Monthly Archives: December 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2PHV3f8
නාගවිමාන වස්තුව

මේ මහා භද්‍රකල්පයෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළ වී වදාළා වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටවා එකල විසූ සැදැහැවත්හු යොදුනක් උසැති ස්වර්ණ චෛත්‍යයක් කරවූහ. ඒ චෛත්‍යයය පිරිවර සහිත කිකී රජතුමා හා නුවර වැස්සෝ ද, දනව් වැස්සෝ ද දිනපතා බොහෝ මල් ගෙන ගොස් පුදන්නාහ. එබැවින් මල් දුර්ලභ විය. එක් දවසක් උපාසකයෙක් මල් සොයනු පිණිස මාලාකාර වීථියේ ඇවිද එක් කහවණුවකට එක බැගිනි දු මල් සොයා ගත නොහී කහවණු අටක් ද රැගෙන මල් වත්තකට ගියේය. ඔහු එහි ගොස් “මේ කහවණු අටට මල් අටක් හෝ දෙව” යි කීය. “මල් සියල්ල නෙලා දී දැන් අවසන්ය.” යි මල්කරු කීය. උපාසක තෙමේ “මල් ඉතිරි වී ඇත්නම් මම සොයා ගන්නෙමි” යි කීය. “එසේ නම් උයනෙහි ඇවිද සොයා ගන්න” යයි මල්කරු කීය. උපාසක උයනට පිවිස ඇවිදිනුයේ බිම වැටී තිබූ මල් අටක් ලැබ ඒවා මල්කරු වෙත ගෙනැවිත් දක්වා ඔහුට කහවණු අට ගන්නට කීය. “මේ මල් ලැබී ඇත්තේ ඔබ පිනෙන් ය. ඒනිසා මේවාට මම මුදලක් නො ගනිමි” යි මල්කරු කීය. “මම නොමිලයේ මල් ගෙන භාග්‍යවතුන් වහන්සේට නො පුදමි” යි කියා කහවණු අට ඔහු ඉදිරියේ තබා මල් ගෙන චෛත්‍ය කරා ගොස් පහන් සිතින් පිදුවේය. උපාසක ඒ පිනෙන් මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන, තුන්කෝටි සැටලක්ෂයක් අවුරුදු ආයුෂය ගෙවී ගිය පසු ඔහු චුතව නැවත එහිම උපන්නේ ය. මෙසේ නැවත නැවත දෙව්ලොවම උපන් ඔහු අප බුදුන් සමයෙහි ද එහිම විසුවේය.

දිනක් මුගලන් මහ තෙරුන් වහන්සේ දෙව්ලොව චාරිකාවෙහි හැසිරෙන සේක්. මහත් වූ ශ්වේතහස්තිරාජයකු පිට නැගී අප්සරා සමූහයා විසින් පිරිවරන ලදුව පුන්සඳ මෙන්, හිරුමෙන්, දිසාවන් ආලෝක කෙරෙමින් මහත් වූ දිව්‍යානුභාවයෙන් අහස් හි ගමන් කරන ඒ දෙවියා දැක ඔහු වෙත වැඩම කළහ. දෙව්පුත් තෙරුන් වහන්සේ දැක ඇතු පිටින් බැස උන්වහන්සේට වැඳ සිටියේ ය. එකල්හි තෙරුන් වහන්සේ ඔහු අමතා “තොප මේ මහා සම්පත්තිය ලදුයේ අතීතයෙහි කළ කිණම් කුශලයෙකින් දැ” යි විචාළ සේක. එකල්හි දෙව්පුත්

අට්ඨෙව මුත්ත පුප්ඵානි කස්සපස්ස මහෙසිනො,

ථූපස්මිං අභිරොපෙසිං පසන්නො සෙහි පාණිහි,

තෙන මෙ තාදිසො වණ්ණෝ තෙන මෙ ඉධ මිජ්ඣති

උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

“හිමියනි, මම අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට නටුවෙන් ගිලිහී වැටුණ මල් අටක් පහන් සිතින් සියතින් පිදුවෙමි. මාගේ කාන්තිමත් ශරීර වර්ණය ඒ පිනෙන් ඇතිවිය. මාගේ මේ දිව්‍ය සම්පත්තිය ඒ පිනෙන් ඇතිවූවකි. සිතට ප්‍රිය වූ අනල්ප දිව්‍ය භෝජනාදී වස්තුහු මට ඒ පිනෙන් පහළ වන්නාහ” යි කීය.

(විමානවත්ථු අටුවාවෙන්)

මෙකල මල් පුදනුවන් විසින් සිතට ගත යුතු වැදගත් කරුණක් ඉහත දැක්වූ කථාවෙහි ඇත්තේ ය. එනම් උපාසක තැන විසින් මල් නොමිලයේ නො ගැනීමය. පූජාව දානයටම අයත් පිනකි. දානය තේරුම් කර ඇත්තේ “අත්තුපකරණ පරිච්චාග චේතනාව” කියා ය. එනම් තමාට සම්පූර්ණයෙන් අයිතිය ඇති වස්තුවක් අනුග්‍රහ වශයෙන් හෝ පූජා වශයෙන් අනිකකුට පිරිනැමීම ය. මිලක් දෙන්නේ නැතිව නිකම්ම අනුන්ගෙන් දෙයක් ගෙන තවත් කෙනෙකුට දීම හෝ පිදීම වැදගත් දීමක් හෝ පිදීමක් නො වේ. වැදගත් වන්නේ තමා වෙහෙසී සපයා ගත්ත වූ හෝ මිලයට ගත්තා වූ හෝ දෙයක් දීම හා පිදීම ය. උපාසක තැන මල් නොමිලයේ නොගත්තෙ එසේ ගන්නා ලද්දක් පිදීමේ වැදගත් කමක් නැති බැවිනි. මෙකල බොහෝ දෙනා තමන් මහන්සි වී මල් සැපයීමක් හෝ මිලයට ගැනීමක් හෝ නොකොට අනුන් ගෙනෙන මල්වලින් ටිකක් ගෙන පුදන්නට බලාපොරොත්තු වෙති. එසේ කරන පූජාවල වැදගත් කමක් වටිනාකමක් නැති බව සැලකිය යුතුය.

