Monthly Archives: October 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Orfmje
==කුමාරකස්සප තෙරණුවෝ==

නවවැන්නෙහි චිත්තකථිකානං යනු විසිතුරුකොට ධර්‍මය දෙසන්නවුන් අතුරිනි. තෙරුන්වහන්සේ වනාහි එක්කෙනෙකුටවුවද දෙදෙනෙකුටවුවද දහම් දෙසන්නාහු බො‍හෝ උපමාවන්ගෙන්ද කරුණින්ද සරසා අවබෝද කරවමින් දෙසති. එබැවින් විසිතුරුකොට දෙසන්නන් අතුරින් අග්‍රනම් වූහ. ඔහුගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කතාවයි.

මෙතෙමේත් පියුමුතුරා බුදුන් සමයෙහි හංසවති නුවර කුලගෙයක පිළිසිඳ ගෙන වියපත් වූයේ බුදුන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුවක විචත්‍ර කථිකයන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන්නාවූ බුදුන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පතා දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ කාශ්‍යප බුදුරදුන්ගේ සසුන පිරිහෙනකල්හි භික්‍ෂූන් සත්දෙනාට ඇතුළත්ව පව්ව මත්තෙහි මහණදම්කොට නොපිරිහුනු සිල් ඇත්තේ එයින් චුතව දෙව්ලොව ඉපිද එක් බුද්ධාන්තරයක් සම්පත් විඳිනුලබන්නේ අපගේ බුදුරදුන්ගේ කාලයෙහි රජගහ නුවර එක් කුලදැරියකගේ කුසෙහි උපන්නේය. ඕද පළමුව මව්පියන් අයැද පැවිද්ද නොලබන්නී කුලගෙයට ගියා ගැබ පිහිටිබව නොදන්නී හිමියා සතුටු කොට ඔහුවිසින් අනුදන්නාලද්දී භික්‍ෂූණීන් අතරෙහි පැවිදිවූවාය.

ඇයගේ ගැබ් නිමිති දැක භික්‍ෂුණිහු දෙව්දත්ගෙන් ඇසුවාහුය. හෙතෙම අශ්‍රමණියකැයයි කීවේය. බුදුන්වහන්සේගෙන් විමසූහ. ශාස්තෘන්වහන්සෙ උපාලි තෙරුනට පැවරූසේක. තෙරුන්වහන්සේ සැවැත් නුවරවැසි කුලයන්ද විශාඛා උවැසියද කැඳවා (පරීක්‍ෂණයකින්) පිරිසිදු කරන්නාහු කලින් ලබනලද ගැබකි. පැවිද්ද නිකැලැල්යයි පැවසූහ. ශාස්තෘන්වහන්සේ මනාව විනිශ්චය කරනලද අධිකරණයකැයි තෙරුනට සාධුකාර දුන්සේක. ඒ භික්‍ෂුණිය රන් පිළිමයක් වැනි පුතකු වැදුවාය. පසේනදී කොසොල් ‍රජතෙමේ ඔහුගෙන පෝෂණය කරවූයේය. කාශ්‍යපයයි ඔහුට නම්කොට මෑත භාගයෙහි සරසා ශාස්තෘන් සමීපයට පමුණුවා පැවිදි කරවූයේය.

කුමාර අවධියෙහි පැවිදිවූ බැවින් භාග්‍යවතුන්වහන්සේ විසින් ‘කාශ්‍යප කැඳවවු, මේ ඵල හෝ කැවිලි හෝ කාශ්‍යපට දෙවු’යි කීකල්හි කවර කාශ්‍යපටදැයි (අසා) කුමාර කාශ්‍යපටයයි මෙසේ ගන්නාලද නම් බැවින් එතැන් පටන් මහළුකල්හිද කුමාර කාශ්‍යපයයි කියනුලැබේ. තවද රජු විසින් පෝෂණය කරවන ලද පුතකු වන බැවින්ද කුමාරකාශ්‍යප යනුවෙන්ම හැඳින්වූහ. හෙතෙම පැවිදිවූ කාලයෙහි සිටම විදර්‍ශනාව සඳහාද කටයුතු කරයි. බුදු වදන්ද උගනියි. ඉක්බිති ඔහු සමඟ පව්ව මත්තෙහි මහණදම්කොට අනගැමි පෙලට පත්ව සුද්ධාවාසයෙහි උපන් ඒ මහා බ්‍රහ්මයා එකල්හි සිහි කරන්නේ කුමාර කාශ්‍යප දැක මගේ යහළුවා විදසුන් සඳහා වෙහෙසෙයි. ගොස් ඔහුට විදසුන් සඳහා ක්‍රමයක් දක්වා මගපල ඉපදවීම සඳහා උපායක් කරන්නෙමැයි බඹලොව සිටියේම පසළොස් ප්‍රශ්නයක් සකසා රාත්‍රිභාගයට අනතුරුව කුමාර කස්සප තෙරුන් වසන තැන අන්‍ධවනයෙහි පෙනීසිටියේ තෙරණුවෝ ආලෝකයක් දැක මෙහි කවරෙක්දැයි ඇසූහ. ‘මම පෙර ‍ඔබ සමඟ මහණදම්කොට අනගැමි පෙලට පත්ව සුද්ධාවාසයෙහි උපන් බ්‍රහ්මයා වෙමැයි කීවේය. ‘කවර කටයුත්තකට ආවාහුද?’ මහා බ්‍රහ්මයා තමන් පැමිණි කරුණ දැක්වීමට ඒ ප්‍රශ්න පවසා, නුඹද මේ ප්‍රශ්න උගෙණ අරුණ නැඟුණුකල්හි තථාගතයන් වෙත එළඹ අසව. තථාගතයන්වහන්සේ හැර මේ ප්‍රශ්න කීමට සමත්වූ අන්කෙනෙක් නම් නැතැයි කියා බඹලොවටම ගියේය.

තෙරණුවෝද දෙවැනි දිනයෙහි ශාස්තෘන් වෙත එළඹ වැඳ මහාබ්‍රහ්මයා විසින් කියනලද අයුරින්ම ප්‍රශ්න ඇසූහ. ශාස්තෘන්වහන්සේ කුමාරකාශ්‍යප තෙරුන් රහත්බවට යොමුකොට ප්‍රශ්න විසඳූසේක. තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසින් කියනලද ක්‍රමයෙන්ම උගෙන විදසුන් ගැබ් ගන්වාගෙන රහත්බවට පැමිණියහ. එතැන්පටන් සිවුපිරිසට ධර්‍මකථා කියන්නාහු බොහෝ දෙනාටද ටිකදෙනාටද උපමාවන්ගෙන්ද කරුණින්ද සරසා විසිතුරු කථාම කියති. ඉක්බිති ශාස්තෘන්වහන්සේ පායාසි රජුට පසළොස් ප්‍රශ්නයන්ගෙන් සරසා සූත්‍රාන්තය දෙසූකල්හි ඒ සූත්‍රාන්තය අ‍ෙත්‍ථ‍ර්‍‍ ාපත්ති කොට තෙරුන් මෙසසුනෙහි විචිත්‍ර කථිකයන් අතු‍රෙන් අගතන්හි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2CfGPNF
==දාරුචිරිය තෙරණුවෝ==

අටවැන්නෙහි ඛිප්පාභිඤ්ඤානං යන්නෙන් වහා ලැබූ අභිඥා ඇත්තවුන් අතුරින් දාරුචීරිය තෙරුන්වහන්සේ අග්‍රවූහයි දක්වනුලැබේ. මේ තෙරුන්වහන්සේ කෙටි දහම් දෙසුමක කෙළවර රහත්බවට පැමිණියහ. මාර්‍ගඵලයන්ගේ පරිකර්‍ම කෘත්‍යයක් නොවීය. එබැවින් වහා ලැබූ අභිඥා ඇත්තවුන් අතුරෙන් අග්‍රනම් වූහ. බාහිය රටේ උපන් බැවින් ඔහුට බාහිය යි නමක්විය. හෙතෙම පසු කලෙක දැවමය වස්ත්‍ර දැරීය. එබැවින් දාරුචීරිය නම්විය. ඔහුගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි.

මෙතෙමේත් පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක උපන්නේ බුදුන්වහන්සේගේ දම් දෙසුම අසන්නේ එක් භික්‍ෂුවක කුලගෙයක උපන්නේ බුදුන්වහන්සේගේ දම් දෙසුම අසන්නේ එක් භික්‍ෂුවක වහා ලැබූ අභිඥා ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්කම් කොට ඒ තනතුර පතා දිවි ඇති තෙක් කුසල් කොට පිරිපුන් සිල් ඇත්තේ මියගොස් දෙව්ලොව උපන්නේය. හෙතෙම එක් බුද්ධාන්තරයක් දෙව්ලොව වැස මේ බුද්ධෝත්පාදයෙහි බාහිය රටෙහි කුලගෙයක උපන්නේ වියට පැමිණ ගිහිගෙහි වසන්නේ වෙළදාම කරන්නෙමියි ස්වර්‍ණභූමියට යායුතු නැවට නැංගේය. නැව බලාපොරොත්තු දෙසට නොපැමිණම මුහුද මැදදී බිඳීගියේය. මහජනයා මාළු කැසුබු ආදීන්ට බත්විය. මෙතෙම වනාහි එක් දැව කඩක් ගෙන සත්වැනි දිනයෙහි සුප්පාරක පටුනෙහි ගොඩබැස්සේ මිනිස්වාසයක් බව දැන නිරුවත් බවින් මිනිසුන් දැකීම නුසුදුසුයයි නුදුරුතන්හිවූ මහ විලෙක සෙවල ගෙන සිරුරවෙළා එක් තැනක වැටුණු කබලක් රැගෙන අහර සිඟමනෙහි ගියේය. මිනිස්සු ඔහු දැක සිතූහ: ‘ඉදින් ලෝකෙහි රහත්හු ඇත්නම් මෙබඳු වූවන් වියයුතුය. කිමෙක්ද ආර්‍ය්‍යතෙමේ උත්කෘෂ්ට භාවයෙන් වස්ත්‍ර නොගනීද? නැතහොත් දෙනු ලබන්න ගන්නේදැ’යි විමසන්නාහු නොයෙක් දෙසින් වස්ත්‍ර ගෙනාවාහුය. හෙතෙම සිතීය: ‘ඉදින් මම මේ ක්‍රමයෙන් නොආවෙමි නම් මොවුහු මා කෙරෙහි නොපහදින්නාහුය. යම් කිසිවක් කොට මොවුන් රවටා ජීවනොපාය කිරීමට වටනේය’යි (මෙසේ සිතා) වස්ත්‍ර නොපිළි‍ගත්තේය. මිනිස්සු බොහෝ සෙයින් පැහැදුනාහු මහත් සත්කාර කළාහුය. හෙතෙමේත් බත්කිස කොට නුදුරු තැන්හිවූ දෙවොලකට ගියේය. මහජනයා ඔහු සමඟම ගොස් දෙවොල පිළිදැගුම් කොට දුන්නේය. මොවුහු මට සෙවල හැඳීම් මාත්‍රයෙන් පැහැද මෙබඳු සත්කාර කරත්, මොවුන්ට මම උත්කෘෂ්ට බවින්ම පැවැතීමට වටීයයි හෙතෙම සිතීය. (එසේ සිතා) සැහැල්ලු රුක් ගෙඩි ගෙන තලා වැහැරි අවුණා පට්ට්යක් කොට හැඳ ජීවිකාව කරමින් වාසය කළේය. කාශ්‍යප බුද්ධකාලයෙහි සත්දෙනෙකු මහණදම් කරත්දී (ඔවුනතුරින්) එක් පුද්ගලයෙක් සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි උපන්නේද හෙතෙම ඉපදීමට අනතුරුවම තමන්ගේ බ්‍රහ්ම සම්පත්තිය බලා පැමිණි තැන සිහි කරන්නේ සත් දෙනා පව්වට නැඟ මහණදම් කරනතැන දැක සෙසු සයදෙනාගේ උපන් තැන සිහිකරන්නේ එකෙකු පිරිනිවන් පෑබවද සෙසු පස්දෙනා කාමාවචර දිවය ලෝකයෙහි උපන් බවද දැන කලින් කලට ඒ පස්දෙනා සිහි කරයි. මෙකල්හි කොහිදැයි සිහි කරන්නේ දාරුචීරක පුද්ගලයා සුප්පාරක පටුන ඇසුරුකොට වංචනික ක්‍රියාවෙන් දිවි ගෙවනු දැක, ‘මේ බාලයා නටුයේවන. පෙර මහණදම් කරන්නේ අති උත්කෘෂ්ටභාවයෙන් රහත්වහන්සේ විසිනුදු ගෙනඑනලද පිණ්ඩපාතය නොවළඳා දැන් උදරාත්‍ථ‍ර්‍‍ය සඳහා රහතෙක් නොවීම රහත්බව හඟවා ලොව රවටමින් හැසිරෙයි. බුදුන්වහන්සේ උපන්බවද නොදනියි. යමි. ඔහු සංවේග කරවා දහබලයන්වහන්සේ පහළවූබව හඟවන්නෙමි’යි ක්‍ෂණයකින්ම බඹලොවින් නික්ම සුප්පාරක පටුනෙහි රාත්‍රි භාගයට අනතුරුව දාරුචීරකගේ ඉදිරියෙහි පහළවූයේය. හෙතෙම තමන් වසන තැන ආලෝකයක් දැක පිටතට නික්ම සිටියේ මහබඹුදැක ඇදිලි බැඳ නුඹවහන්සේ කවරහුදැයි ඇසුවේය. මම නුඹේ පැරණි යහළුවා වූයේ අනාගාමි ඵලයට පැමිණ බඹලොව උපන්නෙමි. අපගේ සියල්ලන්ට දෙටුවූ තැනැත්තා රහත් බවට පැමිණ පිරිනිවියේයි. නුඹලා පස්දෙනා දෙව්ලොව උපන්නාහුය. ඒ මම නුඹ මෙතැන්හි වංචනික ක්‍රියාවෙන් ජීවත්වනු දැක දමනය කරන්නට පැමිණියෙමි’යි කියා මේ කරුණ පැවසීය. ‘බාහිය, නුඹ රහතෙක් නොවෙහි. රහත් මගට පිළිපන්නෙහිද නොවේ. යම් පිළිවෙතකින් ඔබ රහතෙක් වන්නෙහිද රහත් මගට හෝ පිළිපන්නෙහිද ඒ පිළිවෙත ඔබට නැත.’ ඉක්බිති ඔහුට ශාස්තෘන්වහන්සේ පහළවූබවද සැවතෙහි වෙසෙනබද දන්වා ශාස්තෘන් සමීපයට ‍යවයි ඔහු උනන්දු කරවා බඹලොවටම ගියේය. දාරුචීරිය තෙමේද මහබඹු විසින් සංවේග දනවන ලද්දේ මොක්මග සොයන්නෙමැයි යොදුන් දෙදෙහසක් මග එක් රැයක් ගෙවීමෙන් ගොස් පිඬුවිස බුදුරජාණන්වහන්සේ ඇතළු ගෙට වැඩමවා උන්වහන්සේගේ පාමුල හෙව ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මට ධර්‍මදේශනා කරත්වා! සුගතයන්වහන්සේ මට දහම්‍ දෙසත්වා’යි තෙවෙනිවර දක්වා ඉල්ලා සිටියේය. ශාස්තෘන්වහන්සේ මෙපමණකින් බාහි‍යගේ නුවන මිහිකිරීමටට ගියේයයි දැන. ‘එසේ නම් බාහිය, දුටු දෙයෙහි දුටුදෙය පමණක් වන්නේ යම්සේද එසේ ඔබ හික්මිය යුතුය’යි මේ අවවාදයෙන් ඔවදන් දුන්සේක. දෙසුම කෙළවර අතුරුවීථියෙහි සිටියේම දෙසුම අනුව නුවණ යොමා සිවුපිළිසිඹියා සමඟ රහත්බවට පැමිණියේය.
හෙතෙම තමන්ගේ කිස මුදුන්පත්වූබව දැන භාග්‍යවතුන්වහන්සේ වෙතින් පැවිද්ද ඉල්වා නොපිරිපුන් පාසිවුරු ඇති බැවින් පාසිවුරු සොයන්නේ කසළගොඩකින් රෙදි කැබලි අදියි. ඉක්බිති ඔහුව පෙර සතුරුවූ අමනුෂ්‍යයෙක් කුඩා පැටවකු ඇති දෙනකගේ සිරුරෙහි පිවිස ජීවිතක්‍ෂට පත් කළේය. ශාස්තෘන්වහන්සේ සැවතින් නික්මෙන සේක් අතුරුවීථියෙහි කසළගොඩ අසල වැටුණු බාහිය දැක ‘මහණෙනි, බාහිය දාරුචීරියගේ සිරුර ගනුව’යි ගෙන්වාගෙන ශරීරකෘත්‍යය කොට සිවුමංසලක චෛත්‍යයක් කරවූසේක. ඉක්බිති සඟ මැද කථාවක් ඇතිවිය. තථාගතයන්වහන්සේ බික්සඟන ලවා බාහියගේ සිරුර දැවීමේ කටයුතු කරවූසේක. ධාතූන් ගෙන චෛත්‍යයක් කරවූසේක. ඔහු විසින් කවරනම් මාර්‍ගයක් පසක් කරන ලද්දේද? හෙතෙම සාමණේරයෙක්ද භික්‍ෂුවක්දැයි අදහසක් ඉපදෙව්වාහුය. ශාස්තෘන්වහන්සේ එය අථෙ‍ර්‍ ත්පත්ති කොට මහණෙනි, බාහිය පණ්ඩිතයෙකියි මත්තෙහි දම් දෙසුම වඩා ඔහු පිරිනිවන් පෑබව ප්‍රකාශකළසේක. යළි සඟමැද, ‘ශාස්තෘන්වහන්සේ විසින් බාහියට බොහෝ දහම් නොදෙස ලදී. රහත්බවට පත්වූවේයයිද කියනුලැබේ. මේ කුමක් නම් වේදැ’යි කථාවක් උපන්නේය. ශාස්තෘන්වහන්සේ, ‘ධර්‍මය ටිකය බොහෝය යනු කරුණක් නොවේ. මෙය විෂ බීවෙකුට බෙහෙතක් මෙනැයි පවසා ධර්‍මපදයෙහි ගාථාවක් දෙසූසේක:
‘අනත්‍ථ‍ර්‍‍පදයන්ගෙන් යුක්තවූ ගාථා දහසකටද වඩා යමක් අසා සංසිදේද එබඳුවූ එක්ගාථා පදයක් උතුමි.
දෙසුම අවසන්හි අසූසාර දහසක් ප්‍රාණීහු අමාපැන් බීවාහුය. බාහිය තෙරුන්ගේ මේ කථාවස්තුවද සූත්‍රයෙහි ආබැවින් විස්තර වශයෙන් නොකියනලදී. මෑතභාගයෙහි ශාස්තෘන්වහන්සේ සඟමැද වැඩහුන් සේක් බාහිය තෙරුන් වහාලැබූ අභිඥා ඇත්තවුන් අතුරෙන් අගතන්හි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2EpAPnQ
’’මහණෙනි, භාවනාවෙහි නොයෙදී වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් උපදනේය. (එනම්) ’ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන මාගේ සිත මිදෙන්නේ නම් යෙහෙක’ (යනුවෙනි.) ඉක්බිති ඔහුගේ ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන සිත නොමිදේමය. එයට හේතු කවරේද? නොවඩන ලද බැවිනැයි කියයුතු වන්නේය. කවරකගේ නොවැඩීමෙන්ද?

’’සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (නොවැඩීමෙනි.)

’’මහණෙනි, (1) අටක් හෝ, දශයක් හෝ, දොළසක් හෝ, බිජුවට වෙද්ද, ඒවා කිකිළිය මනාකොට එහි සයනය කොට නොරකින ලද්දේද, මනාකොට උණුසුම් කරණ ලද්දේ නොවේද, මනාකොට පරිහරණය කරණ ලද්දේ නොවේද, මෙසේ ඒ කිකිළියට කිසියම් අදහසක් වන්නේය. (2) (එනම්) මාගේ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදනේ නම් යෙහෙක’ (යනුවෙනි.) එසේ නමුදු ඒ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදින්ට නුසුදුසුමය. එයට හේතු කවරේද? (3) මහණෙනි, ඒ එසේමය. ඒ කිකිළියගේ බිජුවට මනාකොට එය මත ලැග නොරැක්කාහු වෙති. මනාකොට උණුසුම් නොකරණ ලද්දාහු වෙති. මනාකොට පරිහරණය නොකරණ ලද්දාහු වෙති.

’’මහණෙනි, එපරිද්දෙන්ම භාවනාවෙහි නොයෙදෙමින් වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් උපදනේය. (එනම්) ’ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන මාගේ සිත මිදෙන්නේ නම් අනේ යෙහෙක’ යනුවෙනි. එසේ නමුත් ඔහුගේ සිත ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන නොමිදෙන්නේය. එයට හේතු කවරේද? ඔහු විසින් නොවඩන ලද බැවිනැයි කිය යුතුය. කවරක් නොවඩන ලද බැවින්ද සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (නොවැඩීමෙනි.)

’’මහණෙනි, භාවනාවෙහි යෙදෙමින් වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් නූපදනේද, ’මාගේ සිත දැඩිව නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් යෙහෙක’ යනුවෙනි. ඉක්බිති ඔහුගේ සිත ආශ්‍රවයන් දැඩිව නොගෙන මිදෙන්නේය. ඊට හේතු කවරේද? (2) වඩන ලද බැවිනැයි කියයුතුය. කුමක් වඩන ලද බැවින්ද සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (වැඩීමෙනි.)

’’මහණෙනි, යම්සේ කිකිළියගේ බිජුවට අටක් හෝ, දශයක් හෝ, දොළසක් හෝ වෙද්ද, ඒවා කිකිළිය විසින් එහි මත ලැග රැක්කාහු, මනාකොට උණුසුම් කරණ ලද්දාහු, මනාකොට පරිහරණය කරණ ලද්දාහු වෙති. ඒ කිකිළියට කිසියම් මෙබඳු අදහසක් නූපදනේය. (එනම්) මාගේ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදනේ නම් යෙහෙක’ (යනුවෙනි.) එසේ නමුදු ඒ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදින්ට නුසුදුසුමය. එයට හේතු කවරේද? මහණෙනි, කිකිළියගේ බිජුවට එහි මත ලැග රකින ලද්දාහු, උණුසුම් කරණ ලද්දාහු මනාකොට පරිහරණය කරණ ලද්දාහු වෙති.

’’මහණෙනි, භාවනාවෙහි යෙදෙමින් වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් නූපදනේද, ’මාගේ සිත දැඩිව නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් යෙහෙක’ යනුවෙනි. ඉක්බිති ඔහුගේ සිත ආශ්‍රවයන් දැඩිව නොගෙන මිදෙන්නේය. ඊට හේතු කවරේද? එසේ නමුත් ඔහුගේ සිත වඩන ලද බැවිනැයි කිය යුතුයි. කුමක් වඩන ලද බැවින්ද සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (වැඩීමෙනි.)

’’මහණෙනි, යම් සේ ලී අසින්නාට හෝ ඔහුගේ අතවැසියාට හෝ වෑ මිට පෙනේමය. ඇඟිලි ලකුණු පෙනේමය. එහුට මෙබඳු ඥානයක් නොවෙයි. (එනම්) අද මෙපමණ වෑ මිට ගෙවුණේ විය. ඊයේ මෙපමණය. පෙරේදා මෙපමණය. ඉක්බිති, ඔහුට ගෙවුණෙහි ගෙවුණේයයි ඥානය ඇතිවෙයි.

’’මහණෙනි, එපරිද්දෙන්ම භාවනාවෙහි යෙදෙමින් වෙසෙන්නාවූ භික්‍ෂුවට කිසියම් මෙබඳු ඥානයක් නොවෙයි. ’අද මෙපමණ මාගේ ආශ්‍රවයෝ ක්‍ෂයවූහ. ඊයේ මෙපමණකින්ය. පෙරේදා මෙපමණකින්ය.’ ඉක්බිති ඔහුට ක්‍ෂයවූවෙහි, ක්‍ෂයවූයේය යන ඥානය වෙයි. මහණෙනි, යම්සේ සමසක් ජලයෙන් වටව තිබුණ, හේමන්ත කාලයෙහි ගොඩ තබන ලද, වේවැල් වලින් බඳින ලද, මුහුදු නැව, අවු සුළං වැදුනේ, මනාකොට වැසි කාලයෙහි මහා මේඝයෙන් තෙමුණේ, පහසුවෙන්ම ඒ බැදුම් නැතිවී යත්. කුණු වෙත්. මහණෙනි, එපරිද්දෙන්ම භාවනාවෙහි යෙදුණ භික්‍ෂුවට පහසුවෙන්ම සංයෝජනයන් නැතිවෙත්. කුණුවී යත්.’’

අංගුත්තර නිකාය
සප්තක නිපාතය
මහා වග්ගය

භාවනානුයුක්ත සූත්‍රය

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2OQrhGG
අභිප්‍රේතයා

රජගහ නුවරැ ගිජුකුළු පවුව රහතුන් වහන්සේ ගේ විසුමට සිතැලෙන තැනකි’ කලක්මහාමොග ගල ලාන තෙරුන් වහන්සේ හා ලක ඛණ තෙරුන් වහන්සේ ද එහි වැඩ විසූහ. ඒ දෙ නම රජගහ නුවරැ පිඬු පිණිස වඩනට ගිජු කුළු පවුවෙන් බස්නා මගැ දී නාගයෙකු වැනි සිරුරැති ප්‍රේතයෙකු දුටුහ. හිස මිනිස් හිසක් වැනි ය. සිරුර සියක් ගවු පමණ ය. සෙස්ස නයෙකු වැනි ය. හිසින් නැඟි ගිනිදැල් කඳ නඟුට දක්වා ද නඟුටින් නැඟි ගිනිදැල් කඳ හිස දක්වා ද දවාගෙන යේ.

මැදින් නැඟි ගිනිදැල් දෙ දිසාව ම දවාගෙන යෙති. දැළයෙන් නැඟි ගිනිදැල් පිට දවාගෙන යෙති. ඒ පුදුමය දුටු මුගලන් මහතෙරහු පව් කළ සතුන් උපදනා සැටි සලකමින් වැඩිසේක. ඒ දෙනම පෙරළා ගිජුකුළු පවුවට වැඩි පසු නාගයෙකු වැනි ප්‍රේතයෙකු දැවෙමින් සිටි සැටි පැවසූහ. වහන්දැ ඒ පුවත බුදු රදුනට දන්වා හේ කළ පෙරැකම් විමසූ කලැ මෙසේ වදාළසේක.

පෙරැ බරණැස ගඟබඩ අසලැ වැඩ වෙසෙන පසේබුදුන් වහන්සේ නමකට සැදැහැතියෝ උදෑසනැ අවුළුපත් (රස කැවිලි සහිත බොජුන් ද) සවසැ ගිලන්පස හා පහන්ද මල් සුවඳ සඳුන් ද ගෙන ගොස් පුදති. ඒ ගඟබඩ අසලම මිනිසෙක් කුඹුරක් සායේ ය. ගොයම් වැඩෙන කලැ කුඹුර රැක්මෙහි ද නියැලුණි. පසේබුදු රදුන් ගේ පන්සලට යනෙන මඟත් ඒ කුඹුරෙහි ම ය. වැදුම් පිදුම් සඳහා නිතොරැ යනෙන්නන්ගෙන් කුඹුර මැඬුණේය.

දවස් පතා කුඹුරට වන හානිය දුටු ගොවියා කනස්සලු විය. නො එක් වෑයම් කොට ත් හානිය වළකාගත නො හිණ දවස් පාසා ඒ ගැන දකින සිතන ඔහුට කෝපය ඉවසාගත නො හැකි තරම් දියුණු වූයේ ය.

පලිගැනීමට ගොවියාගේ සිත බල පැවැත් වෙයි. තමා ගේ වෛරය දියුණු වූයේ පසේබුදුන් කෙරෙහි ය. ‘මෙ තැන පන්සල නො මැති නම් මාගේ කුඹුර හා ගොයම රැකෙ’ යි සිතුයේ ය. ගොවියා පසේබුදුන් පිඬු පිණිස වැඩි කල්හි වහා පන්සලට වැද පැන් බඳුන් සෙනසුන් බඩු පොඩි කොට පන්සල ගිනි දල්වා පලා ගියේ ය.

පසේ බුදුහු අන් තැනකට වැඩියහ. ඒ පවින් අපායේ ඉපද දුක් විඳැවිත් පේ‍්‍රත වැ ඉපද අදත් දුක් විඳින සැටි පවසා දෙවු කෙණෙහි කිරි නො මිදෙන්නාක් මෙන් අකුසලය කළ කෙණෙහි මැ විපාක නො දෙන බව හා එය අලුයට සැඟවුණු ගිනි පුපුරු මෙන් ඒ අනුවණයා දවමින් අනුව යන බව වදාළසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2A564Rg
==දබ්බමල්ලපුත්තතෙරණුවෝ==

සයවැන්නෙහි සෙනාසනපඤ්ඤපකානං යනු සෙනසුන් පනවන්නවුන් අතුරිනි. තෙරුන් සෙනසුන් පනවන කල්හි අටළොස් මහ වෙහෙරෙහි අමදිනු නොලද පිරිවෙණක් හෝ පිළිදැඟුම් නොකළ සෙනසුනක් හෝ නොසෝදන ලද ඇඳපුටුවක් හෝ නොඑළවන ලද පානීය පරිභෝජනීය ජලයක් හෝ නොවූයේය. එහෙයින් සෙනසුන් පනවන්නවුන් අතුරෙන් අග්‍ර නම් වූයේය. දබ්බො යනු ඔහුගේ නමයි. මල්ලරාජකුලයෙහි උපන් බැවින් මල්ලපු‍ත්තො යන නම වූයේය. ඔහුගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි.

මෙතෙමේ පියුමුතුරා බුදුන් කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක ඉපිද වියපත්වූයේ කීඅයුරින්ම විහාරයට ගොස් දහම් අසන්නේ එක් භික්‍ෂුවක සෙනසුන් පනවන්නාවූ භික්‍ෂූන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්කම්කොට ඒ තනතුර පතා ශාස්තෘන් විසින් විවරණ දෙනලද්දේ දිවි ඇතිතෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා කාශ්‍යප බුදුන්වහන්සේගේ සසුනෙහි පිරිහෙනකල්හි පැවිදිවූයේය. එකල්හි ඔහු සමඟ වෙනත් සයදෙනෙකිසි සත්දෙනා එක්සිත් ඇත්තෝව සසුනට අගෞරව කරන අනයයන් දැක ‘මෙහි කුමක් කරමුද? එක් පෙදෙසක මහණදම්කොට දුක් කෙළවර කරන්නෙමු’යි හිණිමගක් බැඳ උස් පව්මුදුනකට නැඟ තමන්ගේ සිතේබලය දන්නාහු හිණිමග හෙලත්වා ජීවිතයෙහි ආශා ඇත්තෝ බසිත්වා පසුව තැවෙන්නෝ නොවෙත්වායි කියා සියල්ලෝ එක්සිත්වී හිණිමඟ හෙලා ‘ඇවැත්නි, අප්‍රමාදවවු’ යයි ඔවුනොවුන්ට ඔවාදී සිත්ඇලවූ තැන්හි හිඳ මහණදම් කිරීමට අරඹූහ. ඉක්බිති එක් තෙර කෙනෙක් පස්වෙනි දි‍නයෙහි රහත්බවට පැමිණ ‍මගේ කිස නිමියේයි. මම මෙතැන්හි කුමක් කරම්දැ’යි සෘද්ධියෙන් උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙනවුත් ‘ඇවැත්නි, මේ පිණ්ඩපාතය පරිභොග කරන්න. පිඬුසඳහා යාම මගේ වැඩක් වේවා! නුඹලා තමන්ගේ වැඩකරවු’යි කීවේය. ‘කිමෙක්ද ඇවැත්නි, අපි හිණිමග හෙලන්නාහු, ‘යමෙක් පළමුව දහම් පසක් කරන්නේද හෙතෙම භික්‍ෂාව ගෙනේවා! ඔහු ගෙනෙනලද්ද සෙස්සෝ පරිභොගකොට මහණදම් කරන්නාහු’යි මෙසේ කීවෙමුදැයි (අනෙක් අය ඇසූහ.)’ නැත, ඇවැත්නි,’ ‘නුඹවහන්සේ තමන්ගේ පූර්‍වහේතුවෙන් ලැබූහ. අපිද හැකිවන්නමෝ සසර කෙළවර කරන්නෙමු. නුමවහන්සේ යනු මැනව.’ තෙරණුවෝ ඔවුනට හඟවන්නට නොහැකි වන්නෝ පහසු තැනක පිණ්ඩපාතය වළඳා වැඩියහ.

වෙනත් තෙරකෙනෙක් සත්වෙනි දිනයෙහි අනගැමි පෙලට පත්ව එයින් චුතවූයේ සුද්දාවාස බ්‍රහ්මලෝකයෙහි උපන්නේය. සෙසු තෙරවරු එයින් චුත වූවාහු එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි ඒ ඒ කුලයන්හි උපන්නාහුය. එක්කෙනෙක් ගන්‍ධාර රට තක්සිලා නුවර රජගෙයක උපන්නේය. එක්කෙනෙක් පබ්බතිය රටෙහි පිරිවැජියකගේ කුසෙහි උපන්නේය. එක්කෙනෙක් බාහිය රටෙහි කෙළෙඹි ගෙයක උපන්නේය. එක් කෙනෙක් රජගහනුවර කෙළෙඹි ගෙයක උපන්නේය. මේ දබ්බතෙරණුවෝ මල්ල රට අනුපිය නුවර එක් මල්ල රජෙකුගේ ගෙහි පිළිසිඳ ගත්හ. ඔහුගේ මව ප්‍රසුතියට ළංවූ කල්හි කළුරිය කළාය. මළසිරුර සොහොනට ගෙනවුත් දරසෑයට නංවා ගිනි දැල්වූහ. අග්නිවේගයෙන් තැවුණු ඇයගේ උදරය දෙකඩ වූයේය. දරුවා තමන්ගේ පින්බලයෙන් උඩට විසි වී එක් දැව කණුවක වැටුනේය. ඒ දරුවා ගෙන මිත්තනියට දුන්හ. ඈ ඔහුට නම් දෙන්නී දැන කණුවෙහි වැටී ලදදිවි ඇති බැවින් දබ්බයයි ඔහුට නම් කළාය.

ඔහුට සත් අවුරුදු කල්හි ශාස්තෘන්වහන්සේ බික්සඟන පිරිවරා මල්ලරටෙහි චාරිකාවෙහි හැසිරෙනසේක් අනුපිය නියම්ගමට පැමිණ අනුපිය අඹවනයෙහි වාසය කරනසේක. දබ්බකුමාරයා ශාස්තෘන්වහන්සේ දැක දැකීමෙන්ම පැහැද පැවිදිවනු කැමැත්තෙවී බුදුරදුන් සමීපයෙහි පැවිදි වන්නෙමැයි මිත්තනියගෙන් ඇසීය. ඕ මැනවි දරුවයි දබ්බකුමරු රැගෙන බුදුරදුන් සමීපයට ගොස් ‘ස්වාමීනි, මේ කුමරුන්, පැවිදිකරවනු මැනවැ’යි කීවාය. බුදුරජාණන්වහන්සේ එක්තරා භික්‍ෂුවකට ‘භක්‍ෂුව, මේ දරුවා පැවිදි කරවන්නැ’යි සංඥාවක් දුන්සේක. ඒ තෙරණුවෝ ශාස්තාවචනය අසා දබ්බ කුමරුවා පැවිදි කරන්නේ තචපංචක කමටහන පැවසූහ. පෙර හේතු සම්පත් ඇති, කළ පැතුම් ඇති සත්ව තෙමේ පළමු කෙස්වැටිය බහන කෙණෙහි සෝවාන් පෙලෙහි පිහිටියේය. දෙවැනි කෙස්වැටිය බහන විට සකෘදාගාමි ඵලයෙහිද තෙවැන්න බහනවිට අනාගාමි ඵලයෙහිද සියලු කෙස් බැහීමද රහත්ඵලය පසක් කිරීමද නෙපසුව නොපෙරටුව සිදුවිය.

