Monthly Archives: March 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2WJ92X1
🌷 විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව. 02🌷

🌷 සුරලොවක් වූ විසාලා මහ නුවර ප්‍රේත භවනක් බවට පත්වීම. 🌷

🌻 සුරලොවක් වූ විසාලා මහා නුවර

මේ විසාල නුවර අප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වුණායින් පස්සේ මහත් යසඉසුරින් සපිරුණ. එහි රජවරුම හත්දහස් හත්සිය දෙනෙක් රජකම් කළා. එසේම යුවරජවරු, සේනාපතිවරු, භාණ්ඩාගාරික තනතුර දරන්නෝ ද ඊට සාපේක්ෂව සිටියා. ‘ඒ කාලයෙහි විසාලාව යසඉසුරින් පිරුණු බොහෝ ජනගහණයෙන් යුතු නිති මිනිසුන් ගැවසෙන ආහාර සුලබ වූ හත්දහස් හත්සිය සතක් පහයෙන්ද එපමණක්ම වූ කුළුගෙවලින්ද මල්පලතුරු උයන්වලින්ද එපමණ පොකුණුවලින්ද යුතු කිසියම් කෙනෙකෙට යටත් කල නොහැකි මහා විශාල රාජධානියක් ලෙස වැජඹුනා.

🌻 ඒ අසිරිමත් නුවර ප්‍රේත භවනක් බවට පත්කළ තුන් බිය.

මෙහෙම කාලයක් යද්දී සියල්ල අනිත්‍ය ලෙස දක්වමින් ඒ විසල්පුරය ආහාර දුලබ නගරයක් බවට පත්වුණා. වැසි නොමැතිව අස්වැන්න පාළු වුණා. මුලදීම දුගී මිනිසුන් මැරුණා. ඉන්දියාවේ කවදත් මිනී භූමදාන කරන සිරිතක් තිබුනේ නැහැනේ. ඒ නිසාම ඔවුන් නගරයෙන් පිටතට ගෙනගොස් දමන්නට වුනා. මෙලෙස නගරයෙන් පිටත මළසිරුරු ගොඩගැසී කුණුව දුගඳ හමන්නට වුනා. ඒ හමන ගදින් භූතයෝ නුවරට පිවිසින්නට පටන් ගත්තා. ඒ අමනුෂ්‍ය උවදුරින්ද බොහෝ මිනිසුන් මැරෙන්නට පටන් ගත්තා. එහි පිළිකුල නිසා ඉතිරිව සිටි වැසියන්ට මහාමාරිය රෝගය වැලදුනා. මෙසේ ආහාර දුලබ වීම අමනුෂ්‍ය බිය සහ රෝග බිය යන තුන් උවදුරු ඇතිවූ විට නගරවාසීහු රජතුමා හමුවීමට ගියා. රජු හමු වී “මහරජතුමනි, මේ නගරයෙහි තුන් බියක් හටගෙන ඇත. මීට පෙර සත් කුල රජ පරපුරක පටන් මෙබදු දෙයක් නොවූ විරූය. ඔබවහන්සේ ඇදැහැමි බවෙන් දැන් එසේ සිදුවී යැයි” පැවසුවා. මෙය ඇසූ රජතුමා සියළුදෙනා පුරහලට රැස්කරවා ” මාගේ ඇදැහැමි බවක් ඇතොත් එය පෙන්වා දෙවයි” පැවසුවා. ඔවුහු මුළු රජ පරපුරම ගැනම විමසුවත් එවැනි කිසිදු දොසක් දුටුවේ නැහැ. එසේ එහිදී රජුගේ වරදක් නොදැක මේ බිය අප කෙසේ සංසිදුවන්නෙම්දැයි සිතන්නට වුනා. මගපෙන්වන නායකයන් ලෙස සැලකු පුර්ණකසසප ආදී හයදෙනා නගරයට පමුණුවා ගත්විට බිය සංසිදෙන්නේ යැයි ඇතැමෙක් කීවා.

🌻 තුන්බියෙන් විසාලා නුවර ගලවා ගැනීමට බුදුරජුන් වැඩමකරවා ගැනීමට බිම්බිසාර රජුගෙන් අවසර පැතීම.

