Monthly Archives: August 2016

New photo from Facebook August 15, 2016 at 12:00PM

අටපිරිකර හා දොළොස් පිරිකර ගැන ඔබ දන්නවාද…?

වඩාත් ආනිසංස දායක වන දානය ලෙස හඳුන්වා ඇත්තේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන්නා වූ දානයයි. මේ අයුරින් සිදුකරන්නා වූ දානමය පුණ්‍ය ක්‍රියා අවස්ථාවන්හිදී පිළිගන්වන ආහාරපානවලට අමතරව පරිෂ්කාර පූජාව ද සිදුකිරීම මුල් කාලයේ පටන් ම සිදු කරනු ලබයි. මින් වඩාත් විශේෂත්වයක් ගනු ලබන්නේ් අට පිරිකර පූජාව හා දොළොස් පිරිකර පූජාවයි

ඈත අතීතයේ පටන් ම මිනිසා විසින් දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින්දීම, පින් අනුමෝදන් කිරීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, දැකීම නිවැරැදි කර ගැනීම යන දසවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදුකරගෙන එනු ලබයි. ඒවා අතරින් බොහෝ දෙනෙක් වැඩි නැඹුරුතාවක් දක්වා ඇත්තේ ද දන්දීම කෙරෙහිය. එයට හේතු වශයෙන් පෙන්වා දිය හැක්කේ දන්දීමට බොහෝ දෙනා දක්වන රුචිකත්වයයි. එහෙත් දන්දීම සෑම පුද්ගලයකුට ම සිදුකළ නොහැකිය. සසරේ දන්දී පුරුදු පුහුණු වූ අයට එසේ දන්දීම සිදුකළ හැකිය. ‘දානය’ යන්නෙන් කියවෙන්නේ දීම, පරිත්‍යාගය අත්හැරීම යනාදී තේරුම් ය. කෙනකු විසින් දන්දිය යුත්තේ තමන්ට වඩා ගුණ නුවණින් වැඩි සිල්වත් පුද්ගලයකුටය. දුගී මගී යාචකයන්ට මෙන් ම සතුන්ට දෙන්නා වූ ආහාර පාන වස්ත්‍ර ආදිය ද දානයක් බව කිව හැකිය. එහෙත් මෙවැනි දාන වර්ග එම පුද්ගලයන් කෙරෙහි හෝ සතුන් කෙරෙහි අනුකම්පාවෙන් දෙන්නා වූ දානයක් වන්නේය. එවැනි දාන බුදු දහමේ පෙන්වා දී ඇත්තේ අනුග්‍රහ බුද්ධියෙන් දෙන්නා වූ දානයන් හැටියටය. මෙසේ දෙන්නා වූ දානයට වඩා සිල්වත්, ගුණවත් කෙනකුට දෙන්නා වූ දානය උසස් වන්නේය. ආනිසංස දායක වන්නේ ය. බුදු දහම තුළ මෙවැනි දාන පූජා බුද්ධියෙන් දෙන්නා වූ දාන ලෙස හඳුන්වා තිබේ. පූජා බුද්ධියෙන් දානයක් දෙන විට දෙන තැනැත්තා කෙරෙහි යටහත් පහත් භාවය දැක්වීම, වැඳුම් පිඳුම් කිරීම කරමින් එම දානය පිළිගන්වයි. කෙසේ වෙතත් දානයක් පූජා කිරීමෙන් අනතුරුව අප විසින් අපට වාසිදායක අන්දමින් කිසිවක් බලාපොරොත්තු නොවිය යුතුය. එසේ බලාපොරොත්තු වන්නේ නම් විය යුත්තේ එයින් ලැබෙන ආනිසංස මොනවාද යන්න පිළිබඳ ව සිතීම පමණි. එසේ නොවන්නේ්නම් එය දානයකට වඩා මුදලාලිකමක් වන බව කිව හැකිය. මුදලාලි කෙනෙක් අපට යම් දෙයක් දෙන්නේ අපෙන් මුදල් රැගෙනය.

මජ්ඣිම නිකායේ විභංග වග්ගයේ දක්ඛිණා විභංග සූත්‍රයේ දාන වර්ග 14 ක් පිළිබඳ පෙන්වා දෙන අතර එයිනුත් වඩාත් ආනිසංස දායක වන දානය ලෙස හඳුන්වා ඇත්තේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන්නා වූ දානයයි. මේ අයුරින් සිදුකරන්නා වූ දානමය පුණ්‍ය ක්‍රියා අවස්ථාවන්හිදී පිළිගන්වන ආහාරපානවලට අමතරව පරිෂ්කාර පූජාව ද සිදුකිරීම මුල් කාලයේ පටන් ම සිදු කරනු ලබයි. මින් වඩාත් විශේෂත්වයක් ගනු ලබන්නේ අට පිරිකර පූජාව හා දොළොස් පිරිකර පූජාවයි. බොහෝ අවස්ථාවලදී අටපිරිකර පූජාව පමණක් සිදුකරන අවස්ථාවන්ද දක්නට ලැබේ. දොළොස් පිරිකර පූජාව ද ඇතැම් අවස්ථාවන්වලදී සිදු කරන අයුරු දක්නට ලැබේ. කෙසේ වෙතත් මෙම අටපිරිකර හා දොළොස් පිරිකරට අයත් වන්නේ මොනවාද යන්න පිළිබඳ ව නිසියාකාරව නොදන්නා වූ පිරිස් ද වෙති. ඒ අනුව මෙහිදී අටපිරිකර හා දොළොස් පිරිකර මොනවාද යන්න විමසා බලමු.

තීණි චීචරානි, පත්තෝ, දන්තකට්ඨච්ඡේදනවාසි, ඒකාසූචි, කාය බන්ධනං, පරිස්සාවනන්ති.

මෙහි ‘තීණි චීවරානි’ යනු තුන් සිවුරයි. තුන් සිවුර යනුවෙන් හඳුන්වනු ලබන්නේ දෙපට සිවුර, තනිපට සිවුර හා අඳන කඩයයි. චීවරය හෙවත් සිවුර මැසිය යුතු ආකාරය බුදුන් විසින් අනුදැන වදාරා තිබේ. ගිජ්ජකූට පර්වතයට නැඟ මගධ ක්‍ෂේත්‍රය දිස්වන්නේ යම් ආකාරයකටද ඒ අයුරින් සිවුර නිර්මාණ විය යුතු බව පෙන්වා දී තිබේ. දෙපට සිවුර සාදා නිමකර ඇත්තේ සිවුරු දෙකක් නියමානුකූලව ගෙන එකක් වන සේ මැසීමෙනි. එය භික්ෂූන් පරිහරණය කරනු ලබන්නේ උතුරු සළුව වශයෙනි. තනිපට සිවුර ඒකාංශ කොට හෝ දෙවුර වැසෙන සේ පෙරවීම සඳහා යොදාගනු ලබයි. අඳනකඩය දෙදණ වැසෙන සේ ඉනවටා පෙරවීම සඳහා යොදාගනු ලබයි. ඒ අනුව මෙම තුන් සිවුර පිණ්ඩපාත චාරිකාවේ වඩින විට හා උපසම්පදා, පොහොය කිරීම් ආදි විනය කර්ම සිදු කරන අවස්ථාවන්හි පෙරවීමට ගන්නා අතර එම අවස්ථාවන්හිදී තුන් සිවුරෙන් යුක්ත වියයුතු බව ද පෙන්වා දී තිබේ. ඒ අනුව අටපිරිකරට අයත් පූජා භාණ්ඩ අතරින් තුනක් මෙයින් කියවේ.

