Monthly Archives: September 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Qoajxe
ලොවපුරා බුදුදහම පැතිරේවා යන අධිෂ්ඨානයෙන් යුතුව 18-9-18 සුවිශේෂී දිනයේදී සිදුවන කංචුක පූජාව.
== එදින සිදුවන විශේෂ පින්කම් ==
1) ධර්ම චක්‍රය සහිත විශේෂ කංචුක පූජාව
2) භාෂා 18 කින් ත්‍රිපිටකය අටුවා සහ ටීකා කියවිය හැකි වෙබ් අඩවිය ලොවට විවෘත කිරීම
3) නෙලුම් මල් 3600ක විශේෂ මල් පූජාව
4) පාත්‍රා 9 ක විශේෂ ඖෂධ පූජාව

සංවිධානය අකුරුමුල්ලේ රතන හිමි දුරකථන 0718109817. පින්කමට ඔබටත් අමතර පූජා ද්‍රව්‍ය සමග සහභාගී වීමට හැකියාව ඇත.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2OaSVdG
බොහෝ අතීතයේ ලොව උපන් නිමි නමැති රජෙක් විය. ඒ රජු හට මෙවැනි සිතිවිල්ලක් උපන්නේ ය. එනම් ‘දානය හෝ බඹසර හෝ යන මෙයින් කවර නම් පිනක් මහත්ඵල විපාක ඇත්තේ ද?’ (දානං වා බ්‍රහ්මචරියං වා – කතමංසු මහප්ඵලන්ති) යනුයි. නිමි රජුගේ නුවණට එය ගෝචර නො වී ය. උපෝසථ සිල් රකින රජුගේ සිල් තෙදින් සක් දෙවිඳුගේ ආසනය උණු විය. උපෝසථ දිනයේ අලුයම් වේලේ අහසේ පහළ වූ සක් දෙවිඳු නිමි රජුගේ එම පැනයට මෙසේ පිළිතුරු දුන්නේ ය.

“හීනේන බ්‍රහ්මචරියේන – ඛත්තියේ උපපජ්ජති
මජ්ක්‍ධිමේන ච දේවදත්තං – උත්තමේන විසුජ්ඣති”

“බලවත් නැති බඹසරින් රජ කුලයේ උපදී. මධ්‍යම බ්‍රහ්මචරියාවෙන් දෙව් බවට පත්වේ. උතුම් බ්‍රහ්මචරියාවෙන් පිරිසිදු බව ලැබේ.”

“න හේතේ සුලභා කායා – යාච යෝගේන කේනචී
යේ කායේ උපපජ්ජන්ති – අනාගාරා තපස්සිනෝ’ති”

“අනගාරිකව කෙලෙස් තවන (බඹසර රකින) යම් කෙනෙක් බඹලොව උපදිනවා නම් එවැනි බ්‍රහ්මත්වයක් වෙන දානයකින් නම් නො ලැබිය හැක්කේ ය.”

සක් දෙවිඳු නිමි රජු හට බඹසරෙහි උතුම් බව දක්වනු පිණිසත්, දානය එයට ළං නොවන බව දක්වනු පිණිසත් මේ කතාව දැක්වූයේ ය. ඒ මෙසේ ය.
“පෙර බරණැස දුදීප ය, සාගර ය, සේල ය, මුචලින්ද ය, භගීරස ය, අට්ඨක ය, අස්සේක ය, පුථුජ්ජන ය යැයි යන මේ රජවරු ද තවත් බොහෝ දෙන ද නොයෙක් අයුරින් දන් දී කාමාවචර ලෝකය ඉක්මවා යා නොහැකිව දෙව්ලොව ම උපන්නාහු ය. ‘බඹසර බ්‍රහ්මලෝකයේ උපත ලබා දෙයි. එහෙත් දානය දෙව්ලොව ඉක්මවා නො යයි.’ යනු එහි අදහසයි.

හුදෙකලා ව තවත් කෙනෙකුගේ පහසක් හෝ සතුටු කිරීමක් නොමැතිව ලබන ඒ බඹසර සැපය කෙනෙක් නොවිඳිද්ද ඔහුට සක් දෙවිඳුගේ සැපය ලැබුණත් ඒ සියල්ල බාහිර සැපයක් ම විනා තමා තුළින් ජනිත සැපයක් නො වේ. (මේ අනුව සක් දෙවිඳුගේ සැපය පවා බාහිර කරුණු මුල්ව ජනිත වන බවත්, එහෙත් හුදෙකලා බඹසර සැපය තමා තුළින් ම ජනිත වන අනතුරු රහිත සුවයක් බවත් සක් දෙවිඳු නිම් රජුට පැහැදිලි කරයි.)
අතීතයේ විසූ යාමහනු, සෝමයාග, මනෝජව, සමුද්ද, මාද, භරත, ඉසිකාලි, රක්ඛිය, කස්සප, කිසවම්ව, අකිත්ති යන ඍෂිවරු අනගාරිකව සිල්වත් වූ, කෙලෙස් තවන, ඒ බඹසර මුල්කරගෙන කාම ලෝකය ඉක්මවා බ්‍රහ්ම ලෝකයේ උපන්නාහු ය. (ඒ බඹසරෙහි ආනිශංස යි).
සක් දෙවිඳු විසින් දානයට වඩා බඹසර උතුම් බව දක්වනු පිණිස අපූරු සිදුවීමක් ගෙන හැර දැක්වී ය.

“පින්වත් රජතුමනි, හිමාලයට උතුරු දිසාවේ අතිශයින් ගැඹුරු වූ සිදා නම් නදියක් විය. ඒ නදිය දෙපස මනරම් භූමි භාගයේ එක් කලෙක දස දහසක් පමණ ඍෂිවරු විසූහ. සිදා නම් නදියේ ජලය කෙතරම් සියුම් ද යත් ඒ ජලයේ වැටුන මොණර පිහාටුව ද ජලයේ පතුලට ම කිඳා බසී. ඔරුවකින් ද ඒ නදිය තරණය කළ නො හැකි ය. එසේ හෙයින් කිඳා බසිනා යන අර්ථයෙන් ‘සිදා’ වූ ඒ නදිය ඒ බ්‍රහ්මචාරීන්ගේ වාස භූමිය සොඳුරු කළේ ය. ඒ තාපසයෝ රස තෘෂ්ණාව මැඩ ධාර්මික භෝජනයෙන් යැපුනාහු ය. දිනක් එක් තවුසෙක් අහසින් බරණැසට ගොස් පුරෝහිත බමුණාගේ නිවසට පිඬුසිඟා ගියේ ය.