ලොව බුදුවරයෙක් පහළ වී ඇත. ඒ භාග්‍යවතුන් වහන්සේ සියළු සත්වයන්ට හිතසුව පිණිස දහම් දෙසති. මහත් ඉදුබල ඇතිසේක. මහා බලසම්පන්න වෙති. එතුමන් මේ පුරයට කැදවනු ලබන්නේ නම් බිය සංසිදේ යැයි ඇතැමෙක් කියනු ලැබුවා. එය අසා නගරවාසීන් බොහෝ සතුටට පත්වුණා. ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් වැඩවසන්නේ කොතැනද? අප පණිවුඩ යැවුකල පැමිනේවිදැයි යනුවෙන් ඉවසිල්ලක් නොමැතිව විමසන්නට වුනා. බුදුවරු නම් සියලු සත්වයන් කෙරෙහි මහත් වූ අනුකම්පාවක් ඇති උත්තමයන්. නොපැමිණෙන්නේ කවර කරුණක් නිසාද? ඇතැමෙක් ඇසුවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් රජගහනුවර වැඩ වසති. බිම්බිසාර රජු උන්වහන්සේට උවටැන් කරයි. ඇතැම්විට රජු පැමිණීමට ඉඩ නොදෙනු ඇතැයි කෙනෙක් කීවා. එසේනම් රජුට කරුණු පහදා දී කැදවාගෙන එන්නෙමු යි ලිචඡවී රජවරු දෙදෙනෙක් මහත් බලසෙන් පිරිවරා තුටුපඩුරු දී බිම්බිසාර රජු වෙත යවනු ලැබුවා. බිම්බිසාර රජතුමා වෙත් ඒ පණිවිඩය ගියේ ඔය ආකාරයට. බිම්බිසාර රජතුමා වෙත ගිය රජවරු බිම්බිසාර රජුට පඩුරු පිළිගන්වා ඒ සියලු විස්තර දන්වා සිටියා. මහරජ,භාග්‍යවතුන් වහන්සේ අපගේ නගරයට වැඩම කරවීමට උපකාර වන්න. ඔවුන් ඇයද සිටියා. ඒත් එක්වරම රජු එය පිළිගත්තේ නැහැ. ඔබම ඊට සුදුසු පරිදි භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් දැනගනුවැයි කියනු ලැබුවා.

🌻 බුදුරජාණන් වහන්සේ ආරාධනය භාරගැනීම.

රජුගෙන් අවසර ලද සැනින් ඔවුන් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණයා. පැමිණ වැද “හිමියනි, අපගේ නගරයෙහි තුන් බියක් හටගෙන ඇත. ඔබවහන්සේ වැඩම කරන්නේ නම් අපට යහපතක් වන්නේයැයි” කියමින් ආරාධනය කර සිටියා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දිවැසින් විසාලා නුවර දෙස බැලුවා. ඒ අවස්ථාවේ උන්වහන්සේට පෙනීගියේ රතන සුත්‍රය දේශනා කළවිට, එහි රැකවරණය කෙළ සියදහසක් සක්වල පැතිර යනබවයි. දෙසනය නිමවන විට, අසූහාර දහසකට දහම් අවබෝධ වනබවත් දුටුවා. එසේ දිවසින් බලා එයින් වන්නාවූ මහත් සෙත දැක එම ආරාධනය පිළිගනුලැබුවා. බිම්බිසාර රජුහටත් භාග්‍යවතුන් වහන්සේ ඒ ආරාධනය පිළිගත් බව දැනගන්නට ලැබුණා. රජතුමා විසල්පුරට බුදුරජුන් වඩින බව නගරයෙහි පතුරුවා උන්වහසේ වෙත එළබ, “හිමියනි විසල්පුරට පැමිණීමට කරන ලද ආරාධනය භාරගන්නා ලදදැයි” අසනු ලැබුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ “එසේය මහරජ” යි වදාළ විට “එසේනම් හිමියනි වඩිනා මග පිළියෙළ කරන තෙක් ඉවසනු මැනවැයි” පවසා එතැනින් නික්මුණා.

🌻 බිම්බිසාර රජු රජගහනුවර සිට ගංගා නදිය තෙක් පස්ගව්වක් වූ මග බුදුරජාණන් වහන්සේගේ වැඩමකිරිම සදහා සැරසීම.

බිම්බිසාර රජු ඉක්බිතව රජගහනුවර සිට ගංගා නදිය තෙක් පස්යොදුන් බිම සමකොට යොදුනෙන් යොදුන විවේකයට සුදුසු තැන් සකසා ගමනට සුදුසු කාලය දන්වනු ලැබුවා. පන්සියයක් බික්සගණ පිරිවරා භාග්‍යවතුන් වහන්සේ ඒ මග වැඩම කරනු ලැබුවේ මහා සංග්‍රාමයකට එළඹෙන විරෝදාර රණකාමියෙකු ලෙසින්. රජු පස්යොදුනක් පමණ වූ මග පස්පැහැ මල් දණක් පමණට විසුරුවා දද කොඩි පුන්කලස් කෙසෙල්ගෙඩි ආදිය ඔසවා, භාග්‍යවතුන් වහන්සේට සුදු සේසත් දෙකක්ද, එක් එක් හිමිනමකට එක් සේසත බැගින්ද රැගෙන යන්නවුන් යොදවා, තමන් ද පිරිවර සමග මල් සුවද ආදියෙන් පුජා කෙරෙමින් එක් එක් විහාරයෙහි බුදුරදුන් විහරණයට සලස්වා මහදන් පිරිනමා දින පහකින් ගංතෙරට වැඩම කරවනු ලැබුවා.

තුසිත රාජපක්ෂ – ප්‍රංශය
17-03-2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/39j7F49
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 154💙💚💜

🌷 අප බෝසතාණන් වහන්සේ මෙලොව එළියදුටු දිනයේ මෙළොවින් සමුගත් මාතංග පසේ බුදුරජාණන් වහන්සේ.