ශාස්තෘන්වහන්සේ මල්ල රටෙහි කැමැති පරිද්දෙන් වැස රජගහ නුවරට සැපත්ව වෙළුවනයෙහි විසුසේක. එහි ආයුෂ්මත් දබ්බමල්ල පුත්ත තෙරණුවෝ රහසිගත වූවාහු තමන්ගේ කටයුතු නිමාවීම බලමින් සංඝයාට වතාවත් කිරීමෙහි කය යොදනු කැමැත්තෝ, ඉදින් ‘මම සංඝයාට සෙනසුන් පනවන්නෙම්ද බත් උදෙසන්නෙම්ද නම් යෙහෙකැයි සිතූහ. හෙතෙම ශාස්තෘන් සමීපයට ගොස් තමන්ගේ අදහස දැන්වූයේය. ශාස්තෘන්වහන්සේ ඔහුට සාධුකාරදී ඔහුගේ සෙනාසන පඤ්ඤාපක බවද භත්තුද්දෙසක බවද පිළිගත් සේක. ඉක්බිති ඔහුට ‘මේ දබ්බතෙමේ දහරයෙක් (කුඩා කෙනෙක්) වූයේ මහත් තැනක සිටියේය’යි සත් අවුරුදු කල්හිම උපසපන් කරවූයේය.

තෙරණුවෝ උපසපන් කාලයෙහි සිට රජගහනුවර ඇසුරුකොට වසන්නාවූ සියලු භික්‍ෂූන්ට සෙනසුන්ද පනවති. භික්‍ෂාවද පිළිගෙන උදෙසති. ඔහුගේ සේනාසන පඤ්ඤාපක භාවය සියලු දිශාවන්හි ප්‍රකට විය. ‘දබ්බමල්ල පුත්ත තෙරණුවෝ වනාහි සභාගී සභාගී භික්‍ෂූන්ට එක් එක් තැන්හි සෙනසුන් පනවති. දුරෙහිද සෙනසුන් පනවන්නේමය. යාමට නොහැකි වන්නවුන් සෘද්ධියෙන් පමුණුවන්නෝය’ යනුවෙනි. ඉක්බිති භිකෂූහු ඔහුට, කල්හිද නොකල්හිද ඇවැත්නි අපට ජීවකම්බ වනයෙහි සෙනසුන පනවන්න. අපට මද්දකුච්ඡියෙහි, මිගදායෙහි’යි මෙසේ සෙසුන උදෙ‍සවානෙ ඔහුගේ සෘද්ධිය දක්නාහු යති. හෙතෙමේද සෘද්ධියෙන් මනෝමය කායයන් මවා එකිනෙක් තෙරුන්ට තමන් සමානවූ එකිනෙක් භික්‍ෂුවදී ඇගිල්ල දිලෙත්දී ඉදිරියෙන් ඉදිරියෙන් ගොස් මේ ඇඳය, මේ පුටුවය ආදිය කියා සෙනසුන පනවා යළි තමන් වසන තැනටම එයි. මේ මෙහි සංක්‍ෂෙපයයි. විස්තර වශයෙන් මේ කථාව පෙළෙහි ආයේමය. මෙකරුණම අත්‍ථෙ‍ර්‍ාත්පත්ති කොට මෑතකාලයෙහි ‍ශාස්තෘන්වහන්සේ ආර්‍ය්‍ය සමූහයා මැද වැඩසිටිසේක් තෙරුන් සෙනසුන් පනවන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අගතන්හි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2A1WIFR
පණ්ඩිතො සීලසම්පන්නො ජලමග්ගී ව භාසති,
භොගො සංහරමානස්ස භමරස්සේ ව ඉරියතො,
භොගා සන්නිචයං යන්ති වම්මිකො වූපචීයති.

(දීඝ නි. සිඟාල සු.)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Oj1DLa
==උපසේන තෙරණුවෝ==

පස්වැන්නෙහි සමන්තපාසාදිකානං යනු සියල්ලන් පහදවන්නවුන් අතුරිනි. උපසෙනො යනු ඒ තෙරුන්ගේ නමයි. හෙතෙම වඞ්ගන්ත බ්‍රාහ්මණයාගේ පුත්‍රයායි. එබැවින් වඞ්ගන්ත පුත්තො යි කියනු ලැබේ. මේ තෙරුන්වහ්නසේ වනාහි හුදෙක් තමා පමණක්ම පහදවන සුලුවූයේය නොවේ. ඔහුගේ පිරිසද පහදවන සුලුයයි පිරිස නිසා ලද නමක් වශයෙන් සියල්ලන් පහදවන්නවුන් අතුරෙන් අග්‍රනම් වූහ. ඔහුගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි.