ඒ තවුසා කෙරෙහි පැහැදුන පුරෝහිතතුමා තවුසාගෙන් හිමවතේ තොරතුරු විමසා බඹසර රකින දස දහසක් තපස්වීන් ගැන අසා පැවිද්දේ හිත පිහිටවීය. රජුගෙන් අවසර ගෙන පසුදා එම තාපසයා සමඟ හිමවතට ගොස් පැවිදිව ටික දිනකින් ම ආකාශචාරී සමාපත්තිලාභියෙක් විය.

තමන් පැවිදිව රජු හමු වීමට පැමිණෙන්නෙමි යන රජුට වූ පොරොන්දුවක් සිහිකොට ඒ (පෙර පුරෝහිත වූ) තාපසයා අහසින් රජ මැදුරට වැඩම කළේ ය. රජු ද ඉමහත් පැහැදීමට පැමිණ ඒ තාපසීන් වහන්සේට දන් දී සුවදුක් අසා හිමවතේ තොරතුරු විමසී ය. බ්‍රහ්මචාරී තවුසන් දසදහසකගේ තොරතුරු අසා ඒ තාපසීන්ට දන් දීමට කැමැත්තක් රජුට ඇති විය. එනමුත් ආහාරය හේතුකරගෙන ඒ බ්‍රහ්මචාරීන් මිනිස් පියසට වැඩම කරවීම අපහසු බව තාපසීන් වහන්සේ පෙන්වා දුන්නේ ය. ඒ අනුව දන් දීමේ අපමණ ආසාවෙන් යුතු රජු තම සිව්රඟ සේනාව ද රැගෙන තපස්තුමන්ගේ ඉර්ධියෙන් සිදා නදිය අසලට සමීප විය. රජු තපස්වීන් දැක වැඳ තුටු පහටුව සැමදා නදී තෙරට දනට වඩින ලෙස ආරාධනා කළේ ය. එදා පටන් ඒ දස දහසක් තපස්වීන්ට දානය සහිත සියලු උපස්ථාන රජු ම සිදු කළේ ය. එසේ දන් දෙන කල්හී එම ප්‍රදේශයේ නගරයක් කොට ධාන්‍ය ගොවිතැන් ද කළහ. මෙසේ දසදහසක් තාපසවරුන්ට දස දහසක් අවුරුදු උපස්ථාන කළේ ය. දන් දුන්නේ ය.”

මෙසේ විස්තර කියූ සක් දෙවිඳු නිමිරජුට පැවසුවේ, “රජතුමනි, එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරී තවුසන්ට දන් දුන් රජුව ඉපදුණේ මම (සක් දෙවිඳු)” බවයි. “බලන්න… එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරීන්ට දන් දුන් මම තව්තිසාවේ උපන්නෙමි. ඒ බ්‍රහ්මචාරීහු බඹලොව උපන්නාහ. ඒ බඹ සැපය ඉදිරියේ මා ප්‍රේත ලොවක උපන්නා වැන්න. නිමි රජතුමනි, මේ කාරණයෙනුත් දානයට වඩා බඹසර උතුම් බව වටහාගනු මැනව. දානයට වඩා සීලය ම උතුම් ය. මේ ලොව නුවණැත්තා දානය වගේ ම සීලයෙහි ද අප්‍රමාදී වන්නේ ය” යැයි තවත් නොයෙක් අයුරින් බඹසරෙහි ආනිශංස දක්වා රජුගේ සැක දුරු කරවා අතුරුදහන්ව තව්තිසාවෙහි ම පහළ විය. පසු කාලයේ බඹසර පුරුදු කළ රජු ද බඹලොවෙහි උපත ලැබී ය. මේ අපගේ මහබෝධිසත්වයන් නිමි රජුව උපන් නිමි ජාතකයේ විස්තර කොටසකි.

මේ අනුව බලන කල බඹසර කෙතරම් උතුම් ද යැයි සිතාගත හැකි ය. බ්‍රහ්මචාරීන් දසදහසකට දසදහස් වසරක් දන් දීමට වඩා බඹසරින් පුරුදු කරන විරාගයේ විපාක මහත් ය. තාපසීන් වහන්සේලා දවසට එක් වේලක් වැළඳුවේ යැයි සිතුවොත් වසර දසදහසකට දාන 36,500,000,000 පමණ වේ. ඒ දානවලට වඩා බඹසර ම උතුම් ය. විරාගය පුරුදු කරමින් කරන තපසත්, ධ්‍යාන භාවනාවත් ගැනයි සක් දෙවිඳු ඒ විස්තර කරන්නේ. මොහොතක් සිතන්න. එපමණ අවැසි නැත. අප හට සියක්නමකට දානය පූජා කරන්න ලැබුණෝතින් කෙතරම් නම් මහන්සි වන්නේ ද? කැප වන්නේ ද? වෙහෙස වන්නේ ද? දුක් පීඩා ඉවසන්නේ ද? එහෙත් සිත පීඩාවට පත් කරමින් එන කාම දාහය මොහොතක් ඉවසීමට නොහැකිව බඹසර කිලිටි කර ගනී. ඒ අනුව අද ලෝකයා දානයට දක්වන කැපවීමවත් බඹසර සීලයකට දක්වන බවක් පෙනෙන්නට නැත. නුවණැත්තෝ විමසත්වා! දානයට වඩා බඹසර විපාක වැඩි බව දැන බඹසරෙහි ඇල්ම උපදවා සීලය පුරුදු කරත්වා!

සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ ගිහි ප්‍රතිපදාව ගැන මැනවින් පහදා දෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ ධම්මික උපාසකතුමා හට මෙසේ වදාළ සේක.

“අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය
අංගාරකාසුං ජලිතං ව විඤ්ඤූ
අසම්භුණන්තෝ පන බ්‍රහ්මචරියං
පරස්ස දාරං නාතික්කමෙය්‍ය”

“නුවණැති ගිහියා අබ්‍රහ්මචරියාව (කාම ක්‍රියාව) ගිනි අඟුරු වළක් විලසින් දැක බඹසර පුරුදු කළ යුතු ම ය. ඒ බඹසර රැක ගැනීමට නො හැකි නම් (නිසි කල විවාහ වී) පරඹුවන් කරා නොගොස් වාසය කළ යුතු ම ය.”