‘පත්තෝ’ යනු පාත්‍රයයි. පාත්‍රය භික්ෂූන්ගේ පරිහරණයට ගනු ලබන්නේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන අවස්ථාවේ පිඬු ලබාගෙන ඒවා වැළඳීම සඳහාය. පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන විට ඉහතින් සඳහන් කළ තුන් සිවුර මෙන් ම පාත්‍රය ද රැගෙන යා යුතුය. එසේම උපසම්පදා විනය කර්ම සිදු කිරීමේදී ද පාත්‍රය අනිවාර්ය භාණ්ඩයක් වෙයි. අටපිරිකරෙහි අඩංගු සියලු දෑ එම අවස්ථාවට ද අවශ්‍ය නිසා පාත්‍රය සුදු රෙදි කඩකින් ඔතා නොගැලවෙන සේ නූල් වලින් වියා එය උපසම්පදාපේක්ෂකයාගේ කර වටා ගැටගසා විනය කර්මය සිදු කරයි.

‘දන්තකට්ඨ’ යනුවෙන් ගැනෙන පාලි වචනයේ සිංහල තේරුම වන්නේ දත් මදින දැහැට්ට යන්නයි. ‘ඡේදනවාසි’ යනු සිඳින හෙවත් කපන වෑය හෙවත් පිහිය යන්නයි. අංගුත්තර නිකායේ අට්ඨක වග්ගයේ සඳහන් වන අන්දමට මුල් කාලයේ මෙබඳු උපකරණයක් අටපිරිකරයට ඇතුළත් වී ඇති බව පැහැදිලි වේ. දත් මැදීම සඳහා වර්තමානයේ මෙන් නවීන උපකරණ නොමැති වීම නිසා දැහැටි කූරු සාදා ගැනීම පිණිස මෙවැනි උපකරණයක අවශ්‍යතාව තිබූ නිසා මෙය අටපිරිකරයට ඇතුළත් කර ඇතැයි සිතිය හැකිය. එහෙත් වර්මතානයේ දක්නට ලැබෙන අටපිරි කෙරෙහි ඇත්තේ දැලි පිහියකි. එය භික්ෂූන්ගේ හිස රැවුල් බෑම සඳහා උපකාරි වේ. ඒ අනුව මුල් කාලයේ තිබූ එම උපකරණය හිස රැවුල් බෑම සඳහා ද උපයෝගි කර ගන්නට ඇතැයි සිතිය හැකිය. දැලි පිහියද නිර්මාණය වී ඇත්තේ සුදු යකඩයක් තියුණු ආකාරයෙන් මුවහත් තැබීමෙනි. එහෙත් වර්තමානයේ දක්නට ලැබෙන අටපිරිකරවල දක්නට ලැබෙන්නේ තලයක් පමණි. එය ප්‍රයෝජනයට ගතහැකි නොවන අයුරින් සකසා තිබීම ද කනගාටුවට කරුණකි.

‘එකාසූචි’ යනු එක් ඉදිකට්ටක් යන තේරුම දෙන වචනයයි. අද දක්නට ලැබෙන අටපිරිකරය තුළ ඉදිකට්ට මෙන්ම නූල් පන්දුවක් ද තිබේ. මුල් කාලයේ මේ සඳහා භාවිතා කර ඇත්තේ නොයෙක් වර්ගයේ කෙඳිය. ඒවා තමන්ට අවශ්‍ය පරිදි සපයා ගත් බැවින් මුල් යුගයේ තිබූ අටපිරිකරවලට එය ඇතුළත් වී නොමැති බව කිව හැකිය.

‘කාය බන්ධනං’ යනු අඳනකඩය ඇඳ එය ලිහිල් නොවන සේ ඉනවටා බැඳීමට ගන්නා වූ රෙදි කැබැල්ලය. මෙය ද සිවුරු පටියකින් නිමවා තිබේ. ඒ අනුව වර්තමානයේ භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා විවිධ පටි වර්ග දක්නට ලැබුණත් අටපිරිකර තුළ ඉනවටා බැඳීමට ගන්නා පටිය තවමත් සිවුරු කැබැල්ලකින් සකස් වී ඇති සැටි දැක ගත හැකිය.‘පරිස්සාවන’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ පෙරහන් කඩයයි. මෙය භික්ෂූන්ගේ පරිහරණයට යෝග්‍ය වන්නේ තමන් පානය කිරීමට ගන්නා වූ පැන් පළමුවෙන් පෙරා ගැනීමටය. ජලයේ ඇසට නොපෙනෙන නොයෙක් ජීවි සත්තු සිටිති. එම සතුන් පැන් සමග පෙවීම නැතිකර ගැනීම සඳහා පෙරහන් කඩයක් පාවිච්චි කළ යුතු බව බුදුරජුන් විසින් ද අනුදැන වදාරා ඇත.

මෙයින් ප්‍රතිඵල දෙකක් අත්වේ. එකක් නම් කුඩා ජීවින් ශරීර තුළට නොයාම නිසා තමාගේ සෞඛ්‍ය ආරක්ෂාව යහපත් වීමය. අනෙක් කරුණ වන්නේ එම ජීවින්ගේ ප්‍රාණය තොර නොවීමෙන් ප්‍රාණඝාත අකුසලය ඇති නොවීමය. ඉහතින් සඳහන් වූ පිරිකර අටෙහි වැදගත්කම මේ ආකාරයෙන් වුවත් දීඝ නිකාය අටුවාව වන සුමංගල විලාසිනියේ සඳහන් වන අන්දමට මෙයින් ප්‍රයෝජන දෙකක් අත්වන බව කියවෙයි. මෙම පිරිකර අට ම ශරීරයේ ආරක්ෂාවට මෙන්ම කුසෙහි ආරක්ෂාව පිණිස ද වෙයි. ඒ කෙසේද යත් තුන් සිවුර හැඳ පොරවා හැසිරෙන කාලයේ ශරීරය ආරක්ෂා කරයි. තමා ළඟ පෙරහන්කඩය නැති විටෙක සිවුරු කොණින් පැන් පෙරා පානය කිරීමෙන් කුස ආරක්ෂා කෙරෙයි.

