Monthly Archives: September 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NngLXe
💛🧡අපේ බුදුහාමුදුරුවෝ 47🧡💛

🍂 දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත් වන පරිදි අලංකාර ආභරණ වර්ෂාවක් සමග මෙලොව එලිය දුටු නාරද බුදුහාමුදුරුවෝ 02 🍂

🌷 නාග දමනය

ඒ නාරද බුදුරජාණන් වහන්සේ ගේ කාලේ මහාදොණ කියලා නුවරක් තිබුණා. සමහරවිට ඒ නුවරට මහාදොණ කියලා නම් කරන්න ඇත්තේ දොණ කියලා මහා නාගරාජයෙක් ඒ නුවර හිටපු නිසා වෙන්න ඇති. ඒ නාග රාජයා මහත් ඍධි ඇති මහානුභාව සම්පන්න නාගරාජයෙක්. ඔහු හිටියේ ඒ ගමෙහි තිබුණු මහා විලක් අසලයි. ඒ නාගරාජයාට මේ ගම්දනවු වැසියන් මහත් භීතියෙන් බිලිපූජා පවත්වමින් ඇප උපස්ථාන කරමින් සිටියා. යම් හෙයකින් ඔහුට පවත්වනු ලබන බිලි පූජාවන්හි යම් අඩුපාඩුවක් වුවහොත් ඔහු තදින් කිපුණා. කිපි නිහඬව සිටියේත් නෑ. ඒ මුළු දේශයේම මහා නියඟයකින් හෝ මහවැස්සකින් හෝ බොරලු වරුසාවකින් විනාශ කරලා දැම්මා. ඒ නිසා මිනිස්සු හිටියේ හැමදාමත් භීතියෙන්. ඒ වගේම නිරන්තරයෙන්ම ඔහුට මිනිසුන්ව බිලිදීමත් සිදු වුණ. ඒ ජනපදවාසීන් විඳින්නා වූ ඒ මහත් චිත්ත පීඩාව භීතිය ඒ මහා කාරුණිකයාණන් වහන්සේ දිවසින් දැක්කා. ඒ වගේම ඔහු දමනයෙන් ඒ නගරවාසීන්ට ලැබෙන්නා වූ මහත් වූ සැනසීම ද ඒ සඳහා ඔවුනට හේතු සම්පත් ද ඇති බව දැක මහත් වූ බික්සඟන පිරිවරා ඒ ස්ථානයට වැඩම කරනු ලැබුවා.

ඒ නාග භවනට වැඩම කරන බුදු රජාණන් වහන්සේ දුටු මිනිසුන් උන් වහන්සේව නවතා ගැනීමට බොහෝ උත්සහ දරමින් මෙසේ කියන්නට වුනා.

“භාග්‍යවතුන් වහන්ස මෙහි ඝෝර විසැති උග්‍ර තේජස් ඇති මහා ඉර්ධි මහානුභාව ඇති නාරජෙක් වාසය කරනවා. ඔහු මිනිස්සුන්ව පෙළනවා. ඔබවහන්සේ එහි නොයා යුතුයි.”

