘හතර’ – සතර අපාය
නිරය භූමිය
තිරිසන් භූමිය
ප්‍රේත භූමිය
අසුර භූමිය

පැරැන්නො හය හතර දන්නැති එකා කියල තියෙන්නෙ ධර්මය නොදන්න හිස් මිනිස්සුන්ට (කර්මය, කර්ම ඵලය විශ්වාස නොකරන අයට)..කාලයත් එක්ක මේ යෙදුම්වල භාවිතය වෙනස්වෙන හැටි බලන්න..

වර්තමානයේ කීදෙනෙක් හය හතර දන්න අය ඉන්නවද …මම හිතන්නේ 99%ක්ම හයහතර නොතේරෙන අය ඉන්නෙ..සමහරු කියනව ඔවා ඔක්කොම තියෙන්නෙ මෙහෙ කියල.. තව සමහරු විද්යාවෙන් ඔප්පුවෙනකන් බලන් ඉන්නවා..පිරිහීමක මහත…. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook February 06, 2016 at 09:00PM

දහම් ඇස – 1 කොටස

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනා දැන් සුදානම් වෙන්නේ තමන්ගේ වටිනා මනුෂ්‍ය ජීවිතයේ තවත් වටිනා බවට පත් කර ගන්න ඒ වගේම මේ ලබපු මනුෂ්‍ය ජීවිතයේ හිස් නොවන විදියේ අර්ථාන්විත තත්වයට පත් කර ගන්න තමන්ට හේතු කාරනා වන වටිනා සද්ධර්මය බිඳක් ඉගෙන ගන්න. හැම දෙනාම මේ කය නිසලව තියෙනවා වගේ සිතත් නිසල කර ගෙන සන්සුන් කර ගෙන නොයෙක් නොයෙක් අරමුණුවල සිත දුවන්ට නො දී බොහොම හොඳින් මේ දහම කියවන්න ඕනෑ. සිහි කරන්න ඕනෑ.

කුමක් නිසා ද පින්වතුනි? අප හැම දෙනා ම නො දන්නවා වුනාට අති දීර්ඝ කාලයක ඉඳලා අති දීර්ඝ මේ සංසාරයේ තුල ඉඳ ගෙන අපි හැම කෙනෙක් ම නොයෙක් විදියේ ක්‍රම උපාය හොයමින් ජීවිතයේ දුක අයින් කර ගන්න වෙහෙසුණු අය. ඒත් අපි හැම දෙනාට ම ජීවිතය තුලින් ලබාගන්න නො හැකි වූ කරුණත් දුක් සහගත බව ජීවිතවලින් අයින් කර ගන්න. සැප සැනසිල්ල කියන ඒක අපේ ජීවිත වලට ළඟා කර ගන්න. ඒකට හේතුවක් මේ මුලු ලෝකයේ ම දුක නැති කරන්න හදන්නේ දුක ඇති වෙලා තියෙන්නේ කොහොම ද කියන කාරණාව තේරුම් ගෙන නොවෙයි. දුක ඇති වන කාරණාව පැත්තකින් තියන්න, ‘දුක’ කියන ධර්මතාවය කුමක් ද කියන එකවත් තේරුම් ගෙන නොවෙයි. ඒකත් පැත්තකින් තියන්න, ‘තමන් කරන්නේ මොකක්ද’ කියන කාරණාව වත් තමන් තෝර ගෙන නොවෙයි.

ඉතින් මේ විදියේ මුලා බවකට අපි පත් වූවේ මේ සසර දුක නිමා කරන සද්ධර්ම අවබෝධය අපට නො ලැබුණු නිසායි. ඒ නිසා අද දවසේ දී මේ ජීවිතයේ අපි කොහොම හරි සද්ධර්මය අවබෝධ කර ගන්න ඕනෑ. ඒ සඳහා බොහෝ ම වටිනා අවස්ථාවක් අපට හම්බ වෙලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයේ ඒ වගේම මනුෂ්‍ය ජීවිතයේ සද්ධර්මය පවතින වටපිටාවක.