මේ අනුව එකල නුවණැති අය මුළු ජීවිතය ම බඹසර පුරුදු කළහ. නො එසේ නම් විවාහ වන තෙක් බඹසර රකිමින් විවාහ වී (පතිවත / පතිනි වත) වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරන්නේ ය. එකල කුමර බඹසර, කුමරි බඹසර හරි අගේට සුරැකීම සිදු විය. විවාහ වෙන තෙක් කිසිම කාම ක්‍රීඩාවක / කාම ක්‍රියාවක නොයෙදුනේ ය. ජාතක කතා බොහෝමයක අප මහා බෝධිසත්වයන් කෙතරම් නම් බඹසර රැකි ජීවිත කතා වෙද්ද? සාම කුමරු හී පහර වැදී සිහිසුන් වෙද්දී දෙමාපියන් ”අපගේ පුත්‍රයා බ්‍රහ්මචාරීයි. ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා!” යි සත්‍යක්‍රියා කොට ජීවය ඉපැද්දවූහ. අහෝ බඹසර එතරම් අසිරිමත් ය. මහා සුදස්සන රජු සක්විති රජ ව තමා වෙනුවෙන් ම බිසෝවරු අසූහාර දහසක් සිටිද්දී අසූහාර දහසක් අවුරුදු බඹසර විසී ය. අද ලෝකයට මේවා සිතා ගත නොහැකි තරම් ය.

මහරහතන් වහන්සේලා විෂයෙහි දන් පැන් පුදා දෙව්ලොව දිව්‍යරාජයන් බවට පත් ඇතැම් දෙවිවරු තමන්ට සුගති උපත ලබා දුන් ඒ පුණ්‍ය ක්ෂේත්‍රයට (රහතන් වහන්සේලාට) උපහාර කෘතගුණ පිණිස බඹසර සීලය සමාදන් වූ අවස්ථා අප අසා ඇත. දිව්‍ය අප්සරාවන් ලක්ෂ ගණන් පිරිවරා සිටිද්දීත් බඹසර ම සුරකී. අරුමයකි! දිව්‍ය අප්සරාවකගේ ලස්සනට උපමා නැත. සක්විති රජුගේ ස්ත්‍රී රත්නය ද දිව්‍ය අප්සරාවකගේ ලස්සනට සමීප නැත. ඒ ලස්සනට වඩා බඹසර උතුම් ය. එවැනි ස්ත්‍රියකගේ පහසට වඩා බඹසර උතුම් ය. එවැනි රන් ලියවැල් වන් අප්සරාවන් ලක්ෂයකගේ පහසට වඩා බඹසර උතුම් ය. ඒ දේවතාවෝ බඹසර රකිත්. එකල බඹසර සමාදන් වූවෝ මෙසේ ප්‍රාර්ථනා කරත්. එනම් “නිවන් දකිනා මොහොත දක්වා ස්ත්‍රියක් තබා පිරිමියෙක්වත් අපගේ කය ස්පර්ශ නොකරත්වා! අප ඇසුරු කරන පිළිසඳරේ යෙදෙන පිරිමින් ද අතේ දුරින් වෙත්වා! ස්ත්‍රීන් ගැන කවර කතා ද?” යනුවෙනි. මිනිසුනේ, එතරම් බඹසර සුවය ඒ උත්තමයෝ අත්දකිති. මේ අනුව බලන කල බඹසරට කැමැත්තක් උපදවා ගැනීමත් කෙතරම් පිනක් දැයි සිතේ…

දිනක් මලියදේව මහරහතන් වහන්සේ තම වයෝවෘද්ධ ගුරු ස්වාමීන් වහන්සේ පැන් පහසු කිරීමට අවසර ඉල්ලූ සේක. මොහොතක් නිහඬ වූ ගුරු ස්වාමීන් වහන්සේ එයට අවසර ලබා දුන් සේක. පසුව උන්වහන්සේ මෙසේ පැවසී ය. “ආයුෂ්මත් මලියදේව, මගේ උපසම්පදාවෙන් දැනට වස් හැටක් වෙනවා. ඒ වස් හැටට ම අද තමයි තවත් කෙනෙක් මගේ ඇඟට අත තිබ්බේ” අරුමයකි. එවැනි යුග සිතා ගත නො හැකි ය.

සත්පුරුෂ යුගය එසේ ගෙවී යද්දී වර්තමානයේ කාමය අඳුරු වලාවක් සේ ලොව වසාගෙන හමාර ය. තාක්ෂණික උපකරණවලින් බඹසර සුන්නද්දූලි කරන්නේ ය. බටහිර අධ්‍යාපනයෙන් බඹසර අතුගා දමන්නේ ය. අහෝ ඔවුන් බඹසර රකින්නන් මානසික රෝගීන් සේ දකිත්. මිය යන තෙක් කාම ක්‍රීඩා කිරීම වීරකමක් සේ දකිත්. ඔවුහු ප්‍රේතයන් සේ, තිරිසනුන් සේ, මවක් පියෙක් නැත්තවුන් සේ රති ක්‍රීඩා කරත්. කොළඹ ප්‍රදේශයේ ඇතැම් ජාත්‍යන්තර පාසල්වල සිසුවියන් තම කන්‍යාභාවය නැති කර ගත් ප්‍රීතියෙන් පන්ති කාමරයේ සාද පවත්වන බව අසන්නට ලැබී කන් අගුළු වැටිනි. අහෝ මිනිසා මරණින් මතු කොහේ නම් උපදී ද?

ඇතැම් පාසල්වල සිසුවන් තරුණ ගුරුවරියන් හා පෙම් බස් දොඩත්ලු. මව දූෂණය කොට, දුව දූෂණය කොට සල්ලාලයන් හිරේ වැටෙත්ලු. පිරිමින් පිරිමින් හාත්, ස්ත්‍රීන් ස්ත්‍රීන් හාත් මඟුල් කෑමට නීතිය සදත්ලු. කියන් මිනිසුනේ මෙවැනි ලොවකට බඹසරේ සුළං රැලිවත් යාවිදෝ?

ඒ පරම විරාගී මහා කස්සප මුනිඳානෝ සිහිවෙත්. ඒ නිකැලැල් බඹසර, මහරහතන් වහන්සේලාගේ පිවිතුරු බඹසර, යශෝදරාවන්ගේ බඹසර, ඒ නිකෙලෙස් මුනිවරු පිරිවරා ගත් භාග්‍යවතුන් වහන්සේගේ බඹසර උතුම් ය! අහෝ උතුම් ය!

එනිසා අද ද යම් පිනැතියෙක් බඹසර (ලිංගික ක්‍රියාවලින් වැළකීම) පුරුදු කරත් නම් එය සාමාන්‍ය හැකියාවක් නො වේ. විවාහ වන තුරු සිල් රකිත් නම් කෙතරම් සුන්දර ද? විවාහ වූ අය උපෝසථ ආදිය සමාදන්ව කාලෙන් කාලෙට හෝ බඹසර රකිත් නම් කෙතරම් අගේ ද? අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ නිය සිළට ගත් පස් පිඬක් සේ සුළු පිරිසක් ලොව බඹසර රකිනා බවයි. මහ පොළොව සේ පිරිසක් කාම ක්‍රියාවෙන් ම සතුටු වෙති. දාන ලක්ෂයකට වඩා බඹසර උතුම් බව නැවතත් මෙහි දී සිහිවේ.