පාත්‍රය, නාන අවස්ථාවේ පැන් උඩට ඔසවා ගැනීමට උපකාරී වීමෙන් ශරීරය පෝෂණය කරයි. ආහාර ගෙන වළදන අවස්ථාවේ කුස පෝෂණය කරයි. වෑය දත් මදින වේලාවේ මෙන් ම ඇඳ පුටු ආදි හිඳිනා අසුන් සකස් කිරීමේදී ශරීරයට පහසුවක් වෙයි. උක් ආදී ආහාර සුද්දකර කෑමට ගැනීමෙන් කුස පෝෂණය වෙයි. ඉදිකට්ට සිවුර මසන වේලේ ශරීර පහසුව පිණිස වෙයි. කැවුම් හා කුඩා ඇට වර්ග ඇති පලතුරු විද ආහාරයට ගැනීමේ දී ඉදිකට්ට අවශ්‍ය වෙයි. එය කුසට ආහාරයක් වීම නිසා කුස පෝෂණය වේ. ඉණ බඳින පටිය බැඳගත් පසු ශරීරයට පහසුවක් වෙයි. එයම කෑමට ගන්නා උක් බැඳගැනීම සඳහා ද ගත හැකිය. පෙරහන් කඩය පැන් පෙරන අවස්ථාවේ ශරීර පෝෂණයත් බොන අවස්ථාවේ කුසෙහි පෝෂණයත් ඇතිවේ. මෙය අටුවා කරු විසින් දක්වා ඇති පරිදි අටපිරිකරෙහි ඇති ප්‍රයෝජනයන්ය. මෙම පිරිකර අටෙහි එකතුවෙන් සකස් කරන ලද අටපිරිකර දන් දෙන බොහෝ අවස්ථාවලදී පිළිගන්වන අයුරු දක්නට ලැබේ. එහෙත් දොළොස් පිරිකරට අයත් වන පූජා භාණ්ඩ පිරිනැමීම දක්නට ලැබෙන්නේ මඳ වශයෙනි. කෙසේ වෙතත් ඒ පිළිබඳව ද දැනගෙන සිටීම ඉතා අගනේ ය. ඒ අනුව දොළොස් පිරිකරට අයත් පූජා භාණ්ඩ නව පිරිකර, දස පිරිකර, එකොළොස් පිරිකර හා දොළොස් පිරිකර වශයෙන් වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ.

.
▬▬▬▬▬ නව පිරිකර ▬▬▬▬▬

‘නව පරික්ඛාරිකස්ස පන සෙය්‍යං පවිසන්තස්ස තත්‍රට්ඨක පච්චත්ථරණං වා කුණ්ඩිකා වා වට්ටති’ දීඝ නිකාය අටුවාවේ ඉහතින් සඳහන් වන පාඨයට අනුව කියවෙන්නේ ‘නව පිරිකරවලට සැතපීම සඳහා යහනට පිවිසෙන්නා වූ භික්ෂුවට ඇඳෙහි එළා ගැනීමට ‘ඇතිරිල්ලක්’ හෝ කෙණ්ඩියක් සුදුසු බවය. මෙහිදී කෙණ්ඩිය මුල් කාලයේ තාපසයන්ගේ් අතෙහි නිතර රැඳුන එකක් නිසා භික්ෂුවගේ පරිහරණය සඳහා ද මෙය සුදුසු බව පෙන්වා දී තිබේ. එයින් පැන් ගෙනවිත් තබාගෙන පරිහරණයට ගත හැකිය. එහෙත් නවීන සමාජය තුළ මෙවැනි භාණ්ඩයක් භික්ෂූන්ගේ් පරිහරණයෙහි නැත. එහෙත් භාවනානුයෝගීව වැඩ සිටින අය මෙය පරිහරණය කරන බව ද දැක හැකිය.

.
▬▬▬▬▬ දස පිරිකර ▬▬▬▬▬

‘දස පරික්ඛාරිකස්ස නිසීදස චම්මකණ්ඩං වට්ටති’ දස වැදෑරුම් පිරිකරවලට භික්ෂූන් වහන්සේ හිඳ ගැනීමට සම් කඩක් පූජා කළ යුතුය. මෙය වර්තමානයේ භික්ෂූන් වහන්සේලා පරිහරණය කරනු ලබන පත්කඩයයි. එය වන්දනාමාන කිරීමේදී හා භාවනායෝගීව එක්තැන් ව සිටින අවස්ථාවන්වලදී බිම එළා ගැනීම සඳහා භාවිත කරයි.

.
▬▬▬▬▬ එකොළොස් පිරිකර ▬▬▬▬▬

‘එකාදස පරික්ඛාරිකස්ස කත්තර යට්ඨි වා තෙළනාලිකා වා වට්ටති’ එකොළොස් පිරිකරයට සැරයටියක් හෝ තෙල් බෝතලයක් හෝ සුදුසුය. මෙහි සැරයටියේ වුවමනාව කුමක් ද යන්න පැහැදිලිය. මුල් යුගයේ සිටි ඇතැම් තාපසයන් මෙන් ම පසුකාලීනව ඉන්දියාවේ සිටි හින්දු පූජකයෝද මෙවැනි සැරයටියක් සකසාගෙන ගමන් කරති. හින්දු පූජකයන් බොහෝ වේලාවට මේ සඳහා යොදා ගත්තේ ඔවුනගේ ආගමික සංකේතයක් වන ත්‍රිශුලයයි. භික්ෂුන්ගේ් පරිහරණය වූයේ ලීයකින් සකස් කරගත් සැරයටියකි. එය අද වෛවර්ණ වී ඇති අයුරු දැකගත හැකිය. තෙල් බෝතලයක් ඇතුළත් වූයේ කුමන අරමුණකින් ද යන්න පැහැදිලි නැත. එහෙත් ඉන්දියාවේ දැඩි සීතල ඇති කාලවලදී ඇතැමුන් තෙල් ඇඟෙහි තවරාගෙන සීතල දුරුකර ගන්නා අයුරු අද ද දක්නට ලැබේ. ඒ අනුව මෙයද දොළොස් පිරිකරට ඇතුළත් වූයේ ඒ අරමුණින් ම විය හැකිය.

.
▬▬▬▬▬ දොළොස් පිරිකර ▬▬▬▬▬

‘ද්වාදස පරික්ඛාරිකස්ස ඡත්තං වා උපාහණං වා වට්ටති’ දොළොස් පිරිකරයට කුඩයක් හෝ පාවහන් යුවලක් සුදුසුය. කුඩය අව්වෙන් හා වැස්සෙන් ආවරණය වීම සඳහා යොදා ගැනේ. පාවහන් පැළඳගෙන යාමක් මුල් කාලයේ නොතිබුණත් පසුකාලීනව එහි අවශ්‍යතාව පැණ නැගුණු බැවින් දොළොස් පිරිකරට මෙය ද සුදුසු වන්නේ යැයි පසුකාලීනව සිටි භික්ෂූන් සිතන්නට ඇත.

මේ ආකාරයට දන් දෙන අවස්ථාවේ පූජා කරන්නා වූ අටපිරිකරට හා දොළොස් පිරිකරට අයත් පූජා ද්‍රව්‍ය මෙනම් යැයි පෙන්වා දිය හැකිය.
.
.
බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ
සහකාර කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත
වැලිවිට සොරත හිමි via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 14, 2016 at 06:00PM

මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී ඒ ශ්‍රාවකයාට හොඳින් කල්පනා කරන්නට පුළුවන් හැකියාවක් තිබිය යුතුයි. ඒ හැකියාව විශ්මිත දෙයක්. ඒ විශ්මිත දේ තුළිනුයි ඔහුට මේ ධර්මයේ තිබෙන නිවැරැදි දේ හමු වෙන්නේ. ඒ තුළින් ඔහුට මේ ධර්මයෙන් උපරිම දේ ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා.තමන්ගේ ජීවිතයේ කල්පනා කරන ශක්තිය තම තමාගේ ජීවිතයේ සාර්ථකත්වය කරා ගෙනයන ආකාරයට හදා ගන්න ඕන.

