Monthly Archives: November 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2rf0Xfj
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 97 🧡💛

අහසින් අබිනික්මන් කළ කස්සප බුදුහාමුදුරුවෝ 01

කෝනාගමන භාග්‍යවතුන් වහන්සේ ගෙන් පස්සේ උන්වහන්සේගේ සාසනයත් කෙමෙන් කෙමෙන් අතුරුදන් වන්නට වුණා . අවුරුදු තිස් දහසක් ආයුෂ තිබූ මිනිසුන් පිරිහීමෙන් අවුරුදු දහය දක්වා ආයුෂ අඩු කර ගත්තා. දස වස් ඇත්තන් ක්‍රම ක්‍රමයෙන් ගුණයෙන් මුහුකුරා යාමෙන් නැවතත් අසංඛ්‍ය දක්වා ආයුෂ වැඩි කර ගත්තා. අසංඛ්‍යයක් ආයුෂ කියන්නේ අවුරුදු වලින් ගණන් කළ නොහැකි ප්‍රමාණයක්. එවැනි කාල වලට මිනිසුන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ වන්නේ නැහැ. මම හිතනෙ විදියට මිනිසුන් මහා ගුණ වන්තයි . ඔවුන් අකුසල වල යෙදීම් යුද්ධ කිරීම් නැති ගානයි . මිනිස් ලොව සදෙව්ලොව මෙන් සැප සම්පත් වලින් ගහනයි . එහෙම කාලවල මිනිසුන්හට දුක්ඛ සත්‍යය අවබෝධ වීමක් නැහැ. මොකද සැප බහුල නිසා. ඒ නිසාම එවැනි කාලවල ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා ලොව පහල වන්නෙත් නැහැ . සියලුම දේ අනිත්‍ය බව පසක් කරමින් ඒ අසංඛ්‍යයක් වූ ආයුෂ කාලය නැවතත් පිරිහීමෙන් අවුරුදු විසි දක්වා අඩු වුණා. අන්න ඒ කාලයේ අප සම්මා සම්බුදු පියාණන් හට අවසාන නියත විවරණය ලබා දුන් කස්සප බුදුරජාණන් වහන්සේ මෙලොවට බිහි වුණා . ඒ අනෙකුත් බුද්ධ වංශ කතා වල කී පරිදිම තුසිත දිව්‍ය ලෝකයේ සිට . ඒ බරණැස් නුවර බඹදත් නම් බමුණුහුගේ භාර්යාව වූ මහා ගුණයෙන් පිරි ධනවතී නම් බැමිණියගේ කුස තුළ පිලිසිද දසමස් ඇවෑමෙන් ඉසිපතන මිගදායෙහිදී.

නම් තබන්නන් උන් වහන්සේගේ ගෝත්‍ර නාමයෙන් උන්වහන්සේට කස්සප කුමාර යනුවෙන් නම් කළා. හංසවා යසවා සිරිනන්ද නමින් උන්වහන්සේටත් තුන් පහයක් බිහිවුණා. එහි අනේක අප්‍රමාණ සැප සම්පත් මැද ඔහු වසර දෙදහසක් කාලය ගතකලා. සුනන්දා නම් අගමෙහෙසිය ප්‍රමුඛව හතලිස් අටදහසක් ස්ත්‍රීන් උන්වහන්සේට උවටැන් කළ. ඒ කොතරම් සැප සම්පත් තිබුනත් සතර පෙර නිමිති දුටු දිනයේම ඒ සියල්ල කලකිරී ගිහිගෙයින් නික්මෙන්නට කස්සප බෝසතාණන් වහන්සේ තීරණය කළා . එදත් අනෙකුත් බෝසතාණන් වහන්සේලාට වගේම උන්වහන්සේටත් අති විශේෂ දිනයක් . ඒ තම අග මෙහෙසියට විජිතසේන නම් පුත්‍ර රත්නය ලැබීමයි . එහෙත් ලෝක සත්ත්වයා සසර දුකින් ගලවාගැනීමට කල්ප කාලාන්තරයක් පෙරුම් පුරා පෙරුම් පුරා ආ ගමනට ඒ කිසිවක් බාධාවක් වුණේ නෑ. තව දිනක්වත් ප්‍රමාද කලෙත් නැහැ. සිත තුල ඇති වූ සංවේගය තුළම පිහිටා ගිහි ගෙයින් නික්මීම ට තීරණය කළ සැණින් උන්වහන්සේ සිටි ප්‍රාසාදය කුඹල් සකක් මෙන් කැරකී කැරකී අහසට නගින්නට වුණා. අහස් කුසට නැගී සඳ පිරිවැරූ තරු මෙන්, මහා පිරිවරක් පිරිවැරූ උන්වහන්සේ, අහස්තලය අලංකාර කරන්නාක් මෙන්, පින් අනුහස් ප්‍රකාශ කරන්නාක් මෙන්, ජන නුවන් ඇද ගන්නාක් මෙන් අහස් කුසතුළ විද්‍යාමාන වුණා. අවසානයේ අහසින් පැමිණි මාලිගයද ඒ පිරිවරද නිග්‍රෝධ බෝධිය මැදි කොට පොළොව මත පිහිටා සිටියා . ප්‍රථමයෙන්ම මාළිගයෙන් පිටතට පැමිණි ඒ මහා බෝධිසත්වයන් වහන්සේ මහ පොළොව මත පිහිටා දෙවිවරුන් විසින් දෙන ලද අර අරහත් ධජය ගෙන පැවිදි දිවියට ඇතුළත් වුණා . උන්වහන්සේගේ නාටක ස්ත්‍රීන් ද ඒ මාලිගාව හා සමඟ පැමිණියා . බෝසතාණන් වහන්සේ මාලිගාවෙන් පිටවීමෙන් පසු උන් වහන්සේ හා සමග පැමිණි නාටක ස්ත්‍රීන් ද මාලිගාවෙන් පිටවී අඩ ගව්වක් පමණ දුර ගොස් අනිත් පිරිවර හා සමඟ සමූහ ගතව සිටියා . ඉන්පසුව පිරිවර ස්ත්‍රීන් හැර අනිකුත් සියලුම දෙනා පැවිදි දිවියට ඇතුළත් වුණා . ඒ අනෙක වූ පිරිවර පිරිවැරූ ඒ මහා බෝසතාණන් වහන්සේ එතැන් පටන් ප්‍රධාන වීර්ය වඩන්නට වුණා .

❤💚💛🧡 විශේෂ පුණ්‍යානු මෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
20-11-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2pJu9KY
මණාසන්න අත්දැකීම් ලැබූ රෝගීන් ශරීරයෙන් පිටත අත්දැකීම් ලැබූ අවස්තාවන් සහ මරණින් මතු ජීවිතය පිළිබඳව දුටු අවස්තාවන් අනන්තවත් තිබෙනවා. නමුත් බටහිර වෛද්‍යවරුන් නම් එවැනි දේවල් කිසිසේත් පිළිගන්නේ නැහැ. රාජීව් පාති මහතාත් එවැනි වෛද්‍යවරයෙක්.නමුත් එම නිර්වින්දන වෛද්‍යවරයාට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇතිවූ නිසා ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදුවුනා.

එම සැත්කම සිදුකරන අතරතුර දුටු දෙයින් පසුව මරණින් මතු ජීවිතයක් සහ අපායක් ඇති බව ඔහු තදින්ම විශ්වාස කළා.

නිර්වින්දනය කරනවාත් සමගම මීදුමක් වැනි පටලයකින් අවට දසුන් සියල්ල බොඳවීගිය බවත් සැත්කම සිදුකරමින් සිටි වෛද්‍යවරුන් තමන් සියසින්ම දුටු බවත් ඔහු පවසා තිබුනා. ඉන්පසුව ඔහු දැක තිබුනේ සිහිකරනවිට පවා භීතිය ඇතිකිරීමට සමත් දර්ශනයකි.

ඔහු එම අත්දැකීම විස්තර කර තිබුනේ මෙහෙමයි.උසුලාගත නොහැකි වේදනාවකින් දුකටපත්වී සිටි පිරිසක් කෑමොර දෙන හඬක් මට ඇසුනා. පෙනෙන මානයේ හැමතැනම තිබුනේ එකම ගිනිජාලාවක්. එම ගිනිදැල් වලින් නිකුත්වූ දුම නිසා හුස්ම ගැනීමට පවා අපහසු වුනා. ඒවගේම මස් පිළිස්සෙනවා වැනි අප්‍රසන්න දුගඳක්ද නිකුත් වුනා. එවිට තමයි මට හැඟුනේ මා සිටින්නේ අපායේ දොරටුව අසල බව.ගිනිගෙන දැවෙන ආත්මවලින් ඈත්වී ඉන් පිටවෙන්නට උත්සකරන විට භයානක හඬකින් යමෙකු ඔහු අමතන බව ඔහුට ඇසී තිබුනා. එම හඬින් ඔහුට දඬුවම් නියමකිරීමට කටයුතු කර තිබුනා. ඔහු සිදුකල වරද වුනේ ආගම දහම ප්‍රතික්ෂේප කොට භෞතිකවාදී අදහස් දැරීමයි.

අන්ත අසරණව සිටි ඔහු තවත් අවස්තාවක් ඉල්ලමින් දෙවියන්ට යාඥා කර තිබුනා. ඉන් පසුව ඔහු රෝහල් කාමරය තුලින් හදිසියේම අවදිවී තිබෙනවා.ඔහු ලැබූ එම අත්දැකීම නිසා ඔහු ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන තිබුනා. ඔහු සතු ධනය අතහැරදැමීමට පවා ඔහු කටයුතු කර තිබෙනවා. වෛද්‍ය විද්‍යාව හදාරන වැඩිමහලු පිරිමි දරුවාටද ඔහු අවවාද කර තිබුනා. මෙය ඩේලි මේල් වෙබ් අඩවිය පවා වාර්තාකරපු සත්‍යය පුවතකි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/332Xi1e
“සුසුඛං වතා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ශාක්‍ය ජනපදයේ වැඩ සිටිය දී කෝලාහල සංසිඳවනු සඳහා ඤාතීන් නිමිති කරගෙන දේශනා කළහ.