පූජාවක් කිරීමට තමා අයත් දෙයක් තිබිය යුතුය. කෙනෙකුගේ දෙයක් තවත් කෙනෙකු විසින් පූජා නො කළ හැකි ය. පූජා කෙළේ ද එය පූජාවක් නො වේ. කෙනෙකු විසින් මල් පහන් ගිලන් පස ආදී පූජාද්‍රව්‍ය පිළියෙල කොට පූජාසනය මත තබා පූජා කිරීමට ගාථා කියන කල්හි තවත් බොහෝ දෙනා එකතුව පූජා කිරීමේ ගාථා කියති. එහෙත් ඔවුන් විසින් පූජා කරන ඔවුනට අයිති කිසිම වස්තුවක් එහි නැත. පූජා කරන වස්තුවක් නැතිව එසේ ගාථා කීම තේරුමක් නැති වැඩක් බව ද සැලකිය යුතුය. පූජා කිරීමේ තේරුම නො දත් බැවින් ඇතැම්හු අනුන් මල් ගෙනවුත් අසුන මත තබා පුදන කල්හි එකතු වී ගාථාව කියුවහොත් තමන් පූජාවක් කළා වෙතියි සිතති. මේ කරුණු තේරුම් ගෙන පින් සිදුවන සැටියට මල් පහන් ආදිය පුදත්වා

(පුණ්‍යෝපදේශය / රේරුකානේ චන්දවිමල හිමි)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ROBsfR
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 104 🧡💛

සුවිසි විවරණයේ සිට වෙස්සන්තර ජාතකය දක්වා පැමිණි දීර්ඝ ගමන කෙටියෙන්. 01

අපේ බුදුරජාණන් වහන්සේට අයත් දුරේ නිධාන කතා පුවතේ සූවිසි නියත විවරණ මා හට හැකි අයුරින් විස්තර කලෙමි. යම් කල්පයක දීපංකර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුයේද එම කල්පයේම ඊට ප්‍රථම තවත් බුදුවරු තෙනමක් ලොව පහල වුනා. එහෙත් උන්වහන්සේලාගෙන් අප බුදුපියාණන් වහන්සේට විවරණ නොලැබුණි. ඒ නිසාම උන්වහන්සේලා පිලිබඳ විස්තර මෙම ලිපි පෙලට ඇතුළත් නොවුනි. එහෙත් අටුවාවෙහි එම කල්පයේ පහල වූ සියලු බුදුවරයන් වහන්සේලා ගැන විස්තර දක්වා තිබෙනවා.

තණ්හංකර, මේධංකර, සරණංකර, දීපංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජාත, පියදස්සි, අත්ථදස්සි, ධම්මදස්සි, සිද්ධත්ථ, තිස්ස, ඵුස්ස, විපස්සි, සිඛි, වෙස්සභු, කකුසඳ, කෝණාගම, කස්සප, යන ඒ අටවිසි බුදුපියාණන් වහන්සේලා ලොව පහල වුනා. සුර්යයා මෙන් ගණ අඳුර නසා ගිනි කඳක් මෙන් බැබලී සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය ලෙස දක්වමින් නිවී ගියා.

අප බුදුපියාණන් වහන්සේ පෙරුම් පුරමින් මෙලෙස සාරසංඛයිය කල්ප ලක්ෂයක් පැමිණුනා. කස්සප බුදුරජාණන් වහන්සේගෙන් පසුව ගෞතම බුදුරජාණන් වහන්සේ හැරෙන්නට වෙනයම් බුදුවරු ලොව පහල වුනේ නැහැ. මෙසේ නියත විවිරණ සඳහා දීපංකර පාදමුලේ සිට බුද්ධත්වය සඳහා පැමිණි ගමනට අනෙකුත් බෝධිසත්වයන් වහන්සේලා වගේම අප මහා බෝධිසත්වයන් වහන්සේත් අෂ්ඨ ධර්මයන් සම්පුර්ණ කොට තිබිය යුතයි. එනම්
1. මිනිසත්බව,
2. පුරුෂයකු වීම,
3. රහත්වීමට තරම් පෙර පින් ඇතිබව,
4. බුදුන්වහන්සේ නමක් හමුවීම,
5. පැවිද්දකු වීම,
6. ධ්‍යාන ලබා තිබීම,
7. ප්‍රාර්ථනාව,
8. අධික කැමැත්ත

මෙසේ අෂ්ඨ ධර්ම ආදී සියලු අංග සම්පුරණ කොට බුද්ධත්වය සඳහා නියත විවරණ ගත් බෝසත්වරු කල්ප කෝටි සියගණන් දීර්ඝ මාර්ග චාරිකාවක මෙම සසර තුල සැරිසරණ කාලය තුල මෙවැනි අන් පුද්ගලයන්ට නැති සුවිසේෂ පුණ්‍යමය ආනිසංස වලට හිමිකම් කියන බව අට්ට කතාවන්හි සඳහන් වෙනවා.

අවීචි මහා නිරයෙහි නුපදෙති, එසේම සක්වල තුනක් අතරෙහි ඇති ලෝකාන්තර නිරයෙහිද, සාපිපාසා දෙකින් පීඩිත වූ නිජ්ජාම තණ්හා නම් ප්‍රේත යෝනියේද, කාලකඤ්ජන නම් අසුර යෝනියෙහිද නුපදෙති. තිරිසන් දුගතියෙහි ඉපදුනද වටුවකුට වඩා කුඩා සතෙකු ව නොයිපදෙති. ඒ බෝසත්වරු මිනිසත් භවයෙහි උපදිනා විට උපතින් අන්ධයෝ නොවෙති, එමෙන්ම බිහිරිව හෝ ගොළුව නොයිපදෙති. එමෙන්ම ස්ත්‍රී භාවයට නොයෙති, පුරුෂ ස්ත්‍රී දෙලකුණු ඇති උභතො බ්‍යඤ්ජනව ද නපුංසකව ද එම වර්ගවලට ඇතුළත්ව ද නොවෙති. සම්බෝධියට නියත වූ බෝසත්වරු ආනන්තරිය පාප කර්මයෙන් මිදුනාහු වෙති. කර්මවාදී, ක්‍රියාවාදී, සමිදුටු දැකුම් ඇති බෝසත්වරු මිසදුටුවෝ නොවත්. සුගති ලොව උපන්නද අසඤ්ඤ නම් බඹලොව වල නොයිපදෙති. සුද්ධාවසි බඹලොව වල ඉපදීමට හේතු නොමැත්තේ අනාගාමී නොවන බැවිනි. ඥාණයට නැඹුරු වූ කුදුමහත් භාවයන්භී නො ඇළුණු බෝසත්වරු පෙරුම් පුරමින් ලෝකෝත්තර චරියාවේම මෙලෙස හැසිරෙනු ලබයි.

❤💚💛🧡 විශේෂ පුණ්‍යානු මෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
14-12-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2rApXyc
කණු වටේ දිව යන බලු කුක්කාගේ උපමාව සහ අපගේ සසර ගමන….

බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ හරිම අපූරු, අපට හිතාගන්නවත් බැරි උතුම් ගුණ කඳක් දරාගෙන වැඩ සිටි උතුමන් වහන්සේනමක්. උන්වහන්සේගේ අවබෝධය හරිම පුදුමයි. ඒ වාගේ දැනුමක් මේ ලෝකයේ කාටවත් තිබුණේ නෑ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකය ගැන මහා දැනුමකින් තමයි වැඩ සිටියේ. උන්වහන්සේ දේශනා කරනවා. “පින්වත් මහණෙනි, මේ ලෝක සත්වයන් ඉපදෙමින් මැරෙමින් යන ගමනේ (සංසාරයේ) කෙළවරක් කියන්න බෑ. එහි පටන්ගැන්මක් හොයන්න බෑ. මේ සංසාර ගමන ඒ තරම් දීර්ඝ එකක්.” මේ දීර්ඝ ගමන යන්න සිදුවන්නේ අවිද්‍යාවෙන් වැසිලා, තණ්හාවෙන් බැඳිලා සිටින සත්වයන්ට බව උන්වහන්සේ දේශනා කොට වදාළා. එහෙනම් අපිටත් අවිද්‍යාව තියෙනකල් තණ්හාවෙන් බැඳි බැඳී ඉන්න තාක් මේ සංසාරයේ ගමන් කිරීම තමයි උරුම වෙලා තියෙන්නේ.

අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් බැඳී මේ සසර ගමනේ යන සත්වයන් ගැන ලස්සන උපමාවකින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. “විශාල කණුවක, ලොකු දම්වැලකින් බැඳලා සිටින පොඩි බලු කුක්කෙක් වගේ.” ඒ බලු පැටියාට ඇවිදින්න තියෙන්නේ අර කණුව වටේ විතරයි. නිදන්න තියෙන්නේ කණුව වටේ විතරයි. කරන දේ මොනදේ වුණත් කරන්න තියෙන්නේ කණුව වටේ දුව දුව කැරකි කැරකි විතරයි. ඒ වගේ තමයි මේ අවිද්‍යාව නමැති කණුවේ තණ්හාව නමැති දම්වැලින් අශ්‍රැතවත් පෘථග්ජනයා මේ සසරට බැඳ තබන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ, ආර්යයන් වහන්සේලා නො දැකපු, ආර්ය ධර්මයේ අදක්ෂ, ආර්ය ධර්මයෙහි නො හික්මෙන අශ්‍රැතවත් පෘථග්ජනයා දුකට අයිති දෙයට, ඒ කියන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයට සක්කාය දිට්ඨියෙන් බැඳී ගිය නිසා මේ සත්වයා සංසාරයේ ම සැරිසරා යන බවයි.

කොහොමද බැඳුණේ?

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධයන්ගෙන් එක් උපාදානස්කන්ධයකට සතර ආකාරයකින් සක්කාය දිට්ඨියෙන් බැඳී යන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළා.
මම, මාගේ, මගේ ආත්මය ලෙස ගනිමින් දැඩිව බැඳී සිටීම සක්කාය දිට්ඨිය යි. පංච උපාදානස්කන්ධයට තමා කියා බැඳී යාම නිසා තමයි බලු කුක්කා දම්වැලෙන් කණුවේ ගැට ගහලා තියෙනවා වගේ අපිත් සංසාර ගමනට තණ්හාවෙන් බැඳිලා තියෙන්නේ. අපි දැන් පංච උපාදානස්කන්ධයට බැඳී ගිය ආකාරය විමසා බලමු.

පෙණ පිඬක් වන් රූපය

අශ්‍රැතවත් පෘථග්ජනයා රූපය කෙරෙහි හතර ආකාරයට සක්කාය දිට්ඨියෙන් බැඳී යනවා.

1) රූපය තමා කියලා ගන්නවා.
2) තමා හැදී තියෙන්නේ රූපයෙන් කියලා ගන්නවා.
3) තමා තුළ රූපය තියෙනවා කියලා ගන්නවා.
4) රූපය තුළ තමා සිටිනවා කියලා ගන්නවා.

මෙන්න මේ විදියට රූපය කෙරෙහි බැඳුනහම ඔහුට රූපයේ යථා ස්වාභාවය තේරුම්ගන්න අපහසුයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතූන්ගෙන් හටගෙන තිබෙන මේ රූපය සතර මහා ධාතු නිරුද්ධ වීමෙන් නැතිවී යනවා කියලා රූපයේ යථාර්ථය විනිවිද දකින්න හැකි වුවහොත් මේ සත්වයාට රූපයෙන් නිදහස් වෙන්න පුළුවන්. රූපය කෙරෙහි ඇති තණ්හාව දුරුකරන්න පුළුවන්. එහෙම වුණොත් දම්වැල සිඳ නිදහස් වූ බලුපැටියෙකු සේ අපටත් ඇවිද යන්නට පුළුවනි. කළ යුත්තේ සතරමහා ධාතූන්ගෙන් හටගත් රූපයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කිරීමයි. බුදුරජාණන් වහන්සේ රූපය පෙණ පිඬකට උපමා කොට පෙන්වා දී ඇත්තේ ඒ නිසයි. පිටට මහා විශාල පෙනුමක් පෙණ පිඬෙහි තිබුණත් ඇතුළෙහි කිසිම හරයක් නොමැති දෙයක්. ඒ වගේ ම මේ රූපය පිටින් විසිතුරු ලෙස සරසා තිබුණ ද ඇතුළෙහි කිසිදු හරයක් නොමැති දෙයක්.

දිය බුබුළ වන් වේදනාව

විඳීම තුන් ආකාරයි. සැප විඳීම්, දුක් විඳීම්, දුක් සැප රහිත විඳීම් අයුරින්. අපි දුක් වේදනාව ආ විට ඒ නිසා තැවෙනවා. දුක් වෙනවා. සැප විඳීමක් ආ විට එය බදා ගන්නවා. එයට ආශා කරනවා. ඒ නිසා අශ්‍රැතවත් පෘථග්ජනයා වේදනාවටත් සතර ආකාරයෙන් බැඳී යනවා.

1) වේදනාව මම කියලා බැඳෙනවා.
2) තමා සැදී තිබෙන්නේ වේදනාවෙන් කියලා බැඳෙනවා.
3) තමා තුළ වේදනාව තියෙනවා කියලා බැඳෙනවා.
4) වේදනාව තුළ තමා ඉන්නවා කියලා බැඳෙනවා.

මෙන්න මේ විදිහට වේදනාවේ යථාර්ථය නො දන්නා නිසයි වේදනාවට බැඳී යන්නේ. වේදනාව ද හේතුවක් නිසා හටගත් දෙයක්. එනම් ස්පර්ශය නිසයි වේදනාව ඇතිවෙන්නේ.