ඇයි මේ සද්ධර්මය අපි අවබෝධ කර ගත යුත්තේ? ඒ සද්ධර්මය අවබෝධ කර ගන්න ඇයි අප වෙහෙසෙන්න ඕනෑ?

මේ කාරණාව තේරුනොත් විතරයි අපි සද්ධර්මයට කැමති වෙන්නේ. ඒ කාරණාව තේරුම් යන්න නම් අකමැත්තෙන් වුනත් සද්ධර්මය අහන්න වෙනවා. කල්‍යාණ මිත්‍ර ඇසුර තියෙන්නේ ඒ නිසායි. සද්ධර්මයට රුචිකත්වය නැතිව එයට හිත නො නැමුනත් අපේ කල්‍යාණ මිත්‍ර ඇසුර අපව සද්ධර්මයට යොමු කරවනවා. අහම්බෙන් නමුත් යොමු කරවන විට ඒ සද්ධර්මය අපට තේරුණා නම් එදා ඉඳලා අපට අපේ කැමැත්තක් ඇති වෙනවා.

ඒකට හොඳ නිදසුනක් අපේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ බ්‍රාහ්මණ කුලයේ ජෝතිපාල කියල මානවකයෙක් වෙලා ඉපදුණා. මෙයාට පහත් රොඩී කුලයක ඉපදුණු යාළුවෙක් හිටියා ඝටීකාර කියලා. මේ දෙන්නා හරිම යාළුයි, හරිම විශ්වාසවන්තයි. හැම කටයුත්තක් ම කරන්නේ දෙන්නා ඒකට එකතු වෙලා. ඒ වුනාට මේ රොඩි කුලයේ ඉපදුණත් ඝටීකාර හරි ම බුද්ධිමත්. එයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ශ්‍රද්ධාව ඇති කර ගෙන අනාගාමී වෙච්ච කෙනෙක්. තමන්ගේ යාළුවාට කිව්වා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අසවල් තැන වැඩ ඉන්නවා අපි ගිහින් බණ අහමු කියලා. නමුත් කැමති වූවේ නැහැ. කිහිප වතාවක් ම කිව්වා, කැමති වූවේ නැහැ. “බුද්ධත්වය කියන එක ඔහොම ලබන්න පුළුවන් එකක් නොවෙයි. ඔය මුඩු මහණට මොන බුද්ධත්වයක් ද” කියලා මේ විදියේ නොයෙක් නින්දා අපහාසත් කළා.

ඊට පස්සේ ඝටීකාර මානවකයා කියනවා එහෙනම් අපි නාන්න යමු කියලා. දෙන්නා නාන්න ගියාට පස්සේ, නාමින් ඉන්න ගමන් ඝටීකාර ජෝතිපාල මානවකයාගේ කෙස් වැටියෙන් අල්ල ගෙන වතුරේ ඔබා ගෙන ඉන්නවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න යන්න එන්නේ නැත්නම් අත හරින්නේ නෑ කියලා. ඊට පස්සේ දඟලලා දඟලලා ‘හරි, මම එන්නම්’ කිව්වා.

ජෝතිපාල මානවක කල්පනා කරනවා “මම බ්‍රාහ්මණ වංශයේ. යහළුවෙක් උනත් ඝටීකාර රොඩි වංශයේ ඉපදුණ කෙනෙක්. කෙස් වැටියෙන් අල්ලනවා තියා කෙනෙක් හිතන්නේ වත් නැහැ. මගේ යහළුවා මෙහෙම කළේ ඒකාන්තයෙන් ම විශාල අර්ථයක් ඇති.” (අපි වගේ මෝඩ කමට කිපුණේ නැහැ) මොකක් ද මේකේ හේතුව කියලා බැලුවා. තරහවක් ඇති කර ගත්තේ නැහැ. පසුව ඝටීකාර ඔහු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට එක්ක ගෙන ගිහින් කිව්වා “ස්වාමීනි මේ ජෝතිපාල මගේ යාළුවෙක් මෙයාටත් භාග්‍යවතුන් වහන්සේ බණ ටිකක් කියන්න” කියලා.