☝ සැළකිය යුතුයි.
මාතංග බුදුහාමුදුරුවෝ ගැන ත්‍රිපිටකයේ දීර්ඝ විස්තරයක් නැහැ. ඉතා සුළු විස්තරයක් අපදාන අට්ට කතාවෙන් හමුවුනා. (ජිවිත සංඛ්‍ය ගාථා වර්ණනා – පිටුව 222) ඒ එක්කම මාතංග පසේබුදුන් පිළිබඳව බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක ස්ථවිරයන් වහන්සේ විසින් රචිත “සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය” නම් ග්‍රන්ථයේද දහතුන් වෙන පිටුවෙහි ඒ හා සමානම කෙටි විස්තරයක් සඳහන් වනවා. එහෙත් එම අඩුපාඩුව මගහරිමින් ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනාවෙහි ඇති අතීත පසේ බුදුවරුන් ගැන අපේ බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද හාමුදුරුවන්ට වැදෑරූ විස්තරද උපකාරක සුත්‍ර හැටියට භාවිතා කරමින් ඔබගේ සෘතමය ඥානය සඳහාත්, ශ්‍රද්ධාව සඳහාත්, ධර්ම රසය සඳහාත්, පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ විර්යය ඇතුළු සුවිශේෂ කරුණු මෙම ලිපි පෙළට මෙලෙස ඇතුළත් කිරීම කාලෝචිත යැයි සිතුවා. (ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනාව ඇසුරෙන්)

🌺 ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් පළමු වරට පසේබුදුවරු පිළිබඳව විමසීම.

එක් කාලයක බුදුහාමුදුරුවෝ සැවැත්නුවර වැඩ වාසයකලා. එදා ගෞරවණිය ආනන්ද හාමුදුරුවෝ හුදකලාව විවේකයෙන් සිටිමින් මෙසේ සිතුවා. බුදුහාමුදුරුවන්ගේ බෝසත් කාලයේ විස්තරද, අගසව්වුවන් ගැන විස්තරද, වර්තමාන කටයුතු අනාගතය ගැන වැනි මෙවැනි බොහෝ දේ විස්තර අසා තිබුණත් තවම පසේබුදුවරු ගැන යමක් අසා නැහැ. ඒ නිසා අද බුදුරජාණන් වහන්සේගෙන් පසේබුදුවරු ගැන විස්තර අහන්න ඕනේ කියලා. එහෙම හිතපු අනද තෙරුණුවෝ විවේකයෙන් බැහැරව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පසේබුදුහාමුදුරුවන් ගැන විමසුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමිට “පුබ්බ යෝගාවචර සුත්‍රය” දේශණා කළ බව “ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනාවේ” කියනවා. එය පසේ බුදුවරුන් ගැන දීර්ඝ අති රමණීය දේශණයක්. එය පටන් ගන්නේ මෙලෙසයි.

🌺 සමත විදර්ශනා භාවනාවෙහි යෙදීසිටින ඔබට ලැබිය හැකි සුවිශේෂ අනුසස් පහක්

“ආනන්ද, පූර්ව යෝගවචරයාට (පෙර බවුන් වැඩූ තැනැත්තාට) අනුසස් පහක් ඇත.
1.මේ භවයේ කලින්ම රහත් වන්නේය.
2.එසේ රහත්නොවී නම් මරණාසන්නයේ හෝ රහත්වන්නේය.
3. එසේ නොවී නම් දේව පුත්‍රයෙකුව හෝ රහත්වන්නේය.
4. එසේත් නොවී නම් බුදුවරයන් හමුවේ වහා නිවන් අවබෝධ කරගන්නෙක් වන්නේය.
5.එසේත් නොවී නම් පසු කාලයේ පසේ බුදු වන්නේය.”

තවදුරටත් උන්වහන්සේ මෙලෙස දේශනා කරනවා. ආනන්ද පසේබුදුවරුන් නම්, දහම් අවබෝධය ලබන හේතුසම්පත් ඇති, මුලසිටම ඒ සඳහා භාවනායෝගීව කටයුතු කරන අයයි.

🌺 සම්මා සම්බුදුවරයෙකු සහ පසේබුදු වරයෙකු විසින් පාරමී පිරිය යුතු කාලය.

එවිට අනද තෙරණුවෝ තවත් ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්ස, බුදුවරුන්ගේ පැතුම් සඵල වන්න කොපමණ කාලයක් යනවාද?
එවිට බුදුන්වහන්සේ මෙහෙම උත්තර දුන්නා. ආනන්ද සම්මා සම්බුදුවරයෙකුට අවම වශයෙන් අසංඛ්‍ය සතරකුත් කල්ප සියදහසක්ද, අතරමැද අසංඛ්‍ය අටකුත් කල්ප සියදහසක්ද, උපරිම අසංඛ්‍ය දහසයකුත් කල්ප සියදහසක්ද වනබවයි. අවමය වන අසංඛ්‍ය සතරකුත් කල්ප සියදහස නොපිරුණහොත් දිනපතා වෙසතුරු දානය හා සමාන දාන පිරිනැමුවද ඊට අනුරූපව සීලාදී පිරිය යුතු පාරමී දහම් රැස් කලද, ඒ අතර කාලයේ බුදුබවට පත්වන්නේ නැති බවයි. කවර හෙයින්ද ? මැනැවින් නුවණ තහවුරු වූ නැති බැවින්.

අනද තෙරණුවෝ ඉන් පස්සේ මෙලෙස අසනවා. බුදුරජාණන් වහන්ස, එසේනම් පසේ බුදුකෙනෙකු වීමට කොපමණ කලක් පාරමීදම් පිරිය යුතුද?
අසංඛේයය දෙකකුත් කප් සියදහසක්. මේ කාලයට අඩුවෙන් පසේ බුද්ධත්වයට පත්විය නොහැකි බව දේශනා කොට වදාරණු ලැබුවා.