ස්පර්ශය ඇතිවෙන්නේ,

* ඇසයි රූපයයි විඤ්ඤාණයයි යන කරුණු තුන එකතු වූ විට ඇසේ ස්පර්ශය හට ගන්නවා.
* කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වූ විට කනේ ස්පර්ශය හට ගන්නවා.
* නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වූ විට නාසයේ ස්පර්ශය හට ගන්නවා.
* දිවයි රසයි විඤ්ඤාණයයි එකතු වූ විට දිවේ ස්පර්ශය හට ගන්නවා.
* කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වූ විට කයේ ස්පර්ශය හට ගන්නවා.
* සිතයි සිතුවිලියි විඤ්ඤාණයයි එකතු වූ විට සිතේ ස්පර්ශය හට ගන්නවා.

මෙසේ හටගත් ස්පර්ශය නිසා අපි රූප විඳිනවා, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස, අරමුණු ආදිය විඳිනවා. මේ ස්පර්ශය නිසා හටගත් වේදනාවට සතර ආකාරයෙන් ම සක්කාය දිට්ඨියෙන් බැඳී ගිය නිසා තමයි සසරේ ගමන් කරන්නේ. අනිත්‍ය ඇස, කන, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතනත්, අනිත්‍ය රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස, අරමුණු යන බාහිර ආයතනත් එකතු වීමෙන් ඇති වන්නේ අනිත්‍ය විඳීමක්. මේ විදිහට වේදනාවේ යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා තණ්හාව නමැති දම්වැල කඩා අවිද්‍යාව නමැති කණුව පෙරලා දමන්නට දක්ෂ වෙනවා.

මිරිඟුව වන් සඤ්ඤාව

සඤ්ඤාව යනු හඳුනාගැනීමයි. අපි හඳුනගන්නේ රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස හා අරමුණුයි. මේ හඳුනාගැනීම ඇති වන්නේ ද හේතුවක් නිසායි. හඳුනාගන්නත් හේතුව ස්පර්ශයයි.

* ඇසයි රූපයි සිතයි ස්පර්ශ වීම නිසා අපි රූප හඳුනගන්නවා.
* කනයි ශබ්දයි සිතයි ස්පර්ශ වීම නිසා අපි ශබ්ද හඳුනගන්නවා.
* නාසයයි ගඳ සුවඳයි සිතයි ස්පර්ශ වීම නිසා අපි ගඳ සුවඳ හඳුනගන්නවා.
* දිවයි රසයි සිතයි ස්පර්ශ වීම නිසා අපි රස හඳුනගන්නවා.
* කයයි පහසයි සිතයි ස්පර්ශ වීම නිසා පහස හඳුනගන්නවා.
* සිතයි සිතුවිලියි සිතයි ස්පර්ශ වීම නිසා සිතුවිලි හඳුනගන්නවා.

මේ හඳුනාගන්නා දේට සක්කාය දිට්ඨියෙන් බැඳී යාම නිසායි මේ සංසාර ගමනේ අපිට යන්න වෙන්නේ. මේ විදිහට හඳුනාගැනීමටත් බැඳෙනවා.

1) හඳුනාගැනීම තමා කියලා.
2) හඳුනාගත් දේ තුළින් තමා හැදුනා කියලා.
3) හඳුනාගැනීම තියෙන්නේ තමා තුළයි කියලා.
4) හඳුනාගැනීම තුළ තමන් ඉන්නවා කියලා.

මේ විදිහට අනිත්‍ය ස්පර්ශය නිසා ඇතිවන හඳුනාගැනීම ආත්මයක් ලෙස ගෙන සිටිනා තාක් අපට සසර කතරින් එතෙර වීමට නම් අපහසුයි. ඇත්ත ඇති සැටියෙන් ම අවබෝධ කළහොත් සඤ්ඤාව නැමැති මිරිඟුවෙන් අපටත් නිදහස් වෙන්න අවස්ථාව තියෙනවා.

කෙසෙල් කඳක් වැනි සංඛාර

සංඛාර යනු කර්ම සකස් වීමයි. කර්මය යනුවෙන් අදහස් වන්නේ විපාක පිණිස යමක සකස් වීමයි. විපාක පිණිස කර්ම සකස් කර දෙනු ලබන්නේ චේතනාව විසින්. මේ සංඛාර (නැත්නම් චේතනාව ද) හේතුවක් නිසා සකස් වන ඵලයක්. සංඛාරයට හේතුවන්නේ ස්පර්ශයයි.

* ඇසයි රූපයි සිතයි එකතුවීම තුළින් ස්පර්ශය ඇතිවෙනවා. ඒ තුළින් අපට රූප පේනවා. ඒ පේන රූපයට අනුව චේතනාව ඇති වෙනවා.
* කන, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතන හා ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු යන බාහිර ආයතන සමග සිත එකතු වීම නිසා ස්පර්ශය ඇතිවෙනවා. ඒ ස්පර්ශය නිසා තමයි සංඛාර හෙවත් කර්ම සකස්වීම ඇතිවන්නේ, චේතනාව ඇතිවන්නේ.

මේ ස්පර්ශය නිසා හටගත් සංඛාර ගැන අවබෝධයක් නැති අශ්‍රැතවත් පෘථග්ජනයා සංඛාර කෙරෙහිත්

1) සංඛාර තමා කියලා,
2) තමා සැදී තිබෙන්නේ සංඛාරයෙන් කියලා,
3) සංඛාර ඇත්තේ තමා තුළ කියලා,
4) සංඛාර තුළ තමා ඉන්නවා කියලා

වැරදි විදිහට දකිනවා. මේ විදිහට සක්කාය දිට්ඨිය තුළට බැසගෙන මමත්වයෙන් බලන තාක් සංඛාර හෙවත් චේතනාව අවබෝධ කරන්නට බැරිවෙනවා. යම් කලෙක අනිත්‍ය ස්පර්ශය තුළින් අනිත්‍ය වූ සංඛාර ඇතිවන බව දැනගත් විටයි, පිරිසිඳ අවබෝධ වූ විටයි ඒ බන්ධනය ලෙහිලා යන්නේ. නැත්නම් කණුවේ බැඳි බලු පැටියා සේ අවිද්‍යාව නමැති කණුව වටේ සිට සංසාරයේ ගමන් කිරීමට තමයි සිදුවන්නේ. අනිත්‍ය අවබෝධ වූ විට යදම් සිඳ පලා යන්නට අවස්ථාව උදාවේවි.

සොඳුරු විජ්ජාකාරයා

ඊ ළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ විඤ්ඤාණය ගැනයි. විඤ්ඤාණය යනු විශේෂයෙන් දැනගැනීමයි (යමක් සිතින් දැන ගන්නා ස්වභාවය). විඤ්ඤාණය ද හේතූන් නිසා හටගත්, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන දෙයක්. විඤ්ඤාණයට හේතු වී ඇත්තේ නාම රූපයි.