අප දන්නවා බොහෝ දෙනා කුසල් වඩනවාටත් වඩා පිනට මිනිසුන් කැමැතියි. මේ ලෝකයේ තිබෙන බලවත්ම කුසල් තමා සතර සතිපට්ඨානය වැඩීම, සිහිය ඉහළට දියුණු කිරීම, විදර්ශනා සමථය වැඩීම. නමුත් අද සමාජයේ ඒ බලවත් කුසල් වෙනුවට පළමුතැන දෙන්නේ පිනට. “පින” කියන්නේ අප මහත්ඵල මහානිසංස ලෙස දන් දෙනවා. පුදපූජා කරනවා, ධාතුන් වහන්සේ වඳිනවා, නොයෙක් ලෙස බුදුරජාණන් වහන්සේට උපහාර පූජා, මල් පූජා පවත්වනවා. ධර්මය පතුරුවන්නට උදව් වෙනවා. මේ සියලු පින් අප කරන්නේ කුසල උපදවා ගන්නවාට වඩා පින් රැස්කර ගැනීමට යි. මෙහෙම පින් කරනවා කියන මිනිසුන්ගේ ජීවිතේ ඔවුන්ටත් නො දැනීම ගොඩනැඟෙන කර්ම ශක්තියක් තිබෙනවා. එය අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා පින් කරන්නට ගිහින් පවු ගොඩක් ජීවිතවලට එකතු වෙනවා. ඒක මේ වගේ දෙයක්.

මීට කලින් බුද්ධ ශාසනයක රහතන් වහන්සේ කිහිප නමක් පිඬු පිණිස නිවසකට වඩිනවා. උන්වහන්සේලා මේ නිවසේ සිටි තරුණ යුවලක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් මුන්වහන්සේලාට දානය පූජා කළා. ඉතාමත් සංවර ඉරියව් තිබෙන උන්වහන්සේ දෙස බලලා සතුටු වුණා. මුනිවරු මෙතරම් ශාන්ත වුණේ යම් ධර්මයක් අවබෝධ කරලද? ඒ පරම ශාන්ත වූ අමා නිවන අපටත් අවබෝධ කරගන්න පුළුවන්නම් කියන අදහස තරුණ යුවලගේ සිතේ බලවත්ව පිහිටියා. මේ දෙදෙනා ඒ සිතිවිල්ලෙන්ම දන් පූජා කළා. දානය වැළඳු රහතන් වහන්සේ පිටත් වුණා. මොනම හරි හේතුවකට මුලින් සිටි හිමියන් පිටුපස හැරී පසුපස සිටි හිමියන් සමඟ සිනා වුණා. ඒ හිනාව දුටු කාන්තාව සැමියාට කියනවා හරියට “සර්කස් කාරයෙක්” වගේ නේද? කියා. ස්වාමියා හිස වනා එය ස්ථිර කළා.

ඒ අය මනුස්ස ලෝකයේ සැපවත්ව ගෙවා මරණින් මතු සුගතියේ උපන්නා. කර්ම විපාකය සඳහා ගෞතම බුද්ධ ශාසනයේදී අර කාන්තාව ඉපදුනා සර්කස් පවුලක. පිරිමියා උපන්නා ඒ ගමේම සිටු පවුලක. දැන් ඒ ගෑණු ළමයා ගමින් ගමට සර්කස් පෙන්වමින් යනවා. දිනක් මේ සිටුකුමාරයටත් මේ සර්කස් බලන්න ලැබුණා. සසරේ බැඳීම යළි මතු වුණා. දුටු සැණින් හිත ගියා. ඔහු තීරණය කළා මේ තරුණිය විවාහ කරන්න. කලින් ජීවිතයයි, කර්ම ශක්තිය එකට එකතු වුණා. මාපියන්ගේ විරුද්ධතා මැද අර තරුණිය විවාහ කරගත්තා. දැන් මේ කුමාරයාගේ රැකියාව සර්කර් පෙන්වන තැන්වලට බඩු ඇඳීමයි. දිනක් මේ තරුණයා මමත් සර්කස් ඉගෙනගන්න ඕන කියා සිතා සර්කස් ඉගෙන ගත්තා. කෙතරම් දක්ෂද කියනවානම් රියන් අසූවක් උස උණ ගසක් උඩකට නඟිනවා. කය සැහැල්ලු කරගෙන සමබර කරගෙන මොහොතකින් ආකාසයට පැන නැඟ ආකාසයේ කරනම් දාහතර ක් ගසා නැවත අර අසූ රියන් උස උණ ගසේ මුදුනේම සිට ගන්නවා. මිනිසුන් බොහෝ දෙනා එනවා මේ සර්කස් එක බලන්න.

දිනක් තථාගතයන් වහන්සේ ලෝකයාගේ හිතසුව පිණිස කරුණාවෙන් ලොව දෙස බැලුවා. උන්වහන්සේ පින තිබෙන කෙනා කෙතරම් ඈතක සිටියත් හොඳින් හඳුනනවා. හරියට මහමේරු පර්වතය වගේ. පින් නැති කෙනා ළඟ සිටියත් උන්වහන්සේට පෙනෙන්නේ නැහැ. හරියට රෑ කාලයේ ළඟට වැටුන ඉදිකටුවක් වගේ. බුදුරජාණන් වහන්සේ එදා සඟ පිරිසත් සමඟ සර්කස් පිට්ටනියට වඩිනවා. දැන් මිනිසුන් බුදුරජාණන් වහන්සේ දෙස බලනවා. අර පුද්ගලයා උණ ගහේ උඩ ඉන්නවා. ඔහු සිතනවා මම දැන් සර්කස් පෙන්වන්නට හදන්නේ. මේ ශ්‍රමණ පිරිසක් ඇයි මෙතැනට වැඩියේ? කියලා සිත වික්ෂිප්ත වුණා. බුදුන් වහන්සේ වදාළා පින්වත අපටත් පෙන්වන්න ඔබගේ සර්කස්. දැන් ඔහුට හරි සතුටුයි. උණ ගස මුදුනේ සිට සර්කස් වලට සූදානම්ව සිත එකඟ කරගත්තා. උණ ගසෙන් උඩට එසවුණා. බුදුරජාණන් වහන්සේ ඔහුට ඇසෙන සේ වදාළා “පින්වත, අතීතය අත්හරින්න. අනාගතය සිතින් පතන්නට එපා. වර්තමානයේ ස්වභාවය දකින්න. මේ පංච උපාධානස්කන්ධයට මුලාවෙන්න එපා” කියා. ඔහු ආකාසයේ සිටම ධර්මය අවබෝධ කරගෙන නැවත උණ ගස උඩ සිට ගත්තේ රහතන් වහන්සේ නමක් ලෙස. මේ නිසා කටින් පිටවන වචනය ගැන සැලකිලිමත්වීම වැදගත් වෙනවා.

