Monthly Archives: December 2016

New photo from Facebook December 14, 2016 at 12:00PM

දත යුතු සියල්ල දැන ගත්, දැකිය යුතු සියල්ල දැක ගත්, උතුම් දැක්මෙන් ද උතුම් ඥානයෙන් ද උතුම් ධර්මයෙන් ද යුතු අතිශයින් ශ්‍රේෂ්ඨ වූ යම් මේ මහා පුරුෂයෙක් ලොව පහළ වන්නේ නම් එ් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය..!

අපා, දෙපා, සිවුපා, බහුපා සතුන් අතරේ ද රූපී, අරූපී සතුන් අතරේ ද සඤ්ඤී, අසඤ්ඤී, නේවසඤ්ඤනාසඤ්ඤී සතුන් අතරේ ද එ් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එ්කාන්තයෙන් ම අග‍්‍ර වන සේක..!

ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ පාපී මාරයෙකුට හෝ බඹෙකුට හෝ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ වෙනස් කළ නො හැකි ලෙස, ආපසු හැරවිය නො හැකි ලෙස උතුම් ධර්ම චක‍්‍රය කරකවා, අමා මහ නිවන නම් වූ අමෘතය දන් දෙන්නේ ධර්මස්වාමී වූ එ් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය..!

සම්මා සම්බුදුවරයෙකුගේ පහළ වීම වනාහී සියලූ දුක්ඛ දෝමනස්සයන් සන්සිඳවන, අනවරාග‍්‍ර සසරේ කෙළවර කරා සැදැහැ සිත් ඇති නැණැතියන් යොමු කරවන මහා ප‍්‍රඥලෝකයේ පහළ වීමයි. ලොව කොතෙක් සත්වයන් උපත ලැබුව ද ඔවුන් තමන්ව හෝ අන්‍යයන්ව යළි යළි ඉපදීමෙන්, යළි යළි ජරාවට පත් වීමෙන්, යළි යළි ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන්, යළි යළි සිදු වන මරණයට පසු යළිත් උපතක් කරා යොමු වීමෙන් නිදහස් කරවන මඟ හෙළි කරන්නේ නැත. ඇවිත් යන, ගොසින් යළි එන, යෑම් ඊම් අතර මහ පොළොවට පස් වෙමින් පොළොව පුරවාලන සංසාරගත දෝෂයෙන් එ් කිසිවෙකුත් නිදහස් වන්නේ නැත.

හීන වූත්, ප‍්‍රණීත වූත් කාම සැපයන් ලූහු බඳිමින්, එ් එ් තැන සතුටින් පිළිගනිමින්, පසිඳුරන් පිනවීම ම සැප යැයි පිළිගත් ලෝක සත්වයා අති දීර්ඝ සසර ගමනක් තුළ ගිලී ගිය මෝහාන්ධකාරය දුරු කරන්නට සමත් වන්නේ ප‍්‍රඥා ප‍්‍රදීපයෙන් සියලූ මිථ්‍යාවන් දුරැර දැමූ එ් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය..!

දුක් විඳිනා ලෝ සත කෙරෙහි උපන් ළතෙත් දයා ගුණයෙන් සමලංකෘත නිකෙලෙස් හද මඬලින් සුපෝෂිත නේක ලොව්තුරු ගුණයන්ගෙන් විරාජමානව වැඩ සිටි එ් දිව්‍ය සුපූජිතයාණන් වහන්සේගේ අනන්ත අපරිමාණ ගුණ සමුදාය අපට වචන කළ නො හැකි ය. සම්බුදු කෙනෙකුන් ම මිස සමානයෙකු නැති හෙයින් අසමසම නම් වූ, අසම ගුණ ඇති හෙයින් නිසභ නම් වූ, පමණ කළ නො හැකි ගුණ ඇති හෙයින් අප්පමෙයිය නම් වූ, නිසැක ගුණ ඇති හෙයින් නික්කංඛ නම් වූ, සියලූ නුගුණින් බැහැර වූ හෙයින් අනපණත නම් වූ, සියලූ ගුණයට දක්ෂ හෙයින් සක්ක නම් වූ, නැති නො වන ගුණ ඇති හෙයින් අප්පහීණ නම් වූ, මහා ගුණ ඇති හෙයින් මහා නම් වූ, අසාමාන්‍ය ගුණ ඇති හෙයින් අතුල නම් වූ, උදාර ගුණ ඇති හෙයින් අනුත්තර නම් වූ, නිමල ගුණ ඇති හෙයින් විමල නම් වූ එ් විශාරද ගුණ මුහුදාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!

එ් මහා ගුණ සමුදාය ලොවට හඬ ගා කියන්නට ම සියලූ සිත් යොමු වේවා!

සම්පන්නං මුනිනෝ චිත්තං
කම්මනා ව්‍යප්පථේන ච
විජ්ජාචරණසම්පන්නං ධම්මතෝ නං පසංසයී

සිත – කය – වචන – මුනිඳුන්ගේ පිරිසිදු ය
බබළන නුවණ – හැසිරෙන ගුණ විසිතුරු ය
මෙලෙසින් දැන හැඳින – සම්බුදු සමිඳුන්ව
කිව මැන බුදු ගුණ ම – මුළු ලොව පැතිරෙන්ට
(හේමවත සූත‍්‍රය – සුත්ත නිපාතය)

By Mahamegha via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook December 13, 2016 at 03:00PM

පැවිද්ද විතර ලාභයක් නම් ශාසනයේ කවදාවත් නැහැ. හැමදාම සසර මේ අවිද්‍යාව ඇතුලේ මහා දුක් කන්දක් වින්ද අය. ඒ දුකෙන් එතෙර වෙන මාවතක් මේ ලෝකේ කවදාවත් කිසිම දවසක කිසිම තැනක නැහැ තිබුනෙත් නැහැ, තියෙන්නෙත් නැහැ. ඉතින් ඒ දුකෙන් මිදීමේ නියම පණිවුඩය බුදුරජාණන්වහන්සේ මතු කරලා අරගෙන ලෝකේ තබලා පිරිනිවන් පෑවා. පරම්පරාවෙන් පරම්පරාවට ලෝකෙට ශාන්තිය උදා කරමින් මහා සංඝරත්නය මේ පණිවුඩය හැකි ශක්ති ප්‍රමාණයෙන් මේ දක්වා ගෙනත් දුන්නා.

නමුත් මේ ධර්මය කියන එකත් පුතේ නිධානයක් වගෙයි. සමහර රජවරු, සිටුවරු වස්තු නිධන් කරනවා තමන්ගේ අනාගත උරුමක්කාරයන්ට ගන්න අධිෂ්ඨාන කරලා. හැබැයි නිධන් කරනවා කියන්නේ ඕනෑම කෙනෙක්ට ඕනෑම විදිහට ගන්න පුළුවන්කමක් නැහැ ඒක. බොහොම අමාරුයි. අයිතිකාරයා ආවම බොහොම පහසුවෙන් ගත හැකි නේද? ඒ වගේ මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය කියන නිධානය නිධන් කරලා ඒ නිධානය උඩින් කළු ගලකින් වහලා ඒ තියෙන නිධානයට තමයි පරියප්තිය / පෙළ දහම කියන්නේ. ඒක හැමෝටම ගන්න බැහැ. හේතු සම්පත් තියෙන අයව නිවන් දක්වලා මේ නිධානය මතු හේතු තියෙන අය පහල වෙච්ච දවසට ඒකට උරුමක්කාරයෝ හිමිකාරයෝ ආව දවසට ලෝකේ පහල වෙන විදිහට ඒ නිධනය නිධාන් කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා.