🌺 සම්මා සම්බුද්ධත්වය පතන්නාවූ බෝසත්වරයෙකු හා පසේ බුදුවරයෙකු විසින් අභිනීහාරය සඳහා සම්පුර්ණ කළයුතු අෂ්ට ධර්ම සහ පංච ධර්ම.

අෂ්ට ධර්ම පිළිබඳව පැහැදිළි විස්තරයක් “අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙළේ 13 වෙනි කොටසේ කරනු ලැබුවා. කරුණාකර එය කියවන්න.

සම්මා සම්බුද්ධත්වය පතන්නාවූ බෝසත්වරයෙකු විසින් අභිනීහාරය සඳහා සම්පුර්ණ කළයුතු අෂ්ට ධර්ම.

“මනුස්සත්තං ලිංගසම්පත්තිං – හෙතුසත්ථාර දස්සනං
පබ්බජ්ජා ගුණසම්පත්ති – අධිකාරො ච ඡන්දතා
අට්ඨධම්ම සමෝධානා – අභිනීහාරෝසමිඣතී”

උන්වහන්සේ තවදුරටත් මෙසේ දේශනා කරනවා.
සම්මා සම්බුද්ධත්වය පතන්නා වූ බෝසත්වරුන් ප්‍රථම නියත විවරණය නොහොත් අභිනීහාරය සඳහා පහත සඳහන් අෂ්ට ධර්මයන්ගෙන් යුක්ත විය යුතුය. 1.එනම් මිනිසත් බව,
2.ලිංග සම්පත්තිය,
3.හේතු සම්පන්න වීම,
4.බුදුකෙනෙකු හමුවීම,
5.පැවිදිවීම,
6.අධිමානසික ගුණයෙන් යුක්ත වීම.
7.ජිවිත පරිහරණය,
8. කැමැත්ත හා සම්බන්ධ විර්යය
යන මේ අටකින් යුක්ත වුවන්ගේ ප්‍රාර්ථනය සඵලවේ.

🌺 පසේ බුද්ධත්වය පතන්නාවූ බෝසත්වරයෙකු විසින් අභිනීහාරය සඳහා සම්පුර්ණ කළයුතු පංච ධර්ම.

සම්මා සම්බුදුවරයෙකු හට අභිනීහාරය සඳහා අෂ්ට ධර්ම සම්පුර්ණ කල යුතු වුණත් පසෙබුදුවරයෙකුට ඇත්තේ පහත සඳහන් පහ පමණි.

මනුස්සත්තං ලිංගසම්පත්තිං විගතාසවදස්සනං
අධිකාරො ඡන්දතා එතෙ අභිනීහාරකාරණා

ඒ සමගම සියලු බෝසත්වරුනට පොදු ලක්ෂණ හයක් තිබෙන බවද මෙම සුත්‍ර දේශනාවේ සඳහන්වනවා.

🌺 සියලු බෝසත්වරුන් සතු පොදු ලක්ෂණ සය

1. ගිහිගෙයින් නික්ම අනගාරික ජීවිතයට පත්වීම.
2. විවේකීව සිටීම
3. ආසාවන්ගෙන් තොරවීම
4. තරහ නැති බව
5. සිහි මුළා නොවීම
6. සසරින් මිදීමට ඇති වීර්යය
යන කරුණු හය බුදුබව ලැබීමට උපකාරී පිණිස පවතින බවත් කීවා.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේට, මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරන්හට, සහ මගේ ආදරණීය බිරිඳට, සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛🧡

උපකාරක ග්‍රන්ථ
සුත්තනිපාතට්ඨ කථා – ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනාව,
ආපදානටඨ කථා – ජිවිත සංඛ්‍ය ගාථා වර්ණනා – පිටුව 222
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක ස්ථවිරයන් වහන්සේ

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
25-03-2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2UvVb3U
🌷 විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව. 01🌷

🌷 මස්වැදැල්ලෙන් බිහිවුණ ලිචඡවී දරුවන් හට ඇඟිලි තුඩෙන් කිරිදුන් තාපසයා සහ විසාලා මහා නුවර ගොඩනැගුන අයුරු.. 🌷