ඔබට තව උදාහරණයක් කියන්නම්. එක සිටු නිවසකට පසේ බුදුරජාණන් වහන්සේ පිරිසක් දානයට වැඩියා. පාත්‍රා උණු වතුරෙන් සෝදන විට රස්නය නිසා උන්වහන්සේ ඒ පාත්‍රා බිම තිබ්බා. බිමතබා සෝදනවිට ඒ පාත්‍ර සෙලවෙනවා. එක් කුමාරිකාවක් මේක දැක තමාගේ අතේ තිබුණු ඇත් දළයෙන් කළ වළලු අට අර පාත්‍රා නොසෙල්වීමට ‘දරුණු’ ලෙස තිබ්බා. දැන් දානය පුජාකරගෙන සතුටු වුණා. ඒ පසේබුදුරජාණන් වහන්සේ අතර එක් නමක් සිටියා කුදුවෙලා යන. අර වළලු දුන් බිසව අනෙක් බිසෝවරුන්ට කියනවා අර අර බලන්න අර භික්ෂුව යන හැටි. අනෙක් අය අහනවා ඇයි මොකද? යන විදිහ. එවිට අරයා රඟපා පෙන්නුවා මෙහෙමයි ගියේ කියා. උපනුපන් ආත්මවල කුදුවෙලා ඉපදුණා. මේ බුද්ධ ශාසනයේ “කුජ්ජුත්තරා” ඇයයි. අර පාත්‍රාවලට දරුණු පූජාකළ පිනට වහා ධර්මය අවබෝධ වුණා. පසේබුදු කෙනෙකුට නින්දා කළ නිසා කුදු වුණා. එනිසා අපේ සසරේ සැරිසරන නජීවිත සකස් වෙලා තිබෙන විදිහ රෝම කූපයක, ඇහි බැමක, බලන බැල්මක, කථා කරන වචනයක, යම් ඉරියව්වක කර්මය සකස්වෙලා තිබෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කය කියන්නේ සසරේ කරන ලද පැරැණි කර්මයක් ලෙස. ඒවා මේ ජීවිතයේදී ලැබෙනවා. අප මුහුණේ එක එක ඉරියව් වෙනස් කළොත් අපේ මුහුණ එක එක ආකාරයට පෙනෙනවා. මේ ආකාරයට අපට කයක් හදලා දුන්නේ කර්මය විසින්. තවත් කෙනෙකුට හදාදුන් ශරීරයට හිනාවෙලා අපත් කර්ම රැස්කර ගන්නවා.

එහෙමනම් අප නොදැනීම පිනත් සමඟ කර්මය මිශ්‍ර වෙනවා. කෙනෙක් උඩුඟු සිතින් දන්පැන් දුන්නානම් ඒ දානය උඩුඟු සිත සමඟ එකතු වෙනවා. සමහර අය දන් දෙනවා. නමුත් කායික ජීවිතය සංවර නැහැ. දන් දෙන සමහරු හරි පරුෂයි. ඒ අය දානය නිසා බලවත් වෙනවා. නමුත් සැර පරුෂ යක්ෂයන් වෙනවා. තමන්ගේ ඊළඟ ජීවිතය දැන් ගතකරන ජීවිතය අනුවයි සකස් වෙන්නේ. තමන් දන්පැන් දෙනවිට, සිනාසෙනවිට, කථාකරනවිට එයින් කර්මයක් සකස් වෙනවා. බොහෝ දෙනා දන් දෙනවා. නමුත් අත් හැර දන් නොදුන්නේ නිසා දුන් දේ පමණක් ලැබෙනවා. තමන්ගේ දේ භුක්ති විඳින්න හිත නැමෙන්නේ නැහැ. තමන් කරන කියන දේ තමන්ගේ පිටු පස්සෙන් එනවා. එනිසා නිතරම අප දන් දීලා හිත පහදවා ගන්නට ඕන.

ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්මය මුල්කරගෙන විහිළු කළොත් එය විශාල පාපයක් වෙනවා. උප උපන් ආත්මවල විහිළුවට කිවුවත් එය අපට ගෙවන්නට සිදුවෙනවා. මිනිසුන් මේ සියලුම පාපයන් කර ගන්නේ ධර්මය නො දන්නාකම නිසයි. සමහර අය බුදුරජාණන් වහන්සේ විවිධ කුසලතාවලට විවිධ විශේෂ දක්ෂතාවලට නින්දා අපහාස කරනවා. ගරහනවා. එහෙම වෙන්න පුළුවන්ද කියා අහනවා. නමුත් ඒ අය දන්නේ නැහැ උන්වහන්සේගේ අසීමිත ප්‍රඥා ගුණය ගැන. ඒ නිසාම ශ්‍රද්ධාවක් නැති අය වචනය නිසා බොහෝ පවුකර ගන්නවා. බුදුරජාණන් වහන්සේ, ධර්මය, සංඝයා මුල්කරගෙන කියන කරන දේ පිළිබඳව අප විශේෂයෙන් පරිස්සම් විය යුතුයි . තමන්ගේ සිත, කය, වචනය හික්මීමෙන් ඔබටමයි යහපත සැලසෙන්නේ. ඔබ යමක් දෙන ආකාරයටයි නැවත ලැබෙන්නේ. තමන් ඉතුරු කරගෙන ඉතුරු කරගෙන නම් දන් දෙන්නේ සසරෙදී තමන්ට ලැබෙන විටත් ටික ටික තමා ලැබෙන්නේ. ඒ නිසා තමාට කර්මය ගැන හැඟීමක් තිබෙන්න ඕන. බුදුරජාණන් වහන්සෙගේ ශාසනයේ සිතින්, කයින්, වචනයෙන් මොනවාහරි දෙයක් කළොත් ලැබෙන්නේ ඒ ආකාරයට ය. ශාසනය කියන්නේ සරුසාර කුඹුරක්. ඒ කුඹුරේ මොන දේ වැපුරවත් එහි බීජ හට ගන්නවා. කොහොඹ වැපුරුවොත් කොහොඹ හට ගන්නවා. වී වැපුරුවොත් වී හට ගන්නවා. බුද්ධ ශාසනය ගැන අප සතුටින් නම් කථා කරන්නේ පුණ්‍ය සංස්කාර හට ගන්නවා. බුද්ධ ශාසනය ගැන අපැහැදීමෙන් නම් කටයුතු කරන්නේ පාපි කර්ම සකස් වෙනවා. ඒ නිසා අද කාලයේ මැරෙන බොහෝ දෙනා දුගති ලෝකවල යනවා.

සීලය ගැන, දානය ගැන, භාවනාව ගැන තේරුමක් නැහැ. ඒ නිසාම භාවනා කරන අයට ගරහනවා. භාවනාවක් කරන කෙනායි දන්නේ භාවනා කරන එක කෙතරම් අමාරුද කියා. භාවනා කරන අයට අප ගැරහුම් කළොත් එහි විපාක ලැබෙන්නේ අප භාවනාට වාඩිවුණාට පස්සේයි. සිල් රකින කෙනාට අපෙන් වරදක් වුණොත් යම් දවසක අප සිල් රකින්න උත්සාහ කරද්දී එහි විපාක අපට ලැබෙනවා. ඒනිසා තේරුම්ගන්න සිතින්, කයෙන්, වචනයෙන් නිරන්තරයෙන් කර්ම සකස් වෙනවා. පිනක් හෝ පවක් අපේ අතින් සිදුවෙනවිට තමන්ගේ හැසිරීම් රටාව, සිතේ ස්වභාවය කර්මයත් සමඟ එකතු වෙනවා. විපාක දෙනකොට ඒ සියලුම දේ එකතුවෙලා විපාක දෙනවා.

ඒ නිසා අප ඒ ගැන සිහියෙන්, බුද්ධියෙන්, විමසීමෙන් මේ ධර්ම මාර්ගයේ ගමන්කිරීම වැදගත් වෙනවා.

තෙරුවන් සරණයි!