බඹසරට ආසා කරන්න. බඹසර රැකි මුනිවරුන්ට වන්දනා කරන්න. විරාගී කථා කතා කරන්න. කාමුක කථාවලින් පව් රැස් වන බව සිතන්න. තමාගේ බඹසර නොකියා රහතුන්ගේ බඹසර වර්ණනා කරන්න. ඒ විරාගී ජීවිතවලට උපහාර කරන්න. මහා කස්සප ආදී මුනිවරුන්ට දුහුවිල්ලක් සේ ජීවිතය පුදන්න. තමන් භාග්‍යවතුන් වහන්සේගේ දාසයෙක් වැනි යැයි සිතන්න. කෙලෙස් පීඩාවට ශාප කොට, නිකෙලෙස් බව නම් වූ අමා නිවන එක ම සැනසීම බව සිතන්න. බඹසර රකින්න අමාරු අයටත් බඹසර පිණිස මෙතුළින් පුණ්‍ය උපකාරයක් වනු නියතයි. ලොවේ බ්‍රහ්මචාරීන් අබියස අපගේ ජීවිත දුහුවිල්ලක් වේවා! බ්‍රහ්මචාරී ගුණයට නමස්කාර වේවා!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2x0io2j
බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන සාලවනෝද්‍යානයේ දී පරිනිර්වාණයට පත් වූ පසු උන්වහන්සේගේ ආදාහන චිතකයේ ශේෂ වූ සධාතුක භස්මාවශේෂ විවිධ රජ දරුවන් අතර බෙදා දෙන ලදි. මෙම ධාතු බෙදා දීමේදී අජාසත් රජතුමා තමා ලත් සර්වඥ ධාතූන් වහන්සේලා රැගෙන ගොස් මනහර ස්ථූපයක් කරවා සත් අවුරුදු, සත්මස්, සත් දිනක් බුදුගුණ සිහිකරමින් එයට පුද පූජා පැවැත්වීය. රජුගේ ධාතු පූජාව දැකීමෙන් චිත්තප්‍රසාදය ඇතිකරගත් බොහෝ දෙනා මරණින් පසු සුගති සංඛ්‍යාත ලෝකවල උන්නාහ.

එහෙත් ධාතු පූජාවට ගැරහූ බොහෝ අය එයට අනුරූපී විපාක වශයෙන් ප්‍රේත ලෝකවල උපන්නහ. එකල රජගහ නුවර වාසය කළ එක්තරා ධනවත් පුරුෂයෙකුගේ බිරිඳ හා දියණිය යන දෙදෙනා සුවඳ මල් ආදිය රැගෙන ධාතුන් වහන්සේලාට පූජා කිරීම සඳහා යාමට සූදනම් වූහ. තම බිරිඳ හා දියණිය ධාතු පූජාවට යාමට සූදානම්ව සිටිනු දුටු ධනවත් පුරුෂයා මිනිස් ඇටවලට පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද යනුවෙන් පවසා ධාතුන් වහන්සේලාට අපහාස කළේ ය. ඔහුගේ කීම නොපිළිගත් බිරිඳ සහ දියණිය සුවඳ මල් රැගෙන ගොස් සිත් සේ ධාතුන්වහන්සේලාට පුදසත්කාර කළහ. පසු කලෙක ඔවුන් දෙදෙනා මියගොස් දෙව්ලොව උපන්නාහ. ක්‍රෝධයෙන් මඩනා ලදුව ධාතුන්වහන්සේලාට ගැරහූ පුද්ගලයා එයට අනුරූපී විපාක වශයෙන් ප්‍රේතයෙකුව උපන්නේ ය. එක් දිනක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන්ට දේවතාවන් හා ප්‍රේතයන් එකවර දර්ශනයවන ආකාරයේ ප්‍රාතිහාර්යක් කළහ. රැස් වූ දෙවියන් හා ප්‍රේතයන් අතර යට කී මව හා දියණිය යන දේවතාවියන් දෙදෙනාත්, ධාතුන් වහන්සේලාට ගැරහීමේ විපාක වශයෙන් ප්‍රේතව උපන් තැනැත්තාත් සිටියහ. ධාතු පූජාවේ නුගුණ කී ප්‍රේතයා දුටු මහා කාශ්‍යප මහාරහතන් වහන්සේ කවර හේතුවක් නිසා ප්‍රේතව උපන්නේ දැයි පළමුව විමසූ සේක. පෙර ධනවත් පුරුෂයෙකුව ඉපිද ධාතුන් වහන්සේලාට ගැරහීම නිසා ශරීරයෙන් කුණු ගඳක් හමා යන බවත්, කුණු ගඳ හමන මුඛය දෙපස කෘමීන්ගෙන් පිරී ඇති බවත්, එනිසා තියුණු ආධුයක් ගෙන ලුණු දිය ඉසිමින් නිතර නිතර මුඛය කපාගන්නා බවත් පැවසී ය. බුදුරදුන්ගේ ධාතුන් තැන්පත්කළ ස්තූප වන්දනයට ගරහමින්, ක්‍රෝධයෙන් මඩනා ලද සිතින් කටයුතු කළ නිසා ප්‍රේත ලෝකයක ඉපිද අපමණ දුක් රැසක් විඳීන බව මෙම ප්‍රේතයා තවදුරටත් සඳහන් කළේය. බුදුරදුන්ගේ ධාතුන් වහන්සේ සහිත චෛත්‍යයට සුවඳ මල් පිදූ මව සහ දියණිය යන දෙදෙන දෙව්ලොව ඉපිද දෙව් සැප විඳීන අතර දෙවඟනන් පිරිවරා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අභියස පෙනී සිටියා ය. ධාතුන් වහන්සේලාට ගැරහීම හේතුවෙන් ප්‍රේත ලෝකයේ උපන් ප්‍රේතයා විඳින දුකත්, බුද්ධස්ථූපයට වන්දනාමාන කිරීමෙන් දෙව්ලොව උපන් මව හා දියණිය යන දෙදෙනා විඳීන දෙව් සැපතත් සසඳමින් මහා රහතන් වහන්සේ පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළහ.