භාග්‍යවතුන් වහන්සේ එය නොඇසුනාක් මෙන් ඉදිරියටම වඩින්නට වුණා. වැඩම කොට ඒ නා රජු හට සත්කාර සඳහා සකසන ලද අතිසුවඳති මල් ඇතිරිල්ලේ වැඩවුන්නා. එවිට සියලු ම ගම්වැසියන් බුදුරජාණන් වහන්සේගේත් නා රජුගේත් යුද්ධය බලන්නෙමු යැයි කියා ඒ අවට රැස් වූනා. එවිට ඒ සර්ප නාගයා එසේ වැඩහුන් බුදුරජාණන් වහන්සේ දැක මකුබව නො ඉවසමින් දෘශ්‍යමාන කයින් පෙනීසිටිමින් දුම් දමන්නට වුණා . ඔහුට ඒ විසඳුමෙන් ගම්මානයක් වුවත් වනසා දැමිය හැකියි . බුදුරජාණන් වහන්සේත් එලෙස ඔහු වෙත දුමාරයක් නිකුත් කළා . ඒ ඔහු විනාශ කිරීමට නොවේ. දමනය කිරීමට. ඒ දුම් දහරාවෙන් නාගරාජයාගේ මුළුමහත් ශරීරයේම ඉමහත් වූ දාහයක් හටගෙන දැවී ගියා . බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැල් වී ගියත් කිසිම අනතුරක් වුණේ නැහැ . ඔහු නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ වෙත විෂ දුමාරය එල්ල කරන්නට වුණා . බුදුරජාණන් වහන්සේත් ඔහු වෙත දුම් ජාලාවන් එල්ල කළා . දසබලයන් වහන්සේගේ ශරීරයෙන් එල්ල වූ දුම් දහරාවෙන් බොහෝ පීඩාවට පත් හෙතෙම තව දුරටත් සිරුරෙන් දුක් ඉවසිය නොහැකිව ඔහු මරන්නෙමි යයි සිතා විෂ ධාරාවන් බුදුරජාණන් වහන්සේ වෙතට එල්ල කරනු ලැබුවා . ඒ වේගයෙන් විඳින විසෙන් මුළු දඹදිවම වුනත් වැනිසිය හැකියි . එහෙත් එබඳු විසකට වත් භාග්‍යවතුන් වහන්සේගේ රෝමයක් හෝ සොලවන්නට නොහැකි වුණා. බොහෝ වෙහෙසට පත් නාගරාජයා අවසානයේ ඇත්තෙන්ම මේ කවුරුන් දැයි විමසන්නට වුණා . දහවලදී සරා හිරුමෙන් ද රාත්‍රියේදී සඳු මෙන් ද පිරිපුන්ව නිරන්තරයෙන්ම බඹයක් පමණ සවණක් රසින් බබළන පහන් වදනින් යුත් ඒ භාග්‍යවතුන් වහන්සේ දැක පුදුමයි මේ මහා ශ්‍රමණයන් මහාර්ධිමත්‍ ය. මම ඔහුගේ බල නොදැන වරදවා ගත්තෙමි. දැන් ඇති එකම විසදුම ඔහු හා සරණ යාමයි කියා භාග්‍යවතුන් වහන්සේගේ සරණ සෙවිය. එවිට නාරද මුනිරාජයානෝ ඒ නා රජු දමනය කොට එහි රැස්වූ රැස්වූ මහජනයාගේ සිත් පැහැද වීම සදහා යමක ප්‍රාතිහාර්ය කළ සේක. එදින නව කෙළක් ප්‍රාණීහු අරහත්වයේ පිහිටියා. එය දෙවන මහා ධර්මාවබෝධය ද වුණා .

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
10-08-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/30ecmMl
💛🧡අපේ බුදුහාමුදුරුවෝ 46🧡💛

🍂 දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත් වන පරිදි අලංකාර ආභරණ වර්ෂාවක් සමග මෙලොව එලිය දුටු නාරද බුදුහාමුදුරුවෝ 01 🍂

🌷 නාරද බෝසතාණන් වහන්සේ ලොව පහල වීම.

පදුම සර්වඥයන් වහන්සේ පිරිනිවි කල උන් වහන්සේගේ සසුනද අතුරුදහන් වී ලක්ෂයක ආයුෂ ඇති මිනිසුන් අනුක්‍රමයෙන් අවුරුදු දහය දක්වා පිරිහෙන්නට වුණා. නැවත ආයුෂ ක්‍රම ක්‍රමයෙන් වැඩීමෙන් ආයුෂ අසංඛය දක්වා පැමිණ නැවතත් අවුරුදු අනූ දහසක් දක්වා පිරිහුණා. එකල දසබලදාරි ත්‍රිවිද්‍යා ඇති චතුර්වෛශාරද්‍යය විශාරද විමුක්ති සාර දෙන්නා වූ නාරද නම් නරසත්වෝත්තම ශාස්තෘන් වහන්සේ ලොව පහළ වුණා. උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා තුසිත භවනෙහි ඉපිද එතනින් චුත ව ධඤ්ඤවතී නුවර ස්වකීය වීර්යයෙන් දිනන ලද වාසුදේවයන් බඳු සුදේව නම් රාජ කුලයෙහි අග මෙහෙසිය වූ නිරූපම අනෝම දේවියගේ කුසේ පිළිසිද ගත්තා.

🌷 නම් තැබීම සහ අලංකාර ආභරණ අහසින් පතිතවීම

උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහිදීද දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදිම දෙතිස් පෙළහර ඇතිවුනා. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් ධනඤ්ජය උයනෙහි මව් කුසින් බිහි වුණා . උත්පත්තියෙන් දින කිහිපයකට පසු නම් තබන දිනයද පැමිණුනා. එදා විශේෂ සිදුවීමක් වුණා. එදා දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත් වන පරිදි ඉතා අලංකාර ආභරණ අහසින් සහ කල්පරුක්ශාදියෙන් පතිත වන්නට වුණා . එනිසාම උන්වහන්සේට මිනිසුන්ට සුදුසු ආභරණ දුන්නේ යයි කියා නාරද යනුවෙන් නම් තැබුවා. උන්වහන්සේ නව දහසක් අවුරුදු ගිහිගෙයි වාසය කළා. විජිත විජිතාවි විජිතාභිරාම නම් ඉමහත් වූ කම්සැපයෙන් අගතැන්පත් තුන් සෘතුවට යෝග්‍ය මහා ප්‍රාසාද තුනක් වුණා . නාරද කුමාරයාහට කුල සීල ආචාර රූප සම්පන්න මනෝකූල වූ විජිත සේනා නම් අතිශයින් රූමත් පින්වත් කැත් කුමරිය අගමෙහෙසිය වුණා .ඒ කුමරිය ප්‍රධාන විසිදහසකට අධික ස්ත්‍රීන් උන් වහන්සේ වෙනුවෙන් සේවයේ යොදවා සිටයේ ඔහුව ගිහිගෙයිම රඳවා ගැනීමට.