🌼 කෙටි සදහන

අතීතයේ විසල් පුර නොහොත් වජ්ජි දේශය නොහොත් විසාලා මහ නුවර ලෙඩ රෝගත්, දැඩි ආහාර ගිගවීමත්, අමනුෂ්‍ය බියත් ආදී තුන් ආකාර උවදුරු ඇතිවුනා. ඒ උවදුරු දුරුකරගනු පිණිස ලීච්ඡවී රජදරුවන් රජගහ නුවරට ගොස් ආයාචනාකොට භාග්‍යවතුන් වහන්සේ විසාලාවට වැඩම කරවනු ලැබුවා. මෙසේ වැඩමවාගෙන පැමිණි භාග්‍යවතුන් වහන්සේ විසාලාවට වැඩම කරනු ලැබුවා. මෙසේ වැඩමවාගෙන ආ භාග්‍යවතුන් වහන්සේ ඒ උවදුරු දුරුකරනු පිණිස මෙම සුත්‍ර දේශනාව දේසනා කරනු ලැබුවා. එය අපි කවුරුත් දන්නා එහි කෙටි සටහනයි. එය එසේ වුනත් එහි පසුබිම් කතාව මිට වඩා බොහෝ රසවත් වගේම ත්‍රිවිධ රත්නය කෙරෙහි බොහෝ ශ්‍රද්ධාව පිහිටවන්නක්. ඒ විතරක් නෙවෙයි. ඒ සුත්‍ර දේශනාවේ බලවත්කම කියාපාන්නක්. අද ලොව තුල මෙම කොරෝනා වයිරසය නිසා එදා මෙන්ම තුන් බියක් ඇතිවීමේ පෙර නිමිති පහල වී තිබෙන මොහොතක බොහෝ වෙහෙර විහාරස්ථාන වල මෙම සුත්‍ර දේශණාව සජ්ජායනා කිරීමට පටන් ගෙන තිබෙනවා. එම නිසා මෙම ලිපි පෙළ ඔබ සැමට එහි ගාම්භීර භාවයද බලවත් භාවයද අවබෝධ කොටගෙන ත්‍රිවිධ රත්නය කෙරෙහි අසීමිත ගෞරවයෙන් සජ්ජායනා කොට ලෝකයටම සෙත් පැතිය හැකි ආකාරයට සකසනු ලබනවා.
සාදු සාදු සාදු මෙම වසංගත රෝගය මෙම සුත්‍ර දේශනාවේ අනුහසින් නිම වේවා !!!!

🌼 විසල්පුර නොහොත් විසාලා මහා නුවර ගොඩනැගුන අයුරු.

පැරණි ඇදුරෝ මෙහිදී විසල්පුර ගොඩනැගුන අයුරු මුල පටන්ම විස්තර කරයි. ඒ විස්තර මෙසේය, බරණැස් රජුගේ අග මෙහෙසියගේ කුසෙහි දරුගැබක් පිහිටිය. ඇය එය දැන රජුට දැන්වූවා. රජ ගැබිනියක වෙනුවෙන් කළයුතු සියළු කටයුතු හා රැකවරණ ( ගැබ් පෙරහැර ) සලසනු ලැබුවේ ඉමහත් සතුටෙන්. ඇය මැනවින් මහත් පරිශ්‍රමයකින් ගැබ දරාගනිමින්, ගැබ මේරූ කල වදනාගෙට පිවිසියා. පින් ඇති තැනැත්තියන්ට දරු උපත සිදුවන්නේ අළුයම් කාලයේදී කියලයි පැරණි ඇදුරෝ කියන්නේ. එබදු තැනැත්තියන් අතර ඇයද වුවා. ඒත් හරිම දුක්කිත ඉරණමකට ඇයට මුහුණපාන්නට සිදුවුනේ. එදා අළුයම් වේලෙහි ලාකඩ පටලයක් (වැසුණු ) වැනි බදු වදමලක් මෙන් මස්වැදැල්ලක් තමයි ඇය විසින් බිහිකරනු ලැබුවේ. එවිට, ඇයට මෙහෙම හිතුනා. අනේ අනික් බිසෝවරුන් රන් පිළිම බදු පුතුන් වදනවා. අග මෙහෙසිය වූ මම මස් වැදැල්ලක් වැදුවා යනුවෙන් රජු ඉදිරියේ අපහාසයට ලක්වන්නේ යැයිද සිතා ඒ අපහාසයට බියෙන් තැතිගත්තා. ඇය හොර රහසේම එම මස්වැදැල්ල එක්තරා බදුනක බහා වෙනත් බදුනකින් වසා, රාජකීය සලකුණ තබා ගගෙහි පාකර යැවුවා. එහි රන් තහඩුවක, රත්සිරියල්වලින් බරණැස රජුගේ අග මෙහෙසියගේ දරුවන් යයි එහි ලියා තැබුවා. එලෙස දැමුවිටම ඒ දෙස බලා සිටි දේවතාවෝ එයට රකවරණය සැලසුවා. එම දේවතාවන්ගේ අනුහසින් ඒ බදුන දියසුළි ආදී උවදුරු නැතිව ගග පහළට පාවී ගියා.

🌼 මස්වැදැල්ලෙන් බිහිවුණ දරුවන් හට ඇඟිලි තුඩෙන් කිරිදුන් තාපසයා.

මේ කාලයෙහි එක්තරා තාපසයෙක් ගොපළු පවුල් වලින් සත්කාර ලබමින්,ඒ ගංතෙර පහළ වාසය කළා. ඔහු උදෑසනම ගගට බසිද්දී ඒ භාජනය පාවී එනු දැක පන්සුකුල හැගීමෙන් (කුණු ගොඩක් එතූ රෙදි යැයි සළකා ) අතට ගත්ත. එවිට ඒ අකුර සදහන් තහඩුව හා රාජකීය සලකුණුද දැක එය ඉවත්කළ පසු මස් වැදැල්ල ද දුටුවා. එහි දුගදක් හෝ කුණුවූ බවක් නැතිනිසා මෙය දරු ගැබක් කලලයක් විය යුතුයයි ඒ දිටු තව්සාට සිතුණ. ඔහු එය ඔහුගේ අසපුවට ගෙනගොස් පිරිසිදු තැනක තබනු ලැබුවා. අඩමසක් ගතවූ විට එම මස්වැදැල්ල මස්වැදලි දෙකක් සේ බෙදුණ. තාපසයා ඒ දැක සතුටුව එය වඩාත් හොදින් සුදුසු තැනක තැබුවා. නැවත අඩමසකට පසුව එක් එක් මස්වැදැල්ලක අත්,පා,හිස පිණිස ගැට (ගඩු ) පහක් බැගින් මතුවෙමින් තිබුණා. තවත් අඩමසකින් එක් මස් වැදැල්ලකින් රන් පිළිමයක් බදු පිරිමි දරුවෙක්ද, අනෙක් මස් වැදැල්ලෙන් දැරියක්ද ඇතිවුනා. හරිම පුදුමයි. තාපසයාට ඔවුන් කෙරෙහි දරු සෙනෙහස පහළ වුණා. ඔහුගේ මහපටඇගිලි තුඩින් කිරි වැගිරෙන්නට වුනා.