මෙම පේත කථාවේ මූලික අරමුණ බුදුරදුන්ගේ ශාරීරික ධාතුන් වහන්සේලාට අපහාස කිරීමේ ආදීනව පැහැදිලි කිරීම ය. තථාගත පරිනිර්වාණයෙන් පසුව සිදු වූ මෙම පුවත වර්තමානයට බෙහෙවින් වැදගත් වේ. පෙරටත් වඩා මෙකල ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමත්, ඒවා ප්‍රදර්ශනය කිරීමත් බහුලව සිදුවේ. ඇතැම් විටෙක එම කටයුතු මහා පරිමාණයේ වෙළඳ ව්‍යාපාර බවට පත්කරගෙන තිබෙන අවස්ථා ද සුලබව දක්නට ලැබේ. විවිධ පටු පර්මාර්ථ පෙරදැරිව සිදු කරන එවැනි ක්‍රියා හේතුවෙන් ධාතුන් වහන්සේලා කෙරෙහි මහාජනයාතුළ පවතින ගෞරවයට හානි වී තිබේ. බුදුරදුන්ගේ මෙන්ම රහතන් වහන්සේලාගේ ශරීරයේ භස්මාවශේෂ ලෙස සැලකෙන මෙම ධාතූන් වහන්සේලා කෙරෙහි අතීතයේ සිටම මහජනයා තුළ විශේෂ ගෞරවයක් තිබුණි. එනිසා එම ධාතූන් වහන්සේලා නිසි තැන තැන්පත් කොට උන්වහන්සේලාට නිසි ගෞරවය හා පුද සත්කාර මැනවින් සිදු කළහ. ලක්දිව ධාතු වන්දනාව පිළිබඳ සාහිත්‍යයක් ද ඒ හා බැඳුණු සංස්කෘතියක් ද නිර්මාණය වී තිබේ. සර්වඥ ධාතූන් වහන්සේ අතරින් බුදුරදුන්ගේ දළදා වහන්සේට විශේෂ තැනක් හිමි වේ. දළදා වහන්සේ මෙරටට වැඩම කළ දිනයේ සිට අද දක්වාම උන්වහන්සේට දැක්විය යුතු නිසි ගෞරවය හා පුදසත්කාර ඉතා විධිමත් අයුරින් පවත්වාගෙන එනු ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස දඨාවංශය හා දළදා සිරිත ආදී සාහිත්‍යයක් ද දළදා පෙරහැර වැනි මහා සංස්කෘතික උත්සවයක් ද බෞද්ධයන් සතුවේ. අතීතයේ සිටම ලක්දිව සියලුම විහාරස්ථානවල අවම වශයෙන් ධාතුන් වහන්සේලා එක් නමක් හෝ දෙනමක්වත් වැඩ සිටි අතර විශේෂ ධාතු මන්දිර ඉදිකොට එහි උන්වහන්සේලා වඩා හිඳුවා පුද සත්කාර සිදු කෙරේ. එනිසා ධාතූන් වහන්සේලා කෙරෙහි මහත් ගෞරවයක් හා භක්තියක් සෑම බෞද්ධයෙකු තුළම පිහිටා තිබුණි. එහෙත් ඉහතින් දැක් වූ පරිදි විවිධ පටු ආකල්ප වලින් යුත් පුද්ගලයන් විසින් ඒවායේ ගෞරවය කෙලෙසා ඇති බව ගිහි පැවිදි කවරෙකුට වුව අවිවාදයෙන් ම පිළිගත යුතුව තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සැබෑ ධාතුන් වහන්සේලා යැයි පවසමින් ව්‍යාජ ධාතූන් වහන්සේලා පෙන්වන පුද්ගලයන් ද අප අතර දක්නට ලැබේ. ධාතූන් වහන්සේ යනු මිනිස් අස්ථියක කොටසක් බව සැබවි. එහෙත් ඒවා අයත් වන්නේ සාමාන්‍ය පුහුදුන් පුද්ගලයෙකුට නොවේ. නික්ලේෂී වීතරාගී උතුමෙකුට ය. එකී උතුමන්ගේ අධ්‍යාත්මික ගුණ ශක්තිය ඒ හා බැඳී පවතී. ගරු බුහුමන් දක්වන්නා ද තමා වන්දනාමාන කරන්නේ මිනිස් අස්ථියකට නොව නික්ලේෂී උතුමෙකුගේ ගුණ සමුදායටය යන්න තරයේ විශ්වාස කරයි. එබැවින් ධාතූ වන්දනය යනු වීතරාගී උතුමන්ගේ සීල සමාධි ප්‍රඥා විමුක්ති, විමුක්ති ඤාණ දර්ශනය ආදී ගුණ අනුස්මරණය කිරීමකි. එම නිකෙලෙස් ගුණ සිහියට නඟා ගැනීමකි. නැතහොත් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය හෝ සංඝානුස්සතිය වැඩීමකි. මේ අනුව ධාතුන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ හෝ වීතරාගී තථාගත ශ්‍රාවකයෙකුගේ ගුණ සිහියට නඟා ගැනීම පිණිස පවතින ආදර්ශකයකි. ධාතූන් වහන්සේ පමණක් නොව ඒවා තැන්පත්කොට ඉදිකරන ලද ස්තූප ප්‍රතිමා ආදියත් ආදර්ශක වේ. ඒවා දැකීමෙන්, වන්දනා කිරීමෙන් හා එයට පුදපූජා පැවැත්වීමෙන් සිදු වන්නේ ඉහතින් දැක් වූ පරිදි තෙරුවන් ගුණ සිහියට නඟා ගැනීමයි.