🌷 විවිධ වර්ණයෙන් සැරසී ලක්ෂසංඛ්‍යාත පිරිවර සමග පාගමනින්ම ගිහිගෙයින් නික්මීම.

ඒ විජිතසේනා දේවියට සකල ලෝකනදකර නන්‍දුත්තර කුමරු උපන් කල්හි සතර පෙර නිමිති දැක සිවුරඟසෙන් පිරිවරා නන්පැහැ වතින් සැරසූ සිරුරු ඇතිව පැලඳගත් මුතුහර මිණිකොඬොල් ඇතිව උතුම් කේයූර මකුට කටකධාරී ව පරම සුගන්ධවත් ගඳමලින් සැරසී පා ගමනින් ම උයනට අභිනික්මන් කොට උයනට පිවිසියා. එහි ගොස් සියලු අබරණ මුදා භාණ්ඩාගාරික අතට දී තමන් ම නිල් මානෙල් පතක් හා සමාන අසිපතින් මෞලිය සහිත කෙස් කපා අහසට දැමූ කල්හි සක්දෙව් රජ එය රන් කරඬුවෙන් පිළිගෙන තව්තිසා භවනට ගෙන ගොස් සිනේරුව මුදුනෙහි තුන් යොදුන් උස සත්රුවන්මුවා සෑයක් කරනු ලැබුවා. මහපුරිස්‍හු දෙවියන් දුන් කසාවත් හැද පැවිදි වූනා. උන්වහන්සේ අනුව දහස්ගණන් දෙනා පැවිදි වූනා. දින හතක් ප්‍රධන් වීර්‍යය කොට නිමවුණා. එදා තවත් එක් වෙසක් පොහෝදිනක්. උන්වහන්සේගේ ආදරණිය බිරිඳ විජිතසේනා කුමරිය සංසාරේ පැතූ තවත් පාරමිතාවක වගේ බුදුවෙන්නට පෙර තමාගේ දෑතින්ම තැනු මිහිරි මි කිරිබත් රැගෙන ඒ උයන වෙත උදෑසනම පැමිණියා. උන්වහන්සේ අගමෙහෙසිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා එම උයන්හි ම දිවා විහරණය කොට සවස් කාලයෙහි සුදස්සන නම් උයන්පල්ලා දුන් අටතණමිට ගෙන තොටිල (මහාසෝණ) රුකමුල වෙත පිය මැන්නා. ඒ රුක්‍ෂය පිළිබන්ධවත් ලස්සන වර්ණනාවක් බුද්ධවංශ අට්ටකතාවේ තියනවා. ඒ මෙලෙසයි.

🌷 රත්තසොණ නම් වෘක්ෂය

රත්තසොණ නම් ඒ වෘක්ෂය අනු රියනක් උසයි . එක සමාන වටයකින් යුතු කදකින් යුක්තය. නොයෙක් ශාකයන් පිරිවරා ගෙන සිටියේ . නිල්වන් පත්‍රයන්ගෙන් පිරිලා. ඒ නිසාම ඒ ගහ යට ඝන සෙවනකින් යුක්තයි. දේවතාධිගෘහිතයි. විහඟ ඝන සේවනයෙන් තොරයි. පොලෝ තලයට තිලකයක් බඳු යි. තැන් රාශියක් කරගන්නාක් මෙන් පරම රමණීය දැකුම්කලුයි. මුතු කුසුමින් සමලංකෘත සකල ශාකයෙන් මිනිසුන් මෙන් ම දෙවියන්ගෙන් නෙත් පැහැර ගත්තා. හරියටම දෙව්ලොව ඇති පරසතු මල් ගස වගේ.

🌷 බුද්ධත්වයට පැමිණීම.