ශාක්‍ය කෝලිය වැසියෝ කපිල වත්ථුව හා කෝලිය නගර අතර රෝහිණි නම් නදියේ එකම බැම්මක් බැඳ කුඹුරු ගොවිතැන් කරති. පොසොන් මස ගොයම් මැලවී යනවිට දෙනුවරවාසී කම්කරුවෝම රැස්වූහ. එහිදී කෝලිය නගරවාසීන් මෙසේ කීහ. මේ ජලය දෙනුවරටම ගෙනයාමේදී ඔබට ද අපට ද ප්‍රමාණවත් නොවේ. මෙම ජලය අපට එක ජල ලාභයකින්ම ශෂ්‍ය සම්පත ලැබේ. අනෙක් අය මේ ජලය අපට දෙන්න. අනෙක් අය එවිට තෙපි අටුකොටු පුරවා සිටින විට අපි රන් රුවන් නිල්මිණි කළු කහවණු ගෙන පැසී මලු ගත් අත් ඇතිව ඔබගේ ගෙවල් දොරවල් ලඟ වී ඉල්ලා බලාසිටිය නොහැකිය. අපගේ අස්වැන්නද එකම ජලයකින් ඇතිවේ. එනිසා ජලය අපට දෙන්න. නැහැ අපි නොදෙමු එසේනම් අපිද ජලය නොදෙමු. මෙලෙස වැඩී වාදවිවාද කර එකෙක් නැගිට එකෙකුට පහර දුන්නේය. ඔහු ද අනෙකාට පහර දෙමින් එකිනෙකා පහරදී රාජකුලයන්ට ජාතියෙන් අපහාස කරමින් කෝලාහලය වර්ධනය කළහ. කෝලිය නුවර කම්කරුවෝ තෙපි කපිලවත්ථුවාසීන් ගෙන යව්. යමෙක් නරි – බලු ආදීන් තමන්ගේ සොහොයුරියන් හා සහවාසයේ යෙදුනේද. එවැනි තොපගේ ඇතුන් ද අශ්වයෝ ද කඩු පලිහ ආදී ආයුධ අපට කුමක් කරන්නේ? එවිට ශාක්‍ය කම්කරුවෝ කුෂ්ට රෝගයෙන් පෙළන තොපි දරුවන් ද ගෙන අනාථ වූ ජන්මයක් නැති තිරිසනුන් සේ කොළොම් ගස්යට විසුවෝ තොපගේ කඩු පලිහ ඇත් අස් සේනා අපට කුමක් කෙරෙත්ද? මෙසේ දොස් නගාගත් විට එම කර්මාන්තයේ යෙදු ඇමතිවරුන්ට කිවාහුය. ඇමතිවරු රාජ කුලයන්ට කීහ. අනතුරුව ශාක්‍යයෝ සොහොයුරියන් හා සංවාසයෙන් ඇති වූවන්ගේ ශක්තියත් බලයත් පෙන්වන්නෙමුයි යුද්ධයට සැරසී නික්මුනාහුය. කෝලියවාසීන් ද කොළොම් ගස් යට විසුවන්ගේ ශක්තිය බලය පෙන්වන්නෙමුයි යුද්ධයට සැරසී නික්මුනාහුය. බුදුරජාණන් වහන්සේ ද අළුයම ඥාතීන් දැක මා නොගියොත් මොවුන් නැසෙන්නෝයයි මා විසින් යාම වටීයයි සිතා හුදකලාවම අහසින් වැඩමවා රෝහිණී නදියේ මැද අහසේ පළක් බැඳ වාඩි වුහ. නෑයෝ බුදුන් දැක ආයුධ විසිකර වැන්දාහුය. අනතුරුව බුදුහු ඔවුන්ට මෙසේ පැවසුහ. මහ රජ මේ යුද්ධය කුමක්ද? ස්වාමීනි අපි නොදනිමු. මෙය දන්නේ කවරෙක්ද? හමුදාපති දනී. සේනාපති යුවරජ දන්නේ යයිද උපායෙන් දාස කම්කරුවන් දක්වා ම විමසා ස්වාමීනි ජලය පිළිබඳ යුද්ධයකැයි පැවසුහ. ජලය කෙතරම් වටීද මහරජ ස්වාමීනි ස්වල්පයකි. මහරජ ක්‍ෂත්‍රියයෝ කෙතරම් අනර්ඝද? ස්වාමීනි ක්‍ෂත්‍රියයෝ නම් බෙහෙවින් අනර්ඝ වුවෝ වෙති. එසේ නම් සුළු වටිනා කමක් ඇති ජලය නිසා වටිනා ක්‍ෂත්‍රියයන් විනාශ කිරීම සුදුසු නොවේමය. ඔවුහු නිහඩවුහ. අනතුරුව බුදුහු ඔවුන් අමතා ඇයි මහරජ වරුනි මෙබඳු දේ කරන්නෙ, මම නොසිටියේ නම් අද ලේ ගඟක් ගලනු ඇත. ඔබ විසින් නුසුදුසු දෙයක් කරන ලදී තෙපි පස්විධ වූ වෛරයෙන් යුතුව වාසයකර වූ මම අවෛරීව වාසය කරමි. තෙපි කෙලෙස්වලින් රෝගීව වාසය කරමු. මම කෙලෙසුන්ගෙන් තොරව නිරෝගීව වෙසෙමි තෙපි කාම ගුණයන් සොයමින් වාසය කරවු. මම කාමගුණයන්ගෙන් බැහැරව අනාතුරව වාසය කරමියි පවසා මේ ඟාථාව දේශනා කළහ.

ජීවත්වන ඕනෑනම් ඔබ සුවසේ

මෙත් සිත් උපදවනු මැන වයිර වෙනුවට

මිනිසුන් අතර කෙළෙසුන්ගෙන් නිති ලෙඩ වු

නැති කොට කෙළෙස් නීරෝගිව සිටිය යුතු

පස්කම් සුව සොයන අයගෙන් එක පිම්මේ

වෙන්වි අනාතුරවමැ දිවි ගෙවිය යුතු

වෛරීන් අතර අවෛරීව සුවසේ ජීවත් වෙමු. වෛරී මිනිසුන් අතර අවෛරීව වාසය කරමු. ආතුර වු මිනිසුන් අතර අනාතුරව සුවසේ ජීවත් වෙමු රෝගී වු මිනිසුන් අතර නිරෝගීව වාසය කරමු. කෙලෙසුන් සෙවීමට උනන්දුවන මිනිසුන් අතර පස්කම් නො සොයන අය ලෙසම වාසය කරමු.