ඉතාමත් සුලු ධර්ම දේශනාවක් කරන විට බොහෝ සෙයින් පින් පිරුණු මේ ජෝතිපාල මානවකයාට ඒ සද්ධර්මය අවබෝධ වුනා. අවබෝධ වෙලා ඝටීකාරගෙන් අහනවා, “ඇයි ඔබ මෙවැනි ශාසනයක පැවිදි වෙන්නෙ නැත්තේ” කියලා? ඊට පස්සේ කියනවා “මගේ අම්මගෙයි තාත්තගෙයි දෙන්නාගේ ම ඇස් පෙනෙන්නේ නැහැ ඒ දෙන්නට සලකන්න කෙනෙක් නැති හින්දා මං ගෙදර ඉන්නේ, නැත්නම් මම මහණ වෙලා” කියලා. එහෙනම් ‘මම මහණ වෙනවා’ කියලා ජෝතිපාල මානවක සාසනයේ පැවිදි වෙලා, ත්‍රිපිටක ධර්මය සම්පුර්ණයෙන් ම ඉගෙන ගෙන, ධාන්‍ය අභිඥා ඉගෙන ගෙන, තව බුදු කෙනෙක් පහල වුනා වගේ දිවි ඇති තාක් ත්‍රිපිටකය භික්ෂූන් වහන්සේලාට ඉගැන්නුවා කියලා සඳහන් වෙනවා.

එතකොට බලන්න කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා සද්ධර්මයට ගරු නො කළ සද්ධර්මයට කැමති නො වූ කෙනාගේ මනසත් කැමති වෙච්ච හැටි.

ඉතින් මේ පින්වතුන්ට අනුකම්පා කරන පින්වතුන්ගේ දරුවෝ ඥාතීන් විසින් මේ පින්වතුන්ව සද්ධර්මය අහන්න යොමු කළා. මේ පින්වතුනුත් මෙයින් ප්‍රයෝජනයක් ගන්නට ඕනෑ කියලා හිතලා බොහොම හොඳින්, බොහොම උවමනාවෙන්, මේ ටික ශ්‍රවණය කරන්න.

පින්වතුනි, මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කලේ වටිනා ගාථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මේ ලෝකයා තමන්ගේ අඟපසඟ රැක ගන්න ධනය අතහරිනවා.” මේ ශරිරයේ කොටසක් නැති වෙන්න ගියොත් ඒක බේර ගන්න ගෙවල් දොරවල් වුනත් මිල මුදල් උනත් අපි අත හරින්නේ නැද්ද? අතහරිනවා. වකුගඩුවක් නරක් වෙලා ඒක දාන්න කිව්වොත් තියෙන දේවල් විකුණලා හරි කරනවා. ඒ වගේම “ශරිර අඟපසඟ රැක ගන්න ධනය අත හරිනවා. ඒ වගේම සමහරු ශරිරයේ කොටස් අත හරිනවා ජීවිතය රැක ගන්න”. මේ දේ අත හැරියේ නැත්නම් ජීවිතය නැති වෙනවා කිව්වොත් ඒ කොටස අත හරිනවා ජීවිතය රැක ගන්න. ඊට පස්සේ තවදුරටත් දේශනා කරනවා “ධර්මය සිහි කරන ධර්මයට ගරු කරන ශ්‍රේෂ්ඨ පුද්ගලයා ධර්මය අබියස දී ජීවිතයයි, ධනයයි, අංගයි කියන මේ තුන ම අත හරිනවා”.

ඒකට හොඳ කථාවක් තියෙනවා. මේ ලංකාවේ බොහෝම ධනවත් සිටු පවුලක් හිටියා. ඒ සිටු දෙමාපියන්ට හිටියා බොහොම පින්වත් පුත්තු දෙන්නෙක්. ඉතින් මේ දරු දෙන්නා ටිකක් ලොකු වෙන විට ඒ දරුවන්ට තමන් සතු සියලු ම ධනය සමානව බෙදලා දුන්නා. මේ දෙමව්පියෝ දීලා නොබෝ කලකින් ඒ දෙමව්පියෝ දෙන්නා කලුරිය කලා.