උන්වහන්සේ ඒ උතුම් බෝධියට තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්හත් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන්වහන්සේ සමඟ පැවිදි වූ ලක්‍ෂයක් දෙනා දැක ධනඤ්ජය උයනෙහි ධම්සක් දෙසූහදේශණා කරනු ලැබුවා. . එහිදී කෙළ ලක්‍ෂයකට ධාර්මාවබෝධය වුනා.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය

09-08-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3018fUw
බුදෙධාප්පාදොච දුල්ලභො බුද්ධ ක්‍ෂෙත්‍රය හා අභීණීහාරය
.
ලොව්තුරා බුදුවරයන් වහන්සේ නමකගේ ලෝකයේ පහළවීම අතිශය දුර්ලභ කරුණකි. එසේම බුදුවරයන් වහන්සේලාගේ පහළවීම ලොවට සැපයකි. අනන්ත සසර දුක් විඳින සත්ත්වයා ඉන් මුදාගෙන නිවන් මග සාක්ෂාත් කරගැනීමට මග පාදා දෙනුවස් බුදුවරු ලොව පහළ වෙති. අනවරාග්‍ර සසර සැරිසරමින් බුදුබව සඳහා පාරමී පිරූ මහ බෝධි සත්ත්වයන්ගේ ඒ මහා ප්‍රණිධානය පණිවිඩය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් සිදු කිරීම මෙම ලිපියේ අරමුණයි.

මහා බෝධි සත්ත්වයෝ අනවරාග්‍ර සසර සැරිසරමින් බාහිර නිදානය, අතිදුරේ නිදානය, දූරේ නිදානය, අවිදුරේ නිදානය, සන්තිකේ නිදානයයි. සිව්වැදෑරුම් නිදානයක් සම්පූර්ණ කළහ.

බුදුබව සඳහා ගතවන කාලය ගනිනු ලබන්නේ කල්ප වශයෙනි. බුදුන් වහන්සේ නමක් නූපදිනා කාලය ශුන්‍ය අසංඛ්‍ය නම් වේ. මහා කල්පය, අසංක කල්පය, අන්තඞ කල්පයයි. කල්ප විභාගය දැක්වේ. එක් මහා කල්පයක් අසංඛ කල්ප හතරකි. එනම් සම්වර්තය, සංවර්තස්ථායිය, විචර්ථය, විචරතස්ථයීය යනුවෙනි.

තවද සාර කල්පය මණ්ඩකල්පය, වරකල්පය, සාර මණ්ඩකල්පය, භද්‍ර කල්පයයි කල්පයෝ පස් දෙනෙක් වෙති. එයින් එක් කල්පයක එක්බුදු කෙනෙකුන් වහන්සේ නමක් උපදින සේක් නම් එම කල්පය සෙසු කල්පවලට වඩා සාර ගුණ ජනක වන බැවින් සාර කල්ප නම් වේ. යම් කල්පයක බුදුවරයන් වහන්සේ දෙනමක් පහළ වන්නේ නම් කර්ණාභරණ යුගළක් සේ බබලනා බැවින් පළමු උපන් බුදුරජාණන් වහන්සේ පහළ කළ ගුණය පහදවා දෙවන බුදුන් වහන්සේ උපදින බැවින් මණ්ඩකල්ප නම් වේ.

යම් කල්පයක බුදුවරයන් වහන්සේලා තුන් නමක් පහළවන සේක් නම් පළමුව බුදු වූ බුදුවරුන් දෙවැනිව උපදින බුදුරජුන්ගේ ගුණ ප්‍රකාශ කරන සේක. දෙවැනිව උපන් බුදුරජුන් තුන්වෙනි බුදුරජුන්ගේ ගුණ මහිම වදාරන සේක. එකල සත්ත්වයෝ අතිශය ප්‍රමුදිත වූ සිත් ඇතිව තම තමන් විසින් කරන ප්‍රාර්ථනා නිසා මතු බුදුවන බුදුරජුන් දකිමියි ප්‍රාර්ථනා කරන බැවින් ඒ කල්පය වර කල්ප නම් වේ.

යම් කල්පයක බුදුවරයන් වහන්සේලා සතර නමක් පහළ වන්නේ නම් එය විශිෂ්ඨ හෙයින් සරු බව හා ප්‍රසන්න බව ඇති හෙයින් සාරමණ්ඩ කල්ප නම් වේ. යම් කල්පයක බුදුවරයන් වහන්සේලා පස් නමක් පහළ වන්නේ නම් ඒ කල්පය බොහෝ දෙනාට අභිවෘද්ධි කරණ හෙයින් මහා භද්‍ර කල්ප නම් වේ. එය ඉතා දුර්ලභය. මේ එබඳු කල්පයේ උපදින සත්ත්වයෝ බුදු පසේ බුදු මහරහත් ආය්‍ය¡ ශ්‍රාවක කළ්‍යාණ මිත්‍ර සේවනයෙහි ලබන ලද්දා වූ සැපය බහුල කොට වෙති.