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය : http://ift.tt/2ahh0z9 via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 14, 2016 at 09:42AM

පින්වතුනි, මේ සද්ධර්මය අවබෝධ නොවීම නිසා අවබෝධ කර නොගැනීම නිසා, බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, “නුඹලාත්, මමත් බොහෝ කාලයක් සසර ඇවිද්දා, සසර සැරිසැරුවා” කියලා. නිකම්ම සසර ඇවිද්දා, සැරිසැරුවා නොවෙයි, මේ සංසාරේ එනකොට මහා විශාල දුක් ගොඩක් අපි හැම කෙනෙක්ම විඳලා තියෙයි. නමුත් භවයෙන් වැහිලා නිසා අපට ඒවා පෙනෙන්නෙ නෑ.
පින්වතුනි, බුදුරජාණන්වහන්සේ සසර දුකයි, ජීවිතය දුකයි කියලා කියන්නේ, කන්න මොකුත් නැතුව බඩගිනි හැදෙන දුක නිසා නොවේ. වතුර ටිකක් නැතුව පිපාසය නිසා එන දුක නිසා නොවේ. කන් කැක්කුමක්, දත් කැක්කුමක්, බඩේ කැක්කුමක් නිසා එන දුක නිසා නොවේ. කෙටියෙන්ම කියනවානම් මේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් විඳින කිසිම දුකක් සසර තියෙන දුක් වලට සාපේක්‍ෂව, ‘දුකයි’ යන ගණයට යන්නේ නෑ.

මම ඕකට පොඩි කතාවක් ඔය පින්වතුන්ට කියන්නම්. පින්වතුනි බුදුරජාණන්වහන්සේ වැඩ ඉන්න කාලේ විශාලා මහනුවර රජකම් කළේ ලිච්ඡවී රජවරුයි. එතැන සමූහ ආණ්ඩුවක් තිබුණා. හත්දහස් හතක් රජවරු හිටියා. එක ප්‍රදේශයක රජකම් කළා අම්බසක්කර කියලා රජකෙනෙක්. මේ අම්බසක්කර රජ්ජුරුවන්ගේ රාජ්‍ය ප්‍රදේශයේ නගර මධ්‍යයේ බොහෝ වෙළඳසැල් තිබුණා. එක වෙළඳසැලක් තියෙනවා, මේ වෙළෙඳසැල් හිමියා හරිම දැහැමියි, හරිම ගුණයහපත්. කිසිම වෙලාවක කිසිම කෙනෙකුගේ හිත රිදෙන වචනයක් කතා කරන කෙනෙක් නොවේ. හැමෝ කෙරෙහිම ප්‍රිය වූ මනාප වූ ගතියකින් තමයි කටයුතු කරන්නේ.
මේ වෙළඳසැල ඉස්සරහා මඩ වගුරක් තියෙනවා. වෙළඳසැලේ ඉන්න වෙළඳ මහත්තයට පේනවා බොහෝ දෙනෙක් හොඳට ඇඳ පැළඳගෙන එනවා, අනේ මේ මඩ විසිවෙලා මඩ තැවරිලා ඇඳුම් පැළඳුම් ජරා වෙනවා. සමහර අය මඩ වලේ ලිස්සලා වැටෙනවා. ඉතින් මෙයා මොකද කරන්නේ, ගෙදර ඉඳලා උදේ ආපනශාලාවට එද්දී, මග තිබුණා ගවයෙක්ගේ ඔළුවක්. හරකෙක් මැරිලා සුදුපාට වුන ඔළු කට්ටක්. ඒ ඔළු කට්ට ගෙනැල්ලා මඩ වල මැද්දට දැම්මා, මේක පාගාගෙන මනුෂ්‍යයන්ට එතෙර වෙන්න පුළුවන්නේ කියලා. ඉතින් මනුෂ්‍යයෝ බොහෝ දෙනෙක් ඇඳුම්වල මඩ තැවරෙන්නේ නැතුව, ගව හිසට අඩිය තියලා එතෙරට යනවා.
මේ ආපනශාලා හිමියාගේ ඥාති පුත්‍රයෙක් හිටියා, සහෝදරියකගේ පුතෙක්, බෑණා කෙනෙක්. මෙයා ලොකුයි. පසුකාලේදි සූදුවට ඇබ්බැහි වෙලා, තියෙන දේවලුත් විනාශ කරලා, හොරු කණ්ඩායමකට එකතු වෙලා. දැන් මුදල් නැති නිසා හොරකමේ යන්නගත්තා. ආපනශාලාවේ ඉන්න ආපනශාලා හිමියා, මාමා, මේ මොකුත් දන්නේ නෑ. එයා බොහෝම දැහැමි කෙනෙක්. අර ඥාති පුත්‍රයා, මොකද කරන්නේ, හොරකමේ ගිහිල්ලා,ගෙවල් බිඳලා, බඩුමුට්ටු ගෙනැල්ලා, මෙයාට හම්බවෙන කොටස හංගන්නේ මාමාගේම ගෙදර පැත්තක යි. මාමා මේ මොකුත් දන්නේ නෑ.
ඉතින් දවසක් ඔය වගේ හොරකමේ ගියහම, රාජපුරුෂයන්ට අහුවෙනවා. ඔක්කොම හොරු පැනලා යනවා, ආපනශාලා හිමියාගේ ඥාති පුත්‍රයා හසුවෙනවා. බඩුත් එක්ක හසුවෙලා ගහනකොට තියෙන අනිත් බඩුත් පෙන්නනවා අර ගෙදරට එක්කගෙන ඇවිල්ලා. පෙන්නුවහම රාජපුරුෂයෝ හිතනවා මේ ආපනශාලා හිමියාත් මේකට අනුග්‍රහය දක්වලා තියෙනවා කියලා එයාවත් අල්ලාගෙන යනවා. රජ්ජුරුවෝ මොකද කරන්නේ, ආපනශාලා හිමියාගේ හිසගසා මරලා දමන්න නියම කරනවා. එයාගේ ඥාති පුත්‍රයා බලවත් වැරදිකාරයා නිසා එකවර මරන්නේ නෑ. හොඳට කෝටුවක් උල්කරලා, උලතියන්න, උල උඩ ඉන්දවන්න නියමකළා. ඒ කියපු විදිහට රාජපුරුෂයෝ ආපනශාලා හිමියාගේ හිසගසා දැම්මා. එයා මැරුණා. එයාගේ ඥාති පුත්‍රයාව සොහොනට ගෙනිහිල්ලා උල තිබ්බා. උලේ කට්ට බේරලා තියෙන්නේ, දවසින් දවස, ටිකෙන් ටික, ශරීරය පසාරු කරගෙන යන්න. එතකොට කෘරවූ, කටුක වූ, තියුණු වූ, දුක් වේදනාවන් විඳිනවා. විඳලා තමයි මැරෙන්නේ.
මේ විදිහට උල උඩ තිබ්බහම, උල උඩ ඉන්න මේ මනුෂ්‍යයා හැම වෙලාවේම හිතනවා, ‘අනේ මාව මැරෙන්නේ නෑනේ. අනේ මාව මැරෙන්නේ නෑනේ. මේ දුක ඉවරයක් වෙන්න ඉක්මනට මැරෙනවානම්. මේ දුක විඳ විඳ ඉන්න බෑ තවත්. අනේ මාව මැරෙනවා නම්’ කියලා හිතින් මරණය ප්‍රර්ථනා කරනවා.
අර ආපනශාලා හිමියා බොහොම දැහැමි කෙනෙක්නේ. එයා මැරිලා ගිහිල්ලා විමාන දෙවියෙක් වෙලා උපන්නා. අර මිනිස්සුන්ට මඩ පෑගෙන්නේ නැති වෙන්න මඩ වලට ගව හිසක් දාපු එකේ කුසලයට එයාට දිව්‍යමය අජානීය වෘෂභයෙක් පහළ වුණා. උඩින් යන්න පුළුවන්, ඍද්ධියෙන් යන්න පුළුවන්, වෘෂභ වාහනයකින් තමයි දැන් එයා යන්නේ. හැබැයි එයා තරුණකාලේ යාළුවොත් එක්ක නාන්න ගිහිල්ලා, හොරකමටත් නොවෙයි, කෙළි පිණිස සෙල්ලමට යාළුවන්ගේ ඇඳුම් හංගලා තියෙනවා. දෙවියෙක් වෙලා හොඳ දිව්‍ය වාහනයකුත් තියෙනවා නමුත්, ඒකේ අකුසලයට ඇඳුම් නෑ, නිර්වස්ත්‍රයි. අර ලෝවැඩ සගරාවේ තියෙන්නේ
කෙළියට කඩක් සගවා යහළුවකුගෙනේ
හෙළිකොට නැවත දුන් මිනිසෙකුට මෙතෙකිනේ
විළිවැස්මක් නො ලදිය දෙවි වෙලත් අනේ
කෙළි යටවත් නො කරව් සොරකමක් දැනේ

