Monthly Archives: September 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2LzAVv0
උන්වහන්සේගේ පරිනිර්වානය තෙක් අමනුෂ්‍යයන්ට ධර්මය දේශනා කිරීම විශාල වගකීමක් විය. උන්වහන්සේ වාසය කරන හැම ප්‍රදේශයකම අමනුෂ්‍යයන් සමග සම්බන්ධීකරනය තිබුනි. ප්‍රේත කොට්ඨාශ තම නෑයින්ගේ පිං බලාපොරොත්තු වෙමින් උන්වහන්සේගෙන් උපකාර ඉල්ලති. ඔවුන් මැරී කොපමන කාලයක් ගත වූයේ දැයි කිව නොහැක. ඔවුන්ගේ ජීවත්ව සිටින ඥාතීන් කවුරුදැයි නොදනිති. ඔවුන් ආචාර්ය මන් වෙත පැමිණ ජීවත්ව සිටින ඥාතීන් සොයා දෙන්නට යැයි ඉල්ලති. ඔවුන් දාන දී පිං පමුණුවන්නට යැයි ඉල්ලති. තම ජීවිතය ඉතාමත් දුක්ඛිත බැවින් ඉන් මිදීමට පිං ඉල්ලති. බොහොමයක් අපාය දුක් විද මහත් ලෙස පීඩා විඳ ඇත. මිනිස් වර්ශ අනුව ඒ අය අපායේ සිටි කාලය කොපනමදැයි ගණන් කල නොහැකිය. ඔවුන් අපායෙන් මිදී නැවතත් දුක්ඛිත ප්‍රේත ආත්මයක කිව නොහැකි තරම් දුක් විදිති. එම අකුසල විපාක නොනවත්වාම දුක් පමුණුවයි. ඉන් මිදීමක් නැත. සිරගෙයි සිටින තාක් කල් සිර දඬුවම් විදීමට සිදුවනවාක් මෙනි.

ප්‍රේත නිකායේ අය අවුත් තව කොතරම් කාලයක් මේ දුක් විඳිය යුතු දැයි අසති. ඔවුන් බැගෑපත්ව ආයාචනා කරන්නේ තමන්ගේ ඥාතීන්ට දන්වා තමන් වෙත පිං පමුණුවන ලෙසිනි. උන්වහන්සේ ඒ ඥාතීන් ගැන විමසූ විට වෙන නාඳුනන ලෝකයක් ගැන කියති. අපායේ බොහෝකල් අනන්ත දුක් විඳි කාලය අවුරුදු දස දහසක් හෝ සියක් දහසක් විය හැකිය. ඉන් මිඳී මේ ප්‍රේත ආත්මයේ ඉපදී ඇත. මේ ආත්මයේ අවුරුදු 500 දාහක් පමන කල් ගෙවී ඇත. මේ අයගේ ඥාතීන් සෙවීමට නොහැක. ඒ අයගේ එම බලවත් කර්ම විඳ දැන් සිටින්නේ යම් පිනක් ලබාගත හැකි තැනක නමුත් ඥාතීන් සෙවීමට නොහැකිය. එබැවින් තම දුක විඳීම හැර වෙන කිසිවක් කල නොහැකිය. බලු, බළල් ආදී කිසිවෙකුට අයිති නැති සතුන් මෙනි. ඉතා අසරණ වී ඇත.

සමහර ප්‍රේතයන්ට තරමක් උපකාර කල හැක. ඔවුන් මියගොසින් වැඩි කාලයක් ගතවී නොමැත. ඔවුන්ගේ පාප කර්ම එතරම් බලවත් නොවේ. ඥාතීන් පවරන පිං ඒ අයට ලැබිය හැකිය. තම ජීවතුන් අතර සිටින ඥාතීන්ගේ නම් ගම් ලිපිනය මතක් කරති. ආචාර්ය මන් එවැනි අය ලඟ පාත සිටී නම් මේ විස්තර කියා පිං ලබාගැනීමට සලස්වති. ඒ ඥාතීන් නොයෙක් පිංකම් කිරීමටද භික්ෂූන් වහන්සේලාට දන් දීමටද යොමුකර ඒ පිං පමුණුවති. සමහර ප්‍රේතයින්ට ඕනෑම කෙනෙකුගේ පිං අනුමෝදන් විය හැකිය. ඒ පින ඒ අයටම පවරා නැති වුවද පිං ලබාගනිති. ඒ අයගේ කර්ම විපාක අනුව සමහර ප්‍රේතයින්ට කාගෙන් වුවද පිං ලබාගත හැකිය. එහෙත් සමහරු තම ඥාතීන්ගෙන් ඒ අයට පැවරූ පිං පමනක් ලබාගත හැකිවේ.

ආචාර්ය මන් හට මේ ප්‍රේත ආත්ම ගැන බොහෝ අත්දැකීම් ඇත. ඔවුහු නිතරම කරදර කරති. අමනුෂ්‍යයන් අතරින් ප්‍රේතයෝ වඩාත්ම කරදර කරති. තමා විසින් කළ කිසිම කුසල කර්මයක් නැති බැවින් නිතරම අනුන්ගෙන් ඉල්ලති. අනුන්ගෙන් නොලැබුනොත් ඒ අයට ජීවත් විය නොහැක. ඉතාමත් බැගෑපත් අසරණ පිරිසකි.

පරිත්‍යාගය සහ කුසල් කිරීමේ විපාක වශයෙන් තමාගේ ස්වාධීනත්වය හිම්වේ. ජාති, ජාති මෙසේ තමන්ට අවශ්‍ය සියලු දේ ලැබෙන බැවින් තෘප්තිමත් ජීවිත ගතකරති. සියලු සත්ත්වයෝ කර්මය දායාද කොට සිටිති. ඒ විපාක විඳීමට හේතුව තමන්ගේම කර්ම බව සිතිය යුතුය. අන් කිසිවෙකුට තමාගේ කර්ම විපාක නොලැබේ. එසේම අන් කිසිවෙකුගේ කර්ම විපාක තමා වෙත නොපැමිණේ. තමාට ලැබෙන සැප දුක් තමාගේ කුසල් අකුසල් කර්මවල විපාක වේ.

ආචාර්ය මන් ට මේ නොයෙකුත් ආත්ම ගැන සුවිශේෂ දැනුමක් ඇති නමුත් ඒ බව අඟවන්නේ කලාතුරකිනි. ප්‍රේත, දේව, බ්‍රහ්ම, යක්ෂ, නාග, ගරුඬ ආදී ආත්මවල අය නිතරම කථා බහ කරති. මිනිසාගේ ඉන්ද්‍රියන්ට අගෝචර බොහෝ දේ උන්වහන්සේට අවබෝධ වේ. අමනුෂ්‍යයන් පිළිබඳ කථා ඇසීමට පවා බිය උපදවයි. “මිනිසාට වතුර, ගින්න වැනි ප්‍රකෘති ඇසට පෙනෙන අන්දමට කර්ම විපාක දකින්නට හැකිනම් කිසිවෙක් පාප කර්ම නොකරති. එය මහා ගිනි ගොඩකට පනින්නාක් මෙනි. ඒ වෙනුවට හැකිතරම් හොඳ දේ කිරීමට පෙළබෙති. එහි ඉතා සිසිල් ගුණයක් ඇත. ලෝකයේ තිබෙන සියලුම කරදර අතුරුදහන් වනවා නියතයි.” වරෙක ආචාර්ය මන් ගේ වැඩිහිටි ශිෂ්‍යයෙක් මෙසේ පැවසීය. ” මිනිසාට ප්‍රේත, දේව, ගරුඬ, නාග ආදීන් ගැන නොදන්නා බැවින් තමන්ගේ කර්ම විපාක ගැන සිතිය නොහැකිය. එබැවින් ඔබ වහන්සේ මේ දන්නා දේ මිනිසුන්ට කියාදීම වැදගත් වේ” බුදුන් රහතුන් වැනි උතුම් අය තමා දන්නා දේ අනුන්ට කියා දුන්නා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වුන අපි ඔබවහන්සේගේ ඒ විශ්මජනක ශක්තිය අගය කරන්නාක් මෙන් ලෝකයා අගය කරති. ආචාර්ය මන් ඔහු නිශ්ප්‍රභා කළහ. ඔබ කියන දේ කළවිට අපි දෙගොල්ලෝම අනාථ වෙති. මෙවැනි දේ ප්‍රසිද්ධව කථා කිරීම සුදුසු නැත. එසේ කී කළ මම සහ අනෙකුත් භික්ෂූහු පිස්සන් වෙති. එවිට මෙය පිස්සු ආශ්‍රමයක් වෙයි. බුද්ධ ශාසනය ප්‍රඥාව පෙරදැරි කොට ඇත. එය තමා විසින් අවබෝධ කළ යුත්තකි. ඔබ වහන්සේ කියන දේ ප්‍රඥා ගෝචරද නැතහොත් මෝහය ඇසුරු කරත්ද? මෙවැනි දේ සිතීම පවා පිස්සුවකි. කීම ගැන කියනු කුම? මිනිස්සු මෙවැනි දේ ඇසුවත් අපගේ කීම නිසා අපි විනාශ වෙමු.

අප අවට ඇති පරිසරය ඉන්ද්‍රිය ගෝචර බැවින් මිනිසාට සම්මුති සත්‍යයෙන් වටහා ගත හැකිය. එහෙත් ධර්මය ප්‍රඥා ගෝචරය. පරමාර්ථ සත්‍ය ඇසුරු කරයි. එබැවින් සමාජයට මේ ධර්මය දෙන විට එයින් සතුට, සමාදානය, සහජීවනය ඇතිවිය යුතුයි. පරමාර්ථ සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කලේ නුවණ මෙහෙයවා ක්‍රමාණුකූලවය. අසා සිටින අයට ගෝචර වන ආකාරයටය. සත්‍ය වුවත් එය කීමේ අවස්ථාවක් ඇත. එය පොදුවේ කීම වරදකි. ඒ මිනිසුන් වරදවා ග්‍රහණය කරන බැවිනි.

පංච ඉන්ද්‍රියන්ට ගෝචර නොවන දේ ගැන කථා කිරීමට හැක්කේ යම් අවබෝධයක් තුළිනි. එවැනි දේ ගැන අවබෝධයක් නැතිව පොත පතේ දැනුමෙන් හෝ අන් කිසි කෙනෙකුගේ දැනුමෙන් කථා කිරීම අස්වාභාවිකය. එබැවින් මිනිසාට නොතේරේ. මේ යමක් විවේචනය කිරීමක් නොව එවැනි අතීන්ද්‍රිය දැනුම ඇති අය වුවද ඉතා සුපරික්ෂාකාරීව එම දැනුම ඉදිරිපත් කළ යුතු බවකි. අපේ විස්මිත දැනුම සත්‍යක් වුවද ඒ අසා සිටින අය සිහි විකල් විය හැකිය. ඒ අය ධර්මය කියා ග්‍රහණය කරන්නේ මෙවැනි ආශ්චර්ය අත්භූත දේවල්ය. ඒ අය තරමක මානසික විකෘති ඇති අය වෙති. එබැවින් එවැනි දේ තුළින් මිනිසාගේ සිත කුල්මත් කිරීම නුසුදුසුය. බුදුරජාණන් වහන්සේ එවැනි විශ්මිත දේ ලෝකයා හමුවේ තැබුවේ යම් යම් අයට බුද්ධි ගෝචර විධියටය. එබැවින් අපි ඉතා සුපරික්ෂාකාරීව ධර්මය දේශනා කළ යුතුයි.

මම මෙසේ ප්‍රශ්න කරමි. ඔබ සතු මුදල් සම්භාරයක් ඇත. එය ඔබ නුවණ ඇත්තෙක් නම් ප්‍රයෝජනයට ගත හැකිය. නුවණ නැත්නම් මේ ධනය ඔබගේ පරිහානිය වේ. මහා සේනාවක් මැද්දට යනවිට ඔබ මේ මුදල ආරක්ෂා කරගන්නේ කෙසේද?

