Monthly Archives: November 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2PscuD9
==මහානාම ශාක්‍ය==

පස්වැන්නෙහි පණීතදායකානං යන්නෙන් ප්‍රණීතරස දෙන්නවුන් අතු‍රින් මහානාම ශාක්‍ය තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසන්නේ එක් උවසුවකු ප්‍රණීතරසදායයන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතීය. හෙතෙම කල්පලක්‍ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි කපිපුරයෙහි ශාක්‍යරජකුලයෙහි ඉපිද වියපත් වූයේ භාග්‍යවතුන්වහන්සේගේ පළමු දැකීමෙන් සෝවාන් පෙලෙහි පිහිටියේය. ඉක්බිති ඒ කලෙක ශාස්තෘන්වහන්සේ වේරඤජාවෙහි වස් වැස පිළිවෙළින් කපිලපුරයට ගොස් නි‍ග්‍රොධාරාමයෙහිවසන සේක. මහානාමතෙමේ ශාස්තෘන්වහන්සේ වැඩිසේකැයි අසා උන්වහන්සේ වෙත ගොස් වැඳ එකත්පසෙක හුන්නේ ශාස්තෘන්වහන්සේට මෙසේ කීවේය: ‘භාග්‍යවතුන් වහන්ස, භික්‍ෂුෂංඝයා වේරඤජාවෙහි පිඬුහැසිරීමෙන් වෙහෙසෙතියි මවිසින් අසනලදී. සිවුමසක් බික්සඟන පිළිදැඟුම් කිරීමෙහි පිළිණ දෙනු මැනව. මම භික්‍ෂුසංඝයාගේ ශරීරයෙහි ඔජස් පිවිසුවමි.’ ශාස්තෘන්වහන්සේ ඉවසාවදාළ සේක. හාස්තෘන්වහන්සේගේ පිළිගැනීම දැන දෙවැනි දිනයෙහි පටන් බුදුපාමොක් බික්සඟන පිඬුරසබොජුන් චතුමධුර ආදියෙන් පිළිදැඟුම්කොට යළි සිවුමසකට පිළිණ ගෙන අටමසක් සපුරා යළිසිවුමසකට පිළිණ ගෙන මුළු අවුරුද්ද පිළිදැඟුම් කළේය. ශාස්තෘන්වහන්සේ එතැන්සිට පිළිණ නොදුන්සේක. මහානාම තෙමේ එතැන්පටන් වරින්වර සැපැමිණි බික්සඟනට ඒ අයුරින්ම සත්කාර කරයි. ඔහුගේ ඒ ගුණය සියලු දඹදිව පළට විය. ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි දෙව්රම වැඩහිඳ මහානාම ශාක්‍යයා ප්‍රණීතදායකයන් අතුරින් අගතැන්හි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2B2kXEa
==හත්‍ථකාලවක==