මෙහෙම අවුරුදු දහස් ගණනක් ගියා. මට හිතෙනවා අද මේකෙන් වැඩ ගන්න පුළුවන් මනස් ටිකක් ඇති කාලයක් කියල. මේ නිධානය තැන්පත් වෙලා තියෙන්නේ පිටකයේ කොහෙවත් නෙමෙයි අභිධර්ම පිටකයේ විතරමයි. ධම්මසංගණීය කළ පමණකින් ඉස්සර කතාවක් කියනවා චුල්ල සොතාපන්නයි කියල. මම අද ඕගොල්ලන්ට මේ ටික කතා කරන්නේ ධම්මසංගණීයෙන් ලැබුනු අවබෝධයෙන් වෙන මොකකින්වත් නෙමෙයි. මේ ත්‍රිලක්ෂණය කියන එක ලෝකේ ඇත්ත ඇති සැටිය පෙන්නපු වචනය තථාගතයන් වහන්සේ නිධන් කරපු තැන තමයි අභිධර්මය. ඉතින් ඒකද නිධානයේ හිමිකාරයා අත තිබ්බොතින් දොර ඇරෙනවා වගේ මේකටත් පින කියන එක තියෙන්න ඕනේ. අභිධර්මය වුනත් ගොඩක් ඉගෙන ගත්තා බොහෝ කාලයක් නමුත් මේ අර්ථය ආවේ නැහැ.

පිපෙන්න තියෙන පොහොට්ටු වලට ඉර එලිය විතරයි අවශ්‍ය වගේ හේතු සම්පත් තියෙන මනස ඇති වුනහම මේ ධර්මය විවර වෙනවා හැම කල්හිම. අපි මේක තේරුම් අරන් හැකි ශක්ති ප්‍රමාණයෙන් උත්සාහවත් උනාට මේක ටික කාලෙකින් දරන්න පුළුවන් මානසික මට්ටම් ඇති තාක් තියෙන තරම් දුරට ගිහින් මේ ප්‍රතිපදාව ආයේ වැහෙනවා. ආයේ නිධානේ දොර වැහුනා වගේ. ආයෙත් පරියප්තිය යනවා මේ ආවා වගේ. පෙළ ඉදිරියට යනවා. ඒක ඉතින් ඒ කාලෙට හාමුදුරුගොල්ලෝ රැකගන්න හදනවා එදාට එහෙම අර්ථයක් නැතුව රැකගන්න අයත් සංඝ රත්නයමයි. අපි කාටවත් දුස්සීලයි කියන්න බැහැ. ඒ අය කොහොම හරි තමන්ගේ කාර්ය කරලා තියෙනවා.

සංඝයා කියල කියන්නේ මේ පරියප්තිය කොහොම හරි ඉදිරියට ගෙනියන නෞකාවක් වගේ. මොන විදිහකට හරි කෙනා කෙනා ඒ වැඩේ කරලා තියෙනවා.පෞද්ගලික ජීවිතේ අඩුපාඩු නෙමෙයි මෙතනදී බලන්නේ අන්තිම දුස්සීලයි කියන කෙනත් ඕගොල්ලන්ට අද රහත්වෙන තැනට උපකාර කරලා තියෙනවා හොදට මතක තබා ගන්න. කිසිම හාමුදුරුනමකට පන්සලකවත් ආරණ්‍යකවත් ඉන්න කවදාවකවත් බනින්න එපා. මේ ධර්මය අවබෝධ වෙන්න කලින් මමත් දොස් කියල තියෙනවා නමුත් මේ ධර්මය අවබෝධ වුනහමයි තේරුනේ මට වටිනාකම. අන්තිම දුස්සීලයි කියන හාමුදුරුවොත් සේවයක් කරලා තියෙනවා පරියප්තිය මොහොතක් හරි ඉදිරියට ගෙනියන්න. එයාගෙන් ඒ වැඩේ වෙලා තියෙනවා.

මෙන්න මේ අභිධර්මයෙන් තමයි පෙන්නන්නේ නිත්‍ය, සැප, ආත්ම කියන ටික ලෝකේ ධර්මතාවයක්. ලෝකේ යථාර්තය අනිත්‍ය, දුක්ඛ, අනාත්මයි කියන පණිවුඩය. ඉතින් ඔය පණිවුඩය කෙනෙක්ගේ උපකාරයෙන් තොරව දැන අවබෝධ කරගත්තොත් සම්මා සම්බුද්ධයි, එහෙම නැතුව අහගත්තොත් පච්චේක බුද්ධයි. තව එකම එක ක්‍රමයක් ඉතුරු වෙලා තියෙනවා ශ්‍රැත බුද්ධ කියල පෙළ දහම හොඳට බලලා බලලා බහුශ්‍රැතභාවය නිසා එන අවබෝධයක් තියෙනවා. ඔය තුන්දෙනා හැරෙන්න මේ අර්ථය ප්‍රකාශ කරන්න ලෝකේ තව ඉන්න බැහැ. මේ තුන්පොලෙන් කෙනෙක්ම විය යුතුමයි. එහෙම නැති නම් අනික් හැමකෙනෙක්ම කියන්නේ උත්තරයක්, කොපියක්.

ගණන හදන්න ආදේශ කරපු සුත්‍රය වැරදි උත්තරේ හරි. එතකොට ඉබේම තේරෙනවා නේද කොපියක් කියන එක. නමුත් ගණන හදන්න ගත්ත සුත්‍රය ආදේශය ඉතාමත් නිවැරදි. උත්තරය වැරදි වුනොත් යම් ලකුණු ප්‍රමාණයක් හෝ දෙනවා නේද මොකද ඒක තව සාධාරණයි කියන තැනකින්. පොඩි කරුණක් වැරදීමෙන් වුනත් මෙයාට නිවැරදි ක්‍රමය හදාගත්ත හැකි. නිවැරදි ක්‍රමයක් තුල ඉන්නවා ක්‍රමය නිවැරදි. ඒ වගේ කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැතුව ත්‍රිලක්ෂණය ගැන කතා කරනවා නම් ත්‍රිලක්ෂණ අවබෝධයකට සතිපට්ඨානය වඩන්න උගන්වනවා නම් එක හුදු උත්තරයක් මිසක ධර්මයෙන් දැකපු අර්ථයක් නෙමෙයි. අර්ථය දැකපු කෙනෙක් නම් මේ ප්‍රතිපදාව පනවන්නේ මෙන්න මේ වගේ සහේතුක ධර්මතාවයකින්.

2016.12.03 දින ල්බුනොරුවේදී ත්‍රිලක්ෂණ අවබෝධය පිණිස අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් සිදු කරන ලද දේශනාව ඇසුරෙන්.
සම්පූර්ණ දේශනාව ශ්‍රවනය කිරීමට
http://ift.tt/2hpnQmX via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook December 12, 2016 at 03:00PM

මිත්‌ත සූත්‍රය > http://ift.tt/2gQu12q
ත්‍රිපිටකය පරිශීලනයට පුරුදු වෙමු

මහණෙනි, මිතුරු වූ හෝ ඇමති (යහළු) වූ හෝ නෑදෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනෙකුන්ට අනුකම්පා කරන්නහු නම් යම් කෙනෙක් ඇහුම්කන් දිය යුතු කොට හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවුසීවටන් වැඩීමෙහි සමාදන් කරවිය යුතු හ. වැස් විය යුතු හ. පිහිටු විය යුතු හ. කවර සිවුසීවටන් ද යත්:

මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව ලොවෙහි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාවේ වේදනාව අනුව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව ලොවෙහි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ .සිත්හි සිත අනුව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව ලොවෙහි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ.

මහණෙනි, මිතුරු වූ හෝ ඇමති වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් යම් කෙනකුත් ඇහුම්කන් දිය යුතු කොට හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවුසීවටන් වැඩීමෙහි සමාදන් කරවිය යුතුහ. වැස්විය යුතුහ. පිහිටු විය යුතුහ යි.

සතිපට්ඨානය නිවැරදිව වඩන ආකාරය දැනගැනීමට අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේගේ දේශනාවක්
http://ift.tt/2heRKww via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook December 11, 2016 at 03:00PM

“කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො”? කායගතාසති. මේ අසංඛත ස්වාභාවය තමන්ගේ මනසේ උපදවා ගන්න. නිවන සාක්ෂාත් කරගන්න, රාග, ද්වේශ, මෝහ ක්ෂය කරගන්න තියෙන මග මොකද්ද, කායගතාසතිය. ඒ කිව්වේ දැන් පින්වතුන් දැක්කා, රූපය දකිනකොට ඇතිවන කෙලේසය ආපහු රූපය මත තැබුවොත්නේ ලෝකේ නිර්මාණය වෙන්නේ, දුක නිර්මාණය වෙන්නේ, ලෝකය දුක රූපේ, දුකට හේතුව මේ තණ්හාව. දැන් අපි කරන්න ඕන අපේ හිතේ තියෙන ආත්ම සංඥාව, පුද්ගලයා කියන හැඟීම රූපෙට බැස ගන්න බැරිවෙන්න, රූපයට බහාලන්න බැරිවෙන්න, උපායක් කොට යුතුයි. අන්න ඒ උපායටයි මාර්ගය කියලා කිව්වේ.