එම ජ්‍යෂ්ඨ ශිෂ්‍යයා මෙසේ කීය. “මම හැකිතාක් එය ප්‍රවේසම් කරමි.”

ඔබ ආරක්ෂා කරන්නේ කෙසේද?

එම මුදල් වියදම් කරන විට අවශ්‍ය ප්‍රමාණය පමණක් එලියට ගෙන මුළු මුදල නොපෙන්වා සඟවමි.

එසේ නම් ඔබට අතීන්ද්‍රීය දැනුමක් ඇත. දෙවියන්, භූතයන්, ප්‍රේතයන් පිළිබද අත්දැකීම් ඇත. එය අනුන්ට කියන්නේ කෙසේද? ඉන් ඇති ඵලයක් නිසා නින්දා, අප්‍රශංසා, හිංසා, පීඩා තමන්ටත් අනුන්ටත් පැනවීමටද?

මම එම මිල මුදල් පරිහරණය කරන පිළිවෙත අනුගමනය කරමි. දැන් මොහොතකට පෙර ඔබ කීවා වැනි මෙවැනි ආශ්චර්ය අද්භූත දේ ලෝකයාට දැනුම් දියයුතු බව. ඇයි ඒ? මගේ පිළිගැනීම අනුව ඔබ කී දේ සාමාන්‍ය කෙනෙක් වත් නොකියන විධියේ බහුභූත කථාවකි. ඔබට සාමාන්‍ය දැනුමක් වත් නොමැති බැවින් ඔබ මිනිසුන්ගේ ඇගැයීමක් ලබන්නේ කෙසේද? ඔබගේ සිතුවිලි විකෘතිය. ඔබට යමෙක් දොස් පැවරුව හොත් ඔබ නිදහසට ඉදිරිපත් කරන්නේ කුමක්ද? මේ ගැන සිතා බලනු මැනවි. ලෝකයේ වැඩිපුර ඉන්නේ ප්‍රඥාව ඇති අයද? මෝහයෙන් මුලා වූ අයද? එවැනි අයට ඔබ කී විධියට කළ විට මේ ශාසනය පවතීද?

(ආචාර්ය මන් භූරිදත්ත අරිහතුන් වහන්සේගේ ආධ්‍යාත්මීය චරිතාපදානය පොතෙණි.)

යුනිකෝඩ් අකුරු විකෘතිවීමේ දෝශයෙන් වන අපහසුතාවයට සමාවුව මැනවි!

නමෝ ගෞතම පේජය වෙනුවෙන් සැකසූ මෙම ලිපිය මිතුරන් අතරේ ශෙයා කර ධර්ම දානමය කුසලයට ඔබත් දායක වන්න. තෙරුවණ් සරණයි!!!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/34LpkQO
💛🧡අපේ බුදුහාමුදුරුවෝ 44🧡💛
🍂 සිංහ රාජයෙකු වී නියත විවරණ ලබාගත් අපේ බෝසතාණෝ සහ පදුම බුදුහාමුදුරුවෝ. 02 🍂

🌻 ප්‍රතම සන්නිපාත ය
උන්වහන්සේගේ සාසනයේත් ශ්‍රාවක සන්නිපාත තුනක් ඇති වුණා. යම් දාක මනාව වැඩු ජීවිත ඇති භාවිතාන රජ බුදුපියුම් මුහුණැති පදුම බුදුන් වෙත කෙළ ලක්ෂයක් දෙනා පිරිවරා පැමිණ බණ අසා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූයේද ඒ සමාගමෙහි භාග්‍යවතුන් වහන්සේ පාමොක් දේශනා කළා. ඒ ප්‍රතම සන්නිපාත යයි ..

🌻 දෙවැනි සන්නිපාතය
පසු කලෙක මහා පදුම මුනිවරයානෝ උසභපාගමනින් උසභවතී නුවර සමීපයේ වස් වැසූවා. නුවර වැසියන් බුදුන් දකිනු රිසි ව බුදුන් වෙත මහා ජන ගංගාවක් මෙන් පැමිණෙන්නට පටන් ගත්තා. එහිදී ඒ මහා කාරුණිකයාණෝ ඒ මිනිසුන් හට ධර්මය දේශනා කරනු ලැබුවා. එහිදී බොහෝ පහන් සිත් ඇති මිනිසුන් පැවිදි භූමියට ඇතුළත් වුණා. ඒ දසබලයාණෝ ඔවුන් ද වෙනත් තුන්ලක්ෂයක් භික්ෂූන් සමඟ විසුද්ධි පවාරණයෙන් පවාරණය කළා. ඒ දෙවැනි සන්නිපාතයයි.

ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ ඒ භික්ෂුන්වහන්සේලා කඨිනානිසංස අසා පෑලවියේ පස් මසක් පස් ආනිසංසයක් දෙන කඨින සිවුරක් පූජා කළා. ඉන්පසුව පසුව ඒ භික්ෂූන් වහන්සේලා ඒ කඨින සිවුර ඇතිරීම සඳහා මහා ප්‍රාඥ ධර්ම සේනාධිපති අග්‍රශ්‍රාවක සාරතෙරුන්ට ආයාචනය කොට කඨින සිවුර උන් වහන්සේ වෙතට දුන්නා. ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කඨින සිවුර පිළියෙළ කරද්දී මැසීම සඳහා භික්ෂුන් වහන්සේලා සහය වුණා. ඒ මහා අනතිමාණී ගුණයෙන් යුතු පදුම බුදුරජාණන් වහන්සේ ඉඳිකටු මලේ නූල් අමුණා දෙමින් ඒ සංඝ පිරිසට සහය වුණා. සිවුර නිමවීමෙන් පසු බුදුරජාණන් වහන්සේ තුන් ලක්ෂයක් භික්ෂූන් සමග චාරිකාවේ වැඩියා. උන් වහන්සේ ඒ මහා සංඝ සාගරයත් සමඟ වස් වැසුවේ මහ වනයක. ඒ වනය ගැන වර්ණනාවක් මෙලෙස බුද්ධවංශ අට්ඨකථාවේ තියෙනවා.

පසු කලෙක සිංහවික්‍රාන්ත ගමන් ඇති පුරුෂ සිංහයකු මෙන් බුද්ධ සිංහයන් වහන්සේ ගොසිංග සල්වනය බඳු පරමසුවඳ කුසුමින් ඵලයෙන් බරව නැමීගත් සාවෙළප ඇති නිමල නෙළුම් මානෙල් ආදියෙන් සමලංකෘත සිහිල් මීබිඳු වෑහෙන පිරුණු දියවිලින් යුත් මුවසෙමර සිංහ ව්‍යාඝ්‍ර අහස් ඇත් අස් ගව මී ආදි විවිධ මිගගණ හැසිරෙන සුවඳමල් ගඳින් බැදි හදින් බඹර මීමැසි යුවතියන්ගේ සංවරණයෙන් හාත්පස ගුමුගුමු නද ගැන්වූ පලරෙසින් මත් හදින් අවියත් මිහිරි හඬින් යුත් කොවුලගගනන්ගේ ගායනා ඇති පරමරමණීය යෝගානුකුල ජනයාගෙන් තොර මහා වනයෙහි වස් එළැඹි සේක යනුවෙනි .

🌻 තෙවැනි සන්නිපාතය
එහි පැමිණි ජනයා පිරිවර සමඟ වැඩ වාසය කරන දසබලයාණන් වහන්සේ දැක බණ සහ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ඒ කාලයේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දෙලක්ෂයක් පිරිවරා වස් පවාරණය කරනු ලැබුවා. එය උන්වහන්සේගේ තෙවැනි සන්නිපාතය වුණා.

🌻 සිංහ රාජයෙකු වී නියත විවරණ ලබාගත් අපේ බෝසතාණෝ.

වස් පවාරණයෙන් අනතුරුව ඒ පදුම බුදුරජාණන් වහන්සේ ඒ වනයෙහි ම සතියක් නිරෝධ සමාපත්තියෙන් වැඩ විසුවා. ඒ කාලය අප මහ බෝසතාණන් වහන්සේ සිංහ රාජයකු ඉපිද ඒ වනයේ ම වාසය කළා . එක් දිනයක් වනයේ ගොදුරු සොයමින් ඇවිදමින් සිටි අප මහා බෝසතානෝ පදුම බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටින ස්ථානයට පැමිණියා. උන් වහන්සේ දුටු විගසම ඒ සිංහ රාජයා හට සංසාර පුරුදු මතු වී මහා බුද්ධාලම්භන ප්‍රීතියක් ඇති වුණා . ඔහුගේ බුද්ධාලම්බන ප්‍රීතිය අත් නොහැරම සතුටු සිතින් ගොදුරු සෙවීම නතර කොට තෙවරක් සිංහනාද කොට දින හතක්ම දිවි පූජා කොට ඒ ශාස්තෘන් වහන්සේ දිහා බලමින් ඒ අසලම රැදී සිටියා. ඒ භාග්‍යවතුන් වහන්සේ සතියක් ඇවෑමෙන් නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියා . එවිට තමන් කෙරෙහි පැහැදීමෙන් එහි රැඳී සිටින සිංහයකු වූ අප මහා බෝසතාණන් වහන්සේව දැක ගන්නට ලැබුණා. උන්වහන්සේට වැඩි වෙලාවක් නොයන්නට ඇති මේ බෝසත්වරයෙක් බව දැනගැනීමට. ඒ භාග්‍යවතුන් වහන්සේ සිංහයා දෙස බලා සිටිමින් ඔහු හට සංඝයා වහන්සේලා කෙරෙහිද ප්‍රසාදය ඇති කිරීම සඳහා සංඝයා වහන්සේලා ද මෙතැනට පැමිනෙත්වා යයි සිතෙන් සිතන්නට වුනා . එවිට ඒ ලක්ෂ ගණනක් වූ ඒ රහතන් වහන්සේලා ද එතැනට වැඩම කරනු ලැබුවා. සිංහයා ද ඒ සංඝරත්නය දෙස බලා ද සිත පහදවා ගනු ලැබුවා. ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත බලා මේ සිංහ තෙමේ අනාගතේ ගෝතම බුදු නමින් බුදු වන්නේ ඇයි නියත විවරණ ලබා දුන්නා .

මතු බුදු බුදුවන බුදුවරයකු ද බුද්ධත්වය ආසන්නේ දීත් එලෙස තිරිසන් කුලයක ඉපදුණා. මේ බියකරු සංසාරේ අපේ ගැන කුමන කතාද .