කියලා. එතකොට මෙන්න මේ ඒ දෙවියා තමයි. ඇදුම් නෑ.

ඉතින් මේ ඥාති පුත්‍රයා උල උඩ ඉඳගෙන මරණය නිතරම ප්‍රාර්ථනා කරන බව අර දෙවියාට තේරෙනවා. දෙවියාට මෙයාගේ හිත කියන්න පුළුවන්. මෙයා මොකද කරන්නේ, දවස දවස ගානේ ඇවිල්ලා, ඥාති පුත්‍රයා ලඟට ඇවිල්ලා, “දරුවා මැරෙන්න හිතන්න එපා. ජීවත්වෙන්න හිතන්න. අනේ මාව ජිවත් වෙන්නේ නෑ නේ, මම කොහොමද ජිවත් වෙන්නේ කියලා හිතන්න. ජිවත්වීම ප්‍රර්ථනා කරන්න. ඔබගේ මරණයට වඩා ජීවත්වීමම ඔබට දාහෙන් සම්පතක්. ඔබට ලාභයක්ම යි. ඒ නිසා උල උඩ හරි කමක් නෑ ජිවත් වෙන්න උත්සාහවත් වෙන්න” කියා කියා යනවා.
ඔය කාලයේ රජවරුන්ගේ සිරිතක් තිබුණා අප්‍රකට වේශයෙන් වෙස්වලාගෙන නගරයේ ඇවිදිනවා. රජ්ජුරුවන්ට හෝ රජයට හෝ මිනිස්සු දොස් කියනවාද, මොනවා හරි අලුත් අදහස් තියෙනවාද, යෝජනා තියෙනවාද කියලා බලන්න. ඉතින් මේ අම්බසක්කර රජ්ජුරුවොත් දවසක් රාත්‍රී කාලයේදි වෙස්වලාගෙන යනවා. ඔය සොහොන අයිනෙන් තමයි යන්නේ. යනකොට ශබ්දයක් ඇහෙනවා, මේ අර උල තිබ්බ හොරා ඉන්න තැන – “මැරෙන්න එපා ඔබ ජිවත් වෙන්න. මැරෙන්න හිතන්න එපා ජිවත් වෙන්න හිතන්න. මරණයට වඩා ඔබගේ ජිවත්වීම ශ්‍රේෂ්ඨයි කියලා”. රජ්ජුරුවෝ හෙමින් එතැනට ගිහිල්ලා අහනවා ඔබ කවුද? “මම අහවල් දිව්‍ය විමානේ ඉන්න දෙවියෙක්” කියනවා. රජ්ජුරුවෝ “පෙනෙන්න එන්න” කියනවා. “මට ඇදුම් නෑ, පෙනෙන්න එන්න බෑ නේ” කියලා ඒ දෙවියෝ කියනවා. “කමක් නෑ එන්න” කියලා රජ්ජුරුවෝ කියනවා. ඊට පස්සේ ඒ දෙවියෝ තමන්ව පෙන්නනවා.
ඊට පස්සේ රජ්ජුරුවෝ “මේ උල උඩ ඉන්න කෙනා ඔයාගේ හතුරෙක්ද” කියලා අහනවා. “උල උඩ ඉන්න මනුස්සයා මෙච්චර දුක් විඳිද්දී තව මැරෙන්න එපා ජීවත්වෙන්න කියන්නේ එයා දුක් විඳිනවා බලන්න එච්චර ඔයා කැමතිද? එයා එක්ක මෙච්චර වෛරද ඔයා?” කියලා අහනවා. ඊට පස්සේ කියනවා, “නෑ මේ උල උඩ ඉන්න කෙනාට මම ගොඩක් ආදරෙයි. මේ මගේ ඥාති දරුවෙක්. එයාට ආදරේ හින්දාමයි මැරෙන්න එපා ජීවත්වෙන්න” කියලා කියන්නේ. “ඒකට හේතුව මොකක්ද” කියලා රජ්ජුරුවෝ අහනවා. “මගෙන් ඒක මෙතැනදී අහන්න එපා. මෙයාගේ පණ බොහොම යන්තමින් තියෙන්නේ. පැත්තකට ගිහිල්ලා අහන්න මගෙන්” කියනවා. ටිකක් අහකට ගියහම කියනවා “මෙයා බැරිවෙලා මැරුණොත්, ගිහිල්ලා උපදින්නේ අවීචිමහ නරකයේ.ඒ අවීචිමහ නරකයේ විඳින දුකට සාපේක්‍ෂව, උල උඩ ඉන්නවා කියන්නේ දිව්‍ය ලෝකයක ඉන්නවා වගෙයි” කියලා.
මේ කතාව ගොඩක් දිගට තියෙනවා.මම මෙතෙන්දි කියන්න ගත්තේ පින්වතුනි එක දෙයක් දකින්න, කෙනෙක්ගේ පිටිපස්ස පැත්තෙන් පසාරුකරගෙන ශරීරය විනිවිද යන්න උලක් ඇන්නොත් මොනතරම් වේදනාවක් එයිද? ඒ වගේ වේදනාවක් කවුරුවත් විඳලා තියෙයිද? නෑ. එතකොට අපායට සාපේක්‍ෂව, අපායේ දුකට සාපේක්ෂව, අර තරම් වේදනාවකුත් දිව්‍ය ලෝකයක බඳුයි කියනවා.
ඒ උල උඩ ඉන්න මනුෂ්‍යයාත් ඉන්නේ සුගතියකයි. ඒක හොදට මතක තබාගන්න. උල උඩ ඉන්න මනුෂ්‍යයාත් ඉන්නේ සුගතියකයි. ඒකට කියන්නේ තවම සුගති කියලා, යහපත් ගතියක් කියලා. එතකොට දුගතිය කියන එක මොනතරම් ඇත්ද කියන කාරණාව මේ මොහොතදි පොඩ්ඩක් අනුමානෙට සිහිපත් කරගන්න.
බුදුරජාණන්වහන්සේ සසර දුකයි කියන්නේ, අපට මොහොතකට ඇතිවෙන බඩගින්න හින්දා නොවෙයි. කන්න බොන්න දෙයක් නැතිව ඇති දුප්පත්කම නිසා නොවෙයි. අඳින්න ඇඳුමක් නැතිකම නිසා නොවෙයි. සීත උෂ්ණ නිසා එන දුක නිසා නොවෙයි. එහෙම නැත්නම් කවුරුහරි බැනපු හින්දා නොවෙයි. කවුරු හරි ගහපු නිසා නොවෙයි. මේවා නොවෙයි පින්වතුනි, සසර දුක කියලා කියන්නේ. මේවා ඔක්කොම ‘සුගතියක තියෙන අපහසුකම්’ යන ගණයට යන්නේ. ඒද සුගතියක්. කෙනෙක් උපන් දවසෙම ඉඳලා උපන්ගෙයි ඉඳලම අතපය හතරම කොරවෙලා, මලමූත්‍ර ගොඩේ වැතිරිලා, මැරෙනකල්ම, අවුරුදු සීයක් ජිවත් වුනත් එයා ඉන්නේ සුගතියක කියලා මතක තබා ගන්න. ඉතින් දුගතිය කියන එක කොහොමද කියන එක හිතාගන්න.