ඇසේ, කනේ, දිවේ, නාසයේ, කයේ, සිතේ යන අභ්‍යන්තර ආයතන හයෙහි ම විඤ්ඤාණය හටගන්නවා. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර යන හතරත් සමඟ ම තමයි විඤ්ඤාණය පවතින්නේ. අශ්‍රැතවත් පෘථග්ජනයා

1) විඤ්ඤාණය තමා කියලා,
2) විඤ්ඤාණය තුළින් තමා හැදිලා තියෙනවා කියලා,
3) තමා තුළ විඤ්ඤාණය තියෙනවා කියලා,
4) විඤ්ඤාණය තුළ තමා ඉන්නවා කියලා

ආත්ම දෘෂ්ටියෙන් බැඳෙනවා. එහෙත් එහි ඇත්තේ මායාවක්. එය නාමරූප නිසා හටගෙන ඇති බවත්, නාමරූප නැතිවීමෙන් විඤ්ඤාණය නැති වන බවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. මේ අනිත්‍ය වූ දෙය නිත්‍ය වශයෙන් නොගෙන අනිත්‍ය වශයෙන් ම විනිවිද බැලූ කල එහි අනිත්‍ය අවබෝධ වෙනවා. අනිත්‍ය අවබෝධ වීම තණ්හාව නමැති දම්වැල සිඳ දමන්නට රුකුලක්.

මුළාවෙන් මිදෙන්න

තමන් ලෙස, අනුන් ලෙස සැලකූ අතීතයේ නැතිවී ගිය, අනාගතයේ තවම හට නො ගත්තා වූ, වර්තමානයේ හටගෙන තිබෙන ගොරෝසු වූ, සියුම් වූ, යහපත්, අයහපත්, දුර, ළඟ, යන කාලය හා අවකාශය අතර පවතින රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන් නිවැරදිව අවබෝධ කළහොත්, යථාර්ථය විනිවිද දැක්කොත් සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න පුළුවන්.
ඒ තාක් අපිත් මහා ලොකු කණුවක ලොකු දම්වැලකින් බැඳ ඇති පුංචි බල්ලෙකු සේ, අවිද්‍යාව නමැති මහා කණුවේ, තණ්හාව නැමැති විශාල දම්වැලින් සසරට බැඳ දමනු ලැබ සසරේ ම කැරකි කැරකි යාවි. ඒ නිසා අපිටත් විසි ආකාර වූ සක්කාය දිට්ඨියෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ම යි වුවමනා. නිතර නිතර ධර්මය ශ්‍රවණය කර, නුවණින් විමසා, සසර දුක් දුරුකරගෙන සැනසීම ලබා මේ සසර කතරින් එතෙර වන්නට අපිත් අදිටන් කර ගනිමු.

(ගද්දුලබද්ධ සූත්‍රය ඇසුරින්)
(මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)

උපුටාගැනීම – මහාමේඝ පුවත් සඟරාව -වියළී මියැදෙන්නට පෙර, ඔබ තෙමා සුරකිනු පිණිස

සබැඳි ලිපිය-https://ift.tt/2rACAJB

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2PxPT5m
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 103 🧡💛

🧡💛🧡💛 සම්මා සම්බුදුවරයෙකුහටම පමණක් මතුකරලිය හැකි අධිමුක්තිය නොහොත් හද යට සැඟවුණු ප්‍රාර්ථනය! 🧡💛 🧡💛

🌺 අවසන්​ නියත විවිරණය ලබාදුන් කස්සප බුදුහාමුදුරුවෝ 06

අප මහා බෝසතාණන් වහන්සේව කස්සප බුදුරජුන් වෙත පැමිණවූ ඝටීකාර කල්‍යාණ මිතුරා ඔහුගෙන් සමුගත්තා. ඝටීකාර මිතුරාගේ කතාව එතනින් නිමා වුනේ නැහැ. එය ඉතාම ලස්සන් දීර්ඝ කතාන්දරයක්. ඔහු ඒ ජිවිතයෙන් සමුගත්තේ අනාගාමී ඵලයේ සිටයි. එනිසාම එතුමා අදටත් බ්‍රහ්ම ලෝකය තුල බුදුසසුණ අරක්ෂා කරමින් වැඩසිටිනවා. උන්වහන්සේගේ සහ අප මහා බුදුරජාණන් වහන්සේගේ යලි හමුවීම ඉදිරියේදී ඔබහට මේ කතා පෙළ තුලින්ම කියවන්නට ලැබේවි.

මහණ වූ දිනයේ සිට පටන්ගන්නා ලද විර්‍ය්‍ය ඇතිව, වතාවත්හි දක්‍ෂව, සීල සමාධි ආදී කිසි තැනක නොපිරිහෙමින් අප මහා බෝසතාණන් වහන්සේ කස්සප බුදුසසුණේ මහණ දම් පුරන්නට වුනා. යම් පමණ බුදුවදන් වීද, නවඟ සසුනක් වීද, ඒ සියල්ල ඉගෙන බුදුසසුන හොබවන්නට වුනා. කාශ්‍යප බුදුපියාණන් වහන්සේ අප මහා බෝසතාණන් වහන්සේගේ මනා වත් පිළිවෙත් දැක, ’’මේ ජෝතිපාල තෙම මේ භද්‍රකල්පයෙහි බුදුවන්නේය’’ යි අවසන් විවරණය ලබා දෙනු ලැබුවා. පෙර පරිදීම නැවතත් දෙවියන්ගේ ඔල්වරසන් හඬ අත්පොළසන් හඩ වගේම සාදුකාර හඬත් සක්වලින් සක්වලට පැතිර ගියා.

🍂 කස්සප භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.🍂

මෙසේ මම නොකටයුතු දේ දුරු කරමින් සසරෙහි හැසිරීමි. සම්බෝධිය පිණිස මා විසින් දුෂ්කර ක්‍රියාද කරණ ලදී.

(කසුප් බුදුරදුන්ගේ) උපන් නුවර ’’බාරාණසී’’ නම් වී. (එහි) ’’කිකී’’ නම් රජකේ වී. ඒ නුවරෙහි බුදුරදුන්ගේ මහා කුලය (මහත් නෑ සමූහය) වාසය කළේය.

මහර්ෂීවූ කසුප් බුදුරජුන්ගේ පිය තෙම පසිඳු බඹදත් බමුණු නම් වී. වැදූ මව් ධනවතී නම් බැමිණිය වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු දෙදහසක් බුදුවන්ට පෙර ගිහිගෙයි විසීය. ’’හංස’’ ය, ’’යස’’ ය, ’’සිරිනන්‍ද’’ ය යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් අට දහසකි. පසිඳු බිරින්ද ’’සුනන්‍දා’’ නම් වූවාය. පුත් තෙම ’’විජිතසේන’’ නම් වී.