සාර කල්පය, මණ්ඩ කල්පය, වර කල්පය, සාර මණ්ඛකල්පය, භද්‍ර කල්පයයි පස් ආකාර වූ කල්පයන් අතුරෙන් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම , මෛත්‍රිය යන පස් බුදුවරයන් වහන්සේගෙන් සෝභමාන වූ හෙයින් උතුම් වන හෙයින් භද්‍ර වන හෙයින් භද්‍ර කල්පය යනුවෙන් නම් ලද මෙම මහා භද්‍ර කල්පයට පෙර කල්ප අසංඛයක් යන තුරු බුදු කෙනෙකුන් වහන්සේ ලෝකයේ නූපදුන සේක. මෙකල ආය්‍ය¡ පුද්ගලයෝ අනාගාමි ආදී මග ඵල ලබා බඹලොව, දෙව්ලොව ඉපදී සිටියහ.

ත්‍රිහේතුක සත්ත්වයෝ කෙලෙස් දුරු කොට නිවන් දකින්නාහ. දුහේතුක සත්ත්වයෝ සප්ත විධ කාම ස්වර්ගයේ උපදින්නාහ. අහේතුක සත්ත්වයෝ හේතු සම්පත් ලබන්නාහ. අප බුදුරජාණන් වහන්සේ මෙම මහා භද්‍ර කල්පයේ උපන් බැවින් මෙම බුද්ධොත්පාද කාලයේ උපන් අය කොපමණ වාසනාවන්තද, දුර්ලභ කරුණු අතරද අතිශය දුර්ලභ කාරණාවකි.

අප මහා බෝධි සත්ත්වයන් වහන්සේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධාන වශයෙන්, වාග් ප්‍රනිධාණ වශයෙන්, නියත විවරණ වශයෙන් බුදු බව පිණිස පෙරුම් දම් පිරූහ. තම මෑණියන් වහන්සේ සමඟ නැව් නැගී වෙළඳාමේ යන විට නැව අනතුරට පත් වූ කල්හි මහ සයුර මැද තම ජීවිත ආලය හැර දමා මහත් විය්‍ය¡යෙන් මෑණියන් කරපිට හොවා මහ මුහුද පීනා රැකගත් අවස්ථාවේ ඒ මහා වීරයන් වහන්සේගේ චිත්තාන්‍යන්තයට බුදුබව ප්‍රාර්ථනා කරන සේ මහා බ්‍රහ්මයා විසින් සිත් සතන් යොමු කරවීමෙන් බුදුබව පිළිබඳව මනෝ ප්‍රනිධාණය පහළ විය. පුතේ ඔබ බුදු වේවා යන මවගේ මුවින් පිටවීමෙන් මාතෘ සෙනෙහස තුළින් සියළු අභිමතාර්ථ සාධනය වන බව පසක් වෙයි.

බුදෙධාහං බෝධ යිස්සාම්, මුතෙතාහං මෝචයේ පරේ
තිණෙණාහං තාර යිස්සාමි, සංසාරෝඝා මහම්භයා

මෙසේ මහ බෝසතුන් වහන්සේ තමන් බුදුව සසර දුක් විඳින සත්ත්වයාද සසරින් එතෙර කරමි. අධිෂ්ඨාන කොට අනන්ත සසර සැරි සරමින් මහා රාජ්‍ය අඹු දරුවන් ඇස් ඉස් මස් ලේ තම සිරුර පවා දන් දෙමින් පාරමීදම් පිරූහ.

සො සාගරෙ ජලධිකං රුධිරං අදාසි
මෙරුං පරාදිය සමං සමදාසි දානං
මෙරුපප මාන මදිකංච සමෝල සිසං
කේතාරකාදික සමං නයනං අදාසි

මනෝ ප්‍රණිධාන වශයෙන් පාරමී පුරන කල්හී නන්ද නම් අසංඛයේ ලොව පළ වූ පන්දහසක් සර්වඥයන් වහන්සේලා දෙවන සුනන්ද නම් අසංඛයේ නව දහසක්පමණ සර්වඥයන් ද තුන්වන පෘථිවි නම් අසංඛයේ දස දහසක් සර්වඥයන් වහන්සේලා සතර වන මණ්ඩා නම් අසංඛයේ එකොළොස් දහසක් පමණ සර්වඥයන් වහන්සේලා පස්වන ධරනි නම් අසංඛයේ විසිදහසක් පමණ සර්වඥයන් වහන්සේලා සවන සාගර නම් අසංඛයේ තිස් දහසක් පමණ සර්වඥයන් වහන්සේලා හත්වන පුණඩරිත නම් අසංඛයේ හතළිස් දහසක් පමණ සර්වඥයන් වහන්සේලා මෙසේ සත් අසංඛ්‍ය ඇතුලත ලොව පහළ වී වදාළ එක් ලක්ෂ විසිදහසක් පමණ සර්වඥයන් වහන්සේලා හැම දෙනා වහන්සේ දැක බුදු බව පතා මහදන් දී මනෝ ප්‍රණිධානය මස්තකප්‍රාප්ත කළහ.