ඉතින් මේ අයියයි මල්ලියි දෙන්නා දැන් මේ සිටු දෙමාපියන් සතු ධනය පරිහරණය කරමින් ජිවත් වෙනවා. අයියගේ නම තිස්ස. තිස්ස ටිකක් හරි අමුතු විදියට හිතනවා ජීවිතය ගැන. ඉතින් මනුෂ්‍යයෝ විහාරස්ථාන වලට ගිහිල්ලා හවසට මල් පහන් අර ගෙන යන විට මෙයා කල්පනා කරනවා ‘ඇයි මේ මනුෂ්‍යයෝ මල් පහන් අර ගෙන යන්නේ මොකක් හරි මේකේ තේරුමක් ඇති’ කියලා. මෙයත් ඒ පස්සෙන් දුවනවා. ඉතින් ගිහිල්ලා බණ ඇහුවා. අහන විට ජීවිතයේ හරි අමුත්තක් තේරුණා. ඉතින් කාලයක් මෙහෙම බණ අහන්න පුරුදු වුනා. බණ අහන විට තිස්සට තේරුණා ‘යම් තරුණ කමක් මහළු කමෙන් අවසන් වෙනවා නම් මේ තරුණ කමෙන් තේරුමක් නෑ නේද? නින්දා වේවා. යම් ජීවිතයක් මරණයෙන් අවසන් වෙනවා නම් මේ ජීවිතයෙන් තේරුමක් නෑ නේද? මේ ජීවිතයට නින්දා වේවා. යම් එක් වීමක් වෙන් වීමකින් අවසන් වෙනවා නම් ඒ එක් වීමෙන් තේරුමක් නැහැ නේද?’ කියලා. මේ වගේ ජීවිතය ගැන ලෝකයා හිතන විදියට වඩා ටිකක් වෙනස්ව හිතන්න හුරු වුනා. අනන්ත ජාති සංසාරයේ ජරා මරණ දුක තමන්ගේ පිටුපසින් වධකයෙක් වගේ හඹා ගෙන ආවා කියන එක මෙයාට ටික ටික තේරෙන්න පටන් ගත්තා.

පසුව විහාරස්ථානයට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මා මහණ කරන්න

ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා අහනවා
තිස්ස ඔයා ආවේ අවසර අර ගෙන ද? ගෙදර අවසර ගන්න කවුරු හරි ඉන්නවා ද?

ස්වාමීනි මට එක ම එක මල්ලි කෙනෙක් ඉන්නවා.
ඒ මල්ලිගෙන් අවසර ගත්ත ද?

නැහැ ස්වාමීනි.
එහෙනම් තිස්ස යන්න ගිහින් මල්ලිගෙන් අවසර ගෙන එන්න

මේ තිස්ස ගෙදර ගිහිල්ලා මල්ලිට කියනවා, “මල්ලි මේ ජීවිතය හරි ම නිසරුයි ජරා මරණෙන් අවසන් වෙනවා නම් ඒ අපේ ජීවිතයේ තේරුමක් නැහැ. ඒ හින්දා මල්ලි මට මහණ වෙන්න අවශ්‍යයි” කියලා. ඒ පාර ඒ මල්ලි අඬන්න පටන් ගත්තා “අයියයි මායි විතරයි හිටියේ අම්මා තාත්තත් නැහැ. මට අයියා, අයියා විතරක් නොවෙයි, මට අම්මත්, මට තාත්තත්, අනිකුත් ඥාතීන් ඔක්කොමත් ඔයයි. ඒ හින්දා අනේ අයියේ මහණ වෙන්න නම් එපා. මගේ ධනයත් ඕනෑ නම් ගන්න” කියලා. මල්ලි විවාහ වෙලා හිටියේ. අයියා ගොඩක් කරුණු කියලා අන්තිමට කිව්වා “මල්ලි මා සතු සියලුම ධනය ඔයා ගන්න මට එක ම එක දෙයක් දෙන්න. ඒ මට මහණ වෙන්න අවසර විතරක් දෙන්න” කිව්වා.

මෙහෙම නැවත නැවත කරදර කරන විට මල්ලි අඬ අඬා අයියගේ කැමැත්තක් එහෙනම් කරන්න. මහණ වෙන්න අවසර දුන්නා.

ඒ අයියගේ සියලුම ධනයත් මල්ලිට පවරලා දීලා අයියා විහාරස්ථානයට ගිහින් මහණ වුනා. මහන වෙලා තමන්ගේ වැඩිහිටි ගුරුවරුන්ගෙන් බණ දහම් කමටහන් ඉල්ල ගෙන පාංශුකූල චීවරයක් පොරව ගත්තා. පාත්තරයක් අතට ගත්තා. ඉතාමත් ඈත කැලේ ඇතුළේ ගල් ලෙනකට ගියා.

උදෑසන ගමට ගිහිල්ලා පිඬුසිඟා වඩිනවා. හම්බ වෙන පිණ්ඩපාතය රස දෙයක් ද, නීරස ද කියලා බලන්නේ නැහැ. සිහිල් වෙච්ච දෙයක් ද, රස්නේ දෙයක් ද කියලා බලන්නේ නැහැ. හුදෙක් දිවි පැවැත්ම පිණිස ම පිණ්ඩපාතය ඇසුරු කලා. අප්‍රමාදීව මේ වන අරණෙ ගල් ලෙනට වෙලා භාවනා කරනවා.

ඔහොම ඉන්න අතර මල්ලිගේ බිරිඳට එක්තරා විදියේ කල්පනාවක් ඇති වුනා. “අයියගේ තියෙන සියලුම ධනය අපට පවරලා දීලා මහණ වූවේ, මහා විශාල ධනයක් තියෙනවා. බැරි වෙලාවත් පැවිදි ජීවිතය ගැන කලකිරිලා ආයෙත් ගෙදර ආවොත් මේ ධනය එයාට දෙන්න වෙනවා. මේ ධනය ගන්න එන්න ඉස්සෙල්ලා කොහොම හරි උපායකින් ඔහුව මරන්න ඕනෑ” කියලා මල්ලිගේ බිරිඳ අදහස් කර ගත්තා. මල්ලිට හොරෙන් හොරු කණ්ඩායමක් කැඳවලා හොරුන්ට විශාල අල්ලසක් දීලා කියනවා, “අසවල් කැලේ අසවල් ලෙනේ ඉන්නවා තිස්ස කියලා හාමුදුරු නමක් මෙන්න මේ හාමුදුරුවන් ව මරන්න ඕනෑ. මැරුවාට පස්සේ මම මීට වඩා තව වැඩිපුර මුදලක් දෙනවා” කියලා.

ඉතින් මේ ලෝකයේ මුදල ලැබෙන විට මුදල සඳහා ඕනෑම දෙයක් කරන්න සුදානම් පිරිසකුත් ඉන්නවා. මිත්‍යාදෘෂ්ටි මේ අය භාර ගත්තා. භාර ගෙන කැලේ ගල්ලෙනට ගියා තිස්ස හාමුදුරුවෝ මරන්න. එවිට තිස්ස හාමුදුරුවෝ බොහොම වීර්යයෙන් භාවනා කරනවා. තිස්ස හාමුදුරුවන්ව මේ හොරු වට කර ගත්තා. තිස්ස හාමුදුරුවෝ අහනවා

උපාසකවරුනි, කුමක් නිසා මෙහාට ආවා ද?

අපි ආවේ ඔබ වහන්සේව මරන්න.

මා මරන්නේ ඇයි? මා මැරීමෙන් ඔබට එන ලාභය මොකක් ද?

ඔබ වහන්සේ මැරුවාම අපට විශාල ධනයක් හම්බ වෙනවා. ඒ නිසා මරන්න ආවේ.
මැරුවට කමක් නැහැ, ඒත් මට එක දවසක් දෙන්න. තව එක දවසකින් පස්සේ මා මරන්න.

ඊට පස්සේ මේ හොරු කියනවා “නෑ නෑ ඔය එක දවසක් අපෙන් ඉල්ලන්නේ අපේ ඇස් වහලා පැනලා යන්න. එක දවසක් වත් දෙන්න බැහැ. දැන් අපි ආපු කාරණය කරනවා” කියලා කඩුව ඇදලා ගත්තා.

ඊට පස්සේ කියනවා තිස්ස හාමුදුරුවෝ ඇවැත්නි, උපාසකයිනි, එක දවසක් මට දෙන්න. ඒ වෙනුවට මං ඔබට ඇපයක් දෙන්නම්.

මේ කැලේ කවුද ඔබ වහන්සේට ඇප වෙන්නේ?

ඉඳ ගෙන ඉන්න ආසනයට එහා පැත්තේ තිබුණා මහා විශාල කළු ගලක්. අපහසුවෙන් මේ කළු ගල ඔසවලා අර ගෙන තමන්ගේ කකුලේ කලවා ඇට දෙකට වේගයෙන් ගහලා ඇට දෙක බිඳ ගත්තා. “ඇවැත්නි, මේ ඇපය ඇති ද?” කියලා ඇහුවා. මේ හාමුදුරුවන්ගේ ක්‍රියාව ගැන හරිම සංවේගයක් ඇතිවෙච්ච හොරු හරිම සංවේගයෙන් “ඇති ස්වාමීනි” කියලා යන්න ගියා.

දැන් ඉතින් සක්මන් කරන්නත් බැහැ. මේ තිස්ස හාමුදුරුවෝ ඒ කකුලේ කකුල කැඩීම නිසා ඇති වෙච්ච වේදනාව අරමුණු කරලා සියලු කෙලෙස් නසලා එතැන ම රහත් බවට පත් වුනා. ඒ කකුලේ කලවා ඇට බිඳ ගන්න ඉස්සර වෙලා එයා නුවණින් කල්පනා කරනවා, “කෙලෙස් සහගතව ජීවත් වෙනවාට වඩා දැහැමි මරණය වටිනවා කියලා බුදු හාමුදුරුවෝ දේශනා කලා. ඒ නිසා කෙලෙස් සහගත ව කලුරිය කිරීමත් නින්දා සහගතයි. අනන්ත සසරේ ඉන්න විට මෙහෙම එක වරක් පමණක් නොවෙයි කකුල් කැඩෙන්න ඇත්තේ. ඕනෑ තරම් මේ කකුල් කැඩෙන්න ඇති. ඒ ධර්මය වෙනුවෙන් මං මේ කකුල කඩා ගත්තට කමක් නැහැ” කියලා. එහෙම තීරණය කරල යි කකුල කඩා ගත්තේ.

පින්වතුනි, අපට තියෙනවා ජීවිතය ගැන හිතන්න ගොඩක් දේ මේ තුලින්. ඒ හාමුදුරුවෝ සද්ධර්මයට ජීවිතය පූජා කරලා ඒ වගේ ක්‍රියාවකට පැමිණුණේ පින්වතුනි මේ අනවරාග්‍ර වූ සංසාරය ගැන යම් පමණක් හෝ දැනුමක් අවබෝධයක් තිබුණු නිසායි. ඒත් ඒ දැනුම අවබෝධය අපට නැති නිසායි, අපි බයක් සැකයක් නැතිව මේ ජීවිතය ජීවත් කරන්න ගෙවන්නේ.

ඉතින් මේ සද්ධර්මය අපට හරියට තේරුනොත්, අපි වුනත් අපේ ජීවිතය සද්ධර්මයට පූජා කරන්න මැලි වෙන්නේ නැහැ.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “අනමතග්‌ගොයං, භික්‌ඛවෙ, සංසාරො. පුබ්‌බා කොටි න පඤ්‌ඤායති අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයොජනානං සන්‌ධාවතං සංසරතං… – මහණෙනි, මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරයේ පූර්ව කෙළවරක් හොයන්න බැහැ. ඒ දීර්ඝ සංසාරයේ එන කොට, තමන්ට ඇඟ ලේ කිරි කරලා පොවපු මව්වරුන් මළ දුකට හඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම්, සතර මහා සාගර ජලයට වැඩියි” කියලා පෙන්නුවා. ඒ වගේ ම දහදිය මහන්සියෙන් හම්බ කරලා තමන් ව පෝෂණය කල පියා, තමන් තුරුලේ තියා ගෙන බොහෝ ම සෙනෙහසින් හදපු දුව පුතා, වැලි කෙළියේ පටන් තමන්ගේ ළඟින් හිටපු සහෝදරයා සහෝදරිය, අනෙක් ඥාති හිතෛෂීන් ආදීන් ද මළ විට ඒ දුකට පපුවේ අත් ගසමින් අඬන විට ඒ ගැලූ කඳුළු සතර මහා සාගර ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා.

ඒ විතරක් නොවෙයි, මේ දීර්ඝ සංසාරයෙ අප හැම කෙනෙක් ම මනුෂ්‍ය ආත්ම වලට වඩා ලබලා තියෙන්නේ තිරිසන් ආත්ම. ඒ තිරිසන් ආත්ම ලබපු ආත්මවල දී බෙලි කැපුම් කන විට ගලා ගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගර ජලයට වැඩි යි කියලා පෙන්නුවා. පෙන්නලා බුදු හාමුදුරුවෝ නැවතත් මෙහෙමත් දේශනා කලා “මේ පටිච්ච සමුප්පාදය නැමති ධර්මතාවය දන්නා වූ මේ සද්ධර්මය ඇසූ පිරූ ඇති කෙනෙක් හැර මගේ මේ වචන විශ්වාස කරන්නේ නැහැ” කියලා. අනෙක් අයට හිතෙන්නේ මේක අතිශයෝක්තියක්, මවා පෑමක්, මවා පෙන්වීමක් කියලා. ඇයි මහා සාගරයට වඩා වැඩියි අඬපු කඳුළු කියන විට.

නමුත් පින්වතුනි, බුදු හාමුදුරුවෝ කියලා කියන්නේ අපව යහපත් මාර්ගයට ගන්නවාත්, බොරු කියන කෙනෙක් නොවෙයි. බොරුවෙන් උපමා කරන කෙනෙක් නොවෙයි. ඒ තරම් සසර දුකක් අපි හැම කෙනෙක් ම විඳලා තියෙනවා. ඒත් භවයෙන් වැහිලා නිසා අපට පෙනෙන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි. මේ සංසාරයේ එන කොට, ඇස් දෙක අන්ධ වෙලා, ගල් මුල් වල පය හැපි හැපී ජීවිතය අවසන් වූ වාරත් ඕනෑ තරම් ඇති. අතපය හතර නැති වෙලා, කොටයක් වගේ වෙලා කිසි කෙනෙකුගේ පිහිටක් නැතිව ජීවිතය අවසන් වෙච්ච වාරත් අපේ ඕනෑ තරම් ඇති. ඒ වගේම ජීවත්ව සිටින විටම පණුවෝ ගහලා, හොරි කුෂ්ට හැදිලා මැරුණු අවස්ථා ඕනෑ තරම් ඇති. ගස් ගල් පර්වත වලින් වැටිලා හිස පොඩි වෙලා මැරුණු අවස්ථා ඕනෑ තරම් ඇති.
අද සිහි කරලා බලන්න මේ ලෝකේ මොන තරම් අනතුරු තියෙනවා ද? මොන තරම් ලෙඩ රෝග වල ප්‍රභේද තියෙනවා ද? ඒ සියල්ල මේ සසරේ, අපි ඉන්නෙත් මේ සසරේ. ඒ හැම දෙයකට ම නෑකම් කියන්න පුළුවන් බව අපේ නැති වෙලා නැහැ. ඒත් භවයෙන් වැහිලා නිසා, අවිද්‍යාවෙන් වැහිලා නිසා, අපට මේ සසරේ ඇති භයානක කම තේරෙන්නේ නැහැ.

පින්වතුනි අපේ ජීවිතය ගැන අපි මීට වඩා නම් ටිකක් හිතන්න ඕනෑ. එකම එක දෙයක් හොඳට සිහි කරලා බලන්න. ඇයි අප ජිවත් වෙන්නේ කියලා. අපි ජිවත් වෙන්නේ කුමක් සඳහා ද කියලා.