පුරුෂෝත්තම තෙම සතර පෙර නිමිති දැක, පහයෙන් මහබිනික්මන් කළේය. සත් දිනක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කළේය.

මහාවීරවූ, මිනිසුන්ට උතුම්වූ, කසුප් ලෝනා හිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, මිගදායෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ කසුප් බුදුරජුන්ට ’’තිස්ස’’ ද, ’’භාරවාජ’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සබ්බ චිත්ත’’ නම් වී.

’’අනුලා’’ ද, ’’උරුවෙලා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ’’නුගරුක’’ යයි කියනු ලැබේ.

’’සුමඞ්ගල’’ ද, ’’ඝටීකාර’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’විජිතසේනා’’ ද, ’’භද්‍ර’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

ඒ බුදුරජතෙම උසින් විසි රියනක් උස්විය. අහසෙහි විදුලියක් මෙන්ද, තරුවලින් පිරුණු සඳ මෙන්ද බැබලී.

මහර්ෂීවූ උන්වහන්සේගේ ආයුෂය අවුරුදු විසි දහසකි. ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ දෙනා බව සයුරෙන් එතර කළ සේක.

දහම් නමැති විලක් මවා, සිව් පිරිසිදු සිල් නමැති විලවුන්දී, හිරි ඔතප් නමැති පිළි සඟලක් හැඳ, සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍ම නමැති මල් දමක් ගොතා (හෙවත් කොට)

නිවන් පතන කිසි කෙනෙක් මා විසින් දෙසන ලද (දහම් නමැති) පළඳනාව බලත්වායි නිමල් (නොකිලිටු) දහම් නමැති කැඩපතක් මහජනයා වෙත තබා,

පන්සිල්, දසසිල්, සිව් පිරිසිදු සිල් නමැති සැට්ටයක් දී, (සිවු – පස් භෙද ඇති) ධ්‍යානයකද බඳින ලද්දේ, දහම් සම් පොරවා, උතුම් වීර්‍ය්‍ය දළ සතර බැඳුම් සැට්ටය දී,

සිහිය නමැති පලිහයක්ද, විදසුන් නැණ නමැති හෙල්ලක්ද දී, ලොව්තුරු සීලයට සතුරු කෙලෙස් සියල්ල මඩනා නැණ නමැති උතුම් කඩුවක්ද දී,

ත්‍රිවිද්‍යා නමැති පළඳනාවක්ද, සිව් මග පල නමැති මුදුන් මල් කඩක්ද, ෂඩ් අභිඥා නමැති අලංකාර කරණ අබරණද, නව ලොව්තුරු දහම් නමැති පළඳන මල් දමක්ද දී,

අකුසල් නමැති අව්ව වැලැක්වීම කරණ සදහම් නමැති සේසතක්ද දී, ’’අභයපුර’’ යයි කියන ලද නිවනට පමුණුවන (අරි අටඟි මග නමැති) මල් අතුළ මගක් ඇතිකොට ඒ (කසුප්) බුදුරදතෙම ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.

අපමණ ගුණ ඇති, සතුරන් විසින් නොළංවිය හැකි, ඒ සම්බුදුරදහුද, යහපත්ව දෙසන ලද එව බලව යි කීමට සුදුසු ඒ දහම් රුවනද,

උතුම්වූ සුපිළිපන් ඒ සඟ රුවනද යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

ශාස්තෘවූ මහ කසුප් ජිනරාජ තෙම ’’ස්වෙතව්‍ය’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ ජිනථූපය කාශ්‍යප භාග්‍යවත්හුගේ වංශය නම්. (සෑය) යොදුනක් උසට (ගොඩ) නගන ලද්දේය.

❤💚💛🧡 විශේෂ පුණ්‍යානු මෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
12-12-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2LLrZSO
මොකක්ද මේ ‘දහසක් නයින් ප්‍රතිමණ්ඩිත’ සෝවාන් මාර්ගය කියන්නෙ. දහස් ආකාරයකින් සෝවාන් මාර්ගය ලැබෙන්නට තියෙනව, ඒකයි දහස් ආකාරයෙන් එක් ආකාරයකටයි කෙනෙකුට අවබෝධ වෙන්නෙ. අභිධර්ම පිටකයෙහි ධර්ම සංගනී ප්‍රකාරණයෙහි මේ දහසක් නය විස්තර කරලා තියෙනව. අට්ඨ කතාවෙහි තමයි එය පැහැදිලි කරලා තියෙන්නෙ. දහසක් නය වෙන්නෙ මෙන්න මෙහෙමයි.

ලෝකෝත්තර මාර්ගය පද දෙකකින් කියවනවා.
1). සුඤ්ඤත මග්ගෝ
2). අප්පණිහිත මග්ගෝ
කියලා. ඒ වාගේම ලෝකෝත්තර ධ්‍යානය,
1). සුඤ්ඤත ධ්‍යාන
2). අප්පණිහිත ධ්‍යාන
කියල දෙකකට බෙදනවා. මේ සුඤ්ඤත ධ්‍යාන, අප්පණිහිත ධ්‍යාන කියන දෙක,
දුක්ඛා පටිපදා දන්ධාභිඥා, එකයි,
දුක්ඛා පටිපදා ඛිප්පාභිඥා, දෙකයි,
සුඛා පටිපදා දන්ධාභිඥා, තුනයි,
සුඛා පටිපදා ඛිප්පාභිඥා, හතරයි.
මේ හතරෙන් වැඩිවුණහම 8ක් වෙනවා. පටිපදා හතරෙන් වැඩි නොවී ශුද්ධික මග්ග වශයෙන් කියනකොට, ශුද්ධික සුඤ්ඤත, ශුද්ධික අප්පණිහිත වශයෙන් එතකොට 2යි. දැන් එතකොට 10යි. ඔය දහය වැඩි වෙනවා වීසති නය ක්‍රමයකින්.