තුසිත රාජපක්ෂ
ප්‍රංශය

05-08-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2QbbzaT
සුමේධා නම් රහත් තෙරණිය වදාල ගාථා
===========================
මන්තාවතී නගරේ, කොඤ්ච රජ්ජුරුවන්ගෙ අගමෙහෙසියට දුවක් සිටියා. එයාගෙ නම සුමේධා. එයා බුද්ධ ශාසනය ගැන ගොඩක් පැහැදිලා හිටියෙ.
ඇත්තෙන්ම එයා සිල්වත්, ලස්සනට කතා කරන්න දන්නව, ඒ වගේම බහුශ්‍රැතයි. බුදු සසුනේ හික්මිලා ඉන්නෙ. ඉතින් එයා දෙමාපියන් ළඟට ගිහින් මෙහෙම කීවා. “ඔයාල දෙන්නම මං කියන දෙ අහන්න.”
“මං කැමති නිවනට විතරයි. දෙව්ලොව ඉපදුනත් ඒ භවය ස්ථිර නෑ. මිනිස් ලොකෙ කාම සම්පත් ගැන කතා කරන්න දෙයක් නෑ. පුංචි ආශ්වාදයක් තියෙන්නෙ, ආදීනව ම යි වැඩි..”
මෝඩ ජනතාව කාමයෙන් මුසපත් වෙලා හිටියත්, කාමයන් හරිම ක‍ටුකයි. භයානක සර්පවිෂ වගෙයි. මෝඩ ජනතාව කාමයන් පස්සෙ ගිහින් අන්තිමේදි නිරයෙ වැටිල අනන්ත දුක් විඳිනව.
සිත කය මනස යන තුන් දොරින්ම පව් කරල නිරයෙ ඉපදිල ශෝක කරනව.
ප්‍රඥාවක් නැති, සිතීමේ හැකියාවක් නැති ඒ මෝඩ ජනතාව දුක්ඛ සමුදයේ බැසගෙන සංසාරෙට අහුවෙලා ඉන්නව,
අම්මේ, ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳුන් දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය නොදන්නා ජනතාවමයි වැඩියෙන් ඉන්නෙ. ඔවුන් ගොඩක් කැමති දෙව්ලොවක ආයෙත් උපදින්ටයි.
භවයට අයිති හැම දෙයක්ම අනිත්‍යයි. ඉතින් දිව්‍ය ලෝකවල උපතත් අනිත්‍යයි. නමුත් අඥාන ජනතාව ආයෙ ආයෙමත් උපදින්ට කිසිම බයක් නෑ.
සතර අපායකින් යුක්ත මේ ලෝක දෙව්-මිනිස් ලෝකවල ඉපදීමත් දුක සේ මයි ලැබිය යුත්තෙ. අපායේ, නිරයේ ඉපදුන කෙනෙකුට එහෙදි මේ වගේ උතුම් පැවිද්දක් නෑ.
ඉතින්, ඔයාල දෙන්නම මට අවසර දෙන්ට, දසබල ඇති බුදු සමිඳුන්ගේ සසුනේ මහණ වෙන්ට, මේ ඉපදෙන මැරෙන සංසාරෙ නැති කරන්ට මං ගොඩක් මහන්සි ගන්නම්.
මේ ශරීරය කියන්නෙ අසාර දෙයක්. මේ භවය පිළිගැනීමෙන් සිද්ධ වෙන යහපත මොකක්ද…? භව තන්හාව නිරුද්ධ කිරීමටමයි මං මහණ වෙන්නෙ. ඉතින් ඒකට මට අවසර දෙන්ට..
දැන් එම තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක්, ධර්මය අවබෝධ කරගන්ට බැරි අවස්ථාවන්ගෙන් මං මිදිල ඉන්නෙ. උතුම් අවස්ථාවක් උදාවෙලා තියෙන්නෙ. සිල්වත් බවත්, බ්‍රහ්මචාරි ජීවිතයත් දිවි තිබෙන තුරාම ආරක්ෂා කරගන්නම්.
සුමේධා මේ කාරණයන් මව්පියන්ට කියා සිටියා.. ඉතින්, මට මහණ වෙන්ට අවසර දෙන්නෙ නැත්නම්, මං කෑම කන්නෙ නෑ.. මං මැරිල යනව..
සුමේධාගේ අම්මා දුකින් හඬන්න ගත්තා. තාත්තාත් කඳුළු පිරුණු මුහුණින් යුක්තව සුමේධාට ගිහි ජීවිතේ ගැන කැමැත්ත ඇති කරන්ට ගොඩක් මහන්සි වුණා.
දුවේ ඉතින් නැගිටින්නකො, ඔය විදිහට දුක් වෙලා ඇති ඵලේ මොකක්ද..? අනික මං ඔයාව “වරණවතියේ රජතුමාට දීලා තියෙන්නෙ, ඒ අනීකදත්ත රජුත් හරි ලස්සනයි. ඔයාව දුන්නෙ ඒ රජතුමාටයි..”
අනීකදත්ත රජ්ජුරුවන්ගේ බිරිඳ වුනාට පස්සේ අග්‍ර මහේසිකාව වෙන්නෙ ඔයා. දුවේ ඔය සිල් ‍රැකීම, බ්‍රහ්මචාරී බව, මහණකම ගොඩක් දුෂ්කරයි..
ඔයාට පුළුවන් අනීකදත්ත රජ්ජුරුවන්ගේ රාජ්‍ය තුළ ඔයාගේ අණසක පතුරුවන්ට. පතිකුලයට යි ධනයට යි අධිපති වෙන්ට. එතකොට ඔක්කොම සැප ඔයාට. දුවේ ඔයා තවම තරුණයි, කාම සම්පත් අනුභව කරන්න. දරුව, ඔයාගෙ විවාහය සිදුවේවා….!
සුමේධා ඒගොල්ලන්ට මෙහෙම කිව්වා, “අසාර වූ භවයට අයිති කිසිම දෙයක් මට එපා.. එක්කො මං මහණ වෙනවා, නැත්නම් මැරෙනව, විවාහය නම් සිද්ධ වෙන්නෙ නෑ…
මේ කුණු ශරීරය අපවිත්‍රයි. ගඳ ගහනව. බිය ජනකයි. කුණු ගොඩක්. අසූචි වැගිරෙනව, අසූචි පුරවපු භාජනයක් වගෙයි. ඉතින් මං කොහොමද මේ වගේ කුණු කයක් එක්ක එකතු වෙන්නෙ..
මස් ලේ තැවරුන මේ ශරීරය මට අතිශයින්ම පිළිකුල්. මං මේ ශරීරය අවබෝධ කරගෙන ඉන්නෙ. පණුවන්ට වාස භූමියක්. ගිජු ලිහිණියන්ට ආහාරයක්. ඉතින් මේ ශරීරය කාට නම් පාවා දෙන්ට ද…?
ටික කාලෙකින් විඤ්ඤාණය පහ වෙලා ගියාට පස්සේ, නෑදෑයො මේ කය පිළිකුල් කරනව. දර කෑල්ලක් විසි කරනව වගේ සොහොනට ගිහින් දානව.
ඊට පස්සෙ බලු සිවල්ලුන්ට මේ ශරීරය ගොදුරු වෙලා යනව. සොහොනට ගිහින් ශරීරය දාල ඇවිත් දෙමාපියන් කරන්නෙ ඒක පිළිකුල් කරල වතුර නාන එක. හැම දෙනාටම පොදු මේ තත්වය ගැන කථා කරන්ට දෙයක් නෑ.
ඇට නහරින් බැඳිල තියෙන්නෙ. කෙළ සො‍ටු මළමූත්‍රා පිරිලා තියෙන්නෙ. ඒ වුණාට මෝඩ ජනතාව මේ ශරීරයට හරි ආසයි..
මේ ශරීරය වෙන් කරල, ඇතුලෙ තියන දේවල් ඉවසන්ට බැරිව පිළිකුල් කරනව.
ස්කන්ධ, ධාතු, ආයතන යන මේවා හේතූන් නිසා හටගත් බවත්, ඉපදීමෙන් ඇති වූ දුකක් බවත් මම අවබෝධ කරගෙන ඉන්නෙ. ඒ විදිහට නුවණින් විමසන මං කොහොමද විවාහ වෙන්නෙ…?
දවස ගානෙ යකඩ පොලු පහරවල් තුන්සියයක් කාලා, අවුරුදු සියයක් තිස්සෙ ඒ විදියට පොලු පහරවල් කාලා ඉවර වුණාම මේ සංසාරෙ දුක ගෙවිල යනවනම්, මට ඒකත් උතුම්.
ශාස්තෘන් වහන්සෙ ඔන්න ඔය විදිහටයි පෙන්නල දීල තියෙන්නෙ. ඒ උතුම් වචන දැන දැනත් මේ ජරා මරණ වදය පිළිගත්තොත්, ආයෙ ආයෙමත් ඉපදෙන්ට සිදු වෙනකොට සංසාරෙ දික්වෙන්නෙ ඒ ගොල්ලන්ගෙමයි.
දිව්‍ය ලෝකෙ, මිනිස් ලෝකෙ, තිරිසන් ලෝකෙ අසුර ලෝකෙ, ප්‍රේත ලෝකෙ, නිරය කියන මේ කොහෙත් නිමක් නැති පීඩා තියෙන්නෙ..
නිරය, තිරිසන් ලෝකෙ වගේ අපායකට වැ‍ටුනොත් ගොඩක් දුක් විඳින්න සිද්ද වෙනව. දෙවියන් අතර උපන්නත් ආරක්ෂාවක් නෑ. ඒ නිසා මේ ලෝකෙ නිවනට වඩා උතුම් වෙන සැපක් නම් නෑ.
දසබල බුදු සමිඳුන්ගේ වචනයට අනුව ගමන් කළොත්, ඉපදෙන මැරෙණ සංසාරෙ නැති කරන්ට උත්සාහ කළොත් ඔවුන් නිවනට පත් වෙනවා.
තාත්තෙ, මං අදම ගිහි ගෙදර අත් හරිනව. මට මේ නිසරු සම්පත් වලින් ඵලක් නෑ. මං මේ කාමයන් අත්හැරියෙ වමනෙ දානවා වගේ. තල් ගහක මුදුන කරටියෙන් කඩල දැම්ම වගේ..”
එයා පිය රජතුමාට එහෙම කිව්වා. ඒවන විට අනීකදත්ත රජතුමා මේ විවාහය පිණිස වාරණවතී නගරයේ ඉඳල පිටත් වෙලා යන්ට සූදානම් වුණා.
එතකොට සුමේධා ඇගේ තද නිල් පාට මුදු කෙස් කළඹ කඩුවෙන් කපල දැම්මා. ප්‍රාසාදයේ දොර වහගෙන භාවනා කළා. ප්‍රථම ධ්‍යානය උපදවා ගත්තා.
ඇය සමවතට සම වැදුනා. අනීකදත්ත රජතුමා මන්තාවතී නගරයට ආවා. දැන් සුමේධා තම ප්‍රාසාදයේ ඉඳගෙනම හොඳට අනිත්‍ය සඤ්ඤාව වඩනවා.
ඈ අනිත්‍ය මෙනෙහි කරද්දි, අනීකදත්ත රජතුමා රන් ආභරණ වලින් සැරසිලා ප්‍රාසාදයට නැන්ගා. අනීකදත්ත රජතුමා සුමේධාට ඇඳිලි බැඳගෙන මෙහෙම යාඥා කළා.
රාජ්‍යයේ අණසකත්, ධන සම්පත් ඔක්කමත්, යස ඉසුරු ඔක්කොමත් අයිති ඔයාට. ඔයා තවම තරුණයි. කාම සම්පත් අනුභව කරන්න. මේ ලෝකෙ කාම සම්පත් කියන්නෙ දුර්ලභ දෙයක්.
ඔයාට රජකම පවා පරිත්‍යාග කරල තියෙන්නෙ, කාම සම්පත් අනුභව කරන්න. දන් පැන් දෙන්න. පින් කරන්න. දුක් වෙන්න එපා. ඔයාගෙ අම්ම තාත්තත් හරි දුකෙන් ඉන්නෙ..”
සුමේධා ඔහුට මෙහෙම පිළිතුරු දුන්නෙ.. “ඔයත් ඔය කාමයන්ට ආශා කරන්න එපා.. කාමයන්ගේ අදීනවය දකින්න.