🌼 සම විනිවිද පෙනෙන දරුවන්

එතැන් පටන් ඔහුට මිනිසුන්ගෙන් කිරිබත් දානයට ලැබෙන්නට වුනා. තාපසයා බත් කා ඒ දරුවන්ගේ මුවෙහි ඇගිල්ලෙන් වැතිරෙන කිරි තවරනු ලබනවා. ආශ්චර්ය ජනකයි. ඒ කිරි ඔවුන්ගේ කුස තුළට පිවිසෙන අයුරු ඒ සියල්ලම මැණික් බදුනකට දැමුවා සේ විනිවිද පෙනෙන්නේට වනවා. සිරුරෙහි සම සමක් නොමැති ලෙස විනිවද පෙනුණා. හරියටම විනිවිද පෙණෙන සමකින් මසා තැබුවාක් මෙන්. ඔවුන් එකිනෙකාගේ සම තුනී වී යැයි ඇතැම්හු කියන්නට වුනා. සමහරු කිවේ ඔවුන්ට සමක් නැහැ කියලයි. මෙසේ ඔවුහු සම නොමැති බැවින් හෝ තුනී සම ඇති බැවින් හෝ ලිචඡවී යන නමින් හැදින්වුවා .

🌼 ගොපල්ලන් තාපසයා වෙතින් දරුවන් රැගෙනයාම.

මෙසේ දරුවන් ඇතිදැඩි කරන තාපසයා හිරු පෑයූ කල පිඩු පිණිස ගමට පිවිසෙනවා. මහ දවාලෙහි ආපසු එනවා. තවුසාගේ එම වැඩකටයුතු දැනගත් ගොපල්ලෝ හිමියනි පැවිද්දන්ට දරුවන් ඇතිදැඩි කිරීම අවහිරයක්. දරුවන් අපට දෙන්න. අපි ඇතිදැඩි කරන්නෙමු, ඔබතුමාට සුදුසු කටයුතු කරනු මැනවයි පවසනු ලැබුවා. තාපසයා යහපතැයි පිළිතුරු දුන්නා. ගොපල්ලෝ මග වලගොඩැලි සමකොට, මල් අතුරා, දද කොඩි ඔසවා වාදන භාණ්ඩ වයමින් පසුදින අසපුවට පැමිණියේ මහා පෙරහැරකින්. තාපසයාද “මහත් පින් ඇති දරුවන්ය, මහත් සැළකිල්ලෙන් නොපමාවම ඇතිදැඩි කරව,ඇතිදැඩි කොට එකිනෙකා අවාහවිවාහ කටයුතු කරව, පස්ගෝ රසින් රජු සතුටුකොට, බිම් කොටසක් ලබා ගෙන නගරයක් සකසව එහි කුමරු ඔටුනු පලදවයි” කියා දරුවන් ඔවුන්ට දෙනු ලැබුවා. ඔවුහු යහපතැයි කියා දරුවන් ගෙන ගොස් ඒ කියූ පරිදීම ඇතිදැඩි කළා. එසේ ඇතිදැඩි වන දරුවෝ අනෙක් ගොපළු දරුවන් හා කෙළි සෙල්ලම් කරමින් එකිනෙකා අතර මතභේදාත්මක කරුණු ඇතිවූ විට අතින් පයින් පහර දෙන්නට වුනා. පහර කෑ ඒ ගොපළු දරුවෝ හඬන්නට වුනා. ඔවුන්ගේ මව්පියන් කුමක් නිසා හැඩුවාදැයි ඇසුවිට “මව්පියන් නැති තාපසයා හදාවඩා ගත් මොවුන් අපට තදින් පහර දෙතියි කියනු ලැබුවා. එවිය ඔවුන්ගේ මව්පියන් මේ දරුවන් අනෙක් දරුවන් පීඩාවට පත්කරති. දුකට පත්කරති. මොවුන්ට උදව් නොකළ යුතුය, මොවුන් දුරුකළ යුතුය. ඈත් කළ යුතු යැයි කියන්නට වුවා.

🌼 ලිචඡවී කුමරු රජවීම සහ විසාලා නුවර බිහිවීම.

එතැන් පටන් යොදුන් තුන්සියයක් වූ ඒ ජනපදයට වජජි යැයි කියනු ලැබුවා. ඉක්බිත ගොපල්ලෝ රජු සතුටුකොට ඒ පෙදෙස මිලට ගත්තා. එහි නගරයක් සකසා සොළොස් වයසැති කුමරා අබිසේක කොට රජබවට පත්කළා. පිටතින් දැරියක කැදවා නොආ යුතුය. මේ දැරිය වෙනත් කෙනෙකුට ද නොදිය යුතුයැයි ඇය හා කතිකාකොට විවාහය සදහා වෙන්කොට ගත්තා. ඔවුන්ගේ පළමු එක්වීමෙන්ම දුවක්ද පුතෙක්ද ලැබුණා. මෙසේ දහසය වාරයක්ම දෙදෙනා බැගින් දරු උපත් ලැබුවා. ඔවුන්ගේ දරුවන් නිසි පරිදි වැඩෙනකොට පළතුරු උයන් වාසය කරන තැන් සදහා පිරිවර ජනතාවට ඉඩකඩ මද වූ බැවින් ඒ නගරය තෙවරක්ම ගවුවක් ගවුවක් අතර පවුරකින් වටකලා. එම නගරය දිනෙන් දිනම එලෙස දියුණු වන්නට පටන්ගත්කල නැවත නැවත දිග පළලින් විසාල කරන්නට වුනා. ඒ බැවින් වෙසාලී හෙවත් විසාල නම් වුනා. මේ විසල්පුර නොහොත් විසාලා මහ නුවර ඇතිවූ අයුරුයි.

තුසිත රාජපක්ෂ – ප්‍රංශය
16-03-2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3bmKRSx
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 153💙💚💜

තථාගතයන් වහන්සේ නමකට පමණක් පිහිටි ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ. 02

8. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසට බැසගත්තේ වේද, බෝසත් මව පස්කම් ගුණ බොහෝ කොට ලබන්නියක් වෙයි. පස්කම් ගුණයෙන් යුක්තවූ සමන්විතවූ ඕ තොමෝ සතුටු වෙයි” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී.

ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.

9. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මවු කුසට බැසගත්තේ වේද, එතැන්පටන් බෝසත් මවට කිසි ආබාධයක් නොඋපදී. බෝසත් මව සැප ඇත්තියක් වන්නීය. ක්ලාන්ත නොවූ කය ඇත්තියක් වන්නීය. බෝසත් මව කුසතුළ සිටින නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති සියලු අංග ප්‍රත්‍යංගයන්ගෙන් යුත් බෝසතුන් දකී. ආනන්දය, යහපත්වූ ජාතිමත්, පැති අටක් ඇති, හොඳට පිරියම් කළ, වෛඪූර්‍ය්‍ය මාණික්‍යය යම් සේද එය නිල් පාට හෝ කහ පාට හෝ ලේපාට හෝ සුදුපාට හෝ පඬුපාට හෝ නූලකින් අමුණන ලද්දේ නම් එය ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ විමසා බලන්නේ මෙය වනාහි යහපත් ජාතිමත්, අටැස් ඇති, හොඳට පිරියම් කරණලද වෙරළු මිණෙකි. එහි නිල් හෝ කහ හෝ රතු හෝ සුදු හෝ පඬුවන් හෝ නූලක් අමුණන ලද්දේයයි යම්සේ දක්නේද ආනන්දය, එපරිද්දෙන්ම යම් කලෙක බෝසත් තෙම මවු කුසට බැසගත්තේ වේද, බෝසත් මවට කිසිත් ආබාධයක් නොවෙයි. බෝසත් මව ක්ලාන්ත නොව සැප ඇත්තියක් වෙයි. බෝසත් මව කුසතුළ සිටින සියලු අඟපසඟින් යුත් නොපිරිහුනු ඉඳුරන් ඇති බෝසතුන් දකී ” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී.

භාග්‍යවතුන් වහන්සේගේ විසින් වදාළ මෙම කරුණද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.

10. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක,“ආනන්දය, බෝසතුන් ඉපදී සත් දවසකදී බෝසත් මව කලුරිය කෙරෙයි. කළුරිය කොට තුසිත දිව්‍යලෝකයෙහි උපදී ” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී.
ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

11. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, අන් ස්ත්‍රිහු නවමසක් හෝ දසමසක් දරු ගැබ කුසින් උසුලා යම්සේ වදත්ද බෝසත් මව එසේ නොවදන්නීමය. බෝසත් මව දසමසක්ම බෝසත්හු කුසින් උසුලා සිට වදන්නීය ” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙයද ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි දරමි.

12. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක වනාහි අන් ස්ත්‍රීහු හිඳ හෝ නිදා වදත්. බෝසත් මව බෝසතුන් එසේ නොවදයි. බෝසත් මව බෝසත්හු සිටගෙනම වදයි” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී.
ස්වාමීන් භාග්‍යවතුන් වහන්ස, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

13. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසින් නික්මේද, දෙවියෝ ඔහු පළමු කොට පිළිගනිත්. පසුව මනුෂ්‍යයෝ පිළිගනිති” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙයද ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි දරමි.

13. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසින් නික්මේද, බෝසත් තෙම බිමට පැමිණීමට පළමුව දිව්‍ය පුත්‍රයන් සතර දෙනෙක් ඔහු පිළිගෙණ ‘දේවියනි, සතුටු වුව මැනව. ඔබට මහේශාක්‍ය පුතෙක් උපන්නේයයි’ මව ඉදිරියෙහි තබත් ” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී.

ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

14. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මවුකුසින් නික්මේද, (එකල) ජලධාරා දෙකක් අහසින් පහළවෙයි. එකක් සීත ජලයය, එකක් උණුදියය. යමකින් බෝසතුන්ට හා බෝසත් මවට වතුරෙන් කළයුත්තක් කෙරේද, එබඳු උදක ධාරා දෙකකි.” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී.
ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

15. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, උපන් කෙණෙහි බෝසත්තෙම සමවූ පාදයෙන් පොළොවෙහි පිහිටා සේසත දරන කල්හි උතුරුදිගට මුහුණලා සත් පියවරක් යයි. සියලු දිශාවන් බලයි. ලෝකයාට මම අග්‍ර වෙමි. ලෝකයාට මම ශ්‍රේෂ්ඨ වෙමි. ලෝකයාට මම ජ්‍යෙෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීමයි. නැවත උත්පත්තියක් නැත යන වචනය කියන්නේය” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී.
ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

17. “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, ““ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මවුකුසින් නික්මේද, එකල්හි දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයන් සහිත, ලෝකයෙහි දෙවිමිනිසුන් සහිත, මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ලෝකයෙහි අප්‍රමාණවූ, මහත්වූ, ආලෝකයක් පහළවෙයි. නිතර විවෘතවූ, නොවැසුනු අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති, යම් ඒ ලෝකන්තරික නිරයක් වේද, යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් ආනුභාව ඇති, මේ සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත්ද, එහිද අප්‍රමාණ උළාර ආලෝකයක් දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි. එහි යම් සත්ත්වයෝ උපන්නාහුද ඔව්හුද ඒ ආලෝකයෙන් ඔවුනොවුන් මෙහි උපන් අන්‍ය සත්ත්වයෝත් ඇතැයි හැඳිනගනිත්. මේ දසදහසක් ලොකධාතුව හාත්පසින් කම්පා වෙයි, අතිශයින් කම්පාවෙයි වෙවුලායයි, මහත්වූ එලියක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළවෙයි.” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී.

ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

18. මෙලෙස සියල්ල සාවධානව අසා සිටි බුදුපියාණන් වහන්සේ අවසානයේ මෙලෙස දේශනා කරනු ලැබුවා.

“ආනන්දය, එහෙයින් නුඹ මෙහිදී තථාගතයන් වහන්සේගේ මේ ආශ්චර්‍ය අද්භූත ධර්මයද දරාගනුව. ආනන්දය, මෙහි තථාගතයන් වහන්සේට දැනුවත්වම වේදනා උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැනුවත්වම විනාශයට යත්. දැනුවත්වම සංඥාවෝ උපදිත්. දැනුවත්වම විතර්කයෝ උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැනුවත්වම විනාශයට යත්. ආනන්දය, නුඹ මෙයද තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි දරව.”
“ස්වාමීනි, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේට දැනුවත්වම වේදනා උපදිත්ද, දැනුවත්වම දරා පවතිත්ද, දැනුවත්මව විනාශයට යත්ද, දැනුවත්වම සංඥා උපදිත්ද දැනුවත්වම විතර්ක උපදිත්ද, දැනුවත්වම දරා පවතිත්ද, දැනුවත්වම විනාශයට යත්ද, ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි දරමි.”

මෙහිදී අප වටහාගත යුතු දෙයනම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතයේ අසිහියට ඉඩක් නොමැති බවයි. උන්වහන්සේ තමන් වහන්සේගේ විතර්ක, වේදනා, සඤ්ඤා ආදිය ඇතුලු නාම කාය, මෙන්ම කාය වාග් සමාචාරයන් සිහියෙන්ම හසුරුවයි. ඒක හරියට සුක්කානම අතින් ගත් රථාචාර්යයෙක් සේය. සිතෙහි පහල වන සෑම සිතුවිලි මාත්‍රයක් ම මනසින් අන්වේක්ෂණය කරන්නාවු තථාගතයන් වහන්සේලාගේ කාය වාග් සමාචාරයන්හි පවතින උතුම් බව ගැන කවර කථාද? මෙම සිහිය කොතරම් උතුම් ද යත් “මහණෙනි යම් දිනක මා සම්බුද්ධත්වයට පත්වූයේ ද යම් දිනක මා පිරිණිවන්පායිද ඒ අන්තර්කාලය තුල යමක් දේශනා කරයිද ප්‍රකාශ කරයිද පිහිටුවයිද ඒ සියල්ල එසේම වෙයි. වෙන විදිහකට නොවෙයි” වශයෙන් දේශනා කොට ඇත. තමා වදාල ධර්මය කොතරම් සිහියෙන් නිවැරදිව දේශනා කොට ඇත්දැයි මෙම සිංහනාදයෙන් මැනවින් පැහැදිලි වෙයි.

“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙලෙස ඒ තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ බුදුහිමි අභියස දේශනා කරනු ලැබුවා. ශාස්තෘන් වහන්සේද එය අනුදන්නා ලදී. සතුටුවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේගේ ඒ දේශනය සතුටින් පිළිගත්තා.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේට, මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරන්හට, සහ මගේ ආදරණීය බිරිඳට, සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
24-03-2020