සිවුවැන්නෙහි චතුහි සංගහවත්‍ථුහි යන්නෙන් සිවුවැදරුම් සංග්‍රහවස්තූන්ගෙන් පිරිසට සංග්‍රහකරන්නවුන් අතුරින් හත්‍ථක ආලවක තෙමේ අග්‍රයයි දැක්වෙයි. මෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසන්නේ සතරසංග්‍රහවස්තුවෙන් යුකුත් වූ එක් උපාසකයෙකු ශාස්තෘන්වහන්සේ විසින් තනතුරෙහි තබනු දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි ආළවිරට ආළවිනගරයෙහි ආළවක රජුගේ නිවසෙහි උපන්නේ හෙට බත්සැළිය සමඟ ආළවක (යක්‍ෂ)යාට යැවිය යුත්තේ විය. මේ එහි පිළිවෙළ කථාවයි. එක් දිනක් ආළවක රජතෙමේ මුව දඩයම සඳහා වනයට ගොස් එක් මුවකු ළුහුබැඳ මරා දුනු කෙළවරෙහි එල්ලා ආපසු හැරී එන්නේ සුළඟින් සහ අවුවෙන් වෙහෙසුන බැවින් ඝනසෙවන ඇති එක් නුගරුක්මුලකට පිවිස හුන්නේය. ඉක්බිති මොහොතක් විඩාව සංසිඳුවා නිකමෙන ඔහුට ගසෙහි අධිගෘහීත දේවතාවා සිටුව, සිටුව, ඔබ මගේ කෑමක් වන්නෙහි (කියා) අත අල්වා ගත්තාය. හෙතෙම දැඩිව ගන්නාලද බැවින් අන් උපායක් නොදක්නේ’ දිනපතා එක්පුරුෂයෙකු සමඟ බත්සැළියක් ඔබට එවන්නෙමි’යි පවසා නුවරට ගියේය. එතැන්පටන් බන්‍ධනාගාරයෙන් එක්මිනිසෙකු සමඟ සැළිබතක් යැවීය. මේ අයුරින් බන්‍ධනාගාරයෙහි මිනිසුන් අවසන්වූ කල්හි මහළු මිනිසුන් ගනුලබනවිට රට කැළඹීමක් වේයයි ඔවුන් නොගෙන කුඩා ළමුන් ගැනීමට ඇරඹීය. එතැන්පටන් නුවරෙහි කුඩා ළමෝද ගැබිනියෝද අන්රටවලට යති. එසමයෙහි ශාස්තෘන්වහන්සේ උදෑසන කාලයෙහි ලොව බලා වදාරන්නාහු ආළවක කුමරුට තුන්මගපලයකට හේතුසම්පත් දැක මේ කුමරු කල්පලක්‍ෂයක් පැතූ පැතුම් ඇත්තේ දෙව්ලොවින් සැව ආළවක රජුගේ ගෙහි උපන්නේය. වෙනකෙකු නොලබන්නාහු හෙට කුමරු සැළිබතසමඟ ගෙන යන්නාහුයයි සිතා සවස්කාලයෙහි නොදන්නා වෙසකින් ආළවක යකා‍ගේ විමන්දොරට ගොස් ඔහුගේ දොරටුපල්වූ ගද්‍රභ යක්‍ෂයාගෙන් විමනට පිවිසීම සඳහා (අවසර) ඉල්වූසේක. හෙතෙම කීයේය: ‘භාග්‍යවතුන්වහන්ස, නුඹවහන්සේ පිවිසෙනු මැනව. මට වනාහි ආළවකට නොදැන්වීම නම් නොසුදුසුය.’ (මෙසේ කියා) හිමවත යක්ෂ සමාගමට ගිය ආළවකයා සමීපයට ගියේය. ශාස්තෘන්වහන්සේද ඒ විමනට පිවිස ආළවකයාගේ හිඳින පළ‍ඟෙහි වැඩසිටි සේක. එකල්හි සාතාගිරහෙමවත දෙදෙනා ආළවකගේ විමනමතින් යක්‍ෂසමාගමයට යන්නාහු තම ගමන සිදු නොවනවිට කවර කරුණක්දැයි සිහිකරමින් ආළවකගේ විමනෙහි හිඳින ශාස්තෘන්වහන්සේ දැක උන්වහන්සේ සමීපයට ගොස් වැඳ යක්‍ෂසමාගමට ගොස් ආළවකට සතුට පළකළහ. ‘ඇවැත්නි ආළවකය, ඔබට ලාභයකි. යම් බඳුවූ ඔබේ විමනෙහි දෙවියන් සහිත ලොව අග්‍රපුද්ගලයා, හුන්සේක්ද? ගොස් ශාස්තෘන්වහන්සේ සමීපයෙහි ධර්‍මය අසව’යි කීය. හෙතෙම ඔවුන්ගේ කථාව අසා මොවුහු එක් මුඩුමහණෙකු මගේ හිඳිනා පළගෙහි හුන්බව කියති’යි සිතුවේය. එයින් කෝපයෙන් මැඬුනේවී අද මේ මහණ සමඟ මගේ සටනක් වන්නේයයි (සිතා) එහි මගේ යහළුවෝ නම් වෙතියි දකුණු පය ඔසවා සැට යොදුනක් පමණවූ පර්‍වතකටයක් ඇක්මීය. එය බිඳී දෙකට විය. මෙතැන්පටන් ආළවකයුද්ධය විස්තර කළයුතුය: ආලවකයා වනාහි සියලු රැය තථාගතයන්වහන්සේ සමඟ නොයෙක් ආකාරයෙන් යුද්ධකරන්නේද කිසිවක් කිරීමට නොහැකි වන්නේ තථාගතයන්වහන්සේ විසඳූසේක. දෙසුම අවසන්හි (ආළවක) සෝවාන් පෙලෙහි පිහිටියේය. විස්තර කොට කියනු කැමැත්තහු විසින් ආළවකසූත්‍රවර්‍ණනාව බැලිය යුතය. දෙවැනි දිනයෙහි අරුණු නැඟුන කල්හි සැළිබත ගෙනෙන වේලාවෙහි ගතයුතු දරුවෙකු නොදැක රජුට සැළකළාහුය. දරුවනි, ගැනීමට නොසුදුසු තැන ඇත්දැයි රජතෙමේ ඇසුවේය. එසේය, දේවයිනි, අද රජකුලයෙහි පුතෙක් උපන්නේය’යි ඔවුහු කීහ. ‘යවු දරුවනි, අපි ජීවත් වන්නමෝ නම් දරුවන් ලබන්නෙමු. සැළිබත සමඟ ඔහු යවවු’යි රජතෙමේ කීවේය. ඔවුහු දේවිය හඬද්දී දරුවා රැගෙන සැළිබත සමඟ ආළවකගේ විමන් දොරට ගොස් ‘පින්වත ගන්න, ඔබේ කොටස පිළිගන්නැ’යි කීවාහුය. ආළවක තෙමේ ඔවුන්ගේ කථාව අසා ආර්‍ය්‍යශ්‍රාවක බැවින් ලැජ්ජාවන්නේ මුවයටිකුරු කොට හුන්නේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඔහුට ‘ආළවක, දැන් ඔබට ලජ්ජාවියයුත්තක් නැත. දරුවා රැගෙන මාඅතෙහි තබවයි වදාළ සේක. රාජපුරුෂයෝ ආළවක කුමරු ආළවකගේ අතෙහි තැබූහ. ආළවකතෙමේ ඒ දරුවා රැගෙන භාග්‍යවතුන්හන්සේගේ අතෙහි තැබූවේය. භාග්‍යවතුන්වහන්සේ පිළිගෙන යළි ආළවකගේ අතෙහි තැබූසේක. ආලවකතෙමේ ඔහු රැගෙන රාජපුරුෂයන්ගේ අතෙහි තැබුවේය. මෙසේ ඔහුට අතින්අතට ගිය බැවින් හත්‍ථක ආලවකයැයි නම් කළාහුය. ඉක්බිති ඒ රාජපුරු‍ෂයෝ සතුටු සිතැත්තෝ ඒ දරුවා රැගෙන රජු සමීපයට ගියාහුය. රජතෙමේ දැක, ‘අද සැළිබත නොපිළිගත්තේයයි හැඟීමක් ඇතිකොට ගෙන කුමක් නිසා දරුවනි මෙසේ පැමිණියහුදැයි ඇසීය. දේවයන්වහන්ස, රාජ කුලයට සතුටද අභිවෘද්ධියද (විය.) ශාස්තෘන්වහන්සේ ආළවකගේ විමනෙහි හිඳ ආළවක දමනය කොට උපාසක බැව්හි පිහිටුවා කුමරුවා අපට දෙවූසේකැයි ඔවුහු කීය. ශාස්තෘන්වහන්සේද ආළවක ලවා පාසිවුරු ගන්වාගෙන ආළවිනුවරට අබිමුව වැඩිසේක. හෙතෙම නුවරට එළඹෙන්නේ ලජ්ජාවී පසුබායි. ශාස්තෘන්වහන්සේ බලා ආළවක ලජ්ජා වෙහිදැයි ඇසූ සේක. ‘එසේය ස්වාමීනි, නුවර වැසියෝ මානිසා මවු මරණයට පියමරණයට හා අඹුදරු මරණයටද පැමිණියාහුය. ඔවුහු මා දැක දඬුවලින්ද ගල්වලින්ද පහර දෙන්නාහුය. එහෙයින් පසුබාමි ස්වාමීනි’යි හෙතෙම කීවේය. ‘ආළවක, මා සමඟ යන්නාවූ ඔබට බියක් නැත. නිසැකව එවයි වදාරා නුවරට නුදුරු තන්හි වනලැහැබක සිටිසේක. ආළවක රජතෙමෙද නුවරුන් ගෙන ශාස්තෘන්වහන්සේට පෙරගමන් ගියේය. ශාස්තෘන්වහන්සේ පැමිණි පිරිසට දහම් දෙසූ සේක. දෙසුව අවසන්හි අසූසාර දහසක් ප්‍රාණීහු අමාපැන් පීහ. ඔවුහු ආළවකට එහිම විසීමට තැනක් තනා අවුරුදුපතා බලිකර්‍ම පිහිටූහ. ආළවකතෙමේත් ධාර්මික ආරක්‍ෂාවෙන් සංග්‍රහ කළේය. ඒ ආළවක කුමරුවාත් වැඩිවියට පැමිණියේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසා තුන්මගපල අවබෝධ කළේය. හෙතෙම හැම කල්හි ආර්‍ය්‍යශ්‍රාවක උපාසකවරුන් පන්සියයක් විසින් පිරිවරණ ලද්දේ හැසිරෙයි. ඉක්බිති එක් දිනක් ඒ උපාකවරුන් සමඟ ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් වැඳ එකත්පසෙක හුන්නේය. ශාස්තෘන්වහන්සේ මනාව හික්මුණු පිරිස දැක ‘ආළවක, ඔබගේ පිරිස මහත්ය. කෙසේ ඒ පිරිසට සංග්‍රහ කරහිදැයි ඇසූසේක. ‘භාග්‍යවතුන්වහන්ස, දීමෙන් සතුටුවන්නහු දීමෙන් සංග්‍රහ කරමි. ප්‍රියවචනයෙන් සතුටුවන්නහු ප්‍රියවචනයෙන් සංග්‍රය කරමි. කළයුතුදේ ඇතිකල්හි ඒවා අවසන්කිරීමෙන් සතුටුවන්නහු උපන්කිස නිම කිරීමෙන් සංග්‍රහ කරමි. සමානස්ථානයේ සතුටුවන්නහු සමානාත්මතාවෙන් සංග්‍රහ කරමි’යි කීවේය. මෙසේ මේ කථාවස්තුව නිමියේයි. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ පසුකාලයෙහි දෙව්රම වැඩහිඳ උවසුවන් තනතුරුවල තබන සේක් හත්‍ථක ආළවක සතරසංග්‍රහවස්තුවෙන් පිරිසට සංග්‍රහකරන්නවුන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2PTWucz
==චිත්තගහපති==

තෙවැනනෙහි ධම්මකථිකානං යන්නෙන් ධර්‍මකථික උපාසකයන් අතුරින් චිත්තගෘහපති තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ පසුකලෙක දහම් අසමින් එක් උවසුවකු ධර්‍මකථිකයන් අතුරින් අගතන්හි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතර සැරිසරා කාශ්‍යප බුදුන් කල මුවවැද්දකුගේ නිවසෙහි උපන්නේ පසුකලෙක වනයෙහි වැඩකිරීමට හැකි කල්හි එක්දිනක් වැසිවසින විට මුවන් මැරීම සඳහා අවි රැගෙන වනයට ගොස් මුවන් සොයාබලන්නේ නොක (ඉබේ සැදුණු) පවර්‍ත ගුහාවක හිසපටන් පාංශුකූලය පොරවා ගල්තලයක හුන්නාවූ එක් භික්‍ෂුවක දැක එක් ආර්‍ය්‍යයෙක් මහණදම් කරමින් හුන්නේ වනැයි හැඟීම් උපදවා වේගයෙන් ගෙර ගොස් එක් උදුනක ඊයේ ගෙනා මස්ද එක් උදුනක බත්ද පිසවා පිඬු හැසිරෙන භික්ෂූන් දැක උන්වහන්සේලාගේ පාත්‍රය ගෙන පනවනලද අසුන්හි හිඳුවා භික්‍ෂාව පිළිගන්වා ආර්‍ය්‍යයන් වළඳවවුයයි අනිකකුට අණවා ඒ බත බඳුනක බහා පත්වලින් මුව බැද බඳුන රැගෙන යන්නේ අතරමඟ නොයෙක් ආකාර මල් නෙලා පාත්‍ර ගොටුවෙන් ගෙන තෙරුන් හුන්තැනට ගොස් බඳුන බහා එක්තැනක තබා ‘ස්වාමීනි මට සංග්‍රහ කරනු මැනවැ’යි කියා තෙරුන්ගේ පාත්‍රය රැගෙන බත් පුරවා තෙරුන්ගේ අතෙහි පිහිටුවා ඒ මුසුවූ මල්වලින් තෙරුන් පුදා එකත්පසෙක සිටියේ යම්සේ මේ රසවත් පිණ්ඩපාතය සමඟ මල්පූජාව සිත සතුටු කරවූයේද එසේ මා උපනුපන් තන්හි පඬුරු දහස් ගණන්ද පැමිණේවා! පස් පැහැති මල් වැසිද වසීවා’යි පැවසීය. තෙරුන්වහන්සේ ඔහුගේ උපනිශ්‍රය දැක දෙතිස් ආකාර කමටහන කියා දුන්නේය. හෙතෙම දිවි ඇති‍ තෙක් කුසල් කොට දෙව්ලොව උපන්නේය. උපන් තැන දණක් පමණවූ සීමාවෙන් දිවමල් වැස්සක් වැස්සේය. තෙමේත් අන් දේවතාවුන්ට වඩා වැඩිමනත් රූපයෙන් යුක්ත වූයේය. හෙතෙම එක් බුද්ධාන්තරයක් දෙව්මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි මගධ රට මච්ඡිකාසණ්ඩනගරයෙහි සිටුකුලයෙහි උපන්නේය. ඔහු උපන් කල්හිම සියලු නුවරෙහි දණක් පමණවූ සීමාවෙන් පස්වණක්මල් වැසි වැස්සේය. ඉක්බිති ඔහුගේ මව්පියෝ අපගේ පුතා තමන්ම තමන්ගේ නම රැගෙන ආයේසි ඔහුගේ උපන් දිනයෙහිම සියලු නුවර පස් පැහැති මලින් විසිතුරු වූයේ චිත්තකුමාරයි නම් කළාහුය. හෙතෙම මෑතකාලයෙහි ගිහිගෙහි පිහිටියේ පියාගේ ඇවෑමෙන් එනුවරෙහි සිටු තනතුරට පැමි‍ණියෙයි. එසමයෙහි පස්වග තෙරුන්ට අයත් වන මහානාම තෙරුන්වහන්සේ මච්ඡිකාසණ්ඩ නුවරට පැමිණියහ. චිත්තගහපති තෙමේ උන්වහන්සේගේ ඉරියව්වෙහි පැහැද පාත්‍රය රැගෙන ගෙට පමුණුවා පිණ්ඩපාතයෙන් ගරුසරු කොට කරනලද බත්කිස ඇති තෙරුන්වහන්සේ අම්බාටකාරාම නම්වූ උයනට පමුණුවා එහි උන්වහන්සේට විසීමට තැනක් කරවා නිබඳව තමන්ගේ ගෙහි පිණ්ඩපාතය ගෙන විසීම සඳහා පිළිණ ගත්තේය. තෙරුන්වහන්සේද ඔහුගේ හේතුසම්පත් දැක දහම්දෙසන්නාහු ආයතන සයට බෙදා දැක්වීමම දෙසූහ. චිත්තගාහපති තෙමේ පෙර භවයෙහි යටපත් කළ සංස්කාර ඇති බැවින් නොබෝ දිනකින්ම අනාගාමි එලයට පැමිණියේය. ඉක්බිති එක්දිනක් ඉසිදත්ත තෙරුන්වහන්සේ එහි ගොස් වාසය කරන්නාහු සිටු නිවසෙහි බත්කිස අවසන්හි පැන විසඳීමට නොහැකිවන්නාවූ ආයුෂ්මත් තෙරුන්වහන්සේ විසින් ඇරයුම් කරන ලද්දාහු උපාසක තැනගේ පැන විසඳා ඔහු විසින් පෙර ගිහියහළු බව දත්කල්හි දැන් මෙහි නොවිසිය යුතුයයි කැමති පරිද්දෙන් පිටත් වී ගියහ. යළි එක් දිනක් සිටු ගෘහපති තෙමේ සෘද්ධිප්‍රාති‍හාර්‍ය්‍ය කිරීම පිණිස මහානාම තෙරුන්ගෙන් ඉල්ලීය. උන්වහන්සේත් ඔහුට තෙජොසමාපත්ති ප්‍රාතිහාර්‍ය්‍යය දක්වා දැන් මෙහි විසීම නොයුතුයයි රිසිලෙසින් පිටත්ව ගියහ. ඉක්බිති එක් දිනක් අගසව්දෙනම භික්‍ෂූන්දහසක් පිරිවර කොට ඇත්තාහු අම්බාටකාරාමයට වැඩියහ. සිටුගෘහපතිතෙමේ උන්වහන්සේලාට මහත්සත්කාර පිළියෙළ කළේය. සුධම්ම තෙරුන්වහන්සේ එය නොයිවසන්නාහු සිටාණන්ට තලගුලිවාදයෙන් නින්දාකොට ඔහු විසින් පිටමං කරනලද්දාහු ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් අවවාද ලැබ උන්වහන්සේගේ අවවාදයෙහි පිහිටියාහු චිත්තගෘහපති ක්‍ෂමා කරවා ඒ අම්බාටකාරාමයෙහිම වසමින් විදසුන් වඩා රහත්බවට පැමිණියහ. එකල්හි උපාසක තෙමේ, ‘මම භාග්‍යවතුන්වහන්සේ නොදැකම බොහෝ කලක් ගෙවීමි, ‍භාග්‍යවතුන්වහන්සේ සමීපයට යන්නාහු විසින් හිස් අතින් යාම නොයුතුය’යි සිතා ගැල් පන්සියයකින් තෙල් මීපැණි ආදිය රැගෙන යමෙක් භාග්‍යවතුන්වහන්සේ දකිනු කැමැත්තෝද ඔවුහු මා සමඟ එත්වායි නුවරෙහි බෙර හසුරුවා මිනිසුන් දෙදෙහසක් විසින් පිරිවරන ලද්දේ භාග්‍යවතුන්වහන්සේ දැක්මට පිටත්විය. තිස්යොදුන් මගෙහි දෙවියෝ පඬුරු එළවූවාහුය. හෙතෙම ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් පසඟ පිහිටුවීමෙන් ශාස්තෘන්වහන්සේට වැන්දේය. එකෙණෙහි අහසින් පස්වණක් මල්වලින් මල් වැස්සක් වැස්සේය. ශාස්තෘන්වහන්සේ ඔහුට අධ්‍යාසය වශයෙන් සළායතනවිභතතියම දෙසූසේක. අඩමසක් පමණ භාග්‍යවතුන්වහන්සේට දෙන්නාවූද ඔහුගේ සියනිවෙසින් ගෙනා සහලා තෙල් මීපැණි ආදිය නිමා නොවීය. රජගහනුවරවැසියන් විසින් එවනලද පඬුරුම ප්‍රමාණවත් විය. හෙතෙම භාග්‍යවතුන්වහන්සේ දැක තම නුවරට යන්නේ ගැල්වලින් ගෙනා සියල්ල බික්සඟනට දුන්නේය. ගල් හිස්වූ කෙණෙහිම දෙවියෝ සත්රුවන් පිරවූහ. මේ චිත්ත ශාගපති තෙමේ ඒකාන්තයෙන්ම බොහෝ සත්කාර සම්මානයට පාත්‍රවූයේයයි මහජනයා අතර කථාවක් හටගත්තේය. එය අසා භාග්‍යවතුන්වහන්සේ ධර්‍මපදයෙහි මේ ගාථාව දෙසූසේක.
සැදැහැති සීලයෙන් යුත් යසඉසුරින් ආඩ්‍යවූ යමෙක් යම් යම් පෙදෙසක් ඇසුරුකරයිද හෙතෙම ඒ ඒ තන්හි පුදනුලද්දේ වෙයි’
හෙතෙම එතැන් පටන් ආයර්‍යශ්‍රාවකයන් මෙන්ම උපාසකයන් පන්සියයක් විසින් පිරිවරන ලද්දේ හැසිරෙයි. ඉක්බිති ශාස්තෘන්වහන්සේ පසුකල්හි උවසුවන් පිළිවෙළින් තනතුරුවල තබනසේක් චිත්තසංයුත්තය අත්‍ථෙ‍ර්‍ාත්පත්තිකොට ඔහු ධර්‍මකථික උපාසකවරුන් අතුරින් අගතැන්හි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2DfFOWg
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටුහු විසින් කරවනලද ජෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති.

එසමයෙහි කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අන්ධ වනයෙහි වාසය කළහ. එකල එක්තරා බ්‍රහ්මරාජයෙක් රාත්‍රියේ පළමුවෙනි යාමය ඉක්මගිය කල්හි, විසිතුරු වර්ණයෙන් සියලු අන්ධවනය එකාලොක කොට බබුලුවා කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ ඒ බ්‍රහ්මරාජතෙම කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය.

“මහණ, මහණ, මේ තුඹස රාත්‍රියෙහි දුම්දමයි, දවල් කාලයෙහි ඇවිලෙයි. බ්‍රාහ්මණයෙක් මෙසේ කීයේය ‘සුමෙධය, ආයුධයක් ගෙන සාරව’ (යි කීයේය.) ආයුධයක් ගෙන සාරා බලන්නාවූ සුමේධ තෙම දොර අගුලක් දුටුවේය. (දැක) ‘ස්වාමීනි, දොර අගුලෙකැ’යි කීයේය. බ්‍රාහ්මණ තෙම ‘දොර අගුල ඔසවා දමව, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන සාරවන්නාවූ සුමෙධතෙම (පිම්බෙන වර්ගයේ) මැඩියෙකු දුටුයේය. ‘වහන්ස, මැඩියෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘මැඩියා ඔසවා දමව, සුමෙධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම දෙමංසන්ධියක් දුටුයේය. (දැක) ‘වහන්ස, දෙමංසන්ධියකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘දෙමංසන්ධිය උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන, සාරන්නාවූ සුමෙධතෙම, අළු පෙරහනක් දුටුයේය. ‘ස්වාමීනි අළු පෙරහනකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘අළු පෙරහන උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධයක් ගෙන සාරන්නාවූ සුමෙධ තෙම ඉදිබුවෙකු දුටුවේය. ‘ස්වාමීනි, ඉදිබුවෙකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘ඉදිබුවා, ගොඩගනුව, සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස් කපන කැත්තක් හා මස් ලොඹුවක් දුටුවේය. ‘ස්වාමීනි, මස් කපන කැත්තක් හා මස් ලොඹුවකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් කපන කැත්ත හා මස්ලොඹුව ගොඩගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස්වැදැල්ලක් දුටුයේය. ‘ස්වාමීනි, මස් වැදැල්ලකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් වැදැල්ල ගොඩ ගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම නාගයෙකු දුටුවේය. ‘ස්වාමීනි, නාගයෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘නාගරාජතෙම සිටීවා. නාගරාජයා නොගටව, නාගරාජයාට නමස්කාර කරව’යි කීයේය.

“මහණ, ඔබ මේ ප්‍රශ්නයන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ විචාරව, ඔබට භාග්‍යවතුන් වහන්සේ යම්සේ ප්‍රකාශ කොට වදාරණසේක්ද එපරිද්දෙන් ඒ ප්‍රශ්න දරාගනුව, මහණ සර්වඥයන් වහන්සේ හැර, සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයන් හැර, මා කෙරෙන් අසා කියන්නවුන් හැර, මේ ප්‍රශ්නයන් විසඳීමෙන් යමෙක් හිත සතුටු කරන්නේද එබඳු පුද්ගලයෙක් දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලොකයෙහිද ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ පිරිස්හිද නොදක්නෙමි’යි කීයේය, මේ වචනය මෙසේ කියා ඒ බ්‍රහ්මරාජ තෙම එතැන්හිම අතුරුදන් වූයේය.

“ඉක්බිත්තෙන් ආයුෂ්මත් කුමාර කාශ්‍යප ස්ථවිරතෙම ඒ රාත්‍රියයේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ කුමාරකාශ්‍යප ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය.

“ස්වාමීනි, ඉකුත් රාත්‍රියෙහි එක්තරා බ්‍රහ්මයෙක් තමන්ගේ ශරීර ආලොකයෙන් මුළු අන්ධවනය එකාලොක කොට බබුලුවා මම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ එක පැත්තක උන්නේය. ස්වාමීනි, එක පැත්තක උන්නාවූ ඒ බ්‍රහ්මයා මටමෙසේ කීවේය.

“මහණ, මහණ, මේ තුඹස රාත්‍රියෙහි දුම් දමයි, දහවල් කාලයෙහි ඇවිලෙයි. බ්‍රාහ්මණයෙක් මෙසේ කීයේය. ‘සුමේධය, ආයුධයක් ගෙන සාරව’යි (කීයේය.) ආයුධයක් ගෙන සාරා බලන්නාවූ සුමේධ තෙම දොර අගුලක් දුටුවේය. (දැක) ‘ස්වාමීනි, දොර අගුලෙකැ”යි කීයේය. බ්‍රාහ්මණ තෙම ‘දොර අගුල ඔසවා දමව, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන සාරවන්නාවූ සුමෙධතෙම මැඩියෙකු දුටුයේය. ‘වහන්ස, මැඩියෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘මැඩියා ඔසවා දමව, සුමෙධය, ආයුධය ගෙන සාරවයි කීයේය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම දෙමංසන්ධියක් දුටුයේය. (දැක) ‘වහන්ස, දෙමංසන්ධියකැයි කීයේය. බ්‍රාහ්මණතෙම ‘දෙමංසන්ධිය උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන, සාරන්නාවූ සුමෙධතෙම, අළු පෙරහනක් දුටුයේය. ‘ස්වාමීනි අළු පෙරහනකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘අළු පෙරහන උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධයක් ගෙන සාරන්නාවූ සුමෙධ තෙම ඉදිබුවෙකු දුටුවේය. ‘ස්වාමීනි, ඉදිබුවෙකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘ඉදිබුවා, ගොඩගනුව, සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස් කපන කැත්තක් හා මස් ලොඹුවක් දුටුවේය. ‘ස්වාමීනි, මස් කපන කැත්තක් හා මස් ලොඹුවකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් කපන කැත්ත හා මස්ලොඹුව ගොඩගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස්වැදැල්ලක් දුටුයේය. ‘ස්වාමීනි, මස් වැදැල්ලකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් වැදැල්ල ගොඩගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම නාගයෙකු දුටුවේය. ‘ස්වාමීනි, නාගයෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘නාගරාජතෙම සිටීවා. නාගරාජයා නොගටව, නාගරාජයාට නමස්කාර කරව’යි කීයේය.

“ස්වාමීනි, තුඹස නම් කුමක්ද? රාත්‍රියෙහි දුම් දැමීම නම් කුමක්ද? දහවල් ඇවිලීම නම් කුමක්ද? බ්‍රාහ්මණ නම් කවරෙක්ද? සුමෙධ නම් කවරෙක්ද? ආයුධය නම් කුමක්ද? සෑරීම නම් කුමක්ද? දොර අගුල නම් කුමක්ද? මැඩියානම් කුමක්ද? දෙමංසන්ධිය නම් කවරක්ද? අළුපෙරහන නම් කුමක්ද? ඉදිබුවා නම් කුමක්ද? මස් කපන කැත්ත හා මස් ලොඹුව නම් කුමක්ද? මස්වැදැල්ල නම් කුමක්ද? නාගරාජයා නම් කවරෙක්ද?”

මහණ, තුඹස යනු මවු පිය දෙදෙනා නිසා පහළවූ ආහාර පානයෙන් වැඩුණාවූ, අනිත්‍යවූ, සුවඳ ගැල්වීම් පිරිමැදීම් ආදිය කළ යුතුවූ, කැඩී බිඳී යන සුලුවූ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරයට නමකි.

“මහණ, දහවල් කළයුතු ගොවිතැන් වෙළඳාම් ආදී කටයුතු සම්බන්ධයෙන් රාත්‍රි කාලයෙහි නැවත නැවත කල්පනා කරයි. සලකා බලයි. මෙය රාත්‍රියෙහි දුම් දැමීමය.

“මහණ, යමක් රාත්‍රියෙහි කල්පනාකර සලකා බලා, දහවල් ගොවිතැන් වෙළඳාම් ආදියක් කයින් හෝ වචනයෙන් හෝ කරයිද මේ දහවල් ඇවිලීමය.

“මහණ, බ්‍රාහ්මණ යනු අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්හට නමකි. මහණ, සුමේධ යනු ශෛක්ෂ පුද්ගලයාට (අර්හත් ඵලයට පහළ මාර්ගඵල ලැබූ පුද්ගලයා) නමෙකි.

“මහණ, ආයුධය යනු ආර්ය පුද්ගලයන්ගේ ප්‍රඥාවට නමෙකි. මහණ, සෑරීම යනු වීර්යයට නමකි. මහණ දොර අගුල යනු අවිද්‍යාවට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා අවිද්‍යාව නමැති දොර අගුල ගළවා දමව යන අර්ථයි.

“මහණ, (පිම්බෙන වර්ගයේ) මැඩියා යනු ක්‍රොධයට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා බලවත් ක්‍රොධය නමැති මැඩියා උගුලා දමව යන අර්ථයි.

“මහණ දෙමංසන්ධිය යනු විචිකිච්ඡාවට හෙවත් සැකයට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා විචිකිච්ඡාව නමැති දෙමංසන්ධිය දුරුකරව යන අර්ථයි.

“මහණ, අළු පෙරහන යනු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ පහට නමකි ආයුධය ගෙන සාරා පඤ්චනීවරණ නමැති අළු පෙරහන පහකරව යන අර්ථයි.

“මහණ, ඉදිබුවා යනු රූප වෙදනා, පඤ්ඤා, සංඛාර විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පහට නමකි. සුමෙධය, ආයුධ ගෙන සාරා පඤ්චස්කන්ධය නමැති ඉදිබුවා උදුරා දැමීම යන අර්ථයි.

“මහණ මස් කපන කැත්ත හා මස් ලොඹුව යනු පංච කාමයට නමකි. (කවර පංචකාමයටද යත්) ඇසින් රසවින්ද යුතුවූ ප්‍රියවූ, කාන්තවූ, මනාපවූ, කාමසහගතවූ, ඇල්ම ඇතිකරන්නාවූ රූපයෝය. කණින් රස වින්ද යුතුවූ ප්‍රියවූ, කාන්තවූ, මනාපවූ, කාමසහගතවූ ඇල්ම ඇති කරන්නාවූ ශබ්දයෝය. නාසයෙන් රස විඳිය යුතුවූ ප්‍රියවූ, කාන්තවූ මනාපවූ කාමසහගතවූ ගන්ධයෝය, දිවෙන් රස වින්ද යුතුවූ ප්‍රියවූ, කාන්තවූ මනාපවූ කාම සහගතවූ ඇල්ම ඇතිකරන්නාවූ රසයෝය. කයින් රස විඳිය යුතුවූ ප්‍රියවූ, කාන්තවූ, මනාපවූ කාම සහගතවූ, ඇල්ම ඇතිකරන්නාවූ ස්පර්ශයෝය. සුමෙධය, ආයුධය ගෙන සාරා කැත්ත හා මස් ලොඹුව වැනි පඤ්චකාම ගුණ උදුරා දමව යන අදහසයි.

මහණ, මස් වැදැල්ල යනු නන්දිරාගයට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා මස්වැදැල්ල නම්වූ නන්දිරාගය දුරු කරව යන අර්ථයි.

“මහණ නාගරාජ යනු කෙලෙස් නැතිකළ රහත් භික්ෂුහට නමෙකි. නාගරාජ තෙම සිටීවා, නාගරාජයාට නොගසව, නාගරාජයාහට නමස්කාර කරවයි යන්නෙහි මේ තේරුමය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ කුමාර කාශ්‍යප ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ මේ වචනය සතුටින් පිළිගත්තේය.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2QzFMwi
==තපස්ස භල්ලික==

උපාසක පාළි‍යෙහි පළමුවැන්නෙහි පඨමං සරණං ගච්ඡන්තානං යන්නෙන් සියල්ලන්ට පළමුව සරණයන්නවුන් අතුරින් තපස්ස ද භල්ලික ද යන මේ වෙළෙඳු දෙදෙන අග්‍රයහයි දැක්වෙයි. මොවුහු වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන මෑතකාලයෙහි භාග්‍යවතුන්වහන්සේගේ ධර්‍මදේශනය අසන්නාහු උපාසකවරුන් දෙදෙනෙකු පළමුව සරණයන්නවුන් අතුරින් අගතන්හි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාහුය. ඔවුහු කල්පලක්‍ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා අපගේ බෝසතුන් සර්‍වඥතාඥානයට පත්වීමට පෙරාතුවම අසිතඤ්ජනනගරයෙහි කෙළෙමියකුගේ ගෙහි උපන්නාහුය. දෙටු සොහොයුරා තපස්ස නම් වූයේය. කනිටු සොහොයුරා භල්ලික නම් විය. ඔවුහු මෑතකාලයෙහි ගිහි ගෙහි වසන්නාහු කලින් කලට පන්සියයක් ගැල් යොදවා වෙළඳාම් කරමින් හැසිරෙති. එකල්හි අපගේ බෝසත්තෙමේ සර්‍වඥතාඥානයට පැමිණ සත්සතියක් බෝමැඩ වැස අටවැනි සතියෙහි රාජයතන මූලයෙහි හුන්නේය. එකල්හි ඒ වෙළෙන්දෝ පන්සියයක් පමණවූ ගැල්වලින් එතැනට එළැඹියාහු වෙත්. ඔවුන්ගේ අනතුරු අත්බවෙහි මව ඒ පෙදෙසෙහි දේවතාවාවී උපන්නාය. ඕතොමෝ (මෙසේ සිතුවාය: ‘දැන් බුදුරජාණන්වහන්සේට ආහාරයක් ලැබීමට වටීයි. මින්මතු නිරාහාරයෙන් යැපීමට නොහැකිය. මේ මගේ පුත්තු දෙදෙනාද මෙතැනින් යති. මොවුන්ලවා අද බුදුරදුන්ට පිණ්ඩපාතයක් දෙවීමට වටීයි’ මෙසේ සිතා පන්සියයක් ගැල්වල යෙදූ ගොනුන්ගේ ගමන් වැළැක්ම කළාය. ඔවුහු මේ නම් කුමක්දැයි නොයෙක් ආකාර නිමිති බලත් ඉක්බිති ඔවුන් වෙහෙසෙන බව දැන එක් පුරුෂයකුගේ සිරුරෙහි පිවිස ‘කුමක් හෙයින් වෙහෙසෙවුද? නුඹලාට යක්‍ෂාවේශයක් හෝ භූතාවෙශයක් හෝ නාගාවෙශයක් හෝ නැත. මම වනාහි නුඹලාගේ ඉකුත් අත්බවෙහි මවය. මෙතැන්හි භූම්‍යස්ථාදේවතාවාවී උපන්නා වෙමි. මේ භාග්‍යවතුන්වහන්සේ රාජායතන මූලයෙහි වැඩහුන්සේක. උන්වහන්සේට පළමු පිණ්ඩපාතය දෙවුයි කීවාය. ඔවුහු ඇයගේ කථාව අසා සතුටු සිත් ඇත්තෝව අත්සුණුද මීපිඬුද රන්තලියකින් ගෙන ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් ‘ස්වාමිනි, මේ භොජනය පිළිගනුමැනවැයි කීවාහුය. ශාස්තෘන්වහන්සේ අතීත බුදුවරුන්ගේ පුරුද්ද බැලූ සේක. ඉක්බිති උන්වහන්සේට සතර (වරම්) මහරජවරු සෙල්මුවා පාත්‍රයක් පිළිගැන්වූහ. ශාසතෘන්වහන්සේ ඔවුන්ට මහත්ඵල වේවායි පාත්‍ර සතරම එකම පාත්‍රයක් වේවායි අදිටන් කළසේක. එකෙණෙහි ඒ වෙළෙන්දෝ තථාගතයන්වහන්සේගේ පාත්‍රයෙහි අත්සුණුද මීපිඬුද පිහිටුවා වැළඳූ කල්හි දිය පිළිගන්වා බත්කිස අවසන්හි ශාස්තෘන්වහන්සේට වැඳ එකත්පසෙක හුන්නාහුය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඔවුන්ට දහම් දෙසූසේක. දෙසුම අවසන්හි දෙදෙනාම දෙවවාචික සරණයෙහි පිහිටා ශාස්තෘන්වහන්සේට වැඳ තමන්ගේ නුවරට යනු කැමැත්තාහු ‘ස්වාමීනි, අපට ආවතේව සඳහා පිදිය යුතු දෙයක් දෙනු මැනවැ’යි කීවාහුය. ශාස්තෘන්වහන්සේ දකුණු අතින් හිස පිරිමැඳ දෙදෙනාටම කේසධාතුමිට අටක් දුන්සේක. ඒ දෙදෙනාම ඒ ධාතු රන්සුමුගක තබා තමන්ගේ නුවරට පමුණුවා අසිතඤජන නුවර දොරටුවෙහි ජීව කේශධාතුන්ගෙන් චෛත්‍යයක් පිහිටෙව්වාහුය. පොහෝදිනයක්, පාසා චෛත්‍යයෙන් නිල් රැස් විහිදෙයි. මෙසේ මේ කථාවස්තුව නිමියේයි. ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ජේතවනයෙහි වැඩහිඳ පිළිවෙළින් උපාසකවරුන් තනතුරුවල තබනසේක් මේ දෙදෙනා පළමුව සරණ යන්නවුන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2QvWtIS
==සිගාලකමතා තෙරණිය==

තෙළෙස්වැන්නෙහි සද්ධාධිමුත්තානං යන්නෙන් ශ්‍රද්ධාලක්‍ෂණයෙහි මනාව පිවිසි භික්‍ෂුණීන් අතුරින් සිගාලකමාතාව අග්‍රයයි දැක්වෙයි. අගුයයි දැක්වෙයි. මෝතොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුණියක ශ්‍රද්ධාධිමුක්තකවූ භික්‍ෂුණීන් අතුරින් අග තන්හි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඒ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි රජගහනුවර සිටුකුලයක උපන්නා සමානජාතික කුලයකට ගොස් එක් පුතෙකු වැදුවාය. ඔහුට සිගාලක කුමාරයයි නම් කළාහුය. ඕතොමෝද එකරුණින්ම සිගාලකමාතා නම් වූවාය. ඕතොමෝ එක් දිනක් ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසා ලදශ්‍රද්ධාව ඇත්තී භාග්‍යවතුන්වහන්සේ සමීපයෙහි පැවිදිවූවාය. පැවිදිවූ කල පටන් සද්ධින්‍ද්‍රිය අධිමාත්‍රව (ශද්ධා නැමති ඉන්‍ද්‍රිය ඉතා අධික ලෙස) ලැබුවාය. ඕතොමේ දහම් ඇසීම සඳහා විහාරයට ගොස් භාග්‍යවතුන්වහන්සේගේ ශරීරනිෂ්පත්තිය බලමින්ම සිටින්නීය. ශාස්තෘන්වහන්සේ ඇයගේ ශ්‍රද්ධාලක්‍ෂණයෙහි දැඩිසේ පිවිසුණුබව දැන යෝග්‍ය දෙයක්කොට පැහැදෙනසුලුවූම දහමක් දෙසනසේක. ඒ තෙරණියද ශ්‍රද්ධා ලක්‍ෂණයම ධුරයකොට රහත්බවට පැමිණියාය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මෑතකාලයෙහි දෙව්රම වැඩ හිඳ භික්‍ෂුණීන් පිළිවෙළින් තනතුරුවල තබනසේක් මෙම තෙරණිය ශ්‍රද්ධාධිමුක්තකවූ භික්‍ෂුණීන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2AVRBax
විහාරාදියෙහි බුදුන් වහන්සේ උදෙසා පූජාකර ඇති ආහාරපානාදියට කුමක් කළ යුතු ද?
තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු උභතෝ සංඝයා ගේ මධ්‍යයෙහි සධාතුක බුද්ධ ප්‍ර‍තිමාවක් තබා ප්‍ර‍තිමා වහන්සේ ඉදිරිපිට පාත්‍ර‍යක් තබා පළමුවෙන් සියල්ල තථාගතයන් වහන්සේට පුදා සංඝයාහට දන් දීම් වශයෙන් පළමුවන සාංඝික දානය දිය හැකි බව දක්වා එහිදී බුදුන් වහන්සේ උදෙසා පිදූ ආහාර පානාදියට කළ යුතු දෙය දක්‍ෂිණා විභංග සූත්‍ර‍ අටුවාවෙහි මෙසේ විස්තර කර තිබේ.

තත්ථ යං සත්ථු දින්නං තං කිං කාතබ්බන්ති? යො සත්ථාරං පටිජග්ගතිවත්ත සම්පන්නො භික්ඛු තස්ස දාතබ්බං. පිතුසන්තකං හි පුත්තස්ස පාපුණාති භික්ඛුසංඝස්ස දාතුම්පි වට්ටති. සප්පි තෙලානි පන ගහෙත්වා දීපා ජාලිතබ්බා. සාටකං ගහෙත්වා පටාකා ආරොපෙතබ්බාති.

“එහි බුදුන් වහන්සේට යමක් පුදන ලද නම් එයට කුමක් කළ යුතුද? යම් වත්තසම්පන්න භික්ෂුවක් බුදුන් වහන්සේට උපස්ථාන කෙරේ නම් ඒ භික්ෂුවට දිය යුතු ය. පියාට අයිති දෙය පුත්‍ර‍යාට පැමිණෙන බැවින් භික්ෂු සංඝයාහට දෙන්නට ද වටනේ ය. තෙල් හා ගිතෙල් ගෙන පහන් දැල්විය යුතු ය. වස්ත්‍ර‍ ගෙන කොඩි එසවිය යුතුය” යනු එහි තේරුම ය.

විහාරාදියට ගෙන ගොස් පුදා ඇති ආහාර පානාදිය ගැන පිළිපැදිය යුතු සැටි ද මේ අටුවා පාඨය අනුව කිය යුතු ය. විහාරයෙහි වත් කරන භික්ෂුවක් විසින් ඒවා ගත යුතු ය. නිබඳ වත් කරන භික්ෂුවක් එහි නැති නම් පැමිණි භික්ෂුවක් විසින් වත් කොට ඒවා ගත යුතු ය. වත් කොට ගැනීමට කල් මඳ නම් ගෙන පසුව වත් කළ යුතු ය. වත් කරන අයට ඒවා වුවමනා නැති නම් පියා සතු දෙය පුතුන්ට හිමි බව සලකා කැමති භික්ෂුවක් විසින් ඒවා ගත යුතු ය. ගන්නා භික්ෂුවක් නැති කල්හි වත් කරන ගිහියකුට වුව ද ගැනීමෙන් වරදක් නො විය හැකි ය.

පූජාසන පවිත්‍ර‍ කරනු පිණිස පිදූ ආහාරපාන ඒ තැන්වලින් ඉවත් කළ යුතු ම ය. අහක දැමිය යුතු වන ඒ ආහාර පානයන් වත් කරන්නවුන් නො ගනිත් නම් කවරකු විසින් වුව ද ගැනීමෙන් පාපයක් නො විය හැකි ය. ඉවත ලද බුද්ධ පූජාව අනුභව කරන දුගී මගී යාචකාදීන්ට එයින් පාපයක් නො වේ. විහාරයෙහි චෛත්‍යයෙහි බෝධියෙහි ප්‍රයෝජනයට යෙදිය හැකි යමක් වේ නම්, ඒ සඳහා ම යෙදිය යුතු ය. වත් කරන්නවුන් විසින් වුව ද නො ගත යුතු ය. බුද්ධ සන්තක වස්තුව සොරකම් කිරීම ඉමහත් පාපයෙකි.

විහාරාදියෙහි වත් කරන්නවුන්ට බුදුන් වහන්සේ උදෙසා පුදන ආහාර පාන ගැනීමෙන් වරදක් නැතත් ඒවා නො ගෙන වත් කිරීම ම ප්‍ර‍ශංසනීය ය. බුදුනට ලැබෙන ප්‍ර‍ත්‍යය භුක්ති විඳීමෙන් වත් කිරීමෙහි එතරම් වටිනාකමක් නැත. ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසිපස් වසක් ම තථාගතයන් වහන්සේට උපස්ථාන කළහ. උන් වහන්සේ බුදුනට ලැබෙන කිසිම ආමිෂයක් නො පිළිගත්හ. උන්වහන්සේ උපස්ථායක තනතුර පිළිගත්තේ ද බුදුන් වහන්සේට ලැබෙන ප්‍ර‍ණීත චීවර පිණ්ඩපාත නො පිළිගැනීමේ වරය බුදුන් වහන්සේගෙන් ලබා ගෙන ම ය. විහාරාදියෙහි වත් කරන ඒවා රැක බලාගෙන ඉන්නා භික්ෂූන් වහන්සේලා ආනන්ද ස්ථවිරයන් ගේ චරිතය ආදර්ශයට ගනිත්වා!

බුදුන් වහන්සේ වෙනුවෙන් පුදන ප්‍ර‍ත්‍යය බුද්ධ පුත්‍ර‍යන් වශයෙන් භික්ෂූන්ට හිමි වතුදු “ධම්ම දායාද මේ භික්ඛවෙ, භවථ. මා ආමිස දායාද” යනුවෙන් භික්ෂූන් තථාගතයන් වහන්සේ ගේ ආමිෂයට උරුමක්කාරයන් නො වී ධර්‍මයට උරුමක්කාරයන් වීම යහපත් බව තථාගතයන් වහන්සේ විසින් ධර්‍මදායාද සූත්‍රයෙහි වදාරා ඇති බැවින් ද, ඒ සූත්‍රයෙහි ම තථාගතයන් වහන්සේ දන් වළඳා අවසානයෙහි ඉතිරි වී ඉවත ලන්නට තිබෙන ආහාර වළඳා සාගින්න නිවාගෙන ඒ දිනයෙහි මහණ දම් පුරන භික්ෂුව ය, එය නො වළඳා ඒ දවස නිරාහාරයෙන් වෙසෙන භික්ෂුවය යන දෙනම ගෙන් තථාගතයන් වහන්සේ ගේ භුක්තාවශේෂය නො වළඳා ඉන්නා භික්ෂුව ප්‍ර‍ශංසනීය බව වදාරා ඇති බැවින් ද සියලු භික්ෂූන් විසින් බුදුනට ලැබෙන ප්‍ර‍ත්‍යය භුක්ති විඳීමෙන් වැළකී දිවි පවත්වා ගැනීම ම යහපත් බව කිව යුතු ය.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2PN1xeS
මේ මැටි බඳුන් වගේ කුණප කොටස් වලට සත්ව පුද්ගල හැඟීමක් ආරෝපණය කරගෙන සියලු මනුෂ්‍ය ප්‍රජාවම එකම අවුල් ජාලයක පැටලිලා.
මේ අවුල ලිහන්නේ කායානුපස්සනාව වඩන කෙනෙක් පමණයි…

ඉහලට ගත් හුස්ම පහල වැටෙන්නට පෙර මරණය සිදුවිය හැකිය. අද අදම සිහි නුවන දියුණු කරමු.