මහාමන්ධාතු කියන සක්විති රජ්ජුරුවො සතර මහා දිවයිනටම අධිපති වෙලා හිටියෙ.. කාමයන්ට අග්‍ර වෙලා හිටියෙ. නමුත් එයා මරණයට පත්වුනේ කාමයන්ගෙන් තෘප්තිමත් නොවී මයි. එයාගෙ ආශාව වත් පිරුණෙ නෑ.
සත් රුවන් වැස්සක් ඇදහැලුනත් කාමයන් ගැන තෘප්තිමත් නැති මිනිස්සු මැරිල යන්නෙ අතෘප්තිමත් වමයි.
කාමයන් කියන්නෙ කඩුවයි මස් වැදැල්ලයි වගේ දෙයක්.. භයානක සර්පයෙකුගේ හිස පැත්ත වගේ. ගිනි කන්දක් වගේ දෙයක්, ඇට සැකිල්ලක් වගේ දෙයක්.
කාමයන් අනිත්‍යයි. අස්ථිරයි. බොහෝ දුක් තියනවා. ගොඩක් දුක් තියනව. දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩ ගුලියක් වගේ, හැම දුකට මුල. ගහක ගෙඩි වගෙයි.
ගස් වල ගෙඩි වගේ, මස් වැදලි වගේ මේ කාමයන් දුකක්මයි හදන්නෙ. සිහිනෙකින් ‍රැව‍ටුනා වගේ, ණයට ඉල්ල ගත්ත දෙයක් වගේ.
මේ කාමයන් විෂ පොවපු ආයුධ වගේ. වේදනා ඇතිකරනවා. තුවාලයක් වගේ දුකමයි හදන්නෙ. මරණය කරා ‍රැගෙන යනවා. ගිනි අඟුරු වලක් වගේ බිය ජනකයි. වධකයෙක් වගේ.
මේ කාමයන් ගොඩක් දුකයි කියල හිතෙන්නෙ. අනතුරුදායකයි. ඒ නිසා ඔයා ආපහු යන්න. තමාට අයිති කිසිම දෙයක් භවයේ තියනවා කියල මං විශ්වාස කරන්නෙ නෑ.
තමන්ගේ හිස ගිනිගත්ත වෙලාවට වෙන දෙයක් ගැන සිතන්ට වෙලාවක් නෑ. ජරා මරණ දෙක ලුහු බැඳගෙන එනකොට ඒකෙන් නිදහස් වෙන්ටයි වීරිය කළ යුත්තෙ…”
මං දොර හැරිය. මං දැක්කෙ දෙමාපියන්වත් අනීකදත්ත රජතුමාත් බිම වාඩිවෙලා අඬනවා. මං එයාලට මෙහෙම කිව්වා.
මේ සංසාරෙට කෙළවරක් නෑ. තාත්තාගේ මරණයේදි සහෝධරයාගෙ වධයෙදී තමන් වධවිදිද්දි නැවත නැවත හඬ හඬා සිටින අඥාන සත්වයන්ට මේ සංසාරෙ දිගයි.
මේ සංසාරෙ කෙලවරක් නැතිව යන ගමනෙදී හැඬූ කඳුලු, බීපු කිරි, ගලා ගිය ලේ කොයි තරම්ද කියල සිහි කරන්න.සත්වයන්ගෙ එකතුවෙන ඇට සැකිළි කන්දරාව සිහිකරන්න.
මේ කඳුළු සතර මහා සාගරයට උපමා කරන්න කියලයි බුදු සමිඳුන් වදාළේ. බීපු කිරිත් ඒ විදිහටම හිතන්න කියල තියෙන්නෙ, ඇටගොඩ ගැන සිහිකරන්න කියල තියෙන්නෙ වේපුල්ල පර්වතේට සමාන කරල.
දඹදිවින් යුක්ත මේ පොළොව වෙරළු ගෙඩි ගානට ගුලි කරන්න කීව. ඊට පස්සෙ ඒ එක එක ගුලිය වෙන් කරන්න කීව. “මේ මගේ මේ ජීවිතේ අම්මා, මේ ඒ ජීවිතයේ අම්මා, ..” කියමින්.ඒ ගුලි ඉවර වෙලා යනවා… අම්මලා ඉවර වෙන්නෙ නෑ. ඒ උපමාව සිහිකරන්න..
ලෝකෙ තියන ඔක්කොම ගස් වැල් අරගෙන අඟල් හතරෙ කෑලි වලට කපලා ගොඩක් ගොඩ ගහන්න කිව්වා. ඊට පස්සෙ ඒ එක එක දර කැබැල්ල සංසාරෙ තාත්තලා වෙනුවෙන් වෙන් කරන්න කිව්වා. ඒත් සංසාරෙ තාත්තලා ඉවර වෙන්නෙ නෑ.. ඒ උපමාවත් සිහි කරන්න..
අවුරුදු සීයකට වරක් කන කැස්බෑවෙක් මුහුදින් උඩට එනවා. මුහුදේ වැ‍ටුණු විය ගහක් පා වෙවී තියෙද්දි ඒ වියගහේ සිදුරෙන් කන කැස්බෑවගේ හිස ඇතුළුවෙලා අහස පේනවා වගේ, මනුස්ස ජීවිතයක් ලැබීම ඊටත් වඩා දුර්ලභයි.
මේ අසාර වූ රූපය පෙණ පිඩක් හැටියට සිහි කරන්න. අනිත්‍ය වූ පන්ච උපාදානස්කන්ධය දෙස බලන්න. නිරයේ ඇති අනන්ත දුක සිහි කරන්න.
නොයෙක් ජාති වල ඉපිද ඉපිද සොහොන් බිම වැඩි කරපු හැටි සිහි කරන්න. චතුරාර්ය සත්‍ය සිහිකරන්න.
බුදු රජාණන් වහන්සේ නමකගේ ධර්මයක් තියෙන කාලෙ මේ පංච කාමයන් සොයන්නෙ අහවල් දේකටද. මේ හැම කාම ආශාවක්ම අතිශයින්ම ක‍ටුකයි.
අමා දහම් තියෙන කාලෙ කාම දාහයකින් යුක්ත නම් ඒ කාමයන් අසවල් දෙයකටද..? මේ කාම ඇල්ම ගින්නක්මයි. අරුත් සුන් දෙයක්මයි. කම්පාවක් මයි. තැවීමක් මයි.
පැවිදි ජීවිතයට සතුරො නෑ. නමුත් කාමයට ගොඩාක් සතුරො ඉන්නව. ඔයාලට මේ කාමයෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද…?
අමා නිවන තියන කාලෙ, මේ කාමයන්ට බැඳිලා වධ බන්දන පීඩා විඳින්නෙ මොකටද.? ඔයාලට මේ කාමයෙන් ඇති ප්‍රයෝජනට මොකක්ද? මේ කාමයන් ලාමක නිසාමයි මේ තරම් දුක් කරදර ඇතිවෙන්නෙ.
දැල් වෙන හුළුඅත්ත අතට ගත්ත විටයි පිච්චෙන්නෙ. අත ඇරියාම පිච්චෙන්නෙ නෑ.. කාමය අත අරිනතාක් සත්ත්වයන්ව දවනවා..
මේ අල්ප වූ කාම සැපයක් නිසා මහත් වූ ලෝකෝත්තර සැපය අහිමි කරගන්න එපා.
ඒ නිසා ඇස් කන් ආදී ඉඳුරන් දමනය කරගන්න. බලු දම්වැලෙන් බැඳපු බලු කුක්කෙක් වගේ මේ සත්වයන්ව කාමයෙන් බැඳල තියෙන්නෙ. බඩගින්නෙ ඉන්න රොඩී මිනිස්සු බල්ලෙක්ව අල්ලගෙන මරල දානව වගේ මේ කාමයෝත් ඔයාලට ඒ ටිකමයි කරන්නෙ.
ඔයාලා අප්‍රමාණ වූ කායික මානසික දුක් දොම්නස් විඳින්නෙ කාමයන් නිසා මයි. ඒ නිසා මේ අනිත්‍ය කාමය අත් හරින්න.
මේ කාමයන් තිබුණොත් ඒ හැම භවයෙම ඒ හැම උපතෙම තියෙන්නෙ ජරා මරණ විතරයි. නමුත් ජරා රහිත වූ නිවන තියෙන වෙලාවෙ ඔයාලාට මේ කාමයන්ගෙන් අති ප්‍රයෝජනේ මොකක්ද…?
මේ නිවන ජරා රහිතයි. මරණ රහිතයි. අජරාමර වීමට මුල නිවන මයි. මේ නිවන ශෝක රහිතයි. වැළපීම් රහිතයි. කෙලෙස් සම්බාධ රහිතයි. දුසිරිත් කිලු‍ටු රහිතයි. තැවුල් රහිතයි.
බෝහෝ දෙනෙක් ඒ අමා නිවන අවබෝධ කළා. ඉඳින් දැන් පවා බුදු සමිඳුන් වදාළ ක්‍රමයට නුවණින් විමසනව නම් එයාට නිවන් අවබෝධ කරගන්ට පුළුවන්. උත්සාහ නොකළොත් ලැබෙන්නෙ නෑ.”
සංසාරෙට ඇල්මක් නැති සුමේධා මෙහෙම කිව්වා. ඒ වගේම අනීකදත්ත රජුට දැනගන්ට සුමේධා තමන් කඩුවෙන් කපාපු කෙස් වැටිය බිම දැම්ම.
එතකොට අනීකදත්ත රජතුමා නැගිට්ටා. සුමේධාගෙ පියරජතුමා දෙසට දෑත් බැඳගෙන කිව්වා “සුමේධාට මහණ වෙන්ට ඉඩ දෙන්න, එතුමිය වෙනස් නොවෙන විමුක්තිය වූ ආර්යසත්‍ය දකීවා…!”
ඔව්! පියත් ඇයව අත් හැරිය. ශෝක බයෙන් බියපත් වූ සුමේධා මහණ වුණා. අභිඤ්ඤා හයම සාක්ෂාත් කළා. අග්‍ර ඵලය වන අරහත්වය ලබාගත්තා.
රාජ කුමාරියක් වූ සුමේධා හට ඒ අමා නිවන අසිරිමත් දෙයක් වුණා. අද්භූත දෙයක් වුණා. අවසාන කාලෙ පුබ්බේනිවාස ඥානයෙන් අතීත තොරතුරු හෙළි කළා.
කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලෙ සංඝාරාමයක් පිහිටෙව්ව. ඒ කාලෙ ධනංජානිත්, ඛේමාත්, මාත් එකතු වෙලා විහාර පූජාවක් කළා.
ඒ පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් සිය දහස්වර දෙවියන් අතර ඉපදුනා, මිනිස් ජීවිත වල උපන්වාර ගණන ගැන කවර කථාද?
දෙවියන් අතර ඉපදුන කාලෙත් ගොඩක් බල සම්පන්නයි. මිනිසුන් අතර ඉපදුන කාලෙ ගැන කවර කථාද..? රත්න හතක් තියන සක්විති රජතුමාගෙ අගමෙහෙසිය වෙලා මාත් ස්ත්‍රී රත්නයක් බවට පත් වුණා.
ඒකට හේතුව කෝණගමන බුදු සමිඳුන්ගෙ කාලෙ කරපු පින්වල විපාක තමයි. මේ ජීවිතේදී නිවනට බැසගත්තා. ධර්මයේ ඇලුනු සුමේධා මේ බුදු සසුනේ නිවන් දැක්කා.
අළාමක ප්‍රඥා තියෙන බුදු සමිඳුන්ගෙ උතුම් වචන අදහාගත්තනම් ඒ විදිහටම අනුගමනය කරනවනම් ඔවුන් භවයට අයිති සියලු දේ ගැනම කලකිරෙනව. නිවන කරාම යනවා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මේ වනාහි සුමේධා නම් රහත් තෙරණිය වදාල ගාථාවන්ය….