මෙම පේත කථාවේ එන පුරුෂයාට ධාතුන් වහන්සේලා පිළිබඳ නිසි අවබෝධයක් නොතිබුණි. භෞතික දෘෂ්ටියෙහි පිහිටි ඔහුට ධාතු වන්දනය පෙනී ගියේ මිනිස් ඇට කැබැල්ලකට කරන සත්කාරයක් ලෙස ය. ආගමික විශ්වාස හා පිළිගැනීම් භෞතික විද්‍යාව නැමැති තරාදියෙහිලා කිරීම නිසා මෙවැනි අර්බුද නිර්මාණය වේ. කවර ආගමක වුවද එම ආගමික ඉගැන්වීම් අනුව ගොඩ නැගුණු විශ්වාස පද්ධතියක් මෙන්ම සංස්කෘතියක් ද තිබේ. ආගමික සංකේත හා බැඳුණු සංස්කෘතිය නිර්මාණය වී තිබෙන්නේ විවිධ හේතු පදනම් කරගෙන ය. එසේම ඒ සඳහා අනාදිමත් කාලයක් ගතව තිබේ. එම හේතු මැනවින් විශ්ලේෂණය නොකර නිගමන ඉදිරිපත් කිරීමෙන් එකී ආගමික විශ්වාස පද්ධතියට හානි වීම නොවැලැක්විය හැකිය. සමාජයක සියලු දෙනාම එක හා සමාන ප්‍රඥාවෙන් යුක්ත අය නොවෙති. මෙවන් පසුබිමක ආගමික සංකේත මෙන්ම ඒ හා බැඳුණු විශ්වාස පද්ධති තේරුම් ගත යුත්තේ ඉතා පරිස්සම් සහගතව ය. අනෙක් අතට එවැනි ආගමික විශ්වාස හා පිළිගැනීම් ලාභ උපදවන වෙළඳ ව්‍යාපාර බවට පත්කරගන්නා පුද්ගලයන් හා සංවිධානවලට ද ඒ පිළිබඳ නිසි දැක්මක් තිබිය යුතු ය. තරගකාරිත්වය මත හඹා යමින් තම වාණිජ අරමුණ ගැන පමණක් සලකා කටයුතු නොකළ යුතු ය. සංස්කෘති පද්ධති නිර්මාණය වී තිබෙන්නේ සමාජ පාලනයක් ද සමඟ ය. එය වටහා නොගෙන වාණිජ අරමුණම ඉදිරියට ගැනීමෙන් සමාජයක පවතින වටිනාකම් විනාශ වී යා හැකිය. ධාතුන් වහන්සේලා පිළිබඳ නිසි අවබෝධයක් තිබුණු මව හා දියණිය යන දෙදෙනාම එය බුද්ධානුස්සතිය වැඩීමේ මාධ්‍යක් බවට පත්කරගත්හ. බෞද්ධ ආගමික සංකේතවල මුඛ්‍ය පරමාර්ථය තෙරුවන් ගුණ සිහියට නගා ගැනීම ය. එකී අරමුණ ඉටුවන ආකාරයෙන් බෞද්ධ සංකේත භාවිත කිරීම නිවැරැදි පිළිවෙත වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2MXzYia
ස්කන්ධයන්ගේ ද ධාතූන්ගේ ද ආයතනයන්ගේ ද පරම්පරා වශයෙන් නො සිටී පැවැත්ම සංසාරය යැයි කියනු ලැබේ. සංසාරය කුමක් දැ යි තවත් ක්‍රමයකින් කියතහොත් ජාතියෙන් ජාතිය නැවත නැවත උපදනා සත්වයන් ගේ ජාති පරම්පරාව හෙවත් භව පරම්පරාව සංසාරය යැයි කිව යුතු ය. ලෝකයෙහි අනන්ත සත්වයෝ ඇත්තා හ. ඔවුන්ගේ සංසාරයේ පටන් ගැනීමක් නැත්තේ ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “අනමතග්ගොයං භික්ඛවේ සංසාරො පුබ්භාකෝටි න පඤ්ඤායති” යි වදාරන ලද්දේ ය. “මහණෙනි මේ සංසාරය නො දක්නා ලද අගක් ඇත්තේ ය, එහි මුල පටන්ගැනීම නො පෙනෙන්නේය” යනු එහි තේරුම ය. එසේ වදාරන ලදුයේ සංසාරයා ගේ පටන් ගැනීම වූ මුල් කොන තිබියදී ම තථාගතයන් වහන්සේට එය නො පෙනෙන නිසා නොව සංසාරයා ගේ මුල් කොනක් නැති නිසාය. නැති දෙයක් කෙසේ පෙනිය හැකි ද? නො හැකි ම ය.

මුල් කොණක් නැත්තා වූ මේ සංසාරය ඉතා දීර්ඝ බැවින් එක් එක් සත්වයෙකු විසින් අතීතයේ නූපන් ජාතියක් නැත. එක සත්වයෙකු එක් එක් ජාතියක උපන් වාරයන් ගේ ප්‍රමාණයක් ද නැත. සංසාරය අති දීර්ඝ බැවින් මේ මහ පොළොවෙ හි එක් එක් සත්වයෙකු විසින් නූපන් තැනක් ද නො සිටි තැනක් ද නොමළ තැනක් ද මළ සිරුර නො දැමූ තැනක් ද නැත.

තමා මළ කල්හි, මළ සිරුර දැමීමට අනෙකකු ගේ මළ සිරුරක් නො දැමූ ශුද්ධ ස්ථානයක් වශයෙන් තැනක් නියම කරගෙන සිටියා වූ උපාසාළ්හක නම් බමුණා හට තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. මේ ප්‍රදේශයේ උපාසළ්හක යන නම ඇතියවුන් ගේ මළ සිරුරම තුදුස් දහසක් (14,000) මෙහි දවා තිබේ. ලෝකයේ නො මළ තැනක් නම් නැතය යනු එහි අදහසයි. ඉතා දීර්ඝ වූ මේ සංසාරයෙහි එක් එක් සත්වයෙකු ගේ මව නො වූ සත්වයෙක් ද පියා නො වූ සත්වයෙක් ද සහෝදරයෙකු නො වූ සත්වයෙක් ද සහෝදරියක නො වූ සත්වයෙක් ද පුත් නො වූ සත්වයෙක් ද දූ නො වූ සත්වයෙක් ද සුලභ නො වෙත්, යැයි බුදුන් වහන්සේ වදාළ සේක. තව ද අනවරාග්‍ර සංසාරයෙහි එක් සත්වයෙකු බිව් මව් කිරි ද හැඩූ කඳුලු ද අනුන් විසින් හිස කපනු ලැබීමෙන් ගැලූ ලේ ද යන මේ එක එකක්ම සාගර ජලයට අධික බව තථාගතයන් වහන්සේ වදාළ සේක.

තව ද සංසාරය ඉතා දීර්ඝ බැවින් දිළිඳු වූ විරූප වූ කෙනෙකු දුටු කල්හි මම ද මේ දීර්ඝ වූ සංසාරයෙහි මෙසේ විසූයේ මැ යි ද අලංකාරයෙන් සැරසී සිටින සැප ඇති කෙනෙකු දුටු කල්හි මම ද පෙර මෙබඳු සැප ලැබූ වෙමි යි ද නිශ්චයට පැමිණිය යුතු බව ද තථාගතයන් වහන්සේ වදාළ සේක.

සසර සැරිසරන්නා වූ සත්වයන් සුගතියෙ හි ද උපදින නමුත් බොහෝ සෙයින් උපදින්නේ දුගතියෙ හි ය. එබැවින් ඔවුනට සතර අපාය සිය නිවෙස බඳු ය. එක් එක් සත්වයෙකු විසින් වර්ෂ සිය ගණනකට වරකදු පිපාසාව සංසිදෙන පමණට පැනක් හා කුසගින්න සංසිදෙන පමණට අහරක් ද නො ලැබ ඉතා දුකසේ කල් යවන, ප්‍රේතව අතීතයෙහි උපන් වාරයන් ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය. භයානක රූප ඇති යම රකුසන් විසින් වෑ පොරෝ වලින් කපමින් යහුල් වලින් අනිමින් ගිනියම් වූ ලෝහ ගුලි ලෝ දිය මුව බහාලමින් අපමණ දුක් දෙන සංජීව ආදී නරකවල උපන් වාරයන් ගේ ප්‍රමාණයක් නැත්තේ ය. නිවනට නො පැමිණ සසර රැදුනහොත් සත්වයාට මතු ද එසේම කටුක දුක් බොහෝ විඳින්නට සිදුවන්නේ ය. කරුණු මෙසේ හෙයින් සසර රැදී සිටීමේ භයානකත්වය නිම කල නො හේ. ඒ බව දත් බුද්ධාදී උත්තමයෝ සංසාර බන්ධනය සිඳ සසරින් එතෙරව නිවන් පුරයට පිවිසුනා ය. දුකින් මිදුණු කැමැත්තෝ ඒ නිවනට පැමිණීමට උත්සහ කරත්වා.