සමහර ප්‍රේත නිකායයන් තියෙනවාලු, හරියට ගහක බෙනයක් ඇතුළේ හටගන්නා ගිනිදැල් වගේ. අභ්‍යන්තර ඇතිවෙන ගින්න, කුසගින්න, කියන එක දරාගන්න බෑ. නමුත් ඒ කුසගින්න නිවාගන්න සෙම, සොටු ටිකක්වත් නෑ. එහෙම අවුරුදු කෝටි ගණන් තියෙන ආත්මභාවයන් තියෙනවා. ඉතින් මේවා පින්වතුනි, භවයෙන් වැහිලා නිසා අපට පෙනෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන්වහන්සේලා ලෝකයේ පහළ වෙන්නේ සසර එබඳු දුකක් තියෙන නිසා යි, සසරගත ඉන්න සත්ත්‍වයෝ එබඳු දුකක් විඳින නිසායි.
පින්වතුනි, අද අපේ ජීවිතය මෙබඳු වුනාට අපි ඔය කිවුවේ තව ‘අහක ඉන්න නිරිසත්ත්‍වයෙක්’ ගැන නොවෙයි. හෙට දවසේ අපේ ඉරණම ගැන යි. හෙට දවසේ අපේ ජීවිතය ගැන යි. මේ පින්වතුන්ට මේ සසරේ ඉන්නකොට හැමදාම බුද්ධෝත්පාද කාල හම්බවෙන්නේ නෑ. හැමදාම සත්පුරුෂ ඇසුර හම්බවෙන්නේ නෑ. හැමදාම මනුෂ්‍ය ජීවිත ලැබෙන්නේ නෑ. මනුෂ්‍යයෙක් වුනත්, මේ යමක් හිතන්න පුළුවන් මේ වටපිටාව අපට හැමදාම හම්බවෙන්නේ නෑ.
පින්වතුනි, මේ විදිහට ඉපදෙමින් මැරෙමින් යන මේ සසරෙදි යනකොට සත්පුරුෂ කාලවලට වඩා අසත්පුරුෂ කාල වැඩියි. ඒ අසත්පුරුෂ කාලයක, අසත්පුරුෂ අදහස් ඇති පවුලක ඉපදුණොත් පින්වතුනි ‘ඉබේමයි’ අපි ඊට අනුගතව කටයුතු කරන්නේ. එතකොට අරවගේ අපායට යන කර්‍ම කෙරෙනවා කියන එක ඒ තරම් දෙයක් නොවෙයි. ඒ නිසායි මෙතැන තියෙන භය. ඒ නිසා යි මෙතැන අපි සංවේගය ඇතිකර ගන්න ඕනේ කියන කාරණාව මතක් කරනවා.
එබඳු වූ සසරෙන් එතෙර වෙන්න තියෙන එකම උපාය තමයි මේ සද්ධර්‍මය. ඒ නිසයි අපි සද්ධර්‍මය අහලා එතෙර වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ.
අද මේ කන්න බොන්න නැතිකම නිසා එන දුක, ඇඳුම් පැළඳුමක් නැතිකම නිසා එන දුක, ගෙයක් දොරක් නැතිකම නිසා එන දුක, දුකක් නොවෙයි. මේ සසරෙදි ඔයිට වඩා සතර අපායේ අපි දුක් විඳලා තියෙයි. පින්වතුනි, මම දවසක් දැක්කා හරකෙකුට කවුරුහරි කෙනෙක් පිටට කොටලා පිහියකින් හරි මන්නෙකින් හරි. පිටේ පණුවෝ ගහලා සුදුපාටට ඉහඳයෝ. හරකාට මේක එලවගන්න බැහැ. නැට්ටෙන් එහාට මෙහාට වනනවා. කපුටෙක් ඉඳගෙන, පිට උඩ වහගෙන, කොට කොටා පණුවෝ කනවා. එතකොට අර සතාට තුවාලේ වේදනාවයි, පණුවෝ ගහපු වේදනාවයි, දෙකයි. කපුටට මේක තේරෙන්නේ නෑ. කපුටා පණුවෝ කන්නයි කොටන්නේ නමුත් වදින්නේ තුවාලයට යි. ඒ සතා එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා.
මම මේක දිහා සෑහෙන්න වෙලා බලන් හිටියා.මේ ඇස් දෙකෙන්ම දැකපු සිද්ධියක්. ඒ ද පින්වතුනි, හෙට දවසේ අපගේ චරිතය යි, කියන එක මතක තබාගන්න. අද මෙහෙම හිටියට හෙට දවසේදී මේ කියන ඕනෑම පැවැත්මකට පත්වෙන්න පුළුවන්කම, හේතු, ඔඩොක්කුවේ තියාගෙනයි අපි ඉඳගෙන ඉන්නේ.
අපි හිතාගෙන ඉන්නේ අතේ පයේ මොකුත් නැතුව හිස් අතින් අපි ඉඳගෙන ඉන්නේ කියලා නේද? නෑ. ඒ ඒ සත්ත්‍ව නිකායන්වල, ඉපදිලා විඳින්න තියෙන දුක් ඔඩොක්කුවේ තියාගෙනයි ඔය ඉඳගෙන ඉන්නේ කියලා මේ පින්වතුන් දන්නවාද? දන්නේ නෑ.
ඒ හින්දා, මම මේ කරන දේශනාව කරන්න ඉස්සෙල්ලා, මේ ටික මම මුලින් ම මතක් කරනවා.බොහොම ආදරයෙන්, උවමනාවෙන් අහලා මේ බණ ටික තේරුම් ගන්න උත්සාහවත් වෙන්න.

මුළු ධර්ම දේශනාව pdf ලෙස -> http://ift.tt/2bfnJLl
මාන්කඩවල සුදස්සන හිමි. via Facebook Pages http://ift.tt/1GMS4Lf