එහි සුසුඛ නම් – සුදුසු සුවයයි. මෙය කියන ලදී යම් ගිහිවු අය අත්පා සිඳදමමින් හෝ, පැවිදි වුවෝ වෙදකම් ආදිය වශයෙන් ජීවන වෘත්තිය උපදවා සුවසේ ජීවත්වෙමු යයි කියත්ද? වෛරී මිනිසුන් අතර අවෛරීවද කෙළෙසුන්ගෙන් ලෙඩවූවන් අතර කෙළෙසුන්ගෙන් තොරව නිරෝගීව ද පස්කම් සුව සොයන රෝගීන් අතර එයින් නිරෝගීව ද ජීවත්වෙමු. සෙස්ස කියන ලද පරිද්දෙන්මය. දෙසුම අවසන බොහෝදෙන සෝවාන් ඵලයේ පිහිටියහ.

මතු සම්බන්ධයි!

පාළි ධම්මපදට්ඨකථාවේ සිංහල අනුවාදය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

සම්පූර්ණ ලිපි මාලාව: https://ift.tt/2LssJge

තෙරුවන් සරණයි!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2qhhH5y
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 96 🧡💛

රන් වැසි දඹදිව පුරා වස්වමින් මෙලොවට පහල වු කෝණාගමන බුදුහාමුදුරුවෝ 03

🌸🌸’කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.🌸🌸

කෝණාගමන බුදුරදුන් උපන් නුවර ’’සොනවතී’’ නම්. (එහි) ’’සොන’’ නම් රජකේ වී. ඒ නුවරෙහි බුදුරදුන්ගේ මහා නෑ කුලය වාසය කළේය.

ශාස්තෘවූ ඒ කෝණාගමන බුදුරදුන්ගේ ඒ පිය තෙම ’’යඤ්ඤදත්ත’’ නම් බමුණු විය. ’’උත්තර’’ නම් බැමිණි තොමෝ මව් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු තුන් දහසක් ගිහිගෙයි විසී. ’’තුසිත’’ ය, ’’සන්තුසිත’’ ය, ’’සන්තුට්ඨි’’ ය යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ නොඅඩුවූ සොළොස් දහසකි. බිරින්ද ’’රුචිගත්තා’’ නම් වූවාය. පුත් තෙම ’’සත්‍ථවාහ’’ නම් වී.

පුරුෂෝත්තම තෙම සතර පෙර නිමිති දැක, ඇත් යානයකින් මහබිනික්මන් කෙළේය. සය මසක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යයෙහි හැසුරුණේය.

මහාවීරවූ, මිනිසුන්ට උතුම්වූ, කෝණාගමන නම් ලෝනා හිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, මිගදායෙහිදී දම්සක් පැවැත්වූ සේක.

කෝණාගමන නම් ශාස්තෲන් වහන්සේට ’’භිය්‍ය’’ ද, ’’උත්තර’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සොත්‍ථීජ’’ නම් වී.

’’සමුද්දා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ’’දිඹුල් ගස’’ යයි කියනු ලැබේ.

’’උග්ග’’ ද, ’’සොමදේව’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’සීවලා’’ ද, ’’සාමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

ඒ බුදුරජතෙම උසින් තිස් අට රියනක් උස්වී. උදුන් මුවෙහි රත්රන් යම් සේද, එපරිද්දෙන් රශ්මියෙන් අලඞ්කාරවී.

ඒ කාලයෙහි (කොණාගමන) බුදුරදුන්ගේ ආයුෂය අවුරුදු තිස් දහසකි. ඒතාක් කල් උන්වහන්සේ වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

ධර්ම නමැති සෑයක් ගොඩනගා, සිවුසස් නමැති ධජ පතාකයෙන් හොබවා, දහම් නමැති මල්ගුළාවක් කොට, ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.

උන්වහන්සේගේ ලොවුතුරු දහම් පළවන මහා විලාසයද, ශ්‍රාවක ජන සමූහයාද (යන) සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

’’කොණාගමන’’ නම් බුදුරජතෙම ’’පබ්බතාරාමයේ’’ දී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල උන්වහන්සේගේ ධාතු පැතිරීම වී.

❤💚💛🧡 විශේෂ පුණ්‍යානු මෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
17-11-2019