මතු සම්බන්ධයි!

පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි විසින් සම්පාදනය කරන ලද ‘කර්ම විපාක’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන්, Path to Nirvana​ පිටුව විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. අවිදු අඳුර හේතුවෙන් පාපයන්හි ඇලී වාසය කරන මිනිසුන් හට සංවේග පහළ වී සුමඟට යොමු වේවා! සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව: https://goo.gl/xmDfxa

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2MQRIM8
මණ්ඩුක දේවපුත්‍ර

භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර ගග්ගරා නම් පොකුණ සමීපයේ දහම් දෙසු අවස්ථාවක ඒ පොකුණෙහි විසු මැඩියෙක් ගොඩ වී දහම් අසන පිරිස කෙළවර බුදුන්ගේ මිහිරි දහම් හඬට කන් දිගෙන සිටියේ ය. කෙවිටක් ද අතේ ඇතිව ගොපල්ලෙක් එහි පැමිණ සන්සුන්ව දහමට කන් දී සිටින මහ පිරිස දැක තෙමේ ද පිරිස් කෙළවරට ගොස් කෙවිට බිම හැණ එහි නැවතිණ. ඔහුගේ කෙවිට කොන පිහිටියේ බණට කන් දී ගෙන සිටි මැඩියාගේ හිස මතය. ඌ එකෙනෙහිම මැරී බණට කන් දී ගෙන සිටිමේ පිනෙන් තවුතිසා දෙව්ලොව දොළොස් යොදුන් රන් විමනක උපන්නේ ය. තමාට මේ මහත් වු සම්පත්තිය කෙසේ ලැබුණේ දැයි විමසන්නේ බණ ඇසීමේ පිනෙන් ම ලද බව දැන ඉමහත් සතුටට පැමිණ කාරණය බුදුරදුන්ට දන්වනු පිණිස එකෙණෙහි ම විමානයත් සමඟ ම මිනිස් ලොවට අවුත් මහජනයා බලාසිටියදී ම සිය පිරිවරත් සමඟ විමානයෙන් බැස භාග්‍යවතුන් වහන්සේගේ පා වැඳ තමා හදුන්වා දුන්නේ ය. බුදුරජාණන් වහන්සේ ඔහුට ධර්ම දේශනය කල සේක. මණ්ඩුක දේවපුත්‍ර සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. ඒ සමාගමයේ දී සුවාසු දහසක් සත්ත්වයනට ධර්මාභිසමය විය.

(විමානවත්ථු)
රේරුකානේ චන්දවිමල මහනාහිමි – “සූවිසි මහ ගුණය”

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2LVfIIx
සාතාගිර හේමවත නැමති යක්ෂයන් වූ ත්‍රිපිටකධාරී භික්ෂූන් දෙනම

කාශ්‍යප බුදු සසුනේ බොහෝ ම මිත්‍ර කුල පුත්‍රයන් දෙදෙනෙකු පැවිදි විය. දෙදෙනාම තරුණ කාලයෙහි ම පැවිදි වූ බැවින් ග්‍රන්ථධූරය හැදෑරී ය. ප්‍රකෘතියෙන්ම ප්‍රඥාවන්ත වූ මේ දෙනම නොබෝ කලකින්ම ත්‍රිපිටකධාරී ව්‍යක්ත බහුශ්‍රැත භික්ෂූන් දෙනමක් විය. එසේම විනය විනිශ්චයේ ද අති දක්ෂ වූහ. එක එක නමට පන්සිය ගණනේ දහසක් පිරිවර භික්ෂූන් ද වූහ. එනමුදු අවාසනාවක මහිමය නම් අධර්මවාදී දුස්සීල භික්ෂූන් ගේ ලාභ සත්කාර හමුවේ හිස නමන්නට විය.
දිනක් සසුනෙන් ඉවත් වීමට සුදුසු දුස්සීල භික්ෂුවකට චෝදනාවක් එල්ල වී එය විනිශ්චය කිරීමේ දී ලාභ සත්කාර වලට ගිජු වී ධර්ම විනය ශාස්තෘ ශාසනය වසා, බුදු සසුන නො රැක පුද්ගලයින් රකිමින්, අගතිගාමීව විනය විරෝධීව ඒ ප්‍රශ්නය විනිශ්චය කළහ. ඒ හේතුවෙන් දුශ්ශීල භික්ෂූව ආරක්ෂා විය. සිල්වත් භික්ෂුව හඬමින් පරාදීනව යන්නට විය. එදා ඒ ලාභ සත්කාරයන්ට ගිජුවී මේ කළ අධර්ම ක්‍රියාව නිසා ඒ මහ තෙරුන් දෙනම ඇතුළු ඊට පක්ෂ වූ පිරිවර දාහක් දෙනා යක්ෂයින් වූහ. වැඩිහිටි භික්ෂුව හේමවත නම් යක්ෂයා වී ද අනික් මහතෙරුන් සාතාගිර නම් යක්ෂයා ද විය. මේ අයට පෙර පැවිදිව සිටිය දී උවටැන් කළ දායක පින්වතුන් දෙව්ලොව ඉපදුණ අතර මේ යක්ෂයන් එම කරුණ දැක මහත් ලැජ්ජාවට පත්විය.

මේ මහ පොළොව එක යොදුනකුත් ගව් තුනක් වැඩෙන තුරුත් අප බුදු සසුන දක්වා ද ඒ යක්ෂ ආත්මයෙන් තවමත් අත් මිදෙන්න නො හැකි විය. දිනක් තථාගත ධර්මය ශ්‍රවණය කොට පෙර පිරූ පාරමී ඇති බැවින් මේ නායක යක්ෂයන් ප්‍රධාන පිරිවර දහස සෝවාන් බවට පත් විය. නමුත් අදටත් යක්ෂ යෝනියෙහි ම ය. එබැවින් බුද්ධිමත් සත්පුරුෂයෝ විනය විනිශ්චයකදී පුද්ගලයින් නො රැක සම්බුදු සසුන ම රකිත්වා.
(පරමත්ථ ජෝතිකා නාම සුත්ත නිපාතට්ඨ කථා-
හේමවත සුත්ත වණ්නණා 148 පිට)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NfWkep
අකුසලය කුඩා වුවත් විපාකය මහත් ය

ඈත අතීතයේ මෙරට සෑගිරිය නමින් ගමක් විය. එහි බොහෝ භික්ෂූන් වහන්සේ වැඩ සිටි සේක. මෙහි කතානායක වූ එක් භික්ෂූන් වහන්සේ නමකගේ පියා දිනක් උන්වහන්සේ බැහැ දැකීමට සෑගිරියට ආවේ ය. දාන වේලාව පසු වී තිබුණ බැවින් ඒ භික්ෂුව පියාට ආහාර සැකසීම සඳහා ආහාර සපයන්නාට නො දන්වා සඟ සතු සහළින් නැළි බාගයක් ගෙන “හෙට මේ සහල් ගෙනත් තබමි” සිතා බතක් පිස පියාට දුන්නේ ය.

නමුත් ඒ භික්ෂූන් වහන්සේ තමා ලබාගත් සඟසතු සහල් දීමට පෙර එදා රාත්‍රියේ හදිසියේ ම අපවත් වූහ. උන්වහන්සේ සඟ සතු දේ ගත් නිසාවෙන් පර්වත අතරෙහි පේ‍්‍රතයකු වී උපන්නහ .

එක් භික්ෂූන් වහන්සේ නමක් දිවා කාලයේ පේ‍්‍රතයා සිටි මාවතේ පිඬු පිණිස වැඩිය සේක. මාවතේ දී උන්වහන්සේ පේ‍්‍රතයා දැක මෙසේ විචාළේ ය.

“නුඹගේ සිරුර ඉතා දිග ය. දුර්ගන්ධයෙන් යුතු ය. ඇට, සම් පමණක් ඇතිව ගිනි කඳක් මෙන් දැල්වෙයි. නුඹ කවරෙක් ද?”

“ස්වාමිනි, මම යම ලොව උපන් පේ‍්‍රතයෙක් වෙමි. පව්කම් කොට පේ‍්‍රත ලෝකයේ උපන්නෙමි”

“නුඹ විසින් කයින්, වචනයෙන්, සිතින් කිනම් පවක් කරන ලද්දේ ද? කිනම් කර්මයක විපාකයෙන් පේ‍්‍රත ලෝකයේ ඉපදුනේ වේ ද?”

”ස්වාමිනි, මම පෙර ජීවිතයේ භික්ෂුවක් ව සෑගිරියේ විසූවෙමි. මාගේ පියාට ආහාර සැපයීමට සඟ සතු සහල් නැළි බාගයක් ගත්තෙමි. හෙට නැළිය පුරවා දෙමියි සිතා සිටි නමුත් ඒ රාත්‍රියේ මා කළුරිය කොට පේ‍්‍රත ලෝකයේ උපන්නෙමි.

“නුඹ කියන ඒ භික්ෂුව මම දනිමි. උන්වහන්සේ සිල්වතෙකි. උගතෙකි. ගුණවතෙකි. මෙවැනි සිල්වතුන් දුගතියට නො යන බවයි මම අසා ඇත්තේ”

”සිල්වත් වුවත් අවසාන කර්මය ලෙස එය විපාක දේ. ස්වාමිනි, කුමන හෝ සඟසතු දෙයකට කුඩා යැයි සිතා අවමන් නො කළ මැනව. කුඩා වුව ද විපාක දෙන විට එය මහත් වන්නේ ය.

”නුඹට පේ‍්‍රත ලෝකයෙන් මිදීමට කෙතෙක් නම් කුසල් අවශ්‍ය වේ ද? මම බුද්ධ, ධම්ම, සංඝ රත්නය සඳහා පූජා පවත්වන්න ද?” තෙර නම ඇසීය.

”ස්වාමිනි, මේ පර්වතය පටන්ගත් තැන සිට ගම දක්වා තුන්ගව් දෙපසෙහි ම හිස්තැන් නො මැති සේ ගැල් තබා ඒවා සහලින් පුරවා සංඝයාට දන් දුන් සේක් නම් මම පේ‍්‍රත භාවයෙන් මිදෙන්නෙමි. ස්වාමිනි, ලබා ගත්තේ සහල් නැළි භාගයකි. නමුත් විපාකය කෙතරම්දැයි සිතනු මැනව.

සංවේගයට පත් භික්ෂුව පසුදින අනුරාධපුරයට වැඩම කොට සද්ධාතිස්ස රජු බැහැ දැක පේ‍්‍රතයා පිළිබඳ සියලු පුවත් කියා දානය සඳහා සහල් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළ සේක.

’ස්වාමිනි සහල් කො පමණ අවශ්‍ය ද?”

”රජතුමනි, තුන් ගව්වක් මුළුල්ලේ ගැල් තබා සහලින් පුරවා එය සංඝයාට පිදිය යුතු වෙයි. ඉන්පසු ඒ සියලු පින් පේ‍්‍රතයාට අනුමෝදන් කළයුතු ය.”

”එසේය” කියා රජතුමා එ ලෙසම කළේ ය.

පින අනුමෝදන් වූ සැනින් පේ‍්‍රතයා දිව්‍ය ආත්මයක් ලැබී ය. දිව්‍ය වස්ත්‍රවලින් සැරසුණු දෙවියා පසුදින තෙරුන් වඩින මාවතේ සිටියේ ය. තෙරුන් වහන්සේ ඔහු දැක

”බොහෝ වටිනා ඔටුන්නක් දරන්නා වූ, වටිනා වස්ත්‍ර ඇඳගත්, වටිනා ආභරණ වලින් සැරසුණ, ඉතා සුවඳ තවරා සිටින ඔබ දිව්‍ය රාජයෙක් දැයි විමසී ය.

ස්වාමිනි, පෙර දින ඉතා විරූපී ශරීර ඇතිව, පිහිටක් නො මැතිව සිටි මා වෙත එළඹ ප්‍රමාණ කළ නොහැකි දුක් සයුරේ ගිලුණු මා මහත් කරුණාවෙන් ඔබ වහන්සේ ගොඩට ගත් සේක. යම් කෙනෙක් අනුන්ට යහපත කෙරෙත්නම්, ඒ පිරිස බුදුරදුන් විසින් හික්මවන ලද්දේ ය. ඔවුන් නිතර සියලු සතුන් කෙරෙහි මෙත් සිත පතුරන්නේ ය. යැයි තෙරුන් වහන්සේ ට පවසා වන්දනා කොට ඒ දේව පුත්‍රයා නො පෙනී ගියේ ය.

– නයනා නිල්මිණි

https://ift.tt/2wAVsq8