හැම වෙලාවෙම මගේ සිතේ ටීවී එකේ පැත්තේ කෙනෙක් පෙන්නන්න හදන වාරයක් වාරයක් ගානේ මම දැනගෙන සිටිය යුතුයි, ටීවී එකේ තියෙන්නේ, ඩොට් ටිකක් තියෙන තැනක චිත්‍රයක් පෙන්නන්නේ කියන ටික සිහිපත් කරගන්න අමතකවුනොත්, හිතේ යෙදෙන පුද්ගල කතාව බාහිර තිරේ මත පතිතකරලා කෙනෙක් පෙන්නයි එහෙනම්. ඒ වගේ ඇස් ඉදිරිපිටට එන රූපේ ඇත්ත පෙන්නන්න ප්‍රමාද වෙන හැම මොහොතකම, කන බොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම්, නිය දත්, හම් , මස් නහර, ඇට ඇටමිදුළු වලින් යුක්ත කුණප කොටස් ටිකක් තියෙන රූපයයි ඇස ඉදිරියට එන්නේ කියන එක සිහිපත් කරගන්න බැරි වෙන හැම වාරයක් ගානෙම තමන්ගේ සිතේ තියෙන පුද්ගලභාවය මේ රූපේ මත පතිත වෙයි. දුකෙන් මිදෙන්න බෑ එතකොට, දුක නිර්මාණය වෙයි.

ඕගොල්ලන්ට පුළුවන් නම්, කායගතාසතිය වඩන්නේ හිතේ තියෙන මේ හැඟීම කෙලේසය රූපෙට බැස ගන්න බැරි වෙන්නයි. කනබොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම්, නිය දත් හම් මස් නහර ඇට ඇටමිදුළු වලින් යුක්ත රූපය දකිනකොට කෙනා පුද්ගලයා කියන හැඟීම තමන්ටයි ඇති වෙන්නේ නේද කියලා බලනවා. තමන් කෙනා පුද්ගලයා කියලා සිහිකරනකොටම මෙතන ඉඳලා ගෙදර දරුවා ඉන්නවා කියලා පරණ ආශ්‍රව මත සිහිකළ හැකියි. සිහි කරනකොටම සතිපට්ඨානය ඔයගොල්ලන්ට පිහිටට ඉදිරිපත් වෙන්න ඕන, ඒ දරුවා නිසා සතුටු වෙන්න හෝ දුක් වෙන්න බැරි වෙන්න ඕන. ඒ කියන්නේ දරුවා කියලා සිහිවෙන කොටම, දැන් අහල තියෙනවා අනිත් පැත්ත. මෙච්චර කාලයක් හිතුවේ හිතට සිහිවෙන ගතිය රූපෙට අයිතියි කියලානේ. බුදුරජාණන්වහන්සේ ලෝකේ පහල වෙලා පෙන්නුවා රූපේ දකිනකොට හිතට සිහි වෙනවා. සිහි වෙන එක රූපේ තියෙනවා නෙමෙයි, රූපේ දකිනකොට සිහි වෙනවා. එතකොට සිහි වෙච්ච දේ සිහි කරන්න පුළුවන්. රූපේ දකිනකොට සිහිවෙන කොටත්, සිහි වෙන දේ සිහි කරන කොටත් රූපේ ඇත්ත පෙන්විය යුතුයි දිවා රැ දෙකේම.

ඇස ඉදිරිපිටට රූපේ මෙහෙම දකිනකොටම ස්ත්‍රියක් කියන අදහස එනකොට, ස්ත්‍රිය කියන අදහස මේ රූපේ මත බහාලන්නේ නැතුව ඉන්න මෙතන තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම්, නිය දත් හම් මස් නහර.ස්ත්‍රිය කියලා කිව්වේ කෙස් වලටද? ලෝම් වලටද? නියටද? දත් වලටද? හමටද? මස්ද? නහරද? ඇටද? ඇට මිදුළුද? බඩවැල් ද? නැත්නම් වමනේද? පිතද? සෙමද? සැරවද? මේ කොටස් ටික දකිනකොට ස්ත්‍රිය කියන අදහස එනවා. ස්ත්‍රිය කියන අදහස මේකට බහාලන්න බෑ. ආශ්‍රව මත සිහිකල දේ සිහි වෙනවා. ස්ත්‍රියක් දැක්ක කියලා සිහි වෙනකොට, සිහි වෙනවත් එක්කම කායගතාසතිය වැඩිය යුතුයි. මම මෙහෙම සිහි කරද්දිත්, ඒ රූපේ තියෙන්නේ මෙහෙම දෙයක්නේ, ඒ රූපේ දකිනකොට ස්ත්‍රිය කියන අදහස ඇතිවෙනවා කියලා මේ විදියට පෙන්වන්න.

භාෂාවේ වෙනස්කම මම කියන්නම්. හිතේ තියෙන ගතිය හඳුනන්නේ නැතුව, හිතේ තියෙන ගතියෙන් රූප ටික පරිහරණය කරන එකට ලෝකය කියනවා. සතරමහාධාතු, උපාදාය රූප දකිනකොට හිතේ ගතිය යෙදෙනවා කියලා දකින එකට ලෝකෝත්තර කියලා කියනවා. ඔක්කොම හිතේ යෙදෙනවා නම් නෙමෙයි. හොඳට තේරුම්ගන්න ඕන. මේ අන්තිමට මම මේ මතක් කෙරුවේ මේ සියල්ලම හිතේ නේද කියන එකට නෙමෙයි. ටීවී එක, ටීවී එකේ ඩොට් ටික, කන්ඩෙන්සර් ටිකත් හිතේ කියලා මම කිව්වේ නෑ. මම කිව්වේ ඒ ටික දකිනකොට, ඒකෙ ඇත්ත නොදන්නාකම නිසා යෙදෙන ප්‍රපංචයයි මනස පිලිබඳ වූවක් කියන එක. ‘හරි ඔක්කොම හිතේනේ, ඔක්කොම අවිද්‍යාවෙන් මනසේ උපදවා ගන්නවනේ කියනවා. සැප දුක් අපේ මනසේ උපදින ඒවානේ කියනවා”.සැප දුක් අපේ මනසේ උපදින ඒවා නෙමෙයි. ඔක්කොම සිතේ උපදවා ගන්න ඒවා නෙමෙයි. අවිද්‍යාවෙන් උපදවා ගන්න ඒවත් නෙමෙයි.

එකෙන් මම කිව්වේ අවිද්‍යාව වැඩ දෙකක් කරනවා. එකක් රූපයේ ඇත්ත නොපෙන්වනවා. ඉතුරු එක මේ කෙනෙක් පුද්ගලයෙක් කියලා පෙන්වනවා. මේ නිමිත්ත හදල දෙනවා ඉස්සෙල්ලාම හිතට ඊට පස්සේ ඒ නිමිත්ත කෙනෙක් පුද්ගලයෙක් කියලා කරන්නේ උපාදානය. ඕකේ කතා ගොඩක් තියෙනවා. එතකොට මෙන්න මේ අර්ථය දැනගත්ත කෙනා නිවන කියලා කිව්වේ මේ ස්පර්ශ ආයතන හයෙන් කිසිම තැනක, ඉපදීම, ලෙඩවීම, මහළුවීම, මරණය බුදුරජාණන් වහන්සේ දේශනා කල දුක් වලින් එකක්වත්ම ඕගොල්ලොන්ට හම්බ වෙන්නේ නැත්නම්, ඒකට තමයි නිරෝධය කියලා කිව්වේ. ඒකට කියනවා සෝපදීසේස නිබ්බාණ කියලත්.