සොළසා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමිතා ඇති පුරාණ ගෞතම නම් ශාක්‍ය බුදුරජාණන් වහන්සේ සර්ව භද්‍ර නම් අසංඛයේ සාර මණ්ඩ නම් කල්පයේ දඹදිව මධ්‍ය මණ්ඩලයේ සිරිනිවාස නුවර ඉපිද බුදුව දම්සක් පැවතුම් සුතුර දෙසු කල්හි, බුදුරජුන්ගේ ධර්ම චක්‍රයේ තේජසින් දස දහසක් සක්වල එක පැහැර ගිගුම් දුන්හ. එකල අප මහ බෝසතාණෝ සාගර කුමාර නමින් සක්විති රජව දශරාජ ධර්මයෙන් රාජ්‍ය කරන්නාහ.

මෙම බුද්ධ තේජසින් සක්විති රජුගේ චක්‍රරත්නයද වෙවුලා ගියේ ය. රජුද අහසින් බටහ. මාගේ කුසල බලයෙන් පහළ වූ චක්‍රරත්නය කෙසේ සෙලවී ගියේ දැයි කරුණු විමසා බලත් නිමිති දත් බමුණෝ මහරජතුමනි, සක්විති රජුගේ අභාවය ආසන්න වීමෙන් සක්විති රජු මහණවීමෙන් බුදුන් ලෝකයේ පහළ වීමෙන් චක්‍රරත්නය අන්තර්ධාන වන්නේ ය.

ගෞතම නම් ශාක්‍ය බුදු කෙනෙකුන් වහන්සේ ලෝකයේ උපන් සේක. ඒ බුද්ධානුභාව බලයෙන් චක්‍රරත්නයේ බල බිඳින එවිට එම සක්විති රජතුමා බුදුන් ලෝකයේ උපන්නා යන වදන අසත්ම පස්වනක් පී‍්‍රතියෙන් පිනා ගිය ශරීර ඇතිව සාදු සාදු දැන් ඒ බුදුන් කොහි වැඩ සිටිත් දැයි විමසා ධඤඤවතී නුවර මීතාවිත වන නම් උයනට වැඩි බව අසා බොහෝ පූජා භාණ්ඩ ගෙන්වා ගෙන මහ සෙනඟ පිරිවරාගෙන බුදුරජුන් වැඩ සිටි තැනට ගොස්් ඒ මහා බුද්ධශ්‍රීය දැක සිත උපන් පී‍්‍රති වේගයෙන් බුදුරජුන් ප්‍රදක්ෂිනා කොට පසඟ පිහිටුවා වැඳ අවසර ගෙන නුවරට අවුත් දේවතාවුන් ලවා හිමාල වනයෙන් රත් හඳුන් හර ගෙන්වා ප්‍රසාද කූටාගාර සක්මන් මළු ආදිය ලක්ෂය බැගින් මනරම් විහාරයක් කරවා නැවත ඒ බුදුරජුන් කරා ගොස් තමා විසින් කළ විහාරය අනුකම්පා කොට පිළිගන්නා මෙන් අයැද සිටියේ ය.

මහත් පුද පෙළහරින් තම නුවරට බුදුරජුන් වැඩමවා විහාරය පිළිගන්වා නොයෙක් රත්නයෙන් බුදුරජුන්ට පූජාකොට ශ්‍රී පාද මූලය අසල දොහොත් මුදුන් දී ස්වාමිනි බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ ශාක්‍ය වංශයේ ගෞතම නම් බුදුව සූවිසි අසංඛයක් සත්ත්වයන් අමා මහ නිවන් දක්වා ලොවට මහත් අනුග්‍රහයක් සිදුකළ සේකද? එසේම මමත් මතු මේ කුශල බලයෙන් ශාඛ්‍ය රාජ වංශයේ ඉපිද ගෞතම නමින් බුදු බව ලබා සත්ත්වයන් සසර දුකින් එතෙර කරවන්නෙමියි වචනයෙන් බුදුබව ප්‍රාර්ථනා කළහ. එවිට එම බුදුරජුන් මහ රජ බුද්ධ කාරක ධර්ම පුරා බුදු බව ලැබීම මහත් දුෂ්කර කටයුත්තෙකැයි නොයෙක් උපමා ගෙන හැර දක්වා ප්‍රකාශ කළහ.