1). ලෝකුත්තරං ධ්‍යානං භාවේති
2). ලෝකුත්තරං මග්ගං භාවේති
3). ලෝකුත්තරං සතිපට්ඨානං භාවේති
4). ලෝකුත්තරං සම්ම පධානං භාවේති
5). ලෝකුත්තරං ඉද්ධිපාදං භාවේති
6). ලෝකුත්තරං ඉන්ද්‍රියං භාවේති
7). ලෝකුත්තරං බලං භාවේති
8). ලෝකුත්තරං බොජ්ඣංගං භාවේති
9). ලෝකුත්තරං සච්චං භාවේති
10). ලෝකුත්තරං සමථ භාවේති
11). ලෝකුත්තරං ධම්මං භාවේති
12). ලෝකුත්තරං ඛන්ධං භාවේති
13).ලෝකුත්තරං ආයතනං ධාතුං භාවේති
14). ලෝකුත්තරං ධාතුං භාවේති
15). ලෝකුත්තරං ආහාරං භාවේති
16). ලෝකුත්තරං ඵස්සං භාවේති
17). ලෝකුත්තරං වේදනං භාවේති
18). ලෝකුත්තරං සඤ්ඤං භාවේති
19). ලෝකුත්තරං චේතනං භාවේති
20). ලෝකුත්තරං ච්ත්තං භාවේති

කියලා පද 20කින් වැඩි වෙනවා. එතකොට 200ක් වෙනවා. දහස විස්සෙන් වැඩි වුණාම දෙසීය යි. ඒ 200, අධිපති ධර්ම 4න් වැඩි වෙනකොට 800ක් වෙනවා. අධිපති අමිශ්‍ර ව 200 යි. අධිපති මිශ්‍ර ව 800 යි. එකතු වුණා ම 1000 යි. ඔන්න ඔය විදියට දහසක් නය ප්‍රතිමණ්ඩිත සෝවාන් මාර්ගය, ඵලය වෙන්නෙ.

(උපුටා ගැනීම – නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලද දම් දෙසුමකිනි.)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/346enbf
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 102 🧡💛

🧡💛🧡💛 සම්මා සම්බුදුවරයෙකුහටම පමණක් මතුකරලිය හැකි අධිමුක්තිය නොහොත් හද යට සැඟවුණු ප්‍රාර්ථනය! 🧡💛 🧡💛

🌺 අවසන්​ නියත විවිරණය ලබාදුන් කස්සප බුදුහාමුදුරුවෝ 05

සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ නමක් දිනකට දෙවරක් උදෑසන හා සවස මිනිසුන් උදෙසා ධර්මය දේශනා කිරීම සිරිතක්. එහෙම නොවෙන දවසුත් ඇති. ඒ සෑම දේශනාවටම පෙර එහි රැස්වූ දෙව් මිනිසුන් හා ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව ඔවුන්ගේ සිත් සොළොස් ආකාරයකින් බලා වදාරමින් ඔවුනට ගැළපෙන අයුරින් දර්ම දේශනා කරනු ලබනවා. එය අනුපිළිවෙල කතා යනුවෙන් හඳුන්වනවා. එනම්

1. දාන කථං – දන්දීම පිලිබඳ කථා,
2. සීල කථං – සීලය පිළිබඳ කථා,
3. සග්ග කථං – සප්ත කාම සවර්ගය පිළිබඳ කථා,
4. කාමානං ආදීනවං – පංචකාම රසාස්වාදයෙහි වරද පෙන්නා දෙන කථා,
5. නෙක්ඛම්ම ආනිසංසං – පංචකාම රසාස්වාදයෙන් වෙන්වීමෙහි අනුසස් පැහැදිළි කරන කථා,

මෙලෙස අනුපිළිවලින් දෙව් මිනිස් දෙවර්ගයම ක්‍රම ක්‍රමයෙන් සාමුක්කන්සික නොහොත් චතුරාර්ය සත්‍යය දේශණා කරා රැගෙන එන්නේ ඔවුන්ටවත් නොදැනෙන්නට ඔවුන්ගේ සසර පුරුදු පාරමිතා අවදි කරමින්. ඒ සදහාද ඒ පුද්ගල ස්වභාවය පිලිබඳ විමසීමක් කලයුතු වන්නේ දෙව් මිනිස් දෙවර්ගයටම අයිති සත්වයෝ රූප කායෙන් මෙන්ම මානසික ආකල්පවලින් චරිත වලින් නා නා විධි වන නිසා. ඒකාකාර දෙදෙනෙකු සොයාගැනීමට අපහසු නිසා. එමනිසා ඒ ඒ මානසික තත්වයන් අනුව සත්වයන් වර්ග සතකට බෙදෙනවා.

1. රාග චරිත
2. ද්වේශ චරිත
3. මෝහ චරිත
4. සද්ධා චරිත
5. විරිය චරිත
6. විතක්ක චරිත
7. බුද්ධි චරිත යනුවෙන්

ඉහත තත්වයන් සළකා බලා එකිනෙක සත්වයන්ගේ චරිත ලක්ෂණ අනුව ඒ එකිනෙක සත්වයා හට ප්‍රත්‍ය දහම් තෝරා ගෙන දේශණා කිරීමට විශාරදත්වය ඇත්තේද සම්මා සම්බුදුවරුන්හට පමනක්මයි. සාරිපුත්තාදී මහා ප්‍රාඥ මහා රහතුන්හට පවා එය දුෂ්කර කාර්යයක් බවයි පෙළෙහි ඇත්තේ.

එසේනමුත් ඉහත කියන ලද චරිත ලක්ෂණ වලටද වැඩි විශේෂ ලක්ෂණ තුන් වර්ගයක් සත්ව සන්තානයේ පවත්නා බව බුදු දහමේ සඳහන් වෙනවා. එනම්
1. අධිමුක්ති,
2. ආශය,
3. අනුශය යනුවෙන්.

මෙහි 1.අධිමුක්ති නම් හද යට සැඟවුණු අන්අයට අප්‍රකට ප්‍රාර්ථනයයි. 2. ආශය නම් උඩුහිතේ ප්‍රකට ලෙස ක්‍රියාත්මක වෙමින් පවත්නා අදහස්ය. 3. අනුශය නම් හද පත්ලේ නිදන්ව පවතින තණ්හා, මාන, දිට්ඨි යන දුබලකම්ය. ඒවා සමහර විට ඒ ඒ අයටද අප්‍රකටය.

මේ සියල්ලත් සමග ඔවුන්ගේ පංච ඉන්ද්‍රිය ධර්ම නොහොත් 1. සද්ධා 2.විරිය 3. සති 4. සමාධි 5. පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්ම වැඩි ඇති අකාරය සම්මා සම්බුදුවරයකු විසින් බලනු ලබන්නේ සම්මා සම්බුදුවරයෙකුටම පමණක් විශේෂයෙන් අයත්වන ෂඩ්අසාධාරණ ඤාණ අතුරින් එක් විශිෂ්ට ඤානයක් වන ඉන්ද්‍රිය පරෝපර්‍යත්ති ඤාණය මගින්. මෙලෙස අතිවිශේෂ අධ්‍යනයකින් පසුව බුද්ධ දේශනාව ඒ ඒ පුද්ගල සන්තානයන්ට අනුරූපව විශේෂ අංග නවයකින් සිදුකරනු ලබයි. එම නිසා මෙම සුවිශේෂ දේශණා ශෛල්‍යයකින් යුතු සාසනය නවාංග සාස්තෘ සාසනය යන නමින්ද හඳුවනවා. එය

1.සුත්ත 2. ගෙය්‍ය 3.ව්‍යොකරණ 4. ගාථා 5. උදාන 6.ඉතිවුත්තක 7.ජාතක 8.අභ්භූතධම්ම 9.වේදැල්ල යනුවෙන් හඳුන්වනවා.