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2LuTFvj
• පුණ්‍යානුමෝදනාව :-

සක්කෝ දේවානමින්දෝ ඉමං පුඤ්ඤානුමෝදතු !

ඝටීකාරෝ බ්‍රහ්මරාජා ඉමං පුඤ්ඤානුමෝදතු !

විස්සකම්මෝ දේවපුත්තෝ ඉමං පුඤ්ඤානුමෝදතු !

පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං.

පුරිමං දිසං ධතරට්ඨෝ දක්ඛිණේන විරූළ්හකෝ

පච්ඡිමේන විරූපක්ඛෝ කුවේරෝ උත්තරං දිසං

චත්තාරෝ තේ මහාරාජා ඉමං පුඤ්ඤානුමෝදන්තු !

පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං.

ඉන්දෝ සෝමෝ වරුණෝ ච භාරද්වාජෝ පජාපතී,

චන්දනෝ කාමසෙට්ඨෝ ච කින්නිඝණ්ඩු නිඝණ්ඩු ච.

පනාදෝ ඕපමඤ්ඤෝ ච දේවසූතෝ ච මාතලී,

චිත්තසේනෝ ච ගන්ධබ්බෝ නලෝ රාජා ජනේසභෝ.

සාතාගිරෝ හේමවතෝ පුණ්ණකෝ කරතියෝ ගුළෝ,

සීවකෝ මුචලින්දෝ ච වෙස්සාමිත්තෝ යුගන්ධරෝ.

ගෝපාලෝ සුප්පගේධෝ ච හිරිනෙත්තී ච මන්දියෝ,

පඤ්චාලචණ්ඩෝ ආළවකෝ පජ්ජුන්නෝ සුමනෝ සුමුඛෝ දධීමුඛෝ,

මණි මාණි චරෝ දීඝෝ අථෝ සේරිස්සකෝ සහ.

ඒතේ සේනාපතී දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු !

පුඤ්ඤං තං අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු බුද්ධ සාසනං.

අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ “පින් මතුවන වන්දනා” ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.

Path to Nirvana පේජය වෙනුවෙන් සැකසුම – හර්ෂ සම්පත් ජයලත්

New at Little Bit


from Path to Nirvana https://ift.tt/30kE6KR
💛🧡අපේ බුදුහාමුදුරුවෝ 42🧡💛
🌷 පදුම බුදුහාමුදුරුවෝ 01 🌷
🍂 මුළු දඹදිව තලය පුරා ද ඒ අවට මහා සාගරය ද පුරා ද මහා පියුම් වැස්සක් වස්සමින් ලොව පහල වූ පදුම බුදුහාමුදුරුවෝ. 01 🍂

අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේට පසු කාලයේ අවුරුදු ලක්ෂයක් ආයු ඇති මිනිස්සු පිළිවෙලින් දස වස් ආයුෂ දක්වා කෙමෙන් අඩු වී නැවත අසංඛ්‍යයක් දක්වා ආයුෂ වැඩි වන්නට වුණා. ඉන් පසු නැවතත් කාලය ඇවෑමෙන් මිනිසුන්ගේ ආයුෂ අසංඛයේ සිට ලක්ෂය දක්වා පිරිහෙන්නට වුණා. ඒ කාලයේ පදුම නම් බුදු හාමුදුරුවෝ මෙලොව පහළ වුණා. අපි මුලින් කීවා බුදුවරු තුන් නමක් ලෝකයාට ධර්මය දේශනය කරන කල්පයට කියන්නේ වර කල්පය කියලා. මේ එවැනි වර කල්පයක දෙවැනි බුදු රජාණන් වහන්සේ. උන් වහන්සේත් පාරමී පුරා අවසානයේ තුසිත දිව්‍ය ලොව ඉපිද එතනින් චුත ව චම්පා නුවර අසම නම් රජ කුල රජකුල රූපාදියෙන් අසම අසමා නම් අගමෙහෙසියගේ කුස පිළිසිඳ ගත්තා. උන්වහන්සේ දසමස් ඇවෑමෙන් පස්සේ මවු කුසින් නික්ම චම්පක උයනෙහි දී මෙලොව එළිය දුටුවා. උන්වහන්සේ මෙලොව පහළ වූ මොහොතේත් විශේෂ සිදුවීමක් සිදුවුනා. එනම් මුළු දඹදිව තලය පුරා ද ඒ අවට මහා සාගරය ද පුරා ද මහා පියුම් වැස්සක් වසිනු ලැබුවා. ඒ නිසාම උන් වහන්සේට නම් තබන දිනයේ නම් තබන්නෝ ද නෑයෝ ද මහා පදුම කුමාර කියා නම් තැබුවා .

උන්වහන්සේ අවුරුදු දස දහසක් දස දහසක් ගිහිගෙයි වාසය කළා. උත්තර, වසුත්තර, යසුත්තර නමින් ඒ ඒ සෘතුවෙහි වාසය කිරීමට මහා ප්‍රසාද තුනක් උන්වහන්සේටත් තිබුණ. උත්තරා දේවිය ප්‍රමුඛ දෙතිස් දාහක ස්ත්‍රීන් දිවා රාත්‍රියෙහි උන් වහන්සේට ඇප උපස්ථාන කළා. කාලයක් ඇවෑමෙන් ඒ උත්තර දේවිය රම්ම නම් පුතෙකු මෙලොවට බිහි කළා . එදිනම ඒ බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැක ගිහිගෙයි කළකිරි අජෙඤ්‍ඤ රථයෙන් මහබිනික්මන් කළා. පැවිදි වූ උන් වහන්සේ සමඟ කෙලක් පුරුෂයන්ද පැවිදි භූමියට ඇතුළත් වුනා. ඒ බෝසතාණන් වහන්සේ ඔවුන් පිරිවරා අටමසක් දුෂ්කර ක්‍රියා කොට ධඤ්‍ඤවතී නුවර සුඛඤ්‍ඤ සිටුහු ගේ ධඤ්‍ඤවතී නම් දියණිය පිදු මී කිරිබත් වළඳා මී අඹ උයනෙහි දිවවිහාර කොට සවස තීර්ථක ආජීවක දුන් අටතණමිට ගෙන කොටිල බෝධිය වෙත පැමිණ අටතිස් වියන් පළල ඇති තන ඇතිරිලි අතුරා පැලක් බැඳ චතුරංග වීර්යාධිෂ්ඨාන කොට මරබල නසා තුන් යම්හි ත්‍රිවිද්‍යා පසක් කොට අනේක ජාති ආදීන් උදන් අනා බෝධි සමීපයෙහිම සත් සති ගෙවා බඹ ඇරයුම පිළිගෙන ධර්ම දේශනයට බඳුන් වන පුද්ගලයන් විමසන සේක් තමන් සමඟ පැවිදි වූ කෝටියක් පමණ භික්ෂුන් දැක එකෙණෙහි ම අහසින් ධඤ්‍ඤවතී නුවර අසල ධනඤ්‍ඤයි උයන්හි බැස ඔවුන් පිරිවරා ඔවුන් මැද දහම්සක පැවැත්වූවා. එකල සියක් කෝටියකට ධර්මාවබෝධය වුණා .

පසු කලෙක පදුම භාග්‍යවතුන් වහන්සේ සිය බාල සොහොයුරු සාල කුමරුද උපසාල කුමරුද සපිරිවර ඥාතිසමාගමයෙහි පැවිදි කරවා ඔවුන්ට ධර්ම දේශනා කරද්දී අනූ කෙල කට දහම් අමා වැසි පොවනු ලැබුවා. යම් දිනෙකරම්ම තෙරුන්ට දහම් දෙසූ සේක් ද එකල අසූ කෝටියක් හට තෙවැනි වර ධර්මාවබෝධ වුණා .

තුසිත රාජපක්ෂ
ප්‍රංශය

04-08-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/32DU58z
සිද්ධාර්ථ බෝසතුන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත්ව බරණැස ඉසිපතනාරාමයට වැඩමවා ප්‍රථම ධර්ම දේශනාව දම්සක් පැවතුම් සූත්‍රය මාතෘකා කොට දේශනා කොට වදාළා. එදින ධර්ම ශ්‍රවණය කළ සාතාගිර නම් යක්‍ෂයා සෝවාන් භාවයට පත් වූ අතර තමාගේ යහළු හේමවත යක්‍ෂයාට බුදුරදුන් ලෝ පහළ වී ඇති බව පැවසීම සඳහා තම පිරිවර සමඟ පිටත්ව ගියා.

මේ කාලයේ ම හිමාලයෙහි අකාලයේ මල් පිපී ඇති බව දුටු හේමවත යක්‍ෂයා ද ඒ බව තම සාතාගිර නම් යහළුවාට දන්වා හිම ක්‍රීඩා කිරීමට ඔහු කැඳවාගෙන ඒම සඳහා පිටත්ව ආවා. ඒ දෙදෙන රජගහ නුවර කාලි නම් උපාසිකාවගේ නිවසෙහි ඉහළ අහසෙහි දී මුණ ගැසුණා. සාතාගිර බුදුරදුන් පිළිබඳවත්, ඇසූ දහම් පිළිබඳවත් විස්තර ප්‍රකාශ කොට අවසන් වත්ම හේමවත යක්‍ෂයා ද සෝවාන් භාවයට පත් වුණා. එදා ඒ යහළු යක්‍ෂයන් දෙදෙනා එක්ව කළ ධර්මය පිළිබඳ සාකච්ඡාව අසා සිටි කාලි නමැති පෙර පින් ඇති කාන්තාව සෝවාන් භාවයට පත්වීම විශේෂ සිදුවීමක්. අප ගෞතම බුද්ධ ශාසනයෙහි පළමුව සෝවාන් භාවයට පත්වූ කාන්තාව මේ කාලි උපාසිකාව යි. ගැබිනියකව සිටි ඇය එදින රාත්‍රියෙහි බිහි කළ දරුවාට සෝණ යන නම තැබුවා. රජගහ නුවර දී මේ කුමරුවා බිහි වීමෙන් අනතුරුව මව සමඟ කලින් ජීවත් වූ කුරරඝර නම් නුවරට ගොස් ජීවත් වුණා. වයසින් වැඩෙත් ම කුඩා කුමරුවාගේ කණෙහි කෝටියක් වටිනා ආභරණයක් පැළඳවූ හෙයින් කූටිකණ්ණ යන නම ද එකතු කොට කූටිකණ්ණ සෝණ නමින් ප්‍රසිද්ධියට පත් වුණා.

මහා කච්චාන රහතන් වහන්සේ කුරරඝර නුවර අසළ තිබූ පවත්ත නම් පර්වතයෙහි වැඩ වාසය කළ අතර කාලි උවැසියගේ නිවසෙහි නිතර දානය වැළඳීමට පුරුදුව සිටියා. ටික කලෙකට පසු කූටිකණ්ණ සෝණ කුමරුවා තමන්ට පැවිදි වීමට අවශ්‍ය බව තෙරණුවන්ට දැන්වූවා. සිවුමැලි බැවින් කුමරුවන්ගේ ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්‍ෂේප කළ නමුත් නැවතත් ඉල්ලා සිටියෙන් පැවිදි කළා. මේ අවන්ති දේශයෙහි භික්‍ෂූන් අඩුවෙන් වැඩ සිටිය නිසා ඉතා අපහසුවෙන් දස නමක් සොයා ගෙන සෝණ හිමියන් උපසම්පදාවට ද පත් කළා.

සෝණ හිමියන් මහා කච්චාන තෙරුන් වෙතින් ධර්මය මනා කොට උගත්තා. එක් වප් කාලයක් අවසානයේ දී බුදුරදුන් දැකීමට තදබල කැමැත්තක් තමා තුළ ඇති හෙයින් එයට අවසර දෙන මෙන් මහා කච්චාන හිමියන්ගෙන් ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටියා. එයට අවසර දුන් උන් වහන්සේ තමා වෙනුවෙන් ද බුදුරදුන්ගේ පා නැමැඳ වර පහක් ඉල්ලාගෙන එන මෙන් සෝණ හිමියන්ට නියම කළා.