යම් ලෙසකින් අප්‍රමාණ වීය¸ වඩා අෂ්ඨ ධර්ම සමෝධානයෙන් (එනම් මිනිසත් බව, ලිඬග සම්පත්තිය, රහත් බවට හේතු සම්පත් ඇති බවය, සජීව බුදුන් දැකීමය, මහණ වූ බවය, ධ්‍යානලාභී බවය,බුදුන්ට දිවි පිදූ බවය, බුද්ධකාරක ධර්ම පිරීමේ උත්සාහ විය¸යෙන් යුක්ත බවය) විවරණ ලබා දාන ශීලාදී වූ දශවිධ පාරමි ධර්ම පුරන්නේ නම් මා සේ ලොව්තුරා බුදුවිය හැකි යැයි අනියත විවරණ දුන්හ.

මෙසේ එම බුදුරජුන්ගෙන් අනියත විවරණ ලබා එම දවසේම ලැබෙන බුදු පදවියක් සේ අතිශය සන්තෝෂයට පැමිණි මහ බෝසතුන් චක්‍රවර්ති සම්පත් බුදුරජුන්ට පුදා සසුන්හි පැවිදිව ධ්‍යාන වඩා බඹලොව උපන්හ. මෙසේ සංසාර ගතව ඇවිදින්නා වූ එතුමෝ සර්වභද්‍ර කල්පයේ සිට නවා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුලුල්ලේ ලොව පහළ වූ තුන්ලක්ෂ අසූ හත් දහසක් (387000) බුදුවරයන් වහන්සේලා දැක, බුදු බව පතා වාක් ප්‍රණිධාය සම්පූර්ණ කළහ.

මෙසේ අප මහ බෝසතාණන් වහන්සේ මනෝ ප්‍රණිධායෙන් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් හා වාක් ප්‍රණිධාය පිරීමෙන් නවා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ලෙසින් කල්ප දහසයක් ඇතුළත ලොව පහළ වූ හයලක්ෂ දොළොස් දහසක් (612000) සර්වඥයන් වහන්සේලා දැක පින්පුරා දීපංකර පාද මූලයේදී නියත විවරණ ලබා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ලොව පහළ වූ සුවිසි බුදු කෙනෙකුන් දැක සූවීසි ප්‍රාර්ථනාවක් කොට සූවිසි විවරණ ලබා ගෞතම නමින් මෙයට වසර 2600 කට පෙර ලොවට සෙත සලසමින් සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළහ. එම මහා බුද්ධ මංගල්‍යය ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් සිහිපත් කරමු.
.
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං
(සම්මා සම්බුදු සසුන ලොව බොහෝ කල් පවතීවා)
.
බෝම්බුවල මූලස්ථාන මහා විහාරාධිපති
කළුතර පළාතේ ප්‍රධාන සංඝනායක
හල්වතුරේ අස්සජී නාහිමි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2UUgSuf
💛🧡අපේ බුදුහාමුදුරුවෝ 45🧡💛
🍂 සිංහ රාජයෙකු වී නියත විවරණ ලබාගත් අපේ බෝසතාණෝ සහ පදුම බුදුහාමුදුරුවෝ. 03 🍂

ඒ පදුම බුදවහන්සේගේ ශීලය අසමය. සමාධියේත් කෙළවරක් නැත. උතුම් සර්‍වඥතාඥානය නොහොත් ෂට් අසාධාරණ ඥානයද අසංඛ්‍යය. නොගිණිය හැක. විමුක්තියද උපමා රහිතය. ඒ පදුම භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙහෙම සංශිප්ත කොට සදහන් වෙනවා.

මහර්ෂීවූ පදුම බුදුරදුන්ගේ උපන් නුවර ’’චම්පක’’ නම් වී.
පියතෙම ’’අසම’’ නම් රජය. වැදූ මව්තොමෝ ’’අසමා’’ නම් වූවාය.

ඒ බුදුවරතෙම අවුරුදු දසදහසක් බුදුවීමට පෙර ගිහිගෙයි විසීය.

’’නන්දා’’ ය, ’’සූඝසා’’ ය, ’’උත්තරා’’ ය යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ තිස්තුන් ලෂක්‍යකි. ප්‍රසිද්‍ධවූ ඒ බිරින්ද ’’උත්තරා’’ නම් වූවාය. පුත් තෙම ’’රම්ම’’ නම් වී.

පදුම ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, රිය යානයෙන් මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් මුළුල්ලේ බුදුවී පිණිස ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ පදුම නම් ලොනාහිමි තෙමේ බඹහු විසින් අයදනා ලද්දේ, ’’ධනඤ්ජය’’ නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වී.

මහර්ෂීවූ පදුම බුදුරදුන්ට සාලද, උපසාලද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙමේ වරුණා නම් වීය.

’’රාධා’’ ද, ’’සුරාධා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ’’තොටිල’’ ගසයයි කියනු ලැබේ.

’’භිය්‍ය’’ ද, ’’අසම’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’රුචි’’ ද, ’’නන්‍දරාමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

පදුම මහාමුනිඳුතෙම පණස්අට රියනක් උස්වී. උන්වහන්සේගේ අසමවූ ශරීර කාන්තිය සැම ලෙසින්ම දිසාවන්හි නිතර පැතිරෙයි.

සඳරැස, හිරුරැස, රුවන්රැස, ගිනිරැස, මිණිරැස යන ඒ සියලු කාන්තීහු පදුම ජිනරාජයන්ගේ ශරීර කාන්තිය උතුම්කොට පැමිණ නැසුනාහු වෙත්.

ඒ කලෙයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ පවතී. ඒ (පදුම) බුදුරජහු ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතර කළ සේක.

මේරූ ශ්‍රද්‍ධාදී ඉන්‍ද්‍රියයන් ඇති, විනෙය හික්මවිය හැකි ජනයන්ට ඉතුරු නොකොට සිවුසස් අවබෝධ කරවා සෙසු සත්ත්‍වයන්ට අනුශාසනාකොට ශ්‍රාවකයන් සහිතවූ ඒ (පදුම) බුදුරජතෙමේ පිරිනිවි සේක.

නාගතෙමේ දිරාගිය සැවය ඉවත් කරන්නාක් මෙන්ද, ගස පරණලා ඉවත දමන්නාක් මෙන්ද, සියලු සංස්කාරයන් හැරපියා, ගින්න යම්සේ නිවියයිද, එසේ උන්වහන්සේ පිරිනිවි සේක.

ශාස්තෘවූ පදුම ජිනවරතෙම ධර්‍මාරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරවීම වී.

🍂 පදුම බුදුරජුන්ගේ බුද්ධවංශ කතාව සමාප්තයි. 🍂

තුසිත රාජපක්ෂ
ප්‍රංශය

05-08-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2O37N0x
මතුපිටින් නොව ඇතුලතින් දකින්න.. රාගයෙන් ගිනි ගන්නා ජීවිතයෙන් මිදෙන්න.. මේ මතුපිටින් පෙනෙන රූපය අවරුදු කිහිපයකින් වෙනස් වෙනවා. අසූචි ගොඩක් කියන තැනකින් තමා ඊට පස්සේ පරිහරණය කරන්න වෙන්නේ.

රාගය ගැන ලිංගිකත්වය ගැන කතා කරන්න මිනිස්සු ස්වභාවයෙන්ම කැමතියි,
හැබැයි විරාගය ගැන ,අසුබය ගැන කතා කරන්න ගියොත් බොහෝ පිරිසක් කලබල වෙනවා, හැබැයි මේ රාගය වගේම විරාගයත් හිතේ තියෙන හිතට හුරු කරන්න පුලුවන් දෙයක්..

සාමාන්‍යයෙන් නැවත හැරිලා බලන්න හිතෙන ලස්සන ගෑණු ළමයෙක් දැක්කොත් අපි ආසාවෙන් ඒ දිහා බලනවා. මේ ලස්සන ගෑණු ළමයම යම් හදිසි අනතුරකින් මස් එළියට පැනලා මහමග එකවර වැටුනොත් අපිට මක් වෙයිද, සමහර විට සාමාන්‍ය කෙනෙක්ටනම් ඔලුවත් කැරකෙන්න ගනී.

හම පොඩ්ඩක් ඇතුල මෑත් කරලා බැලුවහම අපේ ඔලුව කැරකෙන්න තරම් පිළිකුල් සහගත උනත් හමෙන් වැහිලා තියෙද්දි අපි ඒ සිරුරම ආදරෙන් බදා ගන්නවා.ඒ කියන්නේ රාගයට අවශ්‍ය දේවල් වගේම අවශ්‍ය නම් විරාගයට අවශ්‍ය දෙව්ලුත් ස්වභාවයෙන්ම මනස තුල තියෙනවා ඒ නිසාම මනසින් හරි නුවණ විමසලා ශරීරයේ ඇතුලත බලන්න පුලුවන්නම් අපිට සිරුරේ පිළිකුල් ස්වභාවය පේනවා..

ඔබේ සිතේ ඇතිවෙන මුලාව නිසාමයි ඔබට මේ රාගය ඇතිවෙන්නේ.. මතු පිටින් නොබලා ඇත්ත ඇත්ත ලෙස දකින්න ඔබ පුරුදු වෙන්න..