දැන් ඔබට තේරෙන්නට ඕනේ සම්මා සම්බුදුවරයෙකු විසින් කරන්නා වූ ධර්ම දේශණයක් අවසානයේ අධික ලෙස මිත්‍යදෘෂ්ටින්ගෙන් එළඹ සිටි බොහෝ දෙනා පවා අරහත්වයට දේශණාව අවසානයේ පත්වුණේ කොහොමද කියලා.

එදා ජෝතිපාල මානවකයා හමුවේ ක්‍රියාත්මක වුනෙත් ඒ අනුපිළිවෙල කතාවමයි. එතැන් සිට සුත්‍ර දේශනාවේ ඒ පිළිබඳව කර ඇති වර්ණනාව දෙස බලමු.

“ජොතිපාල තරුණ තෙමේ වනාහි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවීමට නිසිවූ සිහි කිරීමට සුදුසුවූ කතාව කොට නිමවා එක් පැත්තක හිඳගත්තේය.

“ආනන්දය, එක් පසෙක උන්නාවූ ඝටීකාර කුම්භකාර තෙමේ ‘ස්වාමීනි, තරුණවූ මේ ජොතිපාල තෙමේ මාගේ යහළුවෙකි. ප්‍රිය යහළුවෙක. භාග්‍යවතුන් වහන්සේ මොහුට ධර්ම දෙශනා කරණ සේක්වායි.’ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට කීය.

ආනන්දය, එකල්හි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප බුදුරජ තෙමේ ඝටීකාර කුම්භකාරයාටද ජොතිපාල මානවයාටද දහම් කතාවෙන් කරුණු දැක්වූයේය. කරුණු ගැන්වූයේය. කරුණෙහි සිත් තියුණු කරවූයේය. පැහැදවූයේය.

“ආනන්දය, එකල්හි භාග්‍යත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද්දාවූද කරුණු ගන්වන ලද්දාවූද, එහි සිත් තියුණු කරවන ලද්දාවූද පහදවන ලද්දාවූද ඝටීකාර කුම්භකාර තෙමේද ජොතිපාල මානව තෙමේද භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්බුදුන්ගේ දෙශනාවට ඉතා සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට වැඳ, පැදකුණු කොට ගියාහුය.

මෙලෙස බණ අසා පිටත්වුන ජෝතිපාල නොහොත් අප මහා බෝසතාණෝ ඝටීකාර යහළුවගෙන් මෙහෙම විමසුවා.
ඔබ බණ අස අසා ඇයි ගෙදර යන්නේ? මහණ වෙන්නට සිතක් පහල වෙන්නේ නැද්ද, මට නම් අදම පැවිදි වෙන්න හිතෙනවා. එවිට ඝටීකාර යහළුවා මෙලෙස පිළිතුරු දුන්නා.
මිත්‍රය මට එය කල හැක්කක් නොවෙයි. මගේ මාපිය දෙදෙනාම මහලුයි අන්ධයි. මම ඒ අයව රැක බලාගන්නවා. ඒ නිසා මට තවම පැවිදි දිවියට ඇතුලත් වෙන්න බැහැ. එවිට අප මහා බෝසතාණෝ මෙහෙම කිවා. අනේ එහෙමනම් බුදුහාමුදුරුවන්ට කියලා මාව මහණ කරවන්න. මට තවත් ගිහි ජිවිතියේ රැඳී ඉන්න උවමනාවක් නැහැ. අනේ මට මහණ වෙන්න අවසර ඉල්ලා දෙන්න.
ඝටීකාර මානවකය යලිත් ආරාමය වෙත් හැරුණා. යලිත් කස්සප බුදුන් වෙත පැමිණියා. එය මෙලෙස සුත්‍ර දේශනාවේ සටහන් වෙනවා.

පැමිණ, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වැඳ එක් පසෙක හිඳගත්හ. ආනන්දය, එක් පසෙක හුන්නාවූ ඝටීකාර කුම්භකාර තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට ‘ස්වාමීනි, මේ ජොතිපාල මානවක තෙමේ මාගේ යහළුවෙකි. ප්‍රිය යහළුවෙක. භාග්‍යවතුන් වහන්සේ මොහු පැවිදි කරණ සේක්වායි කීය.’
“ආනන්දය, ජොතිපාල මානවක තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් සමීපයෙහි මහණකම් ලැබී උපසම්පදාව ලැබී.
ඉක්බිති ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජතෙමේ ජොතිපාල මානව උපසම්පදාවූ නොබෝ කලකින් උපසම්පදාවී අඩමසකින් වෙහලිංගයෙහි කැමතිතාක්කල් වාසයකොට බරණැස යම් තැනෙක්හිද එහි චාරිකාව සඳහා වැඩියේය. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනුයේ බරණැස යම් තැනෙක්හිද එහි පැමිණියේය.

මෙලෙස අප මහා බෝසතාණන් වහන්සේගේ හද යට වැළලී තිබු අප්‍රකට ප්‍රාර්ථනය යලි ගොඩගන්නට ඒ මහා විර්යයාණන් වහන්සේ සමත් වුණා.

මම මෙලෙස බුද්ධ දේශණාව පිලිබඳ කෙටි විස්තරයක් කලේ මෙම ලිපි පෙළ කියවන මාගේ මිත්‍රයන් වන සහ නොවෙන අන්‍යාගමික මිතුරන් සඳහායි. සමහර කතෝලික මිතුරන් මගෙන් ඉතා උනන්දුවෙන් ධර්ම කාරණා අසමින් භාවනා කිරීමට පවා උත්සාහ දැරීම මටත් විශාල සතුටක් ගෙනදෙන්නක් වුණා. ඔවුන් අතරද සමහර විට මෙවැනිම පාරමිතාවන් පුරන්නන් විය හැකියි. අවාසනාවකට අද සම්මා සම්බුදුවරයෙක් නැහැ එය කියා දෙන්න. මෛත්‍රියෙන් !!

❤💚💛🧡 විශේෂ පුණ්‍යානු මෝදනාව – ගෞරවණීය වරකාගොඩ සීලරතන නාහිමිපාණන් වහන්සේට. මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
10-12-2019