Monthly Archives: November 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2X6mG4U
“මහණෙනි, හිමාලය පර්වතයෙහි වඳුරන්ට හෝ මිනිසුන්ට හෝ යා නොහැකි විසමවූ ප්‍රදේශයෝ ඇත්තාහ. මහණෙනි, හිමාලය පර්වතයෙහි වඳුරන්ට යා හැකි මිනිසුන්ට යා නොහැකි විසමවූ ප්‍රදේශයෝද ඇත්තාහ.”

“මහණෙනි, හිමාලය පර්වතයෙහි වඳුරන්ටද යා හැකිවූ මිනිසුන්ටද යා හැකිවූ සිත්කළුවූ සමවූ භූමිභාගයෝද ඇත්තාහ. මහණෙනි, එහි වැද්දෝ වඳුරන් යන මාර්ගයන්හි වඳුරන් ඇල්ලීම පිණිස ලාටු අළවන්නාහ. මහණෙනි, එහි මෝඩ නොවූ ලොල් නොවූ වඳුරෝ වෙත්ද, ඔව්හු ඒ ලාටු දැක ඈත්ව යත්. යම් ඒ වඳුරෙක් මෝඩ වෙයිද, ලොල්වූ ස්වභාවය ඇත්තේද, ඔහු ඒ ලාටුව කරා පැමිණ එය අතින් අල්වන්නේය. ඒ අත එහි ඇලෙන්නේය. අත මුදාගන්නෙමියි දෙවැනි අතින් අල්වන්නේය. ඒ අතද එහි ඇලෙන්නේය. දෙඅත් මුදාගන්නෙමියි පය තබන්නේය. පයද එහි ඇලෙන්නේය. දෙඅත්ද පයද මුදාගනිමියි දෙවෙනි පාදයද තබන්නේය. එයද එහි ඇලෙන්නේය. දෙඅත්ද දෙපාද මුදා ගනිමියි හොට තබන්නේය. එයද එහි ඇලෙන්නේය.”

“මහණෙනි, ඒ වඳුරා පස් තැනෙකින් ඇළී විනාශයට පැමිණ කෙඳිරිගාමින් වැටී සිටින්නේය. වැද්දාට කැමැත්තක් කළ හැකි වන්නේය. මහණෙනි, වැද්දා ඔහු විද එහිම පෙරළා දමා කැමැත්තක් කරයි. මහණෙනි, යමෙක් අනුන්ට අයත්වූ නුසුදුසු ස්ථානයෙහි වාසය කෙරේනම් මෙසේ වන්නේය.”

“මහණෙනි, එසේ හෙයින් අනුන්ට අයත්වූ නුසුදුසු ස්ථානයන්හි වාසය නොකරව්. මහණෙනි, අනුන්ට අයත්වූ නුසුදුසු ස්ථානයන්හි වාසය කරන්නහුගෙන් මාරයා ඉඩ ලබන්නේය. මාරයා කැමති කරුණක් ලබන්නේය.”

“මහණෙනි, මහණහුගේ අනුන්ට අයත්වූ මේ නුසුදුසු ස්ථානය කවරේද?”

“මේ පස්කම් ගුණ පසය. කවර පසක්ද?
ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ රූපයෝ වෙත්ද,

කනින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ ශබ්දයෝ වෙත්ද,

නැහැයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ ගන්ධයෝ වෙත්ද,

දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ රසයෝ වෙත්ද,

කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ ස්පර්ශයෝ වෙත්ද,

මහණෙනි, මේතැන් භික්ෂුවගේ අනුන්ට අයත්වූවාවූ නුසුදුසු වාසස්ථානය වෙයි.”

“මහණෙනි, පිය උරුමයෙන් එන තමන්ට අයත් වාසස්ථානයෙහි වාසය කරව්. මහණෙනි, පිය උරුමයෙන් එන තමන්ට අයත් වාසස්ථානයෙහි වාසය කරන භික්ෂුවගෙන් මාරයා ඉඩක්‌ නොලබන්නේය. අවැසි දෙයක් නොලබන්නේය. මහණෙනි, භික්ෂුවගේ පිය උරුමයෙන් එන තමන්ට අයත් වාසස්ථානය කවරේද? මේ සතර සතිපට්ඨානයෝයි.”

“කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම,

වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කයෙහි කය අනුව නැවත නැවත බලමින් වාසය කරයි.

වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව වේදනාවන්හි වේදනා අනුව නැවත නැවත බලමින් වාසය කරයි.

වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව චිත්තයන්හි චිත්තයන් අනුව නැවත නැවත බලමින් වාසය කරයි.

වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ධර්මයන්හි ධර්මයන් අනුව නැවත නැවත බලමින් වාසය කරයි.

මහණෙනි, මේ භික්ෂුවගේ පිය උරුමයෙන් එන තමන්ට අයත් වාසස්ථානය වෙයි.”

මක්කටාලෙප සූත්‍රය