අපි උදේ ම නැගිටලා ගෙවල් දොරවල් අස්පස් කරලා ආහාර පාන සකස් කරනවා. කෑම කනවා. මේ ටික ඇයි අපි කරන්නේ? මෙහෙම කර කර ඇයි අප ජිවත් වෙන්නේ? අපි මේ කරන ක්‍රියා ඉතා සියුම් විදියට නිරීක්ෂණය කරලා ගවේෂණය කරලා බැලුවොත්, අපට තේරෙයි අපි හැම කෙනෙක් ම උත්සාහවත් වෙන්නේ දුක නැති කරන්න, සැනසීම ලබා ගන්න. ඒත් අපි හැමෝටම ලැබෙන්නේ නැති කරුණත්, ලැබිලා නැති කරුණත්, දුක නැති කර ගන්න එක, සැනසිල්ල ලබාගන්න එක. ඒ සඳහා මාවතක් ද අපි හොයන්නේ නැහැ. ඒකට හේතුව අපට එහෙම අවශ්‍යතාවක් දැනිලා නැහැ. අපට අවශ්‍යතාවක් දැනෙන්නේ නැහැ. අපේ වටපිටාවේ හිස් බවක් නො දැනෙන නිසා, අපට දෙමව්පියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා, මුනුබුරෝ ඉන්නවා, ආහාර පාන තියෙනවා, ඉන්න හිටින්න වටපිටාව තියෙනවා. මේ ටික තියෙන නිසා අපට පේන්නේ නැහැ. ඒක අපට සිහි කර ගන්න නුවණ ශක්තිය මදි වෙලා. අපි වටා තියෙන්නේ මෙහි ධර්මයන්ගේ ආදීනව ටික.

මතු සම්බන්ධයි!

සියළුම ලිපි සඳහා පිවිසෙන්න :

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook February 05, 2016 at 12:00PM

මිනී පෙට්ටියක් තුළ කුණුවී පොළවට පස්වන, මම නොවන, මගේ නොවන මේ ආහාරයෙන් සෑදුනු ශරීරයේ සැබෑ ස්වභාවය මෙනෙහි කරන්න.

තායිලන්තයේ මිනී පෙට්ටියක් තුලට වී මරණනුස්මතිය වඩන ආකාරය. ඔවුන්ගේ නිවන් අවබෝධය දුර නොවේවා via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook February 05, 2016 at 09:21AM

සත්වයාගේ සියළු අත්දැකීම් (මුළු ලෝකයම) සළායතන මුල්වී පවතින බව දක්වා, සළායතන ඇතිවීම හා සළායතන නැතිවීම පැනවූ එකම ශාස්තෘන් වහන්සේ බුදුරජාණන්වහන්සේ ය.
සළායතන = ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස (මේවා අපි අද දන්නා ඇස කන… නොවේ)
නිවැරදිව සළායතන ඉගෙන ගන්නට පිවිසෙන්න http://sudassana.org via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook February 04, 2016 at 12:00PM

නුවර භාවනා වැඩසටහන ලබන සෙනසුරාදා
අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ සුමධුර ධර්ම දේශනයක්, ධර්ම සාකච්චාවක් ඇතුළු භාවනා වැඩසටහනක් පෙබරවාරි 6 වැනි සෙනසුරාදා දිනය පුරා (උදැසන 8 සිට සවස 4 තෙක්) නුවර දළදා මාලිගය අසල එක්සත් බෞද්ධ මන්දිර ශාලාවේ දී පැවැත්වේ.

සුදුවතින් සැරසී දහවල් දානයද රැගෙන පැමිණෙන්න. සහභාගී වන ස්වාමීන්වහන්සේ ලාට පමණක් දහවල් දානය සපයනු ලැබේ. සියලු දෙනාට ගිලන්පස සපයනු ලැබේ. දුර්ලභව ලැබෙන අවස්ථාවක් බැවින් හැකි සෑම දෙනාටම පණිවිඩය යවන්න. අන්තර්ජාලය නැති යහළු යෙහෙළියන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දෙන්න.

වාහන නැවැත්වීමේ පහසුකම් kandy city center රථගාලේ. පහත දුරකථන අංක වලින් සංවිධායක මණ්ඩලයෙන් වැඩි විස්තර ලබාගත හැකියි: ගුණරත්න 071-8032558, අමල් 071-1479970. via Facebook Pages http://ift.tt/1GMS4Lf