සාමණේර නමක් උපසම්පදා කිරීමට උපසපන් දස නමක් හෝ ඊට වැඩි ගණනක් අවශ්‍ය බව බුද්ධ නියමය යි. බුදුරදුන් වැඩ සිටි මධ්‍ය දේශයට එය එතරම් අපහසු වූවක් නොවේ. එහෙත් අවන්ති දේශය වැනි දුර බැහැර ප්‍රත්‍යන්ත දේශයන්හි භික්‍ෂූන් දස නමක් සොයා ගැනීම පහසු වූවක් නොවෙයි. මේ නිසා දස නමකට අඩු භික්‍ෂුණ් ගෙන් උපසම්පදා විනය කර්මය සිදු කිරීමට අවසර දීම පළමු වන වරය යි. දෙවැන්න වූයේ අධික වැසි කාලයෙහි ඇතිවන ගවයන්ගේ කුර සටහන් අධික ඌෂ්ණ කාලයෙහි වියළී තිබූම නිසා යාම් ඊම් අපහසු වූ නිසා අඩි සවිකළ පාවහන් දැමීමට අනුමැතිය දීමයි. භික්‍ෂූන්ට අවශ්‍ය පරිදි නිතර නෑමට අනුමැතිය දීම තුන්වැන්න වූ අතර සමින් කළ ඇතිරිලි පරිහරණය කිරීමට භික්‍ෂූන්ට අනුමැතිය ලබා දීම සිවුවැන්න යි. පස්වන වරය වූයේ දායකයන් විසින් නම නියම කොට භික්‍ෂූන්ට පරිත්‍යාග කොට එවන සිවුරු පිළිගැනීමට අනුමැතිය දීමයි.

කූටකණ්ණ සෝණ හිමියන් ආචාර්යන් වහන්සේ ගෙන් අවසර ගෙන සැවැත්නුවර ජේතවනාරාමයට වැඩමවා බුදුරදුන් හමුව වැඳ අවසර ගත්තා. ඒ සෝණ තෙරුන්ට බුදුරදුන් වැඩ සිටි විහාරයෙහිම රාත්‍රිය ගත කිරීම සඳහා ආනන්ද හිමියන් ලවා සෙනසුනක් පිළියෙල කොට භාර කළා. ඉතා අලුයම පිබිදුණු බුදුරදුන් කූටිකණ්ණ සෝණ හිමියන් අමතා ධර්මයක් දේශනා කරන මෙන් නියම කළා. කිසිදු පැකිලීමක් නැතිව සෝණ හිමියන් ඉතා මිහිරි හඬින් ධර්මය දේශනා කරන කොට අවසන් වීමත් සමග බුදුරදුන් සාධු නාද පැවැත්වූවා. එයින් නොනැවතුන උන් වහන්සේ ඔබේ ධර්ම දේශනාව හරි මිහිරියි. වදන් වැල මනාව ඉදිරිපත් කළා. අර්ථය ඉතා පැහැදිලි වන අන්දමට ධර්මය දේශනා කළ බව පෙන්වා දී දැන් උපසම්පදාවට පත්ව කොපමණ කලක් ගතවූයේ දැයි ප්‍රශ්න කළා. ස්වාමීනි එක අවුරුද්දයි යනුවෙන් සෝණ හිමියන් පිළිතුරු දුන්නා. මෙපමණ අඩු කාලයකින් උසස් පුහුණුවක් ලැබූයේ කෙසේදැයි බුදුරදුන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් සෝණ හිමියන් කම් සැපයේ ආදීනව තමා අවබෝධ කර ගත් නිසා බව සඳහන් කළා. නැවතත් තම බලවත් ප්‍රීතිය ප්‍රකාශ කළ බුදුරදුන් උන් වහන්සේට ප්‍රශංසා කළා.

සෝණ හිමියන් නැවතත් තම ගුරු හිමියන් වෙනුවෙන් බුදුරදුන්ගේ පා වැඳ මහා කච්චාන හිමියන් ඉල්ලූ වර පහ බුදුරදුන්ට ගෞරවයෙන් ඉදිරිපත් කොට ඒ සඳහා අවසරය ලබා ගැනීම ශාසන ඉතිහාසයෙහි ඉතා වැදගත් සිදු වීමක්. තම මෑණියන් විසින් ගඳ කිලියේ ඇතිරීමට දෙන ලද කම්බිලිය බුදුරදුන්ට පුදා අවසර ගෙන ආපසු වැඩමවා තම ගුරු හිමියන්ට හා මවට සියලු තොරතුරු දැනුම් දුන්නා. මහත් සතුටට පත් මව තම පුත් සෝණ හිමියන් ලවා ධර්මය දේශනා කරවා ගෙන අවසානයෙහි සතුටින් සාදුකාර දුන්නා. පසු අවස්ථාවක සිවුවණක් පිරිස හමුවේ දී මගේ ශ්‍රාවකයන් අතර මිහිරි වදන් ඇති භික්‍ෂූන්ගෙන් කූටිකණ්ණ සෝණ හිමියන් අග්‍ර වන්නේ යැයි උන්වහන්සේට අග තනතුරු දී වදාළා

New at Little Bit


from Path to Nirvana https://ift.tt/30iJ2jn
🌺ඉන්ද්‍ර, 🌺සෝම, 🌺වරුණ, 🌺භාරද්වාජ, 🌺පජාපතී, 🌺චන්දන, 🌺කාමසෙට්ඨ, 🌺කින්නුඝණ්ඩු, 🌺නිඝණ්ඩු, 🌺පණාද, 🌺ඕපමඤ්ඤ, 🌺දේවසූත, 🌺මාතලී, 🌺චිත්තසේන, 🌺ගන්ධබ්බ, 🌺නලයරාජ, 🌺ජනේසභ, 🌺සාතාගිර, 🌺හේමවත, 🌺පුණ්ණක, 🌺කරතිය, 🌺ගුල, 🌺සීවක, 🌺මුචලින්ද, 🌺වෙස්සාමිත්ත, 🌺යුගන්ධර, 🌺ගෝපාල, 🌺සුප්පගේධ, 🌺හිරිනෙත්තී, 🌺මන්දිය, 🌺පඤ්චාල චණ්ඩ, 🌺ආලවක, 🌺පජ්ජුන්න, 🌺සුමන, 🌺සුමුඛ, 🌺දධීමුඛ, 🌺මණීමාණිවර, 🌺දීඝ, 🌺සේරිස්සක

(මූලාශ්‍රය – ආටානාටිය සූත්‍රය)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/31jqAIZ
💛🧡අපේ බුදුහාමුදුරුවෝ 41🧡💛

🌷 අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 04 🌷

🍂 අප බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සලේගේ ප්‍රර්ථනාව 02 🍂

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ සසරේ කලාතුරකින් කෙනෙකුට ලැබෙන මහා සම්පතක්. ඔහු නිරන්තරයෙන්ම සසරේ තමාගේ යහළුවෝ තනිකර නිවන් පුරට යන්නේ නැහැ. එවැනි සම්පතක් මුගලන් හාමුදුරුවන්ටත් තිබුනා. ඒ විතරක් නෙවෙයි බොහෝ විට ඒ අය සසරේ ගමන් කරන්නේ එකට. අත්වැල් බැඳගෙන වගේ. එක්කෙනෙක් වැටෙනකොට හෝ වල්මත් වෙනකොට අනිකා නැගිට්ටවනවා හෝ පාර කියනවා. එදත් වුනේ ඒ වගේ සිදුවීමක්. සරද තාපස තුමා අගසවු තනතුර සඳහා විවරණ ගත් ක්ෂණයෙන් උන්වහන්සේට මතක් වුනේ තමන්ගේ අඹ යහළුවා වන සිරිවඞ්ඪ කෙළෙඹීයාව.

සරද තාපස තෙමේ තමා අගසව් ලබන ගෞතම බුද්ධශාසනයේ දෙවන ශ්‍රාවක තනතුර තමාගේ යහළුවා වන සිරිවඞ්ඪ කෙළෙඹීයා ලවා ප්‍රාර්ථනා කරනු කැමැත්තේ ඔහු වෙත යන්නට පිටත්වුනා. සිරිවඞ්ඪ, ‘බොහෝ කලකින් ආර්යයන් වහන්සේ පැමිණියහ’ යි ආසනයක හිඳුවා ඔහුද නීවාසනයෙක හිඳ ‘ස්වාමිනි, අද නුඹ වහන්සේගේ අතවැසියෝ නො පෙනෙති’ යි වටපිට බලමින් විමතියෙන් කියන්නට වුනේ හැත්තෑහතර දහසක පිරිවර එදා නොසිටි හෙයින්.
‘එසේය යහළුව, අපේ අසපුවට අනවමදර්ශි සර්වඥයන් වහන්සේ පැමිණියා. උන්වහන්සේ අපට දහම් දෙසූනු ලැබුවා, දේශනාවසානයෙහි මාගේ ශිෂ්‍යයෝ රහත්ව උන්වහන්සේ වෙත පැවිදි වුනා.

‘ස්වාමිනි, එසේ නම් නුඹ වහන්සේ ඒ බුදුරදුන් වෙත පැවිදි නො වූයේ මන්දැ’ යි සිරිවඞ්ඪ මවිතයෙන් ඇසුවා.

‘යහළුව, මම ඒ බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ නිසභ තෙරුන් වහන්සේ දැක අනාගතයෙහි ලොව පහළ වන ගෞතම නම් බුදුරදුන්ගේ සස්නෙහි අග සව් තනතුර පැතුවා, ඔබ ද ඒ බුදු සස්නෙහි දෙවන සව් තනතුර පතන්නට කැමති කරවගන්නයි පැමිණියේ යනුවෙන් ඔහු පවසනු ලැබුවා.

සිරිවඞ්ඪ කෙළෙඹි එයට කැමති වි සරද තාපසයන්ගේ උපදෙස් පරිදි තමාගේ නිවස ඉදිරියේ අටකිරියක් පමණ භූමිභාගයක් සමතලා කරවා වැලි ඉස්වා ලදපස්මල් ඉස්වා නිලූපුල් මල් පියැස්ස ඇති මඩුවක් කරවා අසුන් පනවා මහත් සත්කාරයත් පිළියල කොට බුදුන් වහන්සේ වැඩමවා දෙන පරිදි සරද තාපසතුමාට කියා සිටියා. තාපසතුමාත් ඔහුගේ ඉල්ලීම පරිදි බුදුපාමොක් මහසඟන ඔහුගේ නිවසට වැඩම කරනු ලැබුවා. සිරිවඞ්ඪ පැනවූ අසුන් වල බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඟන වඩා හිඳුවා ප්‍රණීත භෝජන වළදවා අවසානයේ දී වටිනා වස්ත්‍ර ද පුදා තථාගතයන් වහන්සේ වැඳ ස්වාමිනි, මාගේ මේ උත්සහය සුළු දෙයක් නොව්ය, එබැවින් මට සතියක්ම මෙසේ අනුකම්පා කරන සේක්වා’ යි දැයි විමසා සිටියා.

තථාගතයන් වහන්සේ ඔහුගේ ආරාධනාව ඉවසා වදාරනු ලැබුවා. ඔහු සත්දිනක් මහදන් දී අවසානයේ අනවමදර්ශී සම්බුද්ධයන් වහන්සේ වැඳ ඇඳිලි බැඳ සිට ‘ස්වාමිනි, මාගේ යහළු සරද තාපසතුමා යම් බුදුකෙනෙකුන්ගේ අගසව් බව පැති ද මම මේ කුශලයෙන් ඒ බුදුරදුන්ගේ ද්විතීය අග්‍රශ්‍රාවක වෙම්වා’ යි පතනු ලැබුවා. තථාගතයන් වහන්සේ අනාගතය බලා ඔහුගේ ප්‍රාර්ථනාව සිදුවන බව දැන ‘නුඹ මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතු බුදුවන ගෞතම නම් සර්වඥයන් වහන්සේගේ ද්විතීයාග්‍රශ්‍රාවක වන්නෙහිය’ යි වදාරනු ලැබුවා. හෙතෙමේ එසේ අනවමදර්ශී බුදුරදුන් ඉදිරියේ කළ ප්‍රාර්ධනාවෙන් මොග්ගල්ලාන නම් ද්විතීයාග්‍රශ්‍රාවක වශයෙන් අපගේ බුදු සසුනේ පිදුම් ලැබුවා.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය

30-07-2019

විශේෂ පුන්‍යානුමෝදනාව- රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේට සහ සූවිසි මහ ගුණය නමැති වටිනා ග්‍රන්ථය ලඝුගණක කොට අන්තර්ජාලයට මුදාහල path to nirvana හි ජනක කල්‍යාණ මිතුරාට. මුලාශ්‍ර – මනොරථ පුර්ණි 84

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NdXnvK
භික්ෂුණී සමාජය ස්ථාපිත වූ බිනර පුර පසළොස්වක පොහොය
බිනර පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයේ ඉතා සුවිශේෂී දිනයකි. භික්ෂුණී සමාජය ආරම්භ වීම එහි ප්‍රධාන හේතුවයි. බුද්ධ ශාසනය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසෙන් සැදුම්ලත් එකකි.
සුදෝවුන් මහ රජතුමාගේ දෙවන අගබිසව වූ ද සිද්ධාර්ථ කුමරුගේ දෙවන මව්වූද, නන්ද කුමරුගේ මෑණියන් වූද මහාප්‍රජාපතී ගෝතමිය බිනර පුර පසළොස්වක පොහෝ දිනක පැවිදි උපසම්පදාව ලත් හෙයින් එයම භික්ෂුණී සමාජයේ අරැඹුම විය. නමුත් එම භික්ෂුණී සමාජයේ ආරම්භය ඉතා පහසුවෙන් ඇති වූ දෙයක් නොවේ. එම උතුම් අවස්ථාව කාන්තා පක්ෂයට උරුම වූයේ ඉවසීමේ ප්‍රතිඵලයක් වශයෙනි. දැඩි අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් වශයෙනි. සංවිධානය වීමේ මෙන්ම දැඩි කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
ඒ බව කාන්තාවන්ගේ පැවිදි උපසම්පදාව ලබා ගැනීම පිළිබඳ වංශ කථාවේ විස්තර වේ.
බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට කිඹුල්වත්පුරයට වැඩම කොට සුදොවුන් මහරජතුමාට දේශනා කළ ධර්මය අසා මහා ප්‍රජාපතී ගෝතමිය උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියාය. එතුමියගේ පුත් නන්ද කුමරු බුදුපියාණන් ගේ මඟපෙන්වීම මත පැවිදි විය. මුනුබුරු රාහුල කුමාරයාද කුඩා අවධියේම සසුන්ගත විය. ඒ අතරතුර සුදොවුන් මහරජතුමාගේ අභාවය සිදුවිය. මෙවැනි සිදුවීම් ගණනාවක අතරමංව සිටි මහා ප්‍රජාපතී ගෝතමියට ද මෙසේ කල්පනා විය.
මාගේ සොහොයුරිය කලුරිය කළාය. ඇගේ පුත් සිද්ධාර්ථ කුමරුවෝ රජ සැප අතහැර පැවිදිව බුදු පදවි ලදහ. නන්ද සහ රාහුල දෙදෙනාද ඒ මග ගියහ. මාගේ සැමියාද ගිහි ගෙයිදීම රහත්ව පිරිනිවන් පෑහ. මටද මේ රජ සැප කුමකටද, මමද බුදුපියාණන් වහන්සේගෙන් ශාසනික දායාදය ලබා ගත යුතුයැයි සිතීය. මේ වන විට භික්ෂුණි සමාජය ආරම්භ කර නොතිබුණි. ඒ නිසා මහා ප්‍රජාපති ගෝතමිය පැවිදිවීමට බුදුපියාණන් වහන්සේගෙන් අවසර ලබා ගනු පිණිස අවස්ථාවක් බලමින් සිටියාය. මේ අතර කාලයේදි රෝහිණි නදියේ ජලය පිළිබඳ අරගලයකට ශාක්‍ය කෝලිය දෙපාර්ශ්වය සුදානම් වෙමින් සිටියහ. මෙම කනගාටුදායක සිද්ධිය දැනගත් බුදුපියාණෝ දෙපාර්ශ්වයේම සාමය උදෙසා කිඹුල්වතට වැඩම කළහ.උන්වහන්සේගෙන් බණ ඇසූ දෙපාර්ශ්වයම සමගිව එක් පාර්ශ්වයකින් දෙසිය පනහ බැගින් පන්සියයක තරුණ පිරිසක් සසුන්ගත වූහ. ඒ අයගේ බිරින්දෑවරු මහා ප්‍රජපාතී ගෝතමිය වටා ඒකරාශි වූහ.
මහා ප්‍රජාපති ගෝතමිය පන්සීයක් කාන්තාවන් සමඟ නිග්‍රෝධාරාමයට සමීප විය. එහි විවේකීව වැඩ සිටි බුදුරජාණන් වහන්සේ බැහැ දැක, වැඳ පුදා පැවිදිවීමට තමන් තුළ පවත්නා ඇල්ම දක්වා කාන්තාවන්ට පැවිදි වීමට අවසර පැතීය. මෙය එයට අවස්ථාව නොවන බව පවසා ඉල්ලීම ප්‍රතික්ෂේප කළ සේක. දෙවන තෙවන වතාවටත් කාන්තාවන්ට පැවිද්ද අයැද සිටියද ඒවාද ප්‍රතික්ෂේප විය. මේ සිද්ධියෙන් මහත් ශෝකයට පත් ප්‍රජාපතී ගෝතමිය තම අදහස අත්හලේ නැත. ඉවසීය. අධිෂ්ඨානශීලි විය. තම අනුගාමික පිරිස සමඟ මැනවින් සංවිධානය විය. හිස මුඩුකරගත්හ. කහවත් ඇන්දහ. මැටි පාත්‍ර අතැතිව සැරි සැරූහ.
බුදුපියාණෝ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයෙහි විසාලා මහනුවර කූටාගාර සාලා නම් ආරාමයේ වැඩ විසූහ. මෙකල මහාප්‍රජාපති ගෝතමිය සිය අනුගාමික පන්සීයක් කාන්තා පිරිස සමඟ කිඹුල්වත්පුර සිට විසාලා මහනුවරට, පා ගමනින්ම පැමිණියහ. දුරකතර මග ගෙවා පැමිණීමෙන් එතුමිය ඇතුළු පිරිසගේ පා ඉදිමී බිබිලි නැඟ තිබුණි. ඇතැම් බිබිළි තුවාල වී ලේ ගැලීය. දුවිලි වැදීමෙන් සිරුරේ පැහැය පවා වෙනස් ව තිබිණ, මහාප්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිස කූටාගාර ශාලාව අබියස හඬමින් කඳුළු සලමින් සිටියාය. මේ දසුන ආනන්ද හිමියනට දක්නට ලැබුණි. ඈ කෙරෙහි බලවත් අනුකම්පාවක් ඇතිවිය.අනඳ හිමි ඈ වෙත එළැඹ කරුණු විචාළහ. එවිට ඇය මෙසේ පිළිතුරු දුණි.
අනඳ හිමියනි, තථාගතයන් වහන්සේ කාන්තාවනට සසුන් ගත වන්නට අවසර නොදෙන සේක. මා තෙවරක්ම පැවිදි වීමට අවසර පැතුවද එය අසාර්ථක විය. අප පැමිණියේ එම ආයාචනය නැවත සිහිපත් කර වීමටයි.
ප්‍රජාපතී ගෞතමයිනි, මදක් ඉවසන්න, මම බුදුරජුන්ගෙන් එම අවසරය ලබා ගැනීමට උත්සාහ කරමි. ඉන්පසුව ආනන්ද තෙරණුවෝ බුදුපියාණන් වෙත ගොස් ස්වාමීනි, ඔබ වහන්සේ කුඩා කල හදා වඩා ආරක්ෂා කළ, සුළු මව මහා ප්‍රජාපතී ගෝතමිය සසුන් ගත වීමට අවසර නොලැබීම නිසා බලවත් කම්පාවෙන් කිඹුල්වත සිට පා ගමනින්ම පැමිණ සිටිනවා. එතුමියට පැවිදි වීමට අවසර ලබා දී භික්ෂුණී සමාජය ස්ථාපිත කරන සේක්වායි ඉල්ලා සිටියහ. ප්‍රථම වතාවෙන්ම එම ඉල්ලීම සාර්ථක නොවීය. දෙවන,තෙවන, සිව්වන අවස්ථාව දක්වාම යෝජනාව ඉදිරිපත් කිරීමට සිදුවිය. අවසානයේ ආනන්ද, පෙර බුදුවරු දවස කාන්තාවන් සසුන් ගත වීමේදි පිළිගත් සම්මත ගරු ධර්ම මහා ප්‍රජාපති ගෝතමියද පිළිගන්නේ නම්, පිළිපදින්නේ නම් එයම ඇයට මහණ උපසම්පදාව පිහිටීම පිණිස හේතු වන බව පෙන්වා දුන්හ. ඒ ගරු ධර්ම අට කවරේදැයි ආනන්ද තෙරණුවෝ බුදුරජුන්ගෙන් විචාළ කල්හි උන්වහන්සේ මෙම ගරු ධර්ම මෙසේ ගෙන හැර පෑහ.
1.භික්ෂුණිය උපසම්පදා වී අවුරුදු සියයක් ගත වී තිබුණද එදිනම උපසම්පදා වූ භික්ෂුවක් දුටුවිට හුනස්නෙන් නැගිට නමස්කාර කිරීම ආදි ගරු සැලකිලි දැක්විය යුතුය.
2.භික්ෂුණිය, භික්ෂූන් වාසය නොකරන ප්‍රදේශවල ආරාමවල වස් නොවැසිය යුතුය.
3.භික්ෂුණිය අඩ මසකට වරක් භික්ෂු සංඝයා වෙත පැමිණ පොහොය විචාරීමද අවවාද අනුශාසනා ලබාගත යුතුය.
4.භික්ෂුණිය වස් වසා අවසානයේ භික්ෂු, භික්ෂුණී දෙපක්ෂය ඉදිරියේ පවාරණය කළ යුතුය.
5.භික්ෂුණිය අතින් ගරුක ආපත්ති නමින් හැඳින්වෙන දැඩි වරදක් සිදු වූ විට එම වරදින් මිදීම පිණිස භික්ෂු, භික්ෂුණී යන දෙපක්ෂය ඇසුරු කර මානත් නම් විනය කර්මය කළ යුතුය.
6.භික්ෂුණිය උපසම්පදාවීමට ප්‍රථමයෙන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති අවුරුදු දෙකක් පුරුදු පුහුණු කළ යුතුය.
7.භික්ෂූණිය කිසිඳු කරුණක් නිසාවත් භික්ෂුවකට ඇනුම් බැනුම් දෝෂාරෝපණ නොකළමනාය.
8.භික්ෂුණිය භික්ෂූන්ට අවවාද නොකළ යුතුය. භික්ෂුව භික්ෂුණීන්ට අවවාද අනුශාසනා කළ යුතුය. භික්ෂුණිය ඒවා පිළිපැදිය යුතුය.
ආනන්ද තෙරණුවෝ බුදුරජාණන් වහන්සේ වෙතින් අෂ්ට ගරු ධර්ම උගෙන මහා ප්‍රජාපති ගෝතමිය වෙත ගොස් එම ගරු ධර්ම අට පිළිගන්නේ නම් මහණ උපසම්පදාව පිහිටන බව පැවසීය. එහිදී මහාප්‍රජාපති ගෝතමිය, ස්වාමීනි, අලංකාරයට කැමැති පිරිමියෙකු වේවා කාන්තාවක වේවා උපුල් දෑ සමන් මල් මාලාවක් ලද විට එය දෑතින්ම ගෙන හිස මත පැළැඳැ ගන්නාසේ මම ද මෙම අෂ්ට ගරු ධර්ම හිස් මුදුනින් පිළිගන්නෙමි’යි ප්‍රතිඥා දුණි. එම උතුම් ගරු ධර්ම අට පිළිගැනීමත් සමඟම මහාප්‍රජාපති ගෝතමියගේ පැවිදි උපසම්පදාව සම්පූර්ණ විය. ඒ බව ආනන්ද හිමි බුදුපියාණන්ට දැන්වීය. බුද්ධ නියමය පරිදි සෙසු ශ්‍රාවිකාවන්ද භික්ෂූන් වහන්සේලා වෙතින් පැවිදි උපසම්පදාව ලැබ ගත්හ.
බිනර පුර පෝදා සිදුවු මෙම අසිරිමත් ඓතිහාසික ආරම්භය ඇතැම් අය භික්ෂුණී සාසනයේ නැතිනම් මෙහෙණි සසුනේ ආරම්භය ලෙස වැරැදි අන්දමින් අර්ථ දක්වති. එහෙත් බිනර පුර පෝදා සිදුවූයේ භික්ෂුණි සමාජයේ හෙවත් මෙහෙණි සමාජයේ ආරම්භයයි. භික්ෂු සමාජය, භික්ෂුණී සමාජය කියා නිවැරැදිව අවබෝධ කර ගැනීම වැදගත්ය. සම්බුද්ධ ශාසනය තුළ භික්ෂු ශාසනයත් හෝ භික්ෂුණී ශාසනයත් බුදුපියාණෝ පිහිටුවා නැත.
පැවිදි උපසදම්පදා තත්වයට පත් මහා ප්‍රජාපති ගෝතමිය තථාගතයන් වහන්සේ කරා එළඹ වැඳ නමස්කාර කර උන්වහන්සේ වෙතින් බණ අසා නොබෝ දිනකින්ම රහත් තත්වයට පත් විය.
බිනර පෝය වස් තෙමසට අයත් වේ. වස් කාලය යනු ගමයි පන්සලයි යා කරන පාලමකි. ගමේ විහාරයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා ඇසළ මස වස් සමාදන්ව බෙහෙවින් ආගමික කටයුතුවල නිරතවන කාලපරිච්ඡේදයකි. ගිහි පැවිදි දෙපාර්ශ්වයට තම තමන්ගේ අධ්‍යාත්මය සුවපත් කර ගනු වස් විවිධ දාන, සීල, භාවනා වැඩසටහන් වල නිරත වෙති. වස් සමයට අයත් බිනර පෝය ශාසනික වශයෙන් මෙන්ම සාහිත්‍ය වශයෙන්ද වැදගත් වේ. සාහිත්‍යකරුවන් සරත් කාලයෙහි විවිධ සාහිත්‍ය නිර්මාණද කර ඇති බවට වාර්තා ලැබේ. එබැවින් බිනර පුර පසළොස්වක පොහොය භික්ෂුණි සමාජයේ ආරම්භය සිදුවීම නිසා ශාසනික ආගමික වශයෙන් ඉතා වැදගත් දිනයක් බව සිත්හි තබාගෙන කය, සිත , වචනය මෙහෙයවමින් පින්කම් කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2I4nr88
මාප්පමඤ්ඤෙථ පුඤ්ඤස්ස ආදි මේ ධර්ම දේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි, ඛිළාලපාදක නම් සිටුවරයා උදෙසා දේශනා කරන ලදි.