තාම ස්කන්ධ ටිකත් තියෙනවා. ටීවී එක පෙනෙනවා. රූපෙත් පෙනෙනවා හැබැයි පුද්ගලයා පේන්නේ නෑ. පුද්ගලයෝ නිසා එන දුක නෑ. ස්කන්ධත් තියෙයි. පංච උපාදානස්කන්ධය දුක, සත්ව පුද්ගල භාවයෙන් එන දුක නෑ. ජරාමරණ දුක නෑ. ඒ වගේ ඇස ඉදිරිපිටට රූපයක් හම්බ වෙයි, හම්බ වෙනවා. රූපය කෙනා පුද්ගලයා කියලා ගත්ත දුක නිරුද්ධ වෙලා. මෙන්න මේ නිරෝධය අහල දැනගත්තා. ඒකට කලයුත්තේ මේ හිතේ තියෙන කෙලේසය, මේ දුක් වූ ස්කන්ධ මත පතිතවෙන්න නොදෙන විදියට කායගතාසතිය වැඩීමයි කියලා එයා දන්නවා, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාවත් දන්නවා. කල්‍යාණ මිත්‍ර ඇසුරෙන්, සද්ධර්ම ශ්‍රවණයෙන් ඔය ටික ලැබුනහම එක පාරකින් බැරි නම් නැවත නැවත ඇසුරු කරලා, පයුරුපාසනය කරලා උත්තරය තහවුරු කරගත යුතුයි.

ඊටපස්සේ යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියලා කියන්නේ අහගත්ත දේ ඒ විදියට, ගත්ත ලිපිනය මේ පාරෙනුයි කොළඹ යන්න ඕනේ කියලා, කොළඹ මෙහෙමයි යන්නේ කියලා ගත්තනම්, ඒ විදියටම යා යුතුයි. ලිපිනය අතේ තියාගෙන තමන්ට කැමති කැමති පාරවල් වලින් හැරුනොත් යන්න පුළුවන් වෙයිද, යා යුතුද, යනවද එහෙම. එහෙම ගිහිල්ල හරියන්නේ නෑ ඒවගේ ලිපිනය වරද්දාගෙන හරියන්නේ නෑ. ඒකයි පරියප්තිය වැරදුනොත් ප්‍රතිපත්තිය වරදිනවා කියලා කිව්වේ, මේ පෙලදහමේ අර්ථය හරියට තේරුම් ගත්තේ නැත්නම්, ඕගොල්ලන්ට යන ගමන වරදිනවා. ගමන වැරදුනොත් වරදින්නේ කොළඹ. ඒ වගේ වරදින්නේ නිවන.

එහෙම වරදිනකොට තමයි ආලෝකයක් වගේ පෙනුනා, හිස්තැනකට පත්වුණා, අපි දැන් කතා කලේ නිවන කියලා, නිරෝධය කියලා, නිර්වාණය කියලා අසංඛතය කියල හිස්කමක්ද, ආලෝකයක්ද? හොඳයි භාවනා කරනකොට ආලෝක මාත්‍රයයක් දැක්ක කියන්නකෝ. හිස් තැනකට ආවා කියන්නකෝ. හිතන්න බැරි තැනකට පත්වුනා කියන්නකෝ. නැගිටලා ටීවී එක දිහා බැලුවොත්, ආයේ පුද්ගලයා පෙන්නේ නැති වෙයිද, දුක එන්නේ නැති වෙයිද, ශුන්‍යතාවය නැත්නම් මොකුත් හිතන්න බැරි තැන හුරු කරලා කරලා හිටියා කියලා ටීවී එක දිහා බලලා අඬන්න බැරිද, අඬනවා නම් අපිට මොකද වෙලා තියෙන්නේ? මොනවත් වෙලාද අපිට, මොකුත් වෙලා නෑ.

ඒ නිසා, නිවන කියලා කිව්වේ දුකේ නිරෝධය. අන්න ඒ තැන බලාගෙන තියෙන මෙන්න මේ ප්‍රතිපදාවට කියනවා කායගතසතියට, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා. මේ ටික අහලා ඒ විදියටම කරන්න. යම් දිනක සම්මා දිට්ඨි කියලා කිව්වේ ඇත්තටම ස්පර්ශ ආයතන හය අනාත්මයි. අද ඔබට ලෝකය හම්බවෙයි අම්ම තාත්තා, අයියා, අක්කා, දුවා පුතා, නෑදෑයෝ, රන් රිදී මුතු මැණික්, ගෙවල් දොරවල් යාන වාහන වලින් යුක්ත ලෝකයක් හම්බ වෙයි, මේ ස්පර්ශ ආයතන හයේ. ස්පර්ශ ආයතන හයේ කිව්වේ, රූපේ පැත්තෙන්, ශබ්දේ පැත්තෙන් ගන්ධ පැත්තෙන් රස පැත්තෙන්, පොට්ඨබ්බ පැත්තෙන්, ධම්ම පැත්තෙන්.

යම් දවසක් ඔබට නිවන කියලා හම්බෙන්නේ මොකද්ද අම්මා තාත්තා, ගෙවල් දොරවල්, යාන වාහන, රන් රිදී, ඉඩ කඩම් කියන කිසිම ධර්මතාවයක් නැති ශුන්‍යතාවයක් හම්බවෙයි. හැබැයි එකම අශුන්‍යතාවයකුත් තියෙනවා. ඒ ස්කන්ධ ටික. ඒ ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා මෙච්චර කල් මනසේ ප්‍රපංච යෙදුනු බව හම්බවෙයි, එච්චරයි. මෙච්වර කාලයක් ඕගොල්ලන්ට මේ ස්පර්ශ ආයතන හය පැත්තේ අම්ම තාත්තා, අයියා, අක්කා, දුවා පුතා නෑදෑයෝ, රන් රිදී, මුතු මැණික් වල නිමිති තිබ්බේ, දැන් ඒ නිමිති නෑ, අනිමිත්තයි. හැබැයි එකම නිමිත්තක් තියෙනවා මේ ආයතන නිසා. මෙච්වර කාලයක් මේ ස්පර්ශ හය ආයතන පැත්තේ සතුටු වෙන්න ප්‍රර්ථනා කරන්න, රන් රිදී, මුතු මැණික්, කාර් වාහන, බඩු මුට්ටු මහා වටිනා දේවල්, දරුවෝ හිටියා ඕගොල්ලන්ට, අප්පනිහිතයි, එහෙම දේවල් නෑ. ප්‍රරර්ථනා කරන්න ගෙවල් දොරවල්, ඉඩ කඩම්, බඩු මුට්ටු නෑ. එකම ස්කන්ධ මාත්‍රයක් තියෙයි. ඒකටයි ශුන්‍යතාවය ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා කියන්නේ. එතෙන්ටයි අපි යන්න ඕන. එතකොට නිවෙන්නේ දුක, අරමුණු වෙන්නේ නිවන.

ඉතින් මෙන්න මේ ධර්මතාවය ගැඹුරු වුනත් මේ මත වැටිලා හරි, හැපිලා හරි කොහොම කොහොම හරි උත්සාහවත් වෙන්න. ඕගොල්ලෝ හොඳට සිහිකලොත් බුදු හාමුදුරුවෝ දේශනා කල බුදුහාමුදුරුවන්ගේ බුදු බණ පදයක් කිව්වේ නැහැ. මම හිතාගත්ත මගේ දෙයක් මම කිව්වේ නැහැ. ඔගොල්ලොන්ගේ ජීවිතේ හැමදාම පැවතුන පවතින ඒත් ඕගොල්ලෝම නොදන්න ඕගොල්ලන්ගේ ජීවිතේ ඇත්ත කතාවයි මම කිව්වේ. මම නෙමෙයි බුදු හාමුදුරුවෝ කලෙත් ඒක. බුදු හාමුදුරුවෝ ලෝකේ පහල වුනත් නැතත් ලෝකේ හැමදාම තිබුනු හැමදාම තියෙන ලෝකෙයාට නොපෙනෙන ඇත්ත අවබෝධ කරවන දේශනාවක්. ඒ නිසා චතුරාර්ය සත්‍ය මේ ජීවිතේදිම අවබෝධ කරගෙන මේ දුක් සහගත සසර නිමා කරගැනීමට මේ දේශනාව හේතු පරමිතාවක්ම වේවා.

අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2016. 11. 05 දින සංයුක්ත නිකායේ අසඞ්‌ඛත සංයුක්තයේ එන කායගතාසති සුත්‍රය ඇසුරෙන් නිවන් මඟ වඩන නිවැරදි ආකාරය පිළිබද කියවෙන දේශනාව ඔබත් මේ දැන්ම ශ්‍රවනය කර ඒ මඟ ඔස්සේ ගමන් කර මේ ඝෝර භීර භයංකාර සංසාර ගමන නතර කරගැනීමට මේ බුද්ධෝත්පාද කාලයේදීම අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න

http://ift.tt/2hi7VcT via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook December 11, 2016 at 12:00PM

සැවැත් නුවර ජේතවනාරාමයේ ගඳ කිළියෙන් නික්මුණු ශාන්ති නායකයාණන් වහන්සේ ඊට සමීපව පිහිටි දම් සභා මණ්ඩපයේ බුදු සිරියෙන් වැඩ සිටි සේක. “අචිරවතී” නදිය දෙසින් හමා එන මඳ සුළඟ ගත සිත සනසයි. මුලු පරිසරයම නිහඬයි. ශාන්තයි. අද ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නේ කුමන ධර්මයක්ද යන්න ඇසීමට උන්වහන්සේ පිරිවරා ගෙන සිටින භික්‍ෂු ශ්‍රාවක පිරිස නොඉවසිල්ලෙන් බලා ඉන්නව. අයං ධම්මස්සවණ කාලෝ.!

“ මහණෙනි, අද ඔබලාට කියා දෙන්නට හදන්නේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමට පෙර ඒ ආසන්නයේම මා ලැබූූ පෙර අත් දැකීමක්.” බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛය විවෘත කළා. මහනෙල් මල් සුවඳ ජේතවනය සිසාරා පැතිර ගියා.

“ බාහිර දේවල් ගැන සොය සොයා ඉන්න එකෙන් පලක් නැහැ කියල මට වැටහුනා. ඒවා සමග සැම මොහොතකම සම්බන්ධ වන මගේ ස්වභාවය දිහා නුවණින් යුක්තව බලන කොට සිතේ ඇතිවන නොයෙකුත් සිතිවිලි ක්‍රියාත්මක වෙන හැටි පෙනුනා. මට දැනුනා නොයෙකුත් සිතිවිලි උපදින ආකාරය. ඒවා නුවණින් විමසමින් ගොඩවල් දෙකකට වෙන් කළා.”

කාම සිතිවිලි,තරහ සිතිවිලි, හිංසා සිතිවිලි මගේ සිතේ හටගත්තා. ඒව එක පැත්තකට දැම්මා . කාමයන්ගෙන් වෙන්වීමේ නෙක්ඛම්ම සිතිවිලි, තරහවෙන් තොර වූ සිතිවිලි, අවිහිංසා සිතිවිලිත් ඇති වුනා. ඒවා අනෙක් පැත්තට දැම්මා. මේක පහසුවෙන් කළා නොවෙයි.කෙළෙස් තවන වීර්යයෙන් යුතුව, ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව තමයි එහෙම කළේ.

සිතිවිලිවල හැටි හඳුනාගෙන වෙන්කරමින් සිටියත් සිතිවිලි හට ගැනීම දිගටම සිදු වුනා. කාම සිතිවිලි තරහ සිතිවිලි, හිංසා සිතිවිලි පහළවෙන කොට මං මෙහෙමයි සිතුවේ. ඒවා මටත් අන් අයටත් පීඩා ඇතිවන දේවල්මයි. ඒවා නුවණ නසනව. දුක පැත්තෙමයි පවතින්නෙ. නිවන සඳහා හේතු වෙන්නෙ නැහැ. තමාව පෙළනව. ප්‍රඥාව විනාශ කරනව. ඒත් අනෙක් පැත්තට සිතන කොට අපූරු දෙයක් වුනා. කාම සිතිවිලි, තරහ සිතිවිලි, හිංසා සිතිවිලි නැති වෙලා ගියා. සෑම හානිකර සිතිවිල්ලක්ම ඒ විදිහට දුරු කළා.

“ මහණෙනි සිතේ ස්වභාවය ඔය විදිහයි. හොඳට තේරුම් ගන්න. යම් දෙයක් ගැන බහුල ලෙස කල්පනා කරනව නම්, හිත හිතා ඉන්නව නම්, ඒ පැත්තටමයි සිත හැරෙන්නෙ. යමෙක් කාම සිතිවිලිම උපදවමින් ඉන්නවනම් කාමයෙන් වෙන් වීමේ සිතිවිලි ඇති වෙන්නෙ නැහැ. බහුල වශයෙන් තරහ සිතිවිලිම , හිංසා සිතිවිලිම මතුකරමින් ඉන්නව නම් සිත ඒ පැත්තටමයි නැමෙන්නෙ. මේ සිතේ ස්වභාවය ඔය විදිහයි.

නමුත් අකුසල් සිතිවිලිවල ආදීනව මං දන්නව. ඒවායේ ළාමක බව,ජීවිතය කෙළසන ආකාරය මං දන්නව. කෙළෙසුන්ගෙන් නික්මිලා කුසල් සිතිවිලි ඇති වන විට එහි පිරිසුදු බව, වටිනාකම මං දන්නව. ඒ නිසා අකුසල් සිතිවිලි වැඩෙන්නට මං ඉඩ දුන්නෙ නැහැ. කෙළෙස් තවන වීර්යයෙන් යුතුව, ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කොට කාමයන්ගෙන් නික්මීමේ සිතිවිලි මට ඇතිවුනා.

ඒක මං උදාහරණයකින් තේරුම් කරන්නම්. ගොයම් හොඳට හැදිල තියෙන වෙල්යායක් මැද්දෙ ඇති පාරක් දිගේ ගොපල්ලෙක් තමන්ගෙ හරකෙක් අරගෙන යනවා. ගොයම දකිනකොට ඒ හරකා ගොයමට මයි හැරෙන්නෙ. එතකොට ගොපල්ලා කෙවිටෙන් ගහල වළක්වනව. ගවයා ආයෙමත් හැරෙනව. ආයෙමත් ගහනව මොකටද? ගොයම් කන එක නවත්වන්න. ඇයි ඒ ? ගොයම කෑමට ඉඩ දුන්නොත් තමන්ට දඬුවම් ලැබෙන බව, චෝදනා එල්ල වෙන බව, කරදරවලට පැටලෙන්නට වෙන බව ගොපල්ල දන්නව. ආදීනව ගැන දන්නව. ඒ වාගේ තමයි මාත් අකුසල් සිතිවිලි පැත්තට හැරුනොත් ලැබෙන ආදීනව දන්නව. ඒ නිසා උපදින සිතිවිලි අකුසල් ගොඩට වැටෙන්නට ඉඩ දුන්නෙ නැහැ.

ඉතින් ඔය විදිහට කාම විතර්ක ඇතිවෙන කොට නෙක්ඛම්ම විතර්ක මතු කර ගත්ත. ව්‍යාපාද විතර්ක ඇතිවෙන කොට අව්‍යාපාද විතර්ක උපදවා ගත්ත. විහිංසා විතර්ක ඇතිවෙන කොට අවිහිංසා විතර්ක මතුකර ගත්ත. එතකොට මටවත් අනුන්ටවත් කිසිම පීඩාවක් වෙන්නෙ නැති බව තේරුම් ගත්ත. එවිට ප්‍රඥාව දියුණූ වෙන බවත්, දුකට අයිති නැති බවත්, නිවන කරාම රැගෙන යන බවත් මට වැටහුනා. මුලු රැයක් වුනත් මෙහෙම හිත හිතා ඉන්න කොට කිසිම භයක් මට ඇතිවුනේ නැහැ.