මෙතෙමේත් පියුමුතුරා බුදුන්කල්හි හංසවතී නුවර කුලගෙයක උපන්නේ විය පත්ව පෙර පරිද්දෙන්ම ශාස්තෘන් සමීපයට ගොස් ධර්‍මය අසන්නේ එක් භික්‍ෂුවක සියල්ලන් පහදවන්නවුන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන ශාස්තෘන් දැක ශාස්තෘන් කෙරෙහි පින්කම් කොට ඒ තනතුර පතා දිවි ඇති තෙක් කුසල් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධෝත්පාදයෙහි නාලක බමුණු ගමෙහි සාරිබැමිණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුට උපසෙන දරුවායි නම් කළහ. හෙතෙම වියපත්ව ත්‍රිවේදයන් උගෙන බුදුන්වහන්සේ සමීපයෙහි දහම් අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදි වූයේය. හෙතෙම උපසම්පදාවෙන් එක්වස් ඇත්තේ වී ආර්‍ය්‍යගර්‍භය (ආර්‍ය්‍ය පිරිස) වඩමියි එක් කුලපුතකු තමා සමීපයෙහි පැවිදිකොට උපසපන් කළේය. හෙතෙම පවරා සද්ධිවිහාරිකයාට එක් වස් කල්හි තමා දෙවස්වූයේ බුදුන්වහන්සේ මාදැක සතුටු වන සේකැ’යි සද්ධිවිහාරිකයා රැගෙන බුදුන්වහන්සේ දැකීමට පැමිණියේය. ශාස්තෘන්වහන්සේ වැද එකත්පසෙක හුන්නාවූ ඔහුගෙන් මහණ, ඔබ කෙතෙක් වස් ඇත්තෙහිදැයි ඇසූසේක. ‘භාග්‍යවතුන් වහන්ස, මම දෙවස් ඇත්තෙමි.’ ‘මේභික්‍ෂුව කෙතෙක් වස් ඇත්තේද?’ ‘භාග්‍යවතුන් වහන්ස, එක්වස් ඇත්තෙකි.’ ‘මේ භික්‍ෂුව ඔබේ කවරෙක් වේද’? ‘භාගයවතුන් වහන්ස, මගේ සද්ධිවිහාරිකයාය.’ ඉක්බිති ශාස්තෘන් වහන්සේ ඔහුට, ‘මොඝපුරිසය, ඔබ ඉතා ලාමකය. අධිකබවට පැමිණියෙහි’යයි කියා නොයෙක් අයුරින් නින්දා කළසේක. තෙරණුවෝ ශාස්තෘන් සමීපයෙන් නින්දා ලැබ භාගවතුන් වැඳ ‘මේ පුන්සඳක සොභා ඇති මුවින්ම ශාස්තෘන්වහන්සේ ලවා පිරිස නිසාම සාධුකාර දෙවන්නෙමැ’යි එදිනම එක් තැනකට ගොස් විදර්‍ශනාවට කටයුතු කොට නොබෝදිනකින්ම රහත් බවට පැමිණියහ. ඉක්බිති, තෙරුන්වහන්සේ යම්හෙයකින් මහාකුලයකින් නික්ම පැවිදිවූයේ පොළොව හඬ නැංවූ ධර්‍ම කථිකයෙක් වූයේද එහෙයින් ඔහුගේ ධර්‍මකථාවෙන්ද පැහැද මිත්‍රාමාත්‍යඥතිකුලයන්ගෙන්ද නික්ම බොහෝ කුලදරුවෝ තෙරුන් සමීපයෙහි පැවිදිවෙත්. ‘මම ආරණ්‍යකයෙක්මි. නුඹලාද ආරණ්‍යකයන් වීමට හැකි වන්නාහු පැවිදි වවුයයි තෙරණුවෝ කීහ. ඔවුන් තෙළෙස් ධුතංගයන් විමසා ‘ස්වාමීනි, හැක්කෙමුයි’ කියන කල්හි පැවිදි කරවති. ඔවුහු තමන්ගේ බලයෙන් ඒ ඒ ධුතාංගය අධිෂ්ඨාන කරත්, තෙරණුවෝ තමන්ට දසවස් කල්හි විනය ප්‍රගුන කොට සියල්ලන්ම උපසපන් කරවූහ. මෙසේ ඔහුට උපසපන්වූම පන්සියයක් පමණවු භික්‍ෂු පිරිසක් විය. එ‍සමයෙහි ශාස්තාන්වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වසනසේක් ‘මහණෙනි, මම අඩමසක් විවේකීව සිටීමට කැමැත්තෙමි’යි බික්සඟනට සැළකොට හුදෙකලා වූසේක. භික්‍ෂු සංඝයාද යමෙක් භාග්‍යවතුන් දැක්මට එළඹෙයිද හෙතෙම පචිති ඇවැත් දෙසිය යුත්තෙයයි කතිකාවක් කළේය. එකල්හි උපසේන තෙරණුවෝ ‘භාග්‍යවතුන් දකින්නෙමි’යයි තමන්ගේ පිරිස සමඟ දෙව්රමට ගොස් ශාස්තෘන් වෙත එළඹ වැඳ එකත්පසෙක සිටියහ. ශාස්තෘන්වහන්සේ කථාව නංවනු සඳහා තෙරුන්ගේ එක් සද්ධිවිහාරිකයෙකු ඇමතූසේක. ‘භික්‍ෂුව ඔබට පංසුකූල සිවුරු මනාපද?’ ‘ස්වාමීනි, පංසුකූලසිවුරුවලට මා කැමති නැතැ’යි කියා උපාධ්‍යායයන් කෙරෙහි ගෞරවයෙන් පාංශුකූලිකබව සැළකළේය. මෙතැන්හි ශාස්තෘන්වහන්සේ ‘සාධු සාධු උපසේනය’යි පවසා තෙරුන්ට සාධුකාරදී නොයෙක් අයුරින් ගුණකථාව කළසේක. මේ මෙහි සං‍‍ක්‍ෂපයයි. විස්තර වශයෙන් මෙය පෙළෙහි ආයේමය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ආර්‍ය්‍යගණ මධ්‍යයෙහි හුන්සේක් තෙරුන් මේ සසුනෙහි සියල්ලන් පහදවන්නවුන් අතුරින් අගතැන්හි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2OLBDrb
ලෝකයේ දුකසේ පිරිය යුතු ප්‍රධාන වීර්‍ය්‍යයෝ දෙකකි.

1) ගිහියන් විසින් සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය, බෙහෙත්, පිරිකර දීම පිණිස කරන වීර්‍ය්‍ය

2) ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට පැමිණියවුන්ගේ (ස්කන්ධ – ක්ලෙශ – අභිසංස්කාර සඞ්ඛ්‍යාත) සියලු උපධීන් බැහැර කරලීම වූ නිවණ පිණිස කරන වීර්‍ය්‍ය

මහණෙනි, මේ වීර්‍ය්‍යයන් දෙක අතරින් සියලු උපධීන් දුරලීම පිණිස යම් වීර්‍ය්‍යයෙක් වේ නම්, එය අග්‍ර වේ.

පධාන සූත්‍රය – https://ift.tt/2Nx2F0P

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2OIm8R3
1) දුර්වලයින් ලෝකය සමග ගැටෙති. වාද විවාද වලට එයි
2) ශක්තිවන්තයින් ලෝකයේ ස්වභාවය දැන ඉවසති.
3) ප්‍රඥාවන්තයින් ලෝකයේ යථාර්තය දැක ලෝකයෙන් නික්ම යති.
ඔබ 1 ද, 2 ද 3 ද? comment කරන්න