එක් කාලයක සැවැත්නුවර වාසී මිනිස්සු කොටස් වශයෙන් බෙදාගෙන බුදුන් ප්‍ර‍මුඛ මහාසංඝයාට දන් දුන්හ. දිනක් බුදුරජාණන්වහන්සේ අනුමෝදනා බණ කියමින්,

උපාසකවරුනි, මේ ලෝකයෙහි සමහරු තමන් තනියම දන් දෙති. අනුන් ඒ සඳහා සම්මාදන් කරනොගනිති. ඔහු උපනුපන් තැන්වලදී භොගසම්පත් ලබයි. පරිවාර සම්පත් නොලබයි. සමහරු තමන් දන් නොදෙයි. අනුන් ඒ සඳහා සම්මාදන් කරවයි. ඔහු උපනුපන් තැන්වල පිරිවර සම්පත් ලබයි. භෝගසම්පත් නොලබයි. තව එකෙක් තමනුත් නොදෙයි. අනුනුත් සම්මාදන් නොකරවයි. ඔහු උපනුපන් තැන්වල භෝග හා පිරිවර සම්පතත් යන දෙකම නොලබයි. තවත් පුද්ගලයෙක් තමනුත් දන් දෙනගමන් අනුනුත් සම්මාදන් කරගනී. ඔහු උපනුපන් තැන්වලදී භෝගසම්පතත්, පරිවාරසම්පතත් යන දෙකම ලබයි.

එක් නුවණැති පුද්ගලයෙක් ඒ ධර්මදේශනාව අසා අහෝ, එය අසිරිමත් කරුණකි. මම දැන් උභයසම්පත් ලබාදෙන ක්‍රියාවක් කරන්නෙමියි සිතා බුදුන් නැගිට යන වේලාවෙහි ස්වාමීනි, හෙට දිනයේ අපෙන් භික්‍ෂාව ගනු මැනවැයි ආරාධනා කෙළේය. උපාසකය ඔබට කෙතරම් භික්‍ෂූන් අවශ්‍යද? ස්වාමීනි, සිටින සියලුම භික්‍ෂූන්වහන්සේලා අවශ්‍යයි. බුදුරජාණන්වහන්සේ ඒ ආරාධනය පිළිගත්හ.

හෙතෙම ගමට ගොස් මෑණිවරුන, පියවරුනි, සහෝදරියනි, සහෝදරවරුනි, මම හෙට දානය පිණිස බුදුන් ප්‍ර‍මුඛ මහා සංඝයාට ආරාධනා කෙළෙමි. යමෙකුට යම් පමණ භික්‍ෂූන්ට දිය හැකිනම් එතෙක් භික්‍ෂූන්ට කැඳ ආදිය සඳහා අවශ්‍ය සහල් ආදිය දෙන්න. එක්තැනකදී උයා දෙන්නෙමු යයි උද්ඝෝෂණය කරමින් ගම වටා ඇවිදියි. පසුව එක් සිටුවරයෙක් තමන්ගේ වෙළෙඳසැල වෙත පැමිණි ඒ පුද්ගලයා, දැක, මොහු තමන්ට දියහැකි තරමින් භික්‍ෂූන්ට ආරාධනා නොකොට ගමපුරා සම්මාදමේ යයි කෝපවී ඔබ ගෙනා භාජනය ගෙනෙන්නැයි කියා ඇඟිලි තුනට අසුවන ප්‍ර‍මාණයක් සහල් මුං මෑ ආදියෙන් දුන්නේය. ඔහු එතැන් පටන් බිළාල පාදක (බළල්කකුල්) සිටු නමින් ප්‍ර‍කට විය. ගිතෙල්, පැණි ආදියෙන් දුන්නේ කළයට කරඬියේ කොණක් ඔබා එක් කොණකින් බිංදුව බැගින් වැගිරෙන ප්‍ර‍මාණයකි. උපාසක තෙම, අනිත් අය දුන් දේවල් එක්වකොට පිසවා, සිටුවරයා දුන් දේවල් වෙනවෙනම පිසවා වෙනම තැබුවේය. සිටුවරයා ඒ දැක, මොහු මා දුන් දේවල් වෙන් කොට තබයි. මෙසේ සිතා ඊළඟට කරන්නේ කුමක්දැයි බලන ලෙස ඔහුගේ පිටුපසින් සුළුසේවකයෙක් යැවීය. ඔහු දන් පිළිගන්වද්දී සිටුවරයාට මහත්ඵල වේවායි කැඳබත් කැවිලිද මුං මෑ ආදියද තෙල් පැණි බිංදුද සියලු භාජනවලට දැම්මේය. සුළුසේවකයා ගොස් ඒ බව සිටුවරයාට දැන්වීය.

ඒ ඇසූ සිටුවරයා, යම්හෙයකින් ඔහු පිරිස මැද නුගුණ කියා මගේ නම කීවොත්, ඒ වෙලාවේම ගසා මොහු මරන්නෙමියි කලවෙහි පිහියක් බැඳ ඊළඟ දිනයේ ගොස් දානශාලාවෙහි සිටියේය. ඒ පුරුෂයා බුදුන් ප්‍ර‍මුඛ භික්‍ෂුසංඝයා වළඳවා භාග්‍යවතුන්වහන්සේට, ස්වාමීනි, මම මහාජනයාත් හවුල් කරගෙන මේ දානය දුන්නෙමි. ඒ සඳහා සම්මාදන් වුණු මිනිස්සු තමතමන්ගේ ශක්ති ප්‍ර‍මාණයෙන් බොහෝවූත් ස්වල්පමාත්‍ර‍ වශයෙනුත් සහල් ආදිය දුන්හ. ඒ සියලු දෙනාටම මේ පින මහත්ඵල වේවායි කීය.

ඒ අසා සිටි සිටුවරයා, මම අසවල් පුද්ගලයා විසින් ඇඟිලිවලින්ගෙන සහල් ආදිය දුන්නේයයි මගේ නම කී හැටියේ මොහු මරන්නෙමියි ආවෙමි. මොහු සියලුදෙනාම සංග්‍ර‍හ කළවුන් හැටියට සලකා නැලි ආදියෙන් මැන දුන් අයටත් ඇඟිලිතුඩුවලින් ගෙන දුන් අයටත් පින සමසේ මහත්ඵල වේවායි කියයි. ඉදින් මම මෙබඳු පුද්ගලයා සමාකරවා නොගත්තොත් දේවදඬුවම මා හිසමත වැටෙන්නේයයි සිටුවරයා ඔහුගේ පාමුල වැඳවැටී ස්වාමීනි, මට සමාවෙන්නැයි ඉල්ලා සිටියේය. මේ කුමක්දැයි ඔහු ඇසූ කල්හි සියලු ප්‍ර‍වෘත්තිය දන්වා සිටියේය. ඒ ක්‍රියාව දුටු ශාස්තෘන්වහන්සේ මේ කිමෙක්දැයි දානයට ව්‍යාවෘතවුණු අයගෙන් විචාළහ. හෙතෙම මුල පටන් ඒ පුවත දන්වා සිටියේය. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ, සිටුවරය, එසේදැයි අසා, එසේය ස්වාමීනියි කීකල්හි, උපාසකය පිනනම් අල්පයයි නිග්‍ර‍හ කළයුතු නැත. මාවැනි බුදුකෙනෙකුන්ට, බුද්ධප්‍ර‍මුඛ සංඝයාට හෝ දන්දී අල්පයයි නොසිතිය යුතුය. නුවණැති මිනිස්සු පින් කරන විට විවෘත භාජනයක් මත ජලබින්දු වැටී පිරෙන්නාක් මෙන් පින්ද සම්පූර්ණ වන්නේයයි කියා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:

එය කුඩා කුසලකි

එයිනුදු පල ලැබේමැයි

යනුවෙන් සිතාගෙන

සුළුවුවද පින් කළයුතු

බිඳුව බැගින් වැගිරෙන

ජලය කළයක් පුරවයි

එහි අර්ථය නම්, නුවණැති මනුෂ්‍යයෝ මම කුඩා පින්කමක් කෙළෙමි. එහි විපාක වශයෙන් මට කිසිවක් නොලැබේ. මෙබඳු කුඩා කර්මයක් කෙසේ නම් මා දකියිද, මම හෝ එය කොහිදී දකින්නද, කවදා නම් එබඳු පිනක් විපාක දෙන්නේදැයි අවමානය ලක් නොකරයි. නිරන්තරයෙන් දියබිඳු වැටීමෙන් විවෘතකොට තබන ලද කළගෙඩි වැනි භාජන ජලයෙන් පිරෙන්නාක් මෙනි. මෙසේ ධෛර්ය සම්පන්න නුවණැති පුරුෂයා ටිකටික පින් රැස්කරමින් විශාල පිනක් ලබාගනියි.

දේශනා කෙළවර ඒ සිටුවරයා සෝවාන්ඵලයට පැමිණියේය. සපැමිණි පිරිසට එම දේශනාව ප්‍රයෝජනවත් විය.

මතු සම්බන්ධයි!

පාළි ධම්මපදට්ඨකථාවේ සිංහල අනුවාදය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

සම්පූර්ණ ලිපි මාලාව: https://ift.tt/2LssJge

තෙරුවන් සරණයි!