මඳ පවනට නටුවෙන් ගිලිහී බිම පතිත වන කොලයකින් නැගෙන හඬක් වත් වටේ සිටි ශ්‍රාවක පිරිසේ කාටවත් ඇසුනේ නැහැ. ඒ අයගේ සිත් ඒ තරමට සමාහිත වෙලා. සමාධිගත වෙලා. තමන් අබියස දහම් දෙසන මහා පුරුෂයාණන්ගේ චිත්ත බල පරාක්‍රමය කෙතරම් ආශ්චර්යවත්ද? සිතත් චෛතසිකත් එකට ඉපදී එකතුවී සෑදෙන සිතිවිලි වල ස්වභාවය ශ්‍රාවක පිරිසේ හැමටමත් පේන්න පටන් අරන්. අවට පරිසරයේ ගැඹුරු නිහඬතාවය නැවතත් බිඳිමින් තථාගතයන් වහන්සේ මෙසේ වදාරනව.

මහණෙනි, ඔය විදිහට දිවා රාත්‍රි පුරාම නෙක්ඛම්ම සිතිවිලි, අව්‍යාපාද සිතිවිලි, අවිහිංසා සිතිවිලි ඇති කරමින් ඉන්න කොට ඇඟට හරි මහන්සියි. එතකොට සිත සන්සුන් නැහැ. සමාධියෙන් ඈත් වෙනව. ඒ වෙලාවට මං තුළම සිත රඳව ගත්ත. බලවත් වීර්යයෙන් සිත එකඟ කරගෙන සිත විසිරෙන්ට නොදී තියාගත්ත. කෙළෙස් තවන වීර්යයෙන් යුතුව ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව මේ විදිහට ධර්මයේ හැසිරෙන කොට නැවත නැවතත් තරහ නැති සිතිවිලි,අවිහිංසා සිතිවිලිමයි පහළ වුනේ. එතකොට මට කිසිම බියක් දැනුනෙ නැහැ.

මහණෙනි, තේරුම් ගන්න. සිතේ ස්වභාවය ඕකයි. යම් දෙයක් ගැන නැවත නැවතත් බහුල වශයෙන් කල්පනා කරනවනම් සිත ඒ පැත්තටමයි හැරිල පිහිටන්නෙ. නෙක්ඛම්ම සිතිවිලිම බහුල වශයෙන් උපදවනවා නම් කල්පනා කරනවනම් නෙක්ඛම්ම පැත්තටමයි සිත නැමිල පිහිටන්නෙ.

ඒක මේ වාගෙ දෙයක්. අස්වැන්න නෙළාගෙන අවසන් වුනු පායන කාලෙක ගොපල්ලෙක් කුඹුරු ඉසව්වක ගවයන් රකින්නෙ කොහොමද? මේ ඉසව්වෙ හරක් ඉන්නව කියන එක විතරයි එයා දැනගෙන ඉන්ට ඕනෑ. එයාට පුළුවන් ගසක් මුලට වෙලා හරි, එළිමහනට වෙලා හරි ඉඳගෙන ඉන්ට. අන්න ඒ වගේ තමයි. කුසල සිතිවිලි පැත්තට සිත හරවලා තිබ්බට පස්සෙ,මේක සමථයයි මේක විදර්ශනාවයි කියන එක විතරයි සිහිකරන්ට තියෙන්නෙ.

ඔය විදිහට මට පුදුම වීර්යයක් තිබුනෙ. හොඳට සිහිය පිහිටලා තිබුන. සිත හැකුළුනේ නැහැ. මුලා වුනේ නැහැ. කය සැහැල්ලු වෙලා තිබුණ මහන්සියක් දැනුනෙම නැහැ. සිත සමාහිත වෙලා කාම අරමුණු වලින් බැහැර වෙලා අකුසල් සිතිවිලි වලින් ඉවත්වෙලා විතක්ක, විචාර සහිත පළමුවෙනි ධ්‍යානය ඇති කරගෙන වාසය කළා. දෙවැනි , තුන්වැනි, හතරවැනි ධ්‍යානත් ඇති කරගෙන වාසය කළා.

ඔය විදිහට සිත පිරිසිදු වුනාම, සියුම් වුනාම , මං පෙර ගත කරපු සංසාර ජීවිත ගැන සිත යොමු කළා. එවිට කල්ප ගණන් ජීවිත ගැන නම් ගොත් සහිතව දැනගත හැකි පුබ්බේනිවාසානුස්සති ඥානය එදා රාත්‍රියේ පළමුවැනි යාමයේ මට පහළවුනා. අවිද්‍යා අන්ධකාරය දුරුවුනා. විද්‍යා ආලෝකය පහළ වුනා.

කෙළෙස් තවන වීර්යයෙන් යුතුව, ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිද්ධ වෙන්ට ඕනෑ දේමයි මටත් සිද්ධ වුනේ.

ඔය විදිහට මම මිනිස් හැකියාවන් ඉක්ම ගිය පිරිසිදු දිබ්බචක්ඛු ඥානය මධ්‍යම යාමයේ පහළ කරගත්තා. සත්ත්වයින් කර්මානුරූපව උත්පත්තිය ලබන හැටි, චුත වෙන හැටි , සුගති දුගතිවල උපත ලබන හැටි මට දැකිය හැකි වුනා. ආලෝකය පහළ වී අඳුර දුරුවුනා. විද්‍යාව පහළ වී අවිද්‍යාව දුරුවුනා. කෙළෙස් තවන වීර්යයෙන් යුතුව, ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිද්ධ වෙන්ට ඕනෑ දේමයි සිද්ධ වුනේ.

මේ විදිහට සිත සියුම් වෙලා උපක්ලේශ නැති වුනාම, අවබෝධයට යෝග්‍ය පරිදි බලවත් වුනා. ඒ අනුව ආස්‍රවයන් නැති කිරීමේ නුවණ ලබන්නට මගේ සිත යොමු කළා. මේක තමයි දුක කියල යථා දර්ශනයෙන් අවබෝධ කළා. මේක තමයි දුකේ හටගැනීම කියලා දුකේ නිරුද්ධ වීම කියල, දුක නිරුද්ධවන ප්‍රතිපදාව කියල යථාර්ථයෙන්ම මට අවබෝධ වුනා. මේවා තමයි ආශ්‍රව , මේවා තමයි ආශ්‍රවයන්ගේ හට ගැනීමට හේතු, මේ තමයි ආශ්‍රවයන්ගේ නිරෝධය , මේවා තමයි ඒවා නිරුද්ධවන ප්‍රතිපදාව කියල යථාර්ථයෙන්ම මට අවබෝධ වුනා. එතකොට කාම,භව,අවිද්‍යා කියන ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වුනා. ඒ අවබෝධ ඥානය ලැබෙන කොට ඉපදීම නැතිවුනා. නිවන අවබෝධ කර ගත්තා. නිවන පිණිස කළ යුතු සියල්ල කර අවසන් වුනා. ආයෙමත් මෙවැනි ඉපදීමක් නැහැ කියල මට අවබෝධ වුනා. එදා රාත්‍රියේ අවසන් යාමයේ තුන්වැනි විද්‍යාව වන ආසවක්ඛය ඤාණය මට පහළ වුනා.

කෙළෙස් තවන වීර්යයෙන් යුතුව, ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කොට සිද්ධ වෙන්ට ඕනෑ දේමයි මටත් සිද්ධ වුනේ.

මහණෙනි, මහ වනයක අපූරු විලක් තියෙනවා. ඒ ඇසුරෙ පුංචි මුව රංචුවක් වාසය කරනව. ඔය මුව රංචුවට විපතක් කරන්නට කැමති පුරුෂයෙක් ඒ මුවන්ට යන්ට තියෙන ආරක්‍ෂිත මාර්ගය වහල දාල භයානක පාරක් විවෘත කරනව. පස්සෙ මුවෙක් වගේ පඹයෙකුත්, මුව දෙනක් වාගෙ පඹයෙකුත් හිටවනව. මේවට රැවටුනු මුව රංචුව අර භයානක පාරෙ ගිහිල්ල ටිකෙන් ටික විපතට පත්වෙලා අඩුවෙලා යනව. ඔය අතරෙ මුවන්ගෙ යහපත දකින්නට කැමති ගුණවත් පුරුෂයෙක් ඇවිත් අර අනතුරුදායක පාර වහල නිරුපද්‍රිත මාර්ගයක් විවෘත කරනව. පඹයො දෙන්නත් විනාශ කරනව. කලක් යනකොට ඒ මුව රංචුව විපතින් නිදහස් වෙලා සැපසේ වාසය කරනව.

ඔය කීවෙ උපමාවක්. විල කියල කීවෙ කාමයන්ටයි. මුව රංචුව කීවෙ සත්ත්වයින්ටයි. විපත් කළ පුරුෂයා කීවෙ පවිටු මාරයයි. භයානක මාර්ගය කීවේ අෂ්ටාංගික මිථ්‍යා මාර්ගයටයි. මුවා වගේ පඹය නන්දරාගයයි. මුව දෙන වගේ පඹය අවිද්‍යාවයි. යහපත දකිනු පුරුෂයා තථාගතයන් වහන්සේයි. නිරුපද්‍රිත මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

දැන් ඉතින් ඔබලාට බියක් නැතිව යන්ට පුළුවන් මාර්ගය මං විවෘත කළා. ඒ සඳහා වෙනත් මාර්ගයක් නැහැ. අනතුරුදායක මාර්ගය වහල දැම්ම. පඹයින් දෙන්නවත් විනාශ කළා. ඔබලාට අනුකම්පාවෙන් යමක් මං කළ යුතු නම් ඒ සියල්ල කරල දීලයි තියෙන්නෙ. ඔය තියෙන්නෙ ගස් සෙවණ ඔය තියෙන්නෙ නිදහස් තැන් මහණෙනි, ප්‍රමාද නොවී සමථ විදර්ශනා වඩන්න. එහෙම නැතිව අන්තිමට පසුතැවිලි වෙන්ට එපා.

මුලු මහත් දෙව්රම් බිම පුරා අපූරු දැඩි නිහැඬියාවක් පැතිරී ගියා. හිරු සඳු එළියෙන් දැකිය නොහැකි සෑම තැනක්ම දැකිය හැකි සෞම්‍ය ආලෝකයක් දසත පැතිරී ගියා. ධර්ම ශ්‍රවණ සමාධියෙන් නැගී සිටි ශ්‍රාවකයන් වහන්සේලාගේ සිත් සතන් කාම, ව්‍යාපාද, විහිංසා විතර්කයන්ගෙන් බැහැරට හැරිලා පිහිටියා. බුදුරජාණන් වහන්සේට තෙවරක් නමස්කාර කළ ඒ පිරිස , අනේ සාධු! සාධු! කියල තථාගතයන් වහන්සේ විවෘත කළ මාවතට පිවිසෙනු පිණිස සිවුරු පාත්‍රා රැගෙන ඒ පිරිස රුක් සෙවණ සොයා, නිදහස් තැන් සොයා ශාන්තව පියමං කළා.

(ම . නි. සීහනාද වර්ගයේ ද්වේධා විතක්ක සූත්‍රය ඇසුරෙනි) -> http://ift.tt/2hr9vcX via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook December 11, 2016 at 09:05AM

බෞද්ධයෝ අවබෝධයෙන් ම ගුණය සිහි කොට එයට ගරුකිරීම් වශයෙන් නමස්කාර කරති.. සූවිසි ගුණය හොඳින් ඉගෙන ගන්න -> http://ift.tt/2hk9QuR

මේ ධර්මය ප්‍රඥාවන්තයින්ට ම ය. මෝඩයින්ට නොවේ..!
මේ ධර්මය සත්පුරුෂයන්ට ම ය. අසත්පුරුෂයන්ට නොවේ..! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook December 10, 2016 at 09:00PM

පූජා වශයෙන් හෝ අනුග්‍ර‍හ වශයෙන් හෝ තමා අයත් වස්තුවක් පරහට පරිත්‍යාග කිරීම දානය යි. දෙන වස්තුව ය, දීම ය යන දෙකට ම දාන යන වචනය ව්‍යවහාර කරනු ලැබේ. දානමය කුශලය වනුයේ දෙන වස්තුව නො ව, දීමය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් දීම සිදු කරන්නා වූ චේතනාව ය. ත්‍යාග යනු ද දක්ෂිණා යනු ද යාග යනු ද එයට ව්‍යවහාර කරන්නා වූ නාමයෝ ය.

දීම සාමාන්‍යයෙන් එකක් වුව ද දානය ය, පූජාව ය යන මොවුන් ගේ වශයෙන් දෙවැදෑරුම් වේ. ගුණයෙන් තමා හා සම වූ ද තමාට හීන වූ ද තැනැත්තන් හට අනුග්‍ර‍හ වශයෙන් දීම දාන නම් වේ. ගුණයෙන් තමාට උසස් වූ බුද්ධාදි උත්තමයන් වහන්සේලාට දීම පූජා නම් වේ. දාන, පූජා දෙකට අයත් නොවන්නා වූ කුලිය දීම අඹුදරුවන්ට දීම යනාදිය පුණ්‍ය සංඛ්‍යාවට නො ගනු ලැබේ.

පූජා ප්‍රභේද

වස්තු පූජා ය, ස්තුති පූජා ය, ප්‍ර‍තිපත්තිය පූජාය යි පූජාව ත්‍රිවිධ වේ. ආහාරපාන වස්ත්‍ර‍ ගන්ධ දීප ධූප පුෂ්පාදියෙන් පිදීම වස්තු පූජාව ය. භක්තිමත් චිත්තයෙන් ගෞරව පෙරදැරි ව බුද්ධාදි උත්තමයන් වහන්සේලාට ගී ගැයුම් ආදියෙන් ස්තුති පිරිනැමීම ස්තුති පූජාව ය. එය සෑම ආගමක ම වාගේ ඇත්තා වූ පූජා විධියකි. එය ඉතා පුරාණයේ පටන් ම බෞද්ධයන් විසින් කරගෙන ආවා වූ ද දැනුදු කරන්නා වූ ද පින් කමක් නමුත් බොහෝ බෞද්ධයන්ට තමන් කරන ඒ දෙය ගැන දැනුමක් නැත. පැරණියන් විසින් වන්දනා ගාථා පිළියෙල කර තිබෙන්නේ ස්තුති පූජාව සඳහා ය. වන්දනා ගාථා ස්තුති ගීතිකාවෝ ය. වන්දනා වාක්‍යයෝ ද ස්තුති වාක්‍යයෝ ය. ඒවා කියා රත්නත්‍ර‍යට ස්තුති පිරිනැමීම බොහෝ අනුසස් ඇති පින් කමෙකි. වචන ස්වල්පයකින් කරන ස්තුති පූජාවෙන් ලැබෙන පිනට වඩා බොහෝ වචන, බොහෝ ගුණ කියා ස්තුති පිරිනැමීමෙන් මහත් වූ පිනක් අත්පත් වේ. ස්තුති ගීතිකා, ස්තුති වාක්‍ය වූ වන්දනා ගාථා සහ වන්දනා වාක්‍යයන් හැකි පමණ උගෙන ඒවා කියා වැඳීමෙන් වඩ වඩා පින් සිදු වේ. එය ගැන නොදත් ඇතැම්හු වන්දනා ගාථාවලට ද බොහෝ ගාථා කියා වන්දනා කිරීමට ද නින්දා කෙරෙති. එය ඔවුන්ගේ නො දැනීම පැවසීමකි. පෙර බුදුවරයන් ගේ සසුන්වල ද මේ පූජාව පැවති බව අපදාන පාළියෙන් පෙනේ.

බුද්ධ කාලයේ වැඩ සිටි මහරහතුන් වහන්සේලා අතුරෙන් එක් නමක් වූ භූත ස්ථවිරයන් වහන්සේ සිද්ධත්ථ නම් බුදුන් වහන්සේගේ කාලයේ “සේන” නම් බ්‍රාහ්මණයෙක්ව බුදුන් වහන්සේ කෙරෙහි පැහැදී “උසභං පවරං වීරං” යනාදි ගාථා සතරකින් ස්තුති කොට ඒ පිනෙන් සසර බොහෝ කලක් දෙවි මිනිස් සැප ලබා අප බුදුන් කල, සාකෙත නුවර සිටු පවුලක ඉපද වැඩිවිය පැමිණ, බුදුන් වහන්සේගෙන් දහම් අසා පැවිදි ව “අජකරණි” නම් ගං තෙර ලෙනක වෙසෙමින් මහණ දම් පුරා සව් කෙලෙසුන් නසා රහත් ව නිවන් ලැබූ සේක. උන්වහන්සේගේ ස්ත්‍රෝතය මෙසේ ය:

(1) උසභං පවරං වීරං – මහේසිං විජිතාවිනං
සුවණ්ණවණ්ණං සම්බුද්ධං – කො දිස්වා නප්පසීදති.

(2) හිමවා යථා අපරිමෙය්‍යා – සාගරොව දුරුත්තරො
තථෙව ඣානං බුද්ධස්ස – කො දිස්වා නප්පසීදති.

(3) වසුධා යථා අප්පමෙය්‍යා – චිත්තාමල මටංසිකා
තථෙව සීලං බුද්ධස්ස – කො දිස්වා නප්පසීදති.

(4) අනිලඤ්ජසො ච සම්බුද්ධො – යථා කාසො අසංඛියො,
තථෙව ඤාණං බුද්ධස්ස – කො දිස්වා නප්පසීදති.

මහ රහතන් වහන්සේලා අතුරෙන් කෙනකු වූ “සෝභිත” ස්ථවිරයන් වහන්සේ සුමේධ බුදුන් වහන්සේ ගේ කායේ දී එක්තරා තවුසකුව සිට බුදුන් වහන්සේ දැක පැහැදී ගාථා සයකින් උන් වහන්සේට ස්තුති පූජාවක් කළහ. සුමේධ බුදුන් වහන්සේ භික්ෂු සංඝයා මැද එහි අනුසස් මෙසේ ප්‍ර‍කාශ කළ සේක.

(1) යෝ මෙ ඤාණං පකිත්තෙසි – පසන්නෝ තෙන චේතසා
තමහං කිත්තයිස්සාමි – සුණාථ මම භාසතෙ

(2) සත්තසත්තති කප්පානි – දෙවකෛ රමිස්සති
සහස්සක්ඛත්තුං දේවින්දෝ – දෙවරජ්ජං කරිස්සති.

(3) අනෙකසතක්ඛත්තුං – චක්කවත්ති භවිස්සති,
පදෙසරජ්ජං විපුලං – ගණනාතො අසංඛියං

(4) දෙව භුතො මනුස්සො වා – පුඤ්ඤකම්මසමාහිතො
අනුනමන සංකප්පො – තික්ඛපඤ්ඤො භවිස්සති.

(5) තිංසකප්ප සහස්සම්හි – ඔක්කාක කුල සම්භවො
ගොතමො නාම නාමෙන – සත්ථා ලොකෙ භවිස්සති.

(6) අගාරා අභිනික්ඛම්ම – පබ්බජිස්සත්‍යකිඤ්චනො
ජාතියා සත්තවස්සොව – අරහත්තං ඵුසිස්සති.

(1) යමෙක් සිය සිතින් පහන් වූයේ මාගේ ඤාණයට ප්‍ර‍ශංසා කළේ ද එයින් ඔහුට වන විපාකය පවසන්නෙමි. කියන්නා වූ මාගේ සමීපයෙන් එය අසව්.

(2) මේ තෙමේ සත් සැත්තෑවක් කල්පයන්හි දෙව්ලොව ඉපිද සතුටු වන්නේ ය. දේවරාජ වූයේ දහස් වරෙක දිව්‍යරාජ්‍යය කරන්නේ ය.

(3) නොයෙක් සිය ගණන් වාරවල චක්‍ර‍වර්ති රජවන්නේ ය. ගණන් නැති පමණ වාරවල මහත් වූ ප්‍රදේශ රාජ්‍යයන් ලබන්නේ ය.

(4) හෙතෙමේ දෙවි වූයේ ද මිනිස් වූයේ ද පින් කරන්නා වූ නො අඩු කල්පනා ඇත්තා වූ තියුණු නුවණැතියෙක් වන්නේ ය.

(5) කල්ප තිස් දහසකින් මතු ඔක්කාක කුලයෙහි උපදනා වූ නමින් “ගෞතම” නම් වූ ශාස්තෘ වරයෙක් ලෝකයෙහි උපදින්නේ ය.

(6) ඒ සස්නෙහි මේ තෙමේ ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ ය. ඉපදීමෙන් සත් අවුරුදු වයසේ ම අර්හත්වයට පැමිණෙන්නේ ය යනු ඒ ගාථාවල තේරුම ය.

“සෝභිත” ස්ථවිරයන් වහන්සේගේ බුද්ධ ස්තෝත්‍ර‍ය මෙසේ ය:

(1) තුවං සත්ථා ච කෙතු ච – ධජො යූපො ච පාණිනං
පරායණො පතිට්ඨා ච – දීපො ච දීපමුත්තමො

(2) තෙ පුඤ්ඤස්සනො වීරො – තාරෙසි ජනතං තුවං
නත්ථඤ්ඤො තාරකො ලොකො – තචුත්තරිතරො මුනි

(3) සක්කා භවෙ කුසග්ගෙන – පමෙතුං සාගරුත්තමො
නත්වෙව තව සබ්බඤ්ඤූ – ඤාණං සක්කා පමෙතවේ

(4) තුලා දණ්ඩේ ඨපෙත්වාන – මහිං සක්කා පමෙතවේ
නත්වෙව තව පඤ්ඤාය – පමාණං අත්ථි චක්ඛුමා

(5) ආකාසො පමිතුං සක්කා – රජ්ජුයා අංගුලීහිපි
නත්වෙව තව සබ්බඤ්ඤූ සීලං සක්කා පමෙතවෙ

(6) මහාසමුද්දෙ උදකං – ආකාසෙ ච වසුන්ධරා
පරිමෙය්‍යානි එතානි – අප්පමෙය්‍යාසි චක්ඛුමා

ආයුෂ්මත් “අධිමුත්ත” මහා රහතන් වහන්සේ ද පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ දී පැවිදි වසන සේක්, බික්සඟන පිරිවරා මඟ වඩනා බුදුන් වහන්සේ දැක සුවඳින් පුදා “සමුද්ධරංසි මං ලොකං” යනාදීන් ගාථා දහසකින් බුදුන් වහන්සේට ස්තුති කළහ. බුදුන් වහන්සේ ද මොහු අනාගතයෙහි කල්ප ලක්ෂයකින් මතුයෙහි “ගෞතම” බුදුන්ගේ සස්නෙහි පැවිදිව ෂඩභිඥා ඇති රහත් කෙනෙක් වන්නේ යයි වදාළ සේක. ස්තුති පූජාවේ අනුසස් කියන ලද කථා තුනෙන් දත යුතුය. විස්තර ථෙරගාථා, අපදාන වලින් දත යුතු ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/n2is5I via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook December 10, 2016 at 11:13AM

== (updated) අලුත් පොත් ඇතුලත් කර ඇත ==
රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ ඉතා වැදගත් පොත් ඒවායේ ප්‍රමාණය කුඩාවන සේ සහ පැහැදිලි බව වැඩිවන සේ type කර සකසා ඇත. පටුන සකස් කර ඇති අතර යුනිකෝඩ් වලින් type කර ඇති බැවින් දහම් කරුණු උපුටාගෙන පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ බෙදාහදා ගත හැකිය.

පොත් 15 ක් අඩංගු zip file එක (22 MB) -> http://ift.tt/2cjZ9sy
පොත් වෙන් වෙනම download කරන්න -> http://ift.tt/2c9m08l

ධර්ම දානය පිණිස හැකිතාක් share කරන්න. මේ පොත් හැකිතාක් කියවා ඔබේ දහම් දැනුම වැඩි කර ගන්න. අන්තර්ජාල පහසුකම් නැති අයට CD/pen වලට copy කර